සරසවි උපදේශිකාව බිලිගත් උතුවන්කන්දේ සරදියෙල් ගල


උතුවන්කන්දේ සරදියෙල් ගල

 

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උතුවන්කන්ද අද උසුලන කීර්තියට මූලික වශයෙන් හේතු වී ඇත්තේ “සූර සරදියෙල්” නම් වීරවරයා නිසා බව ප්‍රකට කරුණකි. සමහර දෙනෙක් මොහු හඳුන්වන්නේ “ලංකා රොබින්හුඩ්” යනුවෙනි. ඒ නිසාම බොහෝ දෙනකු උතුවන්කන්ද කඳු ශිඛරය “සූර සරදියෙල් ගල” නමින් ද හඳුන්වයි. මෙම ගල් පර්වතය දෙස් විදෙස් බොහෝ සංචාරක ආකර්ෂණයට ලක් වී ඇති හෙයින් දිනපතා මෙම ගල් පර්වතය තරණය කිරීමටත් එහි විවිධ වූ ගවේෂණ කටයුතුවල නිරත ​ෙවන්නටත් පිරිස් පැමිණෙති. සතියේ නිවාඩු දිනවලදී සංචාරකයන් බොහෝ සෙයින් මෙහි පැමිණෙන අතර පසුගිය දිනක මෙහි සිදු වූ පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨ සහාය උපදේශිකාවගේ ඛේදවාචකය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වීමත් සමග උතුවන්කන්ද කඳු ශිඛරය ගැන කථිකාවක් ඇති විය. උතුවන්කන්ද කන්ද තරණයේදී ඇයට මෙම අනතුර සිදු වී තිබුණේ කන්දේ ඉහළ කොටසේ දැඩි අවදානමක් සහිත කොටසකින් කන්ද තරණය කිරීමට යෑමේදී කොළ රොඩු ඇති ස්ථානයක පය ලිස්සා යෑම නිසා ගල් තලාවෙන් පහළට ඇද වැටී හිස අභ්‍යන්තරයට ලේ ගැලීම හේතුවෙන් බව මරණ පරීක්ෂණයේදී හෙළි විය. මීටර් 100ක ප්‍රපාතයට ඇය වැටී තිබුණි.

මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් 27 හැවිරිදි වීරශ්මි කොඩිතුවක්කු නමැති ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි සරසවි තරුණිය මියගිය අතර එම පවුලට සිටි එකම දියණිය සහ එකම දරුවා ඇයය.    මෑත කාලයේ උතුවන්කන්දේ සිදු වූ අවාසනාවන්තම ඛේදවාචකය මෙය වන අතර තරුණ බුද්ධිමත් විශ්වවිද්‍යාල උපාධියක් ලැබූ රටට වැඩදායී බොහෝ දේ අනාගතයට වටින ක්‍රියාවලීන් රැසක් කළ හැකි කෙනෙකුගේ අවාසනාවන්ත මරණයක් වූ නිසා මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල වැඩි ඉඩකඩක් ඒ වෙනුවෙන් වෙන් විය. මෙම මරණය සිදු වූ උතුවන්කන්ද නොහොත් සරදියල් ජීවත් වූ ගල් පර්වතය ඉතිහාසගත ස්ථානයකි. 
කොළඹ සිට පැමිණෙන විටදී මධ්‍යම කඳුකරයේ මුවදොර ළං වීමට පෙර මාවනැල්ල නගරයට ළඟා වෙද්දී ඒ අවට පිහිටා ඇති කඳු පන්ති අතර ස්වාභාව සෞන්දර්ෙ‌යන් අලංකාර වූ හරිත වර්ණ සහ කෙත් වතු අතරින් එකවරම අහස සිපගැනීමට මෙන් ඉහළ නැගුණු කඳු ශිඛරයක් දැකගත හැකි වන අතර එම ගල් පර්වතයේ මුදුනේ ඇති ගල් කුට්ටි කිහිපය බැලූ බැල්මට ඇත්තේ ඉපැරැණි බලකොටුවක ස්රූපයකිනි. අපේ රට යටත් විජිතයක්ව පැවැති සමයේ මෙය “කාසල් රොක්” ලෙස හැඳින්වූ අතර මෙරට ජනතාව මේ සුන්දර කඳු ශිඛරය “උතුවන්කන්ද” ලෙස හඳුන්වයි. තවත් සමහර දෙනෙක් සරදියෙල් ගල, උකුණු ගල යන නම්වලින් ද හඳුන්වනු ලබයි. සතර කෝරළ බිමට අයිති මෙම කඳු පන්තියේ එක් පැත්තකින් සුන්දර අලගල්ල, අනෙක් පසින් බතලේගල, දෙවනගල මෙන්ම සුන්දර මා ඔය නිම්නයේ සාරවත් කෙත්වතු පිහිටා ඇති මනස්කාන්ත ස්ථානයක ස්වාභාවික ලෙස උතුවන්කන්ද ශිඛරය පිහිටා ඇත්තේය. කොළඹ - මහනුවර මාර්ගයේ උතුවන්කන්ද ඔරලෝසු කණුව අසල සිට සැතපුම් 04ක් පමණ ගිය පසුව වම්පසින් අඩි 1410ක් පමණ උසැති උතුවන්කන්ද දැකගත හැකි වෙයි. 


උතුවන්කන්ද අද වනවිට උසුලන කීර්ති නාමයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ “සූර සරදියෙල්” නම් වීරවරයා නිසාය. ඔහු එවක ඉංග්‍රීසි පාලනයට තදින් විරුද්ධ එම මතවලට පටහැනි ලෙස වැඩ කරන ලද තරුණයෙකි. ඉංග්‍රීසින්ට ද එම නම ඇසූ පමණින් ඇඟ කිලිපොළා යන තරමේ භයානක සොරෙකු, පරගැති සිංහල කළු සුද්දන්ට මංකොල්ලකරුවකු, කපටි මරක්කල (මුස්ලිම්) වෙළෙන්දන්ට කප්පම් එකතු කරන්නකු වුවත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගෙන් පෑගී මිරිකී ගිය අපේම දුප්පත් පොදු ජනතාවට සරදියෙල් වීරයෙකි. මෙම කතාව අපූරු මානව හිතවාදී කතාවක් මෙන්ම ජීවිත කතාව වීර ප්‍රබන්ධයක් නොවුණත් එයින් නූතන සමාජයට ගත හැකි ආදර්ශයන් රැසක්ද ඇත. 


කන්ද උඩරට 1815 වනවිට යටත් කරගත් ඉංග්‍රීසීන් මුළු රටම තම ආධිපත්‍යයට යටත් කර ගත්තේය. 1818 දී ඉංග්‍රීසීන්ට එරෙහිව මුල්ම කැරැල්ල කැප්පෙටිපොළ අදිකාරම් හා මඩුගල්ලේ නිලමේතුමාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ අතර ඔවුන් දෙදෙනාගේ හිස ගසා මරා දැමූ අතර ඉන් පසුව ඉංග්‍රීසීන්ට එරෙහිව කැරැලි ගැසූ ගොංගාලේගොඩ බණ්ඩා හා වීරපුරන් අප්පු ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මරා දමන ලදී. මෙවැනි කාල වකවානුවක ඉංග්‍රීසි ආණ්ඩුවට සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යුද ප්‍රකාශ කළ අයකු සිටියේ සරදියෙල් පමණි. බල සම්පන්න බොහෝ දෙනකු බියට පත් වෙමින් සිටි කාල වකවානුවක ඊට එරෙහිව නැගී සිටින අය ඝාතනය කළ සමයක ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටි තනි පුද්ගලයෙක් වශයෙන් සරදියෙල් එවක ප්‍රසිද්ධියට පත් වූවේය. 


ඉංග්‍රීසින් විසින් සිදු කරන ලද කෙනෙහිලිකම් මෙන්ම එම අසාධාරණයට එරෙහිව ඔහුට එවක පැවැති ඉංග්‍රීසින්ට විරුද්ධ ජන සමාජයේද සහාය තිබුණි. තම මිනිසුන් තලා පෙලන මෙම විදෙස් බලවේගයට එරෙහිව ඔහු නැගී සිටියේය. සමහර පරගැති කළු සිංහලයන් ඉංග්‍රීසින්ට කේළම් කියා ඉංග්‍රීසින් ලවා ඝාතනයට ලක් කළ සමයක සරදියෙල් තම තුවක්කුව ඉංග්‍රීසින්ට එරෙහිව භාවිත කළේය. මේ නිසාම සරදියෙල් හඳුන්වනු ලැබුවේ මෙරට වික්ටෝරියා මහ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව අවි එස වූ අටේ කණ්ඩායමට නායකත්වය දුන් කරත්තකරුගේ පුතෙකු ලෙසයි. 


සරදියෙල්ගේ බාල සහෝදරයන් හතර දෙනාම හලාවත රැගෙන ගොස් පල්ලියේදී බෞතීස්ම කළ අතර වැඩිමහල් සරදියෙල් අධ්‍යාපනය ලබන්නේ මාවනැල්ල අවට ගමේ විහාරස්ථානයකිනි. සරදියෙල් මෙලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වී ඇත්තේ ඒ අවට පිහිටා ඇති ඉලුක්ගොඩ විහාරස්ථානයෙන් බව කියවේ. 
මෙම විහාරස්ථානයේ පිරිවෙනක් පවත්වාගෙන ගිය අතර නායක හිමිවරුන් දෙනමකගේ මූලිකත්වයෙන් එම අධ්‍යාපන කටයුතු සිදු කළ අතර එහි අධ්‍යාපනය ලබන්නට පැමිණ ඇත්තේ කෝරළවරුන්, රටේ රාළ, ගම්මුලාදෑනීන් වැනි ප්‍රධානීන්ය. මෙම පිරිස සමග අධ්‍යාපන කටයුතුවල නිරත වනවිට නිරන්තරයෙන් සරදියෙල්ට මේ පිරිසෙන් විවිධ වූ කෙනෙහෙළිකම්වලට මුහුණ පාන්නට සිදු විය. සමහර අවස්ථාවලදී මොවුන්ගේ විවිධ වැඩ කටයුතු ආවතේව යනාදිය කරන්නට පවා සරදියෙල්ට සිදු විය. සමහර අවස්ථාවන්වලදී ධනපති පන්තියේ මේ පිරිසගෙන් විවිධ ඇනුම් පදයන් අවලාද පවා අසන්නට සරදියෙල්ට සිදු වූවේය. අධ්‍යපනය ලැබීමට ඉතා දක්ෂ තරුණයකු වූ සරදියෙල් වැලි පිල්ලේ අකුරු ලියන්නටත් කියවන්නටත් දක්ෂ සිසුවකු වීමද මේ සියලු කෙනෙහිළිකම්වලට නතු වීමට බලපෑවේය. සමහර අවස්ථාවලදී පන්ති භේදය නිසාම සරදියෙල්ට ධනපති පුත්‍රයන්ගේ අතින් පහර කෑම්වලට පවා නතු වන්නට සිදුවිය. මෙසේ කාලය ගතවෙද්දී ගම්මුලාදෑනියකුගේ පුත්‍රයකුට අයත් වටිනා හවඩියක් සරදියෙල් සොරකම් කළා යන චෝදනාව යටතේ එවක සිටි ගෝන්දිවෙල ආරච්චිල යන අය පොලිසියට කළ පැමිණිල්ලක් නිසා සරදියෙල් පොලිස් අත්අඩංගුවට පත් විය. අවුරුදු 16ක් පමණ වන සරදියල් පොලිසියෙන් නිදහස ලැබීමෙන් අනතුරුව අධ්‍යාපන කටයුතු පසක දා ධනපති පන්තියෙන් ලැබෙන කෙනෙහෙළිකම් නිසාම උතුවන්කන්දේ සිට කොළඹ බලා යන කරත්තයක සැඟවී කොළඹ ගියේය. ළමා කාලයේදී තම මවගේ කෝපි කඩේ වැඩ හොඳ හැටි පුරුදු නිසාම කොළඹ කෝපි කඩයක රැකියාව කරන්නට විය. ඉන් අනතුරුව කොළඹ කොටුවේ පිහිටා තිබූ යුද හමුදා බැරැක්කයක සේවා කළ හමුදා නිලධාරියකු ළඟ සේවයට එක් වී ඇත. එහිදී මනා අවි පුහුණුවක් ද ඔහුට ලැබුණි. එම සේවයේ අතරතුර ඉංග්‍රීසි පාලනයෙන් ජනතාව විවිධ තාඩන පීඩනවලට නතු වෙන බවත් අසාධාරණ ලෙස ජනතාව මේ නිසා බැට කන බව කාලයේ ඇවෑමෙන් තේරුම් ගත්තේය. සමහර පරගැති ඉංග්‍රීසීන්ට කත් අදින අපේ රටේ සමහර ජනතාව ගැන ඔහුට කේන්තියක්ද තිබුණි. එංගලන්තයෙන් පැමිණෙන සුද්දන්ට අපේ සිංහල, මුස්ලිම්, දමිළ සමහරක් විස්කි බෝතලයට සහ වයින් බෝතලයට රට පාවා දෙන අසාධාරණය ඔහුට දැකගත හැකි විය. 


අදටත් දැඩි වනරොදින් ගහණය වී ඇති උතුවන්කන්ද තරණය කරන අයකුට ගල්තලාව මත ගල්ගුහා සරදියෙල්ගේ වාසස්ථාන වූ ස්ථාන දැක ගැනීමට හැකියාව ඇත. මෙහි ඇති සමහර ගල් ගුහා තුළට බඩගාගෙන ගොස් රිංගා බැලිය යුතු අතර අඩි 30ක් පමණ ඇතුළතට මෙම මාර්ගය පිහිටා ඇති බව කිය වෙයි. සරදියෙල් මෙම වනරොද මැද්දෙන් ගොස් ක්ෂණිකව මෙම ගල් ගුහා තුළට රිංගන බව ජනප්‍රවාදයේ පවතී. උතුවන්කන්දට වී හුදෙකලා ජීවිතයක් ගත කළ සරදියෙල්ගේ හොඳම මිතුරා බවට පත් වන්නේ මම්මලේ මරික්කාර් සමකාලීනයකි. ඔහු මුස්ලිම් ජාතිකයකු වුවත් දෙදෙනා අතර ඇති කර ගත් මිතුදම පසුකාලයේ ඉංග්‍රීසි පාලකයන්ට මහා හිසරදයක් බවට පත් විය. මම්මලේගේ සහෝදරියක වන තංගම්මා සමග සරදියෙල් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් අතර පසුකාලයේ මේනකා වශයෙන් හඳුන්වන්නේ ඇය වන බව ද පොත්පත්වල සඳහන්ව පවතී. 


නිදහස් පරිසරයට ඉතා ඇලුම් කරන ලද ඔහු විටක උතුවන්කන්දේ ගල මුදුනට නැග උදෑසන සහ හවස් යාමයේ එම සුන්දරත්වය විඳින්නට පුරුදු වූ අතර අවට ප්‍රදේශයේ යම් සතුරු උපද්‍රවයන් තිබෙනවා දැයි විපරම් කරන්නටද අමතක නොකළේය. දිය නෑමට පිහිනීමටත් ඉතා කැමැත්තක් දැක්වූ නිසා විටක මා ඔය දෙසටත් විටක උතුවන්කන්ද පේන අරණායක නුදුරින් අසුපිණි ඇල්ල වෙත මෙන්ම මා ඔයෙහි බෝ ඇල්ල ප්‍රදේශයටත් ඔහු ප්‍රියමනාපයක් මෙන්ම ආශාවක් දැක්වූවේය. 


කොළඹ හමුදා බැරැක්කයෙන් පැන උතුවන්කන්ද වාසස්ථානය කරගෙන සිටියදී පොහොසත් වෙළෙන්දෙකු වූ නාටකෝටි චෙට්ටියාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද වරක් සරදියෙල්ට චෝදනා එල්ල විය. එම චෝදනාවට අත්අඩංගුවට ගත් අතර පසුව ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණ නිසා නිදහස් විය. මීගමුව ආසන්නයේදී පිලවත්තේදී සරදියෙල් කෝලාහලයකට පැටලී පොලිස් ඔත්තුකරුවකු පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙන් නැවත අත්අඩංගුවට පත් වූ අතර මිනීමැරුම් උදෙසා කොළඹට ගෙන ගොස් මහර බන්ධනාගාරයේ සිරගත කර සිටියදී එයින්ද පැන ගොස් උතුවන්කන්දේ නැවත වතාවක් අත්අඩංගුවට පත් වූ නමුත් එයින් ද පැන යෑමට ඔහු සමත් විය. 


ඉන් පසුවද සරදියෙල් විසින් තම අටේ කණ්ඩායම සමගින් දිගින් දිගටම රඹුක්කන, මාවනැල්ල, පොල්ගහවෙල, කුරුණෑගල, අරණායක වැනි ප්‍රදේශවල මංකොල්ලකමින් කටයුතු කළ අතර අරණායක ප්‍රදේශයේ පැවැති රා තැබෑරුමකට ද පැන එහි තිබූ මුදල් මංකොල්ල කා දුප්පත් ජනතාවට බෙදා දී ඇත්තේ ජනතාව මත්ද්‍රව්‍ය සහ සූදුවට හුරු කරන බව පවසමිනි. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට යම් යම් දේ පරිත්‍යාග කර මුදල් පසුම්බිය දීමට රැගෙන යද්දී සරදියෙල් ඇතුළු පිරිස් අවස්ථා කිහිපයකදී ඒවා මංකොල්ල කෑවේය. මේ අනුව බ්‍රිතාන්‍ය පරිපාලනය මාවනැල්ල අවට පොලිස් බලඇණි වැඩි වශයෙන් ස්ථාපනය කළ අතර සංචාරක භට ආයුධ සන්නන්ධ පිරිස් රැගත් රථ මගින් ආරක්ෂාව සලසන ලදී. 


සරදියෙල් කොටු කර ගැනීමට මාවනැල්ල වත්තේ පොලිසියක් ක්‍රි.ව. 1844 දී ස්ථාපනය කරන ලදී. හිඟුල පොලිසියක් ද බ්‍රිතාන්‍යයන් විසින් පිහිටු වූයේ සරදියෙල් අල්ලා ගැනීම උදෙසාය. ලෝකයේ තනි පුද්ගලයකු ඇල්ලීමට ස්ථාපනය කළ එකම පොලිස් ස්ථානය වන්නේද එයයි. ක්‍රි.ව. 1844 දී මාවනැල්ල පොලිසිය ද හුදෙක්ම සරදියෙල් ඇතුළු පිරිස සොයා නිරන්තරයෙන්ම කටයුතු කළහ. නමුත් සරදියෙල් කොටු කර ගැනීමට නොහැකි විය. උතුවන්කන්දේ සිට තම සගයන්ට අණ දුන් සරදියෙල් ඔවුන් පැමිණෙන අයුරු බලා කන්ද පාමුල ස්වාභාවිකව සෑදී තිබූ ගල්ලෙන් අතරින් අතුරුදන් විය. එම ගල් ගුහාවෙන් යන ඔවුන් මතු වන්නේ විවිධ ස්ථානවලිනි. කෙම්පිටිකන්ද බුදුගල්ලෙන රජමහ විහාරස්ථානයේ පිහිටි ගල්ගුහාව (මාවනැල්ල රඹුක්කන පාරේ යන විට හමුවන කෙම්පිටිකන්ද විහාරස්ථානය ඉහළින් පිහිටි ගුහාව. දැනට එහි ගුහා වැසී ඇත) එවැනි ආරක්ෂිත ගල් ගුහාවකි. මේ නිසාම මේ වේගවත් කුඩා මිනිසා අල්ලා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත් විය. 


කෙසේ හෝ සරදියෙල් සිය මව බැලීමට ඇයගේ නිවසට ගිය අවස්ථාවක පොලිසිය එම නිවස වටලා ඇති වූ වෙඩි හුවමාරුවේදී ඉන් සරදියෙල් පැන ගියත් සරදියෙල්ගේ කල්ලියේ සාමාජිකයකු කල්ලිය මගහැර පොලිස් ඔත්තුකරුවකු බවට පත්විය. 


1864 මාර්තු 21 වැනිදා සරදියෙල් මාවනැල්ල මා ඔයට යොදා ඇති ගඩොල් පාලමට නුදුරින් කොළඹ දිසාවට වන්නට ඇති මම්මලේ මරික්කාර් සමග එම නිවසේ සිටියදී ඔත්තුවකට අනුව එම නිවස පොලිස් කණ්ඩායමක් විසින් වටලන අතර එහි සිටි පොලිස් සාජන්වරයෙක් වන අහමත් සාජන්ට්වරයා සරදියෙල් වෙත වෙඩි තබා ඔහුට තුවාල සිදු කළ අතර මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් සබාන් ජීවිතක්ෂයට පත් විය. ඉන් පසුව සරදියෙල්, මම්මලේ මරික්කාර් කොටු වන අතර ඔවුන් මහනුවරට රැගෙන ගොස් නඩු විභාග කර දෙදෙනාම වැරැදිකරුවන් වූ පසු මරණ දණ්ඩනය නියම විය. විශාල ජනතාවක් ඉදිරිපිටදී 1864 මැයි 07 වැනිදා එල්ලුම් ගහ වෙත ගෙන ගොස් සරදියෙල්ට ජනතාව ආමන්ත්‍රණය කරන්නට ඉඩ දී පසුව එල්ලා මැරීමට ලක් කර ඇත්තේය. 


අදටත් සරදියෙල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී මියගිය කොස්තාපල් සබාන් මියගිය පොලිස් පළමු භටයා වන නිසා ශ්‍රී ලංකා පොලිසිය විසින්  මියගිය භටයින් සිහි කරන දිනය මාර්තු 21 වැනිදා සෑම වසරකට තෝරා එයද සිහිපත් කරයි. නමුත් තවමත් පාරම්පරික ජනතාවට මෙන්ම බොහෝ දෙනකුට සරදියෙල් වීරයකු වන්නේය. 

 

 

ඡායාරූප සහ සටහන
මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර