රුසියන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට 2036 දක්වා ජනාධිපතිධුරයේ රැඳී සිටීමට අවකාශ ලබා දෙමින් රුසියානු පාර්ලිමේන්තුවට 2020 දී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේ එවකට 83 වැනිවියේ පසුවූ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා මන්ත්‍රීතුමියයි. ඇය ජනාධිපති පුටින්ගේ යුනයිටඩ් රෂියා පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ එවකට උප සභාපතිනියයි. මෙම ව්‍යවස්ථා සංශෝධනය අන්තර්ජාතික දේශපාලනයේ කතාබහට ලක්වන විට එම ප්‍රවෘත්තිය සමග තෙරෙෂ්කෝවාගේ නම එතරම් සඳහන් නොවීය. අන්තර්ජාතික මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ රුසියානු පාර්ලිමේන්තුව විසින් පුටින්ට 2036 දක්වා ජනාධිපතිව සිටීමට අවස්ථාව ලබාදී ඇති බවයි.
සංශෝධනය ගෙනා වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා මන්ත්‍රීතුමිය මීට වසර 62 පෙර 1963 ජුනි 16 වැනි දින, ලෝකයේ ලොකුම ප්‍රවෘත්ති මවන්නිය බවට පත්වූවාය. ඒ අභ්‍යවකාශයට ගිය පළමුවැනි කාන්තාව ලෙසයි.
එවකට 26 වැනි වියේ සිටි තෙරෙෂ්කෝවා වෝස්ටොක් 6 අභ්‍යවකාශ යානයෙන් අභ්‍යවකාශයට පිවිස පෘථිවි කක්‍ෂය වටා 48 වාරයක් ගමන්කර දින තුනකට ආසන්න කාලයකට පසුව පෘථිවියට ආපසු ආවාය. ඒ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා වන සෝවියට් දේශයේම යූරි ගගාරින් වෝස්ටොක් 1 යානයෙන් අභ්‍යවකාශයට ගොස් වසර දෙකකට පසුවය. ගගාරින් සහ තෙරෙෂ්කෝවා රැගත් වෝස්ටොක් යානා පිටත්වූ එවකට සෝවියට් දේශයට අයත් බයිකුනෝර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද අයත්වන්නේ කසකස්ථානයටයි.
රෙදි නිපැයුම් කර්මාන්ත ශාලාවක රැකියාව කළ තෙරෙෂ්කෝවාට අභ්‍යවකාශයට ගිය පළමුවැනි කාන්තාව වීමේ භාග්‍ය ලැබුණේ පැරෂූට් උපකාරයෙන් ඉහළ උසක සිට බිමට පතිතවීමට ඇයට තිබූ විශේෂ හැකියාව නිසාය. වොස්ටොක් ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණීමේ දී යානය පෘථිවියට ඉතාමත් ආසන්න වෙද්දී ඔවුහු යානයෙන් එළියට පැන පෘථිවියට පතිත වෙති. මේ නිසා පැරෂූට පුහුණුව වොස්ටොක් යානා ගගනගාමීන්ට අත්‍යවශ්‍යය.
කම්හලක වැඩ කළ තරුණ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා පැරෂූට වලින් ඉහළ අහසේ සිට බිමට පතිතවීම ඉගෙන ගෙන තිබුණේ ඇයගේ ප්‍රදේශයේ එවකට තිබූ පැරෂූට ක්‍රීඩා සමාජයකට පින්සිදු වන්නටය. ඉහළ අහසේ පාවී පාවී ගොස් බිමට පතිත වීමට ඇයට තිබී ඇත්තේ දැඩි ආශාවකි. ක්‍රීඩා සමාජය මගින් සති අන්තයේ පැවැත්වූ පැරෂූට පුහුණුවට ඇය සහාභාගී වී ඇත්තේ දෙමාපියන්ට ද නොකියාය. තෙරෙෂ්කෝවා ජීවත්වූ වයඹදිග රුසියාවේ යුරෝස්ලාව් පළාත හරහා යුරෝපයේ ලොකුම ගඟ වන වොල්ගා නදිය ගලා බසියි. විනෝදාංශයක් ලෙස පැරෂුට පුහුණු වූ තෙරෙෂ්කෝවා ඒ කාලයේ ඉහළ අහසේ සිට වොල්ගා ගඟටද පැරෂුටයෙන් පතිතවීම පුහුණු වූ බව පසුකාලීන සම්මුඛ සාකච්ඡාවලදී කියා ඇත.
ඇයගේ තිබූ මෙම දක්‍ෂතා නිසා වෝස්ටොක් අභ්‍යවකාශ වැඩසටහනට 1962 දී එක්කරගත් පළමු කාන්තාවන් පස්දෙනා අතර ඇයද වූවාය.
යූරි ගගාරින් 1961 අප්‍රේල් 12 අභ්‍යවකාශයට ගිය ගමනත් තෙරෙෂ්කෝවාගේ 1963 ජුනි 16 ගමනත් අතර කාලයේ තවත් සෝවියට් ගගනගාමීහු දෙදෙනෙක් අභ්‍යවකාශයට ගොස් සිටියහ. ඒ 1961 අගෝස්තු 6 වැනි දින අභ්‍යවකාශයට ගිය ගර්මන් ටිටෝව් සහ තෙරෙෂ්කෝවාට දින දෙකකට පෙර වෝස්ටොක් 5 යානයෙන් අභ්‍යවකාශයට ගිය වැලරි බයිකොවුස්කිය. තෙරෙෂ්කෝවාගේ වෝස්ටොක් 6 සහ ටිටොව් රැගත් වෝස්ටොක් 5 යානා එක් අවස්ථාවක කිලෝමීටර 5ත් 6ත් අතර දුරකින් අභ්‍යවකාශයේ තිබී ඇත. මුල් දිනයේම යානා දෙක අතර තිබූ පණිවුඩ හුවමාරුව බිඳවැටී ඇති අතර ඒ හේතුව නිසා සැලසුම් කළ ආකාරයට යානා දෙකම සමීප කරගනිමින් කිරීමට තිබූ අභ්‍යවකාශ අත්හදා බැලීම් කළ නොහැකි විය. යානා දෙකම එකම දිනක එනම් ජුනි 19 වැනිදා නැවත පෘථිවියට පැමිණියෝය.
අභ්‍යවකාශයේ ගත කළ පළමු දිනම තෙරෙෂ්කෝවා විසින් යානයේ තිබූ කාර්මික දෝෂයක් සොයාගන්නා ලදී. ඒ ආපසු ගමන සඳහා සකස්කර තිබූ යාන්ත්‍රණයේ දෝෂයකි. සෝවියට් අභ්‍යවකාශ පාලක මණ්ඩලය විසින් පසුව එය නිවැරදි කරන ආකාරය ඇයට පැහැදිලි කරන ලදී. එය යානය සැලසුම්කරුගේ අතින් වූ වරදක් වූ අතර, ඔහුගේ ඉල්ලීම මත තෙරෙෂ්කෝවා ආපසු ගමනින් පසු ඒ ගැන කතා නොකර සිටීමට තීරණය කළාය. පසුකාලීනව වෙනත් සෝවියට් අජටාකාශගාමියෙක් එය අනාවරණය කළේය.
කෙසේ නමුත් තෙරෙෂ්කෝවාට කලින් අභ්‍යවකාශයට ගිය සෝවියට් ගගනගාමීන් තිදෙනාගේ ප්‍රගති වාර්තාවල ’‘හොඳයි’ යනුවෙන් සඳහන් කර තිබුණත් තෙරෙස්කෝවාගේ ගමනින් පසු ඇයගේ වාර්තාවේ තිබුණේ ‘’සාමාන්‍යයයි’ කියාය. තෙරෙෂ්කෝවාගේ ගමනේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ අදටත් වාද විවාද තිබේ.
එපමණක් නොව සෝවියට් දේශය තෙරෙෂ්කෝවාගේ අභ්‍යවකාශ ගමනින් පසු නැවත කාන්තාවක් යැව්වේ ඇගේ ගමනින් අවුරුදු 19 කට පසුවය. ඒ ස්වෙත්ලානා සවිස්ට්ස්කාය. ඇයද 1982 ජුලි 19 වැනිදා අභ්‍යවකාශයට ගියේ තනිවම නොවේ. තවත් ගගනගාමීන් දෙදෙනකුද සමගය. සෝවියට් දේශය සමඟ කරට කර අභ්‍යවකාශ තරගයේ සිටි ඇමෙරිකා එක්සත් ජනපදය මුලින්ම කාන්තාවක අභ්‍යවකාශයට යැව්වේ ස්වේත්ලානාද ගොස් වසරකට පසුවය. එසේ ගිය ඇමෙරිකානු කාන්තාව සැලී රයිඩ්ය. ඇය අභ්‍යවකාශයට ගියේ තවත් ගගනගාමීන් හතර දෙනකුද සමගය. සෝවියට් දේශයේ යූරි ගගාරින් අභ්‍යවකාශයට ගොස් සති තුනකින් ඇමෙරිකානු ඇලන් ෂෙපාර්ඩ් අභ්‍යවකාශයට යැවූ ඇමෙරිකා එක්සත් ජනපදය මෙසේ කාන්තාවක අභ්‍යවකාශයට යැව්වේ තෙරෙෂ්කෝවාගේ ගමනින් වසර 20ට පසුවය.
1984 වසරේදී ස්වෙත්ලානා සවිස්ට්කා දෙවැනිවරටත් අභ්‍යවකාශයට ගියේද තවත් ගගනගාමීන් දෙදෙනකු සමගය. ඒ අවස්ථාවේ දී ඇයට අභ්‍යවකාශයේ ඇවිදීමටද අවස්ථාවක් ලැබුණු අතර, අභ්‍යවකාශයේ පියවර තැබූ ප්‍රථම කාන්තාව පිළිබඳ වාර්තාවද මේ නිසා සෝවියට් දේශයට හිමිවිය. වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා සිය 1963 අභ්‍යවකාශ ගමනින් පසු කිසිදා නැවත අභ්‍යවකාශයට ගියේ නැත.
තෙරෙෂ්කෝවා ගෙන් පසුව මේ වන විට රටවල් ගණනාවක කාන්තාවන් 104 දෙනකු පමණ අභ්‍යවකාශයට ගොස් ඇති අතර, එය අභ්‍යවකාශයට ගිය මුළු පිරිසෙන් සියයට 10ට වඩා මදක් වැඩිය. වර්තමානයේ වැඩියෙන්ම කතාබහට ලක්වන ඇමෙරිකාවේ සුනීතා විලියම්ස් මේ වන විට තුන් වරක් අභ්‍යවකාශයට ගොස් ඇති අතර, ඇය එහි ගතකර ඇති මුළු දින ගණන 608කි. එක දිගටම එකම ගමනකින් වැඩිම දින ගණනක් ගතකර ඇත්තේද, ඇමෙරිකානු ජාතික ක්‍රිස්ටිනා කොච්ය. ඇය 2019 මාර්තු මාසයේ අභ්‍යවකාශයට ගොස් දින 328ක් ගත කළාය.
වැලෙන්ටිනා රුසියානු ජනාධිපති පුටින් හමුවී...
1969 දී සෝවියට් අභ්‍යවකාශ පුහුණුව ලැබූ මුල්ම කාන්තා කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසුව සෝවියට් ගුවන් හමුදාවට එක්වූ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා 1997 වසරේදී ඉන් විශ්‍රාම ගත්තේ මේජර් ජෙනරාල් වරියක ලෙසය. පසුකාලීනව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි තෙරෙෂ්කෝවා 2008 වසරේදී ඇය ජීවත්වූ යුරෝස්ලාව් පළාතේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයට පත්වූවාය. 2011 වසරේදී ඇය රුසියානු පාර්ලිමේන්තුව නැතිනම් ඩියුමාහි මන්ත්‍රීවරයෙකු ලෙස ඡන්දයෙන් පත්වූ අතර, 2016 සහ 2021 වසරවල පැවති මහ මැතිවරණයන් ගෙන් පසුවද නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
තෙරෙෂ්කෝවා 1980 දශකයේ අගභාගයේ සෝවියට් දේශයේ පෙරෙස්ට්‍රොයිකා හා ග්ලස්නොස්ට් ප්‍රතිසංස්කරණ ගෙනා හිටපු සෝවියට් නායක මිඛායිල් ගොර්බචෝව්ගේ දේශපාලන ප්‍රතිසංස්කරණවලට සහයෝගය පළ කර ඇති අතර පසුකාලීනව වත්මන් රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දේශපාලන වැඩපිළිවෙළට විශාල වශයෙන් උදව් කළාය.
2036 වන තෙක් පුටින්ට ජනාධිපති ධූරයේ සිටීමට හැකියාවක් ලැබෙන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් 2020 දී පාර්ලිමේන්තුවට ගෙනා තෙරෙෂ්කෝවා කියා ඇත්තේ විනාශ වී යන්නට ආසන්නව තිබූ රුසියාව ගලවා ගන්නා ලද්දේ පුටින් විසින් බවය.
2022 දී තෙරෙෂ්කෝවා රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳ පාර්ලිමේන්තු යෝජනාවට සහය පළ කිරීමෙන් පසුව ඇයට විරුද්ධව ඇමෙරිකාවේ මෙන්ම යුරෝපයේද සම්බාධක රැසක් පනවා ඇත. ඇමෙරිකානු තහනමට අනුව ඇමෙරිකානු වැසියන්ට ඇය සමග කිසිම සම්බන්ධතාවක් පැවැත්වීම තහනම්ය.
දැනට 88 වැනි වියේ පසුවන තෙරෙෂ්කෝවා 2017 එංගලන්තයේ ගාඩියන් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අභ්‍යවකාශයේ සිට පෘථිවිය පෙනෙන ආකාරය විස්තර කරන්නැයි ඇය ගෙන් කළ ඉල්ලීමක් කර තිබුණි. ‘“පෘථිවිය සිතා ගැනීමට නොහැකිතරම් අලංකාර ග්‍රහලෝකයක්. එහි ලස්සන හරියටම පෙනෙන්නේ පෘථිවියෙන් එළියට ගොස් බලනවිට. එය වචනයෙන් විස්තරකළ නොහැකි ලස්සනක්” යැයි ඇය පවසා තිබුණි.
‘“අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙස බලන විට පෘථිවිය පිළිබඳ කියා ගන්නට බැරි ළෙන්ගතුකමක් ඇතිවෙනවා. ඉක්මනටම පෘථිවියට යන්න ඕනෑකමක් ඇතිවෙනවා. එය අපේ ජීවන තොටිල්ලයි. අභ්‍යවකාශයේ සිට පෘථිවියට ආපසු පැමිණි පසු යානයෙන් එළියට පැමිණ පෘථිවිය වැලඳ ගැනීමට සිතෙනවා.”
තෙරෙෂ්කෝවා කියා තිබුණි.
චම්පිකා ලියනආරච්චි