බවුසර් පිටින් පන්නලා CPC එක ගහන සුපිරි ගේම


 

 

  • ආරක්ෂක අංශයෙන් බවුසර් වංචාව ඇල්ලු‍වම තෙල් පිටකිරීමේ ඉන්වොයිස් ආරක්ෂක අංශවලට ලබානොදීමේ තීරණයක්
  • තෙල් සංස්ථාවේ පරිගණක පද්ධතිය අදටත් පාලනය කරන්නේ ඉන්දියානු සමාගමක් 

 

තෙල් සංස්ථාවේ ඉන්ධන නිකුත් කිරීමේදී පැහැදිලි ක්‍රමවේදයක් තිබේ. දැනට මාස එක හමාරකට පෙර තිබුණේ පිරවුම් හලකට ඉන්ධන ගිය පසු චෙක් එක ලබාදීමේ ක්‍රමයකි. එහෙත් පසුව ක්‍රමයක් හැදුවේ සල්ලි ගිණුමට තැන්පත් කළ පසු තෙල් ලබාදීමය. මේ මොන ක්‍රමයට ඉන්ධන යැව්වත් ඇණවුම් කළ තැනට ඒවා යන්නේ නැත්නම් ආපසු කොළොන්නාවට හෝ මුතුරාජවෙලට ගෙන ආ යුතුය. එසේ නොමැතිව වෙනත් තැනකට එම තෙල් බෑමට බැරිය. එසේ වෙනත් තැනකට බෑමට අවසර දෙන්නේ කිලෝමීටර 150-200 දුර ගියපසු ආපසු ගෙන ඒම අපහසු නම් පමණි. එයද තෙල් ඇණවුම් කළ තැනක් ළග ඇත්නම් විශේෂ අවසරයකිනි. එසේ නොමැතිව තමන්ට ඕනැ තැනකට තෙල් බෑමට බැරිය. 

 

එහෙත් තෙල් සංස්ථාවේ ඇතැම් අය මේ ක්‍රමවේද බිඳ දමා තෙල් බවුසර් පිටින් හොර පාරෙන් විකුණන ජාවාරමක් තිබෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් තෙල් ඇණවුම යවන්න ඕන තැන ඉන්වොයිස් එක යම් හේතුවක් නිසා ඉරී ගිය විට එය අවලංගු කොට ඊට හේතුව ලියා පළමු ඉන්වොයිස් එක එතැන තියාගෙන නැවත පෙර අංකයටම ඉන්වොයිස් එකක් නැවත මුද්‍රණය කරයි. එය රීප්‍රින්ට් එකකි. 


මෙලෙස ලබා ගන්නා රීප්‍රින්ට් ඉන්වොයිස් එකට යැවිය හැක්කේ එක බවුසරයක් පමණි. නැත්නම් එක තෙල් ලෝඩ් එකක් පමණි. මුල් පිටපතට යැව් තෙල් බවුසරය කොහේටද ගිහින් කියා නැවත එම අංකයට රීප්‍රින්ට් එකක් මගින් තෙල් ලෝඩ් එකක් යැවීමට ද බැරිය. එය තෙල් සංස්ථාවේ සිටින ඉහළ නිලධාරියෙකුට ද යැවීමට අවසර නැත. යැවිය හැක්කේ මුල් පිටපත ගෙනත් දී එය අවලංගු කොට සිදු වෙන නීතිමය ක්‍රමවේදය යටතේ පමණි. 

 

 


 

පාර්ලිමේන්තුවට යවන්න කියා ඉන්වොයිස් කරලා ඩීසල් බැරල් හයක් පැලවත්තට යවලා

- ආනන්ද පාලිත

 

 



එහෙත් එම ක්‍රමවේදය උල්ලංඝණය කරමින් රීප්‍රින්ට් ඉන්වොයිස් මගින් ඉන්ධන බවුසර් පිටින් විකිණීමක් ගැන පසුගිය කාලයේ තෙල් සංස්ථාවෙන් වාර්තා වුණි. එම හොරකම ආරක්ෂක අංශ පහළම නිලධාරීන් මගින් අල්ලා ගනු ලැබුණි. උදේම එක තෙල් ලෝඩ් එකක් ගිය අංකයටම දවල් වී තවත් තෙල් බවුසරයක් යැවීම හරහාය. එසේම එම වේලාවේ රාජකාරියේ සිටියේ එකම ආරක්ෂක නිලධාරියෙකු නිසා මේ හොරේ අල්ලා ගැනීමට හැකි විය. එම වේලාවේ වෙනත් ආරක්ෂක අංශ සාමාජිකයෙකු සිටියේ නම් එකම අංකයට කලින් තෙල් ලෝඩ් එකක් ගියා කියා දන්නේ නැත. ඊට හේතුව රාජකාරි මාරු වෙන විට ඉන්වොයිස් ටික වෙනත් පෙට්ටියකට දැමීම නිසාය. මේ නිසා අලු‍තින් රාජකාරියට එන නිලධාරියා එකම අංකයට තෙල් ගිය බව දන්නේ නැත. එය පරීක්ෂා කිරීමට ඔහුට ලියවිල්ලක්ද නැත. එසේම හොරට දෙන රීප්‍රින්ට් එකද මුල් ඉන්වොයිස් එක ලෙසම මුද්‍රණය කර ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙවැනි ලෝඩ් අටක ඉන්වොයිස් හසු වී ඇත. මේ වනවිට මෙට්‍රික් ටොන් 33,000 ලෝඩ් අටක් හොර පාරෙන් විකුණා ඇති බවට තොරතුරු තිබෙන බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 


මේ තෙල් ජාවාරම පිටුපස තෙල් සංස්ථාවේ බෙදාහැරීම් අංශය, ක්‍රියාකාරී අංශය, ඇණවුම් අංශය සෘජුවම සම්බන්ධ බව ආනන්ද පාලිත මහතා පවසයි. මන්ද රීප්‍රින්ට් එකකින් තෙල් ලෝඩ් එකක් පහළ නිලධාරියෙකුට යැවීමට බැරිය. ඒ සඳහා ඉහළ නිලධාරීන්ගේ සහය ලැබිය යුතු බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙම තෙල් ජාවාරම අල්ලා ඒ ගැන හිටපු සභාපතිට පැමිණිලි කළ පසු ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ ගැන කළ විමර්ශනයකදී තෙල් සංස්ථාවේ ඇතැම් ලොක්කන් පෙන්වීමට උත්සහ කළේ අත්වැරදීමකින් මේ දේ වුණ බවය. අත් වැරදීමකින් එසේ තෙල් යැවීමට බැරිය. මීගොඩ පොලිසිය වැටලීමක් කොට ඇල්ලු‍වේ එලෙස හොර පාරෙන් පැන්නූ තෙල් බවුසරයකි. ත්‍රිකුණාමලය චීන වරායට යැවීමට තිබෙන ඩීසල් ලෝඩ් එකක් ඇල්ලු‍වේ කොළඹ වරාය නගරයෙනි. කොළොන්නාව කලාප දෙකේ තිබූ මෙට්‍රික් ටොන් 33,000 දැවි තෙල් හොර ලෝඩ් දෙක පසුදින හරි බිල් දමා නියම තැනට යැව්වේ මේ හොරකම හසුවීම නිසා බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
මේ ආකාරයට ඇතැම් නිලධාරීන් කොල්ල කන්නේ මෙරට මහජන මුදල්‍ ය. මෙරට ඩොලර් සම්පතය. මේ ආකාරයටම මුතුරාජවෙල ගබඩා පර්යන්තයෙන්ද ඉන්ධන ලෝඩ් රීප්‍රින්ට් හරහා එළියට ගොස් ඇති බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ හොරකමේ නිරත අයට අද වෙනතුරු කිසිඳු නීතිමය පියවරක් ගෙන නැත. සිදු වූයේ ලිපිකරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීම පමණි. නැත්නම් කළේ මාරුවීමක් පමණි. මේ ගැන මුලින්ම මාධ්‍ය හරහා වාර්තාවීමත් සමග මුතුරාජවෙල සිටි ප්‍රවාහන කළමනාකරු කොළොන්නාවට දැම්මේය. කොළොන්නාවේ සිටි ප්‍රවාහන කළමනාකරු මුතුරාජවෙලට මාරු කළ බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
මෙම තෙල් නිකුත් කිරීමේ පරිගණක ක්‍රමවේදය දුන්නේ ඉන්දියාවෙනි. කිසිම ආයතනයක් තමන්ගේ තරගකාරී සමාගමකින් කිසිම දෙයක් ගන්නේ නැත. අපේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුන භාවිත කරන්නේ ඒ ඒ අයට වෙන් වූ පරිගණක ක්‍රමවේදය. නමුත් තෙල් සංස්ථාවේ එසේ නැත. මුළු පද්ධතියම ගත්තේ ඉන්දියාවෙනි. ඒ අප අයි.ඕ.සී. සමාගම සමග තෙල්වලට තරග කරන පසුබිමක් තුළය. අප මේ පද්ධතිය ගෙන එය පුහුණු කිරීමට රුපියල් 50,000 සිට ලක්ෂ දෙක දක්වා ගෙව්වේ එම සේවකයින් ලබන වැටුපට අමතරවය. එම මුදල වසර එක හමාරක් දෙකක් ගෙව්වේය. අද වෙන විටත් තෙල් සංස්ථාවේ පරිගණක පද්ධතියේ මාස්ටර් කී එක තියෙන්නේ ඉන්දියාවේ සමාගම සතුවය. මෙහි ඇති භයානකකම වන්නේ තෙල් සංස්ථාව සතු සියලු‍ මූල්‍ය තොරතුරු එම සමාගමට මේ මොහොතේද ලබාගැනීමට හැකි වීමය. නමුත් තෙල් සංස්ථාවට චීන වරායේ ඇති තෙල් ප්‍රමාණයවත් දැන ගැනීමට මෙම පරිගණක පද්ධතිය හරහා බැරිබව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙම පරිගණක පද්ධතියේ එහි රහස්‍ය අංකය මාරු කරන සෑම විටම ඩොලර් ලක්ෂයක් ගෙවිය යුතුය. එසේම මෙම පද්ධතිය සෑම මාස තුනකට සැරයක් සේවා සැපයීම සඳහා රුපියල් බිලියන 250ක් ගෙවිය යුතුය. මෙම පද්ධතියේ රහස්‍ය අංකය හැමෝම සතුව නැත. එය ඇත්තේ වගකිවයුතු නිලධාරීන් සතුව පමණි. එසේ නම් මෙම පද්ධතිය උපයෝගී කරගෙන රීප්‍රින්ට් මගින් තෙල් බවුසර් පැන්නීමේ ජාවාරම යෙදී ඇත්තේ තෙල් සංස්ථාවේ වගකිවයුතු අය විසින්ම බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 


මෙම ක්‍රියාදාමය පිටුපස මීට පෙර පුද්ගලික බවුසර් සඳහා වැඩිපුර ගෙවීම් කළ බවට චෝදනා එල්ල වූ අයද සිටින බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක් නැත. නමුත් දැන් එම චෝදනා එල්ල වූ අය තෙල් බෙදා හැරීමේ ක්‍රියාදාමය පිටුපසද සිටින බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. එසේම වාරියපොළ ප්‍රදේශයේදී කාන්තාවකට බවුසරයකින් තෙල් කෑන් බෙදාහැරිය අයද මේ පිටුපස සිටින බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙට්‍රික් ටොන් 33,000 ටැංකි රථවලට ඇණවුම් දෙන්නේ එම කෙනාම බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 

 

  • හොරකම නතරකළා කියා පෙන්වන්න ලිපිකරුවන් දෙන්නෙකුගේ වැඩ තහනම් කරලා 
  • අපේ තෙල් සංචිත තියෙන සල්ලි ප්‍රමාණ ඉන්දියාව දන්නවා
  • තෙල් සංස්ථාවේ වගකිව යුතු 
  • නිලධාරීන්ගෙන් උත්තර නෑ


CRN ක්‍රමය යටතේ තෙල් බවුසර් 300-400ක වංචාවක් සිදු වී තිබෙන බව ආනන්ද පාලිත මහතා පවසයි. මෙය සිදුවෙන්නේ මුතුරාජවෙල සහ කොළොන්නාවෙන් බවටද ඔහු පවසයි. තෙල් ඇණවුම් කරන කෙනාගේ නමට කියා මෙම පර්යන්ත දෙකෙන් පිටවෙන බවුසර් යන්නේ වෙනත් දිහාවකට බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මෙය සිදු වූයේ තෙල් ලබාදීමේ ලැයිස්තු ලබාදීමට ඇමැතිවරයා හඳුන්වා දුන් ඇප් එක හරහාය. තෙල් ඇණවුම් කරන ඉන්ධන හලට තෙල් නොයා වෙනත් තැනකට තෙල් යවන කළුකඩ ජාවාරම ජයටම සිදු විය. මේ තෙල් ජාවාරම බිහි කළේ තෙල් සංස්ථාවම බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ ජාවාරම් නතර කිරීමට හෝ ඒ ගැන පරීක්ෂණයක් කිරීමට කිසිදු බලධරයෙක් ක්‍රියා නොකරන බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. මේ නිසා අදටත් තෙල් ජාවාරම මහ පරිමාණයෙන් ජයටම සිදුවෙන බවද ඔහු පෙන්වා දෙයි. 
මේ රටේ ජනතාව පෝළිම්වල හිටියේ පෝළිම්වල මැරුණේ හරි තැනට තෙල් ටික නොයවපු නිසාය. නැවේ තෙල් තියෙනවා. ගබඩාවේ තෙල් තියෙනවා. ඇමැතිට තෙල් තියෙනවා. නමුත් පිරවුම්හලේ තෙල් තිබුණේ නැත. බියගමට එක දිගට තෙල් ගියේ තෙල් ඇණවුම් කළ කර්මාන්ත ශාලවක් හෝ නැතිවය. තෙල් ජාවාරම් කළා කියා තෙල් ලීටර 5-10 එකතු කළ ත්‍රිවීල් රියැදුරන්ව ඇල්ලු‍වා. නමුත් 33,000 බවුසර් පිටින් හොරෙන් පන්නපු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නැති බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 
එනිසා රීප්‍රින්ට් එකෙන් මෙන්ම CRN එකෙන් හොරකම් කළ තෙල් ප්‍රමාණ අදාළ දත්ත පරීක්ෂාවෙන් ලබාගැනීමට පුළුවන. රහස් පොලිසියට මේ ගැන සොයා බැලිය හැකිය. නමුත් බලධාරීන් තෙල් ජාවාරම සොයනවා වෙනුවට දැන් අලු‍ත් වැඩක් කොළොන්නාව බෙදා හැරීම් කළමනාකරු පටන් ගෙන තිබේ. කොළොන්නාව බෙදා හැරීම් කළමනාකරුගේ අත්සනින් යුතු ලිපියක් ආරක්ෂක කළමනාකරු වෙත යවා ඇත. ඒ එම ලිපියේ පිටපත් මුදල් කළමනාකරු, සහකාර බෙදාහැරීම් කළමනාකරු, සියලු‍ම ගබඩා අධිකාර මහතුන්ට ද යොමු කරවමිනි. 


එම ලිපියේ සඳහන් පරිදි ආරක්ෂක අංශවලට දොරටු පිටපත් නැත යනුවෙන් සඳහන් කරමින් හේතු කාරණාද පැහැදිලි කරවමිනි. දැන් හොරකම පැහැදිලිය. ආරක්ෂක අංශවලට අදාළ පිටපත් එන විට හොරෙන් බවුසර් පැන්නවීමට බැරිය. එමනිසා හොරකම නතර කරනවා වෙනුවට ඒ ගැන සොයා බලනවා වෙනුවට තෙල් සංස්ථාව කරන්නේ හොරකම අල්ලන තැන්වලට බලපෑම් කිරීම බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. තවද මෙම තීරණය ගෙන ඇත්තේ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් ගත් තීරණයක් අනුව නොවේ. මෙම තීරණය ගෙන ඇත්තේ කොළොන්නාව බෙදා හැරීම් කළමනාකාරවරයාය. ගබඩාවෙන් පිටවෙන භාණ්ඩයක් පරීක්ෂා කිරීම හෝ ඊට අදාළ ඉන්වොයිස් සහ ගේට්පාස් පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශවලට එපා කියා කීමට තරම් බලයක් බෙදාහැරීම් කළමනාකරුට ලැබුණේ කෙසේද යන්න ගැටලු‍වක් බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 

 


කොළොන්නාව බෙදා හැරීම් අංශයේ ආයතනයේ වාහනවලට තෙල් ගැසීමට වෙනම පොම්පයක් ඇත. පවතින තෙල් අර්බුදය හමුවේ ඉන් අත්‍යවශ්‍ය සේවා නොවෙන තෙල් සංස්ථාවේ සේවකයිනුත් නොවන බාහිර අයට තෙල් ලබාදීම සිදු විය. ඒ එන අයට තෙල් ලබාදීමේදී ඔවුන් සල්ලි බඳින තෙල් ප්‍රමාණයම වාහනයට වදින්නේ නැත්නම් ඉතිරි මුදල හෝ තෙල් ටික සංස්ථාවෙන් ආපසු ලබා දෙන්නේ නැත. ඒ සඳහා නීතියක්ද දමා ඇත. ඉන්වොයිස් එකේ ප්‍රමාණයට තෙල් වැදුනේ නැත්නම් ඉතිරි මුදල ආපසු ලබා නොදෙන බව කියමිනි. එසේ නම් තෙල් සංස්ථාව සතුව වැඩිපුර තෙල් ඇත. තෙල් සංචිත පරීක්ෂා කිරීමේදී මේ තෙල් ප්‍රමාණ වැඩිපුර පෙන්විය යුතුය. නමුත් එසේ වෙන්නේ නැත. ගබඩාවේ පොත්වල සහ ටැංකිවල තෙල් ප්‍රමාණ හරියට ගැලපෙයි. අඩුවක් නැත. සංස්ථාවේ ඇතැම් අය හොර රහසේ ලීටරය රුපියල් 1500-2000 වැඩි මිලට මේ වැඩිපුර ඉන්ධන විකුණා ඇති බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. වටේ වහගත්ත ලොරිවලින් පැමිණ එම තෙල් ගබඩාවෙන් පටවාගෙන යන බව ආනන්ද පාලිත මහතා පවසයි. මේ වංචාව ලොකු තැන්වල සිටම සිදුවෙන බව ඔහු පෙන්වා දෙයි. 


මේ හොරකම ද ආරක්ෂක අංශ මගින් අල්ලා ගනු ලැබීය. එම තෙල් බැරල්වලින් ටැංකිවලට හලනු ලැබීය. නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට ඩීසල් යවන්න ඕනැ කියා බැරල් හයකට නැවත ඩීසල් පුරවා යවා ඇත. ඒ ඉන්වොයිස් එකක් හරහාය. එම තෙල් පාර්ලිමේන්තුවට ගොස් නැත. ගොස් ඇත්තේ පැලවත්ත ප්‍රදේශයට බව ආනන්ද පාලිත මහතා පෙන්වාදෙයි. මෙම ජාවාරම කරන අය ඇල්ලීමට පුළුවන. නමුත් ඒ සඳහා බලධාරීන් සූදානම් නැති බවද ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 


තෙල් සංස්ථාවේ තෙල් තොග අඩු වූ විට එම තෙල් තොග වහන ක්‍රමයක් තිබේ. ඒක හරි අපූරුය. තෙල්වල උෂ්ණත්වය අනුව එහි වාෂ්ප වීම සිදු වෙයි. මෙය ශීත කාලයකට එක් අගයකුත් උෂ්ණ කාලයට එක් අගයකුත් ගනී. නමුත් මුතුරාජවෙලට හොඳට පායන කාලයෙදීත් තිබී ඇත්තේ එම ප්‍රදේශයට වහින කාලයේ පවතින තෙල් උෂ්ණත්වයයි. ඒ කියන්නේ හොරෙන් තෙල් එළියට ගිය නිසා තෙල් ප්‍රමාණ බැලන්ස් කොට ඇත. මේ පිළිබඳව චෝදනා 29ක් එල්ල වූ නිලධාරියා ආරක්ෂා කළේ ඉහළ නිලධාරීන් විසින් බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. කොළොන්නාවේ සිට බ්ලුූමැන්ඩල් වලට එන විට එම නළවල 26 තැනකින් තෙල් කාන්දු වීම සිදු විය. එම කාන්දුවීම 57 වතාවකට වඩා සිදු විය. නමුත් කොළොන්නාවේ තෙල් පරීක්ෂා කිරීමේදී එහි තොග ප්‍රමාණ හරියටම හරිය. නැවේ ප්‍රමාණයම කොළොන්නාවේ ගබඩාවේ තිබුණි. මෙම තෙල් කාන්දුව නිසා ඩීසල් පෙට්‍රල් ජනතාව රැගෙන ගියේ මහ පරිමාණයෙනි. නමුත් තෙල් තොග ප්‍රමාණ හරියටම තිබුණි. කොළොන්නාව අංක 31 ටැංකියේ තෙල් බන්ට් එකක් පිරෙන්න කාන්දු විය. නමුත් තෙල් තොග හරියටම ඇත. එසේ වෙන්නේ කෙසේද යන්න ගැටලු‍වක් බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. එම නිසා මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාප ගැන සොයා බැලිය යුතු බව ආනන්ද පාලිත මහතා පෙන්වා දෙයි. 

 

  • CRN ක්‍රමයට මුවාවෙලා තෙල් සංස්ථාව බවුසර් 300-400ක් හොරෙන් විකුණලා
  • 33,000 බවුසර් අටක් හොරෙන් විකුණලා

 

 

තෙල් සංස්ථාවේ වගකිව යුතු නිලධාරීන්ගෙන් උත්තර නෑ

අප මේ සියලු‍ කාරණා ගැන දැන ගැනීමට තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට කතා කළෙමු. ඉන්පසු එහි නිලධාරිනියක පවසා සිටියේ බෙදා හැරීම් අංශය වෙත කතා කරන ලෙසය. පසුව අප බෙදා හැරීම් අංශයේ 0112532122 සහ 0112572307 අංකවලට ගත්තත් දුරකථනය ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. පසුව අප ගිණුම් අංශයේ 0115455455 සහ 0115455188 අංකවලට ගත්තද දුරකතනය ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඉන් පසු අලෙවි අංශයේ දුරකතන අංක 01154554555 යොමු අංක 6 යන අංකවලට ගත්තද ප්‍රතිච​ාර නැත. 


මේ සියලු‍ කාරණා ගැන දැන ගැනීමට තෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතාට කතා කිරීමට 0773850*** අංකයට ගත්තද ඊටද ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට කතා කිරීමට ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ගත්තද ඊටද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

 

 
 
සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක