මර බිය ගෙන ද්නෙඅ ගෙන දෙන පිත්තාශයේ ගල් ගල් ඉවත් කරන සැත්කම


පසුගිය 25 වැනි දින සිට ගත වූ දින කිහිපය තුළදීම රටපුරා කතාබහට ලක්වුණු ආන්දෝලනාත්මක කතා පුවතක් වූයේ ශල්‍යකර්මයකින් පසු අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිළිබඳවය.  


හර්ෂනී ධර්මවික්‍රම නමැති මේ තරුණිය මියයාමෙන් පසු ඇගේ ශල්‍යකර්මය පිළිබඳව සහ එම සැත්කම සිදුකළ වෛද්‍යවරයා පිළිබඳ කතා පුවත් සමාජ මාධ්‍යය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය ​ෙවන්නට විය.   


සුළු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්නට වෛද්‍යවරයකු හමුවීමට ගිය ඇයට වෛද්‍යවරයා පවසා ඇත්තේ පිත්තාශයේ එක් පැත්තක ගලක් ඇති බවත් ඒ වෙනුවෙන් සැත්කමක් කළ යුතු බවත්ය. වෛද්‍යවරයාගේ ප්‍රකාශයත් සමඟ නිවැසියන් වහා ඇයව රෝහල් ගත කරන්නට තීරණය කර ඇත.  


ඒ අනුව පසුගිය 31 වැනිදා ඇය පෞද්ගලික රෝහලක දී අදාළ සැත්කමට භාජනය කර තිබිණි. ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව අසාධ්‍ය වූ මේ තරුණිය පසුව රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබේ. නමුත් ඇයට සිය දිවි ගමනින් සමුගන්නට වී තිබුණේ සිය ආදරණීයයන් කඳුළු සයුරක ගිල්වමිනි.  
ජීවිතයේ දහසකුත් බලාපොරොත්තු මධ්‍යයේ විවාහ දිවියට එළඹි අැයට ඊට දින 17කින් පසුව මෙලෙස ජීවිතයෙන් සමුගන්නට වේ යැයි කිසිසේත්ම නොසිතෙන්නට ඇත.   


අද අප සමඟ ජීවත්වන සමීපතමයන් බොහෝ දෙනෙකු මෙවැනි සැත්කම්වලට මුහුණ දෙන්නට රෝහලට යන්නේ නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතිවය. එසේ බලාපොරොත්තු තබා ගොස් නැවත හමු නොවූ සමීපතමයන් ගැන අපි ද අත්දැකීමෙන්ම දනිමු.  


‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි’ යන කියමන මතුවන්නේ එලෙස අපේ සමීපතමයන් ඈත්ව ගිය පසුවය.  


හර්ෂනී ධර්මවික්‍රම නමැති මෙම තරුණියට මුහුණ පාන්නට සිදුවූ මේ ශෝක ජනක සිදුවීමත් සමඟ පිත්තාශයේ ගල් ඉවත් කරන සැත්කම් මෙතරම් භයානක වන්නේ ඇයි? යන්න විමසා බැලීමක් කිරීමට අපි තීරණය කළෙමු.  


ඒ සම්බන්ධව අදහස් දැක්වීමට අප සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ (විශ්‍රාමික)විශේෂඥ ශල්‍ය වෛද්‍ය ලලිත පියරිසි මහතාය.   
ඒ මහතා මෙසේ කීවේය.  


‘පිත්තාශයේ සිරවී තිබෙන ගල් නිසා කැක්කුමක් තියෙනව නම් හෝ එම ගල් නිසා සංකූලතාවයක් ඇත්නම් එවැනි කෙනෙකුට තමයි සැත්කමක් කිරීම සඳහා නියම කරන්නෙ. එසේ නැතිනම් පිත්තාශයේ ගල් තිබුණ නිසාම ඒ ගල් ඉවත් කර යුතුයි කියලා නිර්දේශ කරන්නෙ නැහැ.  


එයට හේතුව ගොඩක් වයසක පිරිසගෙ සහ සාමාන්‍ය ජීවිත ගත කරන පිරිසගෙ ස්කෑන් එකක් කළත් පිත්තාශයෙ ගල් තියෙනවා කියලා දකින්න තියෙනවා. ඉන් යම් හෝ කරදරයක් නැත්නම් ඒ හැම කෙනාගෙම සැත්කම් කරන්න අවශ්‍ය නැහැ. මේ තුළින් යම්කිසි වේදනාවක් හෝ ගලක් හිරවීම නිසා ඇතිවන සංකූලතා ඇත්නම් සිදුවෙන රෝගී තත්ත්වයන් වෙන්නේ ඇලදිව ඉදිමීම නැතහොත් පිත නාල අවහිරවීම. එවිට සැත්කමක් සිදු කළ යුතුයි.  


පිත්තාශයේ හෝ ඕනෑම ස්ථානයක සැත්කමක් සිදු කරන විට සිහි නැති කරන්න අවශ්‍යයි. එවිට බඩට කාබන් ඩයොක්සයිඩ් පුරවන්න වෙනවා. මේ සැත්කම පැයක් පමණ සිදු කෙරෙනවා.   


සැත්කමක් කිරීමට ඒ වෙනුවෙන් ශක්තියක් තිබෙන කෙනෙක් වෙන්නත් ඕනෑ. ශරීරයේ ශක්තිය තියෙනව නම් විතරයි සැත්කමකට භාජනය කරන්නෙත්. ඒ වගේම හෘදය වස්තුව, පෙනහැලි, අක්මාව, වකුගඩු හැමදේම හොඳට තියෙන්න ඕනෑ. ඒ තුළ සංකූලතා ඇත්නම් ඒවා පාලනය කරන්න ඕනෑ. දියවැඩියාව, රුධිර පීඩනය වැනි තත්ත්වයන් තිබුණත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. මොකද ඒවා පාලනය කරලා මේ සැත්කම කරන්න පුළුවන්. අපි දැනට කරන්නෙ 'key hole Surgery" ඒ කියන්නෙ යතුරු සිදුරු සැත්කම්. ඒ ඉතාම අඩු කැපුමක් සහිත සැත්කම්. ඉස්සර කාලෙ නම් සැත්කම් කළේ බඩ කපලා. නමුත් දැන් පෞද්ගලික සහ රජයේ රෝහල්වල සිදු කෙරෙන්නෙ යතුරු සිදුරු සැත්කම්. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඒ හැම රෝහලකම තියෙනවා. ඒ වෙනුවෙන් පුහුණු වුණු වෛද්‍යවරුන් සහ හෙදියන් ලංකාවේ බොහෝ රෝහල්වල ඉන්නවා. ඒ නිසා දැන් පිත්තාශයේ සැත්කම් 99% විතර කෙරෙන්නෙ ‘යතුරු සිදුරු ක්‍රමය’ යටතේ.  


ඒ වගේම පිත්තාශයේ මෙම ගල් අරන් දාද්දි සමහර වෙලාවට විද්‍යුත් තාපය භාවිත කරනවා. සමහර වෙලාවට එතරම් තාපය නැති ඇල්ට්‍රොසොනික් ඩිසෙක්ටර් භාවිත කරනවා. ​ෙමම සැත්කමක දී ගොඩක්ම භාවිත කරන්නෙ ඇල්ට්‍රොසොනික් ඩිසෙක්ටර්. ඒ තුළින් ඇතිවන විද්‍යුත් තාපය අඩුයි. මේ සැත්කම කරන්න හරියටම පිත්තාශය, පිත්තනාල හඳුනාගන්න ඕනෑ. පිත්තාශයට යන ලේ ගමනා ගමනය සිද්ධවෙන ධමනි, ශිරා ආදිය හඳුනාගන්න ඕනෑ. ඒවා නිසි විදියට හඳුනාගෙන තමයි සැත්කම කරන්නෙ. හඳුනාගත්තෙ නැතහොත් සමහර වෙලාවට සංකූලතා ඇතිවෙන්න පුළුවන්.  


මෙවැනි සැත්කමක් කිරීමට පෙර හොඳින් පරීක්ෂණයකට භාජනය කරන්න ඕනෑ. සමහර වෙලාවට පිත්තාශය ඉදිමිලා තියෙනව නම් විෂබීජ නිසා සමහර වෙලාවට ඇලිලා තියෙනවා. එවැනි අවස්ථාවල සංකූලතා වැඩියි. එවිට අපි කරන්නෙ (Antibiotics) ප්‍රතිජීවක ඖෂධ ලබාදීලා මාස දෙක තුනක් තියලා ඒ තත්ත්වයන් නිවුණට පසුව සැත්කම කිරීම.  
විද්‍යුත් තාපය මඟින් මේ සැත්කම් කරද්දි බඩෙන් පිට සිට කැමරාවක් මඟින් රූපවාහිනී තිරයක් දෙස බලාගෙන තමයි මේ සැත්කම කරන්නෙ. යම්කිසි ඉන්ද්‍රියයක් ඇතුළට උපකරණයක් දාද්දි සමහර වෙලාවට වැරැදිලා වෙන තැනකට ගෑවුණොත් එතැනත් පිච්චෙන්න පුළුවන්. ඒ සියලුම දේ ගැන දැඩි අවධානයෙන් මෙවැනි සැත්කමක් කරන්න ඕනෑ. යම් හෝ අත් වැරැදීමක් වුණොත් ඒවා මතුවෙන්නෙ දවස් ගණනාවක් ගතවුණාට පසුව. අත් වැරැදීමකින් හෝ සංකූලතාවයක් ඇතිවී එය හඳුනාගතහොත් ප්‍රතිකාර කරන්නට හැකිවෙනවා. එවිට කිසිදු ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නැහැ.  


සාමාන්‍යයෙන් තරුණ රෝගියෙකුට ප්‍රතිකාර කරද්දි හරි විදියට හඳුනාගෙන සැත්කම කළා නම් සංකූලතා ඇතිවන ප්‍රමාණය අඩුයි. තරුණ පිරිස ගොඩක් දෙනෙක් සැත්කමට පසුදිනම නිවස බලාත් පිටත් වෙනවා. කිසිදු ප්‍රශ්නයකින් තොරව ඇත්තටම පිත්තාශයේ ගල් ඇතිවීමට කොලෙස්ටරෝල් යම්කිසි ප්‍රමාණයකට සම්බන්ධයි. ඒ තුළින් කොලෙස්ටරෝල් ගල් කියන ඒවා ඇති වෙනවා. මේවා පිරිමින්ට සහ කාන්තාවන්ට දෙපාර්ශ්වයටම ඇතිවෙනවා. නමුත් කාන්තා පාර්ශ්වයට වැඩියි. මොකද ස්ත්‍රී හෝර්මෝනවල ක්‍රියාකාරිත්වය වැඩි නිසා. සමහර දෙනෙක්ට ජානමය වශයෙන් විවිධ හේතු නිසාත් ඇතිවෙන්න පුළුවන්. කාන්තාවන් වැඩිපුර දරුවන් පිළිසිඳ ගැනීමෙනුත් මේ තත්ත්වය බහුලව ඇතිවෙනවා. අවුරුදු 40 දී වගේ වයසෙ අයට තමයි මේ තත්ත්වය ඉතා දැඩි ලෙස ඇතිවෙන්නෙ.  


පසුගිය සතියේ අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ ඒ තරුණියගේ සැත්කම මොන තත්ත්වයන් යටතේ කළා ද කියන්න මට දැනීමක් නැහැ. එවැනි තරුණ රෝගියෙකුට හරියට හඳුනාගෙන හරි විදියට සැත්කම කළානම් සංකූලතා ඇතිවන ප්‍රමාණය ඉතා අඩුයි. මම වෛද්‍යවරයෙක් විදියට මේ වෙද්දි අවුරුදු 40ක් පමණ සැත්කම් කරනවා. මේ වෙද්දි සැත්කම් 5000 වගේ කරලාත් ඇති. ඒ අතරෙදී සංකූලතා ඇතිවෙන අය අපිටත් මුණ ගැහුණා. ගොඩකට හේතුව වුණේ පිත්තාශයේ ඇලීම් නැත්නම් පිත්තාශය වටේ තිබෙන ඒ නහරවල විකෘතිතා. ඒවා තියෙන්නෙ 1% පමණ වගේ. ඉතින් එවැනි තත්ත්වයන් යටතේ සැත්කම් සිදුවෙනව නම් ඉතා පරිස්සමින් කරන්න ඕනැ. සමහර අයගෙ සැත්කම් 'key hole Surgery" කරන්න බැහැ කියලා හිතනව නම් බඩේ කැපුමක් දාලා සිදු කරනවා. මේවා ඉතින් හරිම පරිස්සමින් හිමින් කරන්න ඕනෑ සැත්කම්.   

 

 

 

සටහන - ධනු විජේරත්න