ලොකු දුව ඇයි අද ඔච්චර අවුල් වෙලා ඉන්නේ ?මට කියන්න මොකක් හරිම දෙයක් තියනවා නේද ?


පිච්ච පඳුර පුරාම සුදෝසුදු මල් පොකුරු පොකුරු පිපී තිබිණි. ඒවායේ සුවඳ ගෙතුළට පවා ඇදී ආවේ සිත්සතන් පහන් කරමිනි. එහෙත් දිනේෂිට මල් සුවඳ දැනුණේ යාන්තමිනි. ඇය නොඉවසිල්ල හා බලාපොරොත්තුව කැටි කර ගත් දෑස්වලින් වරින්වර එදෙස බැලු‍වාය. ඇයට පිච්ච පඳුර යනු ජීවමාන අම්මා මිසක් තවත් එක් ශාක විශේෂයක් වූයේ නැත. එහෙත් සිත රිදුණ හැම විටෙකම අම්මා සොයාගෙන දිව ගියාක් මෙන් හිතුණ හිතුණ විට පිච්ච පඳුර වෙත දිවෙන්නට පුළුවන්කමක් නොවිණි. අම්මා එතැනට එන්නේ අඳුර වැටුණාට පසුවය. ඇය පැමිණෙන්නේයයි ස්ථිරව කියන්නට කිසිදු ලකුණක් තිබුණේත් නැත. ජීවමාන මිනිසුන්ගෙන් අපේක්ෂිත පිහිට ආරක්ෂාව නොලැබෙන කල පියවි ඇසට හසු නොවන අම්මාගේ ආත්මය කෙරෙහි දැඩි විශ්වාසයක් තබන්නට මේ අසරණ මානවිකාවට සිදු වී තිබිණි. 

“අනේ අම්මා.. අදනම් නෑවිත් ඉන්න එපා.. මට කියන්න හුඟක් දේවල් තියෙනවා..” 


කෑම උයන අතරේත්, නංගීගේ, මල්ලීගේ පාඩම් වැඩවලට උදව් කරන අතරේත් දිනේෂි දහස් වරක් මුමුණා ගත්තාය. ඇයට වෙනදාටත් වඩා තනිකමක් පාළුවක් දැනෙමින් තිබිණි. සුපුරුදු ලෙස ලොකු මල්ලී ගෙදර සිටියේ නැත. ඔහු මෙන්ම තාත්තාත් නිවසට එන්නේ අඳුර තුරුලු කරගෙනය. ආච්චිට හා පොඩි නැන්දාට ඔවුන්ට තනි රකින්නට පුළුවන්කමක් නැත. ඇයට පහසුවෙන්ම සමීප විය හැකි පුද්ගලයා වූයේ සකුණය. එසේ වුව ද ඔහු සමඟ සිතැඟි සියල්ල බෙදාහදා ගැනීම ගැනත් දෙතුන් වරක් සිතිය යුතු බැව් මේ වන විට ඇය සවැනි ඥානයකින් මෙන් තේරුම් ගනිමින් සිටියාය. අනෙක් සියල්ලම අමතක කර දැමුවත් නිත්‍යා විසින් කරන ලද තර්ජනය පහසුවෙන් අමතක කරන්නට පුළුවන්කමක් නොවිණි. 
“ඔහොම අහංකාර වෙන්න ගියොත් තමුන්ගෙ තාත්තටත් අපේ තාත්තා ළඟ වැඩි කල් වැඩ කරන්න බැරි වෙයි..” 


එවදන් දිනේෂිගේ සිත තුළ දෝංකාර දෙමින් සැරිසැරුවේය. තාත්තා සැලකිය යුතු කාලයක පටන්ම සේවය කළේ තිසේරා මුදලාලි ගේ ලොරියේය. තාත්තා කරන්නේ කිසිවෙකු හමුවේ ආඩම්බරයෙන් සඳහන් කළ හැකි රැකියාවක් නොවතුදු තමන් ගේ අනාගතය සුරක්ෂිත වන්නේ ඔහු රැකියාවට යන තාක් කල් පමණක් බැව් දිනේෂි කුඩා කල සිටම දැන සිටියාය. 


“තාත්තගෙ රස්සාව නැති වුණොත් එහෙම අපිට කන්න බොන්නත් නැති වෙලා යයි. ඒ හින්දා තාත්තට යන්න දෙන්න..” 
එකල තාත්තා ලොරිය රැගෙන ඈත ගමනක් යාමට සූදානම් වෙද්දී ඔහු රඳවා ගන්නට බැගෑපත් වෙන දරුවන් මෙල්ල කර ගන්නට අම්මා එසේ කියන්නට පුරුදුව සිටියාය. තාත්තා දින ගණනාවක් නිවසින් ඈත් වී සිටීමේ වේදනාව මිස අම්මා කී දේවල බරක්පතළක් ඇයට දැනුණේ නැත. තාත්තා එතරම් දුක් විඳින්නේ පවුලේ සියලු‍ දෙනාගේම සුබසිද්ධිය උදෙසා බැව් සරල වදන්වලින් ඔවුන්ට පහදා දෙන ලද්දේ අම්මා විසිනි. ඒවා තේරුම් ගන්නට තරම් දැනුම්තේරුම් ඇති වයසට ආවාට පසුව තාත්තා රැකියාවට යන විට ඇස්වල කඳුළු පුරවාගෙන බලා සිටියා මිස ඔහු වළක්වන්නට ඇය උත්සාහ කළේ නැත. මේ වන විට ඇය තාත්තාගේ රැකියාවෙන් ලැබෙන ආදායමේ වටිනාකම මනාව වටහාගෙන සිටියාය. 


“පුතේ.. තාත්තා ගෙනත් දෙන සල්ලි අරපිරිමැස්මෙන් වියදම් කරන්න ඕනැ.. ආදායමකට කියලා තියෙන්නෙ ඔච්චරනෙ ඉතින්..” 
ආච්චි කිහිප වරක්ම එසේ කියා තිබිණි. ඇය එසේ නොකීවත් අත්‍යවශ්‍යම දෙයකට මිස නිස්කාරණේ මුදල් වැය නොකළ යුතු බැව් දිනේෂි පසක් කරගෙන සිටියාය. අතේ ඉතිරි වෙන මාරු කාසි කුළු බඩු රාක්කය කෙළවරේ තබා ඇති අම්මාගේ කැටයට දමන්නට හුරු වූයේත් එම නිසාය. එහෙත් තාත්තාට රැකියාව අහිමි වුවහොත් කැටය තුළ ඇති සොච්චම් ඉතිරියෙන් කළ හැකි දෙයක් නැත. 
“ඇත්තටම නිත්‍යා අක්කා කේලාම් කියලා තාත්තව රස්සාවෙන් අස් කරයි ද..? ” 
එසේ සිතෙද්දීත් සියොළඟම හිරිවැටී යන සෙයක් දිනේෂිට දැනෙන්නට පටන් ගත්තේය. නිත්‍යා හමුවේ සිතේ වූ ආත්ම ශක්තිය ගින්නට ළං කළ ඉටි පහනක් මෙන් දැවී, සතර අතේ විසිරී ගිය අන්දම පුදුම සහගත වූයේය. ඇය එහෙම පිටින්ම කැළඹී සිටියාය. 


“අක්කා.. ඔයා අද හරි අමුතුයි.. බය වෙලා වගේ ඉන්නෙ..” 
පුංචිකමට නංගීත් කීවේ ඇගේ නොසන්සුන් ස්වභාවය නිරීක්ෂණය කළ නිසා විය යුතුය. 
“මොනවට බය වෙන්න ද..?” 
නොසැළකිලිමත් ලෙස එසේ කීවේ වී නමුත් තමා කුමක්දැයි නොදන්නා හේතුවකට බිය වී සිටින බැව් අවංකවම පිළිගන්නට ඇයට සිදු වූයේය. 
දිනේෂි පහන දල්වන්නට ගියේ ලොකු මල්ලී ගෙදර පැමිණ මඳ වේලාවකට පසුවය. ඒ වන විටත් හාත්පස අඳුර පැතිර තිබූ අතර පිච්ච පඳුර දිස් වූයේත් අඳුරු ගුලියක් පරිද්දෙනි. 
“පහන පත්තු කළාට පස්සෙ මිසක් එළියෙ ලයිට් දාන්න එපා..” 


අම්මා ජීවතුන් අතර සිටියදී කියන්නට පුරුදුව සිටියාය. දිනේෂි විදුලි පහන් නොදැල්වූයේ ඒ නියමය නිසා නොව අම්මා පිච්ච පඳුරට පැමිණ සිටියහොත් කාටවත් නොපෙනී ඇය සමඟ නිදහසේ කතා කරන්නට වුවමනා වූ නිසාය. 
“අනේ අම්මා.. ඉන්න තැනකින් එන්න.. මට මේ ඔක්කොම කියලා හිත නිදහස් කර ගන්න ඕනැ..” 
භක්තියෙන් මල් පහන්, සුවඳ දුම් ආදිය පූජා කිරීමෙන් අනතුරුව ඇඳිලි බැඳගෙන පහන දෙස බලා සිටිමින් ඇය මුමුණා ගත්තාය. එහෙත් ඇගේ ඇස් නිතරම දිව ගියේ පිච්ච වැල වෙතටය. 
අවසානයේදී ඇය බලාපොරොත්තු වූ මොහොත උදා විණි. පිච්ච වැල සෙමින් සෙලවෙන්නට පටන් ගත්තේය. ඇගේ සිත ද එලෙසින්ම සෙලවිණි. මහත් වුවමනාවෙන් පැතු දෙයක් වුවත් දෝතට ලැබුණ කල එවන් සසල වීමක් සිතේ ඇති වෙනවා විය යුතුය. 
“අම්මා..” මුමුණමින් දිනේෂි වහා දෑස පියා ගත්තාය. අම්මා කියා තිබුණේ තමා පැමිණ ආපසු යන තුරුම දෑස් විවර නොකරන ලෙසය. 


“ලොකු දුව ඇයි අද ඔච්චර අවුල් වෙලා ඉන්නෙ..? මට කියන්න මොකක් හරිම දෙයක් තියෙනවා නේද..?” 
අම්මා අසද්දී දිනේෂි ගේ ඇස්වල කඳුළු පිරිණි. අම්මා සුපුරුදු මුදු හඬින් මේ පැනය නැඟු‍වා නම් හා ඇයට තුරුළු වී සියල්ල කියන්නට තිබුණේ නම් සිය සිත මොන තරම් නිවෙන්නේදැයි ඇය කල්පනා කළාය. 
“ඉක්මනට කියන්න.. හොඳටම කළුවර වැටිලා තියෙන්නෙ.. මේ වෙලාව ළමිස්සියන්ට එළියේ ගැවසෙන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා දන්නවනෙ..” 


අම්මාගේ හඬ පෙරටත් වඩා රළු වී තිබිණි. 
“අනේ අම්මා.. තරහ ගන්නෙ නැතුව අහන්නකො.. මට දැන් හොඳ යාළුවෙක් කියලා ඉන්නෙ සකුණ අයියා විතරයි.. ඒත් එයා එක්ක කතාබහ කරනවට කවුරුවත් කැමති නෑ කියලා මට තේරෙනවා.. ලොකු මල්ලී බැණ්නා කතන්දරයක් හදා ගන්න එපා කියලා.. අද නිත්‍යා අක්කත් බැණ්නා.. එයා කිව්වා ආයෙ සකුණ අයියා එක්ක කතා කළොත් එයාගෙ තාත්තට කියලා අපේ තාත්තගෙ රස්සාව නැති කරනවා කියලා.. මම එයා එක්ක එකටඑක කිව්වා.. එයා එහෙම කරයි කියලා මට බයයි අම්මා..” 
ඇය කියාගෙන ගියේ හැඬුම්මුසු ස්වරයෙනි. එතැන සිටියේ නිත්‍යා සමඟ එඩිතර ලෙස බහින්බස් වූ යුවතිය නොව බියපත් කුඩා දැරියකි. 


“මොනවා..? නිත්‍යා එහෙම කිව්වා..?” 
අම්මා කලබල හඬකින් විමසද්දී දිනේෂිට ඇස් විවර කර බලන්නටම සිතිණි. එහෙත් ඇය ආයාසයෙන් සිත පාලනය කර ගත්තාය. 
“ඔව් අම්මා..” 
ඇය සියල්ල කියාගෙන ගියේ පහන පැත්තට හැරීගෙනමය. 
“හොඳයි මම බලා ගන්නම්..” 
අම්මා කෝපවත් හඬින් මිමිණුවේත් දිනේෂි පසුපසින් අඩි හඬක් ඇසුණේත් එක්වරමය. 


ලබන සතියට...