වැහෙන්න ගිය පාසලක් ගොඩදාලා වලපනේට බාලදක්ෂ ව්‍යාපාරයත් හඳුන්වාදීලා
විවිධ වෘත්තීන් හමුවේ ගුරු වෘත්තියට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීත ජන සමාජයේ සිටම ඕනෑම තරාතිරමක පුද්ගලයකු ගෙන් පවා වන්‍දනාමානයට පාත්‍ර වූ ගුරුවරයාට කළ හැකි මෙහෙවර අති විශාල බැව් උදාහරණ ඕනෑ තරම් පසුගිය කාල සීමාව තුළදී ද දැකගැනීමට ලැබුණි.
මේ වන විට අපේ රටේ රජයේ පාසල් සංඛ්‍යාව 10,096 කි. ඒ ජාතික පාසල් 396ක් සහ පළාත් සභා පාසල් 9,700ක් වශයෙනි. මෙම පාසල් පද්ධතිය තුළ සිසුන් 50ට අඩු පාසල් 1506ක් ද, සියයට අඩු පාසල් 1638ක් ද ඇත. මේ සියලු පාසල් තුළ ගුරුවරු 2,37,787ක් සේවය කරන අතර, ජාතික පාසල් ගුරුවරු 43,300ක් ද, පළාත් සභා පාසල් වල 1,94,487ක් සේවයේ යෙදී සිටිති. දිවයින පුරා ව්‍යාප්තව ඇති පෞද්ගලික පාසල් තුළ ද සෑහෙන ප්‍රමාණයක් ගුරුවෘත්තියේ නියැලෙති. ඒ සියලු දෙනාගේ ම කාර්යභාරය වී ඇත්තේ යහපත් සමාජයක් ගොඩනැගීමට යහපත් දරුවන් හැඩගැස්වීමේ අරමුණයි.
අපේ රටේ පාසල් අතරින් වැඩි ප්‍රමාණයක් ගම්බද ප්‍රදේශ වල පිහිටා ඇති අතර, ගමේ දරුවන් ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් අප්‍රමාණ කැපවීමකින් කටයුතු කරන්නේ ඒ පාසල්වලට පත්වීම් ලබා පැමිණෙන ගුරු භවතුන්ය. පිට ප්‍රදේශවලින් පැමිණෙන ඇතැම් ගුරුවරුන් කිලෝ මීටර් ගණනාවක් කඳු පල්ලම් තරණය කර, ඇළ වේලි, කුඹුරු මැදින් තම රාජකාරිය උදෙසා පාසල වෙත යාම අද දවසේ පවා සිදුවුව ද බොහෝ දෙනකුට එය සුරංගනා කතාවකි. ගම්බද බොහෝ පාසල් ආශ්‍රිතව හරිහමන් ගුරු නිවාසයක් වත් නොමැතිවීම, ඇතැම් ගුරුනිවාස ගරා වැටී අවම පහසුකමක්වත් නොමැතිවීම හේතුවෙන් පිට පළාත් වලින් පත්වීම් ලබා එන බොහෝ ගුරුවරුන් වඩාත් අසරණ වන්නේ නවාතැනක් සොයාගැනීමට නොහැකි වීමෙනි. ඒ කුමන අඩුපාඩුකම් තිබුණ ද අහිංසක දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් ඕනෑම දුකක්, පීඩාවක් විඳ දරාගනිමින් එවැනි පාසල්වල සේවය කරන ගුරුවරුන් වෙනුවෙන් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අගැයීමක් පවා ලැබෙන්නේ කලාතුරකිනි.
නූතනයේ ඊට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැකි වන්නේ සැබෑ ගුරු භූමිකාව තුළ හැසිරෙන ගුරුවරුන් අබිබවා සමාජ මාධ්‍ය හමුවේ හිස් චරිත ඉහළට ඔසවා තැබීමයි. අධ්‍යාපනය හරි හරියට මුදලට යොදවා දරුවන්ගේ ජීවිත බිල්‍ලට දෙමින් නැති ප්‍රතිරූප මවා පාමින් ගුරුවරුන් යැයි රඟ දක්වන ඇතැමුන්ට සමාජය තුළ ඇති ඉඩකඩ සැබෑ ලෙස ගුරු භූමිකාවට පණ දෙන අයකුට නොමැතිවීම කනගාටුවට කරුණකි.
රසාංජලී අතපත්තු උපන් ගම් පළාත මාතලේ උකුවෙලය. මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාවෙන් අධ්‍යාපනය ලබන ඇයගේ පියා ගුරු උපදේශකයකු ලෙස ද මව විදුහල්පතිනියක ලෙස ද කටයුතු කළ බැවින් - උපතින්ම ගුරු භූමිකාවේ හරය හඳුනාගෙන තිබුණේ ළමා වියේ සිටමය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලබා ආචාර්ය උපාධිය ද ලබන ඇය ගුරුවෘත්තියට පිවිසෙන්නේ විවාහ වී දරුවන් තිදෙනකු ගේ මවක වූ පසුවය. ඇයට පළමු උපාධි ගුරුපත්වීම ලැබෙන්නේ වලපනේ අධ්‍යාපන කලාපයේ නිල්දණ්ඩාහින්න තැන්නෙබෝධිය විදුහලටය.
“මම මාතලේ ඉඳලා වලපනේට පළමු පත්වීම බාරගන්න ගියේ අප්පච්චි එක්ක. මොකද මහත්තයා එතකොට කොළඹ වැඩ කළේ. අප්පච්චි කොහොමත් ඒ කලාපය ගැන දැනගෙන හිටියෙ. මමත් එක්ක එකම දවසේ පත්වීම බාරගන්න තවත් ගුරුවරියන් දෙදෙනෙක් හිටියා. බස් එකෙන් බැහැලා කිලෝ මීටර් එක හමාරක් විතර ඇතුළට පයින් යන්න ඕන පාසලට. ඒක හරි දුෂ්කර ගමනක්. පල්ලම්, අඩි පාරවල යන්න තිබුණේ. පාසල පේන තෙක් මානයේදි එක ගුරුවරියක් ආයෙත් හැරිලා ගියා පත්වීම බාරගන්න බැහැ කියලා. අනිත් ගුරුවරියත් රෝහල ගාව පල්ලම දැකලා ආයෙම හැරුණා මටත් බැහැ කියලා. ඒත් මමයි අප්පච්චියි පාසලටම ගියා.”
රසාංජලී ලද පාසල් අධ්‍යාපනයත්, මව්පියන් ගේ ආභාසයත් සමග පාසල් පිළිබඳව මෙන්ම ගුරුවෘත්තිය ලබා පන්ති කාමරයක කටයුතු කරන ආකාරය ගැන ඇගේ සිතේ මැවුණු චිත්‍රයක් තිබුණි. සුන්දර පන්ති කාමරයක් තුළ දරු දැරියන් වටකර ඔවුනට සිප් සතර කියා දෙන්නට මැවූ හීන තැන්නෙබෝධිය විදුහල පාමුල අත හරින්නට මත්තෙන් පාසලේ දැරිවියක ඇගේ දෑත අල්ලා ගත්තාය.
‘‘අනේ මැඩම්වත් ඉන්න. යන්න එපාඤ’ කියලා. මට මගේ දරුවො තුන් දෙනා මතක් වුණා. ඒත් ඒ දියණිය තමයි මට ඒ පාසලේ ඉන්න ඕන කියන තැනට පත්කළේ.”
“අප්පච්චිට යි මටයි හිතා ගන්න බැරිවුණා. ඒ පාසලේම හිටියෙ දරුවො තුන් දෙනයි. ඒ තුන් දෙනා පන්ති තුනක. වැඩබලන විදුහල්පතිනියක් තමයි හිටියෙ. ඇය මේ ළමයි තුන්දෙනාම එකම පන්තියක රඳවාගෙන උගන්වලා තිබුණා. ඇත්තටම ඇය තමයි ඒ පාසල රැකගෙන තිබුණේ. ඒ විදුහල්පතිනිය පළමු පත්වීමට ඇවිත් විශ්‍රාම ගියෙත් ඒ පාසලෙන්මයි.’’
රසාංජලීගේ පියා ගුරු උපදේශකයකු බැවින් ගුරුවරයකු ගේ කාර්යභාරය, වගකීම් මනා ලෙස හැඳිණු පුද්ගලයෙකි. ඒ පාසලේ තත්ත්වය සියැසින් දුටු ඔහුගේ සිතට නැගුණේ ද තම දියණිය ඒ පාසලේ සේවය කළ යුතුය යන හැඟීම යි. නමුත් එය ගැටලුවක් වූයේ ඇයගේ දරු තිදෙනාය. ඒ වනවිට එම දරුවන් තිදෙනාගෙන් බාලම දරුවාට ද අවුරුදු තුනකි.
“මම ඒ වෙලාවෙම මගේ මහත්තයට දුරකථනයෙන් කතා කරලා සම්පූර්ණ විස්තරය ම කිව්වා. එයා දැන ගෙන හිටියා මම ගුරුවරියක් වෙන්න මොන තරම් කැමැත්තෙන් ද හිටියේ කියලා. මහත්තයාගෙ පිළිතුර වුණේ පත්වීම බාරගන්න, අපේ දරුවන්ගේ වගකීම් ඔහු ගන්නම් කියලා. ඇත්තටම ඒක ඒ විදියටම සිදුවුණා. අපේ අම්මත් කිවුවෙ ‘‘දරුවො අපි බලා ගන්නම් ඔයා ඔය දරුවො ටික බාරගන්න’’ කියලා. ඒක මට පුදුම හයියක් වුණා. මම ඒ නිසා බය නැතිව පත්වීම බාර ගත්තා. මට නවතින්න වුණේ හිටපු විදුහල්පතිනියගේ ගුරු නිවාසයේ. ටික දවසක් එතැන ඉඳලා මම වෙනත් තැනකට නවතින්න ගියා. ඒවෙද්දි ලොකු පුතා හිටියෙ හත ශ්‍රේණියේ. පුතා මාතලෙන් අස් කරගෙන ඇවිත් වලපනේ පාසලකට දාලා මගේ ළඟට ගත්තා. ඒ විදියට තමයි මේ ගමන පටන් ගත්තේ.”
රසාංජලී පාසලට පැමිණීමට පෙර එම පාසල භාරව සිටි විදුහල්පතිනිය දරුවන් තිදෙනාට අධ්‍යාපනය ලබාදී තිබුණේ එකම පන්තියක වාඩි කරගනිමිනි. ඒ ඇය එකම ගුරුවරිය වූ නිසාය. රසාංජලී පාසලේ වැඩ අරඹන්නේ ඒ දරුවන්ට වෙන වෙනම අධ්‍යාපනය ලබාදෙන්නට කටයුතු කරමිනි, ඇගේ එකම අරමුණ වන්නේ ද ගමේ දරුවන් ගමේ පාසලේ රඳවා ගැනීමය.
“මේ දරුවන් තිදෙනා අතර එක දරුවෙක් හිටියා අවුරුදු දෙකකින් ශිෂ්‍යත්වයට මුහුණදෙන. කොහෙම හරි ඒ දරුවට ඉගැන්නුවා. ඒ දරුවා ලකුණු 120ක් ගත්තා. මේ වෙද්දි පාසලට තවත් ගුරුවරියකුත් ආවා. අපට ඕන වුණේ දරුවො වැඩිකර ගන්න. අපි ගම ගැන තමයි මුලින්ම සොයා බැලුවෙ. ඒකාලේ කලාපෙන් පර්‌යේෂණ සංග්‍රහයක් නිකුත් කරන කාලයක්. අයි.ටී. ඩිරෙක්ටර් කුමුදුණි මැඩම් මගේ පාසලේ සමීක්ෂණයක් කරන්න කතා කළා. ඊට පස්සෙ අපි පාසල් 13ක ඒ සමීක්ෂණය කළා. මගේ පාසලට එය සුවිශේෂ අවස්ථාවක් වුණා. සමීක්ෂණයෙන් කළේ පාසල් වැසීයාම් ගැන. වැසීයාමට නියමිත පාසලක් ගොඩගන්නේ කොහොමද කියන කරුණ තමයි මූලික වුණේ. ගමේ පාරවල් හැදෙන්න ඕන, අපේ ගමේ ළමයි වෙන පාසල් වලට ගන්න එක නතර කරලා සහයෝගය දෙන්න ඕන, ගුරුවරු ඕන. පාසලේ ඇතුළත හදන්න ඕන වගේ දේවල්. හිටපු කලාප අධ්‍යක්ෂ නවරත්න මහත්තයට එදා මේ අදහස් ටික අනාවරණය කළාම, ‘අපි මොනවා හරි කරමු රසාංජලී’ යනුවෙන් එතුමා කිව්වා මටත් අලුත් බලාපෙරොත්තුවක් ඇතිවුණා පාසල ගැන.”
තැන්නෙබෝධිය විදුහල පිළිබඳව ගම්වාසීන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ද අවධානය යොමු වන්නේ ඉන් පසුවය. මේ කාලය තුළ පාසල් සඳහා සංවර්ධන නිලධාරීන් ලබා දීමට රජය විසින් කටයුතු කර තිබුණු අතර රසාංජලී ඇයගේ පාසලටත් සංවර්ධන නිලධාරියකු ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයාට දැන්වූවාය. පාසල නගා සිටුවීමට ඇය ගන්නා උත්සාහය දැන සිටි ප්‍රාදේශීය ලේකම්වරයා සංවර්ධන නිලධාරින් දෙදෙනකු ලබාදීමට කටයුතු කළේය.
“එකම පවුලේ අයියයි මල්ලියි අපට ලැබුණේ. ඒ දෙන්නාම උපාධිධාරීන්. මුලින් නම් දෙදෙනාම කැමති වුණේ නැ. පස්සෙ මම තේරුම් කරලා දුන්නාම මල්ලි එන්න කැමති වුණත්, අයියා කැමති වුණේම නෑ. මම ඒ දෙන්නටම කිව්වා එක දවසක් ඇවිත් බලන්න කියලා. මල්ලි ඇවිත් වැඩ බාරගන්නම් කිව්වත් අයියා කැමති වුණේම නැහැ. නමුත් පස්සෙ අයියත් වැඩ බාරගත්තා. පසුව දෙන්නම බොහොම කැමැත්තෙන් වැඩ ටික කර ගෙන ගියා. දැන් පාසලට ගුරුවරු ඉන්නවා. හැබැයි, දරුවො හොයා ගන්න ඕන. දවසක් මම පාරෙ යන එන අතරේ මුණ ගැසුණ පෙර පාසල් ඩිප්ලොමාවක් කරපු ගුරුවරියක්. එයාට කිව්වා පාසලේ පෙර පාසලක් පටන් ගමු කියලා. ඇය කැමති වුණා පළමු දවසෙම. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියත් අරගෙන අපි පාසල ඇතුළෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ඇරඹුවා ’නැණස’ කියලා. ඉස්කොලේ තියෙන ගොඩනැගිල්ලෙම කෙළවර තමයි වෙන්කළේ. පහසුකම් නම් මොනවත් තිබුණෙ නෑ. ඒත් පටන්ගත්තා.”
එසේ ඇරඹූ පෙර පාසලට එන දරුවන් අනිවාර්යයෙන්ම පාසලට පැමිණිය යුතුයැයි නීතියක් ද පැනවූයේ පාසලට දරුවන් ලබාගැනීමේ අරමුණ සහිතවය. එසේ ගොඩනැගූ පාසල තුළ මේ වනවිට දරුවෝ 30ක් අධ්‍යාපනය ලබති. ගමේ දරුවන් සෑම කෙනකුම පාසලට පැමිණි අතර මේ වනවිට ප්‍රශ්නයක් පැන නැගී ඇත්තේ ගමේ දරුවන් නොමැතිවීමයි. එයට හේතුව වූයේ ද අඩු පහසුකම් හේතුවෙන් පදිංචිකරුවන්‍් ගම අතහැර යාමය.
“මේ කාලෙ වෙද්දි පාසලට යන පාරත් හැදුණා. පන්ති වලට තනි තනියෙන් උගන්වන්න ගුරුවරු හිටියා. ඉංග්‍රීසි ගුරුවරියකුත් අපට ලැබුණා. දැන් පාසලේ වැඩටික ගුරුවරු කැපවෙලා කරනවා. ඒක ඇත්තටම සතුටක්. මට මතකයි මුල් කාලෙ දරුවො පහක් හයක් ඉන්න දවස්වල විෂය සමගාමී වැඩ කරන්න ලැබුණෙ නෑ. ඒ කාලෙ මdට ඕන වුණා අවුරුදු උත්සවයක් කරන්න අපේ දරුවො වෙනුවෙන්. ඒත් දරුවො පහයි හිටියෙ. මම ගමේ දරුවො ටිකයි, වැඩිහිටියොයි එකතු කරගෙන ලස්සන අවුරුදු උත්සවයක් කළා. ඒ වැඩෙන් ගමේ අවධානයත් පාසලට ලැබුණා. ඒවගේම තමයි කලාප සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කළ ගයාලි මාරසිංහ මහත්මිය අපේ පාසල වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කර දුන්නා. දරුවො වෙනුවෙන් ගොඩක් උදව් කළා. පොත් අරන් දුන්නා. කොවිඩ් කාලෙ දුරකථන පවා අරන් දුන්නා ඇය මුල් වෙලා.”
රසාංජලීගේ පුතා මාතලේ අධ්‍යාපනය ලබන කාලයේ පෝතක බාලදක්ෂ රන්තරු ලාභියෙකි. නමුත් වලපනේ කලාපයේ පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය නොතිබුණු බැවින් ඔහුට ඒ කටයුතු කර ගැනීමට නොහැකිවීම පිළිබඳව ඇය සිටියේ තරමක් කනස්සල්ලෙනි. ඇය ඒ පිළිබඳව තම පුතා අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිගෙන් විමසීමක් කළ අතර ඔහු පැවැසුවේ ‘ඔයාට තමයි කරන්න වෙන්නෙ’ කියාය.
“ඇත්තටම මම ඒ වෙලාවෙ කිව්වා ‘කරන්නම්’ කියලා. මොකද වලපනේ දරුවන්ටත් ඒ දේවල් ලැබෙන්න ඕනනෙ. මම බාලදක්ෂ කඳවුරු ගැන දන්නේ අම්මා විශාකා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය වෙලා හිටිය කාලෙ. මම දැකලා තිබුණා ඒ දේවල්. අම්මා පාසල්වල රාජකාරි කරන කාලේ ඒ විස්තර කියනවා. ඒ දේවල් මතකයේ තිබුණු නිසාම දරුවන් වෙනුවෙන් මේක කරන්න ඕන කියලා හිතුවා. මම ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ඇලිකේවල සර්ට ඒ ගැන කිව්වාම පුහුණු අවස්ථාවක් දෙන්නම් කියලා අපට බාලදක්ෂ පුහුණුවක් දුන්නා. මම එක්ක මුල් අදියරේ ගුරුවරු අසු හතරක් පුහුණු වුණා. ඒ අසූ හතරෙන් මම විතරයි කරගෙන ගියේ. මොකද බාලදක්ෂ ව්‍යාපාරය පාසලක පටන් ගන්න ඕන නම් දරුවො 12ට වැඩිවෙන්න ඕන. මගේ පාසලේ ඒ ගාණට දරුවො හිටියෙ නෑ. ඒ නිසා ළඟ පාසලක් හොයා ගෙන ගියා. මුලින්ම දරුවො 28ක් සූදානම් කළා. අද වෙද්දි ඒ දරුවො රිදී තරුවටත් ඇවිත්. මට පස්සෙ හිතුණා ඇයි මේ පාසලේ විතරක් කරන්නේ කියලා. ඊට පස්සෙ කිට්ටුව තියෙන පාසල්වලත් පටන් ගත්තා.”
වලපනේ කලාපයට බාලදක්ෂ ව්‍යාපාරය හඳුන්වා දුන් රසාංජලීට මේ කාලය වෙද්දී සහාය දිසා කොමසාරිස් තනතුර ද හිමි වූ අතර, නව පුහුණු අවස්‍ථා ද හිමිවිණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගෙන් ඊට මනා සහයෝගයක් ලැබුණු අතර, බාලදක්ෂ ව්‍යාපාරයට ආසාවක් තිබුණු ගුරුවරුන් සිටි පාසල්වලට ගොස් ඒ පිරිස් ද උනන්දු කිරීමට ඇය කටයුතු කළාය. පාසල් 20ක බාලදක්ෂ ව්‍යාපාරය ඇය පටන් ගත් අතර, මේ වනවිට දරුවෝ 672ක් බාලදක්ෂ ව්‍යාපාරයට එක්ව සිටිති. තෙදින කඳවුරු, දෙදින කඳවුරු මෙන්ම ජම්බෝරි, කබොරි සඳහා එම දරුවන් සහභාගී වන අතර රන්තරුවට සුදුසු දරුවෝ 100ක් පමණ සිටිති. ඇය මේ සියලු කාර්යයන් ඉටුකළේ ද පාසලේ කටයුතු සිදුකරන ගමන් වීම ද විශේෂත්වයකි.
“බාලදක්ෂ ව්‍යාපාර කටයුතු සම්බන්ධීකරණ වැඩ කරන්න මාත් එක්ක ගුරු උපදේශක සර්ලා දෙන්නෙක් හැම පාසලකටම ගියා. ඒ තමයි ඉංග්‍රිසි ගුරු උපදේශක ශාන්ත සර් සහ ක්‍රීඩා ගුරු උපදේශක සමන් සර්. ඇත්තටම ඒ දෙදෙනාගෙන් මහා සේවාවාක් ඉටුවුණා. වලපනේ පාසල්වල බාලදක්ෂ ව්‍යාපාරය නංවන්න. දවසක් ඉංග්‍රීසි ගුරු උපදේශකවරයා මාත් එක්ක කිව්වා ‘වඩුව ගෙ ගෙදර පුටුවක් නෑ රසාංජලී’ කියලා. බැලුවම ඇත්ත. ඒ මගේ පාසලේ බාලදක්ෂ ව්‍යාපාරය නෑ. ඒකට හේතුව වුණේ අපේ පාසලේ අරඹන්න තරම් ප්‍රමාණවත් දරුවො නෑ වයස සීමාව සම්පූර්ණ කරපු. නමුත් පස්සෙ දරුවො 18ක් අරන් පටන් ගත්තා දැන් අපේ පාසල ලෝකඩ තරුවත් අරගෙන තියෙන්නෙ. මමත් වැඩි කාලයක් රැඳෙන්නේ බාලදක්ෂ වැඩ එක්ක. මොකද පාසලේ වැඩ කටයුතු කරන්න ගුරුවරු ඉන්න නිසා. ගුරුවරු නැති වෙද්දි මම ළගපාත ඉන්න උසස් පෙළ සමත් දුවලා කීප දෙනෙක් පවා පාසලට ගෙන්න ගත්තා. ගැහැනු ළමයි තුන්දෙනෙක් බොහොම කැමැත්තෙකන් ඇවිත් ඉගැන්නුවා. ඒ එක්කෙනෙක් උපාධිය කරලා ඉන්නෙ. අනෙක් කෙනාට ගුරු පත්වීමක් ලැබුණා. මේ වෙද්දිත් එක් දියණියක් උගන්වනවා පාසලේ.”
මේ සියලු වැඩ රාජකාරි අතරේ සති අන්තයේ රසංජලී මාතලේ දුවන්නේ තම දරු පවුල වෙනුවෙනි. ඇයගේ ආදරණීය සැමියා ද රැකියාව කරන්නේ කොළඹ ප්‍රදේශයේ බැවින් දරුවන් ගේ සියලු වැඩ සිදුවූයේ ඇයගේ මවුපියන්ගේ අතිනි.
“අම්මා විශ්‍රාම ගත්තට පස්සෙ පූර්ණකාලීනව දරුවො බලාගත්තා. මම මගේ දරුවො දෙන්නගෙ පාසල්වලට ගිහින් තියෙන්නේ වරක් දෙවරක් පමණයි අවුරුදු හතටම. මගේ දරුවන්ට මගහැරීම් වුණා. අම්මා එන්නෙ නෑනෙ කියලා කියපු අවස්ථා තියෙනවා. ඒ වෙලාවට මම කියනවා ඔයාලට අත්තම්මයි, තාත්තයි, සීයයි ඉන්නවනෙ. මේ දරුවන්ට ඉන්නේ මමනෙ කියලා. හැබැයි එයාලා ඒක තේරුම් ගත්තා. මට ලොකු සහායක් දුන්නා මගේ දරුවො. දුව ශිෂ්‍යත්වය ලියුවත් මම අකුරක්වත් කියලා දීලා නැහැ. ඒත් එයා පාස් වුණා. සති අන්තයේ ගෙදර ආවම වැඩ රාශියක් තියෙනවානෙ. මහත්තයා තමයි ඒ වැඩ කරෙත්. ඇත්තටම ලොකු සහායක් ගෙදරින් තිබුණා.”
රසාංජලී ගේ ජීවිතයේ සුන්දරම කාලය ගෙවී ගියේ වලපනේ කඳු අතරේ සීතලේ ගැහි ගැහී ජීවිතය සොයා ගිය දරුවන් ගේ අනාගතය වෙනුවෙනි. ඇයද ඒ කිසිදු අතක් අත නොහැර ඒ දරුවන් හා එක්වී ඔවුනට නවමු ජීවිතයක් තනා දීමට අප්‍රමාණව වෙහෙසුණු බව නොකියාම බැරිය. ඒ නමුත් මලින්, රනින් පිදුම් ලබන්නේ වෙනත් පිරිසකි.
“මම මේ රාජකාරියේදී අති තෘප්තිමත්. ඒ වගේම තමයි මම ලොකු පිරිසක් එකතු කරා. මේ ළමයි හැමෝම වගේම මවුපියො මම පෞද්ගලිකව වෙන වෙනම හඳුනනවා. මට පුඵවන් හැම වෙලාවකම ඒ දරුවන්ගේ හැමදේම හෙව්වා. හැම ගම්වැසියෙක්ම මට ලොකු සහායක් දුන්නා. දිරි ගැන්වූයේ එයාලා. මම පාසලට එනකොට මේ දරුවන්ට හරිහැටි යුනිෆෝම් එකක්වත් තිබුණෙ නෑ. කාගෙ හරි එකක් ඇඳගෙන ආවෙ. මහගන්න වත්කම් නැ. සෙරෙප්පුවත් නැතිව ආවෙ. ඒවා අලුත් කරා. ටයි එකක් හැදුවා. බැජ් එකක් හැදුවා. කොණ්ඩ පටියක්වත් තිබුණෙ නැති ළමයින්ගේ ඒ සියල්ල පිළිවෙළට හැදුවා. දැන් තැනකට ගියාම මේ තැන්නෙබෝධියේ දරුවොද කියලා කෙනකුට අහන්න තරම් මට්ටමට අපේ දරුවො ඉස්සරහට ඇවිත් තියෙනවා. මට ඒ ඇති.”
සුජිත් ප්‍රසංග