1998 මැයි හෝ ජුනි වගේ මාසෙක ඉන්දියාවේ දිල්ලි නුවර තවත් එක්තරා සාමාන්‍ය දවසක්. අපේ කතානායකයා අවුරුදු නවයක විතර චබී කොල්ලෙක්. මේ පොඩි එකා එයාගේ තාත්තා ප්‍රේම් ගේ අතේ එල්ලිලා බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියට ආවේ ක්‍රිකට් ගහන්න පුරුදු පුහුණු වෙන්න.
මම මෙතැනදී කියන්න ආපු කතාව නවත්තලා වෙනත් පැත්තකට යනවා.
1998 අප්‍රේල් මාසේ අග දවසක, සාජා නුවර පැවැති කොකා-කෝලා කුසලාන තරගයකදී සචින් තෙන්දුල්කාර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පන්දු යවන්නන්ට මදි නොකියන්න නොසෑහෙන්න බැට දුන්නා. සචින් ගේ ඔය ඉනිමට ‘Desert Storm’ කියලා අපූරු නමකුත් පටබැඳුණා. සචින් එදා හතරේ පහර නවයක් සහ හයේ පහර පහක් සමග පන්දු 131කින් ලකුණු 143ක් රැස් කළා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිම පන්දු යවන්නෙක්‍ට සචින් ගෙන් සමාවක් ලැබුණේ නැහැ. සචින් ගේ ප්‍රහාරයට වහ වැටිච්ච ඉන්දියාවේ ගොඩක් පොඩි දරුවෝ තමන්ට ළඟම තියෙන ක්‍රිකට් ඇකඩමිය හොයා ගෙන ගියා. අපි මේ කතා කරන දරුවාත් එහෙම කෙනෙක්.
අපි ආපහු ප්‍රධාන කතාව පැත්තට එමු.
ක්‍රිකට් ගහන්න කියලා ආවාට බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියේ ඉන්න ප්‍රධාන පුහුණුකරුවා වෙච්ච රාජ්කුමාර් ෂර්මාට මේ කොලුවාගේ අනිත් එවුන්ට වඩා විශේෂයක් පේන්න නෑ. මොකද දිල්ලි නුවර ක්‍රිකට් ඇකඩමිවලට එන පොඩි එවුන් ඔක්කොම දක්ෂතාව අතින් එක සමානයි. ඉස්සරහට යන්න නම් මොකක් නමුත් සුවිශේෂි දෙයක් දක්ෂතාවක් පේන්න ඕනෑ.
ඔහොම ටික දවසක් ගත වුණා. දවසක් මේ සියල්ල උඩු යටිකුරු කරන යමක් සිදු වුණා.
අපි මේ කියන දවසේ පුහුණුකරුවා ගේ ඇස් උඩ යන දෙයක් කරන්න අද අපි කතා කරන පොඩි කොලුවාට හැකියාවක් ලැබුණා. ඒක බවුන්ඩ්‍රි ලයින් එකේ ඉඳන් දාපු ත්‍රෝ එකක්. බුලට් එකක් වගේ විදුලි වේගයෙන් ආපු බෝලේ නැවතුණේ කඩුලු රකින්නා අතේ.
අවුරුදු නවයක පොඩි එකෙක් ගෙන් එහෙම පන්දු බාර දීමක් කිසිම ආකාරයකින් බලාපොරොත්තු වෙන්න බැරි බව දන්න පුහුණුකරුවා අතිශයින්ම මවිතයට පත්වුණා. ප්‍රධාන පුහුණුකරුවා එයාගේ සහාය පුහුණුකරු දිහා බැලුවාම ඒ මනුස්සයාගේ ඇස් දෙක නළලේ. සමහර පොඩි දේවල්වලින් දක්ෂ පුහුණුකරුවන් ක්‍රීඩකයන් මැන ගන්න ආකාරය පුදුමයි. මේ පුහුණුකරුවාත් එහෙම කෙනෙක්.
ඊළඟ තරගයේදී අර පොඩි කොලුවා ගහපු ෆ්ලික් පහරක් මිඩ් විකට් දෙසින් වාතය කපා ගෙන ගිහින් නරඹන්නන් අතරට වැටෙනවා. ඒකත් ලේසි පහසු පහරක් නෙවෙයි. දැන් නම් අර පුහුණුකරුවාට ටක්කෙටම ෂුවර් මේ චබි, පොඩි කොලුවාට ක්‍රිකට් ක්‍රීඩාවේ දිග, ලොකු ගමනක් තියෙනවා කියලා.
“පිතිකරණ ලැයිස්තුවේ දෙන ඕනෑම තැනක බැට් කරන්න එයා ලෑස්ති වෙලා හිටියා. පුහුණුවීම් ඉවර වෙලා එයාව ගෙදර යවන්න මට වෙනම මහන්සියක් දරන්න වුණා. ඒ දරුවා පුහුණුවට එන්න කවදාවත් ප්‍රමාද වුණේ නැහැ. කැපවීම උපරිමයි. අනෙක් දරුවෝ වගේ මේ දරුවා අතන, මෙතැන නිකරුණේ කාලය නාස්ති කළේ නැහැ. හැම වෙලේම බැට් එක හෝ බෝලේ අතේ. වැදගත්ම දේ එයා ඉගෙනගත යුතු පාඩම් ඔක්කොම ඉතා ඉක්මනින් ඉගෙන ගත්තා.”
පුහුණුකරුවා පස්සේ කාලෙක අපේ කතානායක කොලු ගැටයා ගැන කිව්වේ එහෙම.
කොච්චර දක්ෂයෙක් වුණත් මේ දරුවාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට එන්න විශාල බාධාවක් තිබුණා. ඒ, දිල්ලියේ කනිෂ්ඨ මට්ටමෙන් ක්‍රිකට්වලින් ඉදිරියට එන්න නම්, යම්තාක් දුරකට හිතමිත්‍ර සම්බන්ධකම් තියෙන්න ඕනෑ. මේ දරුවගේ හෝ එයාගේ තාත්තාගේ නෑදෑ, හිතමිත්‍රයෝ දිල්ලි ක්‍රිකට්වල ලොකු ලොකු තැන්වල නෑ. ඒ හින්දාම මේ කොලුවා සමහර වේලාවට අහේතුකවම ටීම් එකෙන් කැපිච්ච වේලාවල් තිබුණා. හැබැයි ඉතින් කොල්ලා ගේම අතෑරියෙත් නෑ. ඔහු මානසිකව ඉතාම ශක්තිමත් කෙනෙක්. මේ ඒකට හොඳ උදාහරණයක්.
2006 දෙසැම්බර් මාසේ දවසක අපි මේ කතා කරන දරුවාගේ තාත්තා හෘදයාබාධයකින් මෙලොව හැර යනවා. ඒ වෙද්දී අපේ කතානායක තරුණයා ඉන්නේ දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් කර්නාටක කණ්ඩායමට එරෙහිව රංජි කුසලාන තරගයක.
පියා මිය යන අවස්ථාවේදී ඔහු ලකුණු 40ක් රැස් කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා. දිල්ලි කණ්ඩායම එවෙලේ වැටී සිටියේ ඉතාම අවදානම් තත්වයකට. දිල්ලිය අවමානයෙන් ගලවා ගැනීමට නම් සුවිශේෂි යමක් කිසියම් හෝ පිතිකරුවකුට කිරීමට සිදු වුණා.
එදා දිල්ලි කණ්ඩායම ගලවා ගැනීමට පැමිණියේ අප කතානායක තරුණ ක්‍රීඩකයා. සිය පියාගේ නිසල දේහය නිවෙසේ තැන්පත් කර තිබියදී ඔහු ක්‍රීඩාංගණයට පැමිණ ලකුණු 90ක් රැස් කරගනිමින් දිල්ලියේ ගෞරවය බේරා ගත්තා. බටහිර දිල්ලි ක්‍රිකට් ඇකඩමියේදී අපි ඉහත කියපු විශේෂ දේවල් දැකපු දවසේ ඉඳලාම රාජ්කුමාර් ෂර්මා කියන පුහුණුකරුවා මේ පොඩි දරුවාගේ පිටිපස්සෙන්ම හිටියේ.
2006 වසරේ යොවුන් ලෝක කුසලානය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ. ලෝක කුසලානයට සහභාගි වූ ඉන්දියානු යොවුන් කණ්ඩායම නවාතැන් ගෙන සිටි කොළඹ හෝටලය වටා නොයෙක් ආකාරයේ ඒජන්තවරු ඒ දවස් කිහිපයේම කඳවුරු බැඳගෙන හිටියේ. මේ ඒජන්තවරුන්ගේ මූලික අභිප්‍රාය වූයේ යම් යම් මූල්‍යමය වටිනාකම්වලට ඉන්දීය යොවුන් ක්‍රීඩකයන් තමන් වෙත නතු කරගැනීම. කොළඹ සිදුවීම් මාලාව මෙසේ වෙද්දී ඉන්දියාවේ දිල්ලි නගරයේ වෙසෙන රාජ්කුමාර් ෂර්මා පසු වුණේ මහත් නොසන්සුන් බවකින්.
ඔහුගේ ළාබාල සිසුවා එනම් අපේ කතානායකයා මේ වෙද්දී හිටියේ ඉන්දීය යොවුන් කණ්ඩායමේ එළිපත්තේ. බාහිර ලෝකයේ නපුරු බලවේගවලින් සිය ගෝලයා ආරක්ෂා කරගත යුතු බව ෂර්මා පුහුණුකරුවා නිතරම හිතුවේ.
“ඔහු වයසින් ගොඩාක් අඩුයි. තරුණ ක්‍රීඩකයන්ට එන මේ සල්ලි ගනුදෙනු නිසා ඔළුව වෙන වෙන පැතිවලට යන්න පුළුවන්.” දිල්ලියේ පුහුණුකරුවා සිය මිත්‍රයන් සමග කනස්සල්ලෙන් පැවැසුවා.
“බය වෙන්න එපා. ඔබට මා ගැන කවදාවත් නරක දෙයක් නම් අහන්න ලැබෙන්නේ නෑ.” ගෝලයා සිය පණිවිඩය ඉතාම පැහැදිලිව ගුරුතුමාට දන්වා හිටියා.
ඉන් දශක කිහිපයක් ගෙවෙන තැන බොහෝ දුක්ගැහට මැදින් ආ ඒ යොවුන් ක්‍රීඩකයා සිය දක්ෂතාව නිසාම ලෝක ක්‍රීඩාවේ දක්ෂතම සහ ජනප්‍රියතම තරු ගොන්නේ ඉහළින්ම වැජඹෙන්න සමත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ තරග රටා තුනේම ඔහුගේ දක්ෂතා ඉහළින් තිබුණා.
ඔහුගේ නම, විරාත් කෝලි.
කිසිවකු නොසිතූ මොහොතක පසුගිය දා කෝලි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට නැවතීමේ තිත තබන්නට තීරණය කළා. දීර්ඝ තරග රටාවේ කෝලි අවසන් වරට ක්‍රීඩා කළේත් දිල්ලි කණ්ඩායම නියෝජනය කරමින් රේල්වේස් කණ්ඩායමට එරෙහිව රංජි කුසලාන තරගයක්. ඒ, තමා නමින් ක්‍රීඩා මණ්ඩපයක් නම් කර ඇති දිල්ලියේ අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී.
ටෙස්ට් තරග 123කදී ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ කෝලි එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 9,230ක්. ඒ, ඉනිම සාමන්‍යය 46.85ක් ලෙස රඳවා තබා ගනිමින්. මේ ලකුණු ගොන්නට ශතක 30ක් ඇතුළත්. නායකයකු ලෙස ටෙස්ට් තරග රටාවේ කෝලිට අද්විතීය තරග වාර්තාවක් තිබෙනවා. ටෙස්ට් තරග 68කට ඉන්දියානු කණ්ඩායම මෙහෙයවූ කෝලි ඉන් තරග 40ක් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් වීමයි. එය කාලයකට නොබිඳෙන ඉන්දීය වාර්තාවක්.
කාංචන පිටිගල