සිරගෙදර සිප්හලක් කරගෙන පශ්චාත් උපාධියත් සමත් වු සුවිශේෂී සිරකරුවා


 

මම ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයට ගියෙමි. ඒ අපට ලැබුණු වැදගත් තොරතුරක් හේතුවෙනි. තොරතුර ලබා දුන්නේ බන්ධනාගාර මූලස්ථානයේ අතිරේක කොමසාරිස් ජෙනරාල් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාය. 

‘රටට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් අපි ළඟ ඉන්නවා. ආවොත් කතාබහ කරන්න අවස්ථාව දෙන්නම්’ චන්දන ඒකනායක මහතා කීවේය. 


‘මෙයාගේ විශේෂත්වය තමයි මෙයා මිනීමැරුම් නඩුවකට වැරැදිකරුවෙක් වෙලා මරණීය දණ්ඩනයට නියම​ වෙච්ච කෙනෙක්. ඒ තීන්දුවට මෙයා අභියාචනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.’ චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කීවේය. 


මිනීමැරුමකට වැරදිකරුවෙකු වී මරණීය දණ්ඩනයට නියම වූ අයකුගෙන් රටට ලබා දෙන පණිවිඩය කුමක්ද? ඒ ගැන සිතමින්ම මම වැලිකඩ බන්ධනාගාරයට ගියෙමි. 
‘හිරගේ කියන්නේ වෙනම ලෝකයක්. විවිධ තරාතිරම්වල පුද්ගලයන්නේ මේකේ ඉන්නේ. ඒ මිනිසුන්ගේ විවිධ හැසිරීම් ආකල්ප වෙනමම අධ්‍යයනය කළ යුතු තරමේ විශාල දෙයක්. අද මම ඔයාට දෙන්නේ එයින් එක්කෙනෙක් විතරයි. එයා එක්ක කතා කළාම ඔයාට හිතුණ දේ පත්තරේට ලියන්න’ බන්ධනාගාර මූලස්ථානයේදී හමු වූ විට චන්දන ඒකනායක මහතා කීවේය. එසේ කියා ඔහු මා බන්ධනාගාරයේ පුනරුත්ථාපන අංශයට යොමු කළේය. 


‘එන්න වාඩිවෙන්න. අපි මේ බලාපොරොත්තුවෙන් හිටියේ.’ ඒ සුහද පිළිගැනීම පියසිරි වටගොඩ මහතාගෙනි. වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුනරුත්ථාපන නිලධාරියා ඔහුය. අපි වාඩි වී කතා කරමින් සිටියෙමු. මා සොයා ගිය පුද්ගලයා ආවේ ඒ මොහොතේදීය. ඔහුගේ නම හා ඔහු කවරකුද යන්න ඔබ හොඳින්ම දන්නා බව මම දනිමි. ඔහු හිටපු උප පොලිස් පරික්ෂකවරයෙකි. නම ඉන්දික ලක්මිණි බමුණුසිංහය. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයට වැරැදිකරු වී නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සමඟ මරණීය දණ්ඩනයට නියම වූයේ ඔහු ය. 


‘මරණ දඬුවම නියම වුණේ 2013 අවුරුද්දේ ජූනි මාසයේ පස්වැනිදා’ ඉන්දික බමුණුසිංහ කතාව ආරම්භ කළේ එසේය. 
 එසේ මරණ දඬුවම නියම ​ෙවන විටත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ බාහිර උපාධිය හදාරමින් සිටියේය. අනාගතය සම්බන්ධයෙන් ඔහු තුළ වූ කප්පරක් සුබ සිහින එමගින් කියැවෙයි. 


‘මරණ දඬුවම ලැබුණා කියලා මම උපාධිය හැදෑරීම නතර කළේ නෑ. හිරේ ඉඳගෙනම පාඩම් කළා, විශ්ව විද්‍යාලයෙ තිබුණ උපකාරක දේශනවලට සහභාගි වෙන්න. විභාගයට යන්න බන්ධනාගාරයෙන් මට උපරිම සහයෝගය ලැබුණා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මට විශාල වශයෙන් උදව් කළා. මම එක අවුරුද්දක්වත් ෆේල් වෙන්නෙ නැතුව උපාධිය සමත් වුණා.’ 


ජීවිතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගත නොහැකි අඳුරු බන්ධනාගාර ජීවිතයක් ගත කළ ද ජීවිතය ලෙහෙසියෙන් අත හැරීමට ඉන්දික බමුණසිංහ කටයුතු නොකළේය. 


‘ඔව්, මම උපාධිය සමත් වුණාට පස්සේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාවට අදාළව ශාස්ත්‍රපති උපාධිය කළා. උපාධිය ගත්ත දවසේ ඒ පින්තූරය හැම පත්තරයකම වගේ පළවුණා. ඒ වගේම රූපවාහිණී නාලිකාවලින් ගුවන් විදුලි නාලිකාවලින් ඒකට ලොකු ප්‍රචාරයක් දුන්නා. ඇත්තටම ජීවිතයට ශක්තිමත්ව මුහුණ දෙන්න මටත් මගේ නෝනාටත් ඒක විශාල ශක්තියක් වුණා. ඒ ඉන්දික බමුණුසිංහගේ හඬය. 
අප තවමත් ප්‍රධාන කාරණාවට පැමිණියේ නැත. අප බන්ධනාගාරයට ආවේ ඉන්දික බමුණුසිංහගේ ඊළඟ පියවර ගැන රටට කීමටය. ඒ අලුත් පියවර අපි ඔහුගේම වචනවලින් කියවමු. 


‘ශාස්ත්‍රපති උපාධියෙන් පස්සේ මම දර්ශනපති උපාධිය හදාරන්න පටන් ගත්තා. දැන් ඒක සම්පූර්ණයෙන්ම අවසානයි. දැන් තියෙන්නේ නිබන්ධනය බාර දෙන එක විතරයි. ඒක මේ සතියේ බාර දෙනවා.’ 
ඉන්දික බමුණුසිංහ සිය නිබන්ධනය සඳහා තෝරාගෙන ඇත්තේ අපූරු මාතෘකාවකි. “ශ්‍රී ලංකාවේ කල්ලි අපරාධවල නව ප්‍රවණතා ගැන අධ්‍යයනයක්” එම නිබන්ධනයේ මාතෘකාව එය ය. 


 ඇත්තටම මේ වගේ මාතෘකාවක් තෝරා ගත්තෙම හොඳට හිතලා බලලා. ඒ මාතෘකාවට හොඳම තැන බන්ධනාගාරයයි. අපරාධවලට යොමු වෙච්ච අපරාධ කල්ලිකරුවන් රඳවන්නේ බන්ධනාගාරවල. එතකොට මම ඉන්නෙත් මේක ඇතුළේ. ඒ නිසා මාතෘකාවට අදාළ විෂය පථය හොඳින් හදාරන්න පුළුවන් වෙනවා. මේ වගේ පර්​ෙ‌ය්ෂණයක් බොහෝ විට කෙරෙන්නේ බන්ධනාගාරයෙන් පිටත ඉන්න පිරිස්. ඒ නිසා ඒ අයට ‘ප්‍රයිමරි ඩේටා’ ගන්න වෙන්නේ නෑ. ඔවුන්ට තොරතුරු ගන්න පුළුවන් වෙන්නේ දෙවැනි තෙවැනි මූලාශ්‍රවලින්. ඇත්තටම ලංකාවේ අපරාධ කල්ලි නව ප්‍රවණතා හරියටම හඳුනාගන්න පුළුවන් වෙන්නේ බන්ධනාගාරය ඇතුළෙන්මයි. එක පැත්තකින් මම හිටපු පොලිස් නිලධාරියෙක් නිසා ඒ වෘත්තීය පළපුරුද්ද මට මේ පර්​ෙ‌ය්ෂණයට ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනැ මේක මගේ තනි හපන්කමක් නොවෙයි. මේක බන්ධනාගාර පද්ධතියේම සාමුහික ප්‍රතිඵලයක්. උදාහරණයක් විදියට මම මේ විදියට උපාධි පාස් වෙද්දි මට ගොඩාක් ගුරුහරුකම් දෙන්නේ රැඳවියන් දෙන්නෙක්. ඔවුන් හොඳට ඉගෙන ගත්ත අය. ‘මල්ලි මෙහෙම කරන්න’ කියලා උපදෙස් දෙන්නේ ඒ ගුරුවරු දෙන්නා. 


ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මේ මොහොතේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා නොවන්න මගේ අධ්‍යාපන කටයුතු සිහිනයක් වෙන්න තිබුණා. එතුමා පියෙක් වගේ මාව දිරිමත් කළා. ඒ වගේම අධ්‍යක්ෂ මෙහෙයුම් ටී.අයි. උඩුවර මහතාත් සිහිපත් කළ යුතුමයි. චන්දන ඒකනායක සර්ගේ උපදෙස් පිට මාව සෘජුවම අධීක්ෂණය කරන්නේ චන්ද්‍රසේකර සර්. මේ තීසිස් එක ලියනකොට එතුමා මට අන්තර්ජාල පහසුකම් පවා ලබාදුන්නා. අල්විස් සර්, පියසිරි වටගොඩ සර්, සී.එන්. ප්‍රනාන්දු සර්, මංජුල රුවන් කුමාර සර් ඇතුළු හැම නිලධාරියෙක්ම මට උපරිම සහයෝගය දුන්නා. ඒ වගේම මගේ තීසිස් එකට පූර්ණ මූල්‍ය අනුග්‍රහය දැක්වූවේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි. එතුමා ඒ කාලේ රටේ ජනාධිපති. එ් සම්බන්ධීකරණ හදලා දුන්නේ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මැතිතුමා. කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගීතානි අමරතුංග මැඩම් සහ ආචාර්ය ඔබේසේකර දිසානායක සර් තමයි මගේ නිල ආචාර්යවරුන් හැටියට ඉන්නේ. ඒ සියලුම දෙනාගේ මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ මගේ ජයග්‍රහණය. මම ඒකයි කිව්වේ මේක බන්ධනාගාරයේ සාමුහිකත්වයේ සහ මානුෂිකත්වයෙ ප්‍රතිඵලයක් කියලා.’ ඉන්දික බමුණුසිංහ කීවේය. 


බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා ඉන්දික නොදන්නා අභ්‍යන්තර කතාව මා සමඟ මෙසේ පැවසීය. 


‘මම වැලිකඩ බන්ධනාගාරයෙ ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයා ලෙස සේවය කරපු කාලයෙ මරණ දඬුවම නියම වී සිටිය ඇපල් සිරකරුවෙකු හැටියට ඉන්න බමුණුසිංහ දවසක් මට කිව්වා ‘සර් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයෙ බාහිර උපාධිය හදාරමින් හිටියේ. මට ඒ උපාධි කටයුතු දිගටම කරගෙන යන්න පුළුවන් ද? කියලා. ඇත්තෙන්ම මරණ දඬුවම කියන්නේ බන්ධනාගාර නීතිරීතිවල තියෙන විශේෂිතම වූ තැනක්. එම සිරකරුවන්ට වෙනම නීති පද්ධතියක් තියෙනවා. එබඳු සිරකරුවෙක් පිටතට ගන්නකොට ජේලර්වරයෙක් ආයුධ සන්නද්ධව තමයි ගන්නේ. ඒ වගේම බන්ධනාගාරයේ රඳවන කොටත් ඔවුන්ට විශේෂිත වූ ස්ථානයක් තියෙනවා. මෙවැනි කෙනෙක් ඇවිල්ලා මෙහෙම ඉල්ලීමක් කළාම මට විශාල ප්‍රශ්නයක් ආවා. මොකද මරණීය දණ්ඩනය නියම වෙච්ච කෙනෙකුට එහෙම අවස්ථාවක් මීට පෙර දීලා නෑ. ඒකට හේතුව ඒ සිරකරුවන්ට තියෙන විශේෂ නීති රීති නිසා. හැබැයි මට හිතුණා ‘මොහුට අවස්ථාවක් දිය යුතුයි’ කියලා. එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ අවසරය මත අපි අවස්ථාව දුන්නා. ඔහුට පටිගත කිරීමේ යන්ත්‍රයක් භාවිත කරන්න විශේෂ අවසරයක් දුන්නා. විශ්ව විද්‍යාලයේ සම්මන්ත්‍රණ පැවැත්වෙන කොට ඔහුගේ බිරිඳ ගිහින් ඒවා පටිගත කරගෙන එනවා. ඒවා අහල තමයි ඔහු ඉගෙන ගත්තේ. ඔහුට අවශ්‍ය පොත්පත් අපි ලබා දුන්නා.’ 


‘ඒ වගේම මම නිතරම ඔහු ඉන්න කුටිය පැත්තට යනවා. එහෙම ගිය වෙලාවක ඔහු මට ඔහුගේ කකුල පෙන්නුවා. කකුලේ යටි පතුළ හරියේ ලොකු මස් දැල්ලක් ඇවිල්ලා මම ඇහුවා.’ ඇයි මේ කියලා. එයා කිව්වා පැදුරේ ඉඳගෙනම පාඩම් කරලා නිසා කියලා. පැදුරේ ඉඳගෙන කකුල නමාගෙන තමයි ඔහු පාඩම් කරන්නේ. මොහුගේ කාමරයේ තව තුන්දෙනෙක් හිටියා. ඒක එයාට පාඩම් කරන්න බාධාවක්.
 


අපි රෑ 10 ට සිරමැදිරිවල ලයිට් ඕෆ් කරනවා. ලයිට් ඕෆ් කළාම මොහු පැදුර අරගෙන කොරිඩෝවේ ලයිට් එක තියෙන තැනට ඇවිත් පාඩම් කරනවා. ඒ පිළිබඳව ඔහු දැනුම් දුන්නාම මට හරි අනුකම්පාවක් ඇතිවුණා. ඒ වගේම මට හරි සතුටක් ඇති වුණා මොන දුෂ්කරතාවයේ හිටියත් මරණ දඬුවම වගේ දඬුවමක් විඳින කෙනෙක්. ඒ වගේ කෙනෙකුට තමන්ගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න කොච්ච අඩුවෙන්ද තියෙන්නේ. ඒ වගේම ඔහුට තියෙන උනන්දුව කොච්චරද? ඉතින් මම කරපු දේ කාමරේ හිටපු අනිත් තුන්දෙනා වෙන කාමරවලට මාරු කරල ඔහුට තනියම පාඩම් කරන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම පොඩි බංකුවකුත් මේසයකුත් ලබා දීලා කාමරයට පොඩි ලයිට් එකකුත් දාලා දුන්නා. ඔහු ඉගෙන ගත්තේ එහෙමයි. අපි ඔහුව විභාගය ලියන්න එක්කරගෙන ගියා. ඔහු උපාධිය සමත් වුණා. 


 ‘විභාග ප්‍රතිඵල ආපු දවසේ ඔහු මට කිව්වා ඒක මට අද වගේ මතකයි. ‘සර් මම උපාධිය සමත්. මට උපාධි ප්‍රදානෝත්සවයට යන්න පුළුවන් වෙයිද’ කියලා. මට එක පාරටම උත්තරයක් දෙන්න බැරිවුණා. මම කිව්වේ එකම දෙයයි. ‘මම කොහොම හරි ඔබව එක්කරගෙන යනවා’ කියලා. මේ මොහොත වන විට බන්ධනාගාර ඉතිහාසයේ කවදාවත් මෙහෙම සිරකරුවකු උපාධි ප්‍රදානෝත්සවයට රැගෙන ගිහින් නෑ. මේක තමයි බන්ධනාගාර ඉතිහාසයේ පළමු අත්දැකීම. ඊට පස්සේ මම එවකට සිටි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා මුණගැහිලා විස්තරය කිව්වා. ‘මමම මොහු බාරව යන්නම්’ කියලා කිව්වා. ඔහුට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඔහුගේ බිරිඳ ගෙනත් තිබුණා. අපිත් දුන්නා. ඔහු අඳින්න හිටියේ බන්ධනාගාරයෙන් දෙන සුදු ඇඳුම. ඒ ඇඳුම වෙනුවට ටයිකෝට්වලින් සැරසිලා තමයි බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේ තිබුණ උපාධි ප්‍රදානෝත්සවයට ගියේ.’ 


‘ඊට පස්සේ දවසක ඔහු කිව්වා ‘සර් මට පශ්චාත් උපාධිය කරන්න ඕනෑ’ කියලා. ඊට පස්සේ අපි ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කළා. මුලින් වගේම අපි පොත්පත් හොයලා දුන්නා. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශාල වශයෙන් උපකාර කළා. බමුණුසිංහගේ බිරිඳ විශේෂයෙන්ම මතක් කරන්න ඕනැ. එතුමිය නිතරම මගෙත් එක්ක කතා කර කර මොහුගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළා. එතුමිය හැම තැනම ඇවිද්දා. හැම විශ්වවිද්‍යාලයකටම ගියා. ආචාර්යවරුන් හමුවුණා. අවසානයේදී මොහු පශ්චාත් උපාධියත් ඉහළින්ම සමත්වුණා.’ 


‘පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවය තිබුණෙත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ. මමමයි ඔහු එදත් එක්කර ගෙන ගියේ. ටයිකෝට්වලින් සැරසිලා තමයි එදත් ඔහු ගියේ.’ 


‘ඒ උපාධි ප්‍රදානෝත්සවයෙ විශේෂත්වයක් තිබුණා. එතැන හිටපු අනෙකුත් සෑම පශ්චාත් උපාධිධාරියෙක්ම සාමාන්‍ය පුරවැසියන්. එහෙත් මරණ දඬුවම නියම වුණත් ඔහු ශිෂ්‍යයකු හැටියට තමයි උපාධිය ගත්තේ. මුළු උත්සව ශාලාව පුරාම මොහු පිළිබඳව සුවිශේෂී තත්ත්වයක් තිබුණා. මටත් සතුටුයි. බන්ධනාගාර රැඳවියෙකු හැටියට බන්ධනාගාර ඉතිහාසයෙ පළමුවැනි පශ්චාත් උපාධිධාරියා බිහි කරන්න ඔහුට මග පෙන්වන්න මට හැකිවීම ගැන. උත්සවයෙන් පසුව ඔහු ගැන හැමතැනම ප්‍රචාරය වුණා. ඔහුට මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක් ලැබුණා.’ 


‘ඒ වගේම කියන්න ඕන ඔහු බන්ධනාගාරයෙ සිටියදීම දහම් පාසල් අවසාන විභාගයත් සමත් වුණා. ඔහු බන්ධනාගාරයේ සාහිත්‍ය කටයුතුවලටත් දායක වුණා. මට පුළුවන් වුණා මගේ කාලය තුළදී බන්ධනාගාරය තුළින් බන්ධනාගාර නිලධාරියකු හැටියට එළිදක්වපු ලෝකයේ පළමු කාව්‍ය සංග්‍රහය එළිදක්වන්න. ඒ කාව්‍ය සංග්‍රහයෙ නම ‘සිපිරිගෙය පාමුල’ ඒ සඳහාත් මොහුගේ දායකත්වය ලැබුණා. සාහිත්‍ය සංසදයක් අපි හැදුවා. ඒකටත් මොහු සම්බන්ධ වුණා. විශේෂයෙන්ම කිව යුතුයි මොහු කිසිම විටෙක තමන්ට ලැබුණු දඬුවම ගැන හිතුවේ නෑ. ඔහු හැමදාම හිතුවේ අධ්‍යාපන කටයුතු කරගෙන යන එක ගැන. ඔහු මට කියන දෙයක් තමයි ‘සර් මම අවුරුදු නවයක් තිස්සේ මේ බන්ධනාගාරයේ ඉන්නවා. ඇත්තම කිව්වොත් මම එළියේ හිටියා නම් මට මේ කිසිම දෙයක් කරගන්න ලැබෙන්නේ නෑ. මගේ කාලය රැකියාවට දිය වෙයි. නමුත් මට මේක අවස්ථාවක් වුණා. මේක කරගන්න. මම දැනුමෙන් පෝෂණය වුණා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ලෝක බන්ධනාගර ඉතිහාසය තුළ පශ්චාත් උපාධිය ලබාගත් හය වැන්නා මොහු. අපට ඒක ඉතාම ආඩම්බරයට කාරණයි. කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බැරි කෙනෙක් හැටියට වුණත් බලාපොරොත්තු සහගතව ජීවිතයට මුහුණ දෙන්න ඔහුට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසය තුළ ඉන්දික බමුණසිංහ විශේෂිත පුද්ගලයකු බවට පත්වෙනවා. ඔහුට අවශ්‍ය පරිසරය සකස් කිරීම හා අවශ්‍ය පහසුකම් මෙන්ම මග පෙන්වීමට හැකිවීම ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්’ චන්දන ඒකනායක මහතා කීවේය. 


ඉන්දික බමුණුසිංහ තවමත් 38 හැවිරිදිය. හොරණ, ඉලිඹ ගමේ උපන් බමුණසිංහ තරුණයකු බවට පත්වන්නේ නමක් දිනූ බොක්ෂින් ශූරයකු ලෙසය. එහෙයින්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශයට ඔහුට පහසුවෙන් එක්වීමට හැකි විය. 2004 වසරේදී ඔහුට උපපොලිස් පරික්ෂක තනතුර හිමි විය. 2013 වසරේදී ඔහුට මෙම ඉරණම් ගමන ඒමට සිදුවිය. 


 ‘මොනවද අනාගත බලාපො​රොත්තු’ මම ඇසුවෙමි. ඔහු හිස් හැඟීමෙන් මදෙස බලා යම්තම් සිනාසුණි. එපමණකි.

 

 

 සටහන 
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්