සන්ධ්‍යා සිය මව වන ප්‍රවීණ ලේඛිකා රත්නා කහඳගමගේ සහ සොහොයුරා වන ප්‍රබෝධ කහඳගමගේ සහ නැගණිය අභිලාශි කහඳගමගේ සමග කලකට ඉහත ගත් ඡායාරූපයක්
රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශාධිපතිනි,
මහාචාර්ය සන්ධ්‍යා කහඳගමගේ
තාත්තාට වැඩියෙන්ම ලැබුණේ දඬුවම් මාරු
ටියුෂන් යන්න පුළුවන්කමක් තිබුණේ නෑ
-තාත්තා වැඩ කළ සින්නවත්ත ඉස්කෝලෙ කොටි කඩලා අරගෙන ගිහින් තිබුණේ ඇදිහස බිස්කට්
ගඩා ගෙඩි කකා කුඹුරු උඩින් කි.මී.දෙකක් විතර පයින් ගියා
අම්පාරේ, වැරන්කැටගොඩ පාසල් ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නෑ
පියසේන කහඳගමගේ නාමය අපේ රටේ කිසි දිනක අමතක නොවන නාමයක් වන්නේ - ඔහුගෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදුවූ සේවාව සුළුපටු නොවන නිසාය. වෘත්තියෙන් ගුරුවරයකු වූ එතුමා, ගුරු සංගම් නායකයකු ලෙස තම වෘත්තියේ අනාගතය හා අභිවෘද්ධිය වෙනුවෙන් දරදිය ඇද කළ අනුපමේය මෙහෙවර තුළ විඳි අනේක විද දුක්ඛ දෝමනස්සයන් ද බොහෝමය.
ගුරු සංගම් නායකයකු ලෙස පෙරමුණ ගත් එතුමා ඒ හේතුව නිසාම ලංකාවේ ඈත කෙළවර අති දුෂ්කර ගම්මානවල පිහිටි පාසල්වලට දඬුවම් මාරු ලැබූ අතර - ඒ සෑම ස්ථාන මරුවක් ම මැදිහත් සිතින් භාර ගන්නේ හැම තැනම සිටින්නේ අපේ දරුවන් ය යන හැඟීමෙනි. තම ජීවිතයට අපමණ සවියක් වූ තම බිරින්දෑ, රත්නා කහඳගමගේ ට තම දූ දරුවන්ගේ රැකවරණය පවරා වරින්වර ස්ථාන මාරුවීම් ලබන ඒ ගම් බිම් තමන්ගේ කරගනිමින්, ගමේ දරුවන්ට හය හතර කියා දෙන අතරේ, ඒ තුළ ඇති ජනාශ්‍රැතිය මනා ලෙස ග්‍රහණය කරගනිමින් - ජනවහර, ජනකතා ආදිය තුළින් හෙළ සාහිත්‍යය ද පෝෂණ ය කළේ අපේ සාහිත්‍යයට නවාංගයක් එක් කරමිනි.
![]() |
සන්ධ්‍යා කහඳගමගේ |
මේ කතාව ඔහු ගැන නොවේ. ඔහුගේ දිවි පෙවෙතින් බොහෝ දෑ උගෙන ජීවිතය දිනාගත් පියසේන කහඳගමගේ නම් අව්‍යාජ සාහිත්‍යවේදියා ගේ වැඩිමහල් දියණිය පිළිබඳව ය. ඇය රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපතිනිය ලෙස පසුගියදා තේරී පත්වූ මහාචාර්ය සන්ධ්‍යා කහඳගමගේ ය.
“මගේ පවුලේ හිටියෙ අම්මයි තාත්තයි - මල්ලිලා දෙන්නයි, මමයි, නංගියි. තාත්තා වෘත්තියෙන් ගුරුවරයෙක්. එමෙන්ම ගුරු සංගම් නායකයෙක්. ඒ වගේම පුවත්පත් වාර්තාකරුවෙක්. මේ හේතූන් මත තාත්තාට දඬුවම් විදියට කීප තැනකටම ස්ථාන මාරු ලැබුණා. ඒ නිසා අපිත් බොහෝ තැන්වල ජීවිතේ ගතකරලා තියෙනවා. මගේ ළමා කාලෙ ගෙවෙන්නේ අම්පාරේ, ගල්ඔය ජනපදයේ. ඒක අති දුෂ්කර ගම්මානයක්. පාසල් ගියේ කිලෝමීටර් දෙකක් විතර පයින්. ඒ අම්පාර වෑරන්කැටගොඩ මහා විද්‍යාලයට. ඒ තමයි ජීවිතේ සුන්දරම කාලය ගෙවුණු පාසල. ඒ පාසල එක්ක තියෙන හොඳම මතකය තමයි අපි වෙස්සන්තර නාට්‍යය පෙන්නන්න ලෑස්ති වුණු එක. ඒකෙ පිටපත ලියලා දුන්නෙ අපේ අම්මා. ගැහැනු ළමයි විතරයි රඟපෑවෙ. ඒක පුරුදු වුණේ පාසල් එළිමහනේ. ඉස්කෝලෙ පිටුපස තරමක කැලෑවක් තියෙනවා. අපි ඉතින් වැල්වල එල්ලිලා, කැලෑ අස්සෙන් යනවා වංකගිරියේ යනවා කියලා. අපි මේ නාට්‍යය අවුරුද්දක් විතර පුරුදු වුණා. පන්තියට ආව ගුරුවරයකු ගෙන් ගුටි කනතුරුම. කොහොම හරි මේ නාට්‍යය අපිට පෙන්වන්න පුළුවන් වුණේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයටයි නායිකාවටයි විතරයි. ඒ නාට්‍යය කවදාවත් වේදිකාවක පෙන්වන්න ලැබුණේ නෑ. ඒ නළු නිළියන් අතරේ ඇතිවෙන පුංචි පුංචි අඩ දබර නිසා.”
“අපි ඉස්කෝලෙ යන පාර දෙපැත්තේ කැළෑ අස්සෙ තියෙන ගඩා ගෙඩි කඩාගෙන කාලා කුඹුරු මැදින්, ඇළවේලි උඩින් ඉස්කෝලෙ ගියහැටි අද චිත්‍රයක් වගේ මැවෙනවා. මට මතක හැටියට සපත්තු දැම්මේත් නෑ. එහෙම අරන් දෙන්න තාත්තට පුළුවන් කමකුත් තිබුණෙ නෑ. ඒ දවස්වල ගමේම යාළුවො එක්ක අපි ගල් හත කඩනවා. ඒකට ගන්නෙ කැඩුණු ගඩොල් කෑලි හතක්. ඒ කෑලි එක පිට එක කියනවා. ඒකට ගහන්න රබර් බෝලයක්වත් අපිට තිබුණෙ නෑ. කාගෙ හරි සෙරෙප්පුවක් තමයි බෝලෙ වෙනුවට ගන්නෙ”
“තාත්තා අන්තිමට වැඩ කළේ අම්පාර සින්නවත්ත විදුහලේ. ඒ පාසලට සෑහෙන දුරක් යන්න තියෙනවා බයිසිකලයෙන්. පාසලේ හිටියෙ ළමයි පහයි, ගුරුවරු තුනයි. දවසක් ඉස්කෝලෙ හොරු කඩලා කොටි. අරගෙන ගිහින් තිබුණෙ ඇදිහස බිස්කට්. ඉස්කෝලෙ කොටි කැඩුවට පස්සෙ වෙන තැනක තමයි අනුයුක්තයක් විදියට තාත්තට අත්සන් කරන්න තිබුණෙ. තාත්තා උදේට යනවා - අත්සන් කරනවා, හවසට එනවා. ඒකට මුළු දවසම යනවා. මොකද ඒ පාසල තිබුණෙත් සෑහෙන දුරක. මේ ගමනත් හරිම අනතුරුදායකයි. අන්තිමට තාත්තට අත්සන් කරන්නවත් පාසලක් නැතිවුණා. මේ කාලෙ වෙද්දි තාත්තා පුවත්පත් කලාවේදියෙක් ලෙස වැඩ කරනවානෙ. ඒකත් හේතු වුණා තාත්තට මාරුවීමක් නොදෙන්න. ඊට පස්සෙ තමයි ආත්තම්මා ඇවිත් අපිව ගාල්ලට අරගෙන එන්නෙ. ඒකට හේතුව වුණෙත් විවිධ තර්ජන තිබුණු නිසා. අපි ගාල්ලෙ ඉස්කෝලවලට දැමූ නිසා තාත්තා අම්පාරෙන් ගාල්ලට එන්නේ.”
“ඒ කාලෙ විශ්වවිද්‍යාලය දුන්නේ පදිංචිය ආසන්න ම තැන ඇති විශ්වවිද්‍යාලයට. වි.ජ.මු. ඇමැතිවරයා තමයි මේ ක්‍රමවේදය ඇති කළේ. අම්පාරෙ ළමයින්ට නම් පේරාදෙණිය. ගාල්ල, මාතර අයට රුහුණ. මම රුහුණ ඉල්ලන්නෙ නැතිව කොළඹ ඉල්ලුවා. නමුත් ලැබුණෙ නැහැ. ඊට පස්සෙ වි.ජ.මු. ඇමතිවරයා ගෙන් ගිහින් ඇහුවම කිව්වෙ ළකුණු පදනම මතයි දැම්මෙ කියලා. නමුත් අපේ ඉහළම ලකුණු තිබුණු කීප දෙනෙක් පේරාදෙණියට දාලා තිබුණා. අනෙක් සේරම රුහුණෙ. පස්සෙ කිව්වා ලකුණු මත නෙමෙයි විශ්වවිද්‍යාලය දුන්නේ ප්‍රදේශය මත කියා.
අම්පාරේ ළමාවිය ගෙවූ සන්ධ්‍යා - අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලෙන් ද අධ්‍යාපනය ලැබ ඉනික්බිති පැමිණෙන්නේ ගාල්ලේ බද්දේගම ටය. ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව බාලිකාවට ඇතුළත් වන ඇය උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ එම පාසලේ ය. සිය පියාගේ ඇවෑමෙන් කලාව සාහිත්‍යයට වඩා කැමැත්තක් දැක්වූ ඇය උසස් පෙළට තෝරගන්නේ ද කලා විෂයන් ය.
“ඒ කාලෙ අගහිඟකම් බොහෝමයක් තිබුණා. මම කවදාවත් ටියුෂන් පන්තියකට ගියේ නෑ. යන්න ඕනෑකම තිබුණත් අපිට සල්ලි තිබුණෙත් නෑ. ඒ දවස්වල ටියුෂන් ගාස්තුව රුපියල් විස්සයි. ඒත් ඒ මුදලවත් ගෙවාගන්න බැරි කාලයක් තිබුණෙ. මම බද්දේගම රතනසාර පිරිවෙනට නම් ගියා ඉගෙන ගන්න. විභාග වෙනුවෙන් ලොකු කැපකිරීම් කරපු කෙනෙකුත් නෙමෙයි මම. හැබැයි අවබෝධයෙන් නිතරම හිටියා. මොකද මගේ පාරේ තමයි නංගිලා මල්ලිලා එන්නෙත්. කොහොම හරි අන්තිමට මම උසස් පෙළ සමත්වෙනවා.”
“ඒ කාලෙ විශ්වවිද්‍යාලය දුන්නේ පදිංචිය ආසන්න ම තැන ඇති විශ්වවිද්‍යාලයට. වි.ජ.මු. ඇමැතිවරයා තමයි මේ ක්‍රමවේදය ඇති කළේ. අම්පාරෙ ළමයින්ට නම් පේරාදෙණිය. ගාල්ල, මාතර අයට රුහුණ. මම රුහුණ ඉල්ලන්නෙ නැතිව කොළඹ ඉල්ලුවා. නමුත් ලැබුණෙ නැහැ. ඊට පස්සෙ වි.ජ.මු. ඇමතිවරයා ගෙන් ගිහින් ඇහුවම කිව්වෙ ළකුණු පදනම මතයි දැම්මෙ කියලා. නමුත් අපේ ඉහළම ලකුණු තිබුණු කීප දෙනෙක් පේරාදෙණියට දාලා තිබුණා. අනෙක් සේරම රුහුණෙ. පස්සෙ කිව්වා ලකුණු මත නෙමෙයි විශ්වවිද්‍යාලය දුන්නේ ප්‍රදේශය මත කියා. අන්තිමට තර්ක කළා අපි. අන්තිමට මාරුවීම් ඉල්ලපු සියලු දෙනාටම දුන්නා. මම තේරෙන්නෙ රුහුණට නෙ. එතැන ඉඳලා මාරුවීම් ඉල්ලපු ගොඩක් දෙනෙක් කොළඹට තේරෙනවා. ඒ විදියට තමයි මම කොළඹ විශ්වවිද්‍යාලයට එන්නේ.”
පාසල් අධ්‍යාපනය ලබන කාලයේ අතිදුෂ්කර ප්‍රදේශවල ජීවිතය ගෙවන සන්ධ්‍යාට කොළඹ විශ්වවිද්‍යාලය අමුතු තැනක් නොවීය. පියසේන කහඳගමගේ නාමය සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රචලිත වූවක් ව තිබීමෙන් - ඇය ද සරසවියේ නොදන්නා කෙනකු නොවීය.
“1994 අවුරුද්දෙ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ. 1998දී එළියට එනවා. ඇත්තටම අපට රැග් එකක් තිබුණෙ නැති තරම්. බොහොම සුන්දර කාලයක් ඒක. විශ්වවිද්‍යාලයේ තිබුණු හැම වැඩකටම මමත් එකතු වුණා. සුන්දරම සිදුවීම තමයි අපිට පළමු වසරෙදි කාඩ් එකක් වැටෙනවා නෙ. කාඩ් එක කවුද දැම්මෙ කියලා සීනියර් කෙනෙක් ඇහුවම පාවා දෙන්න බෑ. ඒක දාගත්තෙ මමයි කියලා කියන්න ඕන. ඒ නිසා මගේ කාඩ් එක මම ම දාගත්තා කහඳි කියලා. ඉතින් කැම්පස් එකෙන් එළියට එනකම් ම මම ජනප්‍රිය වුණේ ඒ නමින්. ඒ කාලෙ තාත්තාට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තිබුණා. විශේෂයෙන් වනවදුලේ වසන්තය නවකතාව නිසා. ඒ නිසා වෙන්න ඇති මමත් විශ්වවිද්‍යාලය ඇතුළේ බොහෝ දෙනෙක් හඳුනා ගත්තා. කොහොම හරි අවසානයේ ප්‍රථම පන්ති සාමාර්ථයක් එක්ක තමයි උපාධිය දිනාගන්නේ.”
උපාධිය හිමිවීමත් සමගම කොළඹ විශ්වවිද්‍යාලයේම තාවකාලික සහාය කථිකාචාරිනියක ලෙස සේවයට එක්වන ඇය - එහි රාජකාරි කරන අතරේ රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාශයේ ආධුනික කථිකාචාරිනියක ලෙස ස්ථීර සේවයට එක්වන්නේ 2000 වසරේය. ඒ ආ ගමන් මග තුළ රුහුණ විශ්වවිද්‍යාලයට ඇයගෙන් ඉටුවූ සේවාව සුළුපටු නොවේ. විශ්වවිද්‍යාලය තුළ බොහෝ තනතුරු දරමින්, වගකීම් ඉටුකරමින් උපරිමයෙන් රාජකාරි කටයුතු සිදුකරන ඇය පසුගිය දා සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති තනතුරට පත්වන්නීය.
“විශ්වවිද්‍යාල ජීවිතයේ ගුරු භූමිකාව හරිම සංකීර්ණ දෙයක්. මොකද මෙතනට එන්නේ තරුණ දරුවන්. එතැන එක එක විදියේ අදහස් දරන දරුවන් අපට මුණගැහෙනවා. විශේෂයෙන් ගැහැනු දරුවන්. මොකද මේ වෙද්දි අපේ අධ්‍යනාංශයට පිරිමි දරුවන් එනවා අඩුයි. මේ දරුවන් අතරේ ඇතැම් දරුවන් ඉන්නවා නොයෙක් විදියේ ප්‍රශ්න තිබෙන. බොහෝ අයට නිවසෙන් වත් ආදරය ලැබිලා නැහැ. ඒ දරුවො කාගෙ හරි ආදරයක් තමයි සොයන්නේ. බාහිර සමාජය එක්ක ගනුදෙනු අඩුයි ඇතැම් දරුවන්. ඔවුන් පාලනය කිරීම හරිම ප්‍රවේසමෙන් කළ යුතුයි. බොහෝ අය අපිට නිරන්තරයෙන් සමීප වනවා. ඔවුන්ගේ ප්‍රශ්න කියනවා. නමුත් එදා වගේ නෙමෙයි අද විශ්වවිද්‍යාලයක් තුළ ළමයින් ප්‍රමාණය අධිකයි. ඇතැම් වෙලාවට අපට වුණත් ළමයින් මතකයේ රැඳෙනවා අඩුයි. සමහර ළමයින්ගේ ගැටලු හිතාගන්නවත් බැහැ. හරිම ප්‍රවේසමෙන් හා වගකීමකින් තමයි ඒ පිළිබඳව කටයුතු කළ යුත්තේ”
ලංකාවේ විවිධ ප්‍රදේශවල තම ළමා විය, යොවුන්විය ගෙවා දැමූ සන්ධ්‍යාගේ අද ස්ථිර පදිංචිය දෙවුන්දර ය. වෘත්තියෙන් ගුරුවරයකු වූ අනුර හේරත් ඇයගේ ස්වාමිපුරුෂයා ය.
![]() |
ප්‍රවීණ ලේඛක පියසේන කහඳගමගේ |
“අපිට ඉන්නේ පුතයි-දුවයි. පුතා පරිගණක ඉංජිනේරුවරයකු ලෙස උසස් අධ්‍යාපනය හදාරනවා. ඇත්තටම ඔහු අපටවත් බරක් නැති දරුවෙක්. ඔහුගේ වියදම් පවා සොයා ගන්නවා. අද වෙද්දි තරුණ දරුවො ඉගෙන ගන්න ගමන් විවිධ ස්වයං රැකියාවලට යොමු වෙලා තියෙනවා. ඒක ඇත්තටම මම දකින්නේ හොඳ ප්‍රවණතාවක් ලෙසයි. අපේ කාලේ එහෙම තිබුණෙ නැහැ. අපි හැම වෙලාවෙම යැපුණෙ මව්පියන් ගෙන්. අද වෙද්දි තරුණ දරුවො තමන් ඉගෙන ගන්න දේ තුළින් ඒ කාලයේදීම මුදල් උපයන්න පෙළඹෙනවා. ඉගෙන ගන්න කාලෙදී ම වගකීම් දරන්න පුරුදු වීම ඉතා හොඳ ප්‍රවණතාවක්. හැබැයි මෙහිදී මෙය සාධනීය වෙන්නත් පුළුවන්. නිශේධනීය වෙන්නත් පුළුවන්.”
“දුව තාම උසස් පෙළ හදාරනවා. මම මගේ රැකියාව එක්ක බොහෝ කාර්ය බහුලවන අවස්ථා වැඩියි. ඒ වුණත් අපේ වැඩ අපිම කර ගන්නවා. මහත්තයා ගෙන් දරුවන් ගෙන් පවා උපරිම සහයෝගය ලැබෙනවා. කාන්තාවක, මවක, බිරිඳක, දියණියක ලෙස මම මට පුළුවන් උපරිමයෙන් යුතුකම් ඉටුකරනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලය තුළ සිටින දරුවන් මගේ දරුවන් හා සමානයි. ඒ දරුවන් රටට වැඩදායී ලෙස මේ රටේ ඉහළ තැන්වල ඉන්නවා දැකීම තමයි ජීවිතයේ අපට ලැබෙන එකම සතුට. එහෙම දරුවො ඕනෑ තරම් මේ විශ්වවිද්‍යාලය ඇතුළෙන් බිහිවෙලත් තියනවා”
ළමා වියේ සිටම ජීවිතයේ නේක විද අභියෝග හමුවේ නොසැලී සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට පැමිණීම සුළු පටු කාරණාවක් නොවේ. ජීවිතය අතිශය කාර්ය බහුල වුවද - තම පියාගෙන් උරුම වූ ලේඛන කලාව අත නොහැරි සන්ධ්‍යා මේ වනවිට සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට පර්යේෂණ කෘති, ජනශ්‍රතිය, ජන ව්‍යවහාර, ළමා කෘති ගණනාවක් දායාද කර දී ඇත. ඇය විසින් රචිත කෘති කිහිපයක්ම දකුණු පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ජයග්‍රහණ හිමිකර ගෙන ඇති අතර රාජ්‍ය සහිත්‍ය සම්මාන උළෙලේ නිර්දේශයට ලක්වී තිබීම ද විශේෂත්වයකි.
“මගේ ජීවිතයේ කවදාවත් ලොකු බලාපොරොත්තු තිබිලා නැහැ. මොකද මට තිබුණෙම පෙනෙන දුරක බලාපොරොත්තු විතරයි. නමුත් තව කෙනෙකුට එහෙම තියෙන්න පුළුවන්. බලාපොරොත්තු එක්ක තමයි මිනිස්සු ජීවිතය ගෙන යන්න ඕන. නමුත් මට තිබුණේ දීර්ඝකාලීන බලාපොරොත්තු නෙමෙයි. ඒ මගේ චරිතයේ හැටි. මට මතකයි මම අම්පාරේ ඉඳලා ගාල්ලට එනවිට මගේ බඩු මුට්ටු දාගෙන ආවෙ සූට්කේස් එකක. ඒක ආත්තම්මා පරෙස්සමට අරගෙන තැබුවා මට විශ්වවිද්‍යාලෙට යනකොට ගෙනයන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙ මම හිතුවේ ’අනේ මම යන විශ්වවිද්‍යාල’ කියලා. විභාගයකට මුහුණ දෙනවිට කවදාවත් ලොකු බලාපොරොත්තු තියා ගත්තෙ නෑ. ඒ අවස්ථාව අනුව මුහුණ දුන්නා විතරයි. මේ ඉන්න තනතුරු වුණත් අද තිබිලා හෙට නැති වේවි. ඒවා සාමාන්‍ය දේවල්. පසුගිය කාලයක මම ඉතා දැඩි සේ අසනීප වුණා. එතැනදී මට දැණුන දේ තමයි අපි මොන තරම් දේවල් රැස්කරත් මේ ජීවිතේ යම් තැනකදී අපට ඒ සියල්ල අතහරින්න වෙනවා කියන එක. මට ඒ අවස්ථාවේ අතහරින්න බැරිව තිබුණේ මගේ දියණිය විතරයි. මොකද ඇය ඒ වනවිට ජීවිතේ පටන් ගන්න හදන දැරියක නිසා. මම මගේ රැකියා ජීවිතයේ උපරිමයෙන් වගකීම් ඉටුකළා කියන සතුට තිබෙනවා. මගේ පවුල වෙනුවෙන් බොහෝ දේවල් කළා කියන සතුට තියෙනවා ජීවිතයට ඒ ඇති”
සුජිත් ප්‍රසංග