1930 දශකය වන විට ජේ.ආර්. ජයවර්ධන නමැති තරුණයා හට දේශපාලන කරළියට පිවිසීමට මාර්ග ත්‍රිත්වයක් ඔහු ඉදිරියේ දිස්විය. සිය සොයුරු කෝබට් මෙන් ලංකාවේ පළමු මාක්ස්වාදි පක්ෂයට සම්බන්ධ වීමට අවස්ථාව තිබුණි. එම පක්ෂය වූ කලී ඉතාම ක්‍රියාශීලි මෙන්ම උපක්‍රමශීලි දෘෂ්ටිමය සංකල්ප ඇසුරෙහි පන්නරය ලද බුද්ධිමතුන්ගේ පෙරමුණකි.
ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහ සභාව ආගමික හා සංස්කෘතික ඇවතුම් පැවතුම්වලට මුල් තැන දීමත්, ජන වර්ග බෙදී, ජාතිවාදි සංකල්ප දේශපාලනය කෙරෙහි බලපාන ප්‍රධාන හේතු කාරණා ලෙස අවධානය යොමුකිරීම නිසා ඊට සුවිශේෂි අනන්‍යතාවක් ආවේශ වී තිබිණි.
දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීමේ කැමැති තරුණයකුට තෙවැනි ප්‍රස්තාව නම් ජාතික සංගමයයි. ස්වරූපයෙන් එය ද සිංහල මහ සභාවට සමාන විය. දෙපක්ෂය කිසියම් එකඟත්වයකට එළඹ තිබිණි.
එම සංගමය මහජනතාව සමඟ සමීප සබඳතා නොමැති වුව ද, ඔවුන් වෙනුවෙන් කතා කිරීමටත්, දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටත් සූදානම් වී සිටි ගතානුගතික හවුලකි. එම ව්‍යාපාරය ගාන්ධි යුගයට පෙර ඉන්දියානු කොංග්‍රසයෙහි හේ බාල වී ගිය සංවිධානයක් මෙනි.
බොදුණු සංස්කෘතික ගුණය හා වටිනාකම් අනුව මාක්ස්වාදීන් සහ ජේ.ආර්. අතර වෙනස කැපී පෙනුණි. ඇංග්ලිකන් ආගමික ආධ්‍යාත්මයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදුණු ඔහු පරම විඥාර්ථයෙන් විඳි සුවය නිසා ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයෙකුව සිටියේය.
එම අවධියේදී ඔහු ශ්‍රද්ධා සම්පන්න වීම සඳහා වීර්යය වැඩීම වෙනුවට පොදු යහපත සඳහා බොදුණු හරය සහිත ප්‍රායෝගික දේශපාලන භාවිතාවකට යොමු විය. එකී භාවිතාව ජේ.ආර්. ගේ පන්තිමය සරල කිරීමට මෙන්ම පොදු ජනතාවගේ කටුක දිවි පැවැත්මට සැහැල්ලුව ළඟා කිරීමට පොලඹවනු ලැබිණි.
ඒ අනුව හැත්තෑ හතේ සමාජ පෙරැළියේ පුරෝගිමියා ජේ.ආර්. ජයවර්ධන නමැති ආදීන දේශපාලනඥයාය. එක්සත් ජාතික පක්ෂය දේශපාලනයෙන් අතුගෑවී ගිය සමයෙක පක්ෂයේ සියලු බර දෙවුර මතට රැගෙන සාමාජික, සාමාජිකාවන් ධෛර්යවත් කරමින් හැත්තෑ හතේ මැතිවරණ සටන මෙහෙයවමින් හයෙන් පහක ජයක් ලබාගෙන රජයක් පිහිටුවීමට හැකි විය.
ජේ.ආර්. ජයවර්ධන යනු එකල බිහි වුණු දේශපාලන නායකයන් අතුරින් අද්විතීය දේශපාලන චරිතයකි. ඒ සඳහා ඇති හේතු සාධක වන්නේ පූර්ව නූතන ආර්ථික, සමාජ, සංස්කෘතිකමය කතිකාව නූතනත්වය හමුවට කැඳවීමට අභියෝගය භාර ගැනීමය. එසේම නැවත උදුරා දැමිය නොහැකි සේ ලංකාව නමැති දේශපාලන දේහය තුළ ජානගත කිරීමය. එය චින්තනමය බලහත්කාරකම නොවේ. බිම් මට්ටමේ තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතිකමය යථාර්ථයයි. ජයවර්ධනයන්ගේ ඇවෑමෙන් පසුව වුව ද කලඑළි දටු දේශපාලන නායකයන් එම යථාර්ථයට ඍජු හා අවංක ලෙස සහ නිර්මාණශීලි ලෙස මුහුණ නොදීමේ ඵල විපාක ලෙස ශ්‍රී ලංකාවේ අට අනූවක් රෝග පීඩාදියට මුහුණ දෙමින් සිටින රෝගියෙක් බඳුය.
එවැනි පෙරැළියක් කිරීම සිදු කිරීමට ජේ.ආර්. ජයවර්ධන නමැති යුග පුරුෂයාගේ පුද්ගලභාවය පිළිබඳව දේශපාලනික කියවීමක් කළ යුතුව ඇත.
හැත්තෑ හතේ පෙරැළිය ගැන සමස්තයක් ලෙස විචාරයක යෙදෙමින්, වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන අභියෝගවලට මුහුණ දීමේදී එම විප්ලවීය ස්වභාවය වෙතින් ලබාගත යුතු ගුරුහරුකම් කවරෙක් දැයි විමසා බැලිය යුතුය. පක්ෂ පාට කණ්ණාඩි පැලඳ නොගෙන ඒ දෙස නොබැලිය යුතුය.
ඉහත සඳහන් කළ ආකාරයට එදා මෙදා තුර රටට යොමුකරගැනීමට නොහැකි වුණු සමෘද්ධිය කැඳවා ගැනීමට ප්‍රධාන මාවත් දෙකක් විවෘත කරගත යුතුව ඇත.
එනම් පැහැදිලි ආර්ථික දැක්ම සහ සමාජය සජීවි කිරීම යාවත්කාලීන කිරීමය.
අර්ථ ක්‍රමය වූ කලී සභ්‍යත්වයේ යතුරයි. වත්මනදී රට මුහුණ දෙන ආර්ථික අභියෝග සඳහා වගකිව යුත්තා රාජ්‍ය කළමනාකරණයයි.
හැටේ දශකය වන විට ශ්‍රී ලංකාව අනෙකුත් ආසියානු රටවලට වඩා බොහෝ ඉදිරියෙන් සිටි රටකි.
එම යුගයේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 152ක් විය. එහෙත් 1971 වන විට ශ්‍රී ලංකාව අබිබවා යෑමට බොහෝ ආසියානු රටවලට හැකියාව ලැබුණි. 1971 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 171ක් වන විට තායිලන්තය ඇමෙරිකානු ඩොලර් 184කි. දකුණු කොරියාව ඩොලර් 295කි.
1977 වන විට එම තත්ත්වය බෙහෙවින් වෙනසකට ලක් වී තායිලන්තය ඩොලර් 420කි. දකුණු කොරියාව ඩොලර් 800කි. ශ්‍රී ලංකාව වර්ධනය කරගෙන තිබුණේ ඩොලර් 200කි.
එලෙස අවධානයට යොමු වුණ සංවර්ධන ක්‍රියාවලියට හේතුව නම් ශ්‍රී ලාංකික ආර්ථිකය ලෝක ආර්ථිකය සමඟ මුසු නොවීමේ ප්‍රතිඵලය බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
කෙසේ නමුත් 1977 දී ජේ.ආර්. ජයවර්ධනයන් ගෙන එනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය එම තත්වය තීරණාත්මක වෙනසක් කරලීමට සමත් වුව ද සමාජයීය වශයෙන් පසු කාලීනව අනිවාර්යයෙන් සිදු විය යුතුව තිබුණු සමාජ ආකල්පමය වෙනස සිදු නොවීම හේතු කොට ගෙන අද වන විට දැවැන්ත අභියෝග රාශියකට ජාතියක් ලෙස මුහුණ දීමට සිදු වී තිබේ.
සමාජය නූතනත්වයට අනුවර්තනය වීම දේශපාලනික, ආගමික, සමාජ හා සංස්කෘතික ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය තහවුරු වන්නේ ස්වාධිපත්‍යය හා නෛතිකභාවය පිළිබඳ නැවුම් අදහස් මතින් සිදුවන පරිවර්තන ප්‍රතිඵලයක් ලෙසය. ක්‍රියාවලියක් තුළ ප්‍රාග්ධන එකරැස් වීම මගින් සැකසුණ වෙළෙඳපොළ සඳහා සිදු කරන නිපැයුම් ජාලයක ප්‍රතිඵලයක් ලෙසය.
පැරැණි ස්ථාවර ස්ථාපිත සමාජ ක්‍රියාවලියේ වියුක්ත වන සමාජ හා ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වුණ ශ්‍රම විභජන ක්‍රියාවලි වැනි නූතන සමාජ සබඳතා තහවුරුකිරීමේ ඇබෑසියක් තුළදීය.
1977න් පෙර අවධිය යනු සුවිශේෂි ඓතිහාසික සිදුවීම් ගණනාවක් ශ්‍රී ලාංකේය සමාජය වෙත දැඩි මතවාදි බලපෑමක් එල්ල කොට ඇත. ඒවා අතර ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලැබීම, යුද්ධයේ බලපෑම, යුරෝපීය ආර්ථිකයේ අවපාතය, එවැනි ප්‍රධාන සිදුවීම්ය.
සැබැවින්ම 1956 දී සිදු වුණ දේශපාලන පෙරැළියට අනුව ලාංකික අනන්‍යතාව අනුව යමින් තිරසාර සංවර්ධනය සහතික කරගැනීමට හැකි වූයේ නැත.
ඒ වෙනුවට අන්තර්ජාතික ආර්ථික තත්ත්වය සැලකිල්ලට නොගෙන වඩා දේශීයකරණයට වැඩි බරක් තැබූ ස්වයංපෝෂිත ආර්ථික මූලෝපායයන්ට නැඹුරුව කටයුතු කිරීම නිදහසෙන් පසුව හැත්තෑ හත දක්වාම දැඩි අභිප්‍රාය විය.
එහෙත් ඉන් ලද ප්‍රතිඵල නම් සතුටුදායක වූයේ නැත. අර්බුද උග්‍ර වූවා හැරෙන්නට විසඳුම් බාලගිරි දෝෂයක් බවට පත් විය.
එම නිසා ශ්‍රී ලාංකික සමාජය දියුණු යැයි නවීකරණයට ලක් වූයේ මන්දගාමීවය. වෙළෙඳපොළ රාජ්‍යයේ ග්‍රහණයට ගැනීමට හැරුණු කොට එකී සමයේදී රටේ සියලු ආර්ථික ක්‍රියාවලිය රාජ්‍ය හෝ අර්ධ ව්‍යවසායට යටත්ව පැවැතිණි. එම නිසා ආර්ථික විවිධාංගිකරණය සිදු නොවුණු තරම්ය. එහි ප්‍රතිඵලය වූයේ රැකියා වියුක්තියට විසඳුම් නොමැති වීමය. ජාතික ශ්‍රම බළඇණියට රැකියා ලැබීමේ මූලාශ්‍රය බවට පත් වී තිබුණේ රජයේ රැකියා අවස්ථා පමණකි.
1960 දී රාජ්‍ය සංස්ථාවන්ට අත්වූයේ නිෂ්පාදන වටිනාකමින් සියයට 2ක් පමණි. එම තත්ත්වය 1977 වන විට සියයට 39ක ඉහළ අගයකට පැමිණ තිබිණි. ලංකාවේ නිෂ්පාදන කර්මාන්තවලින් මූල ධනයෙන් 2/3ක්ම හිමි වී තිබුණේ සංස්ථා විසි පහකටය. එම එක් එක් සංස්ථාවක කම්කරුවන් 2000ක් පමණ නිරතව සිටි අතර, ඒ සසඳන විට පුද්ගලික නිෂ්පාදන ආයතනයක සේවය කළේ සාමාන්‍යයෙන් කම්කරු පිරිස 42 දෙනකු පමණි. 1971 අවසන් වන විට රටේ ආනයන කටයුතුවලින් සියයට 75ක් පමණ රාජ්‍ය නියෝජිත ආයතන හා සංස්ථා සතුව විය.
එම නිසා සමාජ ප්‍රගමනය මන්දගාමි වෙමින් සාපේක්ෂව වරප්‍රසාද ලත් සහ එසේ නොලත් පන්තිය අතර පරතරය පුළුල් විය. එනම් ආර්ථික, සමාජයීය, සංස්කෘතික සෑම ඉසව්වකම රජයේ අණසකට යටත් වීම එම යුගයේ කැපී පෙනුණ ලක්ෂණයකි. රැකියා අවැසි පිරිසට රැකියා පෝලිමත්, ආයෝජනය කිරීමට ලැදි පිරිසට බලපත්‍ර පෝලිමේ කාලය කා දැමීමටත් සිදු විය. දේශපාලන අනුග්‍රහය හා කළු කඩය හිරිකිතයකින් තොරව ක්‍රියාත්මක විය.
එකී තත්ත්වය තීව්‍ර කිරීමට ප්‍රජාතන්ත්‍ර විරෝධි, මානව හිමිකම් විරෝධි හා සමාජ අසාධාරණකම් පිටිවහලක් තනා දුන්නේය. මාධ්‍ය රජයේ හොරණෑවක් බවට පත් වී තිබුණි. පළාත් පාලනය රජයේ ග්‍රහණයට ගෙන තිබුණි. සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම සඳහා තිබුණේ පහළ පිළිගැනීමකි.
සියයට 75ක් වූ කෘෂිකර්මාන්තයෙන් යැපුණු ග්‍රාමීය සමාජය, තමන් නිපදවුණු දෑ අලෙවි කරගැනීමට සාධාරණ වෙළෙඳපොළක් නැතිව අතරමං විය. ගැමියෝ බඩු ගෝනියක් කර තබාගෙන ඉරිදා පොළ අසලට යන විට රැවුල් කපන්නන්ගේ බලහත්කාරයෙන්ම මිල තීරණය කළෝය. සහල් විකිණීම සපුරා තහනම් කටයුත්තකි. සහල් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කෙරිණි. ඒ සඳහා අවස්ථාව උදා වී තිබුණේ වරප්‍රසාද ලත් පිරිසකටය. කාර්මීකරණය ගල් යුගයට පසු බලය තිබිණි. යන්ත්‍රෝපකරණ ප්‍රවාහනය මාධ්‍ය ගමට ලැබීම කවදා කෙසේ සිදු වී දැයි අඩමානයක් පැවැතිණි. ආර්ථික ක්‍රියාවලිය මුළුමනින්ම ඇනහිට තිබිණි.
එකී සමස්ත තත්වය කුරුවල් වීමත් සමාජ අර්බුදයක් ලෙස තීව්‍ර වීමට එම යුගයේ දේශපාලන බලාධිකාරියේ තීරණ තීන්දු ඉවහල් වූ අතර හැත්තෑ හතේ පෙරැළියට අවශ්‍ය සරුපස නිර්මාණය වීම සිදු විය.
1977 සමයේදී ශ්‍රී ලාංකේය සමාජය ගිලී තිබුණේ අර්ධ ධනේෂ්වර, අර්ධ වැඩවසම් සමාජභාවයක් තුළය. ගම හා නගරය අතර පුළුල් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික පරතරයක් තිබුණි. සාපේක්ෂව නගරය ද ආර්ථික සමාජයීය හා සංස්කෘතික අවපාතයක ගිලී පැවැතිණි.
ජේ.ආර්. ජයවර්ධන සමාජය ඉල්ලා සිටි පරිවර්තනය සිදු කිරීමට පූර්ව සූදානමකින් සිටියේය. එකී සූදානමට ජයවර්ධනයන්ගේ වසර 60ක දේශපාලන ජීවිතයෙන් උකහා ගත් අත්දැකීම් සහ ස්වකීය දැක්ම ද, පෙර පැවැති ආණ්ඩුවල සමත් අසමත්කම් ද නොසැලී සිටීමේ පුද්ගලභාවය ද කැපී පෙනුණි. උදා: නිදහස් ආර්ථිකය පිළිබඳව ප්‍රතිසංවිධාන හා හා පුරා ඉදිරිපත් කළේ 1966 දී ජයවර්ධනයන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා තුළය.
හැත්තෑ හතේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පදනම සැකසීමට ඉවහල් වන්නේ 1944 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ නිදහස් අධ්‍යාපන පනත ගෙන ඒමේ විවාදයේදී ඉදිරිපත් කළ අදහසය.
1977 මැතිවරණය යනු ජේ.ආර්. ගේ සිහිනය වූ ශ්‍රී ලාංකික සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාස සිදු කිරීම සඳහා දේශපාලන කැමැත්ත ලබාගැනීමේ ප්‍රයත්නයකි.
එම විපර්යාස සිදු කිරීමට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ බහු වැදෑරුම් ස්වරූපයක් ගනු ලැබිණි.
සමාජ දරිද්‍රතාව පරාජය කිරීමේ සමාජ ආරක්ෂණ දැළ නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ තොරතුරු සන්නිවේදනය පිළිබඳ ප්‍රතිපත්තිය යන බහුවැදෑරුම් ප්‍රතිපත්ති සාධනය ඉටු කිරීම වැනි බලාපොරොත්තු ඉටු කරමින් අතර ජනතාවගේ පොදු සුබසාධනය වේගවත් කිරීමය.
ජේ.ආර්. ජයවර්ධනයන්ගේ හැත්තෑ හතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් විශාල වෙනසකට තුඩු දෙන ප්‍රතිලාභ සමාජයට අත්කර දීමට සමත් විය. එසේම එම ප්‍රතිසංස්කරණ තුළ දිගු කාලීන වෙනස්කම්වලට තුඩු දුන් ප්‍රතිසංස්කරණ ද විය. ඔහු රූපවාහිනිය මෙරටට හඳුන්වා දුන්නේය. එමගින් ශ්‍රී ලාංකික තොරතුරු සන්නිවේදනයේ විප්ලවය සිදු විය. විදේශීය ආයෝජන කලාප ස්ථාපිත කිරීම මගින් රැකියා අවස්ථා මගින් ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට පදනම ගොඩනැගිණි. කාන්තා ශ්‍රමයට යම් වටිනාකමක් පිළිගැනීමක් ලැබිණි. ගම හා නගරය අතර ප්‍රවාහනය කැපී පෙනෙන වෙනසකට බඳුන් විය. කෘෂිකර්මාන්තයට නව පනක් ලැබුණි.
1970 සිට 1976 වන තුරු ලංකාවේ සහල් නිෂ්පාදනය සියයට 8කින් අඩු වී තිබුණි. 1977-85 කාලය තුළදී සහල් නිපැයුම් සියයට 71කින් වැඩි විය. එම කාලය තුළ පිටරටින් ආනයනය කළ පිටි වර්ගවල ආනයනය සියයට 37ට අඩු වීම සිදු විය. 1970-77 වනතුරු ධීවර නිපැයුම් සියයට 7ක වැඩි වීමක් පෙන්නුම් කළ අතර, 1977න් පසුව සියයට 72ක් වැඩි විය. දේශීය නිෂ්පාදන ධාරිතාවෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.
ජේ.ආර්. නමැති චරිතය තුළ ප්‍රධාන ලෙස පුද්ගලයන් දෙදෙනකු ජීවත් විය. ඉන් එක් අයකු සිංහල බෞද්ධ ශ්‍රී ලාංකිකයාය. අනෙක් චරිතය විශ්ව ගම්මානයේ පුරවැසියාය. දේශපාලනයේදී මෙන්ම රාජ්‍යකරණයේදී මෙකී චරිතද්වය විධිමත් ලෙස භාවිතයට ගනු ලැබීය.
එක් චරිතයක් ශ්‍රී ලංකාව නමැති කුඩා දේශය සහ එහි භූගෝලීය ස්වභාවය හිමි දකුණු ආසියාකරයේ දේශීයකත්වය ජය ගැනීමය. අනෙක් චරිතය උපයෝගි කරගනු ලැබුවේ ගෝලීයකරණයේ අභියෝග ජය ගැනීමටය.
අර්ථයෙන් ගත් කල ජේ. ආර්. ජයවර්ධනයන්ගේ රාෂ්ට්‍ර පාලනය ගෝලීයකරණයේ හා දේශීයකරණයේ සම්මිශ්‍රණයකි.
2025 සැප්තැම්බර් මස 17 වැනි දිනට යෙදුණ ජේ. ආර්. ජයවර්ධනයන්ගේ119 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන්.