
බින්තැන්න පුරවරයට අණසක පතුරවමින්, තෙදබල පෙන්වමින්, එහි වෙසෙන ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත්ව - ඔවුන්ට විවිධ අයුරින් උදව් උපකාරවෙන, පිහිටවෙන, ආරක්ෂාව දෙන දේව මාතාව වන්නේ “මහ ලොකුවන්” හෙවත් “මහලොකු දේවමෑණියන්” ය.
සුමන සමන් දෙවිඳුන්ගේ වැඩිමහල් සොයුරිය වන මහා ලොකුවන් හෙවත් මහ ලොකු දේව මෑණියන් ජන සමාජයට නැතිවම බැරි දේව මාතාවියකි. ගොවි ජනතාවට පිහිට වන්නාවූ බෞද්ධ දේවතාවිය වශයෙන් පිළිගැනෙනුයේ ද, එමෙන්ම එකම දේවතාවිය වන්නේ ද, මහා ලොකු දේව මෑණියන් පමණක් බව කියැවේ.
බ්‍රාහ්මණයන් විසින් අප ජන හදවත්වලට ඇතුළු කළ ඔවුන්ගේ දෙවි දේවතාවියන් බොහෝ ගණනක් අපි වන්දනාමාන කරන්නෙමු. දේවාල තනා ඇත්තෙමු . ඒ දෙවිවරුන් හා දේව මාතාවන් වෙනුවෙන් විවිධ පළාත්වල පෙරහර ද පවත්වන්නෙමු. එහෙත් මහා ලොකු මෑණියන් වෙනුවෙන් වන්දනාමාන කරන්නේ ද, දේවාල ඇත්තේ ද, පෙරහර පවත්වන්නේ ද මහියංගණ ප්‍රදේශයේ පමණි.
කෙසේ වෙතත් මහාලොකු මෑණියන් පිදීම ඇතමුන් වෙතින් ගිලිහී ඇත. නැත්නම් අත්හැරී ඇත. එසේ වී ඇත්තේ - හින්දු දෙවියකු වන ලක්ෂ්මණ (රාමගේ සොයුරු) සමන් දෙවියන් බව හුවා දැක්විමේ දී - මහා ලොකු මෑණියන් පිළිබඳ සඳහන ප්‍රධාන බාධාවක් බව තේරුම් ගත් බ්‍රාහ්මණයෝ එතුමිය පිළිබඳ විශ්වාසය ජනයා වෙතින් තුරන් කිරීමට උපක්‍රමශීලීව කටයුතු කර තිබීම හේතුවෙනි .
සමන් දෙවියන් ගේ පවුලේ විස්තර සහිත සෙල්ලිපි ලංකාවේ ඇති අතර, එම සෙල්ලිපි මගින් එම පවුලේ සාමාජිකයන් පිළිබඳ වැටහීමක් අපට ලබාගත හැකිය. ඒවායේ සමන් දෙවියන්ගේ පියා (පනීත මහා රජු) මව (අබි උපලිය) සහෝදරිය (මහ ලොකුවන්) බිරිය (උපශිකතිශය) පුතා (චෙමශ උප රජු) දුව (උපශිකචිතකය) මුනුපුරා (අශෝක මහා රජු ) ලෙසින් සඳහන්ව ඇත.
සෙල්ලිපිවල විස්තර මගින් සමන් දෙවියන් හෙළ බෞද්ධ දේවතාවකු වශයෙන් ද, සමන් දෙවියන්ගේ සහෝදරිය හෙළ බෞද්ධ දේවතාවියක වශයෙන් ද, පවුලේ අනෙක් සාමාජිකයන් හෙළ බෞද්ධ රාජවංශිකයන් වශයෙන් ද, බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් සිදුකළ බව විශ්වාස කෙරෙනවා ඇත.
මහා ලොකුවන් දේව මෑණියන්ට අයත් බල ප්‍රදේශ ලෙස තලංගමුව, දෙහිගොල්ල, මකුළුගොල්ල, සේරාණ, වෙලම්පැල්ල, හසලක, වරාගොල්ල, ගුරුළුපොත, කඳන්හේන යන ප්‍රදේශ සැලකේ. සේරන් යකා, කෙහෙල්පතලගල යකා, මාවරගල යකා, මල්දම්පහ යකා සහ ගුරුමල් ඇමති මහා ලොකු මෑණියන්ගේ ඇමතිවරුන් ලෙස ජනප්‍රවාදවල සඳහන් වේ.

සමන් දේවාලය
මහා ලොකු දේව මෑණියන් ගේ පිළිමයක් සහිත දේවාල කීපයක් මහියංගණ සහ හසලක ප්‍රදේශවල ඇත. මහත් තෙද බල හා හාස්කම් ඇති මෙම මෑණියන් පිළිබඳව දන්නා මේ ප්‍රදේශවල ජනතාව පමණක් නොව ඈත එපිට ගම්දනව්වල ජනතාව ද නිතර පැමිණ මෙම ස්ථානවලදී භාරහාර වීම්, පුදපූජා පැවැත්වීම් සිදු කරනු ලබයි.
විශේෂයෙන් දරුවන් නොමැති කාන්තාවෝ දරුසම්පත් ලබාගනු සඳහාත්, කෘෂිකර්මාන්තයේ නියැළෙන්නෝ සිය බවභෝග වන සතුන් ගෙන් ආරක්ෂා කරගැනීම සඳහාත්, රෝගීහු ලෙඩදුක් දුරු කරගැනීම සඳහාත්, ආර්ථික දුක් කම්කටොලුවලින් පීඩාවට පත්වූවෝ සෞභාග්‍යය උදාකර ගැනීම සඳහාත්, පාසල් දරුවන් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහාත්, මෙතුමිය ගේ පිහිට අයැදීම් සිදුකෙරෙන ආකාරය මේ දේවාලවල දී අදටත් නිරතුරුව දක්නට ලැබේ.
මෙම දේවාලවලදී පහන් දල්වා, සුවඳ දුම් අල්ලා, මල්පහන් පූජා කිරීමෙන් අනතුරුව - පලතුරු වට්ටි ආදිය ද පූජා කොට, කපු මහතා ලවා යාතිකාවක් කර භාරහාරවීමෙන් තම අපේක්ෂා ඉටුවෙන බව බැතිමත්හු විශ්වාස කරති.
ඒ නිසාම කෙත්වතු අස්වැද්දුමක දී, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී, නොඑසේ නම් සුභඵල අපේක්ෂිත වෙනත් නව කටයුත්තක් ආරම්භ කිරීමේ දී, එය ඇරඹුමට පෙර මෙම දේවාලයන් වෙත පැමිණ භාරහාර වීමත්, අදාළ කර්තව්‍යය සාර්ථකවීමෙන් පසු හෝ ගෙවත්තේ, කෙතේ හෝ හේනේ අස්වනු නෙළා අහවර වූ පසු පළමු කොටස රැගෙන විත් දෙවියන්ට කිරි ආහාරයක් සේ පූජා කිරීමත්, එම බැතිමත් ජනයාගේ චාරිත්‍රයක් වි තිබේ.
සිය මලනුවන් බුදුන්වහන්සේගෙන් ඉල්ලාගත් කේශධාතු තැන්පත් කොට සෑයක් ඉදිකිරීමට ක්‍රියාකළ අවස්ථාවේ, ඊට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන ලද්දේ - මහා ලොකුවන් බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. ඒ තම යක්ෂ සේනාව යොදවා ඊට අවශ්‍ය ශ්‍රමය සම්පාදනය කර දීමෙනි.
මහියංගණයේ සුමන සමන් මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ජේ.එම්. ලයනල් බණ්ඩාරගෙන් “ඉරිදා ලංකාදීප” ය එම දේවාලයේ තතු හා කාර්යය කටයුතු පිළිබඳව විමසූ විට මෙසේ කීවේය.
“චෛත්‍යය අසල පිහිටා තිබෙන අප සමන් දේවාලයේ සමන් දෙවිඳුන්ට මෙන්ම, මහා ලොකු මෑණියන් වෙනුවෙන් ද බැතිමතුන් වැඳුම් පිදුම් කරනු ලබනවා. මෙම දේවාලයේ ආරම්භක අවධිය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට විද්‍යාර්ථීන් වෙහෙස දැරුව ද එය සාර්ථක වූයේ නෑ. දේවාලය වරින් වර නවීකරණයට ලක් වී තිබීම ඊට හේතුවයි. ක්‍රි.පූ. හය වැනි සියවසේ සිට සමන් දෙවියෝ මහියංගණ පුද බිමෙහි වෙසෙන බව ජනප්‍රවාද සඳහන් කරනවා. වැදි ජනයා සමන් දෙවියන්ටත් වඩා පුද පූජා පවත්වනුයේ, මහ ලොකුවන්ටයි. සමන් දෙවියන් සෞම්‍ය වූ දෙව් කෙනෙකුවීමත්, මහලොකුවෝ චණ්ඩ, සැරපරුෂ, රළු ගුණාංග ඇති දේවතාවියක වීමත් හේතුවෙන් එසේ කෙරෙන්නේ යැයි කියනවා.”

“සමන් දෙවියන් තම මුත්තලා ඇත්තෝ බවත්, මහලොකුවන් තම මුත්තිලැ ඇත්ති බවත්, ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ නිතර සඳහන් කරනවා. ආදිවාසීන් විසින් පවත්වනු ලබන පුද පූජා අතර, වැදි පෙරහර මහියංගණයේ දී පවත්වනු ලබන්නේ ද සමන් දෙවියන් හා මහලොකුවන් උදෙසාවීම ද විශේෂත්වයක්. මේ දෙදෙනාටම පුද පූජා පැවැත්වීමෙන් සහ පින් අනුමෝදන් කිරීමෙන් සෙත් ශාන්තිය උදාකර ගැනීමට හැකිවෙන බැව් ආදිවාසී ජනයා විශ්වාස කරනවා.”
මිනිපේ පුරාවිද්‍යා ගවේෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේසිංහ අප හා එක්වෙමින්, මහ ලොකුවෝ හෙවත් මහ ලොකු දේවතාවිය පිළිබඳව ජනවහරේ ඇති තතු අනාවරණය කළේ මේ ආකාරයෙනි.
“බුදුන් වහන්සේගෙන් කේශධාතු ලබාගත් සුමන සමන් දෙවියෝ, එම ධාතූන් තැන්පත් කොට මෙහි සෑයක් බැඳීම කළ යුතු බව - සිය වැඩිමහල් සොයුරියට දැනුම් දීමෙන් පසු , සිය යක්ෂ සේනාවත් රැගෙන මහියංගණයට පැමිණ මුලින්ම සිය තේජස බින්තැන්නේ ජනතාවට පෙන්විය යුතු යැයි දේවතාවිය කල්පනා කර තිබෙනවා. ඒ අනුව එතුමිය උපක්‍රමයක් යෙදුවා.
සොරබොර ගමට නුදුරු වන පෙදෙසක වාසස්ථානයක් ඉදිකරගත් මහ ලොකුවෝ, අනතුරුව එකී පෙදෙසෙහිම වූ වැදි නායකයෙකුගේ බිරිය තම බලපරාක්‍රමය මෙහෙයවා හදිසි මරණයකට ලක් කර තියෙනවා. මෙයින් දැඩි සේ කම්පනයටත්, ශෝකයටත් පත් වැදි ප්‍රධානියා සිය බිරිඳගේ අවමඟුල් කටයුතු කඩිනමින් සිදුකිරීමට කටයුතු සූදානම් කරන්නට වුණා. ඒ අනුව අවමඟුල සඳහා අවශ්‍ය පෙට්ටිය සකස් කිරීම පිරිසකට භාර කෙරුණා. ඔවුන් අසල වූ වනයට වැද එහි වූ දැවැන්ත ගසක් කපා බිම හෙළා, එකල පැවති චාරිත්‍ර අනුව ඔරුවක් මෙන් සකස් කරන්නට පටන් ගත්තා. මේ අතර එහි පැමිණි මහලොකුවෝ නුඹලා කුමක් කරන්නේදැයි විමසා තියෙනවා. පිරිස පවසා ඇත්තේ සිය නායකයාගේ බිරිඳ මියගිය හෙයින් ඇය වළදැමීමට අවශ්‍ය පෙට්ටිය සකස් කරන බවයි. අනතුරුව මහලොකුවෝ පිරිසට මෙසේ පවසා තිබේ. “හොඳයි උඹලගේ නායකයාගේ බිරිඳට පණ දෙන්න මට පුළුවන්. හැබැයි මම කියන විදිහට පුද පූජා යාතු කර්ම කරන්න පොරොන්දු වෙන්න ඕන. එහෙම පොරොන්දු වුණොත් විතරක් මම ඇයට පණ දෙන්නම්.”
මේ පුවත වැදි නායකයා වෙත යාමට ගතවූයේ සුළු මොහොතකි. ඒ මොහොතේම එහි පැමිණි වැදි නායකයා මහලොකුවන්ගේ දෙපා නමැද මෙසේ ප්‍රකාශ කර තිබේ.
‘පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස ඔබතුමිය කියන ඕනම දෙයක් මම කරන්නම්. මගේ අහිංසක බිරිඳට පණ දෙන්න’

මහා ලොකුවන් දේව මෑණියෝ
එහිදී “එතුමිය ‘හොඳයි මම ඔබගේ ඉල්ලීම ඉටු කරන්නම්. දැන් ගෙදර ගොස් පොරොන්දු වූ පරිදි කටයුතු කරන්නැයි’ පවසා අතුරුදන් ව තිබේ. එතුමිය අතුරුදන්වීමත් සමග සියල්ලෝම ආපසු ගොස් තිබේ. නිවසට පැමිණි ඔවුන්ට ඇස් අදහාගත නොහැකි දසුනක් දැකගත හැකිවූ අතර, එය නම් මියගොස් සිටි තැනැත්තිය නිවසෙහි වැඩපල කරමින් සිටීමයි. ඉන් මහත් සේ සතුටට පත් වැදි නායකයා දේවමාතාවට පිං දී පොරොන්දු වූ පරිදි කටයුතු කරන්නට වුණාලු. එතැන් සිට වැදි ජනයා මහලොකුවන් වෙනුවෙන් පුද පූජා යාතුකර්ම කරන්නටත්, තමන්ට කරදර බාධක සිදුවූ විටක දී එතුමිය සිහිපත් කරන්නටත් පියවර ගෙන තිබුණ බව කියනවා.”
ජනප්‍රවාද ඇසුරෙන් මහලොකුවන් ගැන වැඩිමනත් තොරතුරු අනාවරණය කරමින් මහියංගණයේ ෂෙල්ටන් වීරසුරිය අප හා එක්වූයේ මේ අයුරිනි.
“මහියංගණ දාගැබෙහි ඉදිකිරීම් කටයුතු නිමවීමෙන් පසු මහලොකුවන් සිය සහෝදරයා සමග යම් මත ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. ඉන් කෝපයට පත් මහලොකුවෝ සොරබොර ප්‍රදේශයේ පිහිටි කොකාගල වැව (වර්තමානයේ සොරබොර වැව) මැද පිහිටි කුඩා දුපතක වාසය කරන්නට ගොස් තිබෙනවා. මෙහි ඉදිකරන ලද අලංකාර මන්දිරයක එතුමිය වාසය කළ බව කියැවෙනවා. සියලු කටයුතු ඇමතිවරුන්ට පවරා දී තිබූ බව ද කියනවා. මෙම මන්දිරය සොරබොර වැවේ ජලය පිරීම නිසා අද දක්නට නොමැති බව සඳහන් වෙනවා.”
සමාජ ක්‍රියාකාරිකයෙකු වන මොරයායේ සෙනරත් බණ්ඩාරයන් අපගේ විමසුමකට පිළිතුරු දෙමින් කීවේ මෙබන්දකි.
“ජනප්‍රවාදයක කියැවෙන්නේ වෙලන්පැලේ දේවාලය කඳු මුදුනේ ගල්ලෙනක පවත්වාගෙන ගොස් ඇති බවයි. දේවාලය පවත්වාගෙන යන කපු මහතා වසරක් පාසා මහලොකු දේවතාවිය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීම සිරිතක් කරගෙන තිබුණා ලු. වාර්ෂිකව සූදානම් කරනු ලබන උත්සව කාලය උදාවුණාට පස්සේ එය සිදුකිරීම සඳහා කපු මහතා ලහි ලහියේම ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිට තිබෙනවා. මෙලෙස එම කටයුතු සිදු කරමින් සිටි දිනක, දවස පුරා වෙහෙස මහන්සි වී සිටි කපු මහතා, වෙනදා මෙන් දේවාලය ඉදිරිපිට නිදාගෙන සිටියදී මධ්‍යම රාත්‍රියෙහි දී ඔහු සිහිනයක් දැක තිබෙනවා.”

මහියංගන සෑ රදුන්
ඒ මහ ලොකු දේව මාතාව තමන් ඉදිරියේ පෙනී සිටි සිහිනයක්. එහිදී එතුමිය කපු මහතා අමතා ‘මේ වසරේ මා වෙනුවෙන් පවත්වන උත්සවය කඳු මුඳුනෙහි පිහිටි ගල්තලාව මත අලංකාර දෙවොලක් සකස් කොට එහි කළ යුතුයි’ යනුවෙන් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම සිහිනයෙන් කලබලයට පත්වූ කපු මහතා බර කල්පනාවකට වැටුණා. දේවතාවිය පැවසූ ආකාරයට එම ගල් තලාවේ දෙවොලක් තැනීමට කණු සිටුවිය යුතුයි. කොහොමද කණු හිටුවන්න ගල් විදින්නෙ? මේ ගැන සිතමින් දින, සති, මාස ගණන් ගත වනවාත් සමගම කපු මහතාගේ ශරීරය ද අනුක්‍රමයෙන් කෘශවීමට පටන් ගත්තා. මේ නිසාම මොහු ගැන අනුකම්පා කළ දේව මාතාව දිනක් රාත්‍රියේ එහි පැමිණ ගල් තලාවේ විශාල කණු හතරක් සිටුවීමට හැකි වන පරිදි වළවල් හතරක් හාරා සකස් කර තැබුවා ලු. පසු දින කපු මහතා මේ ඇදහිය නොහැකි විශ්ම කර්ම වැඩෙන් මහත් සේ සතුටට පත්ව එහි අලංකාර දෙවොලක් සකස් කර, දේවතාවිය පැවසූ පරිදි උත්සවයක් පැවැත් වූ බව කියැවෙනවා.”
මහලොකු මෑණියන් හා බැඳුණු වැදි පෙරහර ගැන මිනිපේහි පරිසරවේදියෙකු වන රංජිත් කුලතුංග මෙසේ පැවසිය.
“ඓතිහාසික මහියංගණ සෑ රදුන් උදෙසා වාර්ෂිකව පෙරහර මංගල්‍යයක් පවත්වනු ලබනවා. මෙම පෙරහර අවසානයේ ආදිවාසීන් විසින් පවත්වනු ලබන වැදි පෙරහර ද සුවිශේෂීයි. මෙහිදී ආදිවාසීන් බුදුන් වහන්සේ මහියංගණයට වැඩ යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීමෙන් පසු ධර්ම දේශනා කිරීමේ දී සෝවාන් එලයට පත් සුමන නමැති ප්‍රදේශාධිපතියා බුදුන් සරණ යෑම පිළිබඳව උරණවීම ගැන සහ එම ආරෝවේ දී මහලොකුවන් ගේ මැදිහත්වීමෙන් නැවත එම ජනයා සුමන සමග එක් වු බව විදහා පාන රංගනයන් වැදි පෙරහරේ දී දැක ගත හැකියි.”
මෙම පෙරහරේ දී දැකගත හැකි තවත් සුවිශේෂී සිද්ධියක් ජනවහරේ එනවා. පෙරහරේ රජමහා විහාර පෙරහර පෙරටු කොටගෙන සමන් දේවාල පෙරහර පැවැත්වෙනවා. මෙම පෙරහරේ මහලොකු දේවමාතාවගේ සළුපිළි සහිත ආභරණ රැගෙන යනු ලබන්නේ කාන්තාවන් සිව් දෙනෙක් ගේ කරමතින් ගෙනියන දෝලාවකිනුයි. මෙම දෝලාවේ තැන්පත් කිරීමට එම සළුපිළි සහිත ආභරණ රැගෙන එනු ලබන්නේ මහියංගණයට කිලෝමිටර් පහක් පමණ දුරින් පිහිටි කොවිල්කන්ද නමැති ප්‍රදේශයේ පිහිටි දේවාලයක සිටයි. අතීතයේ එම දේවාලයේ තිබෙන පෙට්ටියක එම ආභරණ තැන්පත් කර තිබෙන බව සඳහන් වෙනවා. පෙරහර සඳහා දේවාල පරිශ්‍රයේ කප් සිටුවා පසු දින අලුයම දේවාල පරිශ්‍රයේ සිට අලියෙකු සහිත පෙරහරකින් කොවිල් කන්දට ගොස් මහලොකු දේව මාතාවගේ ආභරණ රැගෙන ඒම සාමාන්‍ය සිරිතක්. පෙරහර කොවිල්කන්දට පැමිණීමට පෙර සළුපිළි සහිත ආභරණ සමන් දේවාලයේ ඇති ආභරණ පෙට්ටියට එර්දියෙන් වඩින (පැමිණෙන ) බව කොවිල් කන්ද දේවාලයේ හිටපු කපු මහතෙකු අපිට කියා තිබෙනවා. පෙරහර ගොස් මහලොකු දේව මාතාවට පුද පුජා පවත්වා, එහි ඇති වෙනත් දෑ රැගෙන නැවත දේවාලයට පැමිණෙන බව ද ඔහු පැවසුවා. මෙය මහලොකු දේව මාතාව ගේ තවත් හාස්කමක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ හේතු නිසා මෙම දේවමාතාව ගැන තිබෙන විශ්වාසය දිනෙන් දින වර්ධනය වන බව ද ඔවුන් කියනවා”
හසලක සුනිල් ඒකනායක

කඳන්හේන පුදබිම

මහියංගන පෙරහරේ රැගෙන යන දෝලාව


