මැරුණත් මම ඔයා යන යන තැනට පස්සෙන් එනවා


“ගිහින් නිදා ගන්න.. ආයෙ උදේ වෙනකම් දොර අරින්න එපා.. එළියෙ ලයිට් එකත් නිවලා දාන්න..”
අම්මාගේ යයි ඇය තදින්ම විශ්වාස කරන, එහෙත් වෙන කෙනෙකු නම් පිළිගන්නේ නැති කටහඬ නැවතත් ඇසිණි. නිසල රාත්‍රියේ අඳුර මැදින් ඇසෙන එවන් හඬක් ඕනෑම කෙනකුගේ සිත බියෙන් සසල කරවන්නට සමත් වෙනවා නිසැකය. එහෙත් දිනේෂිට නම් මහා ශක්තියක් මිසක් බියක නාමයක්වත් දැනුණේ නැත. මෙතෙක් ඇය පෙලූ තනිකම කොහේදැයි නොදැන අතුරුදන් වී ගියේය. 

“ආයෙ බොන්න එපා කියලත් මෙයාට කියලා දෙන්න අම්මා..” 


අඳුරට මිමිණූ ඇය බිම වැතිර නොපැහැදිලි යමක් දොඩවමින් සිටි තාත්තා දෙස තවත් එක් වරක් පමණක් බලා ගෙතුළට ගොස් විදුලි පහන් නිවා දමා දොර වසා ගත්තාය. නංගි ළඟින් ඇඳේ වැතිර ගත්තත් නින්ද ඇය සොයා එන්නට ප්‍රමාද වූයේය. 

“නෑ නෑ නෝනෙ.. මම බොන්නෙ නෑ.. ආයෙ බොන්නෙ නෑ..” 
හිටිහැටියේම පිටතින් තාත්තාගේ උස් හඬ ඇසිණි. දිනේෂි වුවමනාවෙන් සවන් දුන්නාය. ඇගේ දෙතොල සිනාවකින් සැරැසිණි. නැවත මත් දියර පානය නොකරන බවට අම්මා විසින් ඔහු ගිවිස්වා ගනු ලබන්නට ඇතැයි ඇයට සිතිණි. 


“ඔයා දන්නවනෙ මම බොරු කියන්නෙ නෑ කියලා..” 
විරාමයකින් පසුව නැවතත් තාත්තාගේ හඬ ඇසිණි. 


“ස්තුතියි අම්මා..” ඇය සැනසුම් සුසුමක් හෙළමින් මුමුණා ගත්තාය. 
ඇය නැවත ඇඳට වැටුණේ තාත්තාට බලපෑමක් කරන්නට ශක්තියක් ඇත්තේ අම්මාගේ ආත්මයට පමණක් නොවේදැයි කල්පනා කරමිනි. ඒ ශක්තිය හැමදාමත් රැකගත යුතුය. 
වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දී කිත්සිරි අවදි වූයේ දැඩි හිස රුදාවක් සහ දිය පිපාසයක් ද සමගිනි. තාර බැඳුණාක් මෙන් දිව ගොරෝසු වී තිබිණි. එකම ඉරියව්වෙන් හාන්සි පුටුවේ වැතිර සිටි නිසා දෙපා ද ගල් වූවාක් බඳු විණි. තමා තවමත් සිටින්නේ පෙරදා උදේ ඇඳගත් ඇඳුමින්ම බැව් පසක් වෙද්දී ඔහුට දැනෙන්නට වූයේ අපුලකි. ඔහු කිසිම දිනෙක අපිරිසිදුවට සිටින්නට පුරුදු වූ පුද්ගලයකු නොවේ. තමාගේ දුගඳ තමාටම දැනෙන්නේ නැතැයි කියන්නේ වී නමුදු ඔහුට දුගඳක් දැනෙන්නට පටන් ගත්තේය. ඔහු කය ඍජු කරගෙන හාන්සි පුටුවේ ඉදිරියට ඇදී අවට පරිසරයේ තුනී වීගෙන එන අඳුර දෙස බලා සිටියේ කලකිරීමකින් හා පසුතැවිල්ලකින් යුතුවය. පෙරදා රැයේ අඳුර අතරින් තමා වෙත රුවක් පා වී ආවේ නොවන්නේ ද..? නොඑසේ නම් මත් බව නිසා හටගත් මනෝ විප්‍රකාරයක්දැයි ඔහුට සිතාගත නොහැකි වූයේය. 
“නැගිටලා ගිහින් හාන්සි පුටුවෙන් නිදා ගන්න..” 


ඔහුගේ සිතට ඇතුළු වූ රළුත් නොවූ, මුදුත් නොවූ ඒ කටහඬ නම් මේ වන තුරුත් සිත තුළ දෝංකාර දෙමින් පැවැතිණි. ඒ හඬ ඔහු තුළ බලවත් පෙරැළියක් ඇති කළ නිසාම තමාට අවනත නොවූ සිරුර අසීරුවෙන් වාරු කරගනිමින් නැගී සිටි ඔහු හාන්සි පුටුවේ දිගෑදුණේය. අර රුව ඈතින් සිට බලා සිටියා මිස ඔහුට සහායක් දෙන්නට ඉදිරිපත් වූයේ නැත. එහෙත් ඔහුට සිහිපත් වූයේ ජිනාදරීමය. 
“ආයෙත් මේ විදිහට බොනවද..?” 


හාන්සි පිටුව අසලට ඇදී ආ ඒ රුව ඔහුගේ කන මිරිකමින් පහත් වුවත් තරවටු හඬින් ඇසීය. 
“නෑ නෑ නෝනෙ.. මම ආයෙ බොන්නෙ නෑ..” 


කියමින් ඔහු කෑ ගැසුවේ ඒ ජිනාදරීම යයි හැඟීමක් සිතට ඇතුළු වූ බැවිනි. 
“මම හොඳ හෝදිසියෙන් ඉන්නෙ.. බීලා තිබ්බොත් බලා ගන්න පුළුවන්.. තමුසෙ ඔය විදිහට බිව්වහම අර අහිංසක දරුවෝ ආරක්ෂා කරගන්නෙ

කවුද මිනිහෝ..? එච්චර විතරක් නෙමෙයි උන්ට මොන තරම් ලැජ්ජාවක් ද සිද්ධ වෙන්නෙ..?” 
ඔහුගේ කන ග්‍රහණය කරගත්වනම කටහඬ නැවත ඇසීය. ජිනාදරී කවදාවත් ඔහු වෙනුවෙන් එවන් රළු වදන් භාවිත කර නොතිබියේ වී නමුත් ඒ ඇය නොවන්නේ යයි ඔහුට සිතුණේම නැත. 
“ඔයා දන්නවනෙ මම බොරු කියන්නෙ නෑ කියලා..” 
ඔහු කන් පෙත්තේ වේදනාව දරාගෙනම පැවැසුවේය. එතැනින් ඇතුළු වූ බලාපොරොත්තුව මුසු සංවේදනාවක් සිය මුළු සිරුරම වසා පැතිර යන්නාක් මෙන් ඔහුට දැනිණි. ඔහු හිස යාන්තමට සෙලවීමෙන් හෝ වැළකී සිටියේ එම හැඟීමෙන් මිදෙන්නට වුවමනා නොවූ නිසාය. 


“ඔහොම ඉන්නවා මේ දෙහි බෑය ගානකම්..” කටහඬ සැර කළේය. 
ඉනික්බිතිව ඔහුගේ හිසේත්, දෙපතුලේත් සීතලට යමක් තැවැරෙනු දැනිණි. ඔහු නිසොල්මනේ සිටියත් බීමත් මිනිසුන්ට කරන සත්කාරයන් පිළිබඳව ජිනාදරී දන්නේ කෙසේදැයි ඔහුගේ සිත ප්‍රශ්න කළේය. ඔහු මත් දියර පානය සදහටම නතර කර දැමුවේ ජිනාදරී සමග විවාහ වූ මුල් කාලයේදීමය. 
“නෝනෙ, ඔයා බීපු මිනිස්සුන්ට මීට ඉස්සර මෙහෙම සත්කාර කරලා තියෙනවා ද..? 
ඔහු සරදම් හඬින් අසද්දී දෙහි බිඳු දෙක තුනක් ඔහුගේ මුවට වැටිණි. එහි ඇඹුල් රසය විසින් මුවගුළු වට්ටවනු ලැබූ නිසා ඔහු නැවත කතා කළේ නැත. ඇසි පිහාටු බර වී ඉබේටම දෑස ද වැසී ගියේය. මේ වන තුරුම ඔහුට එක දිගටම නින්ද ගියේය. 


“මම හීනයක් දැක්ක ද..? ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණා ද..?” 
ඔහු අවුල් හිසකෙස් දෑතින් පිරිමැද ගනිමින් නැවත නැවතත් ප්‍රශ්න කරගත්තේය. ඒ අතින්ම මුහුණ පිරිමැද ගනිද්දී ඔහුට දැනුණේ දෙහි සුවඳකි. මෙතෙක් වේලා නොදැනුණ බියමුසු හැඟීමකින් ඔහු සසල වූයේය. පෙරදා රැයේ පාවී ආ රුව ජිනාදරීම බවට තවත් සාක්ෂි ඔහුට වුවමනා වූයේ නැත. 
“මැරුණත් මම ඔයා යන යන තැනට පස්සෙන් එනවා..” 
විවාහයෙන් අනතුරුව ගෙවුණ සුන්දර සමයේ යම් කතාබහක් අතරතුරදී ඇය පැවැසූ ආකාරය කිත්සිරිට සිහිපත් විණි. මිථ්‍යාවන් තබා දෙවියන්වත් විශ්වාස නොකරන ඔහු ඇගේ බොළඳකමට සරදම් කරන්නාක් මෙන් හඬ නඟා සිනාසුණේය. 


“මොකද හිනා වෙන්නෙ..? ආදරේ හිතේ තියාගෙන මැරුණොත් දාලා යන්නෙ නෑ කියලා ඉස්සර අපේ ආච්චි කියනවා.. ඉතින් මගේ හිත පුරාම තියෙන්නෙ ඔයා වෙනුවෙන් පිරිච්ච ආදරේනේ..” 
ඇය නෝක්කාඩුවට මෙන් තොල් උල් කරමින් පැවැසූ ආකාරය මේ වේලාවේත් ඔහුට සිහිපත් කරගන්නට පුළුවන. 
“මරණයක් කියන්නෙ ඉවරයක් කියන එක කෙල්ලෙ.. මැරිච්ච උන්ට ආයෙමත් එන්න පුළුවන් කියලා මම කවදාවත් විශ්වාස කරන්නෙ නෑ.. ඒ හින්දා ජීවත් වෙලා ඉන්න කාලෙ අපි දෙන්නා පුළුවන් තරම් ආදරෙන්, සන්තෝසෙන් ඉමු..” ඔහු එදා කීවේය. 


සැබැවින්ම ඔවුන් හැමදාමත් සිටියේ අනෙක් අය තුළ ඊර්ෂ්‍යාවක් ඇති වන තරම් ආදරයෙන් හා සතුටිනි. තමන් දෙදෙනාට ඔවුන්ගේ ඇස්වහ, කටවහ වැදී මෙවන් ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදු විණි දැයි සිතෙන තරමට මේ වන විට කිත්සිරි මානසිකව කඩා වැටී සිටියේය. ජිනාදරී භූතාත්මයක් වී හෝ තමා අසල ගැවැසෙන්නේ නම් තමාගේ ආත්මය සුවපත් වෙනවා ඇතැයි කල්පනා කළේ කිසිම දිනෙක මරණයෙන් ඔබ්බේ යමක් ඇතැයි විශ්වාස නොකළ කිත්සිරිමය. දරාගත නොහැකි අහිමි වීම් විසින් මිනිස්සු ඒ තරමටම අසරණ කරනු ලබති. දිගු සුසුමක් හෙලූ කිත්සිරි නැවතත් පුටුවේ දිගෑදුණේය. 


“මම බිව්වෙ හිතේ වේදනාව අමතක කරන්න නෝනෙ.. මට ඒ වෙලාවෙ දරුවෝ ගැන මතක් වුණේ නෑ.. මගේ බීම උන්ට ලැජ්ජාවක් වෙයි කියලා හිතුණෙත් නෑ.. මට සමා වෙන්න.. මම ආයෙ කවදාවත් බොන්නෙ නෑ..” 
ඔහු දැවිල්ල දෙන පපුව අත්ලෙන් පිරිමැද ගනිමින් කියා ගත්තේය. වතුර ගැලු‍මක් පමණ එක දිගට පානය කරගෙන යන්නට වුවමනා වුවත් පුටුවෙන් නැගිටින්නට බැරි තරම් උදාසීන බවක් ඔහුට දැනිණි. 
“තාත්තෙ තේ එකක් ගේන්න ද..?” 
තමා සෑහෙන වේලාවක් එකම ඉරියව්වෙන් සිටි බවත්, ගෙතුළ සද්ද බද්ද කිසිවක් තමාට නෑසුණ බවත්, කිත්සිරිට මතක් වුණේ පාසල් නිල ඇඳුමින් සැරැසුණ දිනේෂි එළියට පැමිණ එසේ අසද්දීය. ලොකු දුවගේ මුහුණ දෙස බලන්නට නොහැකි තරමේ ලැජ්ජාවක් ඔහුට දැනෙන්නට වූයේය. ඔහු එපා යයි ඇඟවෙන්නට හිස පමණක් සෙලවූයේ එහෙයිනි. 
“ඈ.. දෙහි ලෙලි කොහෙන්ද මෙතෙන්ට..?” 
ඒ සමගම ඇය මවිතයෙන් කෑ ගැසුවාය. 


ලබන සතියට...