මෙරට ඉතිහාසය තුළ රාවණා රජුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හෙතෙම අදින් වසර හත් අට දහසකට පෙර මෙරට සිහසුන හෙබවූ මහා බලසම්පන්න රජ කෙනෙකි. එහෙත් වාල්මිකී සෘෂිවරයා විසින් රචිත ලෝකයේ ඉතා ප්‍රචලිත පුරාවෘත්තයක් සේ සැලකෙන “රාමායණය”ට අනුව නම් - රාවණා යනු ප්‍රබන්ධයකි.
ඒවායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වූවත්, මෙරට සිංහල හා දමිළ ජනතාව තුළ රාවණා රජු සම්බන්ධයෙන් ඇති මතකය සුළු පටු නොවේ. මෙරට ගම් බිම් බොහොමයකම යටගියාව තුළ රාවණා රජුට සම්බන්ධ කුමන හෝ සිද්ධියක් පසුබිම් වී කුමන හෝ කතාන්දරයක් ගෙතී පැවතීම එම මතකයන් අඛණ්ඩව ගලා යාමට හේතුව යැයි කෙනෙකුට ප්‍රකාශ කළ හැකි ය.
රාවණා රජු විසින් පැහැර ගෙන ආවේ යැයි කියන සීතා දේවිය ඇතුලු අන්තඃපුර ස්ත්‍රීන් 700 ක් සඟවා ගෙන සිටියේ යැයි කියන වැලිමඩ ස්ත්‍රී පුර කන්දේ පිහිටි සීතා ගුහාව - ඇය පිටවී ගිය බව කියන නුවරඑළියේ සීතාඑළිය හා රම්බොඩ රාවණා සිය දඬුමොනරයෙන් ගොඩබට ස්ථාන සේ සැලකෙන රාවණාගොඩකන්ද, උස්සන්ගොඩ, රතුපස්වල, වාරියපොළ, රාවණා ගේ මල්වත්ත සේ සැලකෙන හක්ගල මල්වත්ත, හා හෝටන් තැන්න, රාවණා රාජ්‍යයේ අගනුවර ලෙස සැලකූ වේරගංතොට, රාවණාගේ දඬුමොනරය නිර්මාණය කළ මොනරාගල මීට උදාහරණයන් ය.
එහෙත් අප මේ කතා කරන්නට යන්නේ රාවණා රජුගේ ඉතිහාස කතාව හෝ වාල්මිකී ගේ රාමායණය ගැන නොවේ. ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌවපරණගම ලූණුවත්ත නගරයේ සිට කිලෝමීටර් අටක පමණ දුරකින් කිරවනාගම ස්ත්‍රීපුර කඳුවැටිය තුළ පිහිටි උමං මාර්ග රැසකින් යුත් රාවණා රජු විසින් සීතා දේවිය සඟවාගෙන සිටියේ යැයි කියන ඓතිහාසික සීතා ගුහාව ගැනය.
සැලකිය යුතු දෙස් විදෙස් සංචාරකයින් පිරිසක් දිනපතාම මෙහි පැමිණිය ද, මෙම ඓතිහාසික ස්ථානය තවමත් කිසිදු බලධාරියෙකු ගේ අවධානයට ලක් නොවීමෙන් විනාශයට පත් වෙමින් පවතින අයුරු පසුගිය දිනක එහි කළ සංචාරයක දී අපට අසන්නට මෙන්ම දකින්නට ද ලැබුණි. ප්‍රධාන උමං මාර්ග තුනකින් මෙන්ම පරිවාර උමං රැසකින් යුත් මෙහි අදවන විට පැහැදිලි ලෙස ඉතිරිව ඇත්තේ ප්‍රධාන උමං මාර්ගයක් හා ඇතුළත අතුරු උමං තුනකි.
සීතා ගුහාවට ගමන් මාර්ගය
වැලිමඩ නගරයේ සිට උඩුපුස්සැල්ලාව මාර්ගය ඔස්සේ වාහනයකින් කිලෝමීටර් දහයක් පමණ ගමන් කර ලූණුවත්ත නගරයට පැමිණ, ලූණුවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් තවත් කිලෝමීටර තුනක පමණ දුරක් කිරවනාගම මාර්ගය ඔස්සේ ගමන් කොට කිරවනාගම විහාරස්ථානය පසුකර තවත් කිලෝමීටරයක් පමණ ගොස් ඉහළට විහිද ගිය අඩි පාර ඔස්සේ තවත් මීටර් පන්සියයක් පමණ ගමන් කළ විට අවශ්‍ය අයෙකුට මෙම ඓතිහාසික ස්ථානය වෙත පැමිණිය හැක. වැලිමඩ නගරයේ සිට කිලෝමීටර් 14 ක් පමණ වන ගමන් මාර්ගය සරුසාර එළවළු කොටු, හරිත පැහැයෙන් බබලන ගහ කොල, කුඩා දොළපාරවල් වලින් මෙන්ම මනසට සුව දෙන පරිසරයකින් සමන්විතය. මාර්ගය ද සුවපහසු ය. ඒ නිසාම බොහෝ සංචාරක පිරිස් මෙහි පැමිණීම ප්‍රිය කරති.
කඳුවැටිය දක්වා පාගමනින් යාමට ඇත්තේ ද ටර්ෆන්ස්ටයින් සහ මිටි පඳුරුවලින් යුත් සෙවන සහිත මාර්ගයකි. වර්ෂා කාලයේ දී හිටි හැටියේ දෙපා දැවටෙන කූඩැල්ලන් හැරුණු විට මාර්ගයේ ගමන් කරන්නන්ට ගමන බොහෝ ප්‍රිය ජනකය. ගුහාවට කිලෝමීටර තුනක පමණ දුරින් පිහිටි සීතා දේවිය දිය නෑවේ යැයි සැලකෙන මානාඇල්ල නැරඹීමට ලැබීම ද මෙහි පැමිණෙන සංචාරකයින්ට හිමිවන තවත් බෝනස් තැග්ගක් බඳුය. මීට අමතරව බෝගොඩ ඓතිහාසික පාලම රාම සීතා කතාවට සම්බන්ධ ඓතිහාසික දිවුරුම්ගල රාජමහා විහාරස්ථානය ද මේ ආසන්නයේ පිහිටියේය.
ගුහාව අවට ගම්මාන රැසකි. කිරවානාගම, ඇත්කදවක, සපුගොල්ල, බෙරලියපොල, බෝකොටුතැන්න, හෙල අලගොල්ල, ලකීලෑන්ඩ්, වාසනාගම, මැදපතන ඉන් කීපයකි. මෙම ගම්මාන තුළ එලවළු ගොවිතැන හා තේ වගාව ජීවනෝපාය කරගත් සිංහල හා ද්‍රවිඩ පවුල් රැසක් කලක සිටම ජීවත් වෙති.
විනෝදය, ත්‍රාසය භීතිය පිරි ගමනක්
ඉපැරණි ජනප්‍රවාද වල සඳහන්ව ඇති පරිදි මෙන්ම - අවට ප්‍රදේශවල ජනතාව පවසන අන්දමට, මෙය ප්‍රධාන උමං මාර්ග හා කුඩා උමං මාර්ග රැසකින් සමන්විතව තිබූවත්, විවිධ පාරිසරික හේතුන් මත එම උමං මාර්ග බොහොමයක් වැසී ගොස් ඇති බවත්, අදටත් සක්‍රිය තත්ත්වයේ උමං මාර්ග තුනක් පමණ ඇති බවත්, එම ප්‍රදේශයේ දී අපට හමුවූ ආර්. එම්. ජයරත්න පැවසීය.
එතුමා ඒ පිළිබඳව මෙසේ විස්තර කළේය.
“මේක ඌව පරණගම ප්‍රදේශයේ තියෙන සංචාරකයින් ගෙන් සැඟවුණු ස්ථානයක්. රාවණා රජු විසින් කරවන ලද බොහෝම පැරැණි ස්ථානයක් කියලයි අපේ සීයලා මුත්තලා අපට කියල දීලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ පැත්තට එන සංචාරකයින් ගෙන් බොහෝ දෙනෙක් මෙතන දන්නේ නැහැ. ඇල්ල, බෝඹුරුඇල්ල වගේ තැන්වලට ගියත් මෙතෙන්ට එන්නේ ඉතා සුළු පිරිසක්. ඒ පිළිබඳව දැනුවත්කමක් නැති එක තමයි හේතුව කියලයි මට හිතෙන්නේ. ප්‍රාදේශීය සභාවෙන්වත් ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළක් සකස් කර නොතිබීම කනගාටුවට කාරණයක්. මොකද මේක හරහා ප්‍රදේශයට ලොකු ආදායමක් ගන්න පුළුවන්. මේක හරිම ලස්සන ස්ථානයක්. මම කීප වතාවක්ම ගිහින් තියෙනවා. ඇතුළුවෙන තැන බොහොම පොඩි වුණාට ඇතුලෙ කිලෝමීටර් දෙකක් විතර මම ඇතුලට ගියා. ඉස්සර අය නම් කිලෝමීටර් 5-6 ගිහින් තියෙනව. දැන්නම් යන්න බැහැ පාරවල් වැහිල.”
“අනිත් එක තමයි ටික දුරක් යද්දි තුංමං හන්දි හතර මං හන්දි හම්බ වෙනවා. කල්පනාවෙන් තමයි ඒ තැන් වලින් යන්න ඕනි. පස් හෝද ගෙන ඇවිල්ලා දැන් සමහර ගුහා වැහිලයි තියෙන්නෙ. ප්‍රධාන ගුහා තුනක් හරහා ගිහිල්ල බෝගොඩට, අඹලියද්දට සහ සීතාඑළියට මතු වෙන්න පුළුවන් කියලා පැරණි අය අපිට කියලා තියෙනවා. අපි නම් දුර ගිහිල්ලා නැහැ. ගමේ සීයා කෙනෙක් ඉස්සර බල්ලලෙක් අරන් හුඟ දුරක් ගිහින් වලපනේ පැත්තෙන් එළියටත් ඇවිත් තියෙනව කියල ගම්මු කියනව. සමහර තැන් වලින් නම් බඩ ගාගෙන තමා යන්න ඕනි. හැබැයි සමහර තැන්වල අඩි දහයක් උස අඩි දහයක් පළල කාමර වගේ තැන් පවා තියෙනවා. හැබැයි ඉතින් අඳුරුයි. ටිකක් හුස්ම ගන්නත් අමාරුයි. වවුල්ලු ඉන්න එක තමයි ටිකක් කරදරේකට තියෙන්නේ.”
උමඟට බැසීමට ඇත්තේ පටු කවුළුවකි. එහෙත් පහසුවෙන් ඇතුළුවිය හැකිය. එක්වරම අඩි දහයක් පමණ පහළට සෘජුව ගමන් කළ යුතුය. ඒ සඳහා කිසියම් පිරිසක් විසින් ඉණිමගක් තනා ඇති අතර, ප්‍රවේශමෙන් ඉන් බැසිය යුතුය. ඉන් පසුව ඇත්තේ පල්ලමට හා හරස් අතට විහිදුණු උමඟය.
කෙසේ වෙතත් උමං මාර්ගයට ඇතුළු වී ඉදිරියට ගමන් කිරීම විනෝදය, ත්‍රාසය, හා භීතිය පිරි ගමනක් බවද ජයරත්න පවසයි.
“මම කීප වතාවක්ම සංචාරක පිරිස් එක්ක වගේම, අවට ගම්වල අය එක්කත් මේ ගුහාවට ගිහින් තියෙනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට බය හිතෙනවා. ලිස්සන තැන් වගේම බඩ ගාගෙන යන්න ඕනි තැන් තියනවා. ඒව ගෙන් ඉතින් පරිස්සමට යන්න ඕනි. ඇතුළට යද්දි සමහර වෙලාවට තුන් මං හන්දි හතරමං හන්දි හම්බවෙනවා. මග වරදින්න පුළුවන්.ගුහාව බලන්න යද්දි ගොඩක් අය කරන්නේ ගුහාවට බහින තැන නූලක් ගැට ගහල ඒක යන පාර දිගේ ඇදගෙන යන එක. එතකොට පාර වරදින්නේ නැහැ. ආලෝකයක් අරන් ගියොත් තවත් ඉදිරියට යන්න පුළුවන්. හුස්ම ගැනීමේ පොඩි අපහසුතාවක් තිබෙනවා. කොහොම වුණත් තනියෙන් ඇවිල්ලා මේක අස්සට රිංගන එකනම් එච්චරම සුදුසු නැහැ. දන්න කෙනෙක් එක්ක කණ්ඩායමක් ලෙස යන එක තමයි නුවණට හුරු. කියන එක කියන්න ඕනි. එක එක පැති වලට හැරිච්ච උමං මාර්ග ඇරුණාම වෙන නං මේකේ කිසි කෙනෙක් හිටි බවට දැක්වෙන සාක්ෂියක්වත් අද ඉතිරි වෙලා නෑ. සමහර වෙලාවට මේවා නිදන් හොරු අරන් යන්න ඇති කියලයි ගම්මු කියන්නේ.”
“මේක ඇත්තටම හදල තියෙන්නෙ රාවණා රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට කියලයි කියන්නේ.දහස් ගානකට ඉන්න ඉඩකඩ තිබ්බත් එහෙම හිටිය බවට කියවෙන සාක්ෂි නම් ලොකුවට නැහැ. හැම තැනම පසුයි කඩා වැටුණුගල් පුවරු වගේ දේවල් තමයි තියෙන්නේ.”
උමං මාර්ගය අවට පරිසරය ද ඉතා දැකුම්කලුය. විටෙක මිහිඳුම් සළුවෙන් වැසී යන ප්‍රදේශය තවත් විටෙක අව් රශ්මියෙන් බැබලෙන්නේය. බැලූ බැලූ අත ඇත්තේ කිලෝමීටර් ගණනාවක් ඈතට ගිය හරිත පැහැ පරිසරයකි. මද සුළඟ මෙන්ම සීත දේශගුණයත් පරිසරයෙන් සහ සොබා දහමෙන් නැගෙන අපූරු නාද රටාවනුත් ඔබව වශී කරගනිමින් එහි බොහෝ වේලාවක් රැඳී සිටින්නට ඔබට ආරාධනා කරයි.
රාවණා රජු වරින් වර මෙරට විවිධ ප්‍රදේශවල සිටි බව සැලකෙන අතර, සෑහෙන කලක් ස්ත්‍රීපුර කන්ද හා එහි පිහිටි මෙම ගුහා පරිශ්‍රය අවට ජීවත් වූ බවට ද විවිධ ජනප්‍රවාද රැසක සඳහන් වනවා.
ගුහාව තුළ සිටි සීතා දේවිය ඇතුළු කාන්තාවන්ට රහසිගත ලෙස ගොස් දියනෑම සඳහා මෙම ගුහාවෙන්ම ඇවිද ගොස් ළඟාවිය හැකි පොකුණක් තිබූ බවද එම ජනප්‍රවාදවල සඳහන්ය. කෙසේ වෙතත් සීතා ගුහාවත් සීතා දේවියත් අතර බැඳුණු ජනප්‍රවාදයන් ද බොහොමයකි.
මේ ගුහාවේ සඟවා සිටි සීතා දේවිය පිළිබඳ තවත් පුරාවෘතයකි.
අශෝක වනයෙහි සඟවා සිටි කාලය තුළ සීතා දේවිය, රාවණා රජුගේ ආගන්තුක සත්කාර කිසිවක් නොපිළිගත්තාය. ශෝකාතුර ව නිරාහාරව විසූ ඇය දැඩි කෝපයෙන් පසු වූවාය. ඇය වරක් සිය ආහාරය සඳහා පිළිගැන්වූ කිරිබත් දස දෙසට විසි කලේ ඒ කෝපය පිරිමහන්නටය.
මෙලෙස විසිකල කිරිබත් ඒ අවට පිහිටි නුවරඑළිය, වලපනේ, කොත්මලේ ආදී ප්‍රදේශවලට පවා විසිවී - පාෂාණිභූත ව කුඩා ගුළි වශයෙන් තැන්පත් වූ බව එම ජනප්‍රවාදවල සඳහන්ය. ඒවා අද ද පොළොව තුළින් මතු වන අතර, ඒවා තැලූ විට එකට ගුළි වී බත් ඇට කැඩී විසිරෙතැයිද ගම්මු කියති. මේවා එම ප්‍රදේශයන්වල ගැමියන් ‘‘සීතා ගුළි’’ යනුවෙන් නම් කොට සිය නිවෙස්වල සුරක්ෂිත ව තබාගෙන සිටිතැයි ද කියැවේ. ඒවා උග්‍ර බඩේ අමාරුවක් වැලඳුණ අවස්ථාවන්හි ගලගා පානය කරන බවද කියති.
එසේම සීතා දේවිය වැලපුණ ස්ථානය අද ’වලපනේ’ නමින් හඳුන්වන බවද ජන ප්‍රවාදයන්හි සඳහන්ය.
කෙසේ වෙතත් රාම රාවණා යුද්ධයෙන් පසුව රාවණා ජීවිතක්ෂයට පත්වන අතර - ඉන් පසුව මෙම ගුහාවලට සිදුවූ දෙයක් ගැන ද සඳහන් නොවේ. රාවණාට අයත් විශාල වස්තු සම්භාරයක් මෙහි තැන්පත් කර ඇතැයි සිතූ ඇතැම් පුද්ගලයින් පසුකලෙක මෙහි විවිධ ස්ථානවල නිදන් සොයා කැණීම් සිදුකදා බවද අවට ගම්මු පවසති. ඒ හේතුවෙන්ම මෙම ගුහාව හරහා ඓතිහාසික බෝගොඩ පාලම තෙක් වැටී තිබූ උමං මාර්ගය මේ වන විට ගමන් කළ නොහැකි තරමට අවහිර වී ඇතැයි ඔවුන් පවසති.
කාලයාගේ ඇවෑමෙන් මෙහි තිබූ බොහොමයක් ගුහා පස් වැලි හා ගල් වලින් අවහිර වී ඇති අතර, දිනෙන් දින පස් සහිත ජලය ගලා යෑම හේතුවෙන් මෙම ඓතිහාසික ස්ථානය නුදුරේදීම දැයට අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි ද ප්‍රදේශවාසීහු අප සමග පැවසූහ.
මේ වන විට ඌවපරණගම ප්‍රාදේශීය සභාව මගින් ගුහාව තුළට ජලය ඇතුළු වීම වැළැක්වීම සඳහා යම් උත්සාහයක් ගෙන ඇතත්, එය මෙවන් වටිනා ස්ථානයක් සංරක්ෂණය කිරීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේ යැයි ද ඔවුහු පවසති.
මෙරට ඉතිහාසය තුළ විශාල පරිච්ඡේදයක් හිමිව ඇති ස්ත්‍රී පුර සීතා ගුහාව මේ අයුරින් විනාශයට පත් වීමට ඉඩ හැරීම නම් ජාතික අපරාධයකි. අවම වශයෙන් මෙහි ඇති ඓතිහාසික බවත් සෞම්‍ය පරිසරයත් උපයෝගී කර ගනිමින් සංචාරක ව්‍යාපාරයට යම් ආදායම් උත්පාදක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ද ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ අවධානය හිමිවිය යුතුය.
මේ කුමන අයුරකින් වේවා මෙය ජනතාව විසින් දැක බලා ගත යුතු ස්ථානයකි. රටක් ලෙස සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කරගත හැකි ආදායම් උල්පතකි. මෙහි කිසියම් ඉතිහාස කතාවක් වැළලී ඇත්නම් එය මතු කරගත යුතු කාලයකි. ඒ සඳහා ඌව පරණගම ප්‍රාදේශීය සභාවට මෙන්ම, සංචාරක අමාත්‍යාංශයට ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ද කළ හැකි කාර්යන් බොහොමයකි.
අවසානයේ ද කිව යුත්තකි. ගුහාව තුළ ගමන සුන්දරය. ආස්වාද ජනකය. මෙය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීමද ඔබ සතුය. සියල්ලට වඩා ගමන පරිස්සමිනි. ආරක්ෂාව සලසා ගත යුත්තේ ද ඔබමය.
වියලුව නිශාන්ත කුමාර