මෙච්චර අපූරුවට තිබිච්ච පවුලට මොන හෙණයක් ගැහැව්ව ද කියලා මට හිතාගන්න බෑ බං


ජීවිතය හරහා හමාගිය මහා කුණාටුව දිනේෂිට බර වැඩි වූයේය. මෙතෙක් ස්ථාවරව හා සාමකාමීව පැවති සියල්ල කැඩීබිඳී විනාශ වීමේ වේදනාව ආයාසයෙන් දරා ගත්තත් ඇයට උහුලා ගන්නටම නොහැකි වූයේ ලොකු මල්ලී විසින් එල්ල කරනු ලැබූ චෝදනාවය. 

“ඔය සකුණයා එක්ක රෑ තිස්සෙ දොඩවන්න ගිහින් හදා ගන්නවා කතාන්දරයක්..”   


ලොකු මල්ලී තරවටු හඬින් කියන ලද එවදන් සිහිපත් වෙන වාරයක් පාසා දිනේෂි වෙව්ලා ගියාය. සකුණ කිසි විටෙකත් තමා හමුවෙන්නට පහන් පැල ළඟට නොපැමිණි බැව් දිවුරා කීවත් ලොකු මල්ලී එය පිළිගත්තේ නැත. අම්මා පිළිබඳ රහස කිසිවෙකුට පවසන්නට ඇයට පුළුවන්කමක් නොවිණි. ලොකු මල්ලී සිටියේ බලවත් සැකයෙන් නිසා කීවත් ඔහු එපුවත විශ්වාස නොකරන්නටත් ඉඩ තිබිණි.   


“බලාගෙන ඉන්නවා තමුසෙට වෙන්නෙ මොකක්ද කියලා..” ඔහු එසේ කීවේ ද ඇයට සාප කරන්නාක් බඳුවය.   
සැබැවින්ම අර ආදරණීය ලොකු මල්ලී එතරම් වෛරී සිතුවිලි සහිත පුද්ගලයෙකු බවට පත් වූයේ කෙසේදැයි ඇයට සිතාගන්නට නොහැකි වූයේය. ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට කෙනෙකු සිටියේ නම් ඒ සකුණ පමණකි. එහෙත් නිත්‍යාගේ තරවටුවත්, ලොකු මල්ලීගේ පදනම් විරහිත චෝදනාවත් නිසා ඇය සිටියේ නැවත සකුණ සමඟ කතා කරන්නේදැයි නැද්දැයි දෙගිඩියාවෙනි. අම්මා සමඟ කතා කරන්නට යාමත් දින කිහිපයකට නැවැත්විය යුතු යයි ඇයට සිතිණි. එහෙත් ඇගේ සිත එහෙම පිටින්ම කඩාවැටී තිබිණි. පාසල් යාමටත් නොහැකි තරමේ උදාසීනත්වයක් ඇය වෙළා ගත්තේය. එහෙත් තමා නොගියහොත් නංගී හා පොඩි මල්ලීත් යන්නට අදිමදි කරන බැවින් ඇය අකැමැත්තෙන් වුව ද සූදානම් වූවාය. ඇයට පිටස්තරයන් මෙන් හැසිරෙන ලොකු මල්ලී මෙන්ම තාත්තා කෙරෙහිත් මහා කළකිරීමක් ඇතිවෙමින් තිබිණි.   


“මම මේ උඹලගෙ තාත්තා වැඩට යන්න ඉස්සර හම්බ වෙන්න ඕනැ හින්දා ආවෙ..”   


කිරි බෝතලයක් ද, ලැවරිය කිහිපයක් ද රැගෙන ආච්චි පාන්දරින්ම ආවේ ඔවුන් පාසල් යාමට සූදානම් වෙමින් සිටියදීය. සසංක හනිහනිකට ලැවරිය දෙකක් ගිල දමා, උණු කරනු ලැබ තිබූ කිරි බෝතලයෙන් ද අඩක් පමණ පානය කර ගෙදරින් පිට වී ගියේ ආච්චි සමඟවත් වචනයක් දොඩන්නේ නැතිවය.   
“මොකද බං අරූට වෙලා තියෙන්නෙ..?”   


පුදුමයෙන් එදෙස බලා සිටි ආච්චි විමසුවාය.   
“අනේ දන්නෙ නෑ ආච්චියෙ.. එයාට කිසිම කෙනෙක් පේන්න බෑ.. මාත් එක්ක කතා කරන්නෙ ගහ ගන්න වගේ.. තාත්තා එක්කවත් මේ පොඩි උන් දෙන්නා එක්කවත් වචනයක්වත් කතා කරන්නෙ නෑ.. මොනවද කරන්නෙ කියලා මටත් හිතා ගන්න බෑ..”   
දිනේෂි කියාගෙන ගියේ හූල්ලමිනි.   


ආච්චි කම්මුලේ අත තබාගෙන කම්පාවෙන් බලා සිටියාය. අම්මා නැති දුක මඳක් තුනී වෙද්දී ඔහු යථා තත්ත්වයට පත්වෙනවා ඇතැයි ආච්චි මින් පෙර අනාවැකි කියා තිබිණි. එහෙත් ඒවා සැබෑ වූයේ නැත. මේ ගෙවෙන්නේ අම්මාගේ මරණයෙන් පසු එළඹුණ තුන් වෙනි මාසය වුව ද දිනෙන් දිනම සසංකගේ තත්ත්වය හැරුණේ නරක අතටමය. දවසින් වැඩි කොටසක් පන්සලේ සිටියේ වුවත් ඔහුට තවමත් හිත හදා ගන්නට හැකි වී නැති සෙයකි.   
“අනේ මන්දා බං.. ඕකා වැඩි හරියක් ඉන්නෙත් පන්සලේම නේද..?”   
ආච්චි විමසුවේ ඇයටත් දිනේෂිගේ සිතුවිලි දැනුණ නිසා විය යුතුය.   


“පන්සලේ හිටියට වැඩක් නෑ ආච්චි.. නපුරුම නපුරුයි.. කොයි වෙලාවේ අපිට ගහයි ද කියලා බයෙන් මමනම් ඉන්නෙ.. ඇත්තටම එයා ගෙදර එන්නෙ නැතුව පන්සලේම ඉන්නවානම් හොඳයි..”   


අනුෂි කීවේ මුහුණ පුළුටු කරගෙනය.   
“නංගී...”   
සසංක ගෙදරින් පිට වී ගිය බැව් සහතික වුවත් දිනේෂි තරවටු හඬින් කීවේ වටපිට බැලීමෙන් ද අනතුරුවය. ඔහුට එරෙහිව කිසිවෙකු කතා කළ යුතු නැතැයි ඇයට සිතිණි. දැන් කොතෙක් වෙනස් වී සිටියත් ඇයට ලොකු මල්ලීගේ දයාබර ගතිගුණ අමතක කරන්නට නොහැකි වූයේය. අම්මා මිය යන්නට පෙර ඇයට සිටි හොඳම මිතුරා වූයේ ඔහු නොවේ ද..?   
“ඉතින් මං ඇත්තනෙ කිව්වෙ..” අනුෂි කටුකුටු ගෑවාය.   


“ඔයා ගිහින් මල්ලිත් ලෑස්ති කරලා ලෑස්ති වෙන්න.. ආවා මෙතන පණ්ඩිතකම් කියවන්න..” දිනේෂි සැර කළාය.   
අක්කා දෙස ද නොරිස්සුම් සහගත බැල්මක් හෙලූ අනුෂි මිමිණිලි හඬින් යමක් කියමින් එතැනින් නික්ම ගියාය.   
“මෙච්චර අපූරුවට තිබිච්ච පවුලට මොන හෙණයක් ගැහැව්ව ද කියලා මට හිතා ගන්න බෑ බං..”   


ආච්චි සුසුමක් හෙළමින් කියද්දී ඒවා තමාට එල්ල කළ ඇනුම් පදයක් ලෙස දිනේෂිට දැනිණි. ඇගේ දෙනෙතට කඳුළු පිරී ආවේය. ඇය දෙතුන්වරක් ඇසිපිය සලා එකඳුළු ගිලිහී යා නොදී සිර කර ගත්තාය.   


“පන්සලට ගියාම මම ලොකු හාමුදුරුවන්ටත් ඩිංගිත්තක් මතක් කරන්නම්කො කොල්ලගෙ හිත හැදෙන්න මොනවා හරි කියන්න කියලා..”   
ඇය කියද්දීම මුහුණ සෝදන්නට ළිඳ ළඟට ගොස් සිටි කිත්සිරි එතැනට ආවේය. හීන් නෝනා වුවමනාවෙන් පුතු දෙස බැලු‍වාය. අපිළිවෙළට වැවුන රැවුල සහිත විඩාබර මුහුණ, යට ගිලු‍ණ ඇස් දැකීමෙන් ඇගේ සිත ශෝකයෙන් ඇලළිණි. ගැහැනියකගේ වියෝගය විසින් මිනිසෙකුට කරන ලද විනාශයේ තරම පෙන්වන්නට ඔහු හොඳ නිදසුනක් නොවේදැයි ඇයට සිතිණි. ජිනාදරී ජීවත්ව සිටියදී ඔහු තුළ වූ ජීවී බවෙන් අංශුමාත්‍රයක් හෝ මේ ​ෙවන විට ශේෂ වී තිබුණේ නැත. ජීවත් වෙන්නට වුවමනා නිසා ජීවත් වෙන බැව් ඔහුගේ ස්වභාවය මොනවට පිළිඹිඹු කළේය.   


“අම්මා.. උදේම..?”   


අම්මාගේ බැරෑරුම් මුහුණ දෙස බලමින් නොසැලකිලිමත්  බැල්මක්  හෙළමින්  කිත්සිරි විමසුවේය.   


“ඔව්.. මම මේ උඹ යන්න ඉස්සර ජිනාගෙ තුන් මාසෙ දානෙ ගැන කතා කරන්න කියලා ආවෙ...”   


ආච්චි කී විට දිනේෂි ගේ පපුව දැවෙන්නට පටන් ගත්තේය. අම්මා ළඟම ගැවසෙන බැව් සිතා කොතෙක් සිත රවටා ගන්නට උත්සාහ කළත් ඇය කවදාවත් නැවත නොඑන බැව් පසක් ​ෙවන්නේ මෙවන් අවස්ථාවල නොවේදැයි ඇයට සිතිණි. ඇය හෙමිහිට හිස හරවා තාත්තා දෙස බැලු‍වාය. ඔහු උඩ බලාගෙන, තොල සපාගෙන උගුරු දණ්ඩ පිරිමැද ගත්තේය.   


“තුන් මාසෙකුත් වෙලා ද..?” ඔහුට කියැවිණි.   


“මට හිතුණා තුන් මහක් වෙලා කියලත් උඹලට මතක නැතුව ඇති කියලා..” හීන් නෝනා කීවේ ඇනුම් පදයකි.   


කිත්සිරි සුසුමක් හෙළා හෙමිහිට හිස බිමට නවා ගත්තේය. තාත්තා කෙරෙහි මෙතෙක් පැවති සිතේ කළකිරීම මැඩගෙන අනුකම්පාවක් එතැන අරක් ගනු දිනේෂිට දැනිණි.   
“ඇයි බං.. දැන් ඉතින් ඔහොම අඩ නින්දේ ඇවිදිනවා වාගෙ ඉඳලා පුළුවන් ද..? මැරිච්ච එකී ආයෙ එන්නෙ නෑ.. ඒකි වෙනුවෙන් දුක් පවත්තලාම හරියන්නෙ නෑනෙ.. ජීවත් වෙලා ඉන්න උන් වෙනුවෙන් කරන්න දේවල් තියෙනවා කියලා හිතපන්.. බලපන් අර ලොකු කොල්ලා එහෙම පිටින්ම හිතුවක්කාර වෙලා.. මේ කෙල්ලට ගෙදර හැම දහමහ දෝසයක්ම බාර දීලා උඹ අත පිහදාගෙන පැත්තකට වෙලා හිටියම හරියනව ද..? ඒකිත් තවම පොඩි එකීනෙ..”   


ආච්චි කියාගෙන කියාගෙන යද්දී ඒ අනුකම්පාව වඩාත් වැඩි වෙනු ඇයට දැනිණි. සියල්ලන්ම උත්සාහ කරන්නේ කැඩිබිඳී විසිර ගිය සිත් එකලස් කර ගන්නට නොවන්නේදැයි ඇයට සිතිණි.   


“තාත්තට බණින්න එපා ආච්චි..” ඇය බිඳුණ හඬින් පැවසුවාය.   


ලබන සතියට...