
1828 දළදා දැක්ම දැක්වෙන සිතුවමක්
ඉංග්‍රීසීහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වැනිදා මැදමහනුවර බෝමුරේ උඩුපිටිය පෙදෙසේ වලව්වක සැඟවී සිටියදී අල්ලා ගත්හ. ඒ සමඟම ලංකාවේ රාජ වංශයට ද තිත වැටිණ. කන්ද උඩරට රාජ්‍යයේ බලය අත්පත් කර ගැන්මට ලැබීමත් සමඟම මුළු ලංකාවේම පාලනය කිරීමේ බලය ඉංග්‍රීසින්ට ලැබිණ.
ඉංග්‍රීසීහු කන්ද උඩරට සිංහල නායකයන්ට 1815 මාර්තු 2 වැනිදා සෙංකඩගල නුවර මඟුල් මඬුවේදී ගිවිසුමක විස්තර ඉදිරිපත් කළහ. ගිවිසුම ඉදිරිපත් කර ටික දිනක් යන විට සිංහල නායකයන්ගේ අස්සන් ගිවිසුමට ලබාගන්නට ක්‍රියාකෙරිණ. ඇතැම් සිංහල නායකයන්ගේ අස්සන් තමන්ට රිසි අයුරින් හොරෙන් යෙදුවාද විය හැකිය. එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉංග්‍රීසින්ට ගැටලුවකින් තොරව උඩරට පාලනය කරන්නට නීතිමය අවස්ථාවක් උදා විය.
ගිවිසුමේ වගන්ති අතරේ ආගම සම්බන්ධ වගන්තියක්ද ඇතුළත්ව තිබිණ. එම වගන්තියේ සඳහන්ව තිබුණේ බුද්ධ ශාසනය , දෙවගම , සංඝයා, විහාරස්ථාන, දේවාල ආරක්ෂා කරන බවය. ටික කලක් යන විට උඩරට සිංහල නායකයන්ටත් සාමාන්‍ය මහ ජනයාටත් කෙමෙන් කෙමෙන් වැටහෙන්නට වූයේ කන්ද උඩරට රාජ්‍යය පාලනය කළ රජවරුන්ගේ පාලනයට වඩා වෙනස් ආකාරයේ පාලනයක් ඉංග්‍රීසින් ගෙන යන බවය. ඉංග්‍රීසින්ගේ පාලනය නොරිස්සූ සිංහල පිරිසක්ද ඒ අතරේ සිටියහ. ගිවිසුමේ සඳහන් වගන්තිවල ඇති දෑ කඩ කරමින් ඉංග්‍රීසින් පාලනය ගෙන යන බව සිංහල බෞද්ධයන්ට වැටහෙන්නට විය. සිංහල බෞද්ධයන්ට නිසි අයුරින් නොසලකා ඉංග්‍රීසින් ඔවුන්ගේ ආගම ව්‍යාප්ත කරමින් සිටින බව උඩරැටියනට තේරුම් යමින් තිබිණ.

සිංහල බෞද්ධයෝ ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරන අතරතුරේ සෙංකඩගල නුවර දළදා මාලිගාවේ වඩා හිඳුවා තිබූ දළදා වහන්සේ ඉතාමත් උපක්‍රමශීලීව තම භාරයට ගන්නට ක්‍රියා කළෝය. දළදා වහන්සේ සිංහල සටන්කාමීන් අතරට පත්වීම ඉංග්‍රීසින් මහත් භීතියකට පත් කරන්නක් විය. සිංහලයෝ තමන් භාරයට ගත් දළදා වහන්සේ සාමාන්‍ය රට වැසියන්ට දැක බලා ගන්නට අවස්ථාව ලබාදුන්නෝය. සිංහල නායකයන් දළදා වහන්සේ තම භාරයට ගැනීමත් සමඟම සාමාන්‍ය රට වැසියෝ සිංහල සටන්කාමීන් තමන්ගේ පාලකයෝ යැයි දැඩි සේ විශ්වාස කරන්නට වූහ. විශාල අරගලයකින් පසු සිංහලයන්ගේ නිදහස් සටන නිමාවට පත් විය.
සිංහලයන් සඟවාගෙන සිටි දළදා වහන්සේ තමන්ගේ භාරයට ගන්නට ඉංග්‍රීසිහු ක්‍රියා කළහ. භාරයට ගත් දළදා වහන්සේට විශේෂ ආරක්ෂාවක් යොදන්නටද අමතක නොකළහ. සටනින් ජය ලැබීමෙන් පසුව තමන්ට ඕනෑ ඕනෑ හැටියට කන්ද උඩරට පාලනය කරන්නට ඉංග්‍රීසින්ට හැකියාව ලැබිණ. සිංහල බෞද්ධයන්ට ලැබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. දළදා පෙරහර පැවැත්වීම සම්පූර්ණයෙන්ම නවතා දැමූහ. සිංහල බෞද්ධ නායකයන් මෙන්ම සාමාන්‍ය වැසියන්ද දළදා පෙරහර පැවැත්වීම නවතාදැමීම නිසාත් දළදා වහන්සේ දැක බලාගන්නට අවස්ථාව ලබා නොදීම නිසාත් සිටියේ දැඩි කනස්සල්ලකිනි.
ඒ අතරේ තද නියඟයක් ඇති විය. මිනිසුන්ට මෙන්ම සතා සීපාවටත් ජල හිඟකම නිසා පීඩා විඳින්නට සිදුවිය. ගොවිතැන් විනාශ වී ගියේය. ආහාර හිඟ විය. ජලය හිඟවීම ඉංග්‍රීසි පාලකයන්ටද මහත් ප්‍රශ්න රැසක් ගෙන දෙන්නක් විය.
දළදා පෙරහර පවත්වා සාමාන්‍ය මහජනයාට දළදා වහන්සේ දැක බලා ගන්නට අවස්ථාවක් ලබාදුණහොත් නියඟය නිමා වී වර්ෂාව ලැබෙන බව සිංහල බෞද්ධයන්ගේ අදහස විය. දළදා පෙරහර පවත්වා දළදා වහන්සේ දැක බලා ගන්නට අවස්ථාවක් ලබාදෙන ලෙසට වැසියෝ දිගින් දිගටම ඉංග්‍රීසි පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ.
ඉංග්‍රීසින් සිතාගෙන සිටියේ මාලිගාවේ වඩා හිඳුවා තිබෙන දන්ත ධාතුවේ විශේෂ බලයක් නැතැයි යනුවෙනි. දළදාවකට ගෞරව කරන්නට පෙලැඹී සිටින සිංහල බෞද්ධයන් මිථ්‍යා විශ්වාස කරපින්නාගත් පිරිසක් ලෙසින් සිතන්නට ඉංග්‍රීසිහු පෙලඹී සිටියහ. එහෙත් ඉතා තද නියඟයක් පවතින මේ අවස්ථාවේ සිංහල බෞද්ධයන්ගේ ඉල්ලීම් ඉවත දමන්නට හැකියාවක්ද ඉංග්‍රීසින්ට නොවීය. අකැමැත්තෙන් වුවත් සිංහල බෞද්ධයන්ගේ ඉල්ලීම්වලට කන් දෙන්නට ඉංග්‍රීසින්ට සිදුවිය.
දළදා පෙරහරක් පැවැත්වීමටත් මහ ජනතාවට දළදා වහන්සේ දැකබලා ගන්නට අවස්ථාවක් ලබාදීමටත් ඉංග්‍රීසි පාලකයෝ කැමැත්ත පළ කළෝය. ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් 1828 මැයි 29 වැනිදාට යෙදී තිබූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී දළදා පෙරහැර පැවැත්වීමට කැමැත්ත පළ කළේය.
දළදා පූජාව වෙනුවෙන් පත්තිරිප්පුවට ඉදිරියෙන් මහ මළුවේ මණ්ඩප තුනක් ඉදිකෙරිණ. එක් මණ්ඩපයක් ඉදිකළේ දළදා වහන්සේ වඩා හිඳුවීමටත් දළදා වහන්සේට නුදුරෙන් භික්ෂූන් වහන්සේලාට රැස් වී සිටින්නටත් හැකි අයුරින්ය. තවත් මණ්ඩපයක් ඉදිවූයේ ඉංග්‍රීසි ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස්ටත් ඉංග්‍රීසි ජාතිකයන්ටත් රැස් වී සිටීම පිණිසය. ඉතිරි මණ්ඩපය ඉදිවූයේ උඩරට පහතරට රදලවරුන්ට රැස් වී සිටීම සඳහාය.
මහ මළුවේ කොඩි කුඹු සතරක සතර කෝරළේ, සත් කෝරළේ, මාතලේ හා දළදා මාලිගාවේ කොඩි නැංවූහ. මහ මළුවේ සුදු වැලි ඉස්සවූහ. නොයෙක් සැරසිලිවලින් මහ මළුව අලංකාර කළහ.
1828 මැයි 29 වැනිදා බ්‍රහස්පතින්දා උදේ කාලයේ කිහිප දෙනකු සමඟ එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දළදා වහන්සේ වැඩ සිටින ධාතු මන්දිරය අසලට ගියේය. ඒ අවස්ථාවේ දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාළහාමි දියවඩන නිළමේවරයා ඉතා වටිනා ලේන්සු තුනක් ආණ්ඩුකාරවරයාගේ දෙඅත්ලෙහි එළා ඒ මතට දළදා වහන්සේ වඩා හිඳුවා තිබෙන කරඬුව වැඩමවීය. ඒ මොහොතේ කාලතුවක්කු හා කොඩි තුවක්කුවල වෙඩි හඬින් පරිසරය දෙදරුම් කන්නට විය. හක් ගෙඩි හා වෙනත් තූර්ය වාදන භාණ්ඩවලින් නැඟුණු හඬ පරිසරය පුරා විහිදී යන්නට වූයේය. රැස්ව සිටියෝ මහා හඬින් සාදු කාර පවත්වන්නට පටන් ගත්හ.
ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් දළදා වහන්සේ වඩා හිඳුවා තිබෙන කරඬුව වැඩමවා ගෙනැවිත් දළදා වහන්සේ පෙරහරේ වැඩමවීමට නියමිත හතළිස් පහේ නමැති ඇතා ළඟ සිටි පල්ලේ ගම්පහේ මහ නිලමේගේ දෙඅත්ල මතට වැඩමවීය. හතළිස් පහේ ඇතාගේ උඩ සිටි මාතලේ දිසා මහතා හා උඩ පළාතේ දිසා මහතා දළදා කරඬුව රන්හිළිගේ ඇතුළේ වඩා හිඳුවා ඇතාගේ උඩින් බිමට බැස්සෝය.
කසකාරයෝ, කොඩි රැගත් පිරිස්, සිංගාරක්කාරයෝ, නැට්ටුවෝ, බෙරකාරයෝ, තලිකාරයෝ, තම්බෝරුකාරයෝ, පුරම්ජේත්තුකාරයෝ, නාගසින්නම්කාරයෝ, සක්දුරකාරයෝ, නීලපන්දම්කාරයෝ, කවිකාර මඩුවේ පිරිස් ඇතුළු නෘත්‍ය කණ්ඩායම් පෙරහරේ ගමන් කළේ රැස්ව සිටි මහ ජනයාගේ නෙත් සිත් පිනවමින්ය.
දියවඩන නිලමේවරයා ඇතුළු විවිධ නිලතල දරන්නෝ පා ගමනින් පෙරහරේ ගමන් ගත්හ. තවත් නිලතල දරන්නෝ ඇත්තු උඩ ගමන් කළෝය. ඇඳුම් ඇන්දවූ හතළිස් පහේ ඇතා, යහලේතැන්නේ ඇතා, කෙන්ගල්ලේ ඇතා, රජවැල්ලේ ඇතා, කිරිඔරුවේ ඇතා , වල්ලියා ඇතා, බුලත්ගමයා ඇතා, ඇම්බැක්කේ ඇතා, නැලිගමයා ඇතා, ගෝඹරයා ඇතා පෙරහැරේ ගමන් ගත්තේ දනන්ගේ සිත් සතුටු කරමින්ය.
පෙරහැර ගමන් ගත්තේ ස්වර්ණ කල්‍යාණ වීදිය, යටිනුවර වීදිය, රිදී වීදිය, නාගහ වීදිය, උඩුනුවර වීදිය ඔස්සේය. පෙරහර අවසන් වීමෙන් පසු දිනවල සාමාන්‍ය මහජනතාවට ද දළදා වහන්සේ දැකබලා ගන්නට අවස්ථාවක් ලැබුණේය. ඒ අතරේ ඉංග්‍රීසින් මහත් විමතියකට පත් කරමින් නියඟය නිමා කරමින් මහා වැසි ඇද හැළෙන්නට පටන් ගත්තේය. ඇළ දොළ ගංගා පිටාර ගලන්නට වූයේය. දළදා වහන්සේගේ මහත් වූ බලය ඉංග්‍රීසින්ට හොඳ හැටි තේරුම් යන්නට වූයේය. එදා මහා වැස්සෙන් ගලා ගිය වතුරට වැසියෝ ‘දළදා වතුර ‘ යනුවෙන් පවසන්නට වූවෝය.
එදා මහ වැස්සේ ගලා ගිය වතුරට ‘දළදා වතුර ‘යනුවෙන් පවසන්නට වැසියන් පෙලැඹී ඇත්තේ නිතැතින්මය. දළදා දැක්මක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ‘දළදා වතුර’ පිළිබඳ කතා කරන්නට වැසියන් පෙලඹෙන්නේද නිතැතින්මය.
(තොරතුරු ලබාගැනීමට සහාය දුන් මහනුවර දළදා මාලිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්තකාලයාධිපති අජන්ත සමරකෝන් මහතාට කෘතඥ වෙමි).
හුන්නස්ගිරියේ
පාලිත මඩුගල්ලේ