මට සමාවෙන්න ලොකු දුවේ මම ආයේ බොන්නේ නෑ


යොමු වී තිබූ මානයට කිත්සිරිගේ බැල්ම දිව ගියේ සැණෙකිනි. ඒ සමඟම ඔහු තිගැස්සී ගියේය. බිම විසිරී තිබූ රටකජු ඇට අතර දෙහි ලෙලි දෙකක් ද තිබිණි. එසේ නම් එය සිහිනයක් හෝ වෙරිමතින් දුටු විප්‍රකාරයක් නොවේ. ජිනාදරී සැබෑවටම පැමිණ ගොස් තිබෙන්නේය. ඇය තමාට සැර කරමින් හිසේත්, දෙපතුලේත් දෙහි ඇතිල්ලූ අන්දම හා තමාගේ කන මිරිකා නැවත නොබොන බවට පොරොන්දු කරවා ගත් අයුරු සිහිපත් වෙද්දී ඔහුගේ සිරුර හිරි වැටී ගියේය. එහෙත් රැයේ තමා ලද අත්දැකීම් දිනේෂිට නොකියන්නට ඔහු ඉටා ගත්තේය. අම්මා පැමිණි බැව් කීවේ නම් ඇය අමන්දානන්දයට පත්වෙනවා නිසැකය. එහෙත් ඒ ආවේ ජිනාදරීගේ ආත්මය මිස සැබෑ ජිනාදරී නොවේ. ඒ බැව් දැන ගතහොත් දියණිය බොහෝ සෙයින් බියපත් වෙනවා ඇතැයි ඔහුට සිතිණි.   


“මට සමාවෙන්න ලොකු දුවේ.. මම ආයෙ බොන්නෙ නෑ..”   
දෙහි ලෙලි මෙතැනට කොහෙන්දැයි ඇය ඇසූ පැනයට පිළිතුරු දෙනු වෙනුවට ඔහු දුබල හඬකින් කීවේය. ඔහු එසේ කියන්නට ඇත්තේ නැවත නොබොන බවට අම්මාට පොරොන්දු වූ නිසා විය යුතුය. දිනේෂිගේ සිතට සැනසිල්ලක් දැනෙමින් තිබිණි. තමාට ගෙතුළට ගොස් දොර වසා ගන්නට කියා අම්මා පැමිණ තාත්තාට සාත්තු කර ඇති බැව් දෙහි ලෙලි දුටු සැණින්ම ඇය වටහා ගත්තාය. ඔහු හාන්සි පුටුවේ සතපවන්නට ඇත්තේත් අම්මා මය.   
“ඔය විදියට හරි අහළ පහළ ඉන්න අම්මා... ඒක මට ලොකු හයියක්... පුළුවන් නම් ලොකු මල්ලිගෙ හිතත් හදන්න බලන්න...”   


ඉස්තෝප්පුවට විත් බිම විසිරී තිබූ රටකජු සහ දෙහි ලෙලි දෙක අතු ගා මුල්ලකට කරමින් ඇය මුමුණා ගත්තාය. ගෙදරට කිසිවෙකු පැමිණියහොත් ඒවා දැක වැරදි චිත්‍රයක් සිත්වල මවා ගන්නට ඉඩ තිබිණි. දිනේෂි එයට කැමති වූයේ නැත. තාත්තා බීමත්ව පැමිණි බැව් දැන ගතහොත් නිසංක සහ අනුෂි ද බියට පත්වෙනවා නිසැකය. පෑලිස් සීයා බීගෙන පාරේ යද්දීත් දිවගොස් ගෙතුළ සැඟවෙන්නට ඔවුහු පුරුදුව සිටියහ.   
කිත්සිරි අද මේ ගෙදරට ආ ආගන්තුකයෙකු ලෙසින් දැඩි පිපාසය හා බඩ පපුව දැවිල්ල උහුලා දරාගෙන හාන්සි පුටුවේ දිගෑදී සිටියේ උකටලී අයුරිනි. හොද්දක, බැඳුමක සුවඳ කුස්සිය දෙසින් ඇදී එද්දී ඔහුගේ පිපාසයට කුසගින්නක් ද එක්වූයේය. එහෙත් දිනේෂි නැවත ඔහු ඉදිරියට ආවේ නැත. දරුවන්ගේ චර්යා රටා වෙනස් වී ඇති බැව් සිතෙන්නේ තමා වෙනස් වී සිටින නිසා දැයි ඔහු කනගාටුවෙන් කල්පනා කළේය. තේ වුවමනා දැයි අසන්නට දිනේෂි පැමිණ ගියා මිස ඔහු ගැන බලන්නට අනෙක් එකම දරුවෙක් වත් පිටතට ආවේ නැත. ඔහුට ආත්මානුකම්පාවක් මෙන්ම ජිනාදරීගේ සාත්තු සප්පායම් ලැබීමේ ආශාවක් ද දැනෙමින් තිබිණි.   
“ඉක්මනට කන්න..”   


“ඉක්මනට ලෑස්ති වෙන්න... පරක්කු වෙනවා... මම දැන් ලෑස්ති වෙලා කොච්චර වෙලාද...?”   
“මෙහාට එන්න ඔය සපත්තුවේ ලේස් එක ගැට ගහන්න..”   
දිනේෂි උස් හඬින් නිකුත් කළ එවන් අණපනත් වරින්වර ඇසිණි. ගෙතුළ එහා මෙහා දුවන අඩි හඬවල් ද ඇසිණි. ගෙතුළට ගොස් ලොකු දුවට උදව් කළ යුතු බැව් කිත්සිරි දැන සිටියේය. එහෙත් සිතේ ඇති වරදකාරී හැඟීමත්, තවමත් බර ගතියෙන් යුත් හිසත් විසින් ඔහු හාන්සි පුටුවෙන් නැගිටීම වළක්වාලනු ලැබිණි.   
දරුවන් පාසල් යන්නට එළියට බසිද්දිත් කිත්සිරි සිටියේ ඒ ඉරියව්වෙන්මය. පළමුව පිටතට පැමිණි සසංක ඔහු දෙස ඇස් කොනෙන්වත් නොබලා ඉක්මන් ගමනින් යන්නට ගියේය. කිත්සිරි තදින් තොල සපාගෙන ඇස් අඩවන් කර ගත්තේ බොහෝසෙයින් සිත රිදුණ නිසාය.   
“ආ... තාත්තා ඉන්නවනෙ... අපි හිතුවේ වැඩට ගිහින් කියලා...”   
කියමින් අනුෂි සහ නිසංක ඔහු අසලට එන්නට තැත් කරද්දී දිනේෂි වහා ඔවුන්ගේ අත්වලින් අල්ලා ගත්තාය.   
“තාත්තට ඔළුවෙ කැක්කුම හැදිලා නිදාගෙන ඉන්නෙ... ඇහැරවන්න එපා... අපි ඉක්මනට යමු...” ඇය කලබලයෙන් කීවාය.   


“අපි ගියාම එයා තනියමනෙ...” එසේ කීවේ නිසංකය.   
“එයාට ඇති තනියක් නෑ... අපි යමු... තව ටිකකින් ආච්චිත් එයිනෙ...” කියමින් ඇය ඔවුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන එතැනින් ඉවත් වී යනු කිත්සිරි බලාගෙන සිටියේ වේදනාවෙන් දැවෙමිනි. ඔවුන් වෙනදා මෙන් තමාගේ උකුළේ නැළවෙන්නට තරග කළේ නෑ. අඩුම වශයෙන් ඔහුට වඳින්නටවත් ඔවුහු උත්සුක නොවූහ. තමාගේම දරුවන් පවා තමාට පිටුපාන බැව් වැටහුණ විට ඕනෑම පිරිමියෙකුගේ සිතේ ඇතිවන්නේ දැඩි නොසන්සුන්තාවකි. දරුවන්ට බොහෝ සෙයින් ආදරය කරන, ඔවුන්ගෙන් තොර ලෝකයක් ප්‍රාර්ථනා නොකරන කිත්සිරිට එම සිතුවිල්ල දරා ගන්නට නොහැකි තරම් බර වූයේය.   
“ඇයි ලොකු දුවේ ඔයා නංගිටයි මල්ලිටයි මගේ ළඟට එන්න ඉඩ දුන්නෙ නැත්තෙ...!” ඔහු සොවින් මුමුණා ගත්තේය.   


කිරි බෝතලයක් ද රැගත් හීන්නෝනා ලහි ලහියේ නිවසට ආවේ කිත්සිරි විසින් කරන ලද හපන්කම ආරංචි වූ නිසාය. ගමේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ආරංචියක් පැතිරෙන්නට එතරම් වේලාවක් ගත වන්නේ නැත. කොහොමටත් හීන්නෝනාගේ නිවස සෙනඟින් තොර වන අවස්ථා අඩුය. කිරි මෙන්ම කැවිලි මිල දී ගන්නටත් පැමිණෙන්න වුන් එන්නේ වටේ පිටේ ආරංචි ද රැගෙනය.   
“ඒකනම් හොඳ ආරංචියක් නෙමෙයි අම්මා...”   
කිත්සිරි පෙරදා රැයේ හොඳටම බීමතින් පැමිණෙද්දී තමාට හමුවූ බැව් පේමසිරි වෙතින් දැන ගත් කල රේණුකා අම්මාට කීවේ කල්පනාකාරීවය. අයියා තදින් බීමට ඇබ්බැහි වී සිටි කාලයක් තිබුණ බැව් ඇය දැන සිටියාය. ඔහුගේ බීම නවත්වන ලද්දේ ජිනාදරී විසිනි. දැන් ඔහු මෙල්ල කර ගන්නට අර අසරණ දරුවන්ට පුළුවන් කමක් නැත. ඔවුන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්වෙනු ඇතැයි බිය ඇයට දැනෙන්නට විය.   
“ඒක ඇත්ත... අර ගෑනි මොන තරම් දහිරිය දාල ද ඕකගෙ ඔය බීම නවත්තා ගත්තෙ...? ආයෙ පටන් ගත්තොත් නම් ලේසිවෙන්නෙ නෑ... මම ගිහින් හොඳවයින් දෙකක් කියලා එන්නම්කො...”   
හීන්නෝනා නිවසින් පිටවූයේ කෝපයෙන් එසේ කියමිනි.   
ඇය එන විට කිත්සිරි නාගෙන, අලුත් ඇඳුමකින් සැරසී තේ කෝප්පයක් සාදමින් සිටියේය. අම්මා දුටු ඔහු තිගැස්සී ගියේය.   


“අම්මා උදේම...?”   
ඔහු ඇගේ සිනාවක් නැති මුහුණ දෙස අඩ බැල්මක් හෙළමින් විමසුවේය.   
“උදේම ආවා උඹ ඊයෙ රෑ කරපු හපන්කම ආරංචි වුණ හින්ද‌ා... ආ... මේකෙන් ටිකක් දාගෙන බීපන් ඔය සැර මැකෙන්නත් එක්ක... මම උණු කරපු කිරිවලින් ටිකක් දාගෙන ආවෙ...” කියමින් ඇය කිරි බෝතලය දිගු කළාය. අම්මා පැමිණ ඇත්තේ සියල්ල දැනගෙන බැව් වැටහුණ කිත්සිරි සෙමින් බිම බලා ගත්තේය.   
“ඇත්තටම ඇයි ඔයා එහෙම නංගියි මල්ලියි ඇදගෙන ආවේ...?”   
පෙරදා රැයේ සිට සිදුවූ සියල්ලම පාසලේ දී සකුණට කී කල ඔහු විමසුවේ එය නොමනා ක්‍රියාවකැයි අඟවන හඬිනි.   
“මම උදේ තේ දෙන්න අහන්න ගියාමත් තාත්තා ළඟින් අරක්කු ගඳ ආවා... ඔයා දන්නවනෙ පෑලිස් සීයා බීලා කෑගහගෙන යන කොටත් එයාලා බයයි... ඒ හින්දා මම තාත්තට වඳින්නවත් යන්න දෙන්නෙ නැතුව ඇදගෙන ආවා...” ඇය සිනා සෙන්නට තැත් දරමින් කීවාය.   
“ඔව්... ඒක හරි... හැබැයි ඊයෙ කිත්තා මාමා හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති නේද...?” ඔහු විමසුවේ සිනාසෙමිනි.   


දිනේෂි සෙමින් හිස සැලුවාය.   
ඔවුන් දෙදෙනා කතා කරමින් සිටියේ පාසලේ උසස් පෙළ පන්ති ඇති ගොඩනැගිල්ලේ පිටත ඇති පිහිඹියා ගස යට සිටගෙනය. උදේම සියල්ල ඔහුට කියන්නට නොඉවසිල්ලක් දැනෙමින් තිබුණේ වී නමුත් ඇය නිවසින් පිට වූයේ ඔහු යන වේලාව මඟ හරිමිනි. සකුණ හා කතාබහ කර ලොකු මල්ලීගේ සිත දූෂ්‍ය කරන්නට ඇයට වුවමනා නොවිණි. විවේක කාලයේ ඇය ඔහු සොයාගෙන ගියේ එම නිසාය. මිතුරන් පිරිසක් සමඟ කතාවේ යෙදී සිටි ඔහු ඇය දුටු විගසම ඒ සමාගමයෙන් මිදී ආවේ ඔවුන්ගේ සරදම්වලට ද ඉලක්ක වෙමිනි.   
ද්වේෂයෙන් පිරුණ නෙත් සඟලක් තමා වෙත යොමු වී තිබෙනු ඔවුන් දෙදෙනාම දුටුවේ නැත.


ලබන සතියට...