වැලි මැස්සාගෙන් වැලඳෙන ලීෂ්මනයසිස් රෝගය


 

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පරපෝෂිත විද්‍යා අධ්‍යයනාංශය අනුබද්ධිත පර්ෙ‌ය්ෂණ ව්‍යාපෘතියක් වන “නිවර්තන කලාපීය රෝග පර්ෙ‌ය්ෂණ ව්‍යාපෘතිය” (TMRC Project) තුළින් මෙම ලීෂ්මනයසිස් රෝගය පිළිබඳව සිදුකෙරෙන පර්ෙ‌ය්ෂණ ඇසුරෙනි.   

මොකක්ද මේ ලීෂ්මනයසිස් රෝගය කියන්නෙ ? 


ලීෂ්මනයසිස් රෝගය කියලා කියන්නෙ ලීෂ්මේනියා පරපෝෂිතයන් මගින් ඇතිවෙන රෝගයක්. මේ රෝගයෙහි පැතිරීම සිදුවන්නේ ආසාදිත වැලි මැස්සන් දෂ්ට කිරීමෙන්. මිනිසුන්ට බලපාන ලීෂ්මනයසිස් වර්ග තුනක් තිබෙනවා. සමෙහි තුවාල ඇතිකරන චර්මගත ලීෂ්මනයසිස් (Cutaneous Lesihmaniasis) තත්ත්වය වඩාත් සුලභ වර්ගය වන අතර වඩාත්ම භයානක වර්ගය වනුයේ අභ්‍යන්තර අවයව කිහිපයකට (බොහෝවිට ප්ලීහාව, අක්මාව සහ ඇට මිදුළු) බලපාන විසරල් ලීෂ්මනයසිස් (Visceral Leishmaniasis) තත්ත්වයයි. මෙහි තුන්වන වර්ගය වන ශ්ලේෂ්ම-චර්මීය ලීෂ්මනයසිස් (Muco-cutaneous Leishmaniasis) තත්ත්වයෙන් සිදුවන්නේ එම තුවාල මුඛයෙහි හෝ නාසයෙහි ඇති ශ්ලේෂ්මල දක්වා පැතිර යාමයි. 


ශ්‍රී ලංකාවේ සුලභ වශයෙන් දකින්න ලැබෙන්නේ චර්මගත ලීෂ්මනයසිස් රෝග තත්ත්වයයි. සමෙහි නිරාවරණය වූ විවිධ ස්ථානවල (උදා: අත්, කකුල් සහ මුහුණ ආදිය..) මෙම රෝගය යටතේ තුවාල දක්නට ලැබෙන අතර වැලි මැස්සන් දෂ්ට කිරීම බොහෝ විට සිදුවන්නේද එවැනි ස්ථානවලටය. 


මොන වගේ ලක්ෂණවලින්ද මේ රෝගය හඳුනගන්නෙ? 


බොහෝ විට මෙම ආසාදනය කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ තිබෙන්න පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන්ට සායනික ලක්ෂණ ලෙස සම මත තුවාල එකක් හෝ කිහිපයක් ලෙසද ඇති වීම සිදුවෙනවා. මෙම තුවාල කාලයත් සමඟම ප්‍රමාණයෙන් හා පෙනුමෙන් වෙනස් වෙන්න පුළුවන්. මෙම සමේ තුවාල කුරුලෑවලට සමාන ඉදිමීම් ලෙස හෝ කුඩා ගැටිති ලෙස ආරම්භ විය හැකි අතර ඒවා ගිනි කන්දක ආකාරයෙන් වණ ලෙස විශාල වෙන්න පුළුවන්. එම සමේ තුවාල කබොල්ලෙන් හෝ ඝන හම් සිවියකින් වැසී තිබෙනු දක්නට පුළුවන්. මෙම රෝගය නිසා ඇතිවන තුවාල සාමාන්‍යයෙන් වේදනා රහිත නමුත් බැක්ටීරියා වැනි වෙනත් විෂබීජවලින් ආසාදනය වුවහොත් වේදනාකාරී වීමට ද ඉඩ තිබෙනවා. සමහර පුද්ගලයින්ට තුවාල ආසන්නයේ වසා ග්‍රන්ථි ඉදිමීමද දකින්නට පුළුවන්. මෙලෙස ඇතිවන තුවාල හේතුවෙන් සමෙහි ස්ථිර කැළැල් ඇතිවීම මෙම රෝගය නිසා ඇතිවන ප්‍රතිඵලයක් ලෙස ගත හැකිය. 


වැලි මැස්සන් පිළිබඳ යමක් දැනගන්න කැමතියි. 


වැලි මැස්සන් (Sand-fly) තමයි රෝගකාරක ලීෂ්මනයසිස් පරපෝෂිතයන්ව රැගෙන අපිව දෂ්ට කිරීමට එන මැස්සන් වර්ගය. සමහර පළාත්වල හෝහපුටුවා යනුවෙන්ද මේ සතුන්ව හඳුන්නනවා. වැලි මැස්සා හැරුණුකොට මේ ලෙඩේ පතුරුවන වෙනත් රෝග වාහකයෙක් මේ වෙනකන් සිදුකරල තියෙන පර්ෙ‌ය්ෂණවලට අනූව වාර්තා වෙලා නැහැ. මදුරුවන්ට වඩා මෙම වැලි මැස්සාගෙ කෙඳි වැනි රෝම සහිත ස්වභාවයක් දකින්න පුළුවන්. මොවුන්ගේ පියාපත් විහිදී ඇත්තේ V අකුරක හැඩයකටයි. සාමාන්‍ය මදුරුවෙකුගේ ප්‍රමාණයෙන් තුනෙන් එකකටත් වඩා කුඩා වෙනවා. වැලි මැස්සන් බොහෝ විට දක්නට ලැබෙන්නේ අඳුර වැටීමත් සමඟය. වාර්තාවලට අනුව රාත්‍රී 8 - 11 අතර කාලය තුළ නිවාස ආශ්‍රිතව වඩාත් ක්‍රියාකාරී සහ බහුල ලෙස දකින්න පුළුවන්. 


වැලි මැස්සන්ගෙන් අපිට මේ ලෙඩේ හැදෙන විදිහ පැහැදිලි කරන්න පුළුවන්ද? 


වැලි මැස්සා කියන්නේ රෝග වාහකයාට. මෙම සතුන් තමයි රෝගය හැමතැනම පතුරවන්නෙ. කලින් අපි කියපු පරපෝෂිතයන්ව නිරෝගී පුද්ගලයන් හෝ සතුන් වෙත ගෙන යෑම මොවුන් හරහා සිදුවෙනවා. මේ අසාදිත වැලි මැස්සා නිරෝගී පුද්ගලයෙකුගේ ලේ උරා බොන්න ගියාම ඌගේ ආහාර මාර්ගයේ ඉඳලා අදාළ රෝගකාරක පරපෝෂිතයින්ව එම නිරෝගී පුද්ගලයාගේ ශරීරයට රුධිරය හරහා ඇතුළු වීම සිදුවෙනවා. මෙම රෝගයේ සම්ප්‍රේෂණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා මිනිසා ද පරපෝෂිතයා ද වැලි මැස්සා ද යන තුන් පාර්ශ්වයේම හවුල්වීම අවශ්‍ය වෙනවා. 


ලීෂ්මනයසිස් රෝගය සුව කරන්න පුළුවන්ද? 


දැනට පවතින ඖෂධ හා නිසි ප්‍රතිකාර ක්‍රම මගින් මෙම රෝගය සාර්ථකව සුව කරන්න පුළුවන්. නමුත් ඉතාමත්ම කලාතුරකින් සුවවීමෙන් පසුවත් නැවත තුවාල ඇතිවීමක් සමහර පුද්ගලයන්ට ඇතිවෙන්න පුළුවන්. මෙම රෝගය හරහා ඇතිවන තුවාල හෝ ගැටිතිවලට ප්‍රතිකාර කිරීමක් නොකළහොත් ඒවා දිගින් දිගටම වර්ධනය වීම සහ රෝගය තව තවත් පැතිර යාමද සිදුවෙන්න පුළුවන්. එම නිසා මෙම රෝගය නිට්ටාවටම සුවකර ගැනීමට නම් නිසි කලට ප්‍රතිකාරවලට යොමු වී නොකඩවා වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. 


අපිට ලබාගන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද? 


භාවිත කරන ප්‍රතිකාර ක්‍රම ලෙස ද්‍රව නයිට්‍රජන් මගින් අධි සීතල යොදා තුවාලවලට සිදුකරන ක්‍රයෝතෙරපි ප්‍රතිකාර ක්‍රමය සහ සෝඩියම් ස්ටිබොග්ලුකොනේට් (S.S.G) යන ඖෂධය තුවාලවලට එන්නත් කිරීමේ ක්‍රමය ගත හැක. තුවාලයටම බෙහෙත් එන්නත් කිරීම සිදු කිරීම යම් ආකාරයට වේදනා ගෙන දෙන්නක් වුවත් සතිපතා නොකඩවා ප්‍රතිකාර ගැනීම මඟින් රෝගය සුව වීම වර්ධනය කරගන්න පුළුවන්. සති කිහිපයක් මේ සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. දෂ්ට කරන ලද තැනට එන්නත් කිරීම සිදු කිරීමට හැකිනම් එහි ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබාගන්න පුළුවන් උවත් එය අපහසු නම් එම බෙහෙත්වලින් වැඩි මාත්‍රාවක් ශරීරයේ වෙනත් තැනකට එන්නත් කිරීමට සිදුවෙනවා. 


රෝග ලක්ෂණ ඇති වුනොත් බෙහෙත් ගන්න යන්න ඕනැ කොහේටද? 


මෙම රෝගය සම්බන්ධයෙන් ඔබට සැකයක් මතු වුවහොත් රජයේ රෝහලක චර්ම රෝග සායනයකට සහභාගි වීම වඩාත් යෝග්‍ය වෙනවා. ප්‍රතිකාර ලබාගෙන සුව වූ පසුවද නැවතත් ආසාධිත වැලි මැස්සෙකු දෂ්ට කළහොත් එම පුද්ගලයාට නැවතත් එම රෝගය සැදීමේ අවදානමක් තියෙනවා. අනෙකුත් ඕනෑම රෝගයකට ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම සේම මෙම රෝගයට ගන්නා බෙහෙත් හරහා ද යම් සුළු අතුරු ආබාධ ඇතිවීමට ඉඩ තිබෙනවා. නමුත් බෙහෙත් පිළිබඳ අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැහැ. 
යම් රෝගයක් පිළිබඳ දැනුවත්වීම එය පැතිරීමෙන් හා වැලඳීමෙන් වැළකී සිටීමට මහත් සේ උපකාරීවන කාරණාවක්. මෙම රෝගය ඩෙංගු රෝගය මෙන් නිතර අසන්නට නොලැබෙන රෝගයක් වුවත් ශ්‍රී ලංකාව තුළ සැලකියයුතු මට්ටමකින් මෙම රෝගය හිස ඔසවන බව ඔබ දැනගතයුතු වේ. එම නිසා දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු. 


ඔබට මෙම රෝගය වැලඳී ඇති බවට සැකයක් ඇති නම්, වෛද්‍යවරයකුගේ යොමු කිරීමක් හරහා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම උදෑසන පැවැත්වෙන සායනයට සහභාගීවීමට හැක. 0715132615, 01122695300 (දිගු අංකය-180) දුරකථන අංක හරහා හෝ [email protected] විද්‍යුත් තැපෑල ලිපිනය හරහා මෙම රෝගය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට හැකිය. 

 

තොරතුරු සම්පාදනය: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නදීරා කරුණාවීර, මහාචාර්ය පණ්ඩුක කරුණානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සනත් සේනානායක, ආචාර්ය රජිකා දේවසුරේන්ද්‍ර, කථිකාචාර්ය හර්මාලි සිල්වා, මහාචාර්ය නිශ්ශංක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුවනි මනම්පේරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලක්ෂි සමරනායක, මහාචාර්ය උපුල් සෙනරත්