පෝට් සිටි හදා දියුණු වූ රටවල්


කොළඹ වරාය නගරය රටම බලා සිටින දැවැන්ත ව්‍යාපෘතියකි. ඊට හේතුව එමගින් රටේ අතිවිශාල සංවර්ධනයක් අපේක්ෂා කිරීමය. අපේක්ෂිත ඒ දියුණුව අත්පත් කර ගැනීම සඳහා එහි එන ආයෝජකයන්ට සුවිශේෂ වරප්‍රසාද පිරිනමයි. ලංකාව එතෙක් වැඩිම වරප්‍රසාද පිරිනමා තිබුණේ උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතට වැටෙන ආයෝජන සඳහාය. ඒ ආයෝජකයන්ට පිරිනැමූ උපරිම බදු නිදහස් කාලය අවුරුදු 25කි.  

එහෙත් වරාය නගරයට එන ආයෝජකයන්ට පිරිනමන බදු නිදහස් කාලය අවුරුදු 40කි. ඒ අනුව වරාය නගරයට එන ආයෝජන සම්බන්ධයෙන් අවුරුදු 40ක් යනතුරු ප්‍රබල පනත් රැසක් ක්‍රියාත්මක නොවෙයි. දේශීය ආදායම්, වැට් බදු, මුදල්, නිෂ්පාදන බදු, ආර්ථික සේවා ගාස්තු, හර බදු, රේගු, ජාතිය ගොඩනැගීමේ බදු, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු, අපනයන සංවර්ධන, ඔට්ටු ඇල්ලීමේ හා සූදු බදු, විනෝද බදු, කැසිනෝ ව්‍යාපාර, විදේශ විනිමය හා සේවකයන්ගේ කියා අවසන් කිරීමේ පනත යනාදි නීති රැසක් වරාය නගරයේ ආයෝජකයන් සම්බන්ධයෙන් අවුරුදු 40ක් යනතුරු ක්‍රියාත්මක නොවෙයි.   


රටට හා රජයට මහා පරිමාණයෙන් ආදායම් උපයා දෙන පනත් රැසක් ක්‍රියාත්මකවීම එසේ අත්හිටුවන්නේ වරාය නගර විශේෂිත ආර්ථික කලාපයට ලොව ධනවත් බිලියනපති ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාය. රජය අපේක්ෂා කරන්නේ දැවැන්ත ආයෝජනය. දැවැන්ත බදු සහන දෙන්නේ එහෙයිනි. බදු සහන පමණක් නොව ආයෝජන සඳහා තිබෙන ක්‍රමවේදයද ඉතා පහසුය. උපාය මාර්ගික සංවර්ධන පනත යටතට වැටෙන ආයෝජනවලට බදු සහන දීම් සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතියට අමතරව පාර්ලිමේන්තුවේ අනුමැතියද අවශ්‍ය වෙයි. එහෙත් වරාය නගර විශේෂිත ආර්ථික කලාපයේ ආයෝජකයන්ට අදාළ සහන පිරිනැමීමට අවශ්‍ය වන්නේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය පමණකි. එමගින් රජය ආයෝජකයන්ට දෙන පණිවිඩය වන්නේ ඒ ආයෝජන අනතුරු රහිත බවය. සුරක්ෂිත බවය. සරලව කිවහොත් කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපය බදුවලින් තොර කෙම් බිමකි. ‘ටැක්ස් හෙවන්’ එකකි.   


දියුණු වෙමින් පවතින අපේ රටවල පමණක් නොව දියුණු ඇමෙරිකාවේද බදුවලින් තොර කෙම්බිම් (Tax Haven) පවතී. ඇමෙරිකාවට අයිති වර්ජින් අයිලන්ඩ් ඊට එක් නිදසුනකි. එය ඉතා ලස්සන කැරිබියන් දූපතකි. බොහෝ දෙනා එහි යන්නේ විනෝදයටය. ඇමෙරිකාවේ නිව්යෝර්ක්වලට උඩින් පිහිටි පුංචි ප්‍රාන්තයක් වන ඩෙලවෙයාර් ද සාපේක්ෂව ටැක්ස් හෙවන් එකකි. එහි භාණ්ඩ හා සේවා බදු නැත. දේපළ බදු නැත. වත්කම් බදු නැත. ඒ නිසා බොහෝ ඇමෙරිකානුවෝ ඩෙලවෙයාර් ප්‍රාන්තයෙහි සමාගම් ලියාපදිංචි කර වෙනත් ප්‍රදේශ සහ ප්‍රාන්තවල සිටිමින් ක්‍රියාත්මක වෙති. කොහේ සිට ක්‍රියාත්මක වුවත් සල්ලි ගලා යන්නේ ඩෙලවෙයාර් වෙතය. ඒ ප්‍රාන්තයේ දියුණුවට ඒ ප්‍රතිපත්ති සෘජුව බලපා තිබේ.   
‘ටැක්ස් හෙවන්’ අතින් ඉහළින්ම සිටින්නේ අයර්ලන්තයයි. එය මහා බ්‍රිතාන්‍යයට අයිති වුණාට වෙනම නීතියක් ක්‍රියාත්මක වන රටකි. එහි ආදායම් බදු සියයට 12.5කි. ඇමෙරිකාවේ ඒ බද්ද සියයට 21කි. යුරෝපා සංගමයේ අනෙක් ඇතැම් රටවල එය සියයට 30කට ආසන්නය. පේටන්ට් බලපත්‍ර හිමි නව නිර්මාණ සහ නව නිෂ්පාදන පදනම් කරන බද්ද සියයට 6.25කි. නව නිර්මාණ පදනම් කරගත් සමාගම්වලින් එසේ අඩු බද්දක් අය කරන්නේ නව නිර්මාණ සඳහා කරන ආයෝජන දිරිගැන්වීම සඳහාය. එවැනි ආයෝජකයන්ට අයර්ලන්තය හොඳ තෝතැන්නකි.   


ඇපල් හා පේස් බුක් සමාගම්වලට තිබෙන පේටන්ට් බලපත්‍ර අප්‍රමාණය. ඒ සමාගම් නව නිෂ්පාදන කරන තම අනුබද්ධ සමාගම් ලියාපදිංචි කරන්නේ අයර්ලන්ත​යේය. ඊට හේතුව ඇමෙරිකාවේ සියයට 21ක් වන ආදායම් බද්ද අයර්ලන්තයේ සියයට 12.5ක් වීමය. ඒ නිසා අයර්ලන්තය ‘ටැක්ස් හෙවන්’ අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටියි. ඇමෙරිකාවේ පිහිටි මව් සමාගම්වලට අනුබද්ධ සමාගම් අයර්ලන්තයේ ලියාපදිංචි කිරීම දැන් ඇමෙරිකාවට ප්‍රශ්නයකි. ඒ නිසා ෆේස්බුක් හා ඇපල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් ඇමෙරිකාවේ කොංග්‍රසය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ. එහෙත් කළ හැකි දෙයක් නැත. සියල්ල නීත්‍යානුකූලය. ඇපල් සමාගම අයර්ලන්තයේ පිහිටි තම සමාගම මගින් 2009 සිට 2012 අතර කාලයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 74ක් උපයාගෙන තිබෙන බව ඇමෙරිකාවේ සෙනට් මන්ත්‍රී මණ්ඩලය මගින් අනාවරණය කරගෙන තිබේ. එම මුදල ඉපයූවේ ඇමරිකාවේදී නම් ඇමෙරිකන් ආණ්ඩුවට අයකර ගත හැකි බද්ද අති විශාලය. එහෙත් ඇමෙරිකාවට කළ හැකි දෙයක් නැත. අයර්ලන්තය එසේ අඩු බදු අය කරන්නේ ආයෝජන ගෙන්වා ගැනීමටය. එහි ප්‍රතිඵල එරට දැන් භුක්ති විඳියි.   


මධ්‍ය ධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිතදිග යුරෝපයේ පිහිටි ඉතාමත් කුඩා රාජ්‍යයක් වන මොනාකෝ දූපත ද බදුවලින් තොර කෙම්බිමකි. මොනාකෝ (Monaco) තුන් පැත්තකින්ම වටවී තිබෙන්නේ අසල්වැසි ප්‍රංශයෙනි. ලෝකයේ කුඩාම රාජ්‍යය වතිකානුව වන අතර මොනාකෝ දෙවැනි කුඩාම රාජ්‍ය වෙයි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1.98කි. රට මැද සිට ඉතාලියට තිබෙන්නේ කිලෝමීටර් 16ක දුරකි. එය යුරෝපයේ ‘ලාස් වේගාස්’ නමින් හඳුන්වයි. පවතින්නේ රාජාණ්ඩු ක්‍රමයකි. 1861 දී අත්සන් කළ ප්‍රංශ මොනාකෝ ගිවිසුම මගින් ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගත්තත් එරට ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ ප්‍රංශයටය. 2021 දී එරට ජනගහනය 36,686කි. ඉන් 9,486ක් මොනාකේ ජාතිකයන් වන අතර ඉතිරි සියල්ලෝ විදේශිකයෝය. ඒ විදේශිකයෝ රටවල් 125 කින් පැමිණියෝය.   


මොනාකෝ ආණ්ඩුව පුද්ගලයන්ගෙන් හෝ සමාගම්වලින් ආදායම් බදු එකකු නොකරයි. ඒ නිසා බොහෝ රටවල සිටින බිලියනපතියන් තම ව්‍යාපාරවල හා සමාගම්වල මූලස්ථාන පවත්වාගෙන යන්නේ මොනාකෝවලය. එරට ආදායම් උපයන්නේ මුද්දර අලෙවියෙන්, සේම මත්පැන් හා දුම්කොළ බදුවලින් සහ ලියාපදිංචි ගාස්තුවලිනි. එරට දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකන් ඩොලර් බිලියන 8,596කි. ඒ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 86කට දායක වන්නේ සේවා අංශයයි. ඉතිරි සියයට 14ට දායක වන්නේ කර්මාන්තය. බැංකු, රක්ෂණ, සංචාරක, ඉදිකිරීම්, කුඩා කර්මාන්ත සහ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්ත ඒ අතර වෙයි. රැකියා විරහිතව සිටින්නේ ශ්‍රම බලකායෙන් සියයට දෙකකි. එරට උද්ධමන අනුපාතය සියයට 1.5කි. 2021දී එරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 234,315කි. 2020 සාපේක්ෂව එය සියයට 28.36කින් වර්ධනය වීමකි.   


ලංකාව මොනාකෝ මෙන් 33,136 ගුණයකින් විශාලය. එහෙත් ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 99.93කි. මොනාකෝහි දළ ජාතික නිෂ්පාදිතය ඇමෙරිකන් ඩොලර් බිලියන 8,596කි. ලංකාවේ ඒක පුද්ගල ආදායම 2021දී ඇමෙරිකන් ඩොලර් 3,393කි. මොනාකෝහි ඒක පුද්ගල ආදායම 2021දී ඇමෙරිකන් ඩොලර් 234,315කි. 1977දී මොනාකෝහි ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 30,914කි. 1977 දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 288කි.   


ලංකාවේ හා මොනාකෝහි ජන ජීවිතවල සුඛිත මුදිත භාවය ඒ සංඛ්‍යා දත්තවලින් මැනවින් අනාවරණය වෙයි. මොනාකෝ, ඩෙලවෙයාර් සහ අයර්ලන්තය පිළිබඳ අප සඳහන් කළ මේ තොරතුරු කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපයේ පරිපාලන හා කළමනාකරණ භාරයට මහෝපකාරී කරගත හැකිය. ඒ බදු, දඩ හා ණය ​ බරින් පරිපීඩිතව සිටින ලාංකික ජනතාවගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහාය.

 

සටහන :
ගුණසිංහ හේරත්