මට කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නැද්ද පොඩි නැන්දා ...’’


කලබල නොවී ජීවිතයට මුහුණ දෙන්නට ඉටාගෙන සිටියේ වී නමුත් නැවතත් සිදු වෙන්නට වූයේ දිනේෂිගේ සිත කැලඹෙන දේවල්මය. ජිනාදරීගේ තුන් මාසයේ දානය පිළිබඳ ගැටලුව නිසා කිත්සිරි සමඟ අමනාප වූ හීන් නෝනා ඔවුන්ගේ නිවසට නෑවිත් ඇරියාය. කිත්සිරි එය ගණනකට නොගත්තත් දිනේෂිට නම් බලවත් වේදනාවක් හා පාඩුවක් වූයේය. ඇය ආච්චි අම්මාට කරුණු පහදා දෙන්නට කොතෙකුත් වෑයම් කළත් එය සාර්ථක වූයේ නැත.   


‘‘මගේ පුතා තමයි... ඒ වුණාට ඔය මිත්තියා දුස්ටිකයෝ ඉන්න ගෙවල්වලට ඇවිත් අපිත් නිකම් පව් පුරවා ගන්නවා විතරයි. මට පුළුවන් විදියට මම පන්සලට දානෙ ටිකක් දෙන්නම් උඹලා මොනවා කර ගත්තත් මට කමක් නෑ... ඇය කීවේ එලෙසය.   


ඒ අනුව ඇය ස්වාමීන් වහන්සේලා පස් දෙනෙක් නිවසට වැඩමවා දානය දුන්නාය. එම අවස්ථාවට කිත්සිරිට ඇරයුම් කළේ නැත. ඔහු එය ගණනකට නොගෙන සිනාසුණත් දිනේෂි ගේ සිත පෑරිණි. මල්ලිලාටත් නංගිලාටත් එහි යන්නට ඇර දිනේෂි නිවසේ නතර වූයේ දැඩි හිසරදයක් වැළඳී ඇති බැව් කියමිනි. තාත්තාට ඇරයුම් නොලද නිවසට තමාත් යා යුතු නොවේ යයි ඇයට සිතිණි. ‘‘දානේ ටිකක් උයලා පන්සලට හරි ගිහිල්ලා දෙන්න.... හෙම කළා කියලා මම ඔයාලව දාලා යන්නේ නෑ...’’ 

 
එදින රාත්‍රීයේ බොහෝ වේලාවක් පහන ළඟ කල් මැරුවාට පසුව පැමිණි අම්මා කීවාය. එසේ කීවත් වෙන දා මෙන් දිනේෂි ප්‍රශ්න අසන තුරු නොරැඳී ඇය කලබලයෙන් නික්ම ගියේ ආච්චි විසින් දෙන ලද දානයේ අනුහසින්දැයි හැඟීම දිනේෂි ගේ සිත කීරි ගැස් වූයේය. ඇය ඒ පිළිබඳ සකුණ සමඟ ද පැවසුවාය.   


එච්චර හිතන්න එපා නංගී... අම්මා කියලනෙ තිබ්බේ එයාට හැම වෙලාවෙම එන්න බෑ. ආවත් හුඟක් වෙලා ඉන්න බෑ කියලා... නේද? ඔහු ඇසීය.   
එහෙම කිව්වානම් තමයි.... ඒ වුණාට එයා නෑවිත් ඉදියි කියලා හිතනකොට එයා මැරුණා කියලා දැන ගත්ත වෙලාවේ දැනුණ දුකටත් වඩා දුකක් දැනෙනවා.   
ඇය කිවේ සිනාසෙන්නට තැත් දරමිනි. කෑ ගසා හඬන්නට වුවමනා වුවත් සිය කඳුළු දකින්නට සකුණ අකමැති බැව් කියා තිබූ නිසා ඇය හැඬුම මැඩ පවත්වා ගත්තාය.   
අම්මා යන්නේ නෑ කිව්වනෙ. ඒ හින්දා ඔයා බය නැතුව පන්සලට දානේ ටිකක් උයලා ගිහින් දෙන්න... තනියම කරන්න අමාරු නම් අපේ අම්මට කිව්වම එයා උදව්වට එයි. ඔහු කීවේය.   
දිනේෂි හිස සලා ඔහුගේ අවවාදය පිළිගත්තාය.   
ඇය ඒ අදහස මුලින්ම ඉදිරිපත් කළේ ලොකු මල්ලීටය. මේ වන විට ඔහු ඇගෙන් මොන තරම් ඈත් වී සිටියේද යත් දිනකට වචන දහයක්වත් ඔවුනතර හුවමාරු වූයේ නැත. ඒවා පවා ඔහු කතා කළේ නොරිස්සුම් සහගතවය. එහෙත් මෙවැන්නක් සාකච්ඡා කරන්නට තරම් දැනුම් තේරුම් ඇති අයෙකු වේනම් ඒ ඔහු පමණක් නොවේදැයි දිනේෂිට සිතිණි.  
මොකක්...? දානේ උයන්න තමුසේ ?  


ඔහු විමසුවේ පුදුමයත් උපහාසයත් කැටි වූ හඬිනි. සිය අදහසට මල්ලිගෙන් වදනකින් හෝ අනුබලයක් නොලැබෙන බැව් එයින්ම ඇය වටහා ගත්තාය. ඇගේ සිත රිදිණි. එහෙත් ඇය පහසුවෙන් පරාජය බාර ගන්නට සූදානම් වූයේ නැත.   
ඔව්... මම තමයි උයන්නේ... මෙච්චර දවස් ඔයාලට උයලා කන්න දෙන්න පුළුවන් වුණා නම් මට දානේ ටිකක් උයා ගන්න බැරි ද?  
දානේ කියන්නේ ඔය තමුසේ උයනවා වගේ ඇල් වතුරයි බතුයි නෙමෙයි. බල්ලෙකුටවත් කන්න බැරි ඒවා හාමුදුරුවන්ට වළඳන්නට පුළුවන්ද?  
ලොකු මල්ලී මේ තරම් අකෘතඥ නපුරු කොල්ලෙකු වූයේ කෙසේදැයි දිනේෂිට සිතාගත නොහැකි වූයේය. ඇය වේදනාබර දෙනෙත් විදහා ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටියාය. ඇය ද තවමත් ළමා විය යන්තමින් ඉක්ම වූ දැරියකි. එහෙත් ඇය අම්මා නැති ගෙදර අම්මාගේ වගකීම එහෙම පිටින්ම බාර ගත්තාය. නිවසේ සියල්ලන්ට උයාපිහා දී ගෙදර වැඩ ද කරගෙන පාසල් යාම ලේසිපාසු කටයුත්තක් නොවුණත් ඇය කිසිදු විටෙක මැසිවිලි නැගුවේ නැත. ලොකු මල්ලී මේ හෑල්ලුවට ලක් කරන්නේ ඇගේ ඒ උදාර පරිත්‍යාගය නොවන්නේද?   


ලොකු මල්ලී මම මෙච්චර දවස් මට පුළුවන් විදියට කොහොම හරි ඔයාලගේ බඩ ගින්න නිව්වනෙ... කොහොමද ඔයා මට ඔහොම කතා කරන්නේ? ඇය විමසුවේ සුසුම්ලමිනි.   
‘‘තමුසේ හින්දා අම්මා මැරුණට පස්සේ අම්මා කරපු වැඩ ඔක්කොම තමුසෙ කරන්න ඕනැ තමයි. අනිත් එක ආච්චි දානේ දෙන්න ලෑස්ති වුණාම තාත්තයි තමුසෙයි දෙන්නම ලොකු කතා කිව්වලු. දැන් ආපහු දානේ දෙන්න ලෑස්ති වෙන්නෙ පිස්සුවටයැ..?  
ඔහුගේ හැම වචනයක් පාසාම ඇගේ සිත කීරි ගැසී ගියේය.   
මම කාටවත් කිව්ව එකක් නෑ ලොකු මල්ලී.   
ඇය විඩාබර හඬින් කියා ගත්තාය. අම්මා වෙනුවෙන් දානයක් දුන් කළ ඇය මේ පරිසරය අතැර දමා හෝ  පින්බිමකට චුත වී යනු ඇතැයි සැකමුසු හැඟීම දිනේෂි තුළ තිබූ බැව් සැබෑවකි. එහෙත් ඇය ආච්චිට එරෙහිව වචනයක්වත් කීවේ නැත.   
මට ඔය කිසිම දේකට උදව් කරන්න බෑ... තමුසේ කැමති දෙයක් කරගන්නවා.  


කියාගෙන ලොකු මල්ලී යන්නට ගිය පසුව දිනේෂි බොහෝ වේලාවක් හඬා වැටුණාය. නැවත කිසිම දිනයෙක ලොකු මල්ලීගෙන් නම් උදව්වක් නොඉල්ලනට ඇය සපථ කර ගත්තේත් ඒ මොහොතේමය. ඔහු දිනෙන් දිනම තමාගෙන් ඈත් වෙමින් සිටින බවට කටුක සත්‍ය ඇයට පිළි ගන්නට සිදු වූයේය. කෙසේ වුවත් අම්මා වෙනුවෙන් දානයක් දීමේ අදහස ස්ථීර අධිෂ්ඨානයක් වී ඇගේ සිත තුළ පැළපැදියම් වූයේය.   
දිනේෂි පසුදා ආච්චිලාගේ ගෙදර ගියේ පොඩි නැන්දා හමු වෙන්නටය. සඳසීලි නැන්දාගෙන් උදව් ඉල්ලා ගන්නා ලෙස සකුණ කීවේ වී නමුත් එයට හිත හදා ගන්නට ඇයට පුළුවන්කමක් නොවිණි. සඳසීලි නැන්දා කොහොමත් පිටස්තරයෙකි. අනෙක් අතට ඇය ගැන අම්මා විසින් සිතේ මවනු ලැබ ඇත්තේ හොඳ ප්‍රතිරූපයක් නොවේ.   
ආ.... මේ ළමිස්සිටත් අපේ ගෙවල් පෙනිලා තියෙන්නේ.  


පොඩි නැන්දා ඇනුම් පදයක් කියමින් වුවත් සිනාමුසුව ඇය පිළිගත්තාය.   
උයලා පිහලා රෙදි හෝදලා ගෙවල් අස් කරලා අතු ගාලා මල්ලිගෙයි නංගිගෙයි හෝම්වර්ක් බලලා ඉවර වෙනකොට හොඳ පණ ගිහින් පොඩි නැන්දේ... සමහර දාට මගේ හෝම් වර්ක් කරන්නේ පාන්දර නැගිටලා දිනේෂි දුක්මුසු සිනාවක් පාමින් කීවාය.   
මං දන්නවා පුතේ මම විහිළුවක් කළේ.   


රේනුකා පසුතැවිල්ලෙන් මෙන් කියමින් දිනේෂි ගේ හිස පිරිමැද්දාය. හොඳ වෙලාවට ආච්චි ගෙදර සිටියේ නැත. එම නිසාම ඇයට බොහෝ නිදහසේ සිතේ ඇති සියල්ල පොඩි නැන්දා ඉදිරියේ දිග හරින්නට පුළුවන්කම ලැබිණි. ඇය විශේෂයෙන්ම කීවේ ලොකු මල්ලී ගේ වෙනස් වීම පිළිබඳවය. එයා ඉතින් කාටත් වැඩිය අම්මට  ළංවෙලානෙ හිටියේ පුතේ. ඒ හින්දම අම්මා නැති වුණ එක එයාට දරා ගන්න බෑ. ඔයාගේ හිතත් රිද්දන්නේ ඒකයි. ඕවා ගණන් ගන්න එපා. ටිකක් කල් යනකොට හැමදේම හොඳ අතට වෙනස් වෙයි.   
පොඩි නැන්දාත් අම්මා මිය ගියේ තමාගේ වරද නිසායයි. මතය වෙනත් වචනවලින් ඉදිරිපත් කරන්නේ යැයි කහට දිනේෂි ගේ සිතේ තැවරිණි. එහෙත් තමා මිය ගියේ ආයුෂ අවසන් වීම නිසා මිස දිනේෂිගේ වරදක් නිසා නොවන බැව් අම්මා විසින්ම කියනු ලැබ තිබිණි. එය පොඩි නැන්දාට හෙළිදරව් කිරීමේ හැකියාවක් නොවිණි.   
මට කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නැද්ද පොඩි නැන්දා?  
දිනේෂි විමසුවේ හූල්ලමිනි. නැන්දා මවිතයෙන් ඇය දෙස බැලුවාය.   


ලබන සතියට...