පොලියේ ජොලිය සොයා ප්‍රියමාලි මුදල් ඇමැති කරමුද?


මෙරට ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවේ තරම යළිත් වරක් සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ. ඒ තිළිණි ප්‍රියමාලි හරහාය. ඒ වගේම ඉතිහාසයෙන් පාඩම් උගෙන නොගන්නා බව ද සනාථ කර තිබේ. තමන් සතු මුදල්වලට වෙළෙඳපොළේ පවත්නා පොලියට වඩා වැඩි පොලියක් ලබා ගැනීමේ අරමුණෙන් විවිධ ආයතනවල මුදල් තැන්පත් කර මුදලත් පොලියත් දෙකම අහිමිකර ගත් සිද්ධි මෑත කාලයේ ද වාර්තා වී තිබුණි. ‘සක්විති පන්නයේ’ ව්‍යාපාර හරහා කරළියේ පුපුරාගිය මෙවන් ගනුදෙනු මේ සමාජයේ තවමත් අඩුවකින් තොරව සිදුවන බව ග්‍රාමීයව හා නාගරිකව වාර්තා වන සිදුවීම්වලින් හොඳින්ම පැහැදිලිය. එදා දඬුවම් මුදලාලි ළඟට ගිය පිරිසට වඩා හාත්පසින්ම වෙනස් පිරිසක් ප්‍රියමාලි ළඟ මුදල් ආයෝජනය කර ඇති බව එළිපිට ​කතා කරන පිරිසෙන් පැහැදිලිය. තවත් බොහෝ බලවත් අය තමන් යෙදවූ මුදල් සම්බන්ධව හෙළි නොකරමින් සිටිති. මෙයින් හෙළිවන්නේ මේ පිරිසට මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධව තිබෙන දැනුමේ තරමයි.  


සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ පවත්නා පොලී අනුපාතවලට වඩා වැඩි පොලියක් ලබාදෙන බවට යම් මූල්‍ය හෝ ඒ හා සම්බන්ධ කටයුතුවල නිරත වන ආයතනයක් නිවේදනය කරන්නේ නම් එවැනි ආයතනවල මුදල් ආයෝජනයට යොමුවීම සාමාන්‍ය තත්ත්වයකි. තමන් සතු මුදලේ සුරක්ෂිත බව ගැන පවා නොසිතා ජනතාව එවැනි තැන්වල මුදල් ආයෝජනය කරති. එම ආයතනය ලියාපදිංචි ආයතනයක් ද, කරන ව්‍යාපාර මොනවාද යනාදී වශයෙන් එකී ආයතනයේ පැටිකිරිය සම්බන්ධ කිසිදු සොයා බැලීමකින් තොරව මුදල් හදල් යහමින් ඇති අයත් එසේ නැති අය තම කනකර, දේපල උකස්කර හෝ විකුණා ලබාගන්නා මුදල් මේ ආයතනවල ආයෝජනය කර ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කරති. වැඩ වරදින්නේ තමන් අපේක්ෂා කරන ප්‍රතිලාභ හෝ තමන්ගේ මුදල් නැවත ලබා ගැනීමට යාමේදීය. ගෝල්ඩන් කී, සක්විති ආදී ව්‍යාපාරවල මුදල් යෙදවූ අයට අත්වූයේ එකී ඉරණමය. අදටත් මේ අයට තම මුදල් සහ ප්‍රතිලාභ පොරොන්දු වූ පරිදි ලැබී නැත. ලැබෙන බවක් පෙනෙන්නට ද නැත.  


මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවන්නේ රට තුළ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන පවත්වාගෙන යාම හේතුවෙනි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනවලට මහජනතාවගෙන් තැන්පතු බාර ගැනීමේ නීතිමය අවසරය හිමිය. එසේ මහ බැංකුවේ අවසරය ලත් ආයතන කාණ්ඩ තුනකි. බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ලියාපදිංචි මුදල් සමාගම් එකී කාණ්ඩ තුන වශයෙන් පෙන්වා දිය හැකිය. මෙකී ආයතනයක යම් කෙනකු මුදල් ආයෝජනයක් හෝ තැන්පතුවක් කරන්නේ නම් එකී මුදල් සම්බන්ධයෙන් ආරක්ෂාවක් තිබේ. ඒ මෙවන් ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත්වන හෙයිනි. එසේ නොවන තැනක තැන්පත් කරන මුදල්වලට කිසිදු ආරක්ෂාවක් නැති බව අවබෝධ කරගත යුතු ප්‍රධාන කරුණකි.  


මූලික වශයෙන් මහජනතාවගේ මුදල් තැන්පතු බාරගැනීමේ නීතිමය අවසරය ඇත්තේ ඉහත කී කාණ්ඩ තුනට අයත් ආයතනවලට පමණක් වුවද මහ බැංකුවේ ලියාපදිංචි වීමේ හෝ බලපත්‍රයක් ලබා ගැනීම හෝ අවශ්‍ය නොවන ආයතන කීපයක් ද තිබේ. සමුපකාර පනත යටතේ ලියාපදිංචි සමුපකාර සමිති, ජාතික නිවාස පනත යටතේ පිහිටුවා ඇති ගොඩනැගිලි සමිති, යම් කිසි නීතියක් යටතේ පිහිටුවා ගනු ලැබ ඇති ලාබ ඉපයීම අරමුණු කර නොගත් වෙනත් ඕනෑම සමිතියකට, සංවිධානයකට මහ බැංකුවේ අවසරය ඇතිව සිය සාමාජිකයන්ගෙන් පමණක් තැන්පතු බාර ගැනීමට පුළුවන. එසේ තැන්පතු බාරගැනීමේ අවකාශය පැවැතිය ද මෙකී ආයතන මහ බැංකුවේ අධීක්ෂණයට හෝ නියාමනයට හසු නොවන බව මතක තබාගත යුතුය. මේ රාමුවෙන් පිට වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයකුට මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගැනීමේ අවසරයක් නැති බව අමතක නොකළ යුතුය.  


රටේ මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. මූල්‍ය පද්ධතිය නිසිලෙස පවත්වාගෙන යමින් එය නිරන්තර අධීක්ෂණය කරමින් අවශ්‍ය කටයුතු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ද මහ බැංකුවටය. රටේ පවත්නා ආර්ථික වාතාවරණය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්තිය තීරණය කරන මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පවත්වාගෙන යා යුතු පොලිය තීරණය කරනු ලබයි. රටේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේ නම් පොලිය ක්‍රමයෙන් අඩු අගයකට ගෙන එමින් ආර්ථිකය තව තවත් වර්ධනය කෙරෙන ආකාරයේ පියවර ගන්නා අතර ආර්ථිකයේ යම් යම් අංශ පාලනය කිරීමට අවශ්‍ය වන මොහොතකදී පොලිය ඉහළ නංවමින් කටයුතු කරයි. ඉහළ යන උද්ධමනය පාලනයට පොලී අනුපාත ඉහළ නැංවීම එයට උදාහරණයකි. කෙසේ වුවත් රටේ පැවැතිය යුතු පොලී අනුපාතය මහ බැංකුවෙන් තීරණය කළ පසු එකී සීමා ඉක්මවමින් කටයුතු කරන මූල්‍ය ආයතන වේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම මහ බැංකුව මෙන්ම වගකිවයුතු අනෙක් අංශවලට ද තිබේ.  


යම් මූල්‍ය ආයතනයක් තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ණය ලබා දීමේදී අයකර ගනු ලබයි. තැන්පතු පමණක් බාරගන්නා (වෙනත් ආයෝජන කටයුතුවලට නිරත නොවන) මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලබන්නේ ණය දීමෙන් අයකර ගන්නා එකී පොලී ආදායම් මාර්ගයෙනි. මහ බැංකුව නියම කරනු ලබන පොලිය අනුව රටේ ලියාපදිංචි මූල්‍යය ආයතන එකී සීමාව ඉක්මවා නොයන පරිදි යම් යම් වෙනස්කම් සහිතව තැන්පතුවලට ගෙවීම ද ණය සඳහා පොලිය අයකර ගැනීම ද කරනු ලබයි. මෙකී සීමා ඉක්මවා කටයුතු කිරීමට ලියාපදිංචි මූල්‍ය ආයතන පෙළඹෙන්නේ නැත. එහෙත් එසේ නොවන ආයතන රටේ පවත්වාගෙන යනු ලබන පොලියට වඩා ඉහළ පොලියක් ගෙවන බවට පොරොන්දු වෙමින් ජනතාවගේ තැන්පතු රැස්කරති. එසේ අනුමත පොලියට වඩා වැඩි පොලියක් තැන්පතුවලට ගෙවීමට නම් එම මුදල් ඊට වඩා ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාරවල යෙදවිය යුතුය. නැතිනම් නීති විරෝධී කටයුතුවලට යෙදවීමට සිදුවනු ඇත. ප්‍රියමාලි බලවතුන්ගේ මුදල් ලබාගෙන ඇත්තේ ලබා දෙන මුදලට වඩා වැඩි වත්කම් ලබාදෙන බවට පොරොන්දු වෙමිනි. මුදලට ලොල් බලවතුන් පවා මේවාට රැවටීම පුදුමසහගත නොවේ.  


කෝටි ගණන් කළු සල්ලි උපද්දන අයට නම් අවදානම්සහගත සහ නීත්‍යානුකූල නොවන ආයතනවල මුදල් තැන්පත් කිරීම හෝ ආයෝජනය ප්‍රශ්නයක් නොවේ. එහෙත් තමා මුළු සේවා කාලයේ උපයාගත් මුදල්, පාරිතෝෂික හෝ සේවක අර්ථසාධකයෙන් ලැබෙන මුදල් ඉහළ පොලිය අපේක්ෂාවෙන් මෙවන් ආයතනවල තැන්පත් කරන අයට නම් අවසානයේ වෙන්නේ මුදලත් පොලියත් දෙකම නැතිවීම පමණක් බව අත්දැක ඇති සත්‍යයයි. කුමන ආයතනයකට වුවත් තම වත්කම්වලට වඩා වගකීම් තබාගත නොහැක. මහ බැංකුව ඇතුළු අනෙක් වගකිවයුතු ආයතන එවන් ආයතන තිබේ නම් ඒ සම්බන්ධයෙන් සොයා අවශ්‍ය පියවර ගතයුතුය. ඇතැම් විට මෙවන් ආයතනවල තැන්පත් කරන මුදලට පොරොන්දු වන පරිදි ඉහළ පොලියක් යම් කාලයක් ලැබිය හැකිය. ඒ කාලය ගෙන දෙන්නේ ඉහළ මානසික සුවයක් ද විය හැකිය. එහෙත් කලක් ගතවන විට මෙවන් අර්බුදයට ගොස්

තැන්පතුකරුවන් ද මානසික අර්බුදයකට ලක්වන බව අමතක නොකළ යුතුය. ලියාපදිංචි ආයතනවල පවා යම් යම් අකටයුතුකම් කරන බවට චෝදනා නැගෙන පරිසරයක අනෙක් ආයතන ගැන කවර කතාද? එනිසා සියයට එකකට දෙකකට තෘෂ්ණාවක් ඇතිකර ගැනීමෙන් සියල්ල අහිමිවන්නට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. එමෙන්ම මෙවන් මුදල් වංචාවලට හසුවන්නන්ට සාධාරණය ඉටුකිරීමට ප්‍රමාණවත් නීති නැති බවට ද අදහසක් තිබේ. ‘සක්විති’ පන්නයේ ව්‍යාපාර ඔප්පු කළේ එම සත්‍යයද? 

 

 

 සටහන 
චමින්ද මුණසිංහ