යාල කොටි පාරාදීසය


 

යාල වනෝද්‍යානයේ භාරකරු හැටියට සේවය කළ වකවානුවේ අගෝස්තු මස දිනක කාර්යාලයට ගොඩ වැදුණු තරුණ යුවළක් ඔවුන් මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් බව පවසමින් සුහද පිළිසඳරකට එළඹුණි. කාන්තාව ප්‍රසව වෛද්‍යවරියක් වූ අතර ස්වාමි පුරුෂයා කායික වෛද්‍ය විශේෂඥවරයකු විය. මේසය මත තිබු මගේ නම සහ තනතුර දැක්වෙන සංඥා පුවරුම දෙසට නෙත් යොමු කරමින් එම යුවළ විල්සන් මහත්මයා අපි දෙදෙනා අද යාලට ආවේ කොටි බලන්නයි. ඒ සතුන් ගැන විස්තර දැන ගන්නයි. කතාවට එළඹුනි. ලියමින් සිටි පෑන පසෙක තබමින් මම අසුනෙන් නැගිට ඔවුන් දෙදෙනාට අතට අත දෙමින් කරුණාකර වාඩි වෙන්න. මම ද ඉංග්‍රීසි බසින් කතාව පෙරලා මම ඔවුන් දෙදෙනා අමතමින් කොටි ගැන විතරක් නොවෙයි ලංකාවේ ඕනෑම සතෙක් ගැන අහන්න. මේ උද්‍යානයට පැමිණෙණ සංචාරකයන් දැනුම්වත් කිරීම මගේ වගකිමක්නේ. මම නැගෙනහිර අප්‍රිකාවේ (East Africa) ටැන් සානියාවේ අප්‍රිකානු වනජීවී කළමනාකරණ විද්‍යාලයේ අවුරුදු දෙකක පුහුණුවක් ලබලයි ඉන්නේ. ඉතින් අප්‍රිකානු වන සතුන් ගැනත් අවශ්‍ය නම් කියන්නම්. නැගෙනහිර අප්‍රිකාවේ දී අප කණ්ඩායමට ලැබුණු උපදෙස් පරිදි අලි හිපපොටේමස් වෙඩි තැබුවා. යාල උද්‍යානය ගැන විස්තරයෙන් මගේ කතා ආරම්භ කරන්නම්. ඒ අතරේ ප්‍රශ්නයක් ඇත්නම් මගෙන් අහන්න. මුලින්ම මගේ ගැන කෙටියෙන් කියන්නම්.   


යාල නම හැදුන හැටි

 
පුරාණයේ වී අමුණු විස්සක් වැපිරුණු බිම් ප්‍රමාණය හැඳින්වූයේ යාල හැටියටයි. ලාබ හෙවත් කුරුණිය ද (සේරු 04) යාල යනුවෙන් හඳුන්වා තිබෙනවා.... 

 
භූගෝලිය වශයෙන් යාල උද්‍යානය ලංකාවේ අක්ෂාංශ 6° - 16 - 6° - 42 උතුර සහ දේශාංෂ 81° - 5 - 81° - 42 නැගෙනහිර සීමාවෙන් අතර පිහිටා තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිනිකොන දිග වෙරළ සීමාවට යාබදව වපසරිය හෙක්ටයාර් 12678 (එනම් වර්ග සැතපුම් 489.5) භූමියකයි. යාල උද්‍යානය පැතිර පවතින්නේ. මා පවසන විට ඔවුන් දෙදෙනාගේ දෙනෙත් යොමු වූයේ මගේ මේසය පසෙකින් බිත්තියේ එල්ලා තිබු උද්‍යාන සිතියම වෙතය. ඔය සිතියම ළඟට ගිහින් බලන්න. උද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 126785 ක් කොළඹ සිට දුර දළ වශයෙන් කිලෝ මීටර් 270 ක් උද්‍යානය කොටස් (Blocks) පහතින් සමන්විත වෙනවා.   

 


යාල වන බිමේ ඉතිහාසය


ඉතිහාසය කියනවා නම්... යාල වන බිම රුහුණේ ක්‍රිස්තු පුර්ව තුන සහ  අටවන සියවස දක්වා කාලය තුළ පුරාණ ගොවි ශිෂ්ටාචාරයක් පැවති ප්‍රදේශයක්. එකල වැසියන්ගේ ආගම බුද්ධාගම වු අතර මිනිස් වාස පිහිටියා වූ විශාල ගල් පර්වතවල කටාරම් සහිත ගල් ගුහා බෞද්ධ ප්‍රාසාද මන්දිර, සංඝයා වහන්සේලා වෙනුවෙන් ආශ්‍රම ඉදි කිරීම එම වකවානුවේ ආරම්භ වුණා. වර්තමාන යාල වන බිම පුරා දකින්නට ලැබෙන ගල් ගුහා කටාරම් ඊට පහළින් කොටා ඇති බ්‍රහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව 1 සහ 2 සියවසට අයත් ඒවා බව සැළකෙන අතර පුරාණ වෙහෙර විහාර පුරාණ වැව් අමුණු මෙහි පැවැති ගොවි ශිෂ්ඨාචාරයේ සාධක වෙයි. (උදාහරණ - අතුරුම්තුරුවැව, මණ්ඩාගල වැව කණබිසම ගල්හේ, ආකාශ චෛත්‍ය, මොදරගල ගල් ගුහා)   
ශිෂ්ඨාචාරය බිඳ වැටීම.   


ක්‍රිස්තු පූර්ව 2 - 3 සියවස තුළ ලංකාවේ ගිනි කොණ දිග විසු එකිනෙකාට නුරුස්නා මහා නාග සහ ක්ෂක්‍රීය රාජවංශ දෙක තම බල ප්‍රදේශයෙන් ගැන තන්හාවෙන් හා උමතුවෙන් එකිනෙකා මරා ගන්නා ද්වන්ධ යුද්ධයකට පෙළඹුණා. එම යුද්ධයේ දී මහා නාගවරුන් විසින් ක්ෂත්‍රීය ගෝත්‍රිකයන් සමුල ඝාතනය කළ බවයි, ඉතිහාසය කියන්නේ. එම කුරිරු යුද්ධයෙන් පසු නොකඩා පැවැති දීර්ඝ නියඟය, දුර්භික්ෂය, වසංගත රෝග පැතිරි යාම, දකුණු ඉන්දියාවේ සිට කඩා වැදුණු චෝල දමිලයන්ගේ ආක්‍රමණය හේතුවෙන් බවට පත් වුණා. එතැන් සිට ඉපැරණි යාල ප්‍රදේශය රූස්ස වනාන්තරයෙන් වැසි ගොහින් රුදුරු වන සතුන් අලි කොටි වලස්සු, විෂ ඝෝර සර්පයින් අරක් ගත්තා. රට විදේශ ආක්‍රමණ වලට යටත් වුණා.   


යාල වන බිමේ ආරම්භය

 

වර්ෂ 1984 අගෝස්තු 14 දින කොළඹ බ්‍රිස්ටල් හෝටලයේ දී රැස් වූ ධනවත් ලාංකිකයන් පිරිසක් ලංකාවේ සිදුවෙමින් පවතින වන සතුන් දඩයම පාලනය කිරීමේ අරමුණින් ලංකා දඩයම් ආරක්ෂක සංගමය (CEYLON Game Protection Society) නමින් ආයතනයක් පිහිටුවා ගෙන, ඉන් නොනැවතී ර​ටේ ආණ්ඩුකාරවරයාගේ ආශිර්වාදයෙන් වත්මන් යාල I කොටස යාල නේවාසික දඩයම් රක්ෂිතය (Yala Resident Sportsman's Reserve - 1894) හැටියට පිහිටුවා ගන්නා ලදහ. (CEYLON Observer May 23 rd 1894) ඊට ඇතුල් වී දඩයම් කිරීමට වරම් ලැබුණේ තම සංගීතයේ සාමාජිකයන් හට පමණකි. රක්ෂිත අවට ගම්මානවල ගැමියන්ට එය තහනම් කලාපයක් විය. ගැමියන් එය හැඳින්වූයේ යාල තහනම් කැලේට යන්න එපා, යනුවෙනි. ඒ වන විට ලංකාව පැවතියේ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් හැටියටය. රටේ පැවතියේ ඉංග්‍රීසි ආණ්ඩුවයි.   


වනාන්තර කලාප   


උද්‍යානය තුළ හඳුනාගෙන තිබෙන ශාකා විශේෂ 280 ක් වේ. ආයුර්වේද ප්‍රතිකාරවලට භාවිත කරන බෙහෙත් පැලෑටි බොහොමයි. රාජ්‍ය ආයුර්වේද සංස්ථාවේ වසර ගණනාවකට ඉහත දී සභාපති හැටියට සේවය කළ මගේ මිතුරකු මට පැවසුවේ විල්සන් මහත්මයා යාල වනාන්තරය බෙහෙත් ගස් වත්තක් බවයි. ඔහුට බෙහෙත් තෙලක් (කැඩුම් බිඳුම්) හිඳීමට පලු ගස් වල (Mani / lkara Hexandra) පොතු අවශ්‍ය බව පැවසුයෙන්, උද්‍යානයට පිටත ගස් වලින් අවශ්‍ය තරම් ලබා දුන් බව මගේ මතකයේ රැඳී තිබෙනවා.   

 


වනාන්තර කලාප පහත සඳහන් කරනවා   


උස් වනාන්තර වැස්ම පලු, වීර, බුරුත, සියඹලා මිල්ල කෝන් ගොඩ කිරල, කලුවර කලු මැඳිරිය මාදං උසැති ගස් සෙවණේ අලි තිත් මුවන්, ඌරන් ද, ගස් මුුදුන්වල වඳුරන් රිළවුන් දැකිය හැකිය. 

 
කටු පඳුරු (Scrub Forest) උද්‍යානයට වැඩි ප්‍රදේශයක් වසා පැතිර ඇත්තේ කටු පඳුරු වනාන්තරයයි. මලිත්තන් (Salvadorian) අන්දර කතුරු මාන්, කුකුල් කටු, ලුණුවැරණිය, ලෝලු, කුතුරුමාන්, රණවාරා පානක්කා ගස් වලින් සමන්විත මෙම කලාපය තුළ දී අලි මුවන් ගෝනුන් කුළු හරකුන් ඌරන් දැකිය හැක්කේ එම ශාක සතුන්ගේ ප්‍රියතම ආහාර නිසාවෙනි.   


තණ බිමි   


මෙම කලාපය විවිධ තෘණ පිලා, කුකුල් කටු ශාක වලින් සමන්විතය. මෙම බිමේදී තිත් මුවන්, අලි, ගෝන්නු, මීමින්නන්, හාවුන් සහ කිරලුන් සහ විවිධ සංක්‍රමණික පක්ෂීන් දැකිය හැකි වෙයි.   

 


ගංගාධාර වනාන්තරය   


උද්‍යානයේ ප්‍රධාන ගංගාව නමුණුකුල කන්දෙන් (උස අඩි 6670) ආරම්භ වන මැණික් ගඟයි. මැණික් ගංඟාව කතරගම දී කඳු සුරිඳුගේ (කතරගම දෙවියන්) නෙත් සිත් පිනවමින් නාරි ලතාවක් ලෙසින් ගලා ගොසින් යාල උද්‍යානයට ඇතුළු වී ඉන්දියන් සාගරයට (Indian Ocean) එක්වෙයි. එම ස්ථානය හඳුන්වන්නේ පිළින්නාව හැටියටය. එය කඳිම කූඩාරම් බිමකි.   

 


වැලිකඳු හා වෙරළ ආශ්‍රිත ශාක   


ශාක විශේෂ 112 ක් මෙම කලාපයේ හඳුනාගෙන තිබේ. නිරන්තරයෙන් හමනා සුළඟ හේතුවන බොහෝ ගස් බිම් මට්ටෙම් පැතිරි පවතී. මුහුද බිං කුඹුරු මහා රාවණා රැවුල වරා මලිත්තන් ශාක ඒ අතර වෙයි.   
වනෝද්‍යයේ විසුම් බිම කරගෙන වෙසෙන ක්ෂිර පායි සත්ව විශේෂ 32 කි. උරග විශේෂ 21 කි. එයට කිඹුල් විශේෂ 2 ක් ඉබ්බන් විශේෂ 03 ක් හූන්න විශේෂ 3 ක් හිකනල්ලු විශේෂ 05 ක් අයත් වෙයි. පක්ෂී විශේෂ 142 කි. ඉන් විශේෂ 5 ක් ඒක දේශීය (Endemic) වෙයි. ලොව උතුරු දෙසට ශීත ඝෘතුව (Winter) එළඹීමත් සමග අවුරුද්දේ ඔක්තෝම්බර් නොවැම්බර් මාස වලදී අප රට කරා සංක්‍රමණය වන පක්ෂි විශේෂ ලංකාව තුළ බීජු (Eggs) ලෑමක් සිදු කරන්නේ නැත. එය සිදු වන්නේ උන්ගේ නිජ බිම් කරා පියඹා ගිය පසුවය. එනම් අප්‍රියෙල් මැයි මාස වලදීය.   


ස්වභාවය ධර්මයේ චමත්කාරය   


වනෝද්‍යානයේ භාරකරු හැටියට මා සේවය කළ වකවානුවේ දින දහකට (10) වරක් ජ්‍යෙෂ්‍ඨ නිලධාරින් කිහිප දෙනෙකු සමග සමග මම අවම රාත්‍රී දෙකක් වත් පිළින්නාව මුහුදු වෙරළේ මැණික් ගඟ, මෝයට නුදුරින් දිවා රාත්‍රී ගත කළ බව මතකයේ රැඳී තිබේ. ඒ අරමුණු දෙකක් සඳහාය. එම වකවානුවේ තංගල්ල කුඩා වැල්ල ආදී ප්‍රදේශවල වෙසෙන ධීවරයන් ඔවුන්ගේ මෝටර් බෝට්ටු වලින් පිළින්නාවට සහ ඊට ඉහළින් පිහිටා ඇති පොත්තනට පැමිණ කළපුවේ දැල් ගසා ඉස්සන් ඇල්ලීම මුවන් ගෝනුන් මරා ගෙන යාම වළක්වාලීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාය.   


කාර්ය මණ්ඩලයේ ස්ථාන ගත කොට නැති එම ප්‍රදේශයේ තොරතුරු සොයා බැලීම ද මගේ රාජකාරි වගකීමක්ව පැවතිනි. හොඳින් සඳ පායා ඇති රාත්‍රියේ පිළින්නාව සහ පොත්තන ගත කරන ඕනෑම අයකුට ස්වභාව ධර්මයේ චමත්කාරය මැනවින් වැටහෙනු ඇත.   


මම දීර්ඝ විස්තරය කියා ගෙන යන විට වෛද්‍ය යුවළට මම කතා කළෙමි. කෝ ඔය දෙන්නා මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහැවේවේ නැහැනේ. කීවෙමි. ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඔබ තුමාගේ කතාව අවසානයේ අපි ඒවා දිග අරින්නම්. කියමින් වෛද්‍යවරිය මඳ සිනහවක් පෑවාය.   


හරි දැන් මම කොටි ගැන කියන්නම් 

 


ලංකාවේ ජාතික උද්‍යානවල පමණක් නොවෙයි. පරිබාහිර කඳුකර වනාන්තර වලත් කොටි වාසය කරනවා. විශේෂයෙන් ශ්‍රී පාදය මස් කෙළිය, නුවරඑළිය වනාන්තර වල මීට වසර ගණනාවකට පෙර මම වන ජීවියේ මධ්‍යම ප්‍රදේශය (Central Region) භාර සහකාර අධ්‍යක්ෂවරයා හැටියට සේවය කරන සමයේ දී කොටියෙක් යකඩ කේබල් (මන්දකට - Trap) උගුලට හසු වී සිටින බව තේවතු අධිකාරිවරියෙකු වන මගේ මිත්‍ර ජුඩ් පෙරේරාගෙන් පණිවුඩයක් ලැබිණි. මගේ සේවකයන් සමග ක්ෂණිකව එහි ගියත් අපි එහි යාමට පෙර අවාසනාවන්ත සතා මිය ගොස් සිටියේය. කේබල් කම්බිය බෙල්ල වටා තද වීමෙන් හුස්ම හිර වී තිබුණි. කොටි මලකුණ මගේ නිල ජීප් රථයේ දමා ගෙන කාර්යාලයට වුත් සේවකයන් ලවා හම ඉවත් කරවා කල් තබා ගැනීමේ රසායන බෙහෙත් ආලේප කොට මට්ටක්කුලිය රාජ්‍ය හම් පදම් කිරීමේ ආයතනය මගින් පදම් කරවූ බව පැවසීය. ඔය අල්ලපු කාමරයට ගිහින් බලන්න. බිත්තියේ එල්ලා තිබෙන්නේ ඒ කොටි හමයි. නුවරඑළිය ආදී කඳුකර ප්‍රදේශවල වල් ඌරන් රංචු වශයෙන් වෙසෙනවා. ද්‍රවිඩ කම්කරුවන්ට තුවක්කු පතොරම් නැහැ. ඒ අය ඌරන් මරා ගැනීමට තැබු උගුලකටයි ඒ කොටියා හසු වෙලා තිබුණේ. කොටි දෙනගේ ගැම්බර කාල දින 92 පමණ වෙනවා. ආයු කාලය වනාන්තර වල අවුරුදු 5 සිට 8 දක්වායි. සත්වොද්්‍යානවල නම් අවුරුදු 20 ක් විතර ජීවත් වෙනවා.   


වනාන්තර වල කොටියාට බියක් නොදක්වන සත්ව විශේෂ දෙක තමයි අලියා සහ කුළු මී හරකා. අනිත් කිව යුතු කාරණේ තමයි කුළු මී හරක් රංචුවකට හෝ වල් ඌරු රංචුවකට බැරි වෙලාවත් කොටියෙක් මැදිවුණොත් බේරිලා යන්නේ කලාතුරකින්. කොටියා වට කරගෙන මිය යන තුරුම පහර දෙනවා. මම යාල උද්‍යාන බාරකරුව සිටි සමයේ දී නිතරම දුටු දෙයක් නම් ජීප් රථයෙන් රාත්‍රී උද්‍යානය තුළ සංචාරයේ යෙදුණ දිනවල ජීප් රථය (විදුලි ආලෝකය ඇත) ධාවනය වන දිශාවට මාර්ගය දිගේ සෙමින් ගමන් කරනා කොටි ඉදිරියට වල් උෟරු රංචු හෝ කුළු හරක් රංචු ඇවිද එන බව දුටු වහාම කොටියා වහා නතර වී පාද හතරින් ශරීරය උස්සා, හොඳ හැටි බලා ප්‍රමාදයකින් තොරව පාරෙන් ඉවත පැන පළා යන බවයි. උන් වනාන්තරයේ දවස ගෙවන්නේ එකිනෙකාට වෛරයෙන්ය. වල් උෟරු රංචුව පාර දිගේ ඇවිද යන විට පැටවුන් යන්නේ පිටුපසිනි. සට කපට කොටියා සැඟව සිටි හෙමින් සීරුවේ පිටුපසින් ගොස්, ඌරු පැටවකු කටින් ඩැහැගෙන අසලම තිබෙන ගසක් මුදුනට නගී. ඌරු රංචුව කෑ ගසමින් ගස මුල විනාඩි පහක් 05 පමණ ගත කොට ඉවතට යයි. උන් ඉවත් වු පසු ගස මුලට බසින කොටියා ඌරු පැටවා ගිල දමන්නේය. මිනිස් වාස ආශ්‍රිතව වෙසෙන කොටියන් රාත්‍රී කාලයේ වනයෙන් එළියට ඇවිද නිවස්වල සිටින බල්ලන්, එළුවන්, හරක් පැටවුන් වනාන්තරයට ඩැහැගෙන යන අවස්ථා තිබේ. ඉඟිනියාගල ගල්ඔය උද්‍යාන භාරකරුව සිට සමයේ (1982) මගේ ජීප් රථයෙන් අම්පාර නගරය බලා යන්නට පිටත් වුණෙමි. මීටර් 70 ක් පමණ ධාවනය වූ තැන දුටුවේ මගේ අසල් වැසි මිත්‍රයා ගුණපාල තම සුරතල් සුනඛයා දම් වැලකින් බැඳ ගෙන මළ පහකර වීමට අසල වන රොදට ගෙන ගිය හැටිය. විනාඩි තුනක් පමණ ගත වුවා පමණි. ගුණපාල බියෙන් වෙව්ලමින් පාර මැදට පැමිණීයේය. ඔහු​ගේ දකුණු අතේ දම් වැල පමණකි. සුනඛයා නැත. මම ජීප් රථය නතර කොට බිමට බැස ගුණපාල මොකද වුණේ. අනේ විල්සන් මහත්මයා බලන්න. අර පඳුර අස්සේ හැංගිලා හිටිය කොටියෙක් මගේ බල්ලා ඩැහැ ගත්තානේ. හොඳ ජාතියේ බල්ලෙක්. බල්ලා නොවෙයි. ඔයා තුවාල නොවී බේරුණා ඇති. මට කියමිනි. 

 
 මට සිනහව නතර කරගත නොහැකි විය. දැන් ඉතින් මොනවා කරන්නද? වල්බලු පැටියෙක්වත් හදා ගන්න. සතියක් තුළ මම සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ තුමාට දුරකථනයෙන් කතාකොට උගුල් කූඩුවක් ගෙන්වා කොටියා අල්ලා ඉවත් කරමි. උගුල් කුඩුවේ ඇම හැටියට යෙදුවේ ද සුනඛයෙකි. කොටියන් බලු මස්වලට දක්වන්නේ ගිජු කමකි. වසර කිහිපකට පෙර යාල උද්‍යාන මූලස්ථාන කාර්යාලය පලටුපාන අවට දඩාවතේ වන බල්ලන් පණහක් (50) පමණ විසුහ. හිරු අවරට ගිය පසු උන් කාර්යාලට ඉදිරිපිට තණ පිට්ටනියට අවතීර්ණ වූ තිත් මුවන් පසුපස හබා යන්නට වුයෙන් පණ බේරා ගැනීමට උන් කාර්යාලයට නුදුරු පලටුපාන වැවට පනිනවාත් සමගම වැටේ විසු කිඹුලන් (ccodiles) ඊතල මෙන් පිහිනා පැමිණ විනාඩි දහයක කාලය තුළ පොර කමින් මුවන් සියල්ල ගිල දැමුහ. මෙය සිදු වීමත් සමගම මගේ සේවකයන් ලවා බල්ලන් සියල්ල වෙඩි තබා සිරුරු උද්‍යානයේ ප්‍රධාන මාර්ගයේ වම් පසින් පිහිටා තිබෙන වේපන්දෙනිය ගල පාමුලට ට්‍රැක්ටර් රථයකින් ගෙන ගොස් දැමුවෙමි. නොබෝ දිනකින් අවට විසු කොටියන් සියල්ල වේපන්දෙනිය ගල දෙසට අවුත් බලු මස් රස බැලීය. බලු මස් වලින් බඩපුරවා ගත් කොටි විවේක ගැනීමට එම ගල උඩට නැග ගත්හ. දින කිහිපයකින් ‘වේපන්දෙනිය ගල’ කොටි ඡායාරූප (Photoraphy) ගැනීමට කදිම ස්ථානයක් විය. එතැන් සිට එය ‘කොටිගල’ නමින් ප්‍රසිද්ධ විය. කොටියන් මහ මිනිසුන් කුඩා දරුවන් ඩැහැගෙන කැලයට ඇදගෙන ගිය අවස්ථා ද තිබේ. නැගෙනහිර පළාතේ මඩකලපුව පුනානි මහා මාර්ගයේ විසු මිනීමරු කොටියාගේ කතාව ඇඟ හිරිවට්ටන එකකි. රූස්ස ගස්වලට මුවාවී මහමග යන මිනිසුන් වෙත කඩාපැන මරා මිනීමස් රස බැලීමට ඌ පුරුදුවිය. මිනිසුන් දොළොස් දෙනෙක් මෙලෙස කා දැමීය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවයා (1924) දැන්වීමත් ප්‍රසිද්ධ කරමින් කොටියා විනාශකර කර දමන අයට රුපියල් 100/- ත්‍යාග මුදල් ලබා දෙන බව දැන්වීය. Captain shelton aear (නැසී ගොසිනි) කැප්ටන් ෂෙල්ටන් අගාර් හට ත්‍යාග මුදල වැදගත් නොවීය. ඔහු දින ගණනාවක් රැක සිට රයිපලයෙන් ඉලක්කයට වෙඩි තබා මිනීමරු කොටියා මරා දැමීය. එය සිදුවූයේ 1924 ජුලි මස 19 වන දිනයි. පදම් කරන ලද කොටියාගේ මළ සිරුර කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. කොටියකු විනාශ කිරීමට තබන වෙඩිල්ලෙන් ඌ මිය නොගොස් තුවාල සිදුවූයේ නම් ඌ නියත වශයෙන්ම තුවක්කුකරුගේ ඇඟට පැන සපා කා මරා දමනවා පමණක් නොව සිරුරද ගිල දමනු ලබයි. පිරිම කොටියා තවත් පිරිමි සතකු ගේ වැයික්කියට ඇතුලුවනවාට කැමති නැත. ඒ නිසාම ඌ කල් තියාම අමුතු ශබ්දයක් උගුරෙන් සහ මුවින් පිට කරයි. එය කන වැටෙන පිරිමි සතුන් ප්‍රදේශය මගහැර යති. හඬ නොතකා වැයික්කියට ඇතුලු වන කොටියා (බලවත් ප්‍රවිශ්ඨයා) සමග නේවාසික කොටියා සටනකට පිවිසෙන අතර ‘දිනුම් කරු’ වැක්කිය භාරගනී. පරාජිතයා පසුබැස පලා යන්නේය.  


 කොටියා අප්‍රිකාවේ චීටා මෙන් තම ගොදුර පසුපස හඹා නොයන අතර ගස් වලට මුවා වෙමින් හැකිතාක් දුරට නොපෙනී ළඟාවී එක්වරම කඩාපැන ඉදිරීපස පාද නියවලින් මුවාගේ කොන්දර පහර දී බිම වැටුණු පසු උගුරු දණ්ඩ සපාකමින් මිය යන තුරුම එසේ සිටී. එතැන සිට මුවාගේ බඩ පෙදෙසින් ආහාර බුදීම ආරම්භ කරයි. ඉතිරිවන කොටස හිවලුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට කටින් ඩැහැගෙන ගසක් උඩට නැග ගස් දෙබලක රදවා තබා පසුව ගිල දමයි.  


 යාල වනෝද්‍යානයේ iii කොටස (හෙක්ටයාර් 40775) එකල හැඳින්වූයේ යාල අන්තර් කලාපය (Intermediate zone shooting Block) හැටියටය. වතුකරයේ තේවතු පාලකයන් සහ කොළඹ විසු ප්‍රභූ පැලැන්තියේ අය බලපත්‍ර ලබාගෙන මැණික්ගඟ ඉවුරේ කුඩාරම් ඉදිකරගෙන කොටි වලසුන් තිත්මුවන් ගෝනුන් වෙඩි තැබුවා පමණක් නොව මස් තම නිවෙස් කරා රැගෙන ගියහ. එය සිදු වූයේ 1967 ට පෙර වර්ෂවලදීය. පැරණි ලේඛනවල සඳහන්වන්නේ දළ ඇතුන් පවා වෙඩි තැබු බවයි.   


​කෙසේ වෙතත් යාල අන්තර් කලාපය නීත්‍යානුකූලව 1967 වසරේ යාල iii කලාපය හැටියට ප්‍රකාශයට පත්වීමත් සමග දඩයම තහනම් විය.   


කොටින්ගේ ගහනය පහත වැටීමට හේතුවී ඇත්තේ වනාන්තර නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූලව නොවන අන්දමින් හෙළි පෙහෙළිවීමයි. ප්‍රධාන ජාතික උද්‍යාන තුළට ඇතුලු වන හොර දඩයක්කරුවන් කොටියන් වෙඩි තබන අවස්ථා තිබේ. යාල උද්‍යානයේ භාරකරු හැටියට සේවය කළ සමයේ රාත්‍රී දෙගොඩ යාමයේ (එනම් අලුයම 2.00 ට පමණ) පැරණි M.W වෑන් (Military Van) රථයක් යාල බැඹව ගේට්ටුවෙන් ඇතුල් වී සිතුල්පව්ව රාජමහාරය දෙසට ධාවනය කළ බවට සේවකයන් මට දැන්වූයෙන් එවෙලේම දර කොටන් ගොඩ ගසා මාර්ගය අවුරා තැබුවෙමි. එය ඉදිරියෙන් තැබුවේ විශාල භූමි තෙල් මුහුදු ලාම්පුවකි. පැය 2 1/2 ට පසුව ආපසු පැමිණි රථය පරීක්ෂා කිරීමේ දී දුටුවේ වෑන් රථය තුළ මියගිය කොටියකු හා තිත් මුව සිරුරු 03 ක් තිබූ බවයි. ඔවුන් සියලුදෙන අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් නියම වූ දඩය රුපියල් 450/- කි (1991 වසර) අධිකරණයට නියම කළ හැකි වූ උපරිම දඩය ද එයයි. පසු කාලීනව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය වූ අතර දඩය රුපියල් 5000/- ක් බවට පත්විය. මියගිය කොටියකුගේ ශරීරයේ කිනම් හෝ කොටසක් ළඟ තබා ගැනීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි. කෙසේ වෙතත් නගර බද තරුණයන් මියගිය කොටියන්ගේ කෘන්තක දත් යුගලය රත්‍රං කොපුවක බහා අඩක් දර්ශනය වන පරිදි සවිකොට කරේ එල්ලාගෙන සිටිනවා මා දැක තිබේ. එය නීතිය නොදැන සිදුකරන ක්‍රියාවක් හැටියට මම උපකල්පනය කරමි.   


කොටියන්ගේ ව්‍යාප්තිය අප්‍රිකාව හා ආසියානු රටවල් ඉන්දියාව (හිමාලය) බෙංගාලය, කාශ්මීරය, බුරුමය, .......... සහ මලයාසියාව වෙයි. 

 
මෙම දීර්ඝ විස්තරයෙන් පසු මම වෛද්‍ය යුවළ ඇමතුවෙමි. දැන් ඉතින් කියන්න මගෙන් නොකියවුණේ මොනව ද? මගේ කතාව අතරේ ඔවුන් ලියාගෙන තිබූ සටහන පත්‍රිකාව දෙසට නෙත් යොමු කරමින් වෛද්‍යවරිය මා ඇමතුවාය. ඇය තීක්ෂණ කාන්තාවකි. අපි දෙන්නා ලියාගත් කරුණු කියවන්නම්. එක ඔයාට වගේම අපිටත් පහසුයි. කියමින් ඔවුන් රැගෙන විත් තිබූ දොඩම් යුෂ විශාල වීදුරුවක් මට පිළිගැන්වීය. ස්තූතියි කියමින් මම එය අතට ගති.   


විල්සන් මහත්මයා ඔයාගේ කතාවෙ දී කියවුණේ නැහැ යාල උද්‍යානයේ ඒ වගේම ලංකාවේ සමස්ත කොටි ගහනය කීය ද? කියලා. හරි හරි මම හිටියේ ඔය දෙදෙනා ඔය ප්‍රශ්නය අහනකම්. මෙහෙමයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිල වශයෙන් ලංකාවේ කොටි සංගණයක් සිදුකරලා නැහැ. 1990 දී අලි සංගණනයක් සිදු කළා. එයින් හෙළිවුණේ සමස්ත අලි ගහණය 5880 ක් (2011 වසර) බවයි. කොටියන් ඒ අන්දමින් ගණන් බැලුවේ නැහැ. සමස්ත යාල සංකීර්ණයේ කොටියන් 120 ක් ද ලංකාවේ වනාන්තර වල කොටියන් 1000 කට අඩු සංඛ්‍යාවක් සිටින බව මම විශ්වාස කරනවා. තවදුරටත් වෛද්‍යවරිය මා අමතමින් යාල උද්‍යාන සිතියමේ පෙන්වනවා. මායිමට පිටතින් වටේම ගම්මාන පිහිටා තිබෙන බව. ඒවායේ පදිංචි අය උද්‍යානයේ ගස් කපන්න සතුන් දඩයම් කරන් එනවා ද? එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ. මම ප්‍රතිචාර දක්වමින් ඔබතුමියගේ ඒ ප්‍රශ්නයට මම බොහොම කැමතියි. එහෙනම් අහගන්න. අපි විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මායිම වටේටම දෙපාර්තමේන්තුව සේවකයන් ස්ථාන ගත කරලා තිබෙනවා. 250 ක් විතර ඔවුන්ට නිවාස ප්‍රවාහනයට ජීප් රථ ආරක්ෂාවට පිස්තෝල තුවක්කු රයිපල ලබා දී තිබෙනවා. පුහුණුව ලබා දී තිබෙනවා. ඔවුන් දිවා රාත්‍රී සංචාරය කරමින් දඩයම මැඩ පවත්වනවා. දඩයක්කරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනවා. මගේ නිලධාරීන්ට සේවකයන් හට වෙඩි තැබීමට උන් තුවක්කු එල්ල කරන විටම දඩයක්කරුවන්ට වෙඩි තබා බිම හෙලීමටයි මම උපදෙස් දී තිබෙන්නේ. ලංකා දණ්ඩ නීති සංග්‍රහය (නීතිය) අනුව ආත්මාරක්ෂාවේ අයිතිය ක්‍රියාවේ යෙදවීමේ දී දඩයක්කරුගේ මරණය සිදුකිරීම දක්වා ක්‍රියා කළ හැකියි. කියමින් මගේ කතාව අවසන් කළෙමි.   
වෛද්‍ය යුවළ සුසුමක් හෙලූහ. ඔවුන් දෙදෙන මා අමතමින් ඔබතුමා හොඳින් දැනුවත් වූ නිලධාරියෙක්. මේ ලියා තියෙන්නේ අපේ නිවසේ ලිපිනය සහ අපි දෙදෙනගේ නම් සහ දුරකතන අංක. ඔයාගේ නෝනා දරුවන් සමග මහනුවර අපේ නිවසට ඇවිත් දින දෙක තුනක් නතර වී යන්න එන්නම ඕනෑ. ඔයාට බොහොමත්ම ස්තූතියි. අපි ලබන වතාවේ යාල බංගලාවක පදිංචියට දින දෙකකට එනවා, කියමින් සමුගැනීමට සැරසුනි. ස්තූතියි. අඩු ගණනේ රාත්‍රී දෙකක්වත් ඉන්න එන්න මගේ ඉල්ලීම විය.   

 


නිමි.