මල්තුහින බලන්න නුවරඑළි යමුද?


ජනවාරියේ මල්තුහින සංචාරකයන්ට සුන්දරයි

ගොවීන්ට වහකදුරු වගෙයි

සෑම වසරකම වර්ෂය අවසන් වනවාත් සමඟම උදා වන නත්තල් මාසයේ සැබෑම අසිරිය ශ්‍රී ලංකාව තුළ විදහා පාමින් පරිසරයත් අලංකරණය වෙමින් සෙල්සියස් අංශක 5කට පමණ අඩු අධික සීතලක් සමගින් වෙනම රටකට අප කැඳවාගෙන යන්නා සේ අමුතුක හැඟීමක් අපට ලබා දෙන චමත්කාර ජනක සිදුවීම නම් සුන්දර නුවරඑළිය නගර සීමාව පුරාවටම අලු‍යම කාලයේ පතිත වන මල් තුහින වරුසාවයි.

මල් තුහින පතිත වීමේ සුන්දරත්වය හා එම අපූරු අත්දැකීම විඳගන්නට මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් බොහෝ සෙයින් ප්‍රිය කරන අතර දේශීය සංචාරකයන්ද එම අත්දැකීම විඳගන්නට දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා නුවරඑළිය නගරයට පැමිණීම දැකගත හැකිය.


මෙලෙස දෙස් විදෙස් සංචාරකයන් නුවරඑළිය නගරය සිය සංචාරක තෝතැන්නක් බවට තෝරා ගැනීම හේතුවෙන් නුවරඑළිය නගරය තුළ සංචාරක ව්‍යාපාරිකයන් සිය ආදායම් උත්පාදනය ඉහළ නංවා ගන්නා බව නුවරඑළිය සංචාරක නිවාඩු නිකේතන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද දොඩම්පේගමගේ මහතා පවසයි.
‘සුන්දර නුවරඑළිය නගරයට පැමිණෙන සංචාරකයන්ට පමණක් විඳ ගැනීමට හැකි එකම අත්දැකීම ලෙස අපට මේ මල් තුහින වසන්තය හඳුන්වා දෙන්නට පුළුවන්,
දෙසැම්බර් මාසයේ සංචාරක නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීමට නොවැම්බර් මාසයේ සිට ම අන්තර්ජාලය හා දුරකථනය හරහා දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයන් අපත් සමගින් සම්බන්ධ වනවා,


එලෙස සම්බන්ධ වන සියලු‍ම දෙස් විදෙස් සංචාරකයන් අහන එකම ප්‍රශ්නයක් තමයි නුවරඑළියට හිම වැටෙන්නේ කවදාද කියලා,
එම ප්‍රශ්නයට උත්තර දෙමින් අප කියන්නේ දෙසැම්බර් මාසේ අග සිට පෙබරවාරි මුල දක්වා තමයි මල්හිතුන වැටෙන්නේ කියලා ඒ මහතා පැවසීය.
පාසල් නිවාඩුව නිමවන්නේ ජනවාරි මුල නිසා දෙසැම්බර් මාසයේ 25 සිට 30 දක්වා දිනවල සංචාරකයෝ බොහෝ සෙයින් සිය නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළිය නගරයේ පිහිටි නවාතැන්පළ වෙන් කරවා ගනිති.


සෞඛ්‍ය ප්‍රශ්න හා අනෙකුත් ප්‍රශ්න ඇති වූ අවුරුදු හැරුණු කොට මෑත අවුරුදු ගණනක්ම පුරාවට දෙසැම්බර් මාසයේ අවසාන දවස් කිහිපය තුළ හා ජනවාරි මාසය පුරාවට සෑම සංචාරක නිවාඩු නිකේතනය ම පිරී ඉතිරී ගොස් අවසන්ය.


එය විශේෂයෙන්ම මල් තුහින පතිත වන සෙල්සියස් අංශක 5 කට අඩු සීතල කාලගුණය විඳ ගනිමින් ඒ අපූරු වූ ආශ්වාදය විදගැනීමට නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් පිරීයාම හේතුවෙනි. නුවරඑළිය නගරයට ම ආවේණික වූ විශේෂ දේශගුණික දායාදයකි.
මේ පිළිබඳව සංචාරක මගපෙන්වන්නන්ගේ සංගමයේ සභාපති සමන්ත පුෂ්පකුමාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ විදේශීය සංචාරකයන් බොහෝ සෙයින් ප්‍රිය කරන්නේ අඹේවෙල සහ පට්ටිපොළ යන ප්‍රදේශවල උදෑසන 5 වන විට පතිතවන අධික ඝන භාවයකින් යුතු මල් තුහින වැටෙන ස්ථාන බැලීමට බවය.
සමන්ත පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය නගරය තුළ මේ කාලයට තුහින වැටෙන තැන් ගොඩක්. ඒත් ගොඩක්ම තුහින වැටෙන තැන්වලට තමයි විදේශිකයන් කැමති. නොයෙක් රටවලින් පැමිණෙන සංචාරකයන් ඔවුන්ගේ සමාජ මාධ්‍යජාල මගින් මල්තුහින වැටුණු විට ලස්සන තැන් පිළිබඳ ඡායාරූප හා වීඩියෝ සමඟ විස්තර පළ කරනවා. ඒ රටවල්වල ඉන්න අනෙකුත් සංචාරකයන් එහෙමත් දැකලා එකෙන් දැනගන්න තොරතුරු හරහා තමයි අපෙන් විමසන්නේ මේ තැන්වලට යන්නේ කොහොමද පට්ටිපොළට යන්නේ කොහොමද කියලා.

 

ගොවිබිමේ මල්තුහින

මල්තුහින


නුවරඑළිය මිනිස්සුන්ට මේ අත්දැකීම දැකල දැකලම දැන් ගානක් නැති වුණාට පිටරට මිනිස්සු මේ අත්දැකීම විඳගන්න පුදුම ආසාවකින් එනවා.
අඹේවෙල පට්ටිපොළ වගේම නුවරඑළිය නගරාසන්න ප්‍රදේශ කිහිපයකදීම මේ අත්දැකීම විඳ ගන්නට හැකියාව පවතින බව ඔහු කියා සිටියේය.
සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් එලෙස සිය ප්‍රසාදය පළ කරමින් අදහස් ප්‍රකාශ කළද නුවරඑළිය ප්‍රදේශයේ තවත් ප්‍රධාන ආර්ථික උත්පාදන ක්‍රියාවලිය ලෙස සැලකෙන කෘෂි කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් සඳහන් කරන්නේ එයට හාත්පසින්ම වෙනස් වූ අදහසකි.


මේ පිළිබඳ අදහස් දැක්වූ උඩරට එළවළු වගා කරන ගොවි මහතකු වන ජේ.එල්.ටී සරත් කුමාර මහතා කියා සිටියේ සුද්දන්ට ලස්සන පෙන්වලා සංචාරක ව්‍යාපාරය කරන උදවිය එයින් බඩ කට පුරවා ගත්තට ගොවින්ට මානසික වදයක් බවය.


වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් කුමාර මහතා ඇතුළු ගොවි මහතුන් කිහිප දෙනෙක් කියා සිටියේ මෙවැනි කතාවකි.
‘‘පොහොර මිල, ඇට වර්ගවල මිල අහස උසට නැගලා. අපිට අර්තාපල් හොන්ඩරයක් හදන්න රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙනවා ඒකෙන් එන අස්වැන්න අපිට විකුණගන්න පුළුවන් වෙන්නේ සොච්චම් ලාබයක් තියාගෙන සමහර විට එහෙමත් නෑ අතෙනුත් පාඩු වෙනවා.

 


මෙහෙම තත්ත්වයක් තියෙන කොට මල් තුහින වැටෙන එක අපි දකින්නේ හිඟන්නගේ පාත්තරේට හෙනහුරා පැන්න වගේ.
මොකද උදේ පාන්දරම මල් තුහින වැටුනම පැයක් එකහමාරක් යන්න කලින් වතුර දාන්න ඕනෑ. ඒ මල් තුහින දියවෙලා යන්න එහෙම නැත්තම් එළවළුවල කොළ ටික පිච්චිලා කරවෙනවා. ඒ ටික පිච්චුනහම ගහ මුළුමනින්ම විනාශ වෙලා යනවා.


වතුර දාගන්න විදිහකුත් නෑ භුමිතෙල් හා පෙට්‍රල්වල ලොකු හිඟයක් තියෙනවා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය භුමිතෙල් හා පෙට්‍රල් ලබාදීමට නිසි ක්‍රමවේදයකුත් නැති නිසා අපිට වගාවට වතුර දාගන්න බොහොම අමාරුයි.


ඒ සමඟින් මෙම තත්ත්වය පැහැදිලි කළ සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ දෙසැම්බර් මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන උඩරට එළවළුවල ප්‍රමිතිය හා තත්ත්වය බාල බවයි.
වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ වර්ෂ අවසානයේ පිනිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළුවල පෙනුම මෙන්ම ගුණාත්මක භාවයට ද දැඩි ලෙස බලපෑම් එල්ල වන බවය.
ගොඩක් එළවළු බලන්න ලස්සනක් නැහැ. පින්නට පිච්චිලා හැකිලිලා පාට වෙනස් වෙලා බරත් සෑහෙන්න ප්‍රමාණයක් අඩු වෙලා ඒ මහතා කීවේය.

 

 

සටහන
නුවරඑළිය ආර්.එෆ්.එම්. සුහෙල් 
සහ රංජිත් රාජපක්ෂ