මම එදත් උඹට කිව්වා හත් පොළේ ගාගන්නේ නැතුව හිටපන් කියලා


නිත්‍යා තමාටම තමා පාලනය කර ගන්නට බැරි තරමට කෝපයෙන්, ඊර්ෂ්‍යාවෙන් හා අවමානයට ලක් වූ බවට හැඟීමෙන් වියරු වැටී සිටියාය. පාසලේ ඉතා ජනප්‍රිය සිසුවියක වූ ඇගේ සිත දිනාගන්නට වෙර දරන සිසුවෝ පමණක් නොව තරුණ ගුරුවරු දෙදෙනෙක් ද වූහ. එහෙත් ඇය තුළ ඔවුන් කිසිවෙකු කෙරෙහි අබමල් රේණුවක තරමවත් ඇල්මක් නොවිණි. ඇගේ අවධානය එහෙම පිටින්ම යොමු වූයේ කෙල්ලන් විෂයයෙහි අහංකාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන සකුණ වෙත පමණකි. ඔහු සිය පන්තියේ කෙල්ලන්ට පවා සුහද වූයේ එක්තරා සීමාවකටය. 


“ප්‍රිෆෙක්ට්කම ඔළුවටම අරගෙන ඉන්නෙ.. නිකම්වත් කෙල්ලෙක් දිහා බලන්නෙ නෑනෙ..” 
බොහෝ කෙල්ලන් ඔහු හෙළා දැක්කේත්, සරදම් කළේත් ඒ ආකාරයටය. 
“ලේසියෙන් කඩාගන්න පුළුවන් මල් පාත අතුවල ඕනැ තරම් තියෙද්දී උඹලත් ඉතින් උඩ පනින්නෙ උඩ අතුවල තියෙන මල්වලටනෙ.. ඒවත් මේ මල්ම තමයි.. කඩන්න මහන්සි වෙන එකේ විතරයි වෙනස තියෙන්නෙ..” 


සකුණ දෙස තෘෂ්ණාවෙන් බලන කෙල්ලන්ට අනෙක් කොල්ලෝ සරදම් කළහ. ඔවුන් තුළ සකුණ කෙරෙහි ඊර්ෂ්‍යාවක් පවා පැවතිණි. කෙල්ලන් මෙන් නොව ඔවුන් නම් ඔහුගේ ශිෂ්‍යනායක තනතුර හැරෙන්නට වෙන කිසිම විශේෂත්වයක් දුටුවේ නැත. ඔහු සිහින කුමාරයා බවට පත්කර ගත් කෙල්ලන් නම් සිතාසිටියේ කවදා හෝ දිනෙක ඔහුගේ ඇස් තමා වෙත යොමු වෙනු ඇති බවය. නිත්‍යා සිටියේ එවන් බලාපොරොත්තු පිරුණ සිතැති කෙල්ලන් අතර ඉදිරියෙන්මය. 
“අනේ බං.. දැන්වත් ඔය සකුණයා ගැන තියෙන අදහස හිතෙන් අයින් කර ගනින්කො.. උඹ ඌ මත්තෙ නහින්නෙ හරියට ලෝකේ ඉන්නෙ එකම කොල්ලා ඌ කියලා හිතාගෙන වගේ.. ටිකක් ඇස් ඇරලා වටේ බලපන්කො.. උඹ ගැන හිතන කොල්ලො කී දෙනෙක් නම් ඉන්නව ද..?” 


දෝෂාරෝපණයක මෙන්ම සරදමක හඬිනුත් මිතුනි කීවේ වරක් දෙවරක් නොවේ. යෙහෙළියගේ සිතේ ස්වභාවය නිවැරදිවම හැඳින සිටියේ ඇය පමණකි. 
“කෙල්ලෙක් දැක්ක ගමන් මෙලෝ සිහියක් නැතුව පැණි පෙරන කොල්ලන්ට නෙමෙයි ඔන්න ඔය විදියට තමන්ගෙ තත්වෙ තියාගෙන ටිකක් අහංකාරකමට ඉන්න උන්ට තමයි කෙල්ලන්ගෙ හිත යන්නෙ..” 
නිත්‍යා තදින්ම කීවාය. 


මිතුනි මවිතයෙන් බලා සිටියේ ඒ දර්ශනය තේරුම් ගන්නට අසීරු වූ නිසාය. 
ධන බලයෙන් මෙන්ම ජනප්‍රියත්වයේ බලයෙනුත් ඇයට බොහෝ දේවල් ලබා ගැනීමට හැකි වී තිබිණි. ඒ පිළිබඳව ඇය තුළ වූ මහා අභිමානය සකුණ හමුවේදී නම් බින්දුවටම බැස්සේය. 
“ගුඩ් මෝර්නින්..” 


උදේ මුහුණට මුහුණ හමු වූ විට මුව පුරා සිනාවක් පා එසේ කීමත්, පොදු වැඩ සටහනකදී අදහස් හුවමාරු කර ගැනීමත් ඇරෙන්නට වෙන කතාබහක් ඔවුනතර ඇති වූයේම නැත. ඒ සාමාන්‍ය කතාබහ පවා නිත්‍යාගේ හදවත ජීවයෙන් සහ බලාපොරොත්තුවලින් පුරවන්නට සමත් වූයේය. අහම්බෙන් හමුවෙන්නාක් මෙන් අඟවා ඇය හැමදාම උදේ ඔහු ඉදිරියට ගියේ ඔහුගේ උදෑසන සුබ පැතුම ලබන්නටය. එය නොලැබුණ දිනට ඇගේ සිත සෝදාපාළු වී ගියේය. එවන් දිනවලදී ඇය පාඩම්වලට වුවමනාවෙන් ඇහුම්කන් නොදී සිටියා පමණක් නොව පන්තියේ සගයන් සමඟ ගැටුම් ද ඇතිකර ගත්තාය. ඇය නොසන්සුන් වෙන්නට හේතුව දැන සිටි මිතුනිටවත් එදාට ඇය මෙල්ල කර ගැනීම පහසු වූයේ නැත. 
මිතුනි අනතුරු ඇඟවූ ආකාරයටම දිනේෂි සමඟ ගැටුම ඇතිකර ගත් දාට පසුදින සිට සකුණ නිත්‍යා දුටුවත් නුදුටු ලෙස මඟහැර යන්නට පටන් ගත්තේය. මුල්ම දිනයේ ඇයට එය වෙනසක් ලෙසින් නොදැනුණේ ඔහු තවත් කොල්ලන් පිරිසක් සමඟ බර කතාවක යෙදීගෙනම ඇය පසුකර ගිය බැවිනි. එහෙත් දෙවන දවසේ ඔහු ඈතදීම තමා දැක වෙනතකට හැරී ගිය බැව් ඇය හොඳින්ම දුටුවාය. 


“මිතූ.. සකුණ මාව දැකලත් නොදැක්කා වගේ ගියා.. මට හිතෙන්නෙ අරකි ගින්න දීලා වගේ..” 
ඇය යෙහෙළියට කීවේ නොසන්සුන් හඬිනි. 


“ඌ මොකක් හරි හදිස්සි වැඩකට යන්න ඇති බං.. ගණන් ගන්නෙ නැතුව හිටපන්..” මිතුනි ඇය අස්වසන්නට තැත් කළාය. 
“හොඳයි මම හෙටත් බලන්නම්කො.. හෙටත් එයා මාව කට් කළොත් එහෙම මම අරකිට හොඳ පාඩමක් උගන්නනවා..” 
ඇය කෝපයෙන් දත්මිටි කමින් කියද්දී අප්‍රියජනක සිදුවීමක පෙරනිමිති මිතුනිගේ සිතේ මැවිණි. යෙහෙළිය අපකීර්තියට පත් වෙනවාට ඇය කැමති වූයේ නැත. 
“නිතූ.. මම එදත් උඹට කිව්වා හත් පොළේ ගාගන්නෙ නැතුව හිටපන් කියලා... මං කිව්ව දේ අහන්නෙ නැතුව අර පොඩි කෙල්ලත් එක්ක අරෝවට ගිහින් අහගත්ත හරිය ඇතිනෙ.. මෙන්න වැන්දා දැන්වත් පාඩුවේ හිටපන්..” 


මිතුනි කීවේ දෑත ද එකතු කරමිනි. එහෙත් යෙහෙළියගේ දෑස් තුළ දිදුලන්නේ පලිගැනීමේ චේතනාව බැව් ඇයට නොවැටහුණා නොවේ. 
“උන් දෙන්නා අල්ලපු ගෙවල්වල නම් සමහර විට නෑදෑයොත් වෙන්න ඇති.. අනිත් එක සකුණ ටිකක් අමුතු එකෙක් කියලා මුළු ඉස්කෝලෙම දන්නවනෙ.. ඒ හින්දා ආයෙ ඕක හගිස්සන්න යන්න එපා.. ඉස්කෝලෙ පුරාම පැතිරුණොත් උඹට තමයි හොඳ නැත්තෙ..” 


මිතුනි තව දුරටත් කීවාය. 


නිත්‍යා සිටියේ අවවාදවලට සවන් දෙන මානසිකත්වයක නොවේ. ඇයට පරාජය නුහුරුය. මෙවන් ප්‍රාථමික මට්ටමේ පරාජයකට කොහොමත් ඇගේ සිත ඔරොත්තු දෙන්නේ නැත. එම නිසාම ඇය ක්‍රෝධයෙන් වියරු වැටී සිටියාය. යෙහෙළියට අවනත වන බැව් පෙන්වා මඟහැර ගියත් සකුණ මෙන්ම දිනේෂිත් තමාට අවමන් කළ බවට හැඟීම සිතින් ඉවත් කරන්නට ඇයට පුළුවන්කමක් නොවිණි. සිතට සහනයක් දැනෙන්නේ ඔවුන් දෙදෙනාටම රිදවූවාට පසුව බැව් ඇගේ සිත මුණු මුණු ගාමින් සිටියේය. 
පසුවදාත් සකුණගේ ප්‍රතිචාරයේ වෙනසක් නොවිණි. ඇය ඔහු ඉදිරියටම ගොස් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළත් ඔහු නෑසූ කන්ව යන්නට ගියේය. නිත්‍යාගේ දෙකොපුල ලජ්ජාවෙන් රතු වූයේය. එවන් අවමානයක් ඇය කවදාවත් විඳ නොතිබිණි. අවමානය තරම් ගැහැනු සිත පීඩාවට පත්කරන තවත් යමක් නැත. ඒ පීඩාවම ඇයට ලෝකයක් පෙරළන්නට තරම් මහා ශක්තියක් තිළිණ කරන්නේය. එහෙත් එක් එක් ගැහැනුන් ඒ ශක්තිය යොදාගන්නේ එක් එක් ආකාරයටය. සමහරු ඉන් සිත දැඩි කරගෙන ජයග්‍රාහී ඉලක්කයන් ලු‍හුබඳිති. සමහරු සිත මෙහෙයවන්නේ පලිගැනීමේ චේතනාව ඔස්සේය. මැදහත්ව සියල්ල දෙස බලන්නට තරම් පරිණත නොවූ සිතැති නිත්‍යා තුළ වූයේත් ඒ චේතනාවය. 
මිතුනිට පවා දැනුම් දීමක් නොකර ඇය දිනේෂි ගේ පන්තිය ඇති ගොඩනැගිල්ල දෙසට ඇවිදගෙන ගියාය. 


“අද මං මේකෙ දෙකෙන් එකක් බේරා ගන්නම්කො..” 


ඇය මුමුණා ගනිද්දීම නිසංක ඔහුගේ පන්තියට ඇරලවන්නට ගිය දිනේෂි ආපසු පැමිණෙමින් සිටියාය. ලොකු මල්ලීගේ වෙනස් වීම, අම්මාගේ තුන් මාසේ දානය, කවදාවත් නැවත මතට ලොල් නොවන බවට පොරොන්දු දුන් තාත්තා පෙර දා රැයේ නැවත මත් වී පැමිණීම ආදී බොහෝ දේවල් විසින් ඇගේ සිත බර කරනු ලැබ තිබිණි. ඇය සිටියේ ඒවා කවුරුන් හෝ සමඟ කතා කර සිත සැහැල්ලු‍ කර ගැනීමේ නොඉවසිල්ලෙනි. සේනානි සමඟ කිවහොත් ඇය අනුකම්පාව පිරුණ දෑසින් බලාගෙන සිටිනවා මිස පිළියමක් යොදන්නට දන්නේ නැත. සිත සැහැල්ලු‍ කර ගැනීමට නම් දෙඩිය යුත්තේ සකුණ සමඟය. එහෙත් දැන් එයටත් තහංචි වැටෙමින් පැවතීම ඇගේ බලවත් කනස්සල්ලට හේතු වූයේය. 
“මෙයා මොකද මෙතන කරන්නෙ..?” 


සිය පන්තිය ආසන්නයේ හොර ගල් අහුලමින් සිටින නිත්‍යා දුටු විගසම දිනේෂි මුමුණා ගත්තේ පුදුමයෙන් මෙන්ම චකිතයෙන් ද යුතුවය. 


ලබන සතියට...