ලොවක් පුදුම කළ ලංකාවේ මුදල් ඇමති


සපුරන ලද මානව අඟ පසඟින් යුතුව හැඩගන්වා මිනිස් ගති පැවතුම් පිහිටුවා ‘ස්වභාව ධර්මය’ විසින් ලෝකයට දායාද කරන්නාවූ මිනිසුන් සියලු දෙනා රූපයෙන් හා සිතිවිලිවලින් පුරුෂයන් පුරුෂයන්ටද ස්ත්‍රීන් ස්ත්‍රීන්ටද සමානය.   


මිල මුදල් රන් රුවන්, ඉඩම් කඩම්, ගෙවල් දොරවල්, යාන වාහන ආදී මෙකී නොකී සැප සම්පත්වලට මිනිසුන් පොදු වශයෙන් පුදුම සහගත ලෙස පවතින ගිජු බවට ‘‘මේ පුහුදුන් මිනිස් ස්වභාවය’’ යයි මිනිස්සුම පවසා ගනිති.   


මෙවන් මිනිස් ගති සොබාවලින් පරිබාහිරව නොඑසේ නම් එවැනි මිනිස් ගති නොපිහිටියා වූ මිනිසෙකු සාමාන්‍ය මානව සමාජයේ වූයේ නම් ඒ ‘ස්වභාව ධර්මයට’ මිනිසුන් නිර්මාණය කිරීමේදී ‘සිදුවූ බලවත් වරදකින් බිහිවූ පුත්‍රයකු’ විය හැකිය. ස්වභාව ධර්මයට වැරදීමෙන් ලොවට සැපත් පුත්‍රයෝ සාමාන්‍ය මිනිසුන්ට හාත්පසින්ම වෙනස් මිල මුදල් රන් රුවන් ඉඩකඩම් ආදී වූ පුහුදුන් සමාජයේ සිතුම් පැතුම් ඇත්තෝ නොවූහ. එනිසාම මෙම අපූරු පුත්‍රයෝ ලෝකයම සුන්දර හා විශ්මිත ලෙස වෙනස් කළහ.   
ඊනියා ලෙසින් ස්වභාව ධර්මයට වැරදීමෙන් පුහුදුන් මිනිස් සිතුම් පැතුම් හා ගති සොබාවලින් ඔබ්බට පැමිණ අරුම පුද්ගලයකු දහනව වන සියවසේ මුල් භාගයේදී බලල්ල අසල හංගිලිපොළ පුරාණ ගම්මානයේ උපත් ලද්දේය. එල්.ජේ.එම්. උක්කු බණ්ඩා වන්නිනායක නම් වූ ඔහු පසු කලෙක ලොව පුරා පතල වූයේ යාපහුවේ මුදල් ඇමති යූ.බී. වන්නිනායක නමිනි.   


සිංහල රාජධානි සමයේ උඩරට සත්කෝරලයට අයත්ව පැවති වත්මන් මහව ප්‍රදේශයේ බලල්ල අසල කීර්තිමත් ඉතිහාසයක උරුමය පිහිටි හංගිලිපොළ පුරාණ වලව්වේදී ක්‍රිස්තු වර්ෂ 1905 නොවැම්බර් මස 13 වනදා යූ.බී. වන්නිනායක උපන්නේය. ලන්සකාර ජයසුන්දර මුදියන්සේලාගේ උක්කු බණ්ඩා වන්නිනායක යන්න ඔහුගේ සම්පූර්ණ නිල නාමය වුවද පසු කලෙක ඔහු ලොව පතල වූයේ යූ.බී. වන්නිනායක නාමයෙනි.   
පියා වූ ලන්සකාර ජයසුන්දර මුදියන්සේලාගේ ඩිංගිරි බණ්ඩා ලේකම් නිලමේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ කටුවන්නා කෝරළයේ උප්පැන්න විවාහ සහ මරණ පිළිබඳ ලේකම්වරයාය. බලල්ල ලේකම් වලව්වේ විසූ ඔහු ගෝනමුව පෙළපතෙන් පැවෙතන්නෙකි. උඩුවේරිය වළව්වේ රත්න මලල බණ්ඩාරලාගේ මුතුමැණිකේ කුමාරිහාමි යූ.බී. වන්නිනායකගේ මව වූවාය.   


ක්‍රි.ව. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසීන් උඩරටට අයත් සත්කෝරළය ආක්‍රමණය කර රැකෝගම සිංහල බලකොටුව යටත්කොටගෙන වසනා කල එහි විසූ පෘතුගීසි රජයේ දේශීය භට හමුදාව හෙවත් සිංහලයන්ගෙන් සැදි ලස්කිරිඤඤ සේනාවේ මුදලි තනතුරක් ලද ගෝනුව මුදියන්සේ ලස්කිරිඤ්ඤ මුදින්සේ යයි ප්‍රකට විය. I රාජසිංහ රජු හා එක්වූ රැකෝගම අධිකාරම හා ප්‍රදේශයේ විසූ සිංහල නිළමේවරු රැකෝගම බලකොටුව පෘතුගීසීන්ගෙන් මුදාගන්නා ලද්දේ I රාජසිංහ රජු ​රැකෝගම බල​කොටුවේ වැඩි පෙදෙස පාලනය කළෝය. පෘතුගීසි යටතේ සේවය කළ ගෝනාව මුදියන්සේ පසුව I රාජසිංහ රජුට සිය සෙබළ මුල සමග සේවය කළෙන් රජු ගෝනුව මුදින්සේලට ජෑසුන්දර මුදියන්සේ නාමය දෙවා වදාලෝය. එහෙයින් ගෝනව මුදියන්සේ ‘ලස්කිරින්න ජෑසුන්දර මුදියන්සේ’ නමින් පතල වූ යයි ‘රැකෝගම පුරාණ වලව්වට’ අයත් පුස්කොල පොත්වල සහ මුද්‍රිත ග්‍රන්ථ කිහිපයකද සඳහන් වේ.   
ඉපැරණි ඉතා කුඩා ගම්මානයක් වූ ගෝනමුවගම රැකෝගම සහ හංගිලිපොළ ගම්මාන අතර බලල්ල ගම්මානය අසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. ‘ලන්සකාර ජයසුන්දර මුදින්සේලාගේ’ නමින් අද වන විටද පැවතෙන ‘ගෝනුව නිළමේ’ගේ පරපුර ‘යූ.බී. වන්නිනායක’ගේ පියාගේ පෙළපතයි.   
‘රත්නමළල බණ්ඩාරලාගේ’ පරපුරේ උපන් ‘උඩවේරිය බස්නායක නිළමේගේ දියණිය ‘මුතුමැණිකේ කුමාරිහාමි’, යූ.බී.ගේ මව වූ අතර සුප්‍රකට මළල වංශයෙන් පැවතෙන ‘උඩවේරියේ රත්නමළල බණ්ඩාර’වරු කෝට්ටේ රාජධානි සමයේ ‘IV බුවනෙකබා රජු’ දවස ලක්දිවට සැපත් බව ‘වළල විත්තිය’ හා ‘රැකෝගම පුස්තකාල පොත්’වලින් ලියැවී තිබේ.   
‘ඩිංගිරි බණ්ඩා ලේකම් නිළමේ’ගේ මව ‘එරියාව වලව්වේ’ සිට්ටම්මා කුමාරිහාමි වන්නිනායක වූයෙන් ‘වන්නිනායක’ භාවය ඩිංගිරි බණ්ඩා නිළමේ සිය නාමයට එක්කොටගෙන විසූයේ තම පුතු යූ.බී.ට ද ‘වන්නිනායක’ නාමය එක්කරන ලද බව පෙනේ.   


මහව අඹන්පොළ අසල පිහිටි ‘එරියාව හා අත්තනපොළ’ ගම්මානවල වසනා ‘එරියාවේ’ වරුන් ‘රාජකීය කීරවැල්ලේ’ පරපුරෙන් පැවතෙන බව ‘බණ්ඩාරවලියේ’ සහ රැකෝගම පුස්කොළ පොත්වල ලියැවී තිබේ.   


දහනව වැනි සියවසට සරිලන සියලු සැප සම්පතින් අනූන උඩරට රදළ වලව්වක බිලිඳු විය සපුරන යූ.බී. සිය පියාගේ උරුමය වූ බලල්ල ලේකම් වලව්වට ඉතා ළඟින් පිහිටි බලල්ල පිරිමි විද්‍යාලයෙන් මුල්වරට ශිල්ප ශාස්ත්‍රය ප්‍රගුණ කළේය. බලල්ල පාසලින් පසුව කුරුණෑගල ක්‍රිස්තුදේව විද්‍යාලයෙන්ද ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද වැඩිදුරටත් අධ්‍යාපනය හදාළේය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන සමයේදී යූ.බී. ශිෂ්‍ය භටයකු ලෙසින්ද කටයුතු කර තිබේ.   
1924 දී කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් සමත්වූ යූ.බී. වන්නිනායක 1927 දී ශිෂ්‍යත්වලාභියකු ලෙසින් ගුරු විද්‍යාලයට ඇතුළත් විය. ගුරු විද්‍යාලයෙන් පිටත්වීමත් සමග උපගුරුවරයකු ලෙස මුල්ම ගුරු පත්වීම පුත්තලම දිස්ත්‍රික්කයේ ශාන්ත ඇන්ඩෲ පාසලට ලබාගත් පසු ඔහු වසර තුනක් සේවය කළේය. ඉන් අනතුරුව ගුරු සේවයේ සිය දෙවැනි සේවා ස්ථානය ලෙසින් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ සේවයට පැමිණ එහි විදුහල්පති ලෙස කටයුතු ඇරඹීය. එවකට කුරුණෑගල මලියදේව විද්‍යාලය රජයෙන් ආධාර ලබන පෞද්ගලික පාසලක් විය. මලියදේවය පමණක් නොව මේ කාලය වනවිට ආනන්ද, නාලන්ද, ධර්මරාජ වැනි කොළඹ මහනුවර නමගිය ප්‍රසිද්ධ විද්‍යායතන බො​හෝමයක්ම රජයෙන් ආධාර ලැබූ    ඕල්කට්තුමන්ගේ  මූලිකත්වයෙන් ඇරඹූ පරමවිඥානාර්ථ සමාගමේ පාසල් ලෙස පැවතිනි.

   
මලියදේව විද්‍යාලයේ විදුහල්පති ලෙසින් යූ.බී. පැමිණෙන විට මලියදේවය ඉතාම දුර්වල මට්ටමේ පැවතිණි. මුළු විද්‍යාලයේම වූයේ සිසුන් සියයකට ​ආසන්න ප්‍රමාණයකි. සිසුන් සඳහා ස්ථිර ගොඩනැගිලිවල අවශ්‍යතාවද ඉතා දැඩිව පැවති බව විදුහල්පති යූ.බී. දුටුවේය.   
එවකට ශ්‍රී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රී ලෙස කටයුතු කළ ජී.ඊ. මඩවල මහතා හමුවූ යූ.බී. විදුහල්පතිතුමා මඩවල මහතාගේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ඉඩම්වලින් කොටසක් ලබාගෙන මලියදේවය වඩා සංවර්ධනය කළේය. මලියදේවයේ ප්‍රධාන ගොඩනැගිල්ල සර් ජෝන් කොතලාවල මැතිඳුන් විසින් ඉදිකරවූ අතර එය විවෘත කරන ලද්දේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිය.   


එමෙන්ම ඉබ්බාගමුවේ උඩතම්මිට විමලසාර නාහිමි විසින් අරඹන ලද ‘පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්දයේ’ සංවර්ධනය පිළිබඳව ද සර් ජෝන් විමසාලූයෙන් පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්දය ‘වයඹ පාලි බෞද්ධ අනුබද්ධ විශ්වවිද්‍යාලය’ බවට පත්විය.   
ලෝක යුද්ධ සමය වනවිට මලියදේව පාසල් බිමේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකිව පාසල වැසීයන තත්ත්වයට පත්විය. එහෙත් මෙම අවස්ථාවේදී මූලිකත්වය ගත් යූ.බී. මලියදේවයේ පාසල් සිසුන් කුරුණෑගල ඇත්කඳ විහාරයට රැගෙන ගොස් එහිදී පාසල් කටයුතු නොපිරිහෙලා ඉටු කළේය. මලියදේවය ලෝක යුද්ධ සමයේදී පවා පසුනොබසින ලද්දේ එහෙයිනි. 

 
යූ.බී. වන්නිනායක විදුහල්පති ලෙසින් 1930 සිට වසර 18 මලියදේව විද්‍යාලයේ සේවය කළේය. ඔහු මලියදේවයට කළ අගනා මෙහෙවර නිති සිහිගැන්වීමට මෙන් පසු කාලයේදී මලියදේවයේ ඉතිහාසය ගොනුකර තිබුණේ ‘පූර්ව යූ.බී. වන්නිනායක යුගය’ ‘අපර යූ.බී. වන්නිනායක යුගය’ ලෙසිනි.   
යූ.බී. වන්නිනායකගේ හතර වරිගයක පරපුරෙහි වූවෝ උඩරට සිංහල රාජධානි පැවති සමයන්හිදී සාම්ප්‍රදායික ප්‍රාදේශීය රාජ්‍ය පාලනය උරුමයෙන් ලද්දෝ වූහ. සිය මාපිය උභය පාර්ශ්වීය නෑදෑවරුන් දුරාතීතයේ පටන් උරුම කොටගෙන පැවති සාම්ප්‍රදායික රාජ්‍ය පාලන ආශිර්වාදය හා ශක්‍යතාව යූ.බී. වන්නිනායක වෙතද මනාව පිහිටා තිබිණි. ඔහු මලියදේවයේ සේවයේ යෙදී සිටියදීම ලංකාවේ එවක වඩා ප්‍රභාමත් දේශපාලන චරිත කිහිපයක් හා ඇසුරට එක්වීම යූ.බී. වන්නිනායකගේ දිවි ගමන වත්මන් දේශපාලනයට යොමු කිරීමට මෙන්ම අනාගත දේශපාලනඥයන් හට ‘‘මානව හිතවාදී දේශපාලකයකුගේ උත්තරීතර චරිතය මේ’’ යැයි පහන් සංවේග උපදවා ගැනීමට විශේෂයෙන් හේතු වූවා සේය.   
එහෙයින් සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, එම්.ඩී. බණ්ඩා, ඒ. රත්නායක වැනි එදා දේශපාලනයේ දැවැන්තයෝ, යූ.බී. වන්නිනායකගේ ඉත මිතුරන් බවට පත් වූහ. මේ නිසාම 1943 දී යූ.බී. ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය. මලියදේවයේ විදුහල්පතිව සිටියදීම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූයෙන්, 1948 දී යූ.බී. වන්නිනායක විදුහල්පති ලෙසින්ම විශ්‍රාම ලැබීය.   


1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ යූ.බී. වන්නිනායක 1949 සිට 1960 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා මන්ත්‍රීවරයකු ලෙස විසීය. එමෙන්ම 1949 සිට 1954 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුදල් උපඅමාත්‍යවරයා ලෙස කටයුතු කළේ යූ.බී. වන්නිනායක මන්ත්‍රීවරයාය.   
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ දහතුන්වැනි මුදල් අමාත්‍යවරයා වූයේ යූ.බී. වන්නිනායක මැතිතුමාය. 1965.03.22 දින පැවති මැතිවරණයෙන් පත්වූ මෙම පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය දහහත් දෙනෙකුගෙන් සමන්විත වූවකි. 1970 තෙක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා වූ ඔහු යාපහුව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන්ද කටයුතු කළේය.   
යූ.බී. විවාහ දිවියට පැමිණියේ මලියදේව විද්‍යාලයේ සේවය කරන සමයේදීමය. 1944 වසරේදී සිදුවූ මෙම විවාහ මංගල්‍යය ඉපැරණි සිංහල කුල සිරිතට අනුව ඉටු වූවකි. හතර කෝරළයේ මාවනැල්ල අසල හිඟුල ඉඩම්පිටිය වලව්වේ චන්‍ද්‍රා කුමාරිහාමි අබේරත්න නම් වූ සුන්දර කුමරිය යූ.බී.ගේ මනාලිය වූවාය. දිගු ඉතිහාසයකට හිමිකම් කී ඉඩම්පිටිය වලව්ව හතර කෝරළේ චිර ප්‍රසිද්ධ පරපුරකි.   


රංජනී, උපාලි, කමාල්, ආනන්ද, තුසිනා, ස්වර්ණා, යෝජිත ලෙසින් පිරිමි දරුවන් පස්දෙනකුගේ හා ගැහැනු දරුවන් තුන්දෙනෙකුගේ පියා වූ යූ.බී. දරුවන්ට හා බිරිඳට දැඩි සේ ආදරය කළේය. එහෙයින් තමාගෙන් සමාජයට හා පරිසරයට කවරම හෝ අවැඩක් අසාධාරණයක් නොවන සේ විසීමට ඔවුන්ට උපදෙස් දුන්නේය. සිය අල්පේච්ඡ ජීවිතය අනුගමනයට බල කළේය. කවර හෝ අවස්ථාවක ඒ ඉටු නොවනු දුටුවහොත් දැඩි ලෙස කිපුණේය. යූ.බී. කිසිම විටෙක අමාත්‍ය තනතුරේ බලය දේශපාලනයේ ශක්තිය සිය ජීවිතය සකසා ගැනීමට යොදාගත්තේ නැත.   
තමා මෙන්ම තම මාපියන් සිය දූ දරුවන් පවුල නෑදෑවරුන් ගම් වැසියන් ද රටේ ජනතාව ද අතර කිසිම වෙනසක් කවරදාක හෝ යූ.බී. දුටුවේ නැත. තමාගේ දරුවකුගේ නෑදෑවරයකුගෙන් සාමාන්‍ය රටවැසියකුටද සාමාන්‍ය රටවැසියකුගෙන් තම දරුවෙකුට හෝ නෑදෑවරයකුට සිදුවන අසාධාරණයක් කවරම අයුරෙකින් හෝ සිදු නොවිය යුතුය යන්න පමණක් ඔහු දැන සිටියේය.   
වරක් යූ.බී. මුදල් අමාත්‍යතුමාගේ පුත් උපාලි වන්නිනායක තරුණ වියේදී මහජන බැංකුවේ ක්ෂේත්‍ර නිලධාරි තනතුරක සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම් ලිපියක් මුදල් ඇමතිතුමාගේ කුරුණෑගල නිවසට ලැබුණේය. සතුටට පත් චන්‍ද්‍රා කුමාරිහාමි අබේරත්න වන්නිනායක හෙවත් යූ.බී. වන්නිනායක මැතිනිය සිය නිවසේදී අවස්ථාවක් බලා මුදල් ඇමැතිතුමා ඇමතීය.   


‘‘අප්පොච්චි, ලොකු පුතාට බැංකුවේ රස්සාවකට ඉන්ටවිව් ඇවිත්’’ - චන්‍ද්‍රා, ‘‘අනේ අප්පච්චි, පුතාට ලියුමක් දෙන්නකෝ ඉන්ටවිව් එකට. ඉන්ටවිව් එකේ ලොක්කෝ අප්පච්චිගේ ලියුම දැක්ක ගමන් පුතාව රස්සාවට ගනී, ඇමතිතුමාගේ පුතා නිසා.’’   
යූ.බී., ‘‘මොකටද මගෙන් ලියුම්, උපාලිට සුදුසුකම් තියෙනවා නම් ඉන්ටවිව් එකෙන් පාස්වෙයි. රෑකියාවට තෝරාගනී’’. යූ.බී. කීවේය.   
උපාලි වන්නිනායක සිය පියා වූ මුදල් ඇමතිතුමාගෙන් ලියුමක් නොමැතිවම ඉන්ටවිව් එකට ගියේය. සම්මුඛ පරීක්ෂණය සඳහා පෝලිමේ උන් උපාලි වන්නිනායක තමාට වෙන් කළ අවස්ථාවේදී සම්මුඛ පරීක්ෂණය සඳහා සිය සුදුසුකම් සහිත ලිපි ගොනුව ඉදිරිපත් කළේය.   
‘‘දකුණු රවුම් පාර, කුරුණෑගල’’ ලිපිනයට උපාලි වන්නිනායක මහතාට බැංකු රැකියාවේ කැඳවීම් ලිපිය එවා තිබිණි. මුදල් ඇමතිතුමා හා පවුල එකල පදිංචිව සිටියේ ‘‘දකුණු රවුම් පාර, කුරුණෑගල’’ ලිපිනය වූ නිවසේය.   
සම්මුඛ පරීක්ෂණයේදී උපාලි වන්නිනායකගේ කැඳවීම් ලිපිය පිරික්සූ එම මණ්ඩලය ‘‘ඔය ළමයාගේ ලිපිනය, මුදල් ඇමැතිතුමාගේ කුරුණෑගල නිවසේ ලිපිනයට සමානයි. මුදල් ඇමැති යූ.බී. වන්නිනායක මහත්මයාගේ ගෙවල් ළඟද, හිතවත්කමක් එහෙම එතුමා සමග තියෙනවාද එහෙම නැතිනම් නෑදෑකමක්වත් තියෙනවාද? යි උපාලි වන්නිනායකගෙන් ඇසීය.   


මුව පුරා සිනාසුණු උපාලි වන්නිනායක, ‘‘ඒ මගේ අප්පොච්චී’’යි කීවේය.   
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සැණින් කලබල විය. වහාම මුදල් ඇමැති යූ.බී. වන්නිනායක වෙත දුරකථන ඇමතුමක් ලබාගත් එහි විසූ ඉහළ නිලධාරියෙකු,   
මුදල් ඇමතිතුමා, පුතා ඉන්ටවිව් බෝඩ් එකේ ඉන්නවා. කිසිම ගැටලුවක් නෑ සර්. පුතා රැකියාවට ගන්න පුළුවන්.’’ කීවේය.   
‘‘පුතාට සුදුසුකම් තියෙනවා නම් රැකියාවට ගන්න පුළුවන්. සුදුසුකම් නැති අය රැකියාවට ගත්තොත් ඒ ගැන තමුන්ට වගකියන්න වේවි. මගේ මූණ හොඳ කරන්න පත්වීම් දීල ඒ ගැන වග බලාගන්න වේවි. මම ඒවට නෑ’’යි, යූ.බී. ඊට පිළිතුරු දුන්නේය. සුදුසුකමක් නැති අයෙකුට රැකියාවක් ලබාදීම සුදුසුකම් ඇති අයෙකුට කරන බලවත් අසාධාරණයක් යැයි යූ.බී. නිතරම පැවසූවකි.  
සියලු සැපසම්පතින් පිරි උඩරට කීර්තිමත් වලව්වක උපන් යූ.බී. ගෙවූ නිහතමානී අල්පේච්ඡ දිවිය අපූරු වූ එකකි. මුදල් ඇමතිව සිටි සමයේදී කොළඹ නිල නිවසේදී ද ඔහුගේ ගති පැවතුම්වල වෙනසක් නොවීය.  
දිනක් කොළඹ නිවසේදී උදෑසනම අවදිව තුවායද කරේ දමා නාන කාමරයට පිවිසි යූ.බී. ඇමතිතුමා, කරුණාසේන යයි කිහිප විටක් හඬගෑවේය. කොළඹ පිහිටි මුදල් ඇමති නිවසේ යූ.බී.ගේ ලේකම් ‘කරුණාසේන හංගිලිපොළ’ හා කාර්යාලයේ සේවය කළ ගල්ගමුව අසල ‘මහකත්නොරුවේ හේරත් බංඩා’ මහත්වරුද විසූයේය ‘කරුණාසේන මහතා’ වහා නාන කාමරය වෙත ගියේය.  


‘‘මේ... මේ... සබන් එහෙම ගෙනාපුවා තියෙයිද බලමුකෝ’’යි යූ.බී. ඇසුවේය. වහාම සොයා බැලූ ‘කරුණාසේන’ නාන කාමරයේ තබා කොළඹ නිවසේ පවා සබන් වර්ග කිසිවක් නොමැතිව, රෙදි සෝදන වර්ගයේ අඟල් 1/2 ක තරමේ ඉතා කුඩා ගෙවීගිය සබන් පොත්තක් අත තබාගෙන, ‘‘ඇමතිතුමා සබන් ඉවර වෙලා ඉක්මනින් ගෙනෙන්නම්’’ කීවේය.  
ඒ ඇසූ මුදල් ඇමතිතුමා, ‘‘ආ... ඒකට... මොකද?’’... කියා උඩුකය නිරුවත්ව හා කලිසම පමණක් හැඳ හාන්සිපුටුවක වාඩිවී එකම සරම වේලෙන තෙක්, පුවත්පත බැලුවේය.  
චාම් සරල දිවි පැවැත්මකට අනුව කටයුතු කළ යූ.බී. සිය දූ දරුවන් පවුල හා නෑදෑවරුන්ටද ඊට හුරුවන ලෙස ආදර්ශමත් විය. දේශයට අවශ්‍ය පරාර්ථකාමී බව යූ.බී. වන්නිනායක මැතිඳුන්ගේ චරිතයේ සෑම පැතිකඩකින්ම කැපී පෙනෙන්නකි. රජයේ මුදල් මහජන මුදල්, රටේ දේපළ පිළිබඳ යූ.බී. වන්නිනායක මැතිතුමාගේ දැක්ම අකැප හෝ පිළිකුල් සහගත වස්තූන් ලෙස සලකා ඒ පරිහරණය පරෙස්සමෙන් සිදු කළේය. මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ ගමන්වලට, ඉතා අඩුවෙන් සහභාගී වී රජයේ මුදල් අල්ප වශයෙන් භාවිත කළා පමණක් නොව විදේශ ගමන්වලින් ඉතිරිකරගත් රජයේ මුදල් යළිත් රජයට ලබා දීමට තරම් පරහිතකාමී විය. යූ.බී. වන්නිනායක රටටම වෙන් වෙච්ච චරිතයක්. තමන්ගේ පවුල හා පරපුරට වි​ශේ‍ෂ සැලකිල්ලක් කිසිම විටෙක කළේ නැත. සත්‍ය වශයෙන්ම වන්නිනායක පවුල හා පරපුර පිළිබඳව අවශ්‍ය කටයුතු සොයා බලන ලද්දේ යූ.බී. වන්නිනායකගේ බිරිඳ වූ චන්ද්‍රා වන්නිනායක මැතිනියයි.  


මලියදේව විද්‍යාලය උසස් තත්ත්වයට ගෙන ඒම, මලියදේව පිරිවෙන නගාසිටුවීමට කටයුතු කිරීම, වයඹ සමුපකාර ව්‍යාපාරය ගොඩනැගීම, කුරුණෑගල සමූපකාරය වඩා දියුණු කිරීම මෙන්ම මහව සමූපකාරය, මහව මහජන බැංකුව, මහව තැපැල් කාර්යාලය ආදී වූ ගොඩනැගිලි හා ඉදිකිරීම් යූ.බී. වන්නිනායක මැතිඳුන්ගේ සමාජසේවාවලින් අතලොස්සකි.  


එමෙන්ම මහව හා බලල්ල ප්‍රදේශයේ වන්නිනායක මුදල් ඇමැතිතුමා විසින් ඉදිකළ ආයතන, එතුමාගේ පෞද්ගලික මුදලින් ලබාගත් ඉඩකඩම්වල ගොඩනැගුන ඒවාය. නැතහොත් සිය මාපිය පරම්පරාවලට පාරම්පරිකව හිමිව තිබූ ඉඩම්වල ඉදිකළ ඒවාය.  
දේශපාලන ජීවිතයෙන් කිසිවක්ම උපයා නොගත් යූ.බී. ඇමති තනතුරෙන් ඉවත්ව ආපසු බලල්ල නිවසට පැමිණියේ කොළඹ නිල නිවසට බලල්ලේ නිවසින් ගෙන ගිය හාන්සි පුටුවත් ඇඳුම් පැලඳුම් බහාලූ ට්‍රන්ක පෙට්ටියත් පමණක් රැගෙන ජාතියේ දේපොළ බිඳකුදු මුසු නොකර ඉතා පිරිසිදු ලෙසිනි.  
‘මිනිසා මිනිසා සඳහාය’ යන්න යූ.බී. වන්නිනායකගේ දිවිය පුරාවටම දීප්තිමත්ව දක්නට ලැබෙන සුවිශේෂී මානව හිතවාදීභාවයට නිහතමානී බව හා අල්පේච්ඡතාව මුසුවීම මිනිසෙකුට ඉතා කලාතුරකින් හිමිවන්නාවූ ලක්ෂණයකි. මෙම අපූරු පිහිටීම යූ.බී. මැතිඳුන්ගේ දිවියේ ආරම්භයේ පටන් අවසානය දක්වාම කදිමට පිහිටා තිබුණේය. 1973 අගෝස්තු මාසය වන විට යූ.බී. වන්නිනායක මැතිඳුන් කඩින් කඩ සිය අසනීප තත්ත්වය හේතුකොටගෙන කුරුණෑගල මහ රෝහලේ පොදු වාට්ටුවකට නේවාසික ලෙසින් ඇතුළත් කරන ලදී. ‘‘හිටපු මුදල් ඇමැතිවරයා මහ රෝහලේ පොදු වාට්ටුවක’’ යන පුවත රට පුරා ඉගිල ගියෙන් දේශපාලන නායකයන් හා කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රධානීන් වහා පැමිණ වඩා සුව පහසු වෙනත් වාට්ටුවකට හෝ ගෙවන වාට්ටුවකට අමාත්‍යවරයා මාරු කිරීමට බොහෝ සේ උත්සාහ කළේය. ​‘‘මේ රෝහලේ වාට්ටුව මට හොඳටම හොඳයි. විශේෂයෙන් ගෙවන වාට්ටුවල තියෙන්නෙ අලුතින් හුණු ගාපු බිත්ති විදුලි පංකා වගේ දේවල් විතරනෙ. ඊට වැඩි මේ අහිංසක මිනිස්සු මැද්දේ ඉන්න එක මට ​බොහෝම සැපයක්’’ ඊට යූ.බී. සිනාසී පිළිතුරු දුන්නේය.  
වසර 68 ආයු වැලඳූ මුදල් ඇමති යූ.බී. වන්නිනායක මැතිඳුන් 1973 අගෝස්තු මස 27 වන දින දැයෙන් සමුගත්තේය.  
යූ.බී. මැතිඳුන්ගේ දේහය ආදාහනය කිරීමෙන් පසු ලබාගත් භෂ්මාවශේෂ තැන්පත් කොට බලල්ලේ යූ.බී. වන්නිනායක බංගලාව පිහිටි වත්තේ දකුණු කෙළවර සොහොන් කොතක් ඉදිකරන ලදී. බලල්ල ‘‘යූ.බී. වන්නිනායක මහා විද්‍යාලය ඉදිරිපිට පිහිටි මෙම සොහොන් කොත අද ද දක්නට ඇත. එහෙත් යූ.බී. සිය ප්‍රදේශයේ ජනතාව හමු වූ කලක් වාසය කළ ‘‘වන්නිනායක බංගලාව’’ අද දක්නට නැත.

  
යූ.බී. මැතිඳුන් දැයට දායාද කළ හංගිලිපොළ වලව්ව මේ වනවිට නවීකරණය වී තිබේ. මෙම වලව්වේ බිමෙහි උඩුවේරිය වළව්වේ රත්නමළල බණ්ඩාරලාගේ පරපුර හා මාතලේ නියරේපොළ වලව්වේ නියරේපොළ පරපුරත් වාසය කරති.  
හංගිලිපොළ වලව්වේ පැරණි පාලන යුගයේ අවසන් නිලධාරියා වූ පියදාස රත්නමළල බණ්ඩාර වන්නිනායක නිළමේ හෙවත් ‘‘විදානෙ අත්තා’’ මා මීට කලකට පෙර වලව්වට පිවිස එක් දිනකදී ‘‘වැදගත් තැනක් පෙන්නා කියා දෙන්ට තියෙනවා. එතැනත් හෙට අනිද්දා වෙන කොට ඉතිරි කරගන්ට බැරි වෙයි’’ කියමින් ඒ වනවිටද කඩා ඉවත් කර තිබූ හංගිලිපොළ වලව්වේ මැද මිදුලේ දිරා යාමෙන් ආයාසයෙන් ඉතිරි කොටගෙන තිබූ කළුවර කාමරය වෙත කැඳවා ගියේය.  
‘‘හංගිලිපොළ වළව්වේ මෑත කාලයේ රට කරවපු දෙන්නෙක් උපන් කාමරය මේක’’යි කියා ජනෙල් හා කවුළු කිසිවක් නොවූ අඩි 2 1/2 පමණ ගණ මැටි බිත්තිවලින් වට වූ වලව්වේ තිඹිරිගෙය හෙවත් වැදුම්ගෙය මා හට පෙන්වීය.  


එකල වළව්වල කුමර කුමරියනට උපදින්නට වළව්වේම තිඹිරිගෙයක් ඉදිව තිබිණි. රජයේ රෝහල් පසු කලෙක ඉදි වුවද පැරැන්නෝ ඊට නොකැමැති වූහ. වලව්වල ගැබ්බර කතුන් මෙම කළුවර කුටි තුළ දරුවන් වැදූහ. එමෙන්ම වැඩිවිය පත් කුමරියන්ද මෙම කළුවර කුටිය නිවැසියන්ගෙන් වසන්ව විසීමට යොදා ගත්හ.  
හංගිලිපොළ වලව්වේ කළුවර කුටියෙහි මුදල් ඇමති යූ.බී. වන්නිනායක මෙන්ම අනුරාධපුර දිසා අමාත්‍යවරයාව විසූ චන්‍ද්‍රා බණ්ඩාර මැතිඳුන්ද උපන්නේය. යූ.බී. හා චන්‍ද්‍රා බණ්ඩාර දෙදෙනා ඥාති සොයුරන්ය. චන්‍ද්‍රා බණ්ඩාර ඇමතිතුමාගේ දියණිය චන්‍ද්‍රාණි බණ්ඩාර මැතිනියයි.  


යූ.බී. වන්නිනායක මැතිඳුන්ගේ පියාගේ සොයුරියක විවාහකව සිටියේ පුංචි බණ්ඩා රැකෝගම ආරච්චි නිළමේ සමගය. ආචාර්ය කේ.එම්.එස්.බී. රැකෝගම මෙම පරපුරේ අයෙකි. යූ.බී.ගේ තවත් සොයුරියක ඉහළ බළල්ලේ විදානේ මහතා හා විවාහ වූයේය. ප්‍රාදේශීය ලේකම් අශෝක බලල්ල, බලල්ලේ විදානේ මහතාගෙන් පැවතෙන්නෙකි.  

 

 

 

කේ.එම්.එස්.සී.කේ.ඒ. රැකෝගම