​වේදිසාවේ සිටි මිහිඳු හිමි ලක්දිවට වැඩි මග


පොසොන් පුන් පොහොය නිමිත්තෙනි

 

 

ශ්‍රී ලාංකික ජන ජීවිතයේ සැබෑ පරිවර්තනයකට අඩිතාලම හෙවත් පදනම ලැබුණේ පොසොන් පොහෝ දිනකය. පොසොන් පාහෝ දිනය සිංහල ජාතිය දීප්තිමත් වූ දිනයයි. සිංහල ජනයා බුද්ධිමත් වූ දිනයයි. ශ්‍රී ලංකාව බෞද්ධ ශිෂ්ඨාචාරයෙන් පො​හොසත් වූ දිනයයි. පොසොන් පොහොයත් මිහින්තලය මෙන්ම දඹදිව සාංචි පුදබිමත් ශ්‍රී ලංකාවේ බොදු බැතිමතුන්ට අමතක කළ නොහැකිය. 


ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව සිදුවූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලක්දිවට වැඩම කරවීම පිළිබඳ විස්තර දීප වංශය - මහා වංශය - සමස්ත පාසාදිකා වැනි අපේ පැරණි ග්‍රන්ථවල සඳහන් කර තිබේ.   


පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කළ බව පාලි සාහිත්‍යයෙහි සඳහන් වී ඇති අතරම එය පුරාවිද්‍යාත්මකව ද සනාථ කර ඇත.   
මහින්දාගමනය ධර්මාවතරණයක් ලෙස ලාංකික බෞද්ධයෝ සලකති. එම නිසා මිහිඳු මහ රහතන් වහන්සේ​ගේ ලංකා ගමනය පිළිබඳව අතීත තොරතුරු ටිකක් විමසා බැලීම උදාවූ පොසොන් සමයේ වඩා වැදගත් වනු නොඅනුමානය.   


බුද්ධ කාලයේ දඹදිව පැවැති සොළොස් මහා ජනපදවලට අවන්ති ජනපදය ද අයත් විය. වර්තමාන සාංචි පුද බිම පිහිටා ඇත්තේද එම ජනපදයේය. බුද්ධ කාලයේ අවන්ති රට පාලනය කරන ලද්දේ චන්ඩප්පාජෝත රජු විසිනි. එදා අවන්ති රට වර්තමාන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයට අයත් වෙයි.   


බුද්ධ පරිනිර්වාණයෙන් දෙවැනි සියවස වනවිට දඹදිව රාජ්‍ය පාලනය ගැන විමසා බැලීමේ දී භාරත ඉතිහාසය අනුව මෞර්ය වංශික චන්ද්‍ර ගුප්ත කුමරු බුද්ධ වර්ෂ 140 දී මගධ රාජ්‍යයේ රජ බවට අභිෂේක ලැබීය. එතුමා පැළලුප් නුවර හෙවත් පාඨලී පුත්‍ර (වර්තමාන පැට්නා) නගරයේ සිට අවුරුදු 24ක් රාජ්‍යය කළේය.   
චන්ද්‍ර ගුප්ත රජු ක්‍රිස්තු පූර්ව 298 වසරේ දී මියගිය පසු ඔහුගේ පුත්‍ර බින්දුසාර කුමරු රජ වූයේය. ඔහු ක්‍රිස්තු පූර්ව 273 දක්වා අවුරුදු 25 ක් රජ කෙළේය. බින්දුසාර රජුට මෙහෙසියන් සොළොස් දෙනෙක් සිටියේය. ඔවුනට උපත් පුත්තු 101 ක් විය. රජුගේ එක් බිසයක් වු සුභද්‍රාවතී නම් මෙහෙසියයි. සුමන - අශෝක - තිස්ස යනුවෙන් පුතුන් තිදෙනෙක් විය.   


මේ අතර ඉන් අශෝක කුමරු අවන්ති ජනපදයේ යුවරජු ලෙස පත් කර යැවීමට පිය රජු පියවර ගත්​තේය. අශෝක කුමරු උජ්ජෙයිනි නගරයේ සිට අවන්ති ජනපදය පාලනය කෙළේය.   


අශෝක කුමරු අවන්තිය පාලනය කළ සමයේ දී අවන්ති ජනපදයේ විදිසා නමැති ප්‍රදේශයේ විදිසා නමින් ධනවත් සිටු පවුලක් ජීවත් වූයේය. බුද්ධ කාලයේ කොසොල් රට විඩුඩභ රජු ශාක්‍ය වංශිකයන් සංහාරය කරන අවස්ථාවේ ඔවුන් ශාඛ්‍ය ජනපදයෙන් පලා අවුත් අවන්ති ජනපදයේ පදිංචිව සිටි ශාඛ්‍ය වංශික පවුලකින් පැවැතෙන්නෝ බව භාරත ඉතිහාසයෙහි සඳහන් වෙයි. මේ සිටු පවුලේ සිටි ඉතා රූමත් දේවී නමැති සිටු කුමරිය අශෝක යුව රජු විවාහ කර ගත්තේය. ඇය පසු කාලීනව විදිසා සිටු දේවිය නමින් ප්‍රකට වූවාය. මෙම යුවලට දරුවන් තිදෙනෙකු සිටි බව භාරත ඉතිහාසයෙහි දැක්වෙයි. උද්ජේනි - මිහිඳු සහ සංඝමිත්තා යනු එම දරුවන් තිදෙනාය. 


මේ පිළිබඳව අපේ මහා වංශයෙහි 13 වැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් වෙයි.   


‘‘ඒ අශෝක රජ තෙම් කුමාර කාලයෙහි සිය පියතුමා විසින් දෙන ලද අවන්ති රට පාලනය කෙරෙන්නේ පෙර උදේනි නුවර යන කළ වේදිසා නුවර නවාතැන් ගෙන එහිදීම ඇති සිටු කුලයෙහි උපන් දේවී නම් කුමරියක් මුණ ගැසී ඇය සමග වාසය කෙළේය. ඇය වේදිසාවේ සිටි ඉතා ධනවත් සිටුවරයෙකුගේ දියණියකි. ඕ තොමෝ ගැබ්ගෙන උදේනී නුවර දී යහපත් රූ ඇති මහින්ද නම් ඒ කුමරු වැදුවාය. දෑවුරුද්දක් ඉක්ම සංඝමිත්තා නමින් දුවක් ද වැදුවාය. මේ කාලයේ ඒ බිසව වේදිසා නුවර වසන්නීය.’’   


භාරත ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් අශෝක යුවලයේ අනෙක් දරුවා ගැන කිසිම සඳහනක් අපේ මහාවංශ ග්‍රන්ථයේ සඳහන් නොවේ. 

 
බිංදුසාර මහ රජුගේ මරණයෙන් පසු පැළලුප් නුවරට ගිය අශෝක යුවරජු සිය සහෝදරයන් සියය මරා දමා බුද්ධ වර්ෂ 214 දී පාලනය තමා සතුකර ගත්තේය. ඉන්පසු අවන්තියේ සිටි මිහිඳු කුමරු හා සංඝමිත්තා කුමරිය ද පැළලුප් නුවරට ගෙන්වා ගත්තේය. වැඩමහල් උද්ජේනි කුමරු හා විදිසා දේවිය අවන්තියේම නතර වූහ.   


විදිසා දේවිය බුදු දහම වැළඳගත් කාන්තාවක් වීමත්, දැඩි මතධාරී හින්දු බැතිමතෙකු වූ අශෝක රජුතුමාට රාජාභිෂේකයේදී හින්දු පූජකවරුන්ගෙන් විය හැකි අනවශ්‍ය බලපෑම්වලින් වැළකී සිටීමටත් විදිසා දේවිය එසේ අවන්තියේම නැවතීමට තීරණය කරන්නට ඇතැයි විද්වත්හු සලකති.   


රටේ පාලනය බාරගෙන වසර හතරකට පසු එනම් බුද්ධ වර්ෂ 218 දී අශෝක රජතුමාගේ රාජාභිෂේකය පාඨලී පුත්‍ර නුවර දී සිදුවිය.   


අශෝක රජුගේ වැඩිමහල් පුතු උද්ජේනි කුමරු ගැන භාරත ඉතිහාස ග්‍රන්ථවල ද වැඩි විස්තරයක් සඳහන් නොවේ. දැඩි හින්දු මතධාරියෙකු වූ අශෝක රජතුමා බෞද්ධ කාන්තාවක වූ විදිසා දේවියගෙන් බුදු දහම පිළිබඳව ලබා තිබූ ආභාෂය නිසා ඔහු බුදු දහම වැළඳ ගැනීමෙන් පසු සිය දරුවන් දෙදෙනා ද ශාසනයට පූජා කර බුදු දහම ව්‍යාප්ත කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කෙළේය. ඔහු ධර්මාශෝක නම් ලැබුවේ ඒ කාලයේය.   


ධර්මාශෝක රජුගේ දායකත්වයෙන් රාජ්‍ය වර්ෂ 18 දී මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රහතන් වහන්සේ දහස් නමක් පැළලුප් නුවර අශෝකාරාමයට රැස්කරවා තුන්වැනි ධර්ම සංඝායනාව පැවැත්වීය. ඒ සඳහා මාස නවයක කාලයක් ගතවිය. මෙම සංඝායනාව සාහස්සිකාය යනුවෙන් ත්‍රිපිටකයේ සඳහන් වෙයි.   


ධර්ම සංඝායනාවෙන් පසු බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ප්‍රත්‍යන්ත ජනපදවල බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම පිණිස ධර්ම දූතයන් වහන්සේ පිටත්කර යැවීම ධර්මාශෝක රජතුමා කළ විශිෂ්ට කාර්යයක් විය.   
ඒ අනුව මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි එක් එක් ප්‍රත්‍යන්ත ජනපදයට ප්‍රධානත්වය ඉසිලූ තෙරුන් වහන්සේ සමග භික්ෂූන් පස්නම බැගින් යැවීමට රජතුමා පියවර ගත්තේය. එවකට තම්බපන්නී නම් වූ ලක්දිවට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන් වහන්සේ ද ෂට් අභිඥ හා මහා ඍධි ඇති සුමන සාමනේරයන් වහන්සේ ද භණ්ඩුක නම් අනාගාමී කුමාරයාද සමග ධර්මදූත පිරිස එවීමට රජතුමා කටයුතු කෙළේය.   


මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩම කිරීමට පෙර තම මව වාසය කළ වේදිස ගිරියට ගොස් එහි සිට ලක්දිවට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.   


ඒ බව අපේ මහා වංශයේ 13 වැනි පරිච්ඡේදයේ මෙසේ සඳහන් කර ඇත.   


‘‘එකළ උපසපන් දොළොස් හැවිරිදි වූ මහා නුවණැති ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙමේ උපාධ්‍යය වූ මොග්ගල්ලාන තිස්ස තෙරුන් හා සංඝයා විසින් අනුවනු ලත් සේක. ලක්දිව පහයනට කල් බලමින් මුටසීව රජ මහලුය. පුත්‍ර තෙමේ රජවේ යැයි සිතූ සේක. ඒ අතර ඥාති වර්ගයා දකින්නට සිතා උපාද්‍යයන් වහන්සේ ද සංඝයා ද වැඳ පියරජු විචාල සේක. යට කී තෙරුන් වහන්සේ සතර දෙනා ද, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල කැටිව, සංඝමිත්තා පුත් ෂට් අභිඥා හා මහා ඍධි ඇති සුමන සාමනේරයන් ද ගෙන නෑයන් සංග්‍රහ කරනට දක්ෂිණගිරි දනව්වට වැඩි සේක. ඉක්බිති එහි හැසිරෙන උන්වහන්සේට සමසක් ඉක්මුණහ. ක්‍රමයෙන් මව් බිසවුන් වසන වේදිසගිරි නුවර අවුත් මෑණියන් දුටු සේක. දේවී තොමෝ ප්‍රිය පුතු දැක පිරිස සමග උන්වහන්සේ වළඳවා තමා විසින් කරවන ලද වේදිසගිරි විහාරයට නැංවූහ.’’   


මහාවංශයේ ඉහත සඳහන් කරුණුවලින් මිහිඳු මහ රහතන් වහන්සේගේ ඥාතීන් සහ උන්වහන්සේ ලක්දිවට වැඩම කරවීම සිදු කළ ස්ථානය ද එයින් ප්‍රකාශ කෙරේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මවු තුමියගේ ගම වූයේ වේදිසාවය.   


මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩම කිරීමට පෙර දක්ෂිණගිරි දනව්වට වැඩ වේදිසගිරි විහාරයේ වැඩ වාසය කළ බව මහා වංශයේ ඉහත සඳහන් විස්තරයෙන් සනාථ වෙයි. මේ ​වේදිසා ගිරිය දඹදිව කිනම් ප්‍රදේශයක පිහිටියේ ද කියා විමලා බැලීම උචිතය.   


ධර්මාශෝක රාජ්‍ය කාලයේ දී වේදිසගිරි හෙවත් වේතියගිරි වශයෙන් සඳහන් එම ප්‍රදේශය වර්තමානයේ සාංචිය නමින් ව්‍යවහාරවෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු අසූමහා ශ්‍රාවකයන්ට අයත් මහා කච්චායන රහතන් වහන්සේ මාර්ගයෙන් අවන්ති දේශයේ බුදු දහම පැතිරිණි. බුදු රජාණන් වහන්සේ ජීවමානව සිට අවධියේ මෙම ප්‍රදේශයට වැඩම කළ බවක් ඓතිහාසික ලේඛනවල සඳහන් නොවේ. බුද්ධ කාලයේ අවන්තිය පාලනය කළ චන්ඩප්පජෝත රජුට ගෝපාල දේවී නම් බිසවක් විය. ඕ තොමෝ කුංඩල නම් වන උද්‍යානයේ විහාරයක් කරවා මහා කච්චායන රහතන් වහන්සේට පූජාකර ඇති බව භාරත ඓතිහාසික ලේඛනවල දැක්වේ. සමහර විට එය සාංචි විහාරයේ ආරම්භය විය හැකිය. මෙම ප්‍රදේශයට සාංචි යන නාමය කවදා කෙසේ ආරම්භවීදැයි අවිනිශ්චිතය. මෙම ප්‍රදේශයේ හමුවී ඇති ශිලා ලේඛන අනුව මෙහි ප්‍රාචීන නාමය කාන්‍යය හෙවත් කාකනාව ලෙස හැඳින්වෙයි. සාංචි ස්ථූපයේ ප්‍රාකාරයේ ඇති ක්‍රිස්තු වර්ෂ 412/ 413 සහ 450/ 451 ශිලා ලේඛනයන්හි මෙහි නාමය කාකනාද බෝට යනුවෙන් දැක්වේ. මෙම ප්‍රාචීන නාමයෙන් ඉතිරිවී ඇති කොටසක් ලෙස කනබේද නමැති ගමක් මේ ආසන්නයේ අදට ද දක්නට ලැබේ. හත්වැනි සියවසට අයත් ශිලා ලේඛනයක බෝට ශ්‍රී පර්වත යනුවෙන් මෙහි නම දක්වා ඇති බව ඉන්දීය ඉතිහාසයෙහි සඳහන් වෙයි. ශාන්ති පර්වත පසුව සාංචි වී යැයි මතයක් ද මේ ප්‍රදේශයේ ජනප්‍රවාදයේ පවතී.   


බුද්ධ කාලයේ දඹදිව අවන්ති ජනපදයට අයත්ව තිබූ සාංචිය වර්තමානයේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ රායසේන් දිස්ත්‍රික්කයට අයත් වෙයි. ඉන්දියාවේ අගනුවර වූ නවදිල්ලියේ සිට සාංචි පුදබිමට කිලෝ මීටර් 745 කි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අග නගරය වූ චෙන්නායි (මදුරාසිය) සිට කිලෝ මීටර් 1486 කි. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ අග නගරය වූ බෝපාල් සිට කිලෝ මීටර් 40 කි. ආදි කාලීන නුවරක් වූ වේදිසා නගරයේ සිට කි​ලෝ මීටර් 9 ක් නිරිත දිගින් වේදිසගිරි හෙවත් චේතිය ගිරි පර්වතනය (සාංචිය) පිහිටා ඇත.   
ලක්දිව වැඩම කරවීමට පෙර මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටි දඹදිව සාංචි පුදබිමත්, උන්වහන්සේ ලක්දිවට වැඩි මිහින්තලා පුදබිමත් යන ස්ථාන දෙකේ සමානකම් දක්නට ලැබේ. සාංචි පුදබිම අඩි 300 ක් පමණ උසැති පුංචි කඳු ගැටයක සුන්දර වූ පරිසරයක පිහිටා තිබේ. මිහින්තලා පුද බිම ද ඒ හා සමාන උසින් යුත් ශාන්ත පරිසරයක පිහිටි ස්ථානයයි. මෙ ස්ථාන දෙකම චේතිය ගිරි නමින් හැඳින්වෙයි. අපේ මහා වංශයේ ද සාංචිය හඳුන්වා ඇත්තේ චේතියගිරි නිමිනි. ධර්මාශෝක රජතුමා ප්‍රත්‍යන්ත ජනපදවල බුදු සසුන පිහිටුවීමට භික්ෂූන් වහන්සේ යවන ලද්දේ තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුවය. කාශ්මීර ගන්ධාර දේශය, මතිඝ මංඩලය, වනවාස දේශය, අපරන්ත දේශය, මහරට, යෝනක ලෝකය, හිමවත් පෙදෙස, සුවණ්ණ භූමිය හා තම්බපණ්ණි දීපය යන ජනපදවලට ධර්මදූතයන් වහන්සේ යැවීය. අශෝක රජතුමා විසින් කරන ලද උසස්ම කාර්යය ධර්මදූත සේවය යැයි සලකනු ලැබේ. මෙයට අමතරව රජතුමා තානාපති සේවය මගින් ද ධර්ම ප්‍රචාරය කෙළේය.   


ඒ අනුව එවකට සිරියාවේ රජ කළ දෙවැනි ඇන්ටයෝකස්, මිසරයේ රජ කළ දෙවෙනි ටොලමි පිලඩෙල් පෝස්, මැසිඩෝනියාවේ රජ කළ ඇන්ටිගෝනස්, සයිරිනියාවේ රජ කළ මගාස්, ඇපිරස් රටේ රජ කළ ඇලෙක්සැන්ඩර් යන රජවරුන් වෙත දූතයන් යැවීමෙන් සබඳකම් ඇතිකරගෙන ඒ රටවල් තුළ ධර්මය ප්‍රචාරය කිරීමට මහා මාත්‍යවරුනට ධර්මාශෝක රජතුමා විසින් පවරණ ලද්දේය. මිසරයේ රජ කළ ටොලමි පිලඩෙල්​පොස් රජතුමා දියොතිසියස් නමැති තානාපතිවරයෙකු මෞය්‍යර්‍ රාජ්‍යයට එවූ බව භාරත ඉතිහාසයේ සඳහන් වෙයි.   
මේ අනුව බලන කල ධර්මාශෝක රජතුමා එකල ලක්දිව රජ කළ තිස්ස රජු සමගද සබඳතා පවත්වන්නට ඇතැයි සිතිය හැකිය. තිස්ස රජතුමාගේ අරිට්ඨ නම් ඇමැති ප්‍රමුඛ දූත පිරිසක් දඹදිව ගිය බවට ශාසන ඉතිහාසය ද සඳහන් කරයි. මෙම දූත පිරිස පාඨලී පුත්‍ර නගරයේ පස් වසරක පමණ කාලයක් නතර වී සිටි බවක් ද සඳහන් වේ. මේ කාලයේ මිහිඳු මහ රහතන් වහන්සේ ද වැඩ සිටියේ පාඨලී පුත්‍ර නගරයේ අශෝකාරාමයේ විය හැකිය. එහි දී ලක්දිවින් ගිය දූත පිරිස උන්වහන්සේ හමුවී ලක්දිව ධර්මදූත කටයුතු පිළිබඳව සැලසුම් කරන්නට ඇතැයි අප රටේ විද්වතුන් විශ්වාස කරන්නට ඇත. ලක්දිව රජ කළ මහලු මුටසීව රජුගේ කාලයේ ලක්දිව නොපැමිණ ඔහුගේ පුත් තිස්ස කුමරු රජ වූ පසු ධර්ම ප්‍රචාරය සඳහා ලක්දිව වැඩම කිරීමට මිහිඳු මහ රහතන් වහන්සේ සැළසුම් කෙළේ යැයි මේ අනුව සිතිය හැකිය. ඒ අනුව බලන කල මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය දීර්ඝ කාලීන සැලසුමක් බවට විද්වතුන් දක්වන අදහස් මේ අනුව බැහැර කළ නොහැකිය.   


සිය මව බැහැ දැකීමටත්, ඥාතීන් මුණ ගැසීමටත් වේදිසා ගිරියට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස හය මාසයක පමණ කාලයක් එහි වැඩ වසය කර චේතියගිරි විහාරයෙන් නික්ම පො​සොන් පුර පසළොස්වක පොහෝ දින ලක්දිව ධර්ම ප්‍රචාරය සඳහා මිහින්තලා පව්වට වැඩි සේක.   


දඹදිව සාංචි පුද බිමේ සිට ලක්දිවට වැඩම කළ මිහිඳු මහ මහරතන් වහන්සේ නිසා අප රටේ ශිෂ්ටාචාරය අලුත් මගකට යොමු විය. එසේ වූයේ තිස්ස රජතුමා ද අප රටේ ජනතාවද දියුණු තත්ත්වයකට පත්ව සිටි නිසා බව සිතිය හැකිය. මිහිඳු හිමියන් විසින් තිස්ස රජුගෙන් විමසන ලද ප්‍රශ්නවලට රජතුමා දුන් පිළිතුරු අනුව එතුමාගේ බුද්ධිමත් භාවය පසක් විය. එසේම එයින් රටේ අති බහුතර ජනතාවගේ බුද්ධි මහිමය ද නියෝජනය වූයේය. මහින්දාගමනය අප රටේ පැවැති ශිෂ්ඨාචාරයට බෞද්ධ පදනම එක්​ කෙළේය.   
සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 236 කට පසුව සිද වූ මහින්දාගමනයත්, ඊට මාස හයකට පමණ පසුව සිදුවූ සංඝමිත්තා තෙරණියගේ ශ්‍රී මහා බෝධි ආගමනයත් යන දෙකරුණ ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත් මෙන්ම අනුස්මරණීය ඓතිහාසික සිදුවීම් වෙති.  

 

ගම්පහ - අබේසේන හේරත්