මට අරකිට හොඳවයින් දෙකක් කතා කරන්න ඔනෑ


 

සකුණට සියල්ල පැවැසුවාට පසුව සිය සිත බොහෝ සෙයින් සැහැල්ලු‍ වූ බැව් දිනේෂිට දැනිණි. සැබැවින්ම හොඳම මිතුරිය වුවත් සේනානි සමගින්වත් මෙතරම් විවෘතව කතා කරන්නට ඇයට පුළුවන්කමක් තිබුණේ නැත. අම්මා පිළිබඳව කතා කළහොත් මිතුරියන් බියපත් වෙන්නට හෝ තමන් උමතු වී සිටින බැව් ඔවුන් සිතනවා නොඅනුමානය.

“මීට පස්සෙ කිත්තා මාමා බීලා එන එකක් නෑ කියලා මමත් හිතනවා.. කොහොම වුණත් ආච්චිට හරි කියලා එයාට අවවාද කරවන්න..” සකුණ උපදෙස් දුන්නේය. 
 “මම ආයෙ බොන්නෙ නෑ නෝනෙ කියලා ඊයෙ රෑ කෑ ගහපු විදිහට මම නම් හිතන්නෙ නෑ ආයෙ බොයි කියලා.. අම්මා පොරොන්දු කරවා ගන්න ඇති ආයෙ නොබී ඉන්න..” 
දිනේෂි කීවේ මඳ සිනාවක් පාමිනි. 
“කොහොම වුණත් ඔය වගේ දේවල් කවුරු හරි වැඩිහිටියෙක් දැනගෙන ඉන්න එක හොඳයි.. ඒ හින්දා ආච්චිට කියන්න..” 


ඔහුගේ අවවාදය පිළිගත් බැව් අඟවමින් දිනේෂි හිස සැලු‍වාය. 
එහෙත් සිය මවට පමණක්ම මිස තාත්තා ආච්චිටවත්, වෙන අයෙකුටවත් අවනත නොවන අන්දමේ හිතුවක්කාරයෙකු බැව් ඇය දැන සිටියාය. ඔහුට යමක් කරන්නට සිතුණොත් මුළු ලෝකයම එක් පසක් වී විරුද්ධ වුවත් එය නොකර අත්හැරියේ නැත. එහෙත් අම්මා නෙත් කොන් බැල්මකින් හෝ අකැමැත්ත පෑවොත් ලෝකයම එකඟ වුවත්, එය කළ යුතුම දෙයක් වුවත් ඔහු නොකර අත්හැර දැමුවේය. ආච්චි හැම විටෙකම කියන්නේ ඔහු මෙල්ල කළ හැකි මන්තරය තිබුණේ ජිනාදරී සතුව පමණක්ම බවය. 
“ඒක අර අල්ලට මතුරලා අලියන්ට පෙන්නලා උන් මෙල්ල කරනවා වගේ එකක් ද අම්මා..?” 
ආච්චි එය සඳහන් කළ දිනෙක පොඩි නැන්දා ඇසුවේ සරදමටය. ආච්චි පිළිතුරු දුන්නේ ඇය දෙස නොරිස්සුම් බැල්මක් හෙළීමෙන් අනතුරුවය. 
“නාහට නාහන පිරිමි කියන්නෙත් කුලප්පු අලි වාගෙ ජාතියක් තමයි.. උන් මෙල්ල කරන්න සුළුපටු දස්සකමක් තිබිලා මදි..” 


එදා ආච්චි කියූ කිසිම දෙයක බරක්පතලක් දිනේෂිට දැනුණේ නැත. පොඩි නැන්දා ආච්චිට නොපෙනෙන්නට ඉඟි කරමින් සිනාසෙද්දී ඇය ද ඒ සිනාවට එක් වූවාය. එහෙත් තාත්තා මෙල්ල කරන්නට මිය ගිය අම්මාගේ ආත්මයටත් හැකි බැව් මේ වන විට ඇයට තේරුම් ගොස් තිබිණි. 
දිනේෂි සකුණ සමග කතාබහ කරන ආකාරය ඉහළ මහලේ කොරිඩෝවේ මුවා වී සිටගෙන ද්වේෂයෙන් බලා සිටි නිත්යාගේ ඇස් මෙන්ම සිතත් දැවෙන්නට පටන් ගත්තේය. සකුණ නවයේ පන්තියේ කෙල්ලක සමග සම්බන්ධයක් අරඹා ඇතැයි රාවයක් කනින්කොනින් ඇසුණත් නිත්යා එය විශ්වාස කළේ නැත. ඒ දිනේෂි විය යුතු යයි ඇයට සිතන්නටවත් නොහැකි වූයේය. 


අනෙක් පන්තිවල ළමෝ ලොකුම වුවමනාවකට හැරෙන්නට උසස් පෙළ පන්ති ඇති ගොඩනැගිල්ල ආසන්නයට එන්නට පැකිළෙති. එහෙත් දිනේෂි කිසිදු බියක් සැකක් නැතිව පැමිණ ප්‍රසිද්ධියේ ඔහු සමග කතා කරමින් ද සිටියාය. ඇය එතරම් එඩිතර වූයේ සකුණගේ අනුබලය නිසා විය යුතු යයි හැඟීම ඇය වඩාත් නොසන්සුන් කළේය. 
“මේකි බලපල්ලකො.. අම්මයි නංගියි දෙන්නම මැරුණේ ඒකි කොටහළු වුණ දවසෙමලු‍.. ඒ නැකත හරිම නපුරු නැකතක් හින්දා ළඟින් ආස්සරේ කරන අයටත් යනඑන මං නැති වෙනවා කියලා අපේ අම්මා කියනවා මං අහගෙන.. ඒකි සකුණ එක්ක පැටලිලා එයාවත් අමාරුවේ දාන්න තමයි ඔය ලෑස්ති වෙන්නෙ.. ඒකට නම් මම කොහෙත්ම ඉඩ තියන්නෙ නෑ..” 


ඇය දත්මිටි කමින් කීවේ සිය යෙහෙළිය මිතුනිටය. මිතුනි පහළ පිහිඹියා ගහ යටට වී බොහෝ සැහැල්ලු‍වෙන් කතාබහ කරමින් සිටින යුවළ දෙස බැලු‍වාය. සකුණ කී යමකට දිනේෂි කෝල ලෙස හිනැහෙන ආකාරය ඇයට පෙනිණි. එය දුටුවේ නම් නිත්යාගේ කෝපය තවත් වැඩි වෙනවා නියතය. 
“ඒකිත් එසේ මෙසේ බඩ්ඩක් වෙන්න බෑ බං.. කොටහළු වුණ දවසෙම අම්මා මැරුණා නම් තව මාස තුනක්වත් ගෙවිලා නෑනෙ.. ඒ ටිකට කොල්ලෙකුත් අල්ලාගෙන..” 
යෙහෙළිය සිනාසී කියද්දී නිත්යා ඇය දෙස ද රවා බැලු‍වාය. 
“සකුණ මගේ.. මෙච්චර කල් එයා වෙනුවෙන් බලාගෙන හිටියෙ එයාව වෙන කාටවත් අයිති කරගන්න දෙන්න නෙමෙයි.. එයා වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි මට පුළුවන්..” 
ඇය නපුරු හඬින් කියද්දී මිතුනි යෙහෙළිය දෙස බැලු‍වේ තිගැස්සීගෙනය. මෙවන් වියරු පෙනුමක් ඇය කිසිම දිනයෙක නිත්යාගේ මුහුණින් දැක නොතිබිණි. 


දිනේෂිගේ තාත්තා සේවය කරන ලොරිය හිමි තිසේරා මුදලාලිගේ බාල දියණිය වන නිත්යාට රූමත්කම, ධනවත්කම පමණක් නොව ක්‍රීඩා කෞශල්‍යය ඇතුළු බොහෝ දස්කම් තිබිණි. එහෙයින්ම පාසලේ කැපී පෙනෙන චරිතයක් වුවත් ඇයට මේතාක් සකුණගේ සිත දිනා ගන්නට නොහැකි වූයේය. ඇගේ ඉඟිබිඟි හමුවේ හැඟීම් දැනීම් නැති ගලක් වූ ඔහුගේ සිත මේ පුංචි කෙල්ල ළඟ මලක් වූයේ කෙසේ දැයි ඇය කෝපයෙන් මෙන්ම ඊර්ෂ්‍යාවෙන් කල්පනා කළාය. මෙහි අගමුල සොයා ගන්නා තුරු ඇගේ සිතට නිවනක් නොවිණි. 
“වරෙන් යන්න..” 


සකුණ සමග කතා කරමින් සිටි දිනේෂි බොහෝ සැහැල්ලු‍වෙන් නික්ම යනවා දකිද්දී නිත්යා යෙහෙළියගේ අතින් අල්ලා ගත්තාය. 
“කොහෙ යන්න ද..?” මිතුනි ඇසුවේ පුදුමයෙනි. 
“මට අරකිට හොඳවයින් දෙකක් කතා කරන්න ඕනැ..” 
ඇය කෝපයෙන් දැවෙමින් කීවාය. 


“පිස්සු ද බං..? ඒකි මේ පොඩි පන්තියක කෙල්ලක්.. උන් ළඟට ගිහින් අපි පාච්චල් වෙන්නෙ මොකට ද..?” 
මිතුනි ඇය වළක්වන්නට උත්සාහ කළේ සිත හැඟු‍ම්බර අවස්ථාවල ගන්නා තීරණ පසුතැවිල්ලට හේතුකාරණා විය හැකි බැව් දන්නා නිසාය. එහෙත් යෙහෙළිය ඇගේ වදන්වලින් මෙල්ල වූයේ නැත. 
“කොහොමත් ඒකි පොඩි පන්තියේ තමයි.. අපේ තාත්තගෙ එක ලොරියක ඩ්‍රයිවර් ඒකිගෙ තාත්තා..” 
නිත්යා කතා කළේ අපහාසාත්මකවය. මිතුනිට පුදුමයක් දැනුණේ ඇය මෙතෙක් කිසිම දිනෙක සිය ධනවත්කම හුවා දක්වමින් අනෙක් අය හෑල්ලු‍වට ලක් කළ තැනැත්තියක නොවූ නිසාය. ඊර්ෂ්‍යාව හා කෝපය විසින් බොහෝ විනාශකාරී ප්‍රතිඵල උදා වෙන බැව් පහදා දෙන්නට ගියහොත් ඇය තමා සමගත් අමනාප වෙනු ඇතැයි මිතුනිට සිතිණි. එම නිසා ඇය නිහඬවම මිතුරිය අනුගමනය කළාය. 
දිනේෂි සකුණගෙන් සමු ගෙන සිය පන්ති ඇති ගොඩනැගිල්ල දෙසට යමින් සිටියේ සැනසිලිදායක මඳහසක් මුවේ ඇතිවය. මේ සැනසිල්ල සිතට දැනෙන්නේ සකුණ සමග කතා කළ විට පමණක් නොවන්නේ ද..? විවේකය ලැබුණ වහාම දිවා ආහාරය ගන්නටවත් ප්‍රමාද නොවී ඇය පැමිණියේ මල්ලිගේ පන්තියට යන බවට සේනානිටත් බොරුවක් කියමිනි. 


“දැන් සේනානිට කේන්තිත් ගිහින් ඇති.. ඉක්මනට යන්න ඕන ඉන්ටවල් ඉවර වෙන්න ඉස්සර කන්නත් එපායැ..” ඇය මිමිණුවාය. 
“තනියම හිනා වෙවී මුමුණ මුමුණා හීනෙන් ඇවිදිනවා වගේ කොහෙද මේ යන්නෙ..?” 
ගොඩනැගිල්ලේ අනෙක් පසින් පැමිණ ඇගේ මඟ හරස් කර සිට ගත් නිත්යා ඇසුවේ රළු හඬකිනි. දෑත පපුවේ බැඳ ගත් මිතුනි ද සිනාවක් නොමැති මුවින් බලා සිටියාය. තිගැස්සී ඔවුන් දෙස බැලූ දිනේෂිගේ මුවට අහිංසක හසරැල්ලක් නැඟු‍ණේ නිත්යා දැකීමෙනි. පාසලේදී නිතර හමුවන්නේ නැතත් තෙල් ගාන අවුරුද්දට තාත්තා සමග තිසේරා මුදලාලිට බුලත් දෙන්නට යන බැවින් ඇය නිත්යා ඔහුගේ දුව බැව් දැනගෙන සිටියාය. 
“නිත්යා අක්කා.. මම සකුණ අයියා හම්බ වෙන්න ගියෙ..” 


ඇගේ රූමත් මුහුණට මේ නපුරු බව ගැළපෙන්නේ නැතැයි සිතමින් වුව ද දිනේෂි සුහද හඬින් පැවැසුවාය. ඔහු හමු වීම ඇයට සාමාන්‍ය දෙයක් පමණක්ම වූයේය. 
“සකුණ අයියා හම්බ වෙන්න..? මොකක්ද ඔයාට එයත් එක්ක තියෙන ගනුදෙනුව..?” ඇය ඇසුවේ සැරෙනි. 
“මම.. මම..” ඇය අපහසුවෙන් වටපිට බැලු‍වාය. 
සකුණ හමු වෙන්නට ගියේ මන්දැයි කිසිවෙකුට කියන්නට ඇයට පුළුවන්කමක් නොවිණි. 
“කතා කරනවා..” 


නිත්යා, දිනේෂිගේ අත් දණ්ඩෙන් අල්ලා සොලවමින් පැවැසුවේ දැඩි කෝපයෙනි. 
“එපා නිතූ..” කියමින් ඇගේ අතින් අල්ලා ගත් මිතුනිගේ අත ද ඇය ගසා දැමුවාය. 


ලබන සතියට...