පොඩි වැරැද්දටත් ඉල්ලා අස්වෙන සැබෑ දේශපාලන සදාචාරය


බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු, සංක්‍රමණික නීතිය හා සාමය පිළිබඳ ලේකම් සුවෙලා බ්‍රේවර්මන් සංක්‍රමණිකයන් පිළිබඳ ලිඛිත කෙටුම්පතක් අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යොමු කළේ විද්‍යුත් තැපෑලෙනි. හැබැයි ඒ ඇමැතිවරිය සතු නිල විද්‍යුත් ලිපිනයෙන් නොව ඇගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයෙනි.   

ඉතින් මොකදැයි ඔබට සිතෙන්නට පුළුවන. ලිපිනය කුමක් වුවත් එම කෙටුම්පත කලට වේලාවට අනෙකුත් ඇමැතිවරුන්ට ලැබෙන බැවිනි. අප එසේ සිතුවත් එය විෂමාචාර ක්‍රියාවකි. එංගලන්තයේ හැටියට නොහොබිනා වැඩකි. එබැවින් ඇය කළේ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමය. ඒ විතරක් නොවේ, ලෝකයටම පාඩමක් ද කියා දීමය. අප අතින් සුළු අත්වැරැද්දක් සිදුවුණත් අප කළ යුතු සුදුසුම දෙය ඉල්ලා අස්වීම යැයි ඇය පැවසුවාය.   


බ්‍රේවර්මන් මහත්මිය අගමැතිනි ලිස් ට්‍රස්ගේ ආණ්ඩුවේ ඇමැතිවරියකි. මේ වනවිට ලිස් ට්‍රස් සිටියේ ද පඹගාලක පැටලීය. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලෙස පත්වීමත් සමග ඇගේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැයෙන් සිදුකළ බදු කප්පාදුවක ප්‍රතිඵලය ලෙස බ්‍රිතාන්‍ය පවුමේ වටිනාකම පහළ ගියේය. මෙය ආර්ථික අර්බුදයකට අතවැනීමක් වූ බැවින් ගත් තීරණය යළි වෙනස් කිරීමට සිදුවිය. ඒ සඳහා අලුත් මුදල් ඇමැතිවරයකු පත් කිරීමට අගමැතිනියට සිදුවිය.   


බලය අතට ගැනීමත් සමගම ගත් මේ මෝඩ තීරණය හේතුවෙන් ඇයට බොහෝ විවේචන එල්ල වන්නට විය. අන්තිමේදී ස්වදේශ කටයුතු ඇමැතිවරිය සේම අගමැතිනිය ද ඉල්ලා අස්වූවාය.   


ඒ වනවිට ඇය අගමැති පුටුවේ වාඩිවී ගෙවී ගොස් තිබුණේ දින හතළිස් පහක කෙටි කාලයක් පමණකි. එහෙත් ඇය ඉල්ලා අස්වන්නට දෙවරක් සිතුවේ නැත. වරදක් වී නම් කළ යුතු හොඳම දෙය සමාවට කරුණු සෙවීම නොව ඉල්ලා අස්වීම බව ඇය ද කල්පනා කරන්නට ඇත. 

 
මේ වූ කලී වෙස්මිනිස්ටර් පන්නයේ ආණ්ඩුවල තනි පුද්ගල අමාත්‍ය වගකීමේ ස්වභාවයයි. කිසියම් වැරැදි සහගත සිද්ධියක දී අමාත්‍ය වගකීමක් ඇති තැන වගකිවයුතු අමාත්‍යවරයා වරද බාරගෙන අවසානයේ ඉල්ලා අස්විය යුතුය. මෙයින් අදහස් වන්නේ අමාත්‍යාංශයක් තුළ නාස්තියක් දූෂණයක් හෝ වෙනත් කිසියම් විෂමාචාරයක් සිදුවූ විට ඒ ගැන අමාත්‍යවරයා දැන නොසිටිය ද ඔහු වගකීම භාරගත යුතු බවය.  
ලිස්ට්‍රස්ට කලින් බ්‍රිතාන්‍ය අගමැති පදවිය දැරූ බොරිස් ජොන්සන් ද ඉල්ලා අස්වූවේය. කොවිඩ් වසංගත සමයේ ඔහු අතින් වූ යම් යම් සුළු වැරදි ද ඒ ඉල්ලා අස්වීමට හේතුවක් විය. 
රාජ වංශයක පාලනයකට යටත්ව තිබූ අපේ රටට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන්නේ ද බ්‍රිතාන්‍යයයි. එහෙත් අද ලංකාවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සදාචාරය නම් දකින්නට නැත. අපේ මැති ඇමැතිවරුන් අතින් මොන වැරැද්දක් වුණත් ඉල්ලා අස්වීමට නම් හිතන්නේ නැත. අසීමිත මුදල් කන්දරාවක් විසිකර ලබාගත් බලය හැමදාමත් බුක්ති විඳීමට ඔවුන් කැමතිය.  

 


එසේ නැත්නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අත්හැරීමට තිබුණේ සෑහෙන කලකට පෙරාතුවය. ඔහු ගත් එක් තීරණයක් වූයේ වගාවට රසායනික පොහොර තහනම් කිරීමයි. ඒ තීරණයට එරෙහිව ගොවීහු දහස් ගණනක් පාරට බැස උද්ඝෝෂණය කරද්දීත් හිටපු නායකයා ඔහු ගත් තීරණයේම එල්ලී සිටියේය. එහෙත් පසු කලෙක ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ තමන් ගත් ඒ රසායනික පොහොර තහනම වැරදි තීරණයක් බවය. එහෙත් ඒ වනවිට ඒ වැරදි තීරණය සමාජයට ජනතාවට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබිණි. රටේ වී අස්වැන්න විශාල වශයෙන් අඩුවී තිබිණි. එහෙත් ඉල්ලා අස්වූයේ ඔහු නොවේ. ඒ අනුව බලන කල ලිස්ට්‍රස්ගේ, බොරිස් ජොන්සන්ගේ දේශපාලන සදාචාරය මොනතරම් ඉහළ ද?   


2020 අගෝස්තු 4 වැනිදා ලෙබනනයේ බේරුට් නුවර වරායේ දැවැන්ත පිපිරීමක් සිදුවිය. ඉන් 218 කු මියගිය අතර හත්දහසකට පමණ තුවාල සිදුවී ඩොලර් මිලියන පහළොවක පමණ දේපළ හානියක් ද සිදුවිය. මේ පිපිරීමට හේතුව වූයේ වරායේ ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් බඳුන් වගයක් පුපුරා යාමයි.   
රාජසන්තක කරන ලද නෞකාවක තිබූ මේ රසායන ද්‍රව්‍යයේ ටොන් 2750ක් වරායේ ගොඩගසා තිබුණේ ආරක්ෂාකාරී ලෙස නොවේ. මේ රසායන ද්‍රව්‍ය තොගය වරායේ තිබෙන බවක් අගමැති දැන සිටියේ ද නැත. ඔහු ඒ දැන ගත්තේ ද මේ දැවැන්ත ඛේදවාචකය සිදුවීමෙන් අනතුරුවය. එහෙත් ලෙබනන් අගමැති හසන් ඩයබ් එම පිපිරීම වැළැක්වීමට අපොහොසත්වීම නිසා ඉල්ලා අස්විය. දියුණු මනසක් තිබෙන පුද්ගලයන් සිටින රටවල තත්ත්වය එවැනිය.   
බේරූට් වරායේ පිපිරීමත් ලංකාවේ පාස්කු ප්‍රහාරයත් අතර බොහෝ සමානකම් තිබේ. 2019 අප්‍රේල් 21 වෙනිදා ලංකාවේ කතෝලික පල්ලි කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 268 දෙනකු මියගිය අතර තවත් පන්සීයක් පමණ දෙනකුට තුවාල සිදුවිය. ඔවුන්ගෙන් සමහරෙක් අදටත් අනේක දුක් විඳිති. නිසි හව්හරණක් නැතුව සිටිති.   
මෙම ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව බොහෝ දෙනාගේ මතයයි. හැබැයි එබඳු විනාශයක් සිදු වූයේ වෙනත් රටක නම් එරටේ ජනාධිපති, අගමැති පමණක් නොව මුළු ආණ්ඩුවම ඉල්ලා අස්වනු නියතය. එහෙත් අපේ රටේ ජනාධිපති, අගමැති තියා වගකිවයුතු කිසිවෙක් ඉල්ලා අස්වූයේ නැත.   


ඉකුත් වකවානුවේ ලොව බොහෝ රටවලින් ජනතා උද්ඝෝෂණ මතුවිය. කොවිඩ් ගෝලීය වසංගතයේ බලපෑම මෙන්ම හටගත් විවිධ ආර්ථික ගැටලුවලට විසඳුම් ලෙස බොහෝ රටවල්වල ආණ්ඩු කළේ ඉන්ධන මිල හෝ බදු ඉහළ දැමීමය.  


2022 ජනවාරි මාසයේ දී කසකස්තාන ආණ්ඩුව ඉන්ධන මිල නොසිතූ විරූ ලෙස ඉහළ දැම්මේය. මින් දැඩි ලෙස කැලඹුණු ජනතාව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තේය. කරකියා ගන්නට කිසිවක් නොවූ තැන අගමැති අස්තාර් මාමින් ඉල්ලා අස්වීමට තීරණය කළේය.   


මේ අයුරින්ම ජනතා උද්ඝෝෂණවලට බියේ ඉල්ලා අස්වූ රාජ්‍ය නායකයන් ගැන ඉතිහාසයේ කරුණු සඳහන් වේ. 2019 බොලිවියානු මහ මැතිවරණයේ සිදුවූ අක්‍රමිකතාවලට එරෙහිව පැවැත්වුණු විරෝධතා හමුවේ එමෝ මොරාලාස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නොවැම්බර් 10 වැනිදාය.   
2019 අගභාගයේ ඉරාකයේ හටගත් විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් අගමැති ආදිල් අබ්දුල් වහබ් ඉල්ලා අස්වූයේය.   


2018 පෙබරවාරි මාසයේ දී හටගත් දරුණු විරෝධතා රැල්ලකින් පසු ඉතියෝපියාවේ අගමැති හලිලෙමරියම් ඩෙසාලෙන් ඉල්ලා අස්වූයේය.   
2011 වසරේ ඇරඹි අරාබි වසන්තය ලෙස නම් ලද උද්ඝෝෂණ හමුවේ ටියුනීසියාවේ ජනාධිපති ඊජිප්තුවේ ජනාධිපති ආදීහුද සිය පදවිවලින් ඉල්ලා අස්වූහ.  
ජෝර්ජියාවේ ජනාධිපති එඩුවඩ්ට එරෙහිව මහජන උද්ඝෝෂණ ආරම්භ වූයේ 2003 වසරේ දීය. මේ උද්ඝෝෂණ සංසිදුවාලන්නට ඔහු ගත් සියලු ප්‍රයත්නයක් අසාර්ථක විය. උද්ඝෝෂණ දවසින් දවස වැඩිවෙද්දී ඔහුට කළ හැකිව තිබූ එකම දෙය ඉල්ලා අස්වීම පමණි.   


ආර්ථික අර්බුද මතුවී හටගත් මෙබඳු දැවැන්ත උද්ඝෝෂණවලින් අපේ රටේ ද අඩුවක් වූයේ නැත. මේ මෑතක දී අපේ රටේ ජනතාව විශාල වශයෙන් පාරට බැස්සේ රසායනික පොහොර තහනම, ගෑස් හිඟය, ඉන්ධන හිඟය වැනි කරුණු හේතුකොට ගෙනය. ඒ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළේ උද්ඝෝෂණකරුවන්ට උද්ඝෝෂණ කරන්නට ස්ථානයක් වෙන්කර දීමය. අගමැති ඉවත් කිරීමය. අන්තිමේ දී උද්​ඝෝෂකයෝ ගෝඨා ගෝ ගම නමින් ඉතිහාසයේ පළමු වතාවට අරගල භූමියක් නිර්මාණය කර ගත්හ. අවසානයේ දී ජනපති මැදුර පවා ආක්‍රමණය කළ ඔවුහු ලංකාවේ විධායක ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට පාර කැපූහ. හැබැයි ඔහු ඉල්ලා අස්වූයේ එය නොකර බැරිම අවස්ථාවේ දීය.   
කොවිඩ් වසංගත සමයේ දී ලෝකය මුහුණ දුන්නේ බරපතළ අභියෝගයකටය. කොවිඩ්වලින් බේරී සිටීමටත් අනෙකෙකුට බෝ කිරීමෙන් වැළකී සිටීමටත් දුරස්ථභාවය රැකීම සහ මුව ආවරණය පැළඳීම අනිවාර්ය කෙරෙමින් නීති පැනවිණි. ඒ කාල සීමාවේ දී වෙනදා මෙන් අතට අත දීම, සිප වැලඳ ගැනීම වැනි සමාචාර විධිවලට පවා තහංචි වැටිණි. එහෙත් ඇතැම් දේශපාලකයෙක් තම රටේ වැසියන්ට පැනවූ නීති, තමන් උල්ලංඝනය කරන්නට පෙලඹිණි. රට වැසියනට සාද තහනම් කර තමන් සාද පැවැත්වීය. එහෙත් මෙබඳු රහසේ පැවැත්වූ සාද සහ සබඳකම් හෙළිදරව් වූ පසු ඇතැම් අවංක දේශපාලකයෙක් වරද පිළිගෙන තනතුරෙන් ඉල්ලා අස්වූහ.   


එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කෝක්, ඔහුගේ සහායිකාවක සමග අනියම් සම්බන්ධකමක් පැවැත්විය. එය ලෝකයට හෙළිදරව් වූ විට ඔහු  ජූනි 26 වෙනිදා තනතුරෙන් ඉල්ලා අස්වූයේය.   


මේ කාලයේ ලංකාවේ ද සමාජ දුරස්ථභාවය රැකීමත් මුව ආවරණ පැළඳීමත් අනිවාර්ය කර තිබුණි. එහෙත් අපේ රටේ බොහෝ මැති ඇමැතිවරු මෙන්ම නායකයන් ද මුව ආවරණ නොපැලඳ උත්සවවල පෙනී සිටිනු දක්නට ලැබිණි. ජපාන අගමැති යුකියෝ හටායාමා 2010 ජූනි 8 වැනිදා ඉල්ලා අස්වූයේ මැතිවරණ පොරොන්දුවක් කඩ කිරීමේ වරද පිළිගනිමිනි. ඔහු දුන් මැතිවරණ පොරොන්දුව වූයේ ඔකිනාවා දූපතේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක් වසා දැමීමය. එහෙත් ඔහුට ඒ පොරොන්දුව ඉටු කිරීමට අපහසු විය.   
මෙබඳු මැතිවරණ පොරොන්දු බොහෝ ගණනක් කඩවුණු ​පොරොන්දු ලැයිස්තුවට එක්වීම අපේ ශ්‍රී ලංකාවේ නම් සාමාන්‍ය තත්ත්වයකි. බලයට ආ හැම නායකයෙක්ම බලය ගත්තේ කප්පරක් බොරු පොරොන්දු දෙමිනි. ඉර හඳ පවතිනතුරු හාල් නොමිලේ දෙන බවට පොරොන්දුවක් දෙමින් බලයට පත්වූ සිරිමාවෝ මැතිනිය, සතියකට දින දෙකක් බත් කෑම තහනම් කළාය. ඇට අටක් නොමිලේ දෙන්නට පොරොන්දු වෙමින් බලයට ආ ජේ. ආර්. ජයවර්ධන ඒ ඡන්ද පොරොන්දුව අමු අමුවේ කඩ කළේය. පාන් ගෙඩියක් තුනයි පනහට දෙන පොරොන්දුව පිට බලයට ආ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාන් ගෙඩිය තුනයි පනහට දුන්නේ ඉතා කෙටි කලකටය. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන බවට දුන් ඡන්ද පොරොන්දුව චන්ද්‍රිකාවත්, මෛත්‍රීපාල සිරිසේනවත් ඉටු කළේ නැත. හැබැයි මේ කවුරුවත් කඩ කළ ඡන්ද පොරොන්දුවක් වෙනුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වූයේ ද නැත.   
අපේ ලංකාවේ බොහෝ දේශපාලකයන් ළඟ දේශපාලන සදාචාරයත් නැති තරම්ය. ඔවුන්ගේ වියහියදම් ඉහළය. රට ආර්ථික වශයෙන් බංකොළොත් මට්ටමට ඇද වැටී තිබුණත් මැති ඇමැතිවරුන්ගේ අඩුවක් නැත. ඔවුන්ගේ වියහියදම්වල අඩුවක් ද නැත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පදවියට පත්වන විට රටට අවශ්‍ය වූයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. ඇමැතිවරු විස්සකින් පමණ සැදුම්ලත් පුංචි ආණ්ඩුවකි.   


එහෙත් එසේ වූයේ නැත. වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරු ගණන කලින් තිබූ ආණ්ඩුවල සිටි ඇමැතිවරු ගණනට සාපේක්ෂව අඩුවීමක් වී නැත. නිදහසට කරුණක් ලෙස මේ නව ඇමැතිවරුනට ඇමැති පඩිය නොගෙවන බව කීවත් ඔවුන්ට ලැබෙන දීමනාවල අඩුවක් නැත. ඇමැතිවරු මදිවාට තවත් සභා වර්ගයක් ද පිහිටුවා ගෙන විය හියදම් තවත් වැඩිකර ගෙන තිබේ.   


එසේ කරමින් රටේ ජනතාවට පුළුවන් උපරිමයෙන් බදු බර වැඩිකර තිබේ. වැට් බද්ද සියයට පහළොවකි. තව පිරිවැටුම් බද්දකි. සමාජ ආරක්ෂණ බද්දක් ද තිබේ. විදුලි බිල වැඩි විය. දුරකථන ගාස්තු වැඩි විය. ආහාරවල විය හියදම් ද බොහෝ සේ ඉහළය. කොටින්ම කිවහොත් රටේ බහුතරයකට සිදුව ඇත්තේ කන්නට නොව ලෙවකන්නටය. එසේ තිබියදීත් ආණ්ඩුවේ විය හියදම්වල අඩුවක් නැත. අරගලය අතරතුර මරා දැමුණු මන්ත්‍රීවරයාගේ වන්දි මුදල් පවා ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය.   


රූපවාහිනියෙන් ජාතිය අමතන නායකයෝ ජනතාවට බණ කියති. හැබැයි ඒ බණ ඔවුන් පිළිනොපැදීම කනගාටුවට කරුණකි.   


බොහෝ යුරෝපීය රටවල මන්ත්‍රීවරුන් ඇමැතිවරුන් යනු සාමාන්‍ය පුරවැසියන්ය. ඔවුන් පාර්ලිමේන්තුවට යන්නේත් පාපැදිවලිනි. නැතිනම් සාමාන්‍ය වාහනවලිනි. එසේම ඔවුන්ගේ ආරක්ෂාවට කියා පෙර ගමන් හා පසුගමන් වාහන ද නොමැත. එහෙත් අපේ මැති ඇමතිවරුන් කවදාවත් ඔවුන්ගේ විය හියදම් අඩු කරන්නේ නැත. හැම මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තු එන්නේත් වෙනත් ගමන් බිමන් යන්නේත් ලංකාවේ තිබෙන සුඛෝපබෝගී වාහනවලිනි. ඒ වාහන ඉන්ධන බොන තරම් සුඛෝප​​​භෝගීය.   


යුද බියක් හෝ මරණ බියක් හෝ නැති අදත් අපේ මැති ඇමැතිවරු ගමන් බිමන් යන්නේ අමතර අරක්ෂක වාහන පිරිවරාගෙනය. මේ තත්ත්වය වෙනස් කරන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සාහ ගත්තේය. ඔහුගේ පාලන කාලය තුළ විදේශ චාරිකා ගියේ ද අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. එහෙත් ඔහු දේශපාලන වශයෙන් පරාජිතයකු විය.   
අපටත් අවශ්‍ය සිය වගකීම උපරිමයෙන් ඉටු කරන එසේ කළ නොහැකි වූ විට වරද පිළිගෙන ඉල්ලා අස්වීමට ඉදිරිපත් වන බලයට කෑදරකමක් නැති අවංක මැති ඇමැති පිරිසකි. ජනතාවට බර පටවා ජනතාවගේ බදු මුදලින් රජ සැප නොවිඳින මැති ඇමැති පිරිසකි. ජනතා සේවය වෙනුවෙන්ම ඇප කැප වූ ආදර්ශවත් පිරිසකි. එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින දෙසීය විසිපහම දියවන්නාවට දැමිය යුතු යැයි කවුරුවත් නිකමටවත් නොකියනු ඇත.

 

 

 සටහන :
ශාන්ත කුමාර විතාන