මහ රැජිනගේ පින පෑදුණු හැටි


යුගයක් නිමා කරමින්, දෙවැනි එලිසබෙත් මහ රැජින, ඉකුත්දා ජීවිතයෙන් සමුගත්තාය. ඒ සමඟම ඇගේ කිරුළ උරුම වූයේ වැඩිමහල් පුතුවූ චාල්ස් කුමාරයාටය.

වසර අනූහයක් ආයු වැලඳූ ඇය රජකිරුළ හිස පැලඳ ගත්තේ නාඹර තරුණ වියේදීමය. එනිසාම වසර හැත්තෑ හයක් පුරාවට බ්‍රිතාන්‍යයේ රැජිණ ලෙස කටයුතු කරන්නට ඇයට වාසනාව තිබිණි.  


ඇත්ත වශයෙන්ම ඇය වාසනාවන්තියකි. එසේ කියන්නේ ඇයට රජකම් කරන්නට ලැබුණේ කිසියම් වාසනාවක් තිබුණු නිසාමය. ඒ ගැන කියන්නට නම් ඇගේ පියා සහ මහප්පා ගැන කතාකර සිටිය යුතුය.   


ඇගේ පියා වූයේ ඇල්බට් පෙඩ්‍රික් ආතර් ජෝර්ජ්ය. එහෙත් ඔහු පස්වැනි ජෝර්ජ් රජුගේ දෙවැනි පුත්‍රයාය.  


එංගලන්ත රජ පවුලේ සම්ප්‍රදාය වන්නේ පියාගෙන් ලොකු පුතාට රජකම හිමිවීමය. නැතිනම් පියාගෙන් ලොකු දුවටය. මේ නිසා පස්වැනි ජෝර්ජ් රජුගෙන් පසු රජකමට උරුමකම් කීවේ එඩ්වඩ් ඇල්බට් ජෝර්ජ් ඇන්ඩෘ පැට්‍රික් ඩේවිඩ් කුමාරයාය. ඔහු පස්වැනි ජෝර්ජ් රජුගේ වැඩිමහල් පුත්‍ර රත්නයයි.  
සිය දිවිමගේ 46 වැනි වසර ගෙවමින් සිටියදී පස්වැනි ජෝර්ජ් රජු මිය පරලොව යෑමත් සමඟ එඩ්වඩ් කුමරුට රජ කිරුළේ උරුමය ලැබිණි. ඔහු රජකම බාරගත්තේ අටවැනි එඩ්වඩ් නමිනි.  
ඒ 1936 ජනවාරි 20 වැනිදාය. මහා බ්‍රිතාන්‍යය, උතුරු අයර්ලන්තය හා මුහුදින් එතෙර බ්‍රිතාන්‍ය ඩොමිනියන් ප්‍රදේශ රැසක රජ පදවියද ඉන්දියාවේ අධිරාජ පදවියද ඔහුගේ උරුමය විය.

  
හැම දෙනාගේම හිත දිනාගත් එඩ්වඩ් කුමාරයා 1911 දී නාවික හමුදා නිලධාරියකු ලෙස සේවයට බැඳුණු අතර පළමුවැනි ලෝක සංග්‍රාම අවදියේදී මිසරයේ හා ඉතාලියේ යුද සේවයද කළේය. සමාජ සේවා කටයුතු වලට ඇල්මක් දැක්වූ ඔහු සාමි මන්ත්‍රී මණ්ඩලයට වාඩිවූයේ 1918 දීය. 1919 දී එංගලන්ත යටත් විජිතවල සංචාරයේ යෙදුණු ඔහු ඊට අමතරව එක්සත් ජනපදය හා දකුණු ඇමරිකාවේද ඉන්දියාවේද සංචාරය කළේය. එසේම ලංකාව, සිංගප්පූරුව, හොංකොං, ජපානය වැනි රටවලද සංචාරය කළ ඔහු ඒ හැම රටකදීම සාමාන්‍ය ජනතාවගේ ආදරය මොනවට ලබාගත්තේය.  


ඔය කාලයේදී කාන්තාවන් රාශියකගේ ප්‍රේමයේ සුන්දරත්වයද අත්විඳින්නට ඔහු අමතක නොකළේය. ඉන් බොහෝ සබඳතා හමුවීම් සහ වෙන්වීමේ පමණක් විය. එහෙත් ගැහැනු හතරදෙනෙක් ඔහුගේ සිත ප්‍රේමයේ සඳ වතුරින් නිබඳවම තෙමාලූහ. ඒ අතුරින් පළමුවැන්නිය කෝක් ආර්යාවයි.  
සිය විසිඑක් වැනි වියේදී මුණගැහුණු කෝක් ආර්යාවගේ පෙම්පහස ඔහුට රස ගුලාවක් විය. ඇය ළඟ ඇගේ නීත්‍යානුකූල සැමියා නැත්නම් කෝක් කුමාරයා නොසිටි හැම වෙලාවකම එඩ්වඩ් කුමාරයා ඇයට තනි රැක්කේය.  


ඔහු කිරුල හිමි කුමාරයා නිසාදෝ කෝක් කුමාරයා මේ අනියම් සම්බන්ධය ගැන කිසිවක් කරන්නට ගියේ නැත. ඔහු නුදුටු ඇසින් නොඇසූ කනින් යුතුව ජීවත් වූයේය. මේ නිසාම කෝක් ආර්යාව හා එඩ්වඩ් කුමරුගේ ප්‍රේමය කොයිතරම් හැඟුම්බර වීදයත්, එඩ්වඩ් කුමාරයා පිටරටවල සංචාරය කළ හැමවිටකදීම කෝක් ආර්යාවට පෙම් හසුන් ලිව්වේය. ඒ පෙම් හසුන් වලින් කෝක් ආර්යාවගේ අල්මාරියක් පිරී ගියේය.  
ඊළඟට ඔහුගේ සිත දිනාගත්තේ ෆ්‍රෙඩා වෝඩ්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරිඳකවූ ඇය ඔහුට හමුවූයේ බෝම්බ පුපුරන මොහොතකදීය. ගුවනින් වැටෙන බෝම්බ වලින් බේරෙනු පිණිස උමඟක හිරව සිටින දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නට මහා ලොකු වේලාවක් ගියේ නැත. ඒ හමුවීම වසර දහසයක් පුරාවට ඇදී ගියේය.  


එඩ්වඩ් කුමාරයාට නෙල්මා ෆර්නස් හමුවන්නේ ඔය අතරය. කෝටිපති නැව් හිමියකු වූ ෆර්නස්ගේ බිරිඳ වුවද මේ ප්‍රේමයද දළුලා වැඩිණි. ඊට එක් හේතුවක් වූයේ ඔවුන්ගේ විවාහයද කුණාටුවකට අසුවූ නැවක් මෙන් එහාටත් මෙහාටත් පැද්දෙමින් තිබීමය. කුමාරයාට වොලිස් සිම්සන් හඳුන්වාදෙන්නේද මේ නෙල්මාමය. සිම්සන්ද ඒ ​ෙවනවිට දෙවතාවක්ම විවාහ වී ඒ විවාහ දෙකෙන්ම දික්කසාදවී සිටි කාන්තාවකි. එඩ්වඩ් කුමාරයා වැඩියෙන්ම බැඳුණේ අනුන්ගේ බිරින්ඳන් සමඟ බැවින් ඇගේ ප්‍රේමයේ ඔහුට වැරැද්දක් පෙනුණේ නැත. පුදුමයකට මෙන් අන් හැම ප්‍රේම සම්බන්ධයකටම වඩා එඩ්වඩ් කුමාරයා වොලිස් සිම්සන්ට ආදරය කළේය.  


එඩ්වඩ් කුමාරයා අටවැනි එඩ්වඩ් රජු ලෙස රජකම බාරගන්නා විට ඔහුගේ හදවතේ ගැඹුරුම තැනක රැඳී සිටියේ මෙන්න මේ සිම්සන්ය. ඇය සමඟ විවාහ වී එතෙක් ගතකළ සෙල්ලම් ජීවිතය නතරකරන්නට ඔහුව අවශ්‍ය විය. එසේ කළ විට වොලිස් සිම්සන් යනු රැජිනක් වැනි ගැහැනියකි.  
එහෙත් ඇය රජ රුධිරයකට හිමිකම් කී ගැහැනියක් නොවේ. අනික දෙවතාවක්ම දික්කසාද වූ ඇත්තියකි. මේ ඇය රැජිනිය සේ බාරගන්නට බොහෝදෙනා අකමැති වූහ. ඔහුගේ මව් බිසවට සිම්සන් රස්තියාදු කාරියක් වූවාය. පාර්ලිමේන්තුවද ඇයට රාජකීයත්වය ලැබීම පිළිකුළෙන් හෙළා දුටහ. අන්තිමේදී ඔහුට තීරණයක් ගන්නට සිදුවිය. ඒ රජ කිරුළද සිම්සන් ද යන්නය. අනුන්ගේ බිරින්දෑවරු කීදෙනෙක් සමඟද තවත් කාන්තාවන් රාශියක් සමඟද ප්‍රේමයෙන් බැඳී සිටි එඩ්වඩ් රජුට තවත් සුන්දර රාජ කුමාරිකාවක් සරණ පාවා ගන්නට බැරිකමක් තිබුණේ නැත. එහෙත් ඔහුට රජ කිරුළට වඩා සිම්සන් ආර්යාවගේ ඇකයේ වැඩි වටිනාකමක් දැනිණි.  


බොහෝ සංවේදී ලෙස රට වැසියන්ට ආමන්ත්‍රණය කළ අටවැනි එඩ්වඩ් රජු රජකම සිය මලනුවන් වූ ඇල්බට් පෙඩ්‍රික් ආතර් ජෝර්ජ් වෙත පවරමින් රජ කිරුළ අත්හැරියේය.  
ඇල්බට් කුමාරයා හයවැනි ජෝර්ජ් ලෙස රජ ​ෙවන්නේ අටවැනි එඩ්වඩ් රජවී මාස එකොළහකට පසුවය. ඒ සමඟම රජ කිරුළට ඊළඟ උරුමක්කාරිය බවට පත්වූයේ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රියා නම් වූ සුන්දර දැරියයි. ඒ ​ෙවනවිට ඇගේ වයස අවුරුදු දහයකි.  
එදා ඇයට පුදුම හිතෙන්නට ඇත. ඒ රජ කිරුළ ඇගේ උරුමයක් නොවූ නිසාය. මහප්පා රජ කිරුළ අත්නොහැරියා නම් තාත්තා රජ​ෙවන්නේත් නැත. තමන්ට රජකිරුළ ගැන සුන්දර බලාපොරොත්තුවක් ඇතිවන්නේත් නැත.  


කෙසේ වෙතත් සිය පියාණන් රජවීමක් සමඟ අනාගත එංගන්තය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවලට නායකත්වය දැරීමට ඇය පුරුදු පුහුණු වූවාය.  


ඇයට පිලිප් කුමරු මුණගැහෙන්නේ දෙවැනි ලෝක සංග්‍රාමය සමයේදීය. ඔහු ග්‍රීසියේ රජ පෙළපතට සබඳකමක් තිබූ නාවික හමුදා ලුතිනන් වරයෙකි. කඩවසම් ඉලන්දාරියකුවූ ඔහු ඇයට හමුවූයේ ඩාට්ෆෝඩ් නුවර නාවික අභ්‍යාස විදුහලේ නිල සංචාරයකට පියාත් සමඟ ගිය අවස්ථාවකදීය.  
එදා ඔවුනතර හටගත් සුන්දර ප්‍රේම කතාව දවසින් දවස අලුත් වෙවී ලියැවිණි. කුමරියට විසිඑක් අවුරුද්දක් සපිරුණු පසුව ඔවුන්ගේ විවාහය සිදුවිය. 1947 නොවැම්බර් 20 වැනිදා පැවැති එය එවකට ලෝකයේ සිදුවූ උත්කර්ෂවත්ම විවාහ මංගල්‍යයක් වූවේය. මනාලයාත් මනාලියත් කිරිපැණි මෙන් පෑහුණේය. විවාහයෙන් පසුව පිල්ප් කුමරාට එඩින්බරෝ හි ආදිපාද පදවියද පිරිනමන්නට හයවැනි ජෝර්ජ් රජු කටයුතු කළේය.  
1952 පෙබරවාරි මාසයේදී මේ රාජකීය යුවල කෙන්යාවේ සංචාරයක නිරතවූහ. අතකින් කැමරාවද ගත් යුවතියට අවශ්‍ය වූයේ කෙන්යාවේ මහා වනාන්තරවල සිටින අලි ඇතුන් රයිනෝසිරසුන් සිංහයන් වැනි සතුන් දැකබලා ගැනීමටය. එංගලන්තයේදී දැකිය නොහැකි අලි ඇත්තු කෙන්යාවේ මෙන්ම ලංකාවේද සිටිති. ඒ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැති රටවල්ය.  


එදා එලිසබෙත් කුමරිය සමඟ කෙන්යානු වනාන්තරයේ සතුන් නැරඹීමට ජිම් කෝබට්ද සහභාගී විය.  
දැවැන්ත නුග ගසක තනන ලද කූඩාරමක සිට පහළින්වූ වනයේ තණ පිටියේ ගැවසෙන අලි රංචුව කුමරියගේ දෙනෙතට රසඳුනක් විය. ඇය සියල්ල සිනමා කැමරාවකින් රූගත කළාය.  
පුරා රැයක් තුරු හිස් මත ගතකළ කුමරිය ගසෙන් බැස්සේ පසුදා පෙරවරුවේය.  
ඇත්තටම එය ඓතිහාසික සිදුවීමක් විය. එලිසබෙත් එදා ගසට නැග්ගේ කුමරියක විලසය. එහෙත් ඇය ගසෙන් බිමට බැස්සේ කුමරියක ලෙස නොවේ, රැජිනක ලෙසය. හැබැයි ඇය රැජිනක බව එමොහොතේ ඇයවත් දැන සිටියේ නැත.  


කුමරිය කෙන්යා වනයේ තුරුහිස් මතවූ කුටියෙහි සිටි රැයේදීම ඇගේ පියාවූ හයවැනි ජෝර්ජ් රජු නිදියහනේදීම මිය ගොස් තිබිණි. ඒ වනවිට ජෝර්ජ් රජුගේ වයස අවුරුදු පනස් හයක් වූ අතර කුමරියගේ වයස අවුරුදු විසිහයක් විය.  


ඇය කිරුළ පැලැන්දේ ඉන් වසරකුත් මාස හතරකට පසුවය. එනම් 1953 ජුනි 2 වැනිදාය. ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීය.  


ඒ මොහොතේදීත් ඇය සිය මහප්පා වූ අටවැනි එඩ්වඩ් රජුට ස්තුති කරන්නට ඇත. ඔහු කිරුළ හැර නොදැම්මේ නම්  එලිසබෙත්    කුමරියට රජ​ෙවන්නට නොලැබෙන නිසාය.  
කෙසේ වෙතත් වැඩිම කාලයක් රජ කිරුළ දැරූවන් අතරේ එලිසබත් රැජින පත්වන්නේ දෙවැනි තැනටය. ඒ කාලය පුරාවට එංගලන්තයේ අගමැතිවරුන් පහළොස් දෙනකු සමඟ රාජකාරි කරන්නට ඇයට හැකිවිය. රටේ මෙන්ම ලෝකයේද සිය පවුලේද විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්නට ඇයට සිදුවිය. ඒ අතරින් ලොකුම සිද්ධිය සිය ලේලිය වූ ඩයනා කුමරියගේ කතාවය. චාල්ස් ඩයනා විවාහයත් සමඟම සියවසේ ප්‍රමුඛ පුවත බවට පත්වූයේ ඩයනාය. චාල්ස් කුමාරයා පරණ පෙම්වතිය හා වූ ඇසුර යළි අලුත් කිරීම, ඩයනා - ඩොඩී ඇල්ෆයිඩ් සමඟ වූ ඇසුර බිහිසුණු රිය අනතුරකින් ඩයනා කුමරිය මියයෑම නිසා ඩයනා මාතෘකාවක් විය. එහෙත් මේ හැලහැප්පීම් සියල්ල සමඟ එලිසබත් රැජින කටයුතු කළේ බුද්ධිමත්වය.  


සිය පුතුන් හා දූවරුන් ගේ විවාහ බිඳී ගියද රැජිනගේ විවාහ ජීවිතය ආදර්ශමත් එකක් විය. ආදරණීය ද විය. වයස අවුරුදු දහතුනේදී දැනහඳුනාගෙන වයස අවුරුදු විසිඑකේදී සරණ බැඳුණු පිලිප් කුමාරයාම මිස වෙනත් පෙම් රැහැනක ඇය බැඳුණේ නැත. පිලිප් කුමරු ද එසේමය. අනියම් පෙම් බැඳුම් එංගලන්ත රජ පවුලේ බොහෝ රජුන්ට සහ රැජිනියන්ට තිබුණත් එලිසබත්ව සහ පිලිප්ට නම් ඒ කිසිවක් නොවීය. ඔවුහු රන් රස සේ බැඳුණු දිගු යුග දිවියක් ගෙවූහ.  


පිලිප් කුමරු එලිසබත් රැජිනිය අතැර ගියේ ගිය වසරේය. ඔහු ගිය මගෙහිම ගොස් ඔහු අවසන්වරට සැතපුණු මිනීවළ අසලින්ම එලිසබත් රැජිනද සැතපෙන්නීය.  
ඒ සමඟම එංගලන්තයට යළිත් හිමිවන්නේ රජෙකි. ඒ තුන්වැනි චාල්ස්ය. යළි චාල්ස් කෙනෙකු එංගලන්ත රජ කිරුළට උරුමකම් කියන්නේ වසර 1600 කට පසුව වීමද සුවිශේෂී සිදුවීමක් විය හැකිය.

 

 

ශාන්ත කුමාර විතාන