ලෝකයේ බලගතුම පාස්පෝට් තියෙන රටේ පොහොසත්ම මිනිසා සහ ඔහුගේ විලාසිතා සමාගම


 

  • ජපන් ජනතාවට වීසා නැතුව රටවල් 193 කට යා හැකිය
  • එතරම්ම බලගතු විදෙස් ගමන් බලපත්‍රය තියෙන රටේ පොහොසත්ම මිනිසා වන්නේ ‘තදාෂි යනායි’ වේ

 

ලෝකයේ විදෙස් ගමන් බලපත්‍ර අතරින් බලගතුම විදෙස් ගමන් බලපත්‍රයය සතු වන්නේ ජපන් ජාතිකයින් හටය. එනම් බලගතුම පාස්පෝට් එක අයත් රට ජපානය වේ. CNN ට්‍රැවල් වර්ගීකරණය කර ඇති පරිදි ජපාන පාස්පෝට් එක අයත් පුද්ගලයකුට වීසා ඉල්ලීමකින් තොරව ලෝකයේ රටවල් 193 කට යා හැකිය. දෙවැනි ස්ථානයේ පසුවන්නේ සිංගප්පූරුව සහ දකුණු කොරියාව වේ. ඔවුනට වීසා අයදුම් නොකොට රටවල් 192කට යා හැකිය.

පිළිවෙළින් බලගතුම පාස්පෝට් හිමි රටවල් වර්ගීකරණය කර ඇත්තේ පහත සඳහන් පරිදිය. 3. ජර්මනිය සහ ස්පාඤ්ඤය (රටවල් 190 කට වීසා අවශ්‍ය නැත.), 4. ෆින්ලන්තය, ඉතාලිය සහ ලක්සම්බර්ග් (රටවල් 189 ට) 5. ඔස්ට්‍රියා, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය (රටවල් 188 ට) 6. ප්‍රංශය, පෘතුගාලය, අයර්ලන්තය සහ බ්‍රිතාන්‍යය (රටවල් 187 ට) 7. බෙල්ජියම, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ඇමරිකාව (රටවල් 186 ට) 8. ඔස්ට්‍රේලියාව, කැනඩාව, චෙක් ජනරජය, ග්‍රීසිය, මෝල්ටාව (රටවල් 185 ට) 9. හංගේරියාව, (රටවල් 183 කට) සහ 10. ලිතුවේනියාව, පෝලන්තය, ස්ලොවැකියාව (රටවල් 182 කට) වීසා ගැනීමට අවශ්‍ය නොවේ.   
මෙලෙසින් ලෝකයේ බලගතුම පාස්පෝට් 10 අයත් රටවල් ගැන විස්තර කියැවෙන අතරේ ලොව බලගතුම පාස්පෝට් එක හිමි ජපානයේ පොහොසත්ම පුද්ගලයා කවුද කියා අද අපි බලමු. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ ජපානයේ පොහොසත්ම පුද්ගලයා වන ටඩාෂි යනායි (යනායි තදාෂි) ගැනය.   

 

2022 ජපානයේ පොහොසත්ම පුද්ගලයා  

 

  • තදාෂි යනායිගේ වත්කම  2022 වන විට ඩොලර් බිලියන 27කි
  • ලෝ ප්‍රකට විලාසිතා නිෂ්පාදන ආයතනයක් වන Uniqlo (යුනික්ලෝ) හිමිකරුවා වන්නේ තදාෂිය

 

ෆෝබ්ස් සඟරාව ඇතුළු අනෙකුත් ව්‍යපාරික වාර්තා සඳහන් කර ඇති පරිදි 2022, ජපානයේ ධනවත්ම චරිතය වන්නේ ඉංග්‍රීසි උච්චාරණයට අනුව ටඩාෂි යනායි වේ. ජපාන භාෂාවේ උච්චාරණය අනුව යනායි තදාසි වේ. එසේ නම් අපට හුරු විදියට තදාසි යනායි කවුද කියා බලමු. 


ලෝ ප්‍රකට විලාසිතා සාප්පු ජාලයක් වන යුනික්ලෝ (ජපාන උච්චාරණයට අනුව යුනිකුරෝ ලෙස ශබ්ද වේ) යුනික්ලෝ (Uniqlo) යනු ජපානයේ ස්ථාපිත වී ලෝකයේ රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති විලාසිතා නිෂ්පාදන, නිර්මාණ සමාගමක් සහ අලෙවි සමාගමකි. මෙම විලාසිතා නිෂ්පාදන සමාගම බිහිකළ තදාසි යනායි, උපත ලැබුවේ 1949 පෙබරවාරි 7 වැනිදා යමාගුච් පළාතේ ‘ඌබේ’ නගරයේදීය. 
ඌබේ උසස් පාසලෙන් අධ්‍යාපනය නිමකොට සරසවි අධ්‍යාපනය ලැබුවේ වසේද්‍ර සරසවියෙනි. එහිදී ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය ලැබුවේ 1971 වසරේදීය. ඊට අමතරව දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ද එහිදී උපාධි ලැබූ අයෙක් ලෙස සඳහන් වේ. යනායි, යනු එක්වරම ව්‍යාපාර අංශයට පුළුල් වූ අයෙක් නොවුණි. ඉතා කුඩාවට ව්‍යාපාර ලෝකයට ඔහු අවතීර්ණ වූයේ Jusco හෙවත් ජැපෑන් යුනයිටඩ් ස්ටෝර්ස් සුපර්මාකට් පිහිටි ස්ථානයේ මුළුතැන්ගෙයි උපකරණ සහ රෙදිපිළි සාප්පුවක් අරඹමින්ය. 


ටික දිනකින් එය නවතා දැමු ඔහු එවකට ඔහුගේ පියා පවත්වාගෙන ගිය ටේලර් සාප්පුවට සම්බන්ධ වී කටයුතු කිරීමට පටන් ගත්තේය. මෙලෙසින් කටයුතු කිරීමට අවතීරණව සිටි මූලාරම්භයේ දී යනායි, හට කළමනාකාරවරයකු සිටියේය. රැකියාවේ දී ‘ටයි’ පටය පැලදීම කළ යුතු බව කියා සිටිය ද යනායි ඊට අකමැති වූයේ ටයිපටිය පැලඳ වැඩ කිරීම ඔහුට කරදරයක් වූ බැවිනි. කලිසමක් (ඩෙනිමක් වගේ) ඇඳ සේවයට යාමට ඔහු වඩාත් රිසි වූවේය. 

 

 ටයිපටය පැලඳූ පමණින් තම රාජකාරිය හරියට කළ හැකි යැයි ඔහු විශ්වාස නොකළේය. මේ නිසා යනායි තදාසි ටයිපටය පැලඳ පෙනී සිටි ඡායාරූප පවා ලබා ගැනීමට හැකිවූයේ ඉතාම කලාතුරකිනි. යනායි යුනික්ලෝ ඇරඹීමට පෙර මව් සමාගම ලෙස එය ඇරඹියේ ෆාස්ට් ඊටේලින්ග් සමාගම නමිනි. ටේලර් සාප්පු ව්‍යපාරික ස්ථාන 22 ක් පමණ ව්‍යාප්තව තිබුණේ ඔහුගේ පියා යටතේය. පසුව 1984 දී එම ව්‍යාපාර සියල්ල හිරෝෂිමා යුනික් ක්ලෝකින් අංගණය ලෙස නම් වී එහි සභාපතිත්වය තදාසි හට හිමිවිණි. ඒ සියල්ල පවත්වා ගෙන ආයේ ඉහත සඳහන් කළ පරිදි ෆාස්ට් ඊටේලින්ග් (Fast Retaiting) මව් සමාගම යටතේය. එකී සමාගම යටතේ සිල්ලර වෙෙළඳ සැල් 2000 ක් පමණ ව්‍යාප්ත වූ අතර යුනික්ලෝ සහ තවත් වෙළඳ නාම තුනක් යටතේ නිෂ්පාදන එළි දැක්වීමට කටයුතු කළේය.  


යුනික්ලෝ යනු විලාසිතා සමාගමක් පමණක් නොවේ. එය තාක්ෂණ සමාගමක් යැයි කීමට යනායි තදාසි වඩා ඇලුම් කරයි.   


යනායි තදාසි යනු හොඳ නායකයෙකි. තව පිරිසකට ඔහුගේ නායකත්වය වෙතින් ගත හැකි, උකහාගත හැකි දේ බොහෝය. ජපානයටම මහා සල්ලිකාරයා වුවද, තදාසිගේ හොඳම ගුණාංගය වන්නේ නිහතමානීකමය. වතාවක් ඔහු සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ මෙලෙසිනි.   
‘මම සාර්ථක යැයි ඔබට පෙනෙනවා ඇති, හැබැයි මගේ අතින් බොහෝ වැරදි වෙලා ඇත. ඒ වගේම සමහර මිනිස්සු තමුන්ගේ අසාර්ථකත්වය දකින්නෙ බැරෑරුම් විදියට. ඒත් මතක තබාගන්න, ඔබ අසාර්ථක වීම් හමුවේ නිතරම ධනාත්මක වන්න. එවිට ඔබ ඊළඟ වතාවේ සාර්ථක වනු ඇතැයි ඔබට විශ්වාසය ඇතිවේවි.   
එසේ පවසන තදාෂි යනායි නගාඔකා තෙරියෝ සමග විවාහ වී සිටින අතර මේ යුවළට පුතුන් දෙදෙනෙකි. කෂුමි සහ කෝජි ඒ පුතුන් දෙදෙනාය.   


ජපානයේ පොහොසත්ම මිනිසා වන තදාෂි යනායි, ලෝකයේම පොහොසතුන් අතර පළමු 50 දෙනා අතරට අයත්ය. ව්‍යාපාරික දත්ත ලෝකයට ප්‍රකාශ කරන බ්ලුම්බර්ග් ව්‍යාපාරික දර්ශකයට අනුව ලෝකයේම 30 වැනි ධනවතා, මේ තදාෂි යනායි වේ.   


වතාවක ජපානයේ සරසවි සිසුන් කළ සමීක්ෂණයක දී තදාෂිගේ යුනික්ලෝ සමාගම කම්කරු නීති කඩන බවත් හරියට වැටුප් නොගෙවන බවත් කියා සිටියේය. එය ප්‍රධාන සිරස්තලයක් ලෙස ‘ජැපෑන් ටයිම්’ පුවත්පතේ පළවිණි. ඊට එරෙහිව විරෝධතා එල්ල නොකළ, වාද විවාද නොකළ තදාෂිගේ සමාගම පෙරටත් වඩා සමාජසේවා කටයුතුවල යෙදුණු අතරේ, කෝටි ගණනින් ආධාර අවශ්‍ය ඇති ස්ථානවලට ආධාර උපකාර කිරීමට පටන් ගත්තේය. එයින් ප්‍රකාශ වන්නේ ‘තදාෂි’ ගේ නිහතමානීත්වය නොවේද? අනාථ වූවන් සඳහා විශේෂිතව ආධාර උපකාර කිරීමට සමාගම පෙළැඹිණි. 2011 දී ටොහෝකු හිදී ඇතිවූ සුනාමි සහ භූකම්පනය නිසා විපතට පත් වූ එම ප්‍රදේශය නගා සිටුවීමට යෙන් බිලියනයක් පරිත්‍යාග කළේය. මෙලෙසින් තව තවත් පුණ්‍යාධාර කරනු ලබන ව්‍යවසායකයෙකි.   


 තදාෂි යනායි, ජීවත් වන්නේ ටෝකියෝවෙන් එහාට වන්නට පිහිටි ඩොලර් මිලියන 50 ක් පමණ වටිනා වර්ග අඩි 16,586 ක විශාලත්වයෙන් යුතු මන්දිරය සහ භූමියකය. ලෝක ධනවතුන්ගේ පාරාදීසයක් වන හවායි දූපත්හි ඔහු සතුව ගෝල්ෆ් පිටි දෙකක් තිබීම විශේෂිතව සඳහන් කළ හැකි දෙයකි.   
යනායි තදාෂිට අවශ්‍ය වූවේ ලෝකයේ ලොකුම විලාසිතා සිල්ලර වෙෙළඳාම් සාප්පු ජාලය විවර කිරීමය. එනම් ලොව විශාලතම විලාසිතා සිල්ලර වෙළෙන්ද‌ා වීමටය. එහෙත් Zara (සාරා) (H&N) එච් ඇන්ඩ් එම් වැනි සමාගම් අභිබවා යාමට නොහැකි වුවද ආසියාවේ ප්‍රමුඛයා වීමට තදාෂිගේ සමාගමට හැකිවිණි. ආසියාවේ ‘යුනික්ලෝ’ විලාසිතා සාප්පු වැඩි හරියක් ස්ථාපිතව තිබුණ ද විලාසිතා ලෝකයේ දී ඔහුගේ භාෂාව ඉංග්‍රීසි හෙවත් බටහිර තාලයම වෙයි.   


විලාසිතා හෙවත් ඇඳුම් ව්‍යාපාරය යනු නිතරම ලාභ ලබන අංශයක් මෙන්ම, පාඩු සිදුවන අවස්ථා ද තිබේ. තදාෂිගේ ව්‍යාපාර ජාලය 2017 දී ඩොලර් මිලියන දාහතරක පමණ පසුබෑමකට ලක්වූ බව සඳහන් වුණි. ඒ කාලගුණය හරස් වූ නිසාය. ශීත කාලය වෙනදාට වඩා උණුසුම් වීමත්, උණුසුම් (ග්‍රීෂ්ම) සමය වෙනදාට වඩා සිසිල් වීමත් නිසා මේ පාඩුව විඳ දරා ගැනීමට ඔහුට සිදුවිණි.   
ලාභ පාඩු ලබමින් ආ ඒ ගමනේදී ‘තදාෂි’ විටෙක එනම් 2010 දී වසරේ හොඳම වෙළෙන්ඳා ලෙස (විලාසිතා අංශයේ) ඇමරිකාවේ සිල්ලර වෙළෙන්දන්ගේ සම්මේලනය විසින් ගෞරව සම්මානය පුද කරනු ලැබුවේ මේ තදාෂි වෙතය.   


නුවණැත්තෝ ඇසුරු කිරීම නිසා ලැබෙන්නේ දැණුම මිස හිස් බවක් නොවේ. කායික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ කිසුකෝ හොන්ජෝගේ ඇසුර නිසා තම බොහෝ ප්‍රඥා‌ාවන්ත වූවකු වග ඔහු විටෙක කියා සිටියේය.   


මෙලෙසින් ජීවිතයට අරුතක් එක්කර ගත් තදාෂි යනායි යනු හොඳ කලාකාමී චරිතයකි. ඇන්ඩි වාර්හෝල්, කීති හාර්න් වැනි ලෝ ප්‍රකට කලාකරුවන්ගේ කෘති ඔහු සතුව ඇත.   
යුනික්ලෝ සාප්පු ඔස්ට්‍රේලියාව. බෙල්ජියම, කැනඩාව, චීනය, ප්‍රංශය. ජර්මනිය, ඉන්දියාව, නෙදර්ලන්තය, දකුණු කොරියාව, මලයාසියාව. තායිලන්තය, සිංගප්පූරුව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි ප්‍රමුඛතම රටවල මෙන්ම වියට්නාමය සහ බංග්ලාදේශයේ ද ඇත.   


යුනික්ලෝ සාප්පු ජාලය සතු තදාෂි යනායිගේ වත්කම ෆෝබස් මේ වසරේ දී පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 23.6 ක් ලෙසය. නමුත් එය ඩොලර් බිලියන 27 කට ආසන්න යැයි තවත් වාර්තාවල සඳහන් වේ.   
ටොයෝටා, හොන්ඩා, මිට්ෂුබිෂි (මික්සුබිසි) සෝනි වැනි ලෝ ප්‍රකට නිෂ්පාදන රාශියක් ඇති ජපානයේ මෙම සිල්ලරට ඇඳුම් අලෙවි කරන යුනික්ලෝ (Uniqlo) සමූහය අයත් තදාෂී යනායි මහා බල සම්පන්න ජපන් රාජ්‍යයේ මහා පොහොසත් වීම එකතකට හරි පුදුමයක් නොවේ ද? ඒ පුදුමය ඔහුට නම් යථාර්ථයකි. සිහිනයක් නොවූ අරුතකි. තදාෂිගේ කතාව කියැවීමෙන් පසුව ලෝකයේ බලගතු නොවූ ගමන් බලපත්‍ර අයත් දුර්වලම රටවල් 10 ගැන සඳහන් කිරීම ද කරමින් අපි මේ සටහන නිම කරමු.   


උතුරු කොරියාව, පලස්තිනය, නේපාලය, සෝමාලියාව, යේමනය, පාකිස්ථානය, සිරියාව, ​ඉරාකය, ඇෆ්ගනිස්ථානය යනු වීෂා ගැනීමට බලසම්පන්න නොවූ අන්තිම අඩියේ වර්ගීකරණය කර ඇති රටවල් කීපයකි. කෙසේ වෙතත් මෙම රාජ්‍යයන් අභිබවා ශ්‍රී ලංකාව තවමත් ඉදිරියෙන් සිටීම ශ්‍රී ලාංකිකයන්ගේ පැත්තෙන් සුබවාදී දෙයකි. ඒ සුබවාදී බව තව තවත් වැඩිදියුණු කර ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම අනුව ලෝකය තීරණය කරාවි.

 

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]