පාන් පිටි මිලෙන් කොමිස් ගහන පිටකොටුවේ කළුකඩකාරයෝ


 

  • රුපියල් 220 පාන් පිටි කිලෝවට රුපියල් 400ක්
  • වැඩිපුර රුපියල් 180ක ලාබයක් ගන්නේ කවුද? 
  • සමහර පාන් පිටි ඒජන්සි මගින් පිටි තොග හංගලා

 

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු‍ පිටි මිල ඉහළ යාම නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල ද ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. අද වනවිට පාන් පිටි කිලෝවක මිල රුපියල් 400-500ත් අතර මිලක් වෙයි. එහෙත් සමහර තැනක පාන් පිටි කිලෝව රුපියල් 280 මිලකට තවම අලෙවි වෙයි. එසේම ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 300කට අලෙවි කරන විට සමහර තැනක රුපියල් 170-180 මිලට පාන් ගෙඩියක් අලෙවි කරයි. එක මිලකට අලෙවි කළ හැකි පාන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන එක් එක් අයට ඕනැ විදියට මිල වැඩි කිරීමෙන් දැන් මාෆියාවක් හටගෙන තිබේ. 

ආණ්ඩුව කියන විදියට මේ මාෆියාව හඳුනා ගැනීමට බැරිය. මේ නිසා හිතු හිතූ ගණන්වලට පාන් පිටි විකිණීමෙන් මෙරට ජනගහනයෙන් සියයට 70ක් පමණ දැඩි අපහසුතාවකට පත්ව ඇත. ඒ එම ජනතාව බොහෝ විට එක් වේලක් පිරිමසා ගන්නේ පාන් පිටි ආශ්‍රිත නිෂ්පාදන නිසාවෙනි. දිනපතා පාන් පිටි මිල ඉහළ යාම නිසා කළු කඩ මිලට පිටි අරගෙන බේකරි නිෂ්පාදන කිරීමට බැරි බව මීට පෙර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද පෙන්වා දුන්නේය. වැඩි මිලට පිටි අරගෙන බේකරි නිෂ්පාදන සිදු කළොත් පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා වැඩිවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතාද පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අනුව පාන් පිටි මිල වැඩි වීම පිටුපස මාෆියාවක් ක්‍රියාත්මක බව පෙනී යන බව බොහෝ දෙනාගේ මතයයි. 


පසුගියදා පාන් පිටි මාෆියාව ගැන පාරිභෝගික අධිකාරිය ද දැනුවත් කළ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා තොරතුරු රැසක් අනාවරණය කළේය. අසේල සම්පත් මහතා පෙන්වා දෙන පරිදි පාන් පිටි මිල වැඩි වූයේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය කාලේදීය. ඊට හේතු වූයේ රුපියල් 84.50 ට තිබූ පාන් පිටි මිල ගැසට්ටුව එම ආණ්ඩුව ඉවත් කිරීම නිසාය. පාන් පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එසේ නම් පාන් පිටි සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එසේ තිබූ පාන් පිටි මිලෙහි ගැසට්ටුව ඉවත්කොට කළු කඩ සහ පාන් පිටි මාෆියාව ඇති කළ බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 
මිල වෙනස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාන් පිටි හිඟයක් මුලින්ම රට තුළ ඇති කළේය. පාන් පිටි හිඟය නැති කිරීමට ඉන්දියාවෙන් ගෙන්වීමටද තීරණය කළේය. අපට ඉන්දියාවෙන් පාන් පිටි ගෙන ආවේ ඉන්දියාවේ පැවති අතිරික්තයයි. ඒ අනුව රුපියල් 84.50ට පැවති පිටි කිලෝවේ මිල ක්‍රමයෙන් වැඩි විය. අන්තිමට පාන් පිටි කිලෝව රුපියල් 220 දක්වා වැඩි වූ බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 


මේ අතරවාරයේ රටේ නොසන්සුන්තාව වැඩි විය. උද්ඝෝෂණ වැඩි විය. අරගලය පටන් ගත්තේය. ජනතා අවධානය ඒ දෙසට යොමු ​ෙවනවිට හිතුමතේ භාණ්ඩ මිල වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මේ රටේ තිරිඟු‍ පිටි සැපයුම ප්‍රධාන වශයෙන් කරන්නේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් දෙකය. ඒ අයට අමතරව පිටකොටුවේ වෙළෙන්දන් අතට මේ වෙළඳාම දැන් ගොස් ඇත. මේ හේතුවෙන් පෙර කී සමාගම් දෙක තිරිඟු‍ පිටි සැපයුම ටිකක් අඩු කළ බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 


අපේ රටට ගැළපෙන්නේ ඉන්දියාවෙන් ගෙන්වන පාන් පිටි නොවේ. ශීත රටවලින් ගෙන්වන පාන් පිටිය. එම පාන් පිටි ගුණාත්මක බවෙන් වැඩිය. ඇමෙරිකාව, තුර්කිය, කැනඩාව වැනි රටවලින් ගෙන එන පාන් පිටිවලින් හදන කෑම එක රසෙන් වැඩිය. නමුත් ඉන්දියාවෙන් ගේන පාන් පිටිවල රසයක් නැත. එසේ වුවත් පාන් පිටි මාෆියාව හදපු සමහර අය මිල වැඩි කළේ පාරිභෝගිකයාට දැඩි බලපෑමක් කරමිනි. මේ මිල වැඩි වීම පාලනය කිරීමට හැකියාවක් ඇත. නමුත් ගැසට්ටුව වෙනස් කිරීම නිසා පාරිභෝගික අධිකාරියට මැදිහත්වීමට බැරි වූ බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 

 


පාන් පිටි මිල වැඩිවීම බිස්කට්, පාන්, පරාට, කොත්තුව, බිත්තර රොටිය, ජෑම් පාන් එක, මාළු පාන් එක, ස්ප්‍රිංරෝල් එකට තදින්ම බලපෑවේය. නමුත් පාලකයෝ මේ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැත. පාන් ගෙඩිය රුපියල් තුන්සියය දක්වා වැඩි වූ විට කාගේත් ඉහමොළ රත්වෙන්නට විය. පාන් පිටිවලින් හදන කෑම මිල වැඩිවීම නිසා පරිභෝජනය අඩු විය. පොල් රොටියක් හදා මඟ දෙපස විකුණන අයගේ සිට තරු පහේ හෝටලය දක්වා ආදායම අඩු විය. නමුත් මේ ගැන කවුරුත් බැලු‍වේ නැත. පාන් පිටි වෙළඳාමේ ඉන්න සමහර ඒජන්සිකරුවන් කළේ මාෆියාවක් හදා පාන් පිටි පාලනය තම යටතට ගැනීමය. මේ අය පාන් පිටි තොග රැස් කළේය. ප්‍රීමා සහ සෙරන්ඩිප් සමාගම් හරහා ලබන කොමිස් මුදල ද ගන්නා මේ අය රැස් කරගත් පාන් පිටි තොග පිටකොටුවේ සිටින මාෆියාකාරයින්ට ලබා දුන්නේය. ඒ හරහා විශාල ලාබයක් ගත්තේය. ප්‍රීමා සහ සෙරන්ඩිප් සමාගම් හරහා පාන් පිටි මිටිය රුපියල් 12,000 - 13,200ට දැන් ද ලබාගත හැකිය. නමුත් එම පිටිම ඒජන්සිකරුවන් හරහා පිටකොටුවේ මාෆියාකාරයින් ලබාගෙන පාන් පිටි මිටිය රුපියල් 20,000ට විකුණන බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. මේ හරහා පාන් පිටි කළු කඩ ජාවාරම ඇති වූ බව ද ඒ මහතා පවසයි. 
මේ අතර පාන් පිටි සපයන ප්‍රධාන සමාගම් දෙක වෙළෙඳපොළට නිකුත් කරන තොග ප්‍රමාණ අඩු කළේය. එම සැපයුම සියයට 25 දක්වා අඩු විය. පාන් පිටි ජාවාරමේ යෙදී සිටි අය ද ඉන්දියාවෙන් පිටි ගෙන්වීම නතර කිරීම හරහා කෘත්‍රිමව පාන් පිටි හිඟයක් රට තුළ ඇති විය. ඒ අනුව රුපියල් 310 තිබූ පාන් පිටි කිලෝව එක්වරම රුපියල් 400 දක්වා වැඩි වූ බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 


මේ ජාවාරම දිගටම කරන විට කවුරුත් ඒ ගැන සොයා බැලු‍වේ නැත. පාලනයක් කළේ නැත. නියාමනයක් කළේ නැත. දැන් ප්‍රශ්නය උග්‍ර වූ පසු කට්ටිය කලබල වූහ. මේ පාන් පිටි ප්‍රශ්නය ඇත්තේ කොළඹට පමණි. යාපනයට මේ ගැටලු‍ නැත. යාපනයේ පාන් මිල පරණ මිලමය. පිටි මිල ද පරණ මිලය. නමුත් කොළඹ කළු කඩ පාන් පිටි මාෆියාවට විරාමයක් තියා ගැනීමට බලධාරීන්ට හැකි වී නැත. ඊට හේතු වී ඇත්තේ මේ රටේ පාරිභෝගික පනත ශක්තිමත් නැති හෙයිනි. පාරිභෝගික පනත ශක්තිමත් කිරීමට නම් පාර්ලිමේන්තුවේ නීති හැදිය යුතුය. එහෙත් එසේ වන්නේ නැත. මන්ද පාර්ලිමේන්තුවේ නීති හදා පාරිභෝගික පනත ශක්තිමත් කළහොත් තමන්ගේ ගජ මිතුරු කල්ලිය හසුවෙන බව මන්ත්‍රීවරු දනිති. එවිට ඊළඟ ඡන්දයේදී ඡන්දයට උදව් කිරීමට කෙනකු නැත. ඒ නිසා මේ මාෆියාව කවදාවත් නතර වෙන්නේ නැති බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 


අද පාන් පිටි කර්මාන්තයෙන් ජීවිකාව රැකෙන පවුල් ලක්ෂ 20ක් පමණ පීඩාවට පත්ව ඇත. දිනකට කොළඹ නගරයේ ඉඳිආප්ප 10,000ක් පමණ අලෙවි වෙයි. පෙට්ටි කඩේ සිට තරු පහේ හෝටලය දක්වා මේ අවද‌ානම ඇත. අද වෙන විට හෝටල් රැසක් වැසී ගොස් ඇත. පාන් පිටි මාෆියාවෙන් අයුතු ලාභයක් ගත්තේ පාන් පිටි ඒජන්සි කරන සමහර පුද්ගලයින්ය. අනික් කොටස පිටකොටුවේ පාන් පිටි මාෆියාවේ යෙදෙන අයයි. මේ ආකාරයට පාන් පිටි මාෆියාව ක්‍රියාත්මක වෙන විට එම ස්ථාන වැටලීමේ බලය, මිල පාලනයේ බලය ආරක්ෂා කරන අය ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ නැති බව අසේල සම්පත් මහතා පවසයි. 
පාන් පිටි වැඩිපුර ආහාරයට ගන්නේ දමිළ සහ මුස්ලිම් ජනතාවය. මේ අයගේ ප්‍රධාන ආහාරය පරාට, බිත්තර රොටි, ඉට්ලි, සමෝස, රොටි සහ පාන්‍ ය. සිංහල අය තුන්වේලටම කන්නේ බත්‍ ය. නගරබදව ජීවත් වෙන අය පාන් පිටිවලින් හදන කෙටි ආහාර සඳහා හුරු වී සිටිති.

 


පාන් පිටි මාෆියාව ආණ්ඩුවට හඳුනා ගන්න බැරිලු

මාෆියාව නතර කරන්න පාරිභෝගික පනත ශක්තිමත් නෑ

- අසේල සම්පත්

 


 

 

 මේ නිසා පාන් පිටි ජාවාරමෙන් හැම ජාතියක්ම බැටකති. නමුත් ඒ කිසිවක් නොසලකා පාන් පිටි මාෆියාකරුවන් කළේ පාන් පිටි හිඟයක් අැති කිරීමය. මිල වැඩි කිරීමය. ලැබුණ මුදල සාක්කුවේ දමා ගැනීමය. අද වෙන විට සියලු‍ම බදු ගෙවූ පසු පිටකොටුවෙන් පාන් පිටි කිලෝවක් බෑ විට මිල වන්නේ රුපියල් 200-220 කි. මේ ගාණ හරි ගාණය. එසේ නම් රුපියල් 400ට පාන් පිටි කිලෝවක් විකුණූ පසු ඉතිරි මුදල යන්නේ කා අතට දැයි සොයා බැලිය යුතුය. මේ නිසා චූන් පාන් වාහන අද නැත. පාසල් ආපනශාලා වැසී ගොස් ඇත. බේකරි වැසී ගොස් ඇත. මෙය බරපතළ ප්‍රශ්නයකි. පාන් පිටි භාවිතයෙන් ඉවත් වෙනවා නම් කුරක්කන්, සහල් පිටි වැනි විකල්පයකට යා යුතුය. නමුත් රජයට එවැනි විකල්පයක් නැත. ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම පාන් පිටි සමාගම්වලට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ එම සමාගම් සියයට සියයක් සැපයුම ලබා නොදෙන හෙයිනි. මේ සමාගම් දෙක සමස්ත වෙළෙඳපොළ ආවරණය කර ද නැත. මේ නිසා ඉන්දියාවේ තිබෙන ගුණාත්මක නැති පාන් පිටි වෙළෙඳපොළක් හදා පාන් පිටි මාෆියාවක් හැදීමට එය ඉවහල් විය. එම නිසා පාන් පිටි කිලෝව රුපියල් 200ට ලබාදීමේ ක්‍රමයක් හැදිය යුතු බව අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. 


සීනි, සුදු ලූනු වාගේ වංචාවක් පාන් පිටිවලට ද සිදු වී ඇත. පාන් පිටි මිල සුපිරි වෙළෙඳසල්වල එක මිලකි. ගමේ කඩේ තව මිලකි. එසේ වන්නට බැරිය. මේ නිසා ඉදිරියේදී ජනතාවට කන්න බොන්න දෙයක් නැතිව හිඟා කන තත්ත්වයට පත්වීම වැඩි ඈතක නොවෙන බව අසේල සම්පත් මහතා පවසයි.


 

හෝටල්වලට එන සංචාරකයින්ට අද කන්න දෙයක් නෑ

- ප්‍රියන්ත තිලකරත්න 

 


මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ සංචාරක හෝටල්වලට එන සංචාරකයින්ට දැන් පිටි ආශ්‍රිත කෑම වර්ග ලබාදීම ගැටලු‍වක් වී ඇති බවය. මේ අය සංචාරක කර්මාන්තය නගා සිටුවනවා වෙනුවට එය විනාශයට කටයුතු කරන බවය. දැන් සංචාරකයකුට උදේට පාන් කෑල්ලක්, ඉඳිආප්පයක් දෙන්න බෑ. කොත්තු, ආප්ප, පරාට, බිත්තර රොටි දෙන්න බෑ. එක පැත්තකින් බිත්තර නෑ. ගෑස් මිල ව්‍යාපාරික ස්ථානවලට අඩු කරලා නෑ. අපි එන සංචාරකයාට කෑම වේලක් දෙන්න වෙන්නේ නැතැයි ප්‍රියන්ත තිලකරත්න මහතා පවසයි. 

 

 

  • ප්‍ර‌ීමා සමාගම තිරිඟු‍ පිටි  මිල වැඩි කර නෑ
  • මිල වැඩි කර ඇත්තේ බාහිර පාර්ශ්වයක්

 

මේ ගැන අදහස් දක්වන සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ සංචාරක හෝටල්වලට එන සංචාරකයින්ට දැන් පිටි ආශ්‍රිත කෑම වර්ග ලබාදීම ගැටලු‍වක් වී ඇති බවය. මේ අය සංචාරක කර්මාන්තය නගා සිටුවනවා වෙනුවට එය විනාශයට කටයුතු කරන බවය. දැන් සංචාරකයකුට උදේට පාන් කෑල්ලක්, ඉඳිආප්පයක් දෙන්න බෑ. කොත්තු, ආප්ප, පරාට, බිත්තර රොටි දෙන්න බෑ. එක පැත්තකින් බිත්තර නෑ. ගෑස් මිල ව්‍යාපාරික ස්ථානවලට අඩු කරලා නෑ. අපි එන සංචාරකයාට කෑම වේලක් දෙන්න වෙන්නේ නැතැයි ප්‍රියන්ත තිලකරත්න මහතා පවසයි. 

 

 

  • බේකරි හිමියන්ට අපෙන් සාමාන්‍ය
  • මිලට පිටි ගන්න පුළුවන්

- ප්‍රීමා සමාගම


අප මේ සියලු‍ කාරණා ගැන ප්‍රීමා සමාගමෙන්ද විමසීමක් කළෙමු. එහිදී එහි ප්‍රකාශකයකු කියා සිටියේ ප්‍රීමා සමාගම කිසිදු විටෙක තිරිඟු පිටි මිල වැඩි කොට නැති බවය. මේ මිල වැඩි කොට ඇත්තේ වෙනත් පිරිසක් බවය. ඕනෑම බේකරි හිමියකුට තම බෙදාහැරීම් ස්ථාන මගින් අවශ්‍ය තිරිඟු‍ පිටි සාමාන්‍ය මිල ගණන් යටතේ ලබාගත හැකි බවද එම ප්‍රකාශකයා පවසයි. එසේම තම සමාගමට අයත් කිසිදු ඒජන්සියකින් වැඩි මිලට විකිණීමට තිරිඟු‍ පිටි තොග ලබා නොදෙන බවත් එසේ ලබා දෙන අයකු ගැන ආයතනයට පැමිණිලි කළ විට එම අයගේ ඒජන්සිය අවලංගු කිරීමටද කටයුතු කරන බව එම ප්‍රකාශකයා පැවසීය. 


මේ කාරණා ගැන අප සෙරන්ඩිබ් සමාගමෙන්ද විමසීමක් කළෙමු. එහිදී කිහිප අවස්ථාවක් ගත් නමුත් දුරකතනයට ආවේ ආරක්ෂක අංශ සාමාජිකයෙකි. ඔහු පවසා සිටියේ කතා කිරීමට කිසිවකු අසුන්වල නැති බවය. අප විනාඩි 45ක් පමණ උත්සහ කළ  ද එම සමාගමේ කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. 

 

  • පාන් පිටි මිල පාලනයට ගැසට් එකක් නෑ
  • මිල අඩු කරන එකට අපට මැදිහත් වෙන්න බෑ
  • වැඩි මිලට විකුණුවොත් හරිතොග ස ඟවා ගෙන හිටියොත් අපට වැටලීම් කරන්න පුළුවන් 

- පාරිභෝගික අධිකාරියේ සභාපති 

 

 

 

මේ ගැන තොරතුරු දැන ගැනීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප අවස්ථාවක්ම උත්සහ කළද එය ව්‍යර්ථ විය. ඉන් පසු අප පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල මහතාගෙන්ද කරුණු විමසා සිටියෙමු. එහිදී සභාපතිවරයා පැවසුවේ මෙවැන්නකි. 


“යම් අයකු හෝ කණ්ඩායමක් පාන් පිටි තොග සඟවා වැඩි මිලට විකුණනවා නම් අපට පුළුවන් ඒ සඳහා මැදිහත් වෙන්න. පිටකොටුවෙ තැන් ගැන අපට තොරතුරක් නෑ. අපි ගම්පහ ප්‍රදේශයේ නම් වැටලීමක් කළා. එහෙම නැතිව අපට මැදිහත් වෙන්න බෑ. පාන් පිටි මිල අඩු කරන එකට අපට මුකුත් කරන්න බෑ. දැනට පාන් පිටි උපරිම මිලක් දාලා නෑ. ඒ නිසා පාන්පිටි සඳහා ගැසට් එකක් නෑ. වැඩි මිලට විකුණුවොත් විතරයි අපට මැදිහත් වෙන්න පුළුවන්.” යැයි සභාපතිවරයා කියා සිටියේය.

 

 

 සටහන : 
ප්‍රගීත් සම්පත් කරුණාතිලක