පිරිහෙන පුළුන් කොට්ට කර්මාන්තය


සුව නින්දක් අපේක්ෂා කරන බොහෝ දෙනෙක්,  සුවපහසු කොට්ටයක් හිසට තබාගන්නට අමතක නොකරති. ලෙඩක් දුකක් සෑදුණු මොහොතේදී පවා, මුලින්ම පිහිටට එන්නේ කොට්ටයයි.

විවිධ කුෂන් වර්ග, රෙදි කැබලි, කෘත්‍රිම රබර් ආදී විවිධ දෑ යොදාගනිමින් නිෂ්පාදිත කොට්ටා අද වෙන විට වෙෙළඳපොළේ බහුලව තිබුණත් කොට්ටා ගස්වලින් ලබා ගන්නා පුළුන් කොට්ටයකින්   ලැබෙන සුව පහසුව ඒ කිසිවෙකින්වත්  නොලැබෙන බව අත්දැකීමෙන්ම බොහෝ දෙනකු දනිති. ඒ  නිසාම, තම නිදි යහනට පුළුන් කොට්ටයක් එක්කර ගන්නට බොහෝ දෙනෙකු තුළ ඇත්තේ විශාල උනන්දුවකි. ඒ කොට්ටා පුළුන්වල ඇති සැහැල්ලු‍ව නිසාය. 

එහෙත් ගතට සුව දෙන පුළුන් කොට්ටය ඔබ අතට පත්වෙන කතාව නම් එතරම් සුව පහසු කතාවක් නොවේ. ඒ තුළ ඇත්තේ අසරණ ජනතාවගේ දහඩිය මහන්සියයි.  

කොට්ට භාවිතය මෙරට ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් වුවද එය කවදා කෙසේ ආරම්භ වූයේ දැයි අප නොදනිතත්, පෙර රජ දවස පවා කොට්ටා භාවිත කළ බව පොත පතේ සඳහන්ව ඇත. අප සාහිත්‍ය තුළද කොට්ටා ගැන විවිධ අයුරින් සඳහන් වෙයි. හිසේ ඇම්මට කොට්ටය මාරුකළ පිරිස් ගැනද, සිංහල අවුරුද්දට කොට්ටා පොර ක්‍රීඩාවේ නිරතවූවන් පිළිබඳවද අසන්නට ලැබෙන්නේ අද ඊයෙක සිට නොවේ. බුදු දහමේ එන අටපිරිකර පූජාව හැරුණු විට, සාංඝීක දානමය පිංකම්වලදී කොට්ටා පැදුරු පූජා කිරීමද මහ පිං පලදෙන පිංකමකි.

කොට්ටා නිපදවන්නේ කොට්ටා පුළුන් වලිනි.  කොට්ටා පුළුන් හැරුණු විට කපු පුළුන් ගැනද අසන්නට ලැබෙයි. විජය රජු පිරිවර 700ක් සමග ශ්‍රී ලංකාවට ගොඩ බසිද්දී කුවේණිය කපු කටිමින් සිටි බව කියවේ. අදටත් රෙදි නිෂ්පාදනයේදී කපු පුළුන් බහුලව භාවිත කරන අතර බොහොමයක් රටවල් එය ආර්ථික භෝගයක් ලෙසද වගා කරති.

අපි මේ කතා කරන කොට්ටා පුළුන් ලැබෙන්නේ කොට්ටා ගස්වල හටගන්නා ගෙඩි වලිනි. කොට්ටා ගසට ඇතැමුන් ‘ඉඹුල්’ ගස යයිද භාවිත කරති. එහෙත් කොට්ටා ගසත් ඉඹුල් ගසත් අතර යම් අසමානකමකි. ඉඹුල් ගසේ විශාල උල් කටු පිහිටීම එම වෙනසයි. එසේම ​ඉඹුල් ගසේ හටගන්නා ගෙඩි, ප්‍රමාණයෙන් කොට්ටාපුළුන් ගෙඩිය මෙන් අඩකටත් වඩා කුඩා ප්‍රමාණයේ ගෙඩියකි. එසේ නොවන්නට, මෙම ගස් දෙක මෙන්ම එහි ඵලද බොහෝ දුරට සමානකමක් දක්වයි. දෙතුන් දෙනෙකු අල්ලා වට කිරීමට පවා අපහසු තරමේ විෂ්කම්භයකින් මෙන්ම අඩි සිය ගණන් උසැති කොට්ටා ගස් තවමත් ගම්බද ප්‍රදේශවල දැක  ගන්නට ලැබෙතත්, විවිධ හේතුන් මත එම ගස් කපා හෙළීම හේතුවෙන් අද වෙන විට කොට්ටා ගස අප පරිසරයෙන් ක්‍රමයෙන් වඳ වී යන ශාකයක් බවට පත්වෙමින් තිබේ.

කොට්ටය මෙන්ම කොට්ටා ගස  අප සංස්කෘතිය තුළ පවා බෙහෙවින් කතාබහට ලක්වෙන ශාකයකි. මෙරට ජනතාව අතර  ඉතා ප්‍රසිද්ධ කැවිලි විශේෂයක් වන ‘ඉඹුල් කිරිබත්’ වලට ඉඹුල් යන නම ලැබී ඇත්තේද ඉඹුල් කිරිබත් ගුළියේ හැඩය  කොට්ටා ගසේ හටගන්නා ගෙඩියේ හැඩයෙන් යුක්ත වීම නිසායැයි පැරැන්නෝ කියති.

කොට්ටා පුළුන් මෙන්ම කොට්ටයද මෙරට ජනතාවගේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් වුවත්, අද වෙන විට පිරිසිදු පුළුන් කොට්ටයක පහස ලබන්නේ නම් ඒ ඉතාම සීමිත පිරිසකි. ඒ පිරිසිදු කොට්ටා පුළුන්    හා සමාන ව්‍යාජ නිෂ්පාදන බුරුතු පිටින් වෙළෙඳපොළට එක් වීම හේතුවෙනි.

කොට්ට නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇති ගැටලු‍ ගණනාවක් හේතුවෙන්, අද වෙන විට පුළුන් කොට්ටය මිනිසුන්ගෙන් ඈත් වෙමින් පවතින අතර, ඒ වෙනුවට කුෂන්, රෙදි කැබලි ආදිය යෙදූ කෘත්‍රිම රබර් කොට්ට සුපිරි වෙළෙඳසල් සේම සාමාන්‍ය වෙළෙඳපොළද  ආක්‍රමණය කරමින් තිබේ.

පුළුන්වලින් සකස් කරන ලද කොට්ටාවල මිල ගණන් අධික වීමද මීට ප්‍රධානතම හේතුවක් වී ඇත.

ඌව පළාතේ ප්‍රධානතම මාර්ගයක් වෙන, බදුල්ල - මහියංගණ මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට එම මාර්ගයේ බලගොල්ල, දහ අටේ කණුව, දෙහිගහමඩ ආදී  ප්‍රදේශයන්හි මාර්ගය දෙපස පිහිටි දැවැන්ත කොට්ට ගස් මෙන්ම කොට්ටා අලෙවි කරන වෙළෙඳසල් ගණනාවක් දැක ගන්නට ලැබෙයි.

බිබිල පැණි දොඩම්, බටලීයේ කජු,  නාවල අන්නාසි සේම මීගහකිවුල - බලගොල්ල දශක ගණනාවක් තිස්සේම ප්‍රසිද්ධව ඇත්තේ පුළුන් හා කොට්ට නිෂ්පාදනය සඳහාය.

මෙම ප්‍රදේශයේ පවුල් සිය ගණනක්, දශක ගණනාවක සිට  පුළුන් කොට්ටා නිපදවීම මෙන්ම අලෙවිය සිය ජීවිකාව බවට පත් කරගෙන සිටි අතර ඔවුන්ගේ  ප්‍රධානතම ආදායම් මාර්ගය සරිකරන ලද්දේ ද ගොවිතැන හැරුණු විට මෙම කොට්ටා වෙළෙඳාම තුළිනි.
එහෙත් මෑත කාලයේ දී ඔවුන් ද කොට්ටා පුළුන් අෙලවියත් සමගම කෘත්‍රිම කොට්ටා වෙළෙඳාමට ද යොමු වී ඇත්තේ පුළුන් කොට්ටා සඳහා වෙළෙඳපොළ තුළ ඇති තරගකාරිත්වය ඔවුන්ට ද තදින් දැනෙන්නට පටන් ගෙන ඇති නිසාය.

කොට්ටා රස්සාවේ නිරත වූ මෙම ප්‍රදේශවල පවුල් සිය ගණනක් මේ වෙන විට එම රැකියාවෙන් ඈත් වී සිටින අතර, මේ වෙන විට කොට්ටා වෙ​ෙළඳාමේ නිරතව සිටින්නේ ඉතාම සීමිත පිරිසක් බව පසුගිය දිනක එම ප්‍රදේශවල සිදුකළ සංචාරයකදී අපට අනාවරණය කරගන්නට හැකි විය.   කොට්ටා රැකියාවට බලපා ඇති නොයෙකුත් බාධාවන් මීට හේතු වී ඇති බව එම ජනතාව අප සමග කියා සිටියහ.

ජීවිතයේ සැඳෑ සමය විඳින, බලගොල්ලේ  ඩී.එම්. ගුණසේකර, අඩසියවසකටත් වැඩි කාලයක් කොට්ටා අලවියේ නිරතවූවෙකි. ඔහු මෙසේ කීය.

කොට්ටා පුළුන් ලැබෙන්නේ කොට්ටා ගස්වල හටගන්නා ගෙඩි වලිනි. කොට්ටා ගසට ඇතැමුන් ‘ඉඹුල්’ ගස යයිද භාවිත කරති. එහෙත් කොට්ටා ගසත් ඉඹුල් ගසත් අතර යම් අසමානකමකි. ඉඹුල් ගසේ විශාල උල් කටු පිහිටීම එම වෙනසයි. එසේම ​ඉඹුල් ගසේ හටගන්නා ගෙඩි, ප්‍රමාණයෙන් කොට්ටාපුළුන් ගෙඩිය මෙන් අඩකටත් වඩා කුඩා ප්‍රමාණයේ ගෙඩියකි. එසේ නොවන්නට, මෙම ගස් දෙක මෙන්ම එහි ඵලද බොහෝ දුරට සමානකමක් දක්වයි. දෙතුන් දෙනෙකු අල්ලා වට කිරීමට පවා අපහසු තරමේ විෂ්කම්භයකින් මෙන්ම අඩි සිය ගණන් උසැති කොට්ටා ගස් තවමත් ගම්බද ප්‍රදේශවල දැක  ගන්නට ලැබෙයි.

‘‘අපි පොඩි කාලේ ඉඳලම මේ පැත්ත කොට්ටවලට හරිම ප්‍රසිද්ධයි. අඩියෙන් අඩියට වගේ කොට්ට  ගස් තිබුණා. ඒ හින්දා බිම වැටිලා විනාශ වෙන පුළුන් ගෙඩි එකතු කරල  කීප දෙනෙක් කොට්ට හදන්න පටන්ගත්ත. පාරේ වාහන වැඩි වෙනවාත් එක්කම මිනිස්සු පාර අයිනේ තාවකාලික වෙළෙඳ කුටි හදාගෙන කොට්ට පුළුන් මලුවලට පුරවලා විකුණන්න පටන් ගත්තා. රුපියල් පහට දහයට තමයි කොට්ට පුළුන් කිලෝ තුන හතරක මල්ලක් ඒ කාලේ වික්කෙ. අද වගේ නෙවෙයි, ඒ කාලේ හැම තැනම කොට්ට ගස් තිබුණ.

කාලයක් යද්දි විශාල පවුල් ප්‍රමාණයක් මේ වෙළෙඳාමට එකතු වුණා . මං හිතන්නෙ ලංකාවෙ මෙහෙ තරම් පුළුන්කොට්ට විකුණපු ප්‍රදේශයක් නැති තරම්. පාරවල්වල යන විශාල පිරිසක් මේ වෙළෙඳ සැල්වල නවත්තලා කොට්ට පුළුන්  මිලදී ගත්තා.

ඊට පස්සේ තමයි ටික ටික පුළුන් පුරවලා කොට්ට මහන්න මිනිස්සු පටන් ගත්තෙ. මුලින්ම පොලිතින් බෑග් වලට පුරවපු පුළුන් වික්කත් ටික කාලයක් යද්දි මිනිස්සු රෙදි ගෙනැල්ලා කොට්ට උර මහලා විකුණන්න පටන් ගත්තා. රුපියල් විස්සට තිහට තමයි ඒ කාලේ කොට්ටයක් අලෙවි කළේ .විශාල ආදායමක් මේ පළාතේ මිනිස්සු කොට්ට විකුණලා ලබා ගත්තා.  විශාල කොට්ට ගස් ප්‍රමාණයකුත් මේ පැතිවල තිබුණා. ඒ  නිසා වෙළෙඳාම ගජරාමෙටම කෙරුණා. අවට ගම්වල සමහරු පුළුන් විදියටයි කොට්ට ගෙඩි විදියටයි ගෙනල්ලා මෙහෙ වෙළෙඳාම්කරණ අයට විකුණලා  ගම්වල ගස් යට අපතේ යන කොට්ට වලින් යම් මුදලක් උපයා ගත්තා.
කොට්ටා පුළුන් කර්මාන්තයේ යෙදෙන ගැමියන් කීපදෙනෙක් අද තත්ත්වය ගැන අදහස් දක්වමින්....

ජේ.එම්. ප්‍රේමලතා

අද වෙනකොට තත්ත්වෙ වෙනස්. අද කොට්ට වෙ​ෙළඳාමේ යෙදෙන්නේ එදා හිටපු අයගෙන් ඉතාම සුළු පිරිසක්. මේ කර්මාන්තයේ තියෙන අමාරුව හින්දා තමයි එන්න එන්නම මේ කර්මාන්තයේ යෙදෙන පිරිස අඩුවෙලා තියෙන්නේ. ඒ වගේම පුළුන් කොට්ටවල මිල වැඩි වීමත් එක්ක මිනිස්සු කෘත්‍රිම කොට්ට අඩු මුදලට හොයන්න පටන් ගත්තා.’’  

ඩී.එම්.  විමලසූරිය

‘‘අවුරුදු තිහක විතර ඉඳලා අපි කොට්ට රස්සාව කරනවා. හැබැයි එදා වගේ අද ලොකු බිස්නස් එකක් නැහැ. ඒ වගේම එන්න එන්නම  මේ කර්මාන්තේ තියෙන ගැටලු වැඩිවෙමින් පවතිනවා. අද වෙනකොට කොට්ට ගස් ඉතා සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒවත් විශාල උස ගස්. ඉස්සර ඕනැ තරම් මිනිස්සු ගස්වල නැගලා කොට්ට ගෙඩි කඩන්න හිටියා. හැබැයි අද වෙනකොට කොට්ට ගහකට නැගලා ගෙඩි ටිකක් කඩන්න පුළු‍වන් අය ඉන්නේ ඉතාම සීමිත පිරිසක්. ඒ අයත් දැන් වයසයි.   කොට්ට ගහකට නැගල ගෙඩි කඩනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මිනිස්සු තුන් හතර දෙනෙකුටවත් බදා ගන්න බැරි දැවැන්ත ගස්වලට නැගලා අව්වේ අත්තෙන් අත්තට  ගිහිල්ල තමයි කොට්ට ගෙඩි කඩන්න ඕනැ. එහෙම යද්දි ගස්වල ඉන්න දිමියෝ, බඹරු, දෙබරු,  ගහල සමහරු ඇදගෙන වැටෙනවා. ඒ වේදනාව උහුලගෙන, පරිස්සමට ගහෙන් බහින්න හොඳ පුරුද්දක් තියෙන්න ඕනැ. අනිත් එක තමයි, මේ ගස් හොඳටම ලිස්සනවා. වැඩේ ලේසි නැහැ. කොට්ට ගහක ගෙඩි කඩන්න අඩුම තරමින් රුපියල් 8,000 – 10,000 ක් වගේ ගානක් අය කරනවා. එහෙම නැත්තං පැයකට දෙදහසක් තුන්දාහක් ගෙවන්න ඕනැ. ඒ දුෂ්කරතාව හින්දා තමයි එහෙම මුදලක් අය කරන්නේ. හැබැයි එහෙම සල්ලි ගෙවලා ලැබෙන්නේ ඉතා සුළු පුළුන් ප්‍රමාණයක්. මේ වියදම් එක්ක බලද්දී බොහොම අමාරුවෙන් තමයි වියදමවත් පියවගන්නෙ’’.

ජේ.එම්.  තිලකා රන්ජනී 

‘‘කඩාගන්න කොට්ට ගෙඩි ඊට පස්සෙ ගෙනැල්ල පොතු ඇරලා ඒවගෙ ඇට රේණු දෙක වෙන්වෙන්න අයින් කරන්න ඕනෑ. පොත්ත අයින් කරපු කොට්ට ගෙඩි කඩල කඩල බැරල් එකකට දාලා ඉදලක් වගේ එකකින් කරකව කරකව පුළුන් ටික සහ ඇට ටික වෙන්කර ගන්න එක. මේක ලේසි කාරියක් නෙවෙයි. නහයින් කටින් පුළුන් යනවා. හුස්ම ගන්නත් අමාරුයි. ඉතින් බොහොම පරිස්සමට තමයි කරන්නේ. මේ විදිහට දුක් විඳල වැඩ කරන්න තරුණ පරපුර කැමති නෑ. මීට වඩා ලේසියෙන් මුදල් උපයන්න පුළුවන්කම තියෙනවා කියලයි ඒ අය කියන්නේ. ඒ නිසා දැන් ඉතාම සුළු පිරිසක් තමයි මේ රස්සාවේ යෙදෙන්නේ’’.  

නිරෝෂිකා ප්‍රියදර්ශනී

‘‘මම මේ රස්සාව පටන්ගෙන අවුරුදු 30කට ළඟයි. මේ රස්සාව කරගෙන යන එක ලේසි නෑ. දැන් පුළුන් ගණන්. පුළුන් හදාගන්න කම්කරුවෝ ගණන්. කොට්ට උර මහන්න රෙදි ඕනැ. ඒවත් හරිම ගණන්. එනිසා දැන් පුරුද්දට වගේ කරගෙන ගියාට ලොකු ලාභයක් නෑ. ඇත්තටම අපි කොට්ටයක් හදන්න රුපියල් 700ක් අටසීයක් විතර වැය කරනවා. රුපියල් 50-100ක් තියාගෙන තමයි කොට්ටයක් විකුණන්නෙ.

පාරේ යන අය වාහන නවත්තලා පාර දෙපැත්තෙ තියෙන කොට්ට ගස් පෙන්න පෙන්න අපිට කියනවා, මෙච්චර ගාණක් වැඩියි. මේවා මේ නිකං හැදෙන ගෙඩි කියලා. නිකන්  හැදුනට ඒවා කඩන්න ඕනෑ. ගස්වලට අයිතිකාරයො ඉන්නව.   

අපි එහෙම අඩුවට ඉල්ලන අයට දෙන්න කෘත්‍රිම කොට්ටත් ගෙනල්ලා තියලා තියෙන්නේ. ඒවනම් අපිට පොඩි ගාණක් තියාගෙන රුපියල් 300 - 400 ට   වගේ විකුණන්න පුළුවන්.  

මිනිස්සු සෞඛ්‍ය ගැන හිතනවට වඩා මිල ගැන තමයි හිතන්නේ. ඒ කොට්ට වල කිසිම සැප පහසුවක් නැතත් ගාන අඩු නිසා ගන්නවා. මේ වෙළෙදාම කරගෙන යන්න ඕනැ නිසා දැන් අපිත් ඒ පැත්තට යොමු වෙලයි ඉන්නේ. අපිත් දැන් කෘත්‍රිම කොට්ටත් පුළුන් කොට්ටත් එක්කම විකුණනවා. ඒවනං අපිටත් රුපියල් 300ට විකුණන්න පුළුවන්.”

කොට්ටා ගෙඩි කැඩීමට කම්කරුවන් නොමැති වීම නිසා ‍ප්‍රධාන මාර්ග දෙපස මෙන්ම ගම්මාන වල ඇති කොට්ටා ගස් විශාල ප්‍රමාණයක ගෙඩි පුපුරා පුළුන් අපතේ  යන අයුරු ද මෙම ගම්මානවල කළ සංචාරයේදී අපට දැක ගන්නට ලැබිණි. වසර ගණනාවක සිටම කොට්ටා ගෙඩි කැඩීමේ නිරතව සිටින ඩබ්ලිව්.එම්. විජේරත්න ඒ ගැන කීවේ මෙවැනි කතාවකි.

මම කාලෙක ඉඳන් කරන්නේ කුළියට කොට්ට ගෙඩි කඩන එක.  මහත්තයෝ, ඉස්සර මේ පැත්තෙ කොට්ටගස් විමානේ. පාර හැම තැනම කොට්ට ගෙඩි වැටිලා, වාහනවලට පොඩිවෙලා යනවා. ඒ තරම් කොට්ට ප්‍රමාණයක් තිබුණා. ඒ හින්දා ලොකු මිලක් උනෙත් නෑ. හැබැයි අද වෙනකොට මේ කොට්ට ගස් විශාල ප්‍රමාණයක් දැව ජාවාරම්කාරයෝ සැටලින් ලෑලි  ඉරන්න කපලා කොළඹ පටවනවා. ඒකෙන් ගෙඩි හැදුණ කොට්ට ගස් විශාල ප්‍රමාණයක් අපට නැතිවෙලා. ඒ විතරක් නෙවෙයි, දැන් දැන් කැලෑවෙන් මේ ගස්වලට කඩා පනින රිලව්, දඩුලේන්නු ලපටි කාලෙම කොට්ට ගෙඩි  හපලා ඇට කනවා.   මේ පුරුද්ද හින්ද දැන් හැදෙන කොට්ට ගෙඩිවලින් සියයට හැටක් හැත්තෑවක් අපතේ යනවා. අස්වැන්න හොඳටම අඩුයි.

ගහකට නගින්න පුළුවන් මිනිස්සු ඉන්නේ දෙතුන් දෙනෙක් විතරයි. බොහොම අමාරුවෙන් තමයි පරිස්සමට කොට්ට ගෙඩි කඩන්න ඕනැ. සුළු වැරැද්දක් හරි වුනොත් ගහ මුල තමයි නවතින්නේ.   මේ ගැටලු‍ත් එක්ක අද මේ කර්මාන්තය හොඳටම පිරිහිලා. තව ටික කාලයක් යද්දි සම්පූර්ණයෙන්ම මේ රස්සාව කරන අය නැතිවෙලා යයි. එහෙම වුණොත් අර බිබිලෙ පැණි දොඩම් වගේ බලගොල්ලෙ කොට්ට කර්මාන්තයත් මිනිස්සුන්ට අමතක වෙලා යාවි. ඒ නිසා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව හරි ඉදිරිපත් වෙලා, මිනිස්සුන්ට වෙළෙදාම් කරන්න වෙළෙඳ කුටි ටිකක් හදලා මේ කර්මාන්තය රැක ගන්න කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා නම් ඒක ලොකු සේවයක්.

කතාව සහ ඡායාරූප - වියලු‍ව නිශාන්ත කුමාර