
CFM සැලකෙන්නේ ලෝකයේ දැවැන්තම වාණිජමය ගුවන්යානා එන්ජින් නිෂ්පාදකයා ලෙසය. එම ආයතනය ඇමරිකාවේ ආරම්භ වන්නේ මීට වසර 51 කට පෙර 1974 දී ය. දිනක් ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුට දුරකතන ඇමතුමක් ලැබුණි.
“ඔබ අමතන්නේ ඇමරිකාවේ CFM කොම්පැණියෙන්. අපේ කැලැන්ඩරයට ඔබේ චිත්‍රයක් තෝරගෙන තියෙනවා. එක රටකින් එකම චිත්‍රයක් පමණයි අපි තෝරගන්නේ. ඒක රටකට ලැබෙන එකම අවස්ථාව. ඔබගේ කැමැත්ත අපට ලිඛිතව අවශ්‍යයි.”
ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුට ඇමතුමක් ලබා දී මේ කියන චිත්‍ර ශිල්පියා සොයා අප පසුගියදා ඔහුගේ කලාගාරයට ගියෙමු. ඔහු චිත්‍ර ශිල්පි නුවන් තේනුවරය.
“ඉතිං කොහොමද ඔය ලෝකේ ලොකුම Air Craft Engine Company ට කැලැන්ඩර් නිර්මාණයට අවස්ථාව සැලසුණේ?”
“මගේ පේන්ටින් ජෝජ් කීට් ෆවුන්ඩේෂන් එකේ ප්‍රදර්ශනය කරනවා. ඔය ඇමරිකන් කොම්පැණියේ අධ්‍යක්ෂවරයාත් කැලැන්ඩරයට චිත්‍රයක් හොයන්න ලංකාවට ආපු වෙලේ ඒක දැකලා තිබුණා.”
![]() |
| නුවන් තේනුවර |
තේනුවරගේ මෙම චිත්‍රය සඳහා ඇමරිකන් සමාගම ගෙවන ලද්දේ ඇමරිකන් ඩොලර්වලිනි. එම මුදල අපට නම් සිතාගත නොහැකි තරම් විශාල මුදලකි. ඊට අමතරව ඔහුට ඇමරිකාවට ඕනෑම වේලාවක පිවිසීමට වීසා පහසුකම් පවා ඇමරිකන් සමාගම ලබාදීමට කටයුතු සැලසුම් කළේ ලංකාවේ චිත්‍ර ශිල්පියෙකුට කරන ජාත්‍යන්තර උපහාරයක් ලෙසය.
“මම උපන්නේ කොළඹ මරදානේ. තාත්තා කළේ බිස්නස්, අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්”
උසස් පෙළින් පසු නුවන් තේනුවර උසස් අධ්‍යාපනයට යොමුවන්නේ මරදානේ ටෙක්නිකල් කොලිජියටය. ඔහු තෝරාගත් පාඨමාලාව වූයේ බෙල්ජියම් ජෙම් ඇන්ඩ් ජුවලරි නිර්මාණ පාඨමාලාවකි. බෙල්ජියමට ගොස් වැඩිදුර අධ්‍යාපනයට ඉඩප්‍රස්ථාව තේනුවරට බෙල්ජියම් රජය විසින් සලසන ලදී. නැවත ලංකාවට පැමිණි තේනුවර කොටහේනේ ට්වින් ඇඩ්වර්ටයිසින් ආයතනයකට එක් විය. ලෝකයේ ඔහු දැරූ තනතුර ඉංගිරිසියෙන් හැඳින්වූයේ Illustrator, Visualizer ලෙසය. ඉන්පසු තේනුවර එක්වූයේ ඩොනල්ඩ් ආයතනයේ වීඩියෝ දෙපාර්තමේන්තුවටය. ඔහු ඊළඟට එක්වූයේ කිරුලපනේ ප්‍රින්ට් ෂොප් (Print Shop ) ආයතනයටය.
“මේක මාර රස්සාවලින් පැනිල්ලක්නේ. අන්තිමට ඉතුරුවුණේ බානි රේමන්ඩ් (Bane Remond) එකේ ෆියුනරල් ඩිරෙක්ටර් පෝස්ට් එක විතර ද? යි තේනුවරගෙන් මා අසා සිටියේ මවිතයෙනි.
ඊට පස්සේ “මම සවුදි ගියා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආට් ඩිරෙක්ටර් තනතුර භාරගන්න. එතකොට මට වයස 24 යි” අපේ බොස් ඇමරිකන්, අපිට වැඩකරන්න තිබුණේ සවුදි රජ්ජුරුවෝ එක්ක. සවුදියේ රජ්ජුරුවන්ගේ උපදෙස් මත ගුවන් තොටුපළේ සියලු නිර්මාණ කටයුතු කරන ලද්දේ තේනුවර විසිනි. සවුදි රජ්ජුරුවන්ගේ මෙන්ම එරට ආණ්ඩුව ප්‍රකාශයට පත්කළ වර්ණ සඟරා නිර්මාණය කළේත් තේනුවර විසිනි.
“සවුදියේ ජොබ් කීයක් විතර කළා ද?” මම අසා සිටියෙමි.
මං එහෙ හිටියේ අවුරුදු හතරක් විතර. කලාකාරයන්ට දෙවියන්ට වගේ සලකන්නේ, ඇමතිලා අපේ ගාවට, ආරක්‍ෂක අමාත්‍යාංශයට ඇවිත් අපි අඳිනවා, ඩිසයින් කරනවා බලාගෙන ඉන්නවා. සවුදි ආරක්‍ෂක අමාත්‍යාශයේ රැකියාවට තේනුවර සමුදෙන විට ඔහු තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට තරම් ධනස්කන්ධයක් හම්බකරගෙන හමාරය.

CFM කැලැන්ඩරයට ගත් චිත්‍රය
“මං ලංකාවට ඇවිත් මගේම ඇඩ්වටයිසින් ඒජන්සියක් ෂැඩොව් (Shadow) නමින් රත්මලානේ පටන් අරන් එම ඒජන්සිය බම්බලපිටියට ගෙනාවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කැලැන්ඩරේ, කින්ජෝ එකේ ඇඩ්වටයිසින්, ඩිසයිනින් කළේ මගේ ඒජන්සියේ”
තමාගේම ඒජන්සියක් කළත් ඊට පසු තේනුවර ක්‍රියේටිව් ඩිරෙක්ටර් (Creative Director) ලෙස වැඩ භාරගත්තේ මීඩියා විෂන් (Media Vision) ආයතනයේය.
“මැනලා ගත්තත්, කපලා ගත්තත්, වයර් නම් කැලණි” ඒ තේනුවර නිර්මාණය කළ ජනතාවට මතක ඇති වදන්පෙළකි. “ජාතියේ ශීතකරණය සිසිල්” තේනුවරගේ තවත් මතක හිටින ස්ලෝගන් එකකි. (Slogen) ඩි. සැම්සන් කර්මාන්තය මෙන්ම සිංගර්, සිසිල් ප්‍රචාරක කටයුතු මෙහෙවන ලද්දේ මෙම ආයතනය විසිනි.
දැන් ඔච්චර චිත්‍ර ඇඳලා ප්‍රදර්ශන කීයක් විතර තියලා තියෙනව ද? ඒ ප්‍රශ්නය තේනුවරට යොමු කළේ අපේ ඡායාරූප ශිල්පියාය.
“ඕමානයේ ඉද්දි චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බා. එංගලන්තේ ප්‍රදර්ශනයකත් මගේ චිත්‍ර ප්‍රදර්ශනය වුණා. මම තනියම චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බා. කෝට්ටේ වලව්ව ශාලාවේ සිත්තරු ඇඳි රෑ එකෙත් තිබ්බා මගේ නිර්මාණ. ජෝජ් කිට් ෆවුන්ඩේෂන් එකෙත් මගේ චිත්‍ර තියෙනවා.”
ඔබේ චිත්‍රය යොදා නිර්මාණය කරපු CFM ගුවන්යානා එන්ජින් සමාගම කැලැන්ඩර් වර්ග කීයක් මුද්‍රණය කළා ද?
“උඩට ස්පයිරල් දාලා බිත්තියේ ගහන කැලැන්ඩරයක් මුද්‍රණය කළා. ඩෙක්ස් ටොප් කැලැන්ඩරයක් හදලා තිබ්බා. එනකොට ගුවන් මගීන්ට දෙන්න “පොකට් කැලැන්ඩරයකුත් මුද්‍රණය කරලා තිබ්බා.”
තේනුවරගෙන් අප ගුවන්යානා එන්ජින් කොම්පැනියේ කැලැන්ඩරය සඳහා යොදාගත් චිත්‍රයේ මුල පිටපත ඉල්ලූ විට ඔහු කියා සිටියේ ඔස්ට්‍රියන් සමාගමක් විසින් එය මිලදීගත් බවය.

Time කවරයට කළ නිර්මාණය
ඇමරිකාවේ ශාන්ත ලුසියා දෙව් මැදුරේ චිත්‍ර අඳින්නට තේනුවරට අවස්ථාව ලැබුණේ ෆාදර් එඩ්වඩ් හරහාය. කලක් ලංකාවේ සිටි ෆාදර් එඩ්වඩ් තේනුවර චිත්‍ර කලා ශෛලිය අගය කළ පුද්ගලයෙක් විය. ඇමරිකාවේ ශාන්ත ලුසියා පල්ලියේ ඇති තේනුවරගේ ලොකුම චිත්‍රය අඩි 12ක් උස අඩි 18 ක් පළල එකකි. තේනුවර මේ චිත්‍ර අඳින්නට භාවිත කර ඇත්තේ තෙල් සායම්ය. අප ඔහුගේ කලාගාරයට යන විටත් ඇමරිකාවේ පල්ලියට දැවැන්ත චිත්‍රයක් නිර්මාණය කරමින් සිටියේය. මෙච්චර ලොකු චිත්‍රයක් ඇමරිකාවට යවන්නේ කොහොම ද?
චිත්‍රය ඇඳලා ඉවරවුණාම රෝල් කරලා බටයකට දාලා දෙපැත්තෙන් කැප්වලින් ‘සීල්’ තියනවා. ඇමරිකාවට ගුවනින් ගියාම චිත්‍රය අරගෙන රාමු කරනවා.
තේනුවර විසින් අඳින ලද උඩුකය ඡායාරූප (Portrait) සඳහා පෙනී සිටි මෙරට ප්‍රකට පුද්ගලයන් බොහෝය. ඩබ්ලිව්. ඩී. අමරදේව, එදිරිවීර සරච්චන්ද්‍ර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සනත් ජයසූරිය, පබිලිස් සිල්වා ඉන් කිහිප දෙනෙකි. මෙරට නිරුවත් චිත්‍ර ශිල්පයේ ප්‍රවීණයෙකු වන්නේ තේනුවරය.
“අපේ ආර්ට් ඇකඩමි එකට මොඩි කෙනෙක් ගෙනල්ලා Nude චිත්‍ර අඳින්න දෙනවා.”
සොෆ්ට් වේව් සමාගම වරක් තේනුවරට ආරාධනා කළේ නග්න චිත්‍ර සහිත Coffee Table Book එකක් නිර්මාණයටය. මෙම පොත නම් කර තිබුණේ NUDE PORTRAIT ය. තේනුවර මෙම නග්න රූප නිර්මාණයට යොදාගත්තේ අඟුරු පැන්සලයි. මෙම ග්‍රන්ථය සඳහා ලංකා මුද්‍රණ හිමියන්ගේ සංගමය රන් කුසලානයෙන් පුදනු ලැබීය.
තවත් විටෙක තේනුවර නිර්මාණය කළ ‘මනස නිරවුල් කරන සංගීතය’ ගැන වූ ග්‍රන්ථ නිර්මාණය ජනාධිපති සම්මානයෙන් පුදනු ලැබීය.
තේනුවර මෙරට කැලැන්ඩර් කලාවට ද නව අරුතක් එක්කොට ඇත. ඔහු වරක් නිර්මාණය කළ මේසය මත තබන කැලැන්ඩරයට ලෝකයේ ඇති මුද්‍රණ ක්‍රම සියල්ල පාහේ ඇතුළත්කොට තිබුණි. ඒ සඳහා මුද්‍රණ ලෝකයේ භාවිතවන ඩයිකටින්, එම්බෝසින්, ඩීබෝසින්, ෆොයිලින්, ඕෆ්සෙට්, සිල්ක් ස්ක්‍රීන් ආදි සියලු මුද්‍රණ ක්‍රම භාවිත කොට ඇත. එහෙත් දැන් සොයාගන්න අපහසු ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක්‍රමය මේ සඳහා යොදාගෙන තිබුණේ නැත.
![]() |
![]() |
| සිසිල් ශීතකරණයේ ලෝගෝ එක | රන් සම්මානය දිනු කොෆි ටේබල් බුක් |
තේනුවර වරක් ලංකාවේ ආහාර වර්ග චිත්‍රණය කොට කැලැන්ඩරයක් නිර්මාණය කළේය. මාස 12 ට තේනුවරගේ තෙලිතුඩෙන් චිත්‍රණය වූයේ හාල්, කෙසෙල්, ගොටුකොළ, තැඹිලි, කොස්, බතල, කෙහෙල්මුව, දෙළුම්, පැණිවරකා, කරාබුනැටි, කුරුඳු හා කරපිංචාය.
ලංකාවේ භාවිත වන බෙර වර්ග 12 ක් ගැන අපට දැකගත හැකි වූයේ මාස දොළහට බෙර වර්ග දොළහක් යොදා තේනුවර නිර්මාණය කර තිබූ කැලැන්ඩරයක් නිසාය. ඒ සමහර බෙර වර්ගවල නම් අප අසා තිබුණේවත් නැත. ගැටබෙරය, උඩැක්කිය, රබාන, මද්දලය, දවුල, බුම්මැඩිය, තවිල්, තම්මැට්ටම, දඬුබෙරය, මෘදංගම්, යක්බෙරය හා තබ්ලාව මේ බෙර වර්ග 12 යි.
නුවන් තේනුවර මෙරට ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මෙන්ම ජනප්‍රිය දේශපාලනඥයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවා ඇති නිර්මාණ ශිල්පියෙකි.
ඔහු ඒ නම් පැවසූවත් ඒවා පළකිරීම අනවශ්‍ය බව අපට පැවසුවේ තමා දේශපාලනඥයන් වෙනුවෙන් නිර්මාණය කළ පාඨ කීපයක් පෙන්වමිනි. වරක් ජිප්සීස් නායක සුනිල් පෙරේරාට තේනුවර විසින් මෙවැනි දෙබසක් නිර්මාණය කරන ලදි.
“අපි පොඩි කාලේ ලංකාවට කිව්වේ දියුණුවෙමින් පවතින රටක් කියලා, දැන් මං මැරෙන්නත් ළඟයි. ඒත් ලංකාව තාම දියුණු වෙමින් පවතින රටක්”
සුනිල් පෙරේරා මෙම පාඨ රූපවාහිනි වැඩසටහනක දී පැවසීම බොහෝ දෙනාගේ කතා බහකට ලක්වූවකි.

අවසන් භෝජන සංග්‍රහය, ස්පාඤයට
තේනුවර තම දස්කම් ක්ෂේත්‍ර කිහිපයක දක්වා ඇත්තේය. පිටපත් රචනය, චිත්‍ර මූර්ති නිර්මාණ, ග්‍රැෆික් ඩිසයින්, ප්‍රචාරක කටයුතු සඳහා සංකල්ප ආදී බොහෝ ක්ෂේත්‍ර ගැන අප දැන සිටියත් ඔහු දක්‍ෂ වනගත සතුන් ඡායාරූපගත කරන ඡායාරූප ශිල්පයෙකු බව දැනගත්තේ වනගත ජීවීන් 12 කගේ ඡායාරූප යොදාගෙන ඔහු විසින් නිර්මාණය කොට ඇති පිටු 12ක කැලැන්ඩරය නිසාය.
“වයිල්ඩ් ෆොටෝග්‍රැෆි කියන්නේ ඉතාම සුන්දර දෙයක්. සමහර වෙලාවට සතෙකුගේ ඡායාරූපයක් ගන්න දවස් තුනක් විතර කැලේ රැඳෙන්න වෙනවා. ඒ සුන්දරත්වය විඳින්න පින තියෙන්න ඕනෑ”
දැන් නුවන් තේනුවර අලුතින්ම නිර්මාණ කරමින් සිටින්නේ ඔස්ට්‍රේලියාවටය. වරක් ඕමානයේ රජතුමාගේ උඩුකය චිත්‍රයක් නිර්මාණය කිරීමේ තරගයක දී රාජ්‍ය නිල චිත්‍රශිල්පීන්ද පරදා මුල් තැනට ආවේ තේනුවරය. රජතුමා චිත්‍රශිල්පීන්ට හා කලාකරුවන්ට දැක්වූ ගෞරවය හා ආදරය තේනුවර අදත් සිහිකරන්නේ කෘතවේදීවය.
ලෝකය පුරා චිත්‍රශිල්පියෙකු - නිර්මාණ ශිල්පියෙකු ලෙස සැරිසරා ඇති තේනුවරගෙන් චිත්‍ර ශිල්පියෙකුට ජාත්‍යන්තරවත්, ලංකාවෙහිත් සලකන අන්දම ගැන විමසුවෙමු.
“ලෝකයේ, විශේෂයෙන් යුරෝපීය රටවල චිත්‍රශිල්පීන් කියන්නේ විශාල පිළිගැනීමක් තියෙන වෘත්තිකයන් පිරිසක්. ඔවුන්ට විශේෂ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ගතකරන්නෙත් ඉහළ සුපිරි ජීවිතයක්. ඒත් ලංකාවේ තත්ත්වය ඉඳුරාම වෙනස්. ඒක කියන්නත් කනගාටුයි.”
අප නුවන් තේනුවරගේ කලාගාරයන් සමුගත්තේ තමන් උගත් ශිල්පයෙන් ලොපුරා සැරිසරා ලෝකය පුරා ලංකාවේ ලෝක පූජිත චිත්‍ර ශිල්පියෙකුගේ සන්නාමය තබා ඇවිත් ලංකාවෙහි ද ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයක සිටින කලාකරුවකුට සමුදෙමිනි.
ආචාර්ය ප්‍රදීප් පෙරේරා

කේන් සහ ඒබල් ඇමෙරිකාවට




