ලෝකයේ දියුණු රටවල් කංසා වවා ඩොලර් උපයන හැටි


උද්ධමනය වැඩිම රටවල් අතුරින් ජයග්‍රාහී දෙවැනි ස්ථානයට අපේ ශ්‍රී ලංකාවේ නම එක්වූයේ ගෙවුණු සතියේදීය. මාස කිහිපයක පටන් ගෑස් නැතුව, ඉන්ධන නැතුව, පොහොර නැතුව, කලින් ගත් ණය ගෙවාගත නොහැකිව හිඟමනට වැටුණු ලංකාව, මේ දිනවල බලා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙසය.   
“අයි.එම්.එෆ්. ණය ගත්තොත් අපි ගොඩ.”
අපේ නායකයන් හිතන්නේ එපරිද්දෙනි.

කංසා අපනයනය කර ලංකාවට ඩොලර් කන්දරාවක් උපයා සපයාගත හැකි බැවින්, කංසා වගාව නීතිගත කරමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ යෝජනා කරන්නේ මේ අතරය.   


වාසනාවකට මෙන් ඇය සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරියකි. බෝලය උඩ දමා දෙන්නී ඇයයි. ආණ්ඩුවට තියෙන්නේ උඩ පැන ‘ඩෑෂ්’ පහරක් එල්ල කර, බෝලය ඉලක්කයට යොමු කිරීම පමණි.   


බැරි වෙලාවත් මේ යෝජනාව ආණ්ඩුව පැත්තෙන් ගෙනාවා නම්, ඊට විපක්ෂයේ පක්ෂ ටික එක හෙළාම විරුද්ධ වීමට තිබිණි. වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි කාලයක් බෞද්ධ සාරධර්ම ඉස් මුදුනින් රැකගත් ජාතියක්, හිඟා කෑවත් කංසා වැවිය යුතු නැතැයි ඔවුන් කතා සාප්පු දමනු ඇත. සාරධර්ම පෙළපාලිවලින් කොළඹට එනු ඇත. රූප පෙට්ටිවලින් විවාද කරනු ඇත. ආණ්ඩුවේ රෙදි ගලවනු ඇත.   


කෙසේ වෙතත් දැන් ආණ්ඩුවට තිබෙන්නේ, රටට සමාජයට හෝ සාරධර්මවලට හානි නොවන අන්දමින් කංසා වවා ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමය.   
මීට වසරකට පමණ කලින් බී.බී.සී. පුවත් සේවය සමග සම්බන්ධ වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යවරයා පැවැසුවේ ද කංසා අපනයනයෙන් වාර්ෂිකව ​ඩොලර් බිලියන තුනක පමණ ආදායමක් ඉපැයීමට හැකි වන බවකි.   
 ​ෙඩාලර් බිලියන තුනක් යනු සෑහෙන මුදලකි. ඒ සා විශාල මුදලක් ලැබෙනවා නම් ඇයි අපි තවමත් ප්‍රමාද?   
සියල්ලටම කලින් කංසා යනු මොනවා දැයි සොයා බැලිය යුතුය. මේ ශාකය පොළොවට පැමිණ ඇත්තේ කිනම් කාලයක ද? එය අපේ අතීත මුතුන් මිත්තන් භාවිතයට ගත්තා ද?   
ඒ අතීතය බොහෝ ඈතට දිව යයි. කංසා ශාකය මුලින්ම හමු වුණේ දෙවියන්ටය. ඒ, සුර අසුර දෙපිරිස එක්ව කිරි මුහුද කලඹද්දීය. ලක්ෂ්මිය හමුවන්නට කලින් හමු වූ මේ අමුතු ශාකය පොළොවට එවා ඇත්තේ, ඒ සුර පිරිසය. කෙසේ වෙතත් මේ ශාකය හැදී වැඩී ඇත්තේ සෞම්‍ය සහ නිවර්තන දේශගුණයක් සහිත ප්‍රදේශවලය. බටහිර හා මධ්‍යම ආසියාවේ බොහෝ ප්‍රදේශවලය.   


 වසර දෙදහසකට පමණ කලින් කංසා චීනයේ ද භාවිත වී තිබෙන බව සොයා ගත්තේ පාමිර් කඳුකරයේ ජිර්එන්කල් නමැති ඉපැරැණි සුසාන භූමියකිනි.   
 ඒ තරම් දුරාතීතයක පටන් පැවැත එන කංසා ශාකයෙන් ඇති ප්‍රයෝජන රාශියකි. වඩාත් පතලව ඇති පරිදි කංසා පැලෑටියෙන් ‘ගංජා’ යන මත්ද්‍රව්‍යය නිපදවා ගනිති. ‘හෂීස්’ හා ‘කාරුස්’ ද කංසාවලින් නිපදවන තවත් මත්ද්‍රව්‍ය දෙකකි.   


 මේ මත්ද්‍රව්‍ය නැතහොත් මාදක ඖෂධ නිපදවා ගන්නේ ශාකවල මල්බර හා පලබර කොටස්වලිනි. මල්බර අතු හා කොළ නෙළා කිරිවල දමා තම්බා, අව්වේ වියළා ගැනීමෙන්  ‘හාං’ නිපදවා ගනිති.   
එහෙත් ‘ගංජා’ නිපදවන්නේ ජායාංගී ශාකවල මල් සහිත අගිස් වියළා ගැනීමෙනි. ‘කාරාස්’ යන මත්ද්‍රව්‍යය නිපදවා ගන්නේ අඩි 6,000ත් 8,000ත් අතර උසැති කඳුකර ප්‍රදේශවල හැදෙන කංසා ශාකවල මලෙහි රෙසීනයෙනි.   


මේවා බැලූ බැල්මට මත්ද්‍රව්‍ය වුවත්, සුළු පමණින් සහ වෙනත් සංයෝග සමග එක්කළ විට ඖෂධ ලෙස භාවිත කෙරේ. අවිවේකී ගතියට, නින්ද නොයෑමට, මානසික පීඩාවට, උමතුවට, කනේ ආබාධවලට, තුවාලවලට, ඇස් රෝගවලට, කක්කල් කැස්සට, ඇදුමට, පිටගැස්මට, ජලභීතිකාවට, වලිප්පුවට ආදී වශයෙන් බොහෝ රෝගාදියට ප්‍රතිකාර ලෙස කංසා භාවිත කර ඇත්තේ අදක ඊයේක සිට නොවේ.  
කංසා කෙඳි රුවල් රෙදි සෑදීමට, අගනා පලස් විවීමට, සපත්තු මහන නූල් නිපදවීමට භාවිත කරන බව ද බොහෝ දෙනෙක් දන්නේ නැත. යුරෝපය, එක්සත් ජනපදය, ජපානය හා චීනය ද ඉන්දියාව ද කංසා වවන්නේ කෙඳි ගන්නටත් එක්කය.  


කංසාවල අනෙක් ප්‍රයෝජනය ඇත්තේ ඇටවලය. කංසා ඇටවලින් හිඳගන්නා තෙල් වාර්නිස්, තෙල් සායම් සහ සබන් සෑදීමට මෙන්ම පහන් දැල්වීමට ද යොදා ගැනේ.  
 මේ අනුව පෙනෙන්නේ, කංසා යනු පොළොවෙන් තුරන් කර දැමිය යුතු අපරාධ ශාකයක් නොව, අඳුර දුරු කර ආලෝකය ද සැපැයිය හැකි ශාකයක් බවය.  
ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කංසා වවන්නේ බොහෝ කලෙක සිටය. විශේෂයෙන් කේරළය කංසා වගාවට සුදුසු දේශගුණයකින් සමන්විතය. එසේම වියට්නාමය සහ අප්‍රිකාවේ බොහෝ රටවල ද කංසා වගාවට ප්‍රමුඛස්ථානයක් දී තිබේ.  


 ලංකාවේ ද කංසා නොවවනවා නොවේ. ලංකාවේ දේශගුණය ද කංසා වගාවට හිතකරය. එහෙත් කංසා වගාව ලංකාවේ තහනම් නිසා උඩවලව, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල කංසා හේන් වවන්නේ හොර රහසේය. මහා වන මැදට වන්නටය. එහෙත් නීතියේ රැහැනට අසු වූ විට කංසා හේන් ගිනි දෙවියාට පුදා කංසා වැවුවෝ පොලීසියට රැගෙන යති. මේ නීති වෙනස් කර කංසා වවමු යැයි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියන්නේ ඒ නිසාය.  
 ලොව බොහෝ රටවල කංසාවලට ඉල්ලුමක් පවතී. කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය මෙන්ම යුරෝපයේ බොහෝ රටවල ද කංසා සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් තිබෙන්නේ, එවැනි බොහෝ රටවල ගංජා භාවිතයට ඉඩ දී ඇති වාතාවරණය නිසාය. හැබැයි බොහෝ රටවල් ඉඩ දී ඇත්තේ ඖෂධයක් ලෙස ගංජා භාවිත කරන්නටය. ඕස්ට්‍රේලියාව ඒ තීරණය ගත්තේ 2016 දීය.  


 පසුව තවත් රටවල් විනෝදාත්මක භාවිතය සඳහා ද අවසර දුන්නේය. එකී රටවල කෝපි අවන්හල්වලින්, ඖෂධ වෙළෙඳසල්වලින් ගංජා ටිකක් මිලදීගත හැකිය. එසේම, යම් කිසි ග්‍රෑම් ගණනක් ළඟ තබා ගැනීමට හැකිය. හැබැයි ළමයින් ඉදිරියේ හා ප්‍රසිද්ධියේ ගංජා ඉරීම තහනම්ය.  
විනෝදාත්මක භාවිතයට ගංජා උරන්නට තහංචි ඉවත් කළ ලෝකයේ පළමු වැනි රාජ්‍යය බවට පත්වූයේ උරුගුවේ ය. එතැන් පටන් උරුගුවේ අනුව ගිය තවත් රටවල් ගංජා උරන්නට අවසර දුන්නේය. කැනඩාව, ජෝර්ජියාව, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත, කොළොම්බියාව, මෝල්ටාව, ජර්මනිය වැනි රටවල් ඒ අතර තිබේ. හැබැයි සෞඛ්‍යමය හේතු මත ගංජා ඉරීමට නිදහස දුන් රටවල් ඊට වඩා සංඛ්‍යාත්මකව වැඩිය.  


එසේම වාණිජ වගාවක් ලෙස කංසා තම රටවල්වලට හඳුන්වා දුන් රාජ්‍යයන් ද රැසකි. එකී රටවල් මේ වන විටත් කංසාවලින් ​ඩොලර් උපයමින් දියුණු රටවල් බවට පත්ව සිටී. කොළොම්බියාව, මෙක්සිකෝව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව, ජැමෙයිකාව, නෙදර්ලන්තය, කසකස්තානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද ඒ අතර තිබේ. ඉන් ඇතැම් රටවල් වගා බිම් ප්‍රසාරණය කරමින් ආදායම් ඉලක්ක හඹා යෑමට ද පටන්ගෙන තිබේ. කැනඩාව වාර්ෂිකව ඩොලර් බිලියන නවයක් පමණ කංසාවලින් උපයා සපයා ගන්නට සැරැසේ. ඒ වෙනුවෙන් ඔවුන් සොයාගෙන ඇති ඉලක්කය චිකාගෝවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ගංජා භාවිත කරන්නන් එරට ජනගහනයෙන් සියයට විස්සකට ආසන්න බව කියති. ඔවුන් සංඛ්‍යාත්මකව වාර්ෂිකව වැඩි වෙමින් පවතී. ඒ වැඩි වන පිරිසගේ ඉල්ලුම සැපැයීමෙන් කංසා අපනයනකරුවන්ට ඩොලර් උපයාගත හැකිය.  
මේ අතර, ජර්මනිය ද කංසා වගාව නීතිගත කරන්නට සැරැසේ. එරටට අනුව ඕනෑම ගෙදරක කංසා පැළ තුනක් වගා කරගන්නට ද පුළුවන. එසේම විනෝදාශ්වාදය සඳහා ගංජා භාවිතයට ද ජර්මානුවන්ට අවසර ලැබෙන අතර, වැඩිහිටියකුට ග්‍රෑම් 30ක පමණ ගංජා ළඟ තබා ගැනීමට ද අවසර ලැබේ. මේ විපර්යාසය බොහෝ විට 2024 සිට ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. එසේ වූ විට එරට කංසා වගාව මහා පරිමාණයෙන් ආරම්භ කිරීම ද බලාපොරොත්තුවකි. ග්‍රාමීය පෙදෙස්වල කංසා වවා ගංජා ටොන් දහසක් පමණ නිෂ්පාදනය කිරීම ජර්මනියේ සැලසුම් අතර තිබේ.  


මේ වන විට ලෝකය පුරා ගංජා සංස්කෘතියක් ද නිර්මාණය වෙමින් තිබේ. එකී විකාරරූපී ජරාජීර්ණ සංස්කෘතිය අපට අවශ්‍ය නැති බව සැබෑය. කංසා වගාවට අවසර දීමෙන් ආණ්ඩුව කරන්නට හදන්නේ එකී ගංජා සංස්කෘතිය ලංකාවට හඳුන්වා දීම යැයි කෙනකුට තර්ක කරන්නට ද පුළුවන.  


 එහෙත්, එය මෝඩ තර්කයකි. ගංජා සංස්කෘතිය මේ වන විටත් ලංකාව ගිලගෙන අවසන්ය. ෆේස්බුක් සාද යනු ගංජා සංස්කෘතියේ එක් අංගයක් වී තිබේ.  
 මේ ගංජා සංස්කෘතිය පිළිගෙන විනෝදාශ්වාදය සඳහා ගංජා භාවිතයට අවසර දිය යුතු යැයි නොකියමි. කිසිසේත්ම එසේ කළ යුතු ද නැත. එහෙත්, අපනයනය වෙනුවෙන් කංසා වගා කිරීමේ නම් කිසිම වරදක් ඇතැයි නොපෙනේ. එවිට සිදුවන්නේ අපට වැඩි වැඩියෙන් ඩොලර් එකතු වීම පමණි. හැබැයි මේ කංසා වගාව සැලසුම්ගත අයුරින් සිදු වීම ද අවශ්‍යය. ඕනෑම කෙනකුට කංසා වගාවට අවසර නොදී බලපත්‍රලාභී පිරිසක් ඒ වෙනුවෙන් යොදාගත යුතුය. එවිට ගංජා හොර පාරෙන් ලංකාව තුළ ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඇහිරෙන්නේය.

 

 

සටහන  
 ශාන්ත කුමාර විතාන