විශ්වයේ අඳුරු ශක්තිය සොයා අභ්‍යවකාශයට ගිය ‘නැන්සි රෝමන්’


අභ්‍යවකාශ ගවේෂණයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ‘ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි‘ රොකට්ටුව අභ්‍යවකාශයට පිටත්ව ගියේය. මෙම රොකට්ටුව බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්‘ සමාගමට අයත් ප්‍රබලතම රොකට්ටුව වන අතර, එම සමාගම අභ්‍යවකාශ කටයුතුවලදී ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටී. එය අභ්‍යවකාශය බලා ගියේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ පිහිටි නාසා ආයතනයට අයත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ‘ස්පේස් එක්ස් ෆොල්කන් හෙවි‘ රොකට්ටුව අභ්‍යවකාශයට ගියේ සුවිශේෂී දෙයක් රැගෙනය.

පෘථිවියේ ගුරුත්ව බලයෙන් මිදුණු රොකට්ටුව, පෘථිවි කක්ෂයට ළං වී, එය රැගෙන ආ ඒ සුවිශේෂී දෙය අභ්‍යවකාශයට මුදා හැරියේය. එය මීටර් 12.7 පමණ දිග, මීටර් 4.4 ක් පළල බස් රථයක් තරම් ප්‍රබල දුරේක්ෂයකි. නාසා ආයතනයේ ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් එක් වී, අති නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙය නිර්මාණය කර ඇත. 1990 වසරේදී හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත්, ඉන්පසු 2021 වසරේදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයත් අභ්‍යවකාශයට යැවීමෙන් පසු, නාසා ආයතනය අභ්‍යවකාශ දුරේක්ෂයක් යැවූ පළමු අවස්ථාව මෙයයි.

මෙම දුරේක්ෂය අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයක් හා සමාන වන අතර, බර කිලෝග්‍රෑම් 9,200 කි. දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘නැන්සි ග්‍රේස් රෝමන් අභ්‍යවකාශ දුරේක්ෂය‘ යන නමිනි. රොකට්ටුවෙන් මිදී අභ්‍යවකාශයට ගිය ග්‍රේස් රෝමන් දුරේක්ෂය ඊට සවි කළ එන්ජින් පණ ගන්වා, අභ්‍යවකාශ යානයක් මෙන් අභ්‍යවකාශයේ ඈතට ගමන ආරම්භ කළේය. දුරේක්ෂයට උපදෙස් ලැබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් (හැතැප්ම 930,000 ක්) පමණ ඈතින් පිහිටි අභ්‍යවකාශයේ විශේෂිත ස්ථානයක් වෙත ගමන් කිරීමටය. මේ සඳහා මාස 6 ක කාලයක් ගත වෙයි. ඔබ මේ ලිපිය කියවද්දී පවා, දුරේක්ෂය ඒ විශේෂිත ස්ථානය බලා ගමන් කරමින් සිටී.

මෙම විශේෂිත ස්ථානය ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය‘ යනුවෙන් හැඳින්වෙයි. අභ්‍යවකාශ දුරේක්ෂ රැඳවීම සිදුවන්නේ අභ්‍යවකාශයේ මෙම ස්ථානයේය. මේ වන විට ජේම්ස් වෙබ් දුරේක්ෂය ගවේෂණ කටයුතු කරමින් රැඳී සිටින්නේ ද අභ්‍යවකාශයේ මෙම ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයේය. ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය යනු පෘථිවිය සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයන් එකිනෙකට සමබර වන ස්ථානයකි. අභ්‍යවකාශ දුරේක්ෂ පහසුවෙන් රඳවා තැබිය හැකි මෙම ස්ථානයේ දිගටම රැඳී පැවැතීමට, දුරේක්ෂයකට වැය වන්නේ සීමිත ඉන්ධන ප්‍රමාණයකි. මෙම ස්ථානයේ සිට අභ්‍යවකාශ දුරේක්ෂයකට විශ්වයේ ඈතට නෙත් හෙලමින් ගවේෂණ කටයුතු සිදු කළ හැකිය.

මෙම දුරේක්ෂය නැන්සි ග්‍රේස් රෝමන් යන නමින් නම් කර ඇත්තේ, අභ්‍යවකාශ විද්‍යා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ  ශ්‍රේෂ්ඨ කාන්තාවකට ගෞරවයක් ලෙසය. ඇය උපන්නේ 1925 මැයි 16 වැනිදා වන අතර මියගියේ 2018 දෙසැම්බර් 25 වැනිදාය. නාසා ආයතනයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ තනතුරට පත් වූ පළමු කාන්තාව මෙන්ම, නාසා ආයතනයේ ප්‍රධාන විධායක තනතුරක් දැරූ පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ ද ඇයයි.

‘හබල් අභ්‍යවකාශ දුරේක්ෂය‘ නිර්මාණය කිරීමේදී මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමේ සිට එය ඉදිකරන ස්ථානය සහ උපකරණ තීරණය කිරීම දක්වා සෑම වැදගත් තීරණයකදීම ඇය ඉදිරියෙන්ම සිටියාය. නාසා ආයතනයේ කවුරුත් ඇය හඳුන්වන්නේ ‘හබල් දුරේක්ෂයේ මව‘ යන නාමයෙනි. නැන්සි කළ මෙහෙවර අගය කරමින් නාසා ආයතනය ඔවුන්ගේ නවතම දුරේක්ෂය ඇගේ නමින් නම් කිරීම සැබැවින්ම අපූරුය. නාසා විද්‍යාඥයන් රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සිදු කළේ විශ්වයේ ප්‍රධාන අභිරහස් තුනක් විසඳා ගැනීමේ අරමුණින්ය. එම අභිරහස්වලින් පළමුවැන්න ‘අඳුරු ශක්තියයි‘. විශ්වයෙන් සියයට 68 ක්ම සමන්විත වන්නේ මේ රහස් ශක්තියෙනි.

මේ ගැන විද්‍යාඥයන්ගේ දැනුම ඉතා අඩුය. විශ්වය ඉතා වේගයෙන් ප්‍රසාරණය වීමට හේතුව මෙම අඳුරු ශක්තිය යැයි තාරකා විද්‍යාඥයන්ගේ පිළිගැනීම වෙයි. කාලයත් සමඟ මේ ශක්තිය වෙනස් වන්නේද යන්න සෙවීමට රෝමන් දුරේක්ෂය උපකාරී වනු ඇත. දෙවැනි අභිරහස වන්නේ මෙතෙක් හඳුනා නොගත් සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි බාහිර ග්‍රහලෝක පිළිබඳ අධ්‍යයනයයි. දැනටමත් විද්‍යාඥයන් එවැනි ග්‍රහලෝක 6,000 කට වඩා සොයාගෙන තිබුණත්, විශ්වයේ බිලියන ගණනක් ග්‍රහලෝක තිබිය හැකි බව විශ්වාස කෙරේ. ජීවයට සුදුසු, පෘථිවිය වැනි අපූරු ග්‍රහලෝක සොයා ගැනීම රෝමන්ගේ තවත් ප්‍රධාන අරමුණකි. විශ්වයේ ඇති මන්දාකිණි එකට අල්ලා තබන අදෘශ්‍යමාන මැලියම් ලෙස සැලකෙන්නේ අඳුරු පදාර්ථයි. අඳුරු පදාර්ථ සෑදී ඇත්තේ කුමන ආකාරයේ අංශුවලින්ද යන්න සොයා ගැනීමට අතීතයට එබිකම් කරමින් තොරතුරු එකතු කිරීම දුරේක්ෂය විසඳීමට අපේක්ෂා කරන තෙවැනි අභිරහසයි.

මෙම අභිරහස් විසඳීම සඳහා, රෝමන් දුරේක්ෂයට අභ්‍යවකාශයේ ඇති ධූලි පටල හරහා ඈත විශ්වය දෙස නෙත් හෙලීම කළ හැකිය. ඒ සඳහා එය භාවිත කරන්නේ අධෝරක්ත ආලෝකයයි. අධෝරක්ත ආලෝකය අපේ ඇසට නොපෙනෙන, එහෙත් තාපය ලෙස දැනෙන ආලෝක තරංග විශේෂයකි. රෝමන් දුරේක්ෂයේ මීටර් 2.4 ක් පළල විශාල කැඩපතක් ඇත. මෙයට වැඩි ආලෝක ප්‍රමාණයක් එකතු කරගෙන, ඉතා පැහැදිලි ඡායාරූප ලබා ගැනීම කළ හැකිය. මේ කැඩපත මඟින් ආලෝකය ප්‍රධාන විද්‍යාත්මක උපාංග දෙකකට යොමු කිරීම සිදු කරයි. එයින් එක් උපාංගයක් හැඳින්වෙන්නේ විශාල ක්ෂේත්‍ර උපකරණය යන නමිනි. මෙය මෙගාපික්සල් 300 ක බලවත් අධෝරක්ත කැමරාවකි.

මේ කැමරාවෙන් අතිවිශාල අභ්‍යවකාශ ප්‍රදේශයක පින්තූර එකවර ලබාගත හැකිය. බිලියන ගණනක් පැරණි ආලෝකය ග්‍රහණය කර ගැනීමෙන් විශ්වයේ ආරම්භක අවධිය පරීක්ෂා කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබෙයි. අනෙක් උපාංගය කොරෝනග්‍රාෆ් උපකරණයයි. තාරකාවක දීප්තිමත් ආලෝකය වසා දමා, ඒ වටා භ්‍රමණය වන ග්‍රහලෝක පැහැදිලිව බැලීමට මේ උපකරණය උපකාරී වෙයි. රෝමන් දුරේක්ෂය සතුව ඇත්තේ විද්‍යාඥයන් අභ්‍යවකාශයට යවන බලවත්ම කොරෝනග්‍රාෆ් උපාංගය යැයි පැවැසෙයි. මවු තාරකාවට වඩා බිලියන ගණනක් අඳුරු ග්‍රහලෝක පවා පැහැදිලිව දැක ගැනීමේ හැකියාව මෙම උපාංගය සතු වෙයි.

විවිධ කොටස් මිලියන ගණනක් එකතු කරමින් මේ අපූරු දුරේක්ෂය නිර්මාණය කිරීමට විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් දහසකට වැඩි පිරිසක් පසුගිය වසර ගණනාව තිස්සේ වෙහෙස මහන්සි වූහ. දුරේක්ෂය නිර්මාණය කිරීමට වැයවුණු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 කි. ඉදිරියේදී දුරේක්ෂය ලබා දෙන දත්ත අනුව විශ්වයේ භෞතික විද්‍යාව, විශ්වය ආරම්භ වූයේ කෙසේද සහ එය විකාශනය වන්නේ කෙසේද යන්න අධ්‍යයනය කරනු ලබන්නේ තාරකා භෞතික විද්‍යාඥයන් විසිනි.

ලු‍සිත ජයමාන්න