බ්‍රිතාන්‍ය අගමැති පුටුවට ඉන්දියානුවෙක් ?


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, එරට පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ බලයේ සිටින්නේ ‘කොන්සවර්ටිව්’ පක්ෂයයි. බොරිස් ජොන්සන් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමත් සමග පුරප්පාඩු වුණු පක්ෂ නායකත්වය වෙනුවෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් දෙදෙ‍නෙකි. ඒ හිටපු මුදල් අමාත්‍යවරයා (චාන්සල්වරයා) වූ 42 හැවිරිදි රිෂී සුනාක් සහ වත්මන් විදේශ අමාත්‍ය 47 හැවිරිදි ලිස් ට්‍රස් අතරේය. 

සුනාක් සහ ට්‍රස් අතරින්, කොන්සවර්ටිව් පක්ෂයේ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ, මහජන ඡන්දයෙන් නොව, ලක්ෂ 1.6 ක් වන කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයෙනි. සුනාක් සහ ට්‍රස් අත​රේ ඒ ඡන්ද සටන පැවැත්වෙන්නේ ලබන 5 වැනිදා ය.  


මීළඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි රිෂී සුනාක් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. ඔහු වෙනුවෙන් පටබැඳුණු නම් කීපයකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින වඩාත් සරාගී මහජන නියෝජිතයා සුනාක් බැවින්, ඔහුට ‘ටිඩිෂී රිෂී’ කියයි. එහෙත් සුනාක්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින වඩාත් සරාගී මහජන නියෝජිතයා නොව, ශරීර යෝග්‍යතාවෙන් ඉදිරියෙන්ම සිටින තැනැත්තා යැයි කීවොත් එය වඩා නිවැරදිය. රිෂී සුනාක්, පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවූ බොරිස් ජොන්සන්ගේ සමීපතමයන්ගෙන් කෙනකු විය. 


ජොන්සන්ගේ ක්‍රියා කලාපය නිසා ඔහුට පක්ෂය තුළින් අප්‍රසාදය ගොඩ නැඟෙද්දී, පළමුවෙන්ම ඔහුට විරෝධය දැක්වූයේ සුනාක් ය. ඒ නිසා ජොන්සන් හිතවාදීන් ඔහු හඳුන්වන්නේ ‘සර්ප සුනාක්’ යන නමිනි. ඒ ඔහු ජොන්සන්ට ද්‍රෝහී වූ නිසා ය. ඒ වාගේ ම සුනාක්ට ‘රිචී රිච්’ කියා නමක් ද තිබේ. ‘රිචී රිච්’ යනු 80 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ කාටූන් චරිතයකි. ඒ කාටූනය අනුව යමින් ඒ නම තැබුවද ඔහු ඇත්තෙන් ම කෝටිපතියෙකි. ධනවත්කම අතින් නම් සුනාක්ට වඩා ඔහුගේ බිරිඳ අක්ෂාතා මූර්ති ධනවත් ය. අක්ෂාතා, ‘ඉන්​ෆෝසිස්’ සමාගමේ හිමිකරු ආර්. එන්. නාරායන් මූර්තිගේ දියණියයි. ‘ඉන්​ෆෝසිස්’ සමාගමේ කොටස්වලින් 0.91ක අයිතිය ඇත්තේ ඇයට ය. ඇගේ වත්කම්වල වටිනාකම පවුම් මිලියන 700 කි. ඒ අනුව ඇය මහ රැජිනටත් වඩා පොහොසත් ය. 


2022 පක්ෂ නායකත්වය සඳහා කොන්සවර්ටිව් මන්ත්‍රීන්ගේ ඡන්දයේ වට පහෙන් ම ජය ගත්තේ රිෂී සුනාක් ය. ජූලි 20 වැනිදා පැවති පස්වැනි වටයේ දී සුනාක් 137ක් ලබා ගත්තේය. ලිස් ට්‍රස් ලබා ගත්තේ ඡන්ද 113ක් පමණය. තුන්වැනි තරගකාරිය වූ මෝඩොන්ට්ට හිමි වූයේ ඡන්ද 105කි. ඉන් පසුව දැන් අවසාන වටයට සුනාක් හා ට්‍රස් කොන්සවර්ටිව් පක්ෂ සාමාජිකයන්ගේ ඡන්දයට මුහුණ දිය යුතුයි. එහිදී පාක්ෂිකයන් එක් ලක්ෂ හැට දහසක් ඡන්දය පාවිච්චි කරන අතර එයින් ජයගන්නා තැනැත්තා හෝ තැනැත්තිය, නව බ්‍රිතාන්‍ය අගමැතිවරයා වශයෙන් පත් වෙයි. ජනතාව අතර කෙරුණු මත විමසුමකින් රිෂී සුනාක් ඉදිරියෙන් සිටියත් කොන්සවර්ටිව් පක්ෂයේ සාමාජික සාමාජිකාවන් අතර වැඩි කැමැත්තක් ඇත්තේ ලිස් ට්‍රස්ට යැයි මතයක් ඇත. ඒ නිසා ඒ ඡන්දය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. 


මේ දෙදෙනා අතර බීබීසී ‍සේවය පැවැත්වූ නායකත්ව විවාදයේ දී රිෂී සුනාක් වඩාත් කැපී පෙනුනේය. ඒ ඔහු සහජයෙන්ම ලැබූ කථිකත්වය නිසාය. ඔහුගේ හාස්‍යය හා උපහාසය මුසු කතාව ආකර්ෂණීය ය. ලිස් ට්‍රස් එසේ නොවේ. ඇය කතාවට එතරම් දක්ෂ නැත. ලිස් ට්‍රස් තමන්ව හඳුන්වා දී ඇත්තේ මාග්‍රට් තැචර්ගේ යවත්කාලීන නිර්මාණය ලෙසය. 


මේ අපේක්ෂකයන් දෙදෙනා ගැනම, මාග්‍රට් තැවර්ගේත් ජෝන් මේජර්ගේත් කැබිනට් මණ්ඩල නියෝජනය කළ මැල්කම් රිෆ්කින්ඩ් මෙසේ කියයි. ‘සුනාක් සංවේදී තැනැත්තෙක්. ඒත් ඔහු දැඩි තීන්දු තීරණ ගන්න පසුබට වන්නේ නැහැ. ට්‍රස් එහෙම නැහැ. ඇය දළදඬු තැනැත්තියක්. ඇය පරදින්න කැමැති නැහැ. ඇය කුඩා කල සිටම එහෙමයි.’ 


ආරම්භයේ දී ට්‍රස් ‘බ්‍රික්සිට්’වලට විරෝධය පළ කළ තැනැත්තියකි. ඇගේ ආකල්ප වෙනස් වූයේ බොරිස් ජොන්සන්ගේ රජයේ ඇමැතිවරියකවීමෙන් පසුවය. සුනාක්, ඊට වෙනස්ය. ඔහු බ්‍රික්සීට් සඳහා සහාය දැක්වූයේ අවුරුදු 16 දී පටන්ය. ලබන 6 වැනිදා සටනින් කවුරු ජයග්‍රහණය කළත්, ‘බ්‍රික්සිට්’ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු‍වක් මතු වන්නේ නැත. යුරෝපා සංගමය, උතුරු අයර්ලන්තය සහ යුක්රේනය සම්බන්ධයෙන් පවතින ආකල්ප වෙනස් වන්නේ නැත. නමුත් වෙනස් වන්නේ එම ආකල්පවල ස්වභාවයයි. ලිස් ට්‍රස්, විප්ලවීය කොන්සවර්ටිව් සාමාජිකාවකි. ඇයගෙන් යුරෝපා සංගමයට, පුටින්ට හෝ චීනයට හෝ කිසිම බුරුලක් නොලැබෙනු ඇත. ඇය නේටෝව සමග සමීපව කටයුතු කරනු ඇත. 


රිෂී සුනාක්ගේ සීයා සහ අත්තම්මා මුලින් ඉන්දියාවේ පන්ජාබයේ සිට අප්‍රිකාවට සංක්‍රමණය වූවෝ වෙති. සුනාක්ගේ පියා වෛද්‍යවරයකු වන අතර මව ඖෂධවේදිනියකි. ඔවුන් එක්සත් රාජධානියට සංක්‍රමණය වූයේ 1960 දශකයේය. විදෙස්ගත වන ඉන්දීය පවුලක් සාමාන්‍යයෙන් කරන අයුරින්, සුනාක්ගේ මාපියෝ ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූහ. ‘මාගේ අම්මා, තාත්තා ලොකු කැප කිරීම් ගොඩක් කළා. මට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෑ නිසා. ඔවුන් මාව ඇතුළත් කළා හොඳම පාසල්වලට.’ සුනාක් මෙසේ පවසන්නේ, මාපියන්ට තුති පුදමිනි. හොඳ දරුවකු වෙමින් සුනාක් අධ්‍යාපනය වෙනුවෙන් කැප විය. මහන්සියෙන් ඉගෙන ගත්තේය. ඒ අතර අවන්හලක වේටර්වරයකු ලෙස රැකියාව කරමින්, අමතර මුදලක් ද උපයා ගත්තේය. සුනාක්, වින්චෙස්ටර් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ අතර, ඔහුට එහිදී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමි විය. 


සුනාක්ට ඔහුගේ බිරිඳ වූ අක්ෂාතා මූර්ති හමුවූයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදීය. සුනාක්ගේ උච්චාරණ විලාසය බ්‍රිතාන්‍යයේ සුදු ජාතික වැසියකුගේ මෙනි. ඒත් ඔහුගේ මුහුණ, සමේ වර්ණය සහ සංස්කෘතිය ඉන්දියානුය. හින්දු භක්තිකයකු නිසා භගවත් ගීතාවට අනුව ජීවිතය ගත කරන සුනාක්, ගව මස් අනුභව නොකරයි. එසේ වුවත් බේකන් අනුභව කිරීමට ප්‍රිය කරයි. පාපන්දු ක්‍රීඩාවට ප්‍රිය කරයි. ‘මා හින්දු භක්තිකයෙක්.’ සුනාක් කියයි. ‘‘සති අන්තයේ මා කෝවිලට යනවා. ඒ වගේමයි මා පාපන්දු තරගවලට යනවා.’ 
බ්‍රිතාන්‍ය අගමැතිවරුන් බිහි කිරීමෙහි ලා නමක් දිනූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දී, ඔහුගේ මිතුරන් නිතරම විහිළු කළේ සුනාක්ට අනාගතයේ කොන්සවර්ටිව් පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් වීමට සුදුසුකම් ඇති බවය. ඒත් සුනාක්ට එය විහිළුවක් වූයේ නැත. කෙසේ වුවත් සුනාක් මුලින් ම ආයෝජන බැංකුකරුවකු ලෙස රැකියාව ඇරැඹීය. 2015 වසරේ දී කොන්සවර්ටිව් පක්ෂ බළකොටුවක් ලෙස සැලෙකන උතුරු යෝක්ෂයර් ප්‍රාන්තයේ රිච්මන්ඩ් අසුන දිනා ගනිමින් සුනාක් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ භගවත් ගීතාවට අත තබමිනි. 


එහිදී ඔහු අතින් පරාජයට පත් වූ හිටපු බ්‍රිතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග්, සුනාක් වර්ණනා කරමින් පවසා ඇත්තේ ‘ඔහු සුවිශේෂී තැනැත්තකු’ බව ය. ධනවතකු වීම නිසා සුනාක්ගේ චරිතය ඝාතනය කිරීමට ප්‍රතිවාදී කම්කරු පක්ෂය උත්සාහ ගත්තේ, සුනාක් බදු වංචා සිදු කළේ යැයි චෝදනා නඟමිනි. කෙසේ නමුත් භාණ්ඩාගාරය තීන්දු කළේ සුනාක් කිසිදු වැරැද්දක් කර නොමැති බවය. එසේ වුවත් ඇමෙරිකන් ග්‍රීන් කාඩ්පතක් තිබීම වසං කිරීම හේතුවෙන් සුනාක්ගේ නාමයට කැළැලක් එල්ලවීමට පටන් ගත්තේය. අවසානයේ සුනාක්ට එය පිළිගැනීමට සිදුවිය. සුනාක්ගේ බිරිඳටත් චෝදනා එල්ල වූයේ ඇය ඇයට හිමි වාර්ෂික ආදායම වන ඩොලර් මිලියන 11 වෙනුවෙන් බදු ගෙවීම් පැහැර හැරිය බවටය. එම චෝදනා මග හැරී ගියේ ඇය ඩොලර් මිලියන දෙකක බදු මුදලක් ගෙවීම් කළ බැවිනි. 


සුනාක් පවුලේ කතාව සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ පදිංචියට ආ සංක්‍රමණික පවුලක කතාවක් මෙන් නොවේ. ඊට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ගේ වත්කම් ධනවත් බ්‍රිතාන්‍ය සුදු ජාතිකයන්ට වඩා වැඩිය. සුනාක් පවුලට රිච්මන්ඩ්හි මන්දිරයක් තිබේ. ලන්ඩනයේ දකුණු කෙන්සින්ටන්හි කාමර 5කින් සමන්විත සුඛෝපභෝගී මහල් නිවාසයක් ඔවුන් සතුව ඇත. එපමණක් නොව කැලි​ෆෝනියාවේ සැන්ටා මොනිකාවේ මුහුද අද්දර මන්දිරයක් ද තිබේ. 


බොරිස් ජොන්සන්ගේ රජයේ මුදල් ඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී ඔහු ජීවත් වූයේ ඩවුනිං වීදියේ අංක 11 දරන නිල නිවසයෙහිය. අගමැති ජොන්සන් ජීවත් වූයේ එහි අංක 10 දරන අගමැති නිල නිවසෙහිය. යම් හෙයකින් රිෂී සුනාක් ජය ගතහොත් ඔහු ඊළඟට යන්නේ එම නිවසටය. එවිට ඉන්දියානු සම්භවයක් ඇති හින්දු භක්තිකයකු බ්‍රිතාන්‍ය අගමැති පදවියට පත්වන පළමුවන වතාව එය වනු ඇත. 


‘ද වීක්’ ඇසුරිනි.

 

 

 සටහන : 
ලු‍සිත ජයමාන්න