සුවඳ පිරුණු මතක රුඳුණු ධර්මරත්න ගේ ‘පුංචි කාමරේ’


  • සඟරා පිස්සුව තිබුණේ ඉස්කෝලෙ කාලේමයි
  • ජෝතිපාලගෙ සිංදුවලට වෙනත් වචන දාලා ලියනවා. යාළුවා ගයනවා
  • ධර්මසිරි ගමගේ ඇසුර ජීවිතේ වෙනස් කළා
  • කුමරි පත්තරය අමතක නොවන මතකයක්
  • මල් පත්තර නාමය යොවුන් පුවත්පත් කලාව පහළටම දැම්මා

ප්‍රවීණ මාධ්‍යවේදියකු, ගීත රචකයකු වන ධර්මරත්න පෙරේරා ගේ පුවත්පත් කලාව, ජීවිතය හා ගීත කලාව පිළිබඳව ලියවුණු ස්වයං ලිඛිත චරිතාපදානය - “පුංචි කාමරේ - සුවඳ පිරුණු සිතක මතක” ග්‍රන්ථය කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (14) දා සවස එළිදැක්විණි.

එහිදී මිතුරු දෙසුම ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ මාධ්‍යවේදී කුමාර සිරිවර්ධන පැවැත්වූ අතර - ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාරගේ සංගීතයට කීර්ති පැස්කුවල්, චන්ද්‍රලේඛා පෙරේරා, නාමල් උඩුගම, චන්දන ලියනාරච්චි, සශිකා නිසංසලා, අනුරාධා නන්දසිරි, විජය බණ්‍ඩාර වැලිතුඩුව, ලක්ෂිත සූරියසේන, ඉරෝෂි සූරියසේන, ලිහිණි මිනෝදා ගායනයෙන් එක්වූහ. රසික ආමන්ත්‍රණය ප්‍රවිණ නිවේදක කැළුම් ශ්‍රීමාල් සහ තුෂාරි හෙට්ටිආරච්චි ය. පුංචි කාමරේ මියුසස් ප්‍රකාශනයකි.

මීට දශක කිහිපයකට පෙර යොවුන් විය ගෙවා දමා මේ වනවිට මැදි වයසේ පසුවන බොහෝ දෙනකුට ධර්මරත්න පෙරේරා යන නාමය හදවතේ ගැඹුරුම තැනක සනිටුහන් වී ඇති වග පවසන්නට හේතු කාරණාවක් වන්නේ එදවස ඒ තාරුණ්‍යය නවමු මානයකට කැඳවන්නට සමත් වූ බැවිණි. යොවුන් හදවත් තුළට සොඳුරු සිතුම් පැතුම් එක්කරන්නට සමත් වූ යොවුන් පුවත්පත් කලාව තුළ නොමැකෙන සටහනක් තබන්නට ඒ අපූරු මිනිසා අපේ රටේ පුවත්පත් කලාවේ එක් යුගයකි.

“‘මගේ ගම කොට්ටාවෙ මාකුඹුරෙ. අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්ම නම් ගෙදරදොරේ වැඩ කරගෙන හිටියා. මම තමයි අපේ පවුලෙ එකම දරුවා. අපේ පවුලේ විතරක් නෙමෙයි - අපේ නෑ සනුහරේ හිටිය එකම දරුවත් මම. ඉතින් මගේ ළමාවිය ඒ හැම දෙනාගෙම ආදරය, රැකවරණය මැද තමයි ගෙවෙන්නෙ. මම තනි ළමයා නිසා තනියම තමයි හැදෙන්නෙ. ඒ කාලෙ අපේ වත්ත හරි විශාලයි. ගස් කොළං පිරිලා. ඔය වත්තෙ පලතුරු කන්න කුරුල්ලො එහෙම හරියට එනවා. මම කරන්නෙ ගහ කොළ , කුරුල්ලො එක්ක කතා කරන එක. ඒ කාලෙ මහ ලොකුවට පොත්පත් ලැබුණෙ නැහැ අපිට කියවන්න. වත්ත පිටියෙ තමයි කාලය ගෙවුණෙ. ඒත් කොහොමහරි මට අහම්බෙන් මානවසිංහ මහත්තයගෙ ගොළු දැරිය පොත කියවන්න ලැබුණා. ඒ පොත තමයි මේ හැම දේකටම යොමු වෙන්න හේතුව. ඒ පොත මාව පුදුම විදියට කම්පනය කළා කිව්වොත් පුළුවන් හැම වෙලාවකම කියෙව්වෙ ගොළු දැරිය. ඒ කාලෙ අපේ ගෙදරට පත්තර ගේනවා . මම ඒවා බලන්නත් පුරුදු වුණා. ඔය කමලාගෙ ළමා සමාජය, ළමා පිටු කියවනවා පත්‍තරවල. ඊට පස්සෙ හවස්වෙද්දි රේඩියෝ එක ළඟ කරු අයියගෙ ළමා මණ්ඩපය අහන්න. මගේ දින චර්යාව ඒ විදියට තමයි ළමා කාලයේ ගෙවුණෙ.”

ධර්මරත්න පෙරේරා පාසල් අධ්‍යාපනය ලබන්නේ හෝමාගම මහා විද්‍යාලයෙනි. පවුලේ එකම දරුවා වූ ඔහු පාසලට යන්නේ ද සපත්තු මේස් දමා, තොප්පි පැලැඳ ජැන්ඩිපහටය. පාසලේ ඉතා දක්ෂතා පෙන්වූ ඔහු ගුරු සිසු සියල්ලන්ගේම ආදරය මෙන්ම රැකවරණයද දිනූ පාසලේ සෑම කටයුත්තකටම නැතිවම බැරි සිසුවකු ද විය.

‘“මට තාම මතකයි ජයසේකර මිස්. හරියට අපේ අම්මා වගේම මට ආදරේ කළා. හැම ගුරුවරයෙක්ම මට කරුණාවෙන් සැලකුවා. මගේ පන්තියේම තමයි අපේ ඉස්කෝලෙ වොචර්ගෙ පුතත් ඉගෙන ගත්තෙ. අපි අතරේ කිසිම භේදයක් තිබුණෙ නැහැ. මගේ හොඳම යාළුවා වුණෙත් ඔහු. ඉස්කෝලෙ හතේ අටේ පන්තිවලට එනකොට මට ටිකක් කවි ලියන්න පුළුවන්. ඒ කාලෙ පත්තරවලට කවි ලියලා යවනවා මම. ඒ පැත්තට යොමු වෙන්න එක හේතුවක් වුණේ අපිට හිටිය සිංහල මිස්. ඇය පාඩම කරන්න අපි එක්ක ගියේ මිදුලට. අපි එක්ක චිත්‍රපට , ගීත ගැන කතා කරනවා. සමාජය ගැන බොහෝ දේවල් ඇය තමයි කියා දුන්නේ. ඇත්තටම ඇයට ලොකු ඕනෑකමක් තිබුණා අධ්‍යාපන ක්‍රමය වෙනසකට ගේන්න. ඒ නිසාම වෙන්න ඇති ඇය අපට යෝජනා කරන්නේ සඟරාවක් පටන් ගන්න කියලා”

ධර්මරත්න පෙරේරා ගේ පුවත්පත් කලාව ඇරඹෙන්නේ එතැනිනි. නමුත් එම සඟරාවේ සංස්කාරකකම ඔහුට ලැබෙන්නේ නැත. පන්තියේ වෙනත් සිසුවකු එම අවස්ථාව ඉල්ලා සිටි බැවිනි. නමුත් එම සිසුවා සඟරාව නිර්මාණය කිරීමට උදව් ඉල්ලන්නේ ඔහුගෙනි. එයට එක් හේතුවක් වන්නේ ධර්මරත්න පෙරේරාට ඒ වනවිට සඟරා පිස්සුවක් තිබීමය. ලංකාවේ පළවන බොහෝ සඟරා පාසල් වියේ සිටම එකතු කිරීම ඔහුගේ විනෝදාංශය විය. ඒ සඟරාවල පිටු සැලසුම්, පින්තුර භාවිතය පිළිබඳව ඔහු තුළ හැදෑරීමක් තිබූ බැවින් එම කාර්යය වඩා පහසු විය.

“පස්සෙ මට හිතුණා තනියම සඟරාවක් කරන්න ඕන කියලා. මොකද මට පිටු සැලසුම ගැන හොඳ අදහස් තිබුණා. අර සඟරා දැකලම. මම ඉතින් සංකල්පනා කියලා සඟරාවක් කළා. කර්තෘත් මම. ලියන්නෙත් මම. ඒක ඇත්තටම හරිම ආකර්ෂණීය යි. යාළුවෙකුට කියලා තමයි පිටු හදාගත්තෙ. ඒ සඟරාව කොහොමහරි අතින් අත ගියා. ඒක තමයි සතුට. මම හොඳට ඉගෙන ගත්තට මට කැම්පස් යන්නනම් බැරිවුණා. ගුරුවරු නම් ලොකු බලාපොරොත්තු තියා ගෙනත් හිටියා. ඒත් හැම දේම වෙන්නෙ හොඳටනෙ. මට පත්තර හීනයක් වගේම ගීත , කවි ලියන ආසාවකුත් තිබුණා. මොකද ඒ කාලෙ පුවත්පත් කලාවේදියො බොහෝ අය ගීත ලියනවනෙ. මටත් ඒ ආසව තිබුණා. මගේ යාළුවෙක් හිටියා අරංගල කියලා. මිනිහාත් සිංදුවලට උනන්දුයි. මම ජෝතිපාලගෙ සිංදුවලට වෙන වචන දාලා ලියනවා. අරංගල ඒවා ගයනවා.”

පාසල් අධ්‍යාපනය හමාර වූ පසු ධර්මරත්න පෙරේරාට සිනමාව පිළිබඳව කැමැත්තක් ඇතිවී පාඨමාලාවකට යොමුවන්නේ ප්‍රවීණ සිනමාවේදියකුවූ ජී.ඩී. එල්. පෙරේරා යටතේය. එතැනදී ඔහුට අපූරු මිත්‍රයකු මුණගැසෙන්නේ අහම්බෙනි. පසු කලෙක ඒ මිතුරා ධර්මරත්න පෙරේරාගේ නිවෙස අසල ම පදිංචියට එන්නේ මිතුරු සමාගම තව තවත් ඉහළට යා කරමිනි. ඒ අපූරු මිතුරා වෙන කවුරුවත් නොව ගීත රචකයකු , ගායන ශිල්පියකු, ලේඛකයකු ලෙස ජනාදරයට පත් භද්‍රජී මහින්ද ජයතිලක ය.

“සිනමා තාක්ෂණය හදාරන්නයි මට උවමනාව තිබුණෙ. මොකද මේ කාලෙ අපේ රටේ සිනමාවෙ ප්‍රබෝධමත් ම කාලෙ. එතැනදි භද්‍රජී හමුවීමත් මට මහමෙරක් වුණා. ඔහු ඒ වෙද්දි බට්ටිත්තා සිංදුව හදලා තිබුණෙ. හැබැයි පටිගත කරලා නැහැ. ඔහු මම ලියපුවා ගිටාරය වයමින් ගයනවා. අපිට පටිගත කරන්න විදියක් තමයි තිබුණෙ නැත්තෙ . මේ කාලය වෙද්දි මට කෙටි චිත්‍රපටයක් කරන්නත් ආසාව තිබුණා. ඒ වෙද්දි සුනිල් ආරියරන්න සරාගී, හේවාවසම් කළල් රූ නමින් කෙටි චිත්‍රපට කරලා තිබුණෙ. කොහෙම හරි සල්ලි ප්‍රශ්නයක් ඇවිත් ඒක නතර වුණා. ඊට පස්සෙ ලුම්බිනියෙ වේදිකා නාට්‍යයක් කළා. ඒකත් ඒතරම් සාර්ථක වුණේ නෑ. මේ හැමදේම අතරෙ වනිතා විත්ති, යොවුන් ජනතා වගේ පත්තරවලට ලියන එක නතර කළෙත් නැහැ”

මේ කාලයේ දී ධර්මරත්න පෙරේරා ගුවන් විදුලියේ පද්‍යාවලී වැඩසටහනට ලියන්නට පටන් ගත්තේය. එහි එක් දවසක් ප්‍රචාරය වූ කවියක් වෙනුවෙන් රුපියල් පහළොවක මුදල් වවුචරයක් නිවෙසට ලැබී තිබුණි. ඒ නිර්මාණයක් වෙනුවෙන් ඔහු ලද පළමු මුදලයි.

‘ “මගේ යාළුවා අරංගලට රජයේ මුද්‍රණාලයේ රස්සාව ලැබිලා තිබුණෙ. දවසක් ඔහු මම අතින් ලියපු සඟරාවක් එතැනට අරන් ගිහින් පෙන්නලා. එතැන හිටපු චන්ද්‍රසේන පෙරේරා සහ ආරියරත්න විතාන ඒක දැකලා මට එන්න කියලා අරංගල අතේ පණිවුඩයක් එව්වාම මම එහි ගිහින් ඔවුන් හමු වී මිත්‍ර වුණා. පසුව ඔවුන්ගේ මැදිහත් වීමෙන් මාව චින්තන ජයසේනට හඳුන්වා දුන්නා, විලාසිතා සඟරාවට.”
එසේ වැඩ කටයුතු කරගෙන යද්දී ධර්මරත්න පෙරේරාගේ ජීවිතයේ සුවිශේෂීම සිදුවීම වන්නේ ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු, ගීපද රචකයකු වූ ධර්මසිරි ගමගේ ගේ හමුවීමයි.

“ඒ සිදුවීම හරිම දෛවෝපගතයි. මම පත්තරවලට ලියන කවි දැකලා ධර්මසිරි ගමගේ මහත්තයා මට පෝස්ට් කාඩ් එකක් එවා තිබුණා ඇවිත් මුණගැහෙන්න කියලා. මට එදා හරිම සතුටුයි. මම එවෙලම ගියා ලේක්හවුස් එකට. මට පවරපු වැඩේ තමයි එතුමා ගෙ ගෙදරට ඇවිත් යොවුන් ජනතා පත්තරේ කවි පිටුව හදන එක. මම සතියට දවසක් බම්බලපිටියෙ එතුමාගෙ නිවෙසට ගිහින් ඒ කාර්යය හරියටම කළා. ඒ වගේම තමයි මේ වෙලාවෙ ධර්මසිරි ගමගේ මහත්තය ගේ ආදරණි ය බිරිඳ දැක්වූ කරුණාව, සත්කාර සිහි නොකර බැහැ. මගේ ජීවිතේට ඒ වගේ ගුණ යහපත්, ආගන්තුක සත්කාර දන්න කාන්තාවක් මුණ ගැසුණාමයි. පසු කාලයේදී ත් එතුමිය අපට හොඳම සහෝදරියක් වුණා”

මේ කාලය දී ධර්මරත්න පෙරේරා විසින් ලියන ලද චිත්‍රපට විචාරයක් ප්‍රවීණ සිනමාවේදී විජය ධර්මශ්‍රී ගේ ඇස ගැටී තිබුණි. ඒ විචාරය අගැයීමට ලක්කළේ එවකට විජය ධර්මශ්‍රී  රාජකාරි කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කැඳවීමෙනි. පසුව සමීප මිතුරන් බවට පත්වූ පසු ධර්මරත්න පෙරේරාට ඕනෑකම තිබුණේ විජය ලවා අලු‍ත් චිත්‍රපටයක් කර ගැනීමටය . ඒ සඳහා මුදල් හදල් ඇති යහළුවන් කිහිපදෙනකු සොයාගත්තත් ඒ කාර්යය කඩාකප්පල් විය. නමුත් යහළුකම දිගටම පැවැතුණි. එසේ විජය මුණගැසීමට යන එන අතරේ ධර්මරත්න පෙරේරාගේ ඇස ගැටෙන්නේ පාරේ අලවා තිබුණු පෝස්ටරයකි. එහි සඳහන්ව තිබුණේ - “කුමරි’’ ළඟදී නිකුත්වේ. මල්ටි ෆැක්ස් සමාගම” යනුවෙනි.

“මට එක සැරේටම මතක් වුණේ විජයව. මම දැනගෙන හිටියා විජය මල්ටි ෆැක්ස් සමාගම එක්ක චිත්‍රපටයක් කළා කියලා. මම විජයව මුණ ගැහෙන්න ගියා. විජය තමයි ලියුමක් දුන්නේ බන්දුල පද්ම කුමාර හමු වෙන්න කියලා. මම ගල්කිස්සෙ වටරප්පල පාරෙ ගෙදර හොයාගෙන ගියා. පාරවල් දන්නෙත් නෑ හරියට. ගෙදරකට තට්ටු කළාම දොර ඇරියෙ බන්දුල පද්ම කුමාර. මම ලියුම දුන්නම අපරාදෙ ඇයි පරක්කු වුණේ කට්ටිට අරගෙන ඉවරයි කිව්වා. ඒත් සඳුදට ඇවිත් බලන්න කිව්වා. මම ලිපි පහක් ලියාගෙන ගියා. ඒ ලිපි පහම ලස්සනයි කියලා ගත්තා. සතියකට සැරයක් ලියන්නත් කිව්වා. එහෙම මාස තුනක් විතර ඉන්න කොට තමයි කුමරි පත්තරේ උපකර්තෘවරියක් ලෙස වැඩ කළ පත්මි පින්දෙණිය ගුරු පත්වීමක් ලැබිලා ගියේ. ඊට පස්සෙ තමයි ඒ පුරප්පාඩුවට මම ගියේ”

මේ කාලය තුළ බන්දුල පද්ම කුමාර ප්‍රධාන කර්තෘ ධුරය දැරූ කුමරි පුවත්පත යොවුන් පරපුර අතර අතිශය ජනාදරයට පත්වූ කාල සීමාවයි. එහිදී ධර්මරත්න පෙරේරාට ද විශාල වගකීම් රාශියක් පැවරුණු අතර අන්වර්ථ නාමවලින් ද ඔහු ලියන්නට පටන් ගත්තේය.

නිර්මාණාත්මක ජීවිතයේ බොහෝ දුරක් යන්නට ඔහුට අවස්ථාව එළැඹීමත් සමග ගීත රචකයකු ලෙස කරළියට එන්නේ ප්‍රණිත් අභයසුන්දර නම් සුන්දර මිනිසා මුණගැසීමත් සමගය.

“‘ප්‍රණීත් තමයි කිව්වෙ මම ලියන ඒවා කවි නෙමෙයි ගීත කියලා. මම ලියූ පළමු ගීතය තමයි විශාරද එඩ්වඩ් ජයකොඩි ගැයූ ’සුවහසක් තරුමල්’ ගීතය. එය සංගීතවත් කළේ ප්‍රවීණ සංගීතවේදී අනිල් මිහිරිපැන්න. ඊට පස්සෙ ගීත ලියන්න ආරාධනා දිගටම ආවා. කැසට් පටවලට පවා. ශ්‍රීමාලි කැසට් ආයතනයෙන් තමයි පළමු ආරාධනාව. සරත් දසනායකගෙ තනුවකට ටී. එම්. ජයරත්නට ලියුවෙ. පස්සෙ හින්දි තනුවලටත් ලියන්න කිව්වා. ඒ කලෙ කැසට් රැල්ලක් ආවනේ. සමහර කැසට් පටවල ගීත 12ම මට ලැබුණු අවස්ථා තියෙනවා.”

ධර්මරත්න පෙරේරා එසේ ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, සමුගන්නදෝ ආයෙ වෙන් වන්නදෝ (සංගීත් නිපුන් සනත් නන්දසිරි), ඉස්සර වගේ හඳ ( ආචාර්ය වික්ටර් රත්නායක), ලිහිණින් රෑන පියා සලන්නේ ( ප්‍රියා සූර්යසේන), මියුරු සරින් මං ගයනා ( විජය කුමාරතුංග), අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ( නාමල් උඩුගම),  කන්දෙ විහාරේ ( චන්ද්‍රලේඛා පෙරේරා), කැලෑ මලේ කොහේ ගියාදෝ (ප්‍රින්ස් උදය ප්‍රියන්ත), පමා වැඩී ( චන්දන ලියනාරච්චි) කම්හලේ පියස යට ( සමිතා මුදුන්කොටුව), කෝවිල් බිමට සඳක් පායා ( නිරෝෂා විරාජිනි), බිත්ති පත්තරේ කවිය ( සශිකා නිසංසලා) වැනි ගීත ද වතුසුදු මල් , ගිමනට පවන, වනපස මල්, පබසරා, සමුද්‍රඡායා, කොන්කළ දොණි, හාරත හේරා වැනි ටෙලි නාට්‍ය ගීත ද ඒ අතරින් කිහිපයක් පමණි.
“ඒ කාලෙ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය. මම කුමරි පත්තරේ අවුරුදු හතරක් විතර රස්සාව කරන අතරේ තමයි ශ්‍රීමාලි කැසට් ආයතනයේ හේරත් මහත්තයා මට ආරාධනා කළේ ඒ ආයතනයේ සම්බන්ධීකාරක ලෙස වැඩ කරන්න කියලා. ඉතින් මම පත්තරෙන් ඉවත් වෙලා එතැනට ගියා. ඊට පස්සෙ තමයි ශ්‍රිමාලි පබ්ලිකේෂන් වෙලා යුවති පත්තරේ පටන්ගත්තේ. අලු‍ත් මැෂින් පවා මිලදී ගත්තා. අවුරුදු තුනක් පමණ වැඩ කළා. මේ වෙද්දි බන්දුල අරලිය පත්තරේ පටන් ගන්න සැලසුම් කරලා තිබුණේ. මට ඇවිත් කුමරි බාරගන්න කිව්වත් මම කැමති වුණේ නැහැ. මොකද බන්දුල මගේ ගුරුවරයා නිසා. ඒත් බන්දුල ගියාට පසුව මම කුමරි බාරගත්තා. මොකද එක පත්තරයක් වත් නවත්තන්නෙ නැතිව කරන්න ඕන නිසා. මම හැදුණු පත්තරයනෙ”

තාරුණ්‍යයට නවමු මාවතක් පෙන්වූ යොවුන් පුවත්පත් කලාව පසු කාලයක දී අභාවයට පත්වන්නේ එය මල් පත්තර යැයි සමාජය තුළ මතයක් ගොඩ නගමිනි. බාල බොළඳ අදහස්වලින් පිරුණු සමාජයක් මේ තුළින් බිහිවෙතැයි සිතුවද අද වනවිට සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ අතු පතර විහිදා ගිය දැවැන්ත නිර්මාණකරුවන් බවට පත්වී ඇත්තේ ඒ පුවත්පත් ඔස්සේ තම නිර්මාණ චාරිකාව ඇරඹූ නිර්මාණකරුවන්ය.

“විවෘත ආර්ථිකයත් එක්ක තමයි මේ පත්තර කලාව නැතිවෙලා ගියේ. රූපවාහිනිය ආවා. අසභ්‍ය පත්තර රැල්ලක් ආවා. තාක්ෂණය එක්ක මිනිස්සු අලු‍ත් අලු‍ත් දේවල්වලට එකතු වුණා. ඔය මල් පත්තර කියන කෑල්ල එකතු වුණේ පෞද්ගලික ප්‍රශ්නයකට. හැබැයි ඒක දුර දිග ගියා. සුළු සිදුවිමක් නිසා ආ විරෝධයක්. පසුව එය නිර්මාණය කළ කෙනා මගෙන් පෞද්ගලිකව සමාවත් ඉල්ලු‍වා. මම ඉතින් කිව්වා සමාව දුන්නත් නොදුන්නත් දැන් වැඩක් නෑ ඒ පත්තර කලාවට හානිවෙලා ඉවරයි කියලා.”

ධර්මරත්න පෙරේරා විවාහ දිවියට පිවිසෙන්නේ කුමරි පුවත්පතේ සේවය කරන කාලයේ විවාහ යෝජනාවකිනි. ඒ වාණිජ නීතිගත සංස්ථාවේ රාජකාරි කළ පුෂ්පා මාලිනී මෙනවිය සමගිනි. ඔහු දැන් ආදරණීය දරුවන් දෙදෙනකු  ගේ පියකු සේම මුනුබුරු මිනිබිරියන්ට  සෙනෙහෙබර මුත්තණුවෙකි.

‘“තාම මම ලිවීම අතහැරලා නැහැ. නවකතා රැසක් මේ වෙද්දි ලියා පළකර තියෙනවා. අපි පත්තර කලාවේ ඉගෙනගත් දේවල්, ඒ අතීත කතා අලු‍ත් පරපුරටත් බලන්න ඉඩදෙන්න කියලා මේ වගේ කෘතියක් ලියන්න යෝජනා කළේ මෙත්ලාල් වීරසූරිය සහෘදයා. ඇත්තටම අපේ කාලෙ වගේ නෙමෙයි දැන් මාධ්‍ය ක්ෂේත්‍රයට ළමයි එන්නේ සහතිකයක් විතරක් අරගෙන. සහතිකයක් තිබුණට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න බැහැ. එතැනින් කියන්නේ සහතික වැඩක් නෑ කියලා නෙමෙයි. කලාව, සාහිත්‍යය, මාධ්‍යය වගේ විෂයයන් තමන්ගෙ ඇඟෙන්ම එන්න ඕන. මම කුමරි පත්තරේට ගිය මුල් දවස්වල වාඩි වෙන්න පුටුවක්වත් මට තිබුණෙ නෑ. මම ලියුවෙ පිටු සැලසුම් ශිල්පියා ළඟ තිබුණු බංකුවක් උඩ ඉඳන්. දැනුත් එහෙම වෙන්න ඕන කියලා නෙමෙයි කියන්නෙ. අපි පත්තර කලාවට එද්දි අපේ වටේ හිටියේ හිතාගන්නවත් බැරි දැවැන්ත චරිත. අපි හැදුණේ ඔවුන් දිහා බලාගෙන ඉඳලා. ඒ හැම කෙනෙක්ම අපිට ඉස්සරහට එන්න අතහිත දුන්නා. ඒවගේම මම මගෙන් පසු පරම්පරාවකුත් ඉස්සරහට ගන්න මගේ අත් දෙකම දුන්නා. ඒ පිළිබඳව විසල් සතුටක් හිතේ තියෙනවා”

සුජිත් ප්‍රසංග