රටේ මුල් පුටු හතරේම ආදි රාජකීයයෝ


 

  • පාර්ලිමේන්තු මන්ත්‍රී 225 න් 20ක්ම රාජකීය ආදි සිසුන්

අපේ රටේ රජයේ පාසල් දස දහසක් පමණ ඇත. මේවායින් ලක්‍ෂ සංඛ්‍යාත ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබති. බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය ලබා හෝ නැතුව විවිධ වෘත්තීන් සිය සිතැඟි අනුව තෝරා ගෙන ඒවායේ නිරතව ජීවිකාව කර​ගෙනක යති. සිය පවුල් පසුබිම්වල ඇති ව්‍යාපාර, ගොවිතැන් ආදියට තව පිරිසක් එක් වෙති. මේ අතර ඉතාම සුළු පිරිසක් දේශපාලන ක්ෂේත්‍රයට යොමු වෙති.   

 

කොළඹ රාජකීය විද්‍යාලය බිම් අක්කර තිස් පහක් පුරාවට විසිර පවතී, ක්‍රීඩා පිට්ටනි පමණක් හතරකි. ළමයින්ට නායකත්ව, සංවිධාන හුරු බව හා කුසලතා එළි දැක්වීමට සාහිත්‍ය, කලා, පුරාවිද්‍යා ආදී විවිධ සමිති සමාගම් අසූවක් පමණය. ක්‍රීඩා පමණක් පනස් දෙකකි. ඒ ක්‍රීඩා පුහුණුවට විශේෂ ශාලා හා පිට්ටනි ද වෙයි. විද්‍යා, කලා, ගණිත, වාණිජ ආදී සියලුම විෂය ධාරාවලින් ඉගැන්වීම් සිදු කෙරේ. 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගෙන සමත්වන පිරිමි ළමයින් ඇතුළත් කර ගන්නේ ද රාජකීය විද්‍යාලටය. ශිෂ්‍යත්වය සමත්ව රාජකීය විද්‍යායට ඇතුළත්වන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක යම් ළමයෙකුට පාසලේ නේවාසික ගාස්තු ගෙවාගත නොහැකිව ආර්ථික දුෂ්කරතා වෙතොත්, එවැනි ළමයින්ට සියලුම පහසුකම් ගාස්තු ඉගෙනුම් අවසන් වනතුරුම ගෙවීමට පාසලේ ආදී ගුරු සංගමය කටයුතු යොදා ඇත. මේ වනවිට එවැනි දුප්පත් ළමයින් විසි දෙනෙකුට ආදී ගුරු සංගමයේ සාමාජික විශ්‍රාමික ගුරු මහත්ම මහත්මීහු සිය විශ්‍රාම වැටුපෙන් ගෙවති.   


මෙහි අධ්‍යාපනය ලබා වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්. නීතිඥවරුන් වූ දරුවෝ වෙනමම සංවිධාන පිහිටුවා පාසලට කෘතගුණ සැලකීමට විවිධ සේවා කරති.   


කොළඹ රාජකීය විද්‍යාලය සම්බන්ධ අපේ රටේ ජනතාව තුළ විශාල වශයෙන් කතා බහට ලක් වූයේ අද ඊයේ සිට නොව, බොහෝ කාලයකට පෙරාතුව සිටය. රටේ හැම පාසලකටම ඉල්ලීම වූයේ රාජකීයට තියෙන පහසුකම් තමන්ගේ පාසල්වලට ලබාදෙන ලෙසය. ආපේ රටේ දේශාපලනඥයින් එදා මෙදා තුර ජනතාවට පොරොන්දු වන්නේ තම තමන්ගේ ගමේ නගරයේ පාසල ‘‘රාජකීය තත්ත්වයට’’ පත් කරන බවකි. ඔවුන්ගේ දරු මුණුබුරන් රාජකීයට ඇතුළත් කර ගන්නා එම දේශාපලනඥයෝ පහසුකම් කෙසේ වෙතත් ජනතාව රැවටීමට තම තමන්ගේ මැතිවරණ කොට්ඨාසය තුළ ඒ ඒ ගමේ නමින් ‘‘රාජකීය විද්‍යාල’’ බිහි කළහ. මෙලෙසින්ම එම දේශපාලනඥයෝ රටකට එකක් තිබිය යුතු ‘‘ජනාධිපති විද්‍යාලය’’, ‘‘අගමැති විද්‍යාලය’’ රට පුරාම ඇති කළහ. මෙයින් සිදු වූයේ ගමේ නගරයේ පාසලට අවශ්‍ය පහසුකම් ලබා දෙනු වෙනුවට තමන්ට ඡන්දය ලබා දුන් තම ඡන්ද දායකයින් මුලා කිරීමකි.   


දේශපාලන ක්ෂේත්‍රය දෙස බලන විට සෑම මැතිවරණයකදීම වැඩිම මහජන මන්ත්‍රීන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාව තෝරා පත් කර යවා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ය. බ්‍රිතාන්‍ය පාලන යුගයේ වර්ෂ 1835 යේදී ආරම්භ කළ රාජකීය විද්‍යාලයට මේ වන විට වර්ෂ 187 ක ඉතිහාසයක් තිබේ. මේ ඉතිහාසය පුරාවට මහජන මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, අගමැතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ජනාධිපතිවරු රැසක්ම රාජකීය විද්‍යාලය රටට දායාද කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, හිටපු විරුද්ධ පක්ෂ නායක සහ කථානායක අනුර බණ්ඩාරනායක මහතාත් විශිෂ්ට රාජකීයන් බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.   


දේශපාලන මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රවල මේ දිනවල වැඩියෙන්ම කතා බහට ලක් වන අපූර්ව දුර්ලභ ඓතිහාසික සිද්ධියක් කොළඹ රාජකීය විද්‍යාලයෙන් අසන්නට දකින්නට ලැබේ.   
මුළු රටේ පළවෙනිම පුරවැසියා වන වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජකීය විද්‍යාලයේ​ ගෞරවනීය ආදී ශිෂ්‍යයෙකි. දෙවෙනි පුරවැසියා වන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද රාජකීයේ දීප්තිමත් අදි ශිෂ්‍යයෙකි. සිව්වැනි පුරවැසියාවන විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. පර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ද රාජකීය විද්‍යාලයේ ප්‍රසස්ථ චරිතයකි. ආදි ශිෂ්‍යයෙකු නොවූවත් කාගේත් ප්‍රසාදයට පත්ව ඇති රටේ තුන්වෙනි පුරවැසියා වන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද රාජකීය විද්‍යාලයට වක්‍රාකාරයකින් සම්බන්ධව සිටී. ඔහුගේ පිරිමි දරුවන් සියලු දෙනාම ප්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් පෙළ තෙක් අධ්‍යාපනය ලැබුවේ මේ රාජකීය විද්‍යාලයෙනි. දෙමාපිය සම්බන්ධතා අනුව අබේවර්ධන මහතා ද රාජකීය විද්‍යාලයට සමීපය.   


මේ වනවිට මුළු රටේ පාලන තන්ත්‍රය ගෙන යන ප්‍රධාන විධායක තනතුරු සියල්ලම උසුලන්නේ රාජකීය විද්‍යාලයෙන් උගත් දරුවෝය. දෙවන, තුන්වෙනි, සතරවෙනි පුරවැසිකම් ලබාගෙන අන් අයගේ නොමද සහයක් ලබාගෙන රට මැනවින් පාලනය කරති.   


වර්තමාන පාර්ලිමේන්තුවේ වැජඹෙන පාර්ලිමේන්තු මහජන මන්ත්‍රීතුමන්ලා 225 න් 20 ක් පමණ ආදි ශිෂ්‍යයෝය. දෙස් විදෙස් බැබළෙන උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, වෘත්තිකයින් දෙස බලමින් සැනසෙන රාජකීය පාසල් මාතාව, වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය දෙස බලා අමන්දානන්දයට පත්වනු ​නොඅනුමානය. ලංකා ඉති​හාසයේ, බොහෝ විට ලෝක ඉතිහාසයේ එක් පාසලක උගත් දරුවන් ප්‍රධාන විධායක තනතුරු උසුලමින්, එකට එක් වී රට නංවාලීමට ප්‍රයන්ත දරන ප්‍රථම අවස්ථාව මෙය වන්නට පුළුවන.   
රටේ නායකත්වය බාර ගෙන සිටි යුගයේ කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න මහතා අප සමග කී කතාවකි මේ. (ප්‍රේමරත්න මහතා මේ වන විට අභාවප්‍රාප්ත වී ඇත.)  
‘‘මට මුණුබුරෙක් සිටිනවා. මේ ළමයා රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගන්න මට අවශ්‍ය වුණා. ඒ වන විට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. රාජකීයේ හිටපු කාලේ ඔහු මගේ ගෝලයෙක්. මං දවසක් ඔහුව හමුවීමට ගොස් මගේ අවශ්‍යතාව ප්‍රකාශ කළා. මං පදිංචි නුගේගොඩට කිට්ටු කිරුලපන. එහෙන් ළමයි රාජකීයට ගන්නේ නැහැ. මාව හොඳට කරුණාවෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගත්, රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමැතිතුමා මට මෙහෙම කිව්වා. ‘‘සර්, මං සර්ගේ ඉල්ලීම පිළිගෙන සර්ට සලකලා මුණුබුරාව රාජකීයට ඇතුළත් කරන්නම්. හැබැයි, සර්, මං ඒ සමඟම අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වෙනවා. මොකද? සර් මං එහෙම කියන්නේ මේ වනතුරු පාසල්වලට ළමයින් ඇතුළත් කරන නීති රීතිවලට පිටින් එකදු ළමයකුවත් මං පාසලට ඇතුළත් කරලා නැහැ’’ ඉඳ සිටි පුටුවෙන් නැගිටගත් මම, ඒ මොහොතේම නැගිට ‘‘නැහැ නැහැ එහෙම අවශ්‍ය නැහැ. ඒ පිළිවෙත එලෙසින්ම කරගෙන යන්න’’ කියා මා හිස් අතින් පැමිණියා.   
පසුව වෙනත් ක්‍රමයකින් මුණුබුරාව පාසලට ඇතුළත් කර ගත්තා. ‘‘රනිල් වික්‍රමසිංහ හරි ප්‍රතිපත්ති ගරුක’’ යැයි බෝගොඩ ප්‍රේමරත්න මහතා පැවසීය.   


රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිව සිටි යුගයේ සිදු වූ තවත් සිද්ධියකි මේ. ඒ කතාව කියන්නේ වසර 28 ක් රාජකීය විද්‍යාලයේ ගණිත ගුරුවරයෙකු ලෙස සේවය කළ සරත් කරුණාරත්න මහතායි.  
‘‘මමත් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ආදි රාජකීයයෙක්. රනිල් වික්‍රමසිංහ මහතාට වඩා වසර දෙකක් මම බාලයි. උසස් පෙළින් පසු මම මහරගම ගුරු විද්‍යාලයට ඇතුළත් වුණා. පුහුණුවෙන් පසු මාරුවක් ලැබුණේ පොළොන්නරුවේ දුෂ්කර පාසලකට. වසර තුනක් සිටියම මාරුව දෙන පොරොන්දුවට ගියේ. නමුත් වසර තුන පසුව මට මාරුව ලැබුණේ නැහැ. ඉගෙනගත් පාසල ගැනත්, සමකාලීන බවත්, සඳහන් කර මාරුව ගැන අභියාචනයක් අධ්‍යාපන ඇමැතිට එව්වා. ඒ කාලේ අද වගේ නොවේ. ගුරු මාරුවට අධ්‍යාපන කොමිෂමක් තිබුණා. ඒ කාලේ එහි ලේකම් ආරියරත්න කියල මහත්මයෙකි. අධ්‍යාපන ඇමැතිතුමා මගේ ලිපිය ආපසු අධ්‍යාපන කොමිෂමේ ලේකම්ට යවලා. මගේ පාසලේ අපි එකට ඉගෙන ගත්තේ. හැබැයි අයුතු ලෙස ඇමතිකම යොදාගෙන මගේ මාරුවට කිසි දෙයක් කළේ නැහැ. මං ඒකට තරහා නැහැ. ඇයි? ඇමතිකම අවභාවිත කරගෙන මගේ මාරුව හදන්නේ. එ්ක එදා නොකරපු එක හොඳයි. එතුමාගේ ප්‍රතිපත්තිය රැකීම ඊට වඩා වැදගත්. මගේ තනතුරට අනුප්‍රාප්තිකයෙකු පත් කළේ තවත් වසර දෙකකට පසුව. අපේ පාසලේ අපේ අධ්‍යාපන ඇමැති කෙනෙක් සිටියත්, වසර තුනෙන් කොළඹට මාරුවක් ගන්න සිටි මට, පොළොන්නරුවේ වසර පහක්ම තැපල මාරුව ලැබුණේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා සිටම ප්‍රතිපත්ති ගරුකයි. මට සිතෙනව රටට යමක් කරයි කියලා.’’   


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට පාසල් වියේදී කොළඹ රාජකීය විද්‍යාලයේ දී ඉගැන්වූ, දැනට මඩකළපුව, පෙරිය කල්ආර් ‘‘පෙරිය වලව්ව’’ නිවසේ පදිංචි 90 වියැති වී. සිවලිංගම් මහතා අප සමග මෙසේ අදහස් දැක්වීය.  


‘‘රනිලුයි, දිනේෂුයි මගේ ගෝලයෝ. මං පන්ති භාර ගුරුවරයා ලෙස සිටි කාලේ මේ දෙන්නම පොත්පත් කියවන්න රුසියෝ. කොයි වේලාවෙත් පොතක් කියවන්න අතේ. ඉගෙනීමටත් හරි දක්ෂයි. ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව ඇතුළු විෂයන් රැසක් මං උගන්වලා තියෙනවා. රාජකීයේ ඒ කාලේ සිටි ළමයින්ගෙන් ඉතා ඕනෑකමින් හොඳින් ​ඉගෙන ගත්තු ළමයි. රනිල්ටයි දිනේෂ්ටයි දෙස් විදෙස් දැනුම මෙන්ම හැම විෂයකටම දැනුමක් ඇති උගත්, බුද්ධිමත් ළමයි. මඩකළපු පළාතේ පැමිණියොත් අපේ ගෙදර ඇවිත් මගේ සුවදුක් සොයා බලා යනවාමයි. රනිලුයි, දිනේෂුයි රටට හොඳ වැඩ ​කොටසක් කරාවි. ඒ අයට රටට වැඩ කරන්න ඕනෑකමක් තියෙනවා. ඒ වාගේ වැඩ කිරීමේ ශක්තිය, ඥානය, දැනුම තියෙනවා. මං ඒ දෙන්නව පොඩි කාලේ සිටම හොඳට දන්න අපේ රාජකීය රත්තරන් දරුවො.’’  


දීප්තිමත් ගෝලයෝ ගැන සඳහන් කරද්දී අතීතය දැඩිසේ සිහිපත්වී වයෝවෘද්ධ සිවලිංගම් ගුරු පියාගේ දෙනෙතට සතුටු කඳුළක් ඉනුවේය. ඊට දෙකපෝලය දිගේ ගලා යන්නට ඉඩ දී මම නිහඬ වීමි.   
වත්මන් අපේ රටේ සිව්වැනි පුරවැසියා ​ලෙසට සලකනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්‍ෂ නායක කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉගැන්වූ දැනට විශ්‍රාම සුවයෙන් මත්තේගොඩ සිය නිවසෙහි පසුවෙන කේ.එච්. අමරදාස මහතාගෙන් රාජකීය දේශපාලන නායකත්වය ගැන අදහස් විමසීමි.   


‘‘සජිත් ප්‍රේමදාස දරුවා රාජකීය විද්‍යාලයේ ඉගෙනීම ලැබූ කාලේ අටවෙනි ශ්‍රේණියේ සිටියදී මට හමුවූ දක්‍ෂ ශිෂ්‍යයෙකි. අද වගේ එදත් බොහෝ සෙයින් ප්‍රියමනාප දරුවෙක්. ගුරු ගෞරවය ඉතා ඉහළින්ම තිබුණා. පන්තියේ ඉගැන් වූ සෑම විෂයටම වාගේ දක්‍ෂකම් පෙන්නුවා. ගුරුවරයකු පාඩමක් කරගෙන යද්දී ඊට මැනවින් අවධානය යොමු කර ධාරණය කර ගන්න තරම්ම ප්‍රබුද්ධ වූවා. සුහදව මිතුරු ඇසුරට දැඩි කැමැත්තක් දැක්වූවා. පන්තියේ ළමයින් සමග පමණක් නොවෙයි වෙනත් පන්තිවල ළමුන් සමඟ පවා මිතුරු සමාගම් පැවැත්වූ බව මා දැන සිටියා. වර්තමානයේ අපට පෙනෙන්නට තිබෙන දෙයක් රටේ වැඩි පිරිසක් ඔහු වටා සිටින වග පාසල් වියේ සිටම මේ ගති ස්වභාවය මිතුරු ඇසුරෙන් මැනවින් ප්‍රදර්ශනය කළා. සජිත් ප්‍රේමදාස දරුවා සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තියෙනවා. මේ මං කතා කරන වකවානුව වන විට අපේ රටේ අග්‍රාමාත්‍ය ධුරය ඉසිළුවේ සජිත් දරුවාගේ පියා. සජිත් කියන්නෙත් පාසල් වියේ සිටි අනෙකුත් දරුවන් වාගේ තවත් ළමයෙකි. ළමයින් අතරින් දැන හෝ නොදැන වැරදි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. සජිත්ගෙන් පාසල් සමයයේදී සුළු සුළු වැරදි අඩුපාඩු සිදු වූ විට ගුරුවරුන් හැටියට ඊට සුදුසු සුළු දඬුවම් පමුණුවනවා. තමන්ගේ පියා රටේ අගමැති කියල ඒ තනතුරු ගැන සිතා අමුතු මානයකින් වැජඹුණේ නැහැ. තමන් කළ සුළු වරද ගැන සිතා ඊට ලැබුණු දඬුවම නිහතමානීව බාරගෙන කළ වරද නැවත කිසිදාක නොකරන්න ඒ මොහොතේම පියවර ගත්ත දරුවෙක් බව සඳහන් කරන්නේ සතුටෙන්. උගත්කමත්, ඒ ඇසුරෙන් ලැබෙන බුද්ධියත්, වසර ගණනක අත්දැකීම් සම්බාරයක් අනාගත දැක්මත් අනුව සජිත් ප්‍රේමදාස අපේ විරුද්ධ පක්‍ෂ නායකතුමාට රටට උදාර මෙහෙයක් කළ හැකි බව මං දකිනවා. ගුරුවරයකු වශයෙන් මා අතිශයින්ම සුබ පතනවා.’’  


රටේ ප්‍රමුඛ පුරවැසි පදවිවලට ආදී රාජකීය රන් පුතුන් පත්වීම සම්බන්ධව නිහතමානීව ප්‍රමෝදයට පත්වන දෙස් විදෙස් කල් යවන ආදී රාජකීය යන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරමු. රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට ඔබට දිය හැකි කිසියම් සහායක් වෙතොත් නොමසුරුවම නොවලහාම හැකි ඉක්මනින්ම ලබා දෙන්න. රාජකීයට වැඩි අඩු හෝ සමානව හෝ රටට, දැයට, සමයට ආදරය ඇති උගත් බුද්ධිමත් පිරිස් සමාජයට මුදාහල තවත් පාසල් දහස් ගණනකි. අවස්ථානුකූලව යථාර්ථය තේරුම් ගෙන භේදයකින් තොරව මේ හැමගේම සහාය ලබාගෙන රට ප්‍රකෘති තත්ත්වයට ඉක්මනින්ම පත් කර ගනිමු.


(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ සහකාර පුස්තකාලාධිපති සමන් පෙරේරා මහතාට විශේෂ ස්තූතිය.)