රට වටේ ඇති ජනපති මාලිගා ඉකුත් ජනාධිපතිවරණ සමයේ දී දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ලක් වූ එක් සුවිශේෂී ප්‍රස්තුතයක් විය. කොයි කවුරුත් දන්නා පරිදි ජනාධිපතිවරයා ගේ නිල නිවස හෙවත් රජ ගෙදර ඇත්තේ කොළඹ කොටුවේ ය. එය පමණක් නොව තවත් ජනාධිපති මන්දිර කීපයක්ම ජනපතිවරයාගේ සැප පහසුවට වෙන්ව ඇත්තේය.
කොටුව ජනාධිපති මන්දිරය
කාගේත් අවධානයට ලක්වන කොටුවේ රජගෙදර ඉතිහාසය යටත්විජිත සමය දක්වාම දිවයන්නකි. කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර අතීතයේ කිංග්ස් හෝ ක්වීන්ස් හවුස් ලෙස හැඳින්විය. මෙය යටත් විජිත සමයේ පටන්ම මෙරට රාජ්‍ය නායකයන් ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ලන්දේසි හා ඉංග්‍රීසි පාලන සමයේ දී ඔවුන් ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස භාවිත කළහ.
පෘතුගීසි සමයේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කරනු ලැබුවේ මෙම ස්ථානයේ බව පැවසෙයි. ඒ අනුව මෙය සුසාන බිමක ඉදිකළ රාජකීය මන්දිරයක් ලෙස ද සැලකෙයි. මෙය ඉදිකරවා ඇතැයි කියැවෙන්නේ ෆන් එංගල්බ්රෙක් නමැති ලන්දේසි ආණ්ඩුකාරවරයා විසිනි. ඔහු මෙහි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව දෙමහල් මැඳුරක් ඉදි කළේය. ඔහු ගෙන් පසුව මෙය හිමිවූයේ ඔහුගේ මිනිබිරියටයි.
ඕලන්ද ගෘහය “කිංස් හවුස්” හෙවත් රජ ගෙදර නමින් හඳුන්වන්න ට ගත්තේ තෝමස් මේට්ලන්ඩ් නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ගේ සමයේ පටන් ය. රජ ගෙදරට ඉංග්‍රීසි පාලන සමයේ දී නොයෙක් අංගෝපාංග එක්විය. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය ඉක්මවායමින් බ්‍රිතාන්‍ය වාස්තු විද්‍යා අංග රජ ගෙදරට එක් විය. එහෙත් ඉංග්‍රීසි වාස්තු විද්‍යා අංග වලට ඕලන්ද මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට නොහැකි විය.
කෙසේ වෙතත් ඉංග්‍රීසි ආකෘතිය රජ ගෙදර ආක්‍රමණය කරන්නට ගත්තේ රොබට් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා ගේ කාලයේ දීය. කඩා වැටෙමින් තිබූ පෘතුගීසි දේවස්ථානය සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කෙරිණි. රජ ගෙදර වටා අක්කර දහයක උයනක් නිර්මාණය කළේ, ඒ කාලයේ දීය. ආතර් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා ගේ කාලයේ දී රජ ගෙදර උද්‍යානය තවත් අලංකාරවත් විය. එය කොතරම් අලංකාරවත් වීද කියතොත් “ගෝර්ඩන් උද්‍යානය” නමින් එය හඳුන්වන්න ද පටන් ගත්තේය.
මහනුවර ජනාධිපති මන්දිරය
ඉංග්‍රීසි පාලන සමයෙන් පසුව රජ ගෙදර උරුමක්කාරයා බවට පත්වූයේ සර් ඔලිවර් ගුණතිලකය. ඔහු අග්‍රාණ්ඩුකාර ධුරයට පත් මුල්ම ශ්‍රී ලාංකිකයාය. ජනරජ ව්‍යවස්ථාවෙන් අග්‍රාණ්ඩුකාර ධුරය අහෝසි වීමෙන් පසුව ජනාධිපතිවරයා ගේ බුක්තියට රජගෙදර නතුවිය. පළමු නාමික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව එක්දාස් නවසිය හැත්තෑවේ සිට හැත්තෑ හත දක්වා එහි වාසය කළේය.
ජේ.ආර්.ජයවර්ධන විධායක ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව රජ ගෙදර ඔහුගේ නිල අයිතියට හිමි විය. ඒ වන විට රජ ගෙදර ජරාවාස වෙමින් තිබුණි. එය නවීකරණය කිරීමේ වගකීම පැවරුණේ ලංකාවේ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා වූ ජෙෆ්රි බාවාට ය. ඔහුගේ සංකල්පයන් අනුව රජ ගෙදරට නව මුහුණුවරක් ලැබුණි. නව මුහුණුවරක් ලැබුණත් ජේ.ආර්. රජ ගෙදර පදිංචියට ගියේ නැත. ඔහුගේ පදිංචිය වූයේ වෝඩ් පෙදෙසේ බ්‍රිමාර් නිවසේ ය. එහෙත් රාජ්‍ය නායකයන් පිළිගැනීම වැනි නිල කටයුතු සදහා ඔහු කොටුවේ රජ ගෙදර භාවිත කළේය. කොටුවේ රජ ගෙදරට ජනාධිපති මන්දිරය යන නම ලැබුණේ මේ කාලයේ දීය. ජේ.ආර්.ගෙන් පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස ද කොටුවේ ජනාධිපති මන්දිරය භාවිත කළේ නිල කටයුතු සඳහාය. ඔහු පදිංචි වී සිටියේ අලුත්කඩේ සුචරිත නිවසේ ය.
ප්‍රේමදාස ජනාපතිවරයා ගේ හදිසි අභාවයෙන් ජනාධිපති ධුරයට පත් ඩී.බි. විජේතුංග ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේය. ඉන් පසුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මන්දිරය මෙන්ම අරලියගහ මන්දිරය ද තමන් ගේ කටයුතු සදහා යොදා ගත්තාය. ඇය මුල් කාලයේ දී ජනාධිපති මන්දිරය නිල කටයුතු සඳහා පමණක් යොදා ගත් නමුත් පසුකාලීනව එහි පදිංචියට ගියාය.
ඇගෙන් පසුව රජ ගෙදර උරුමක්කරුවා බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. ඔහු ද ජනාධිපති මන්දිරය මෙන්ම අරලියගහ මන්දිරයත් නිල නිවාස ලෙස භාවිත කළේය.
මහනුවර ජනාධිපති මන්දිරය
කොළඹ ජනාධිපති මන්දිරයට අමතරව කාගේත් වැඩි අවධානයක් යොමුවී ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරයටය. මහනුවර ජනාධිපති මන්දිරයේ ඉතිහාසය ද කොටුවේ රජ ගෙදර ඉතිහාසයට දෙවැනි නොවේ. මහනුවර ජනාධිපති මන්දිරය නොහොත් ”රජගෙදර”, ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටා ඇති ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගේ නිල නිවසයි.එය රජ වීදියේ ආරම්භයේ, දළදා මාලිගාවට සමීපව පිහිටා ඇත. ඇසළ පෙරහර අවසානයේ ”පෙරහර සංදේශය” භාරදීමේ උත්සවය හැරණු කොට, රාජකාරී කටයුතු සඳහා මෙම මන්දිරය භාවිතා කරනුයේ කලාතුරකිනි. මහනුවර පිහිටි ජනාධිපති නිල නිවාසය සුවිශේෂි වැදගත්කමක් දරන්නේ මෙරට ආණ්ඩුකාරවරුන් හා ජනාධිපතිවරුන් වැඩිපුරම පරිහරණය කළ ප්‍රාදේශිය නිල නිවාසය නිසාය. මේ මන්දිරය වික්ටෝරියා රැජින ගේ පාලන කාලයේ දී රැජින මන්දිරය ලෙස ද ජේ.ආර්. ජයවර්ධන ජනපතිගේ පාලන සමයේ දී ජනාධිපති මන්දිරය ලෙසද හැඳින්විය. මෙම පැවිලියන් මන්දිරය ඉදි කර ඇත්තේ 1815 සිංහල රජු සිහසුනෙන් පහ කොට උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වීමෙන් අනතුරුවය. පෙරදී Kings/Queens Pavilion ලෙස හැඳින්වූ මෙය බ්‍රිතාන්‍ය රජය හා රජු නියෝජනය කළ, ආණ්ඩුකාරවයාගේ නිල නිවස විය. නිදහසින් පසු, එය ලංකාවේ කිරීටය නියෝජනය කළ අග්‍රාණ්ඩුකාරවරයා ගේ වාසස්ථානය බවට පත් විය. 1972 දී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු එය නිල වශයෙන් ජනාධිපති මන්දිරය බවට පත් විය.
යාපනය ජනාධිපති මන්දිරය
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ විශ්වාසදායකම ඇමැතිවරයා පිළිමතලාවේ අදිකාරම්වරයා ගේ නිවස ජනාධිපති මන්දිරය ලෙස හැඳින්වේ.
මෙම මන්දිරය 1825 දී රජයට පවරා දෙන ලදී. අවාසනාවකට මෙන්, 1827 මාර්තු මාසයේ ඇති වූ ගින්නකින් මුල් ව්‍යූහය විනාශ වූ අතර එක්සත් රාජධානියේ වික්ටෝටියා මහ රැජින විසූ බ්‍රයිටන් පැවිලියන් නම් මන්දිරය මත පදනම්ව ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමන් යළි ගොඩනගන ලදී. මෙම සැලැස්ම සකස් කර ඇත්තේ රාජකීය ඉංජිනේරු අංශයේ ලුතිනන් කර්නල් බ්‍රවුන් විසිනි. බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නික්ම යාමෙන් පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ශ්‍රීමත් රොබට් ඩබ්ලිව් හෝර්ටන් ආණ්ඩුකාරතුමන් නව කොටසක් එකතු කර ව්‍යූහය සම්පූර්ණ කළේය. ඉදිකිරීම් කටයුතු බොහෝ දුරට අවසන් වූයේ 1833 වර්ෂයේදීය. මෙම ගොඩනැගිල්ල ඉතාලි පුනර්ජීවන ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය මත පදනම් වූ කිරිගරුඬ ව්‍යූහයක් ලෙස දිස්වේ. මහනුවර පැවිලියන් මන්දිරය බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජකීය සහ රජයේ මන්දිරවල සුසමාදර්ශයක් වූ අතර එය උත්සව ශාලාවක්, වයින් කුටියක්, අශ්වගාලක්, වික්ටෝරියානු නිදන කාමර, බිලියඩ් කාමරයක්, විශාල දෙකඩ කරන ලද පඩිපෙළක් සහ පිහිනුම් තටාකයකින් සමන්විත විය. අභ්‍යන්තරය දැඩි ලෙස වික්ටෝරියානු, බ්‍රිතාන්‍ය සහ යුරෝපීය ලක්ෂණ වලින් සමන්විත වේ. කෙසේ වෙතත්, පඩිපෙළ වැනි ස්ථානවල දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණ ද පවතී. මන්දිරයේ උද්‍යානය හොඳින් සැලසුම් කර, විදේශීය හා දේශීය ශාක හා ගස් වලින් රෝපණය කර ඇත, සමහරක් ශාක ප්‍රභූවරුන් විසින් රෝපණය කරන ලදී. පැවිලියන් මන්දිරය, එහි අතීතය සහ එහි ඓතිහාසික වටිනාකම පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ය. එය අද පවතින තත්ත්වයට ගෙන ඒමට සහ එහි අභිමානය නඟා සිටුවීමට එතුමාගේ කාලය තුළ ක්‍රියාකාරී පියවර ගන්නා ලදී.
නුවරඑළිය ජනාධිපති මන්දිරය
ජනාධිපතිවරු විවේකයෙන් කාලය ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නුවරඑළිය ජනාධිපති මන්දිරයේය. නුවරඑළිය ජනාධිපති මන්දිරය ඉදිවන්නේ ඉංග්‍රීසි පාලන සමයේදීය. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ කටයුතු සදහා ඉදිකළ මේ මන්දිරයේ විවේකයෙන් කාලය ගත කිරීමට ඉංග්‍රීසි අග්‍රාණ්ඩුකාරවරු වැඩි කැමැත්තක් දැක්වූහ. ආණ්ඩුකාරවරු පමණක් නොව ඔවුන්ගේ අමුත්තන්ට ද නුවරඑළිය මන්දිරයේ දොරටු නිරන්තරයෙන් විවරව තිබුණි. රැජින නිවස ලෙසින් මෙය හැඳින්විණි. 1893 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය විසින් ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ ගිම්හාන නිවහන ලෙස මෙය ඉදිකරන ලදී. ග්‍රෙගරි විසින් ආන්දෝලනාත්මක ලෙස ගාල්ලේ ආණ්ඩුකාරවරයා ගේ සෘතුමය නිවස විකුණා මෙම නව නිල නිවස ඉදිකර ඇත්තේ යටත් විජිත කාර්යාලයේ අනුමැතියකින් තොරවය. එය පවුම් 1,500 ක මුදලකට ඉදිකරන ලද අතර, උත්සව ශාලාව සහ චිත්‍රාගාරය සැලසුම් කරන ලද්දේ පොදු වැඩ දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පී/ඉංජිනේරුවරයකු වූ හර්බට් ෆෙඩ්රික් ටොමලින් (1852-1944) විසිනි. ලංකාවේ මිය ගිය එකම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන සර් ජෝන් ඇන්ඩර්සන් 1918 මාර්තු 24 දින රෝගාතුර වී මිය ගොස් ඇත්තේ නුවරඑළිය ජනාධිපති නිවසේය. ඔහු ලංකාවේදී මිය ගිය එකම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා විය.
ලංකාවට නිදහස ලැබිමෙන් පසුව අග්‍රාණ්ඩුකාරවරයා ගේ නිල නිවස බවට පත්වූ මෙය පසුව ජනාධිපතිවරයාගේ නිල නිවසක් බවට පත්විය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. ඉංග්‍රීසි පාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ පසුව 1972 සිට ජනාධිපති නිල නිවස ලෙස භාවිතයට වෙන්කර තිබිණි. නමුත් නිදහසින් පසු එය අගමැතිතුමාත් භාවිත කළේය. 1953 දෙසැම්බර් 31 වැනි දින ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමා යටතේ හදිසි රැස්වීමක් සඳහා ලංකා කැබිනට් මණ්ඩලය ද මෙහි රැස්විය.
මෙහි ඇති පෞරාණික අගය නිසා එය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කළ යුතු වුවද , එකල ජනාධිපතිවරයා එය නුවරඑළියේ නිවාඩු ගතකිරීමට අවශ්‍ය අවස්ථාවල දී යොදාගන්නට හැකි ආකාරයට නවීකරණය කර ගත් බව එකල ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග පවසයි. නුවරඑළිය මහ නගර සභා සීමාව තුළ එළිසබෙත් රැජින ඩ්‍රයිව් අසල පිහිටා ඇති මෙම නිල නිවස පුරාවස්තු ආඥාපනත යටතේ ආරක්ෂිත ස්මාරකයකි. 2007 පෙබරවාරි 23 දින සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා විසින් පුරාවස්තු ආඥාපනත යටතේ එය විධිමත් ලෙස පිළිගෙන ‘ආරක්ෂිත ස්මාරකයක්‘ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
යාපනය ජනාධිපති මන්දිරය
පසුගිය දිනවල වැඩි අවධානයක් යොමුවූ ජනාධිපති මන්දිරය වන්නේ යාපනය ජනාධිපති මන්දිරයයි. කන්කසන්තුරේ අධි ආරක්ෂිත කලාපය තුළ යාපනය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූයේ 2012 වසරේදීය. එහි ඉදිකිරීම් ඇස්තමේන්තුව කෝටි දෙසීයකි. එහෙත් කෝටි දෙසීයකින් එහි ඉදිකිරීම් කටයුතු කර ගැනීමට නොහැකි විය. මේ නිසා එහි ඉදිකිරීම් කටයුතු කර ගෙන යාමට තවත් කෝටි පහක මුදලක් වෙන්කිරීමට සිදුවිය. අක්කර දෙසීයක භූමි භාගයක් පුරා ඉදිවන ජනාධිපති මන්දිරයේ කාමර විසි හතකි. ශරීර සුවතා මධ්‍යස්ථාන දෙකකි. වෙරළ ආසන්නයේම මන්දිරය ඉදි කළද පිහිනුම් තටාකයක් තිබීම විශේෂත්වයක් වන අතර විශාල සම්මන්ත්රණ ශාලාවක්, අලංකාර උද්‍යානයක් ඇතුළු සුඛෝපභෝගී පහසුකම් රාශියක් සහ විනෝදාශ්වාදයට අවශ්‍ය විවිධ අංගෝපාංග ද මෙහි ඉදි කර අවසන්ය. අධික උණුසුම පාලනය කිරීමට ජලයෙන් ප්‍රදේශය සිසිල් කරන්නේ සීගිරියේ ජල උද්‍යානය සිහි ගන්වමිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අවශ්‍යතාවක් අනුව මෙය ඉදි කර ඇත. මෙම ඉදිකිරීමෙහි විශාල ශ්‍රමයක් නාවික හමුදාව සහ යුධ හමුදාව විසින් දරා ඇත. කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.
ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාව ගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.
ජනතාව ගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා 2023 වසරේ ඔක්තෝබර් මස සිදු කෙරෙණි.
මීට අමතරව අනුරාධපුර, මහියංගණය, ඇඹිලිපිටිය, කෑගල්ල, අම්පාර,කතරගම, බෙන්තර යන ප්රදේශයන්ගේ ද ජනාධිපති මන්දිර ඉදිකොට ඇත. අනුරාධපුරයේ ජනාධිපති මන්දිරය වැව් තාවුල්ලක පිහිටි සුන්දර මන්දිරයකි. මහියංගණය ජනාධිපති මන්දිරය ඉදිකළේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ පාලන කාලයේදීය. එහි භාරකාරත්වය පැවරී තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියටය. එය 2010 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරා ගත්තේ නවීකරණය කිරීමෙන් පසුවය. මහියංගණය ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරාගන්නා ලදි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවැති කතරගම නිකේතනය හා ඇඹිලිපිටිය නිකේතනය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරාගත්තේ 2010 වසරේ මාර්තු මාසයේදී හා අප්‍රේල් මාසයේදීය. කතරගම ජනාධිපති මන්දිරය නවීකරණය කිරීමට මිලියන තිස් පහක් වැය කර තිබුණි.
නුවරඑළිය ජනාධිපති මන්දිරය
2014 වසරේදී ජනාධිපතිවරයාගේ විවේකී නිවසක් බවට කෑගල්ලේ ඩෝසන් බංගලාව ද පත්වය. එනම් දැයට කිරුළ වැඩසටහන ට සමගාමීව ඩෝසන් බංගලාව ප්රතිංස්කරණය කිරීමෙන් පසුවය. ඩෝසන් බංගලාවේ ඉතිහාසය කොළඹ නුවර පාරේ ඉතිහාස කතාව දක්වාම දිවයන්නේය. ඉංග්‍රීසි ආණ්ඩුව කොළඹ නුවර මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පැවරුවේ රාජකීය යුද හමුදා ඉංජිනේරු බළකායටය. එහි කපිතාන් ෆැන්සිස් ඩෝසන් නම් තරුණ නිලධාරියාගේ කර මත මේ වගකීම පැවරිණි. ඔහු වෙනුවෙන් අඹන්පිටියේ දී මේ නිවස ඉදිකළේ 1821දීය. කාලයාගේ ඇවෑමෙන් ගරාවැටුණු මෙය නවීකරණය කළේ මිලියන 70ක වියදමකිනි.
පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩු දුන් ජනාධිපති මන්දිර අතර අම්පාරේ ලාහුගල ඉදිවන ජනාධිපති මන්දිරය ද වෙයි. එහි ඉදිකිරීම් සඳහා අපේක්ෂිත වියදම මිලියන එක්දහස් අනූ අටකි. කෙසේ නමුදු හිටපු ජනපතිවරයා කීවේ පේදුරුතුඩුවේ හා ලාහුගල ඉදිවන්නේ ජනපති මැදුරු නොව අන්තර් ජාතික මධ්‍යස්ථානයක් බවය.
ශෂිකා අබේරත්න