ලංකාවට ආ මහ රැජින දුම්රියෙන් ගිය ගමන


 

 නිදහස ලැබීමෙන් පසුව දෙවැනි එළිසබෙත් රැජිනගේ රාජකීය ලංකා ගමන 1954 සහ 1981 වර්ෂයන්හී දෙවරක් සනිටුහන් වී ඇත. මෙතෙක් කල් 1981 වර්ෂයේ ඇයගේ පැමිණිම දෙවන ලංකා ගමන ලෙස හැඳින්වුවද ඇයගේ අභාවයත් සමග එය ඇයගේ අවසාන ලංකා ගමන ලෙස සනිටුහන් වන්නේය.

රැජිනගේ දෙවන සංචාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වරයාගේ කාලයේ විශ්ව වැඩිහිටි ඡන්ද බලයට ලංකාවේ වසර 50ක් සපිරීම නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා වන අතර රාජකීය සංචාරය 1981 ඔක්තෝබර් 21 සිට 25 දක්වා කාලයේ සිදු වූවක් බව ඉතිහාස කතාවල සඳහන්ව ඇත.   
1981 වර්ෂයේ සිදු වූ අවසාන ගමන හා සැසඳීමේදී රැජින කලු‍රිය කොට ඇත්තේ ලංකා ගමනෙන් වසර 41 ගතවන තැනය.   


1998, 2004 සහ 2013 දී කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ඇය වෙනුවට වේල්සයේ කුමරු නියෝජනය කළේය.   
එංගලන්තය හා බැඳුන අතීත කතා වෙත අවධානය යොමු කිරීමේදී දුම්රියට හිමි වන්නේ ඉතා වටිනා ස්ථානයකි.   


 1981 වර්ෂයේ රැජිනගේ දෙවන ලංකා ගමනේදී ඇය අනුරාධපුර ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගැනීමට ගිය ගමනට සහ මහනුවර සිට කොළඹට පැමිණි ගමනට ප්‍රවාහන පහසුකම් සැලසූ දුම්රියන් සොයා අප මාලිගාවත්ත දුම්රිය අංගනයට සහ රත්මලාන දුම්රිය ෂොප් අංක විසිපහ වෙත ගමන් කළෙමු.   
M6 class 796 එන්ජිමට අමුණා එදා රැජින ගමන් ගත් රාජ් ගෝපාල් මැදිරිය ලෙස ඇතැමෙක් හඳුන්වන RS 6759 මැදිරිය රත්මලාන දුම්රිය ෂොප් අංක විසි පහේ අලු‍ත්වැඩියා කිරීම සඳහා යොමුකොට තිබෙනු දක්නට ඇත.   
 රැජිනගේ ලංකා ගමනට රුමේනියාවෙන් ඇණවුම් කොට තිබූ දුම්රිය මැදිරියේ ප්‍රමාදය නිසා මෙම දුම්රිය මැදිරිය රැජිනගේ ගමනට යොදවා ඇති අතර එම දුම්රිය මැදිරිය නිමවීමේ දී දුම්රිය මැදිරි ආරක්ෂක පද්ධතියේ නිමැවුම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කොට ඇත.   
මැදිරි නිමවුම දෙමටගොඩ ආරාම පාරේ මේ වන විට තන්ත්‍රි දුම්රිය වැඩ බිම පවත්වාගෙන යන ස්ථානයේ එවකට දුම්රිය වැඩබිමක් පවත්වාගෙන ගිය රාජ් ගෝපාල් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවී ඇති බවට ඉතිහාස තොරතුරු වල සඳහන්ය.   


යකඩ සැකිල්ලකට අඟල් බාගවෙන ලෙස තේක්ක ලී යොදා නිමවා ඇති එම මැදිරිය දිග අඩි 40කින් සමන්විත වන අතර රාජකීයයන්ට සරිලන ආකාරයට ඉතා සුවපහසුව නිදන කාමරයක්, මුළුතැන්ගෙයක් සහ කුඩා විසිත්ත කාමරයකින් සමන්විත කොට ඇත.   
 1930 වර්ෂයේ 6 වැනි මස 03 වැනි දින නිමවීම අවසන් කොට ඇති මෙම මැදිරියේ එවකට පොත්පත්වල සඳහන්ව ඇති මුළු‍ වියදම වනුයේ රුපියල්: 32707කි.   
 එම මැදිරියේ රැජිනට පනවා තිබුණු අසුන අදත් එහි දක්නට ඇති අතර රාජකීයත්වය විරාජමාන වන බ්‍රිතාන්‍ය රාජකීය සංකේත එම අසුනේ වෙල්වටය මතුපිට රන්වන් පැහැයෙන් සියුම්ව යොදා තිබෙනු දක්නට ඇත.   


ආසනයේ ඇන්ද සිංහ සලකුණු යොදමින් ඉතා ශක්ති සම්පන්නව බරින් වැඩිවන ලෙස නිමවා තිබූ අතර එම පුටුව එසවීමට අඩුම වශයෙන් සේවකයින් හතර දෙනකු වත් අවශ්‍ය වනු ඇත.   
ගල් අඟු‍රුවලින් දහන කටයුතු සිදු කෙරෙන පැරණි උදුනක් ද එහි මුළු‍තැන්ගෙයි ස්ථාපිත කොට තිබූ අතර රැජින සඳහා පනවා තිබූ සයනය ද මේ වනවිට එහි තවමත් දක්නට ඇත.   
මැදිරිය මෙරට නිම වුවද දුම්රියේ ගෘහ උපකරණ සහ රැජිනගේ ආසනය යනාදිය එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ ඒවා බව දුම්රිය ඉතිහාස තොරතුරු වල සඳහන්ය.   
 ලංකාවේ දුම්රිය මාර්ගය සැලැස්ම සටහන් කළ සිතියමක්ද මැදිරියේ පසෙක ප්‍රදර්ශනය වන අතර කුඩා නානකාමරයක්ද එහි ස්තාපිත කොට තිබුණි.   


 ඇගේ දුම්රිය ගමනේ වැඩිදුරටත් තතු විමසීමට අප එවකට තරුණයකුව සිටි මේ වන විට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධාන අධීක්ෂණ කළමනාකරුවකු ලෙස කටයුතු කළ ලලිත් රන්ජන් ෆොන්සේකා මහතාව සම්බන්ධ කර ගතිමු.   
ඔය කියන අවධියේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේ එල්.ඒ. පීරිස් මහත්තයා.   
 ඒ කාලේ රැජිනගේ ලංකා ගමන පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවතියේ වෙනමම සූදානමක්.   
 ඒ ගමන් කටයුතු සිදුකිරීමට රුමේනියන් පෙට්ටියක් ඇණවුම් කරනු ලැබූවත් එවකට එම පෙට්ටියේ සිදුවූ වූ ප්‍රමාදය නිසා වෙනත් පෙට්ටියක රැජිනගේ ගමන් පහසුව සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.   


 එදා රැජිනගේ අනුරාධපුර දුම්රිය ගමන ඇරඹුණේ මගේ මතකයේ හැටියට රාත්‍රී 9 පසු වීමෙන් පසු.   
ඇය ගමන්ගත් දුම්රිය මැදි කොට ගත් දුම්රියන් දෙකක් පයිලට් දුම්රියන් ලෙස එම ගමනට එක්කර තිබුණා.   
 ඒ අනුව රැජිනගේ දුම්රියට ඉදිරිපසින් දුම්රියකුත් පසුපසින් තවත් දුම්රියකුත් එහි ගමන් කටයුතු සිදු කළා.   
 ගමනට යොදාගත් M6 එන්ජිමේ ඉදිරිපස ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය සහ බ්‍රිතාන්‍යයේ රාජකීය ලාංඡනය ප්‍රදර්ශනය කොට තිබුණා.   
 රාත්‍රී නමයයි තිහට පමන ගමන් ඇරඹුවත් චාරිකාවේ සැලැස්ම තිබුණේ රැජින උදෑසන ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමටයි.   


 ඒ නිසා දුම්රිය ඉතාම අඩු වේගයකින් ධාවනය කිරීමට සැලසුම් කොට තිබුණා. ඒ අනුව පැයට හැතැක්ම විස්සක වගේ වේගයකින් දුම්රිය ධාවනය කෙරුණා.   
 මීළඟට අප සම්බන්ධ කර ගනු ලැබුවේ දුම්රිය රියදුරු විශේෂ පන්ති (විශ්‍රාමික) එම්.එම්. අබේදීර මහතා.   
රැජිනගේ ලංකා ගමනේදී කොළඹ සිට අනුරාධපුරයටත් මහනුවර සිට කොළඹටත් දුම්රිය ගමන් වාර දෙකක් සිදු වුණා. එහිදී ඒ ගමනට දුම්රිය රියදුරන් තෝරා ගත්තේ විශේෂ ක්‍රමයකට. අනුරාධපුර ගමනට සම්බන්ධ වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටි හොඳම ජ්‍යෙෂ්ඨතම දුම්රිය රියදුරා. ඔහු නමින් එස්.එස්. මාටින් මහත්තයා.   


මාර්ටින් රියදුරු මහතාව අනුරාධපුර දුම්රිය ගමනට ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය නිසා තෝරා ගත්තට මහනුවර සිට කොළඹට ධාවනය කෙරුණු හිතාචි වර්ගයේ වායුසමනය කළ දුම්රිය ධාවන කටයුතු සඳහා සම්බන්ධ ගත් රියදුරු විශේෂ පරීක්ෂණයකින් තෝරා ගත්තා.   


 දියර පිරවූ වීදුරුවක් මේසයක් මත තබා එම වීදුරුවේ ඇති දියර කිසිදු ආකාරයකට හැලෙන්නේ නැතිවෙන්න කඩුගන්නාවේ කන්දෙන් බොහොම සැහැල්ලු‍ ලෙස දුම්රිය පහළට ගෙන ආ යුතුයැයි පරික්ෂණයක් පැවතුණා.   
 එහි අරමුණ වූනේ රැජිනට බොහොම සුවපහසු දුම්රිය ගමනක් සැපයීමයි.   
එම පරීක්ෂණයෙන් සමත්වීමට එවකට දුම්රිය රියදුරු වරයෙකුව වශයෙන් කටයුතු කරපු එස්.එෆ්. ඒකනායක මහත්තයා සමත් වුණා.   


 ඒ අනුව ඔහු තමයි මහනුවර සිට කොළඹට ධාවනය වුණු හිතාචි වර්ගයේ වායුසමනය කළ දුම්රිය ධාවනය කළ රියදුරු වන්නේ.   


 එම දුම්රිය ගමනේදී රැජින රාත්‍රී ගමන නිම කොට සාවස්තිපුර ගිමන් හැර ශ්‍රී මහා බෝ බෝධිය වැඳපුදා ගැනීමට ගිය බව කියවෙනවා.   


 මේ වන විට රැජිනගේ ලංකා ගමන පිළිබඳව කියැවෙන අතීත කතන්දරයකට සාක්ෂි සපයන ඇය ගමන් ගත් දුම්රිය මැදිරිය අලු‍ත් වැඩියාවකට යැයි කියා රත්මලාන දුම්රිය අංගනට රැගෙන ගියත් වසර ගණනාවක සිට එම මැදිරිය රඳවා ඇත්තේ එකම තැනකය.   


මෙම පැරණි මැදිරි හා බැඳී පවතින පුරාවෘත්තය අනාගත පරපුරට දැක බලා ගැනීමට හැකිවන පරිදි සුදුසු ස්ථානයකට රැගෙන ඒම පිළිබඳව දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමුවීම තව තවත් වැදගත් වන්නේ රැජිනගේ අවසාන ලංකා ගමනටද එම මැදිරිය අනාගතයට සාක්ෂි සපයන නිසාය.   

 

 

සටහන
රේඛා තරංගනී ෆොන්සේකා