මානසික රෝග නිසි ලෙස හඳුනා ගනිමු


සුවදිවිය ලිපිපෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ නිතර මනස ආශ්‍රිතව සිදුවන රෝගී තත්ත්වයක් පිළිබඳවයි. ඒ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතුවන්නේ විශේෂඥ මනෝවෛද්‍ය රොෂාන් ප්‍රනාන්දු මහතායි.    


මනෝවෛද්‍යවරයෙක් විදියට රෝගීන් පරීක්ෂා කරද්දී සාමාන්‍ය යෙන් හමුවෙනවා එක්තරා රෝගීන් කොට්ඨාසයක්. ඒ රෝගීන් දිගු කාලයක් තිස්සේ ඇතිවන ශාරීරික රෝග ලක්ෂණ කිහිපයකින් පීඩාවිඳින පිරිසක්. ඒ හිසරදය, ශරීරයේ විවිධ තැන්වල ඇතිවන කැක්කුම්, වේදනා, තත්ත්වයන් සහ ගෑස්ට්‍රයිටීස් වැනි රෝග ලක්ෂණයන්.   
මේ රෝගි තත්ත්වයන් තියෙන පිරිස ගොඩක් වෙලාවට කායික රෝග වෛද්‍යවරයෙක් වෙත තමයි ප්‍රතිකාර සඳහා යොමුවෙන්නෙ. ඔවුන් කායික රෝග වෛද්‍යවරුන් ගණනාවක් වෙත යොමුවෙලා තියෙනවා සහ ඒ කිහිපදෙනෙක්ගෙ පරීක්ෂාවටත් ලක්වෙලා විවිධ විවිධ ප්‍රතිකාරත් ලබාගෙන තියෙනවා. නමුත් මේ රෝගීන්ගේ එම රෝග ලක්ෂණවල අඩුවක් දකින්න ලැබෙන්නෙ නැහැ. 


මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ ගත්තම අපේ වෛද්‍ය විද්‍යාවට අනුව සාමාන්‍යයෙන් සායනිකව හඳුනාගන්නවා කායික රෝග තත්ත්වයන්වලට ඒ රෝග ලක්ෂණ අනුරූප නොවන වග.  


දිගින් දිගට පරීක්ෂා කිරීමේදීත් කායික රෝග තත්ත්ව ලක්ෂණ පෙන්නුම් කරන්නෙ නැහැ. එවිට රෝගියා විවිධ පරීෂණවලට යොමු කරනවා. ඒ මුත්‍රා පරීක්ෂණ, රුධිර පරීක්ෂණ, ස්කෑන් වැනි විවිධ පරීක්ෂණවලට. 


මේ පරීක්ෂණ කරද්දි ගොඩක් වෙලාවට ප්‍රතිථල එන්නෙ සාමාන්‍ය තත්ත්වයක්. මේ රෝග ලක්ෂණ පැහැදිලි කළ හැකි ආකාරයේ වෙනසක් ඒ වෛද්‍ය වාර්තාවල දක්නට ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ රෝගීන් එක් වෛද්‍යවරයෙකුගෙන් තවත් වෛද්‍යවරයෙකු වෙත යොමුවෙනවා. ඒ ගියත් පෙර සඳහන් කළ රෝග ලක්ෂණ කායික රෝග තත්ත්වයකින් පැහැදිලි කරන්න තරම් සාක්ෂි සාධක නැහැ කියලා තමයි ඒ වෛද්‍යවරුත් ප්‍රකාශ කරන්නෙ.


නමුත් රෝගියාගේ පැත්තෙන් නිතරම මේ රෝග ලක්ෂණ තියෙනවා. ඒ හිසරදය, ශරීරයේ විවිධ තැන්වල ඇතිවන කැක්කුම්, වේදනාවන් සහ ගෑස්ට්‍රයිටීස් වැනි තත්ත්වයන්. ඒ රෝගවලට යම් යම් අවස්ථාවලදී ප්‍රතිකාර ලබාගත්තත් ඒ තුළින් තාවකාලික සුවයක් ලබාගත්තත් නැවත නැවතත් මේ රෝගීන් ඉහත කී රෝග ලක්ෂණවලින් පිඩා විඳිනවා. 
මෙවැනි අවස්ථාවල අපි රෝගීන්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර බලන්න ඕනැ. මොකද මේ මනසේ  පවතින රෝගී තත්ත්වයක් විය හැකි නිසා.  ඒ කියන්නෙ මේ රෝගී තත්ත්වය මනස ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක්. මෙවැනි අවස්ථාව මනස සම්බන්ධව ගැඹුරින් අධ්‍යනය කර බලන්නට අවශයයි. 


විශේෂයෙන්ම මානසික රෝග අතර විශාදය නැතහොත් Depression තත්ත්වය, ඒ වගේම කාංසාව Anxiety කියන තත්ත්වය, ඒ වගේම තවත් විශේෂ වූ මානසික රෝගයක් තියෙනවා. ඒ Dissociative Disorders සහ Somatoform Disorders වැනි මානසික රෝගී තත්ත්වයන්. 


මෙවැනි රෝග තත්ත්වයන් තුළ ඒ අදාළ රෝග මානසික වශයෙන් ඇතිවන රෝග ලක්ෂණවලට අමතරව කායික වශයෙනුත් යම් යම් රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අතර විශාදය සහ කාංසාව වගේ අද සමාජයේ බහුලව දක්නට ලැබෙන මානසික රෝග තත්ත්වයන්.  
විශාදය ගැන කතා කළොත් සාමාන්‍යයෙන් විශාදය ඇතිවුණු කෙනෙකුට අධික ලෙස දුක දැනීම, කලකිරීම, ජීවිතේ එපාවීම, උනන්දුව අඩුවීම, වෙහෙසකර ගතිය, ඇතුළු සිය දිවි හානිකර ගැනීමේ සිතිවිලි හට ගැනීම වැනි තත්ත්ව ඇතිවෙන්න පුලුවන්.  


මේ ලක්ෂණ සමගම විශාදයේ කොටසක් ලෙස සමහර අයට වේදනාව, කැක්කුම් වැනි රෝග ලක්ෂණත් පෙන්නුම් කරන අවස්ථා තියෙනවා.
ඒ වගේම කාංසාව වැනි රෝගි තත්ත්වයන් තුලත් මනස හා සම්බන්ධ රෝග ලක්ෂණවලට අමතරව කායිකව හිසරදය, ශරීරායේ විවිධ තැන්වල කැක්කුම් සහ වෙදනා, ගෑස්ට්‍රයිටීස්, වේගවත් ලෙස හදවතේ ගැස්ම, හුස්ම ගැනීමේ අපහසුව, වැසිකිළි යාමේ රටා වෙනස්වීම්, මෙවැනි කාංසා තත්ත්වවලදී යම් යම් කායික රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඉහතින් විශේෂයෙන් සඳහන් කරපු Dissociative Disorders සහ Somatoform Disorders වැනි මානසික තත්ත්වයන් නිසාත් මෙවැනි කායික රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. 


විශේෂයෙන්ම එකවර හටගන්නා හිරිවැටීම්, කායික රෝග පසුබිමක් නොමැතිව මේ Dissociative Disorders මානසික රෝග තත්ත්වයේ කොටසක් ලෙස ඇතිවෙන්න පුළුවන්. මනසේ දැඩි පීඩාවක් හෝ පීඩාකාරී අත්දැකීමක් වැනි දෙයක් ඇතිවී ඒ මගින් යටි සිතට තදබල ලෙස පීඩාවක් ඇතිවුණු අවස්ථාවල මේ Dissociative Disorders නම් රෝගී තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඔවුන් කායික රෝග ලක්ෂණ ලෙස තමයි බොහෝවිට වෛද්‍යවරයෙකු වෙත යොමුවෙන්නෙ.


මේ Somatoform Disorders කියන තත්ත්වවලදීත් විශේෂයෙන් නිරන්තරයෙන් වෙනස්වනසුලු කායික රෝග ලක්ෂණ මේ රෝගීන්ට ඇතිවෙනවා. මේ රෝග ලක්ෂණ නිසා ඔවුන් වෛද්‍යවරු ගණනාවක් වෙත යොමු වෙනවා. විවිධ ප්‍රතිකාර ලබාගන්නවා. නමුත් ඒ ප්‍රතිකාරවලින් ඒ රෝග ලක්ෂණවල සුවවීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඒ රෝගීන් බොහෝ කාලයක් එම රෝග ලක්ෂණවලින් පීඩා විදිනවා. 


මේ තත්ත්වයන් තුළ ඇතිවන කායික රෝග ලක්ෂණ සමග බොහෝවිට රෝගීන් සාමාන්‍යයෙන් මුලින්ම යොමුවෙන්නෙ කායික රෝග වෛද්‍යවරුන් වෙත. නමුත් මෙවැනි තත්ත්වයන් තුළ ඔවුන්ගේ මූලික ප්‍රශ්නය තියෙන්නෙ මනස හා සම්බන්ධ නිසා මේ රෝගීන්ට ලබාගන්නා ප්‍රතිකාරවලින් සාමාන්‍යයෙන් ස්ථීර සුවයක් අත්වෙන්නෙ නැහැ. සමහර අවස්ථාවල කායික රෝග වෛද්‍යවරු රෝගියා පරීක්ෂා කර පසුව පරීක්ෂණයෙන් පසු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනවා.  


නමුත් අපේ සමාජෙ ඉන්න බොහෝ රෝගීන් මනෝවෛද්‍යවරයෙක් වෙත යොමුවීමට යම් මැළිකමක් දක්වනවා. මෙයට විවිධ හේතු තියෙන්න පුළුවන්. විශේෂයෙන් මානසික රෝග සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය අඩුවීම, මානසික රෝග සම්බන්ධයෙන් තියෙන සමාජමය සහ සංස්කෘතිමය දුර්මත. මානසික රෝගයක් සේ යැයි හඳුනාගැනීමෙන් පසුව සමාජය තමාව වෙන්කොට සලකාවි යැයි ඇතිවන බිය, මෙවැනි කාරණා නිසා සමහර රෝගීන් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුවීමට මැලිකමක් දක්වනවා. ඒ වගේම අපේ වගේ සංස්කෘතික වටපිටාවක් ඇති රටවල අපේ මනසට දැනෙන දේවල් කතා කරන්නත් මැළිකමක් දක්වනවා. විශේෂයෙන්ම අපි කුඩා කළ සිට දැනෙන, හැඟෙන දේ තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න කැමති නෑ. බටහිර රටවලට සාපේක්ෂව අපේ රටේ මේ සම්බන්ධ පුහුණුවක් නැතිකම තියෙනවා.  


මේ කාරණය නිසා මනසේ ඇතිවන පීඩනයන්, අපහසුතාවන් සාකච්ඡා කරන්න පෙලඹෙන්නෙ නැහැ. ශාරීරික ලක්ෂණ සාකච්ඡා කරන්න කායික වෛද්‍යවරු වෙත යොමුවෙනවා. මානසික රෝග වෛද්‍යවරු වෙත යොමුවෙලා තමන්ගෙ මනසෙ තියෙන අපහසුව කතා කරන්න පසුබටවීමක් තියෙනවා. මේ දෙයින් සිද්ද වෙන්නෙ මෙවැනි මනස හා සම්බන්ධ රෝග තත්ත්වයක් නිසා ඇතිවන රෝග ලක්ෂණවලට නිසි ප්‍රතිකාර නොලැබී යාමෙන් ඒ රෝගියා දිගින් දිගටම පීඩා විඳීම.
මෙවැනි තත්ත්වයන් මගහරවාගෙන ආකල්පමය වෙනසක් ඇති කරගෙන මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුවෙලා එයට ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන් යටිහිතේ අපහසුතා නිසා ඇතිවන තත්ත්වවලට ප්‍රතිකාර තියෙනවා සහ ප්‍රතිකාර ලබාගැනීම තුළින් සම්පූර්ණයෙන් මේ තත්ත්ව සුව කරගන්න පුළුවන්. විශේෂයෙන් බෙහෙත් ප්‍රතිකාර තියෙනවා. මනෝ චිකිත්සක ප්‍රතිකාර විධි ගණනාවක් ති​ෙයනවා. ඒ දේවල් සාර්ථක ප්‍රතිකාර ක්‍රම. මේවා නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ශාරීරික සුවය සහ මානසික සුවය අත්පත් කරගන්න පුළුවන්.

 

■ ධනූ විජේරත්න