පදවිය රනින් බැබළ වූ කොළඹ සරසවියේ කසුන්


කසුන් තම ඥාතීන් සමග උපාධිය හිමිකර ගත්දා...

  • මම මේ ගමන ආවේ රෝස මල් යහනාවක තමයි
  • ඒක හදන්න නොසෑහෙන පිරිසක් ළඟින් හිටියා

දවසින් දවස තරගකාරී වන විශ්විද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි තම අරමුණු කරා ළඟාවීමට අවැසි විෂය ධාරාවක් තෝරාගැනීම සුළුපටු කාරණාවක් නොවේ. විශේෂයෙන් වර්තමානය වන විට ඇතැම් විද්වතුන්ගේ පවා අදහස වී ඇත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ගොඩනැගිය යුත්තේ තාක්ෂණය හා ඍජුව කටයුතු කෙරෙන විෂයමාලාව වඩා යෝග්‍ය බවයි. ඒ කාරණාව එසේ සමාජගතවෙද්දී ඉතිහාසය , පුරාවිද්‍යාව වැනි විෂය ධාරා හැදෑරීමෙන් ලෝකයක් දිනාගත හැකි ද යන්න බොහෝ දෙනෙකුට ඇත්තේ කුතුහලයකි.

එවන් පසුබිමක පසුගියදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී ඉතිහාසය පිළිබඳව හොඳම උපාධි පර්‌යේෂණ නිබන්ධනය සඳහා වෙන ආචාර්ය ලෝනා දේවරාජ සම්මානය ද , ඉතිහාසය සඳහා පිරිනමනු ලබන එස්. ඩී. එච්. ජයවර්ධන මහතා සහ මහත්මිය අනුස්මරණ රන් පදක්කමද, ඉතිහාසය සඳහා පිරිනමන ටිකිරි අබේසිංහ අනුස්මරණ ත්‍යාගයද, ශ්‍රී ලංකා ඉතිහාසය සඳහා මහාචාර්ය ඉන්ද්‍රාණි මුණසිංහ සම්මානය ද ලබා 2024 වසරේ ඉතිහාසය විෂය සම්බන්ධව හොඳම ශිෂ්‍යයා ලෙස පිදුම් ලැබුවේ කසුන් මහේෂාන් බණ්ඩාර සිසුවා ය.

එවන් විෂය ධාරාවක මෙවන් සම්මාන ලබා කසුන් කියාදෙන පාඩම සුළුපටු එකක් නොවේ. එය වඩා වැදගත්වනුයේ හෙට දවසේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සිහින දකින පරපුරටය.

පදවියේ බෝගහවැව නම් ඈත දුෂ්කර ගම්මානයේ උපත ලබන කසුන්ගේ පවුලේ මවත් පියාත් සමඟ ඔහුට සිටියේ වැඩිමහල් සහෝදරයකු සහ බාල සහෝදරයකු පමණි. මවගේත් පියාගේත් අතිවිශාල නෑදෑ පරපුරක රැකවරණය ද ආදරයද නොඅඩුව හිමිවූ ඔවුන්ගේ ජීවිතවල රැඳී තිබුණේද ජීවන අරගලය දිනාගැනීමේ අරමුණයි.

“අපෙ පවුලෙ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන. මට හරිම සොඳුරු ළමා කාලයක් තිබුණේ.  මගේ ජීවිතේ බැඳිලා තිබුණෙ නිදහස සහ සතුට එක්ක. තවත් වචනයකින් කිව්වොත් ඉස්කෝලෙයි, පන්සලයි එක්ක. ඒ මම සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබූ අලු‍ත්හල්මිල්ලෑව විදුහල සහ ශෛලබිම්බාරාමය, බෝධිරුක්ඛාරාමය යන පන්සල් සමග. මට මතකයි මම උදේ හතයි තිහට කලින් ඉස්කෝලෙ ගියාට කවදාවත් එකයි තිහට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් නෑ. සමහර දාට ස්කෝලෙ සියඹලාගස් හෙවණෙ, තැම්බෙන බඩ ඉරිඟු‍ කරලක, රටකජුවක රහ බලමින් සාහිත්‍ය, ඉතිහාසය, ආගම වගේ විෂයන් ගැන පුංචි පුංචි සංවාද යනවා. මේ සංවාදවලට ගුරු නිවාසෙ නතරවෙලා හිටිය බුද්ධාගම සර්, සංගීත සර්, ලොකු සර් එකතු වෙනවා. ඒතරම් බැඳීමක් ස්කෝලෙ එක්ක තිබුණා. ගමේ ඉස්කෝලෙ හැම ගුරුවරයෙක්ම වගේ දරුවෝ වෙනුවෙන් වචනයෙන් ඇත්තම අර්ථයෙන් කැපවෙලා හිටිය ගුරු පිරිසක්. ටික කාලයක් යද්දි අපේ ගමට ආසන්න කැලේ ආරණ්‍ය සේනාසනයක් හැදුණා. පන්සලේ සාම්ප්‍රදායික වතාවත්වලට අකමැති නැති වුණත් මට ආරණ්‍යයේ නිහඬ, සන්සුන් බවට කැමැත්තක් ඇති වුණා.

මම ඉස්කෝල නිවාඩු කාලෙ කරන්නෙ ඉතිහාස, සාහිත්‍ය පොත් කිහිපයක් අරගෙන ආරණ්‍ය සේනාසනයට යන එක. මැටි ගහලා ඉලු‍ක් හෙවිලි කරලා කැලේ මැද්දාවේ තියෙන පොඩි කුටියක දස සිල් සමාදන් වෙලා අර පතපොත කියවනවා. ආරණ්‍යයෙ ලොකු හාමුදුරුවෝ, පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු සියලු‍ හිමිවරුන් මේ වෙලාවෙ කෘතවේදීව මතක් කරන්න ඕනැ. උන්වහන්සේලාගේ ඇසුර මට ලබා දුන්නට 

මගේ සිරිතක් තිබුණ ගමේ දානයක්, වැවේ මුට්ටි නැමීමක්, පිදේනියක් වගේ තියෙන තැනකට ගිහින් ඒ ගැන වැඩිහිටියන්ගෙන් අහන්න, ඡායාරූප ගන්න. මට ඒ යාතුකර්ම ගැන හොයා බලන්න ආසාවක් තිබුණා. ගමේ ජීවිතය ගෙවිලා ගියේ ඒ විදියට තමයි.”

කුඩා කාලයේ සිටම අධ්‍යාපන කටයුතුවලට මෙන්ම බෞද්ධාගමික කටයුතුවලටත්, අනෙක් ආගම්වල සංස්කෘතික අංග පිළිබඳවත් වැඩි නැඹුරුවක් දැක්වූ කසුන් සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය ලබන්නේ ගමේ පාසලෙනි. ඒ අලු‍ත්‍හල්මිල්ලෑව විදුහලයි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමට ලකුණු කීපයක් මදිවූවත් සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 7ක් බී සාමාර්ථ 2ක් සහිතව ඔහු සමත්වන්නේ පාසලට ද කීර්තියක් එක්කර දෙමිනි.

“මම උසස් පෙළ හදාරන්න යන්නේ අනුරාධපුරයේ මධ්‍ය විද්‍යාලයට. ඒ කලා අංශයෙන්. ඇත්තම කිව්වොත් ඒ වෙද්දි වන්දනා ගමනක්, පාසල් පාදක තරගයකට ඇරෙන්න මම අනුරාධපුරයට ගිහින් තිබුණෙත් නෑ. මම කිව්වෙම ගමේ ඉඳගෙන උසස් පෙළ කරන්නම් කියලා. ඒත් අම්මගෙ ලොකු හීනයක් තිබුණා මට හොඳට උගන්වන්න. ඒ නිසා අනුරාධපුරයේ බෝඩිමක නැවතිලා තමයි මුල් කාලෙ පාසල් ගියේ. ඒත් ටික කාලෙකින් බෝඩිම මාරු කරල අනුරාධපුරට ආසන්න මැදවච්චියෙ ඉන්න අපෙ පුංචිලගෙ ගෙදර නතර වුණා අවුරුදු දෙකම. එහෙම කරන්න වුණෙත් බෝඩිම් ජීවිතේ නුහුරු නිසාත්, වියදම් අධික නිසාත්. අනුරාධපුර ඉස්කෝලෙ ගියෙ බොහොම ටික කලක් නිසා දෝ ගමේ ඉස්කෝලෙ අදටත් මට මතකයෙ ඉහළින්ම තියෙනවා. බමුණන් අධ්‍යාපන ලැබුවායින් පස්සෙ ඔවුන් ද්විජ කියල හඳුන්වනවා. ඒ වගෙ මගේ ද්විජ භූමිය නැතිනම් දෙවැනි උපත ලෙස සලකන්නේ ගමේ ඉස්කෝලෙ. ඒ ලැබූ අත්දැකීම් ජීවිතේ බොහෝ තැන්වලට මට උදව් වුණා”

මේ කාල සීමාවෙහිදී කසුන්ලාගේ ජීවිතයට කණකොකා හඬන්නට පටන් ගන්නේ නොසිතු අයුරිනි. උතුරුමැද පළාත තුළ දරුණු ලෙස වකුගඩු රෝගය ව්‍යාප්තවන්නේ වකුගඩු රෝගියකු නොමැති ගෙදරක් සොයාගන්නට නොහැකි වන අයුරිනි. ගොවිතැන් බතින් තම පවුල නඟාසිටුවූ කසුන්ගේ පියා ද වකුගඩු රෝගයෙන් මියයන්නේ මේ කාල සීමාවේය.

“ඒක ජීවිතේ ඉතාම අනපේක්ෂිත තැනක්. බෞද්ධ දර්ශනය සම්බන්ධ මේ වෙනකොට මගෙ ලොකු උනන්දුවක් තිබුණ නිසාත් සාම්ප්‍රදායික නොවන වන සෙනසුනක පැවිදි වෙන්න මම හිතුවා. ඒත් ගුරුවරුන්ගෙ සහ සමීපතමයන්ගෙ මැදිහත් වීම නිසා ඒක නතර වෙනවා. තාත්තා නැති වුණ වෙලාවෙ පවුලෙ බර කරට ගන්නේ අයියා. එයා ගුවන් හමුදාවට බැඳෙනවා. මම උසස් පෙළ ඒ සම්මාන තුනක් අරන් විභාගය සමත් වෙනවා. උසස්පෙළ ඉඳන් විශ්වවිද්‍යාලය මේ දක්වා අධ්‍යාපනය ලබන්න ගමේ ඉස්කෝලෙ දී මුණගැසුණු මගෙ ආදරණීය ගුරුතුමියක් සහ ඔස්ට්‍රේලියාවෙ ජීවත්වන ශ්‍රී ලාංකීය වෛද්‍යවරියක් ප්‍රධාන වශයෙන් ම උදව් වෙනවා. ඊට අමතරව අපේ අම්මගෙ, තාත්තගෙ නෑදෑ පිරිස් ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා මට ඉගෙනගන්න. ගුරුවරු, සමීපතමයෝ මගෙ සහායට ඉන්නවා.’

උසස් පෙළින් පසුව කසුන් තේරී පත්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස දෙපාර්තමේන්තුවටය. ඒ කාලයේ රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වයිරසය හේතුවෙන් කසුන්ලාගේ කණ්ඩායම පළමු වසර ගෙවා දමන්නේ ඔන්ලයින් ක්‍රමයටය.

“කොළඹ කියන්නේ නුහුරු පරිසරයක්. විශ්වවිද්‍යාලයට එද්දිත් නුහුරු බවක් හිතේ තිබුණා අලු‍ත් අවකාශයක් නිසා. නමුත් පළමු වසරේ මාර්ගගත ක්‍රමයට ඉගෙන ගත්ත කාලෙම බොහෝ ආචාර්යවරුන්, යහළුවන් දැන හැඳිනගෙන හිටියේ. ඒ නිසා ආසාවක් තිබුණ ඒ අය හම්බ වෙන්න, විශ්වවිද්‍යාල ජීවිතෙ රස විඳින්න. මම මගෙ ටීචර් එක්ක තමයි මුලින්ම කැම්පස් එකට ආවෙත්, ඒ ඉතිහාස දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශනයකට. මම විශ්වවිද්‍යාලය තුළ ඉතිහාසය, සිංහල, බෞද්ධ අධ්‍යයනය යන විෂයන් තුන හැදෑරුවේ. ඉතිහාසය ගෞරව උපාධියට මම සුදුසුකම් ලබනවා. ඇත්තටම ඉස්කෝල කාලෙ උගත් සාම්ප්‍රදායික ඉතිහාස කතා රටාවට වඩා ඉතා විචාරාත්මකව සහ විශ්ලේෂණාත්මකව ඉතිහාස ශික්ෂණය තේරුම් ගැනීමට විශ්වවිද්‍යාලය තුළදි අවකාශය ලැබෙනවා. මට ලොකු උනන්දුවක් ඇති වුණා ඉතිහාසය දෙපාර්තමේන්තුව විසින් පුහුණු කරන, එක විදියකට යෝජනා කරන ඉතිහාසය ශික්ෂණය පිළිබඳව. ප්‍රජාවකගෙ ෆැන්ටසිමය ආසාවන් තෘප්තිමත් කරන අනන්‍යතාකාරකයක් ලෙස ඉතිහාස දැනුම් සම්පාදනය කිරීම වෙනුවට කිසියම් ඓතිහාසික සත්‍යයක් අවබෝධ කරගැනීම සම්බන්ධ ඉවහල් වෙන විචාරාත්මකව ඉතිහාස අධ්‍යයනයකට එයින් හුරුකරන බව මගේ තේරුම් ගැනීම. නූතන ඉතිහාසකරණය පරිණාමය, ධනවාදයෙ ඉතිහාසය, මහජන සෞඛ්‍යය ඉතිහාසය, ජනප්‍රිය ඉතිහාස කතිකා විශේලේෂණය, ඉතිහාස ලිවීමේ නව දිශානති, රාජ්‍යය, හමුදාව, කැරලි සහ විප්ලව ආදී සාම්ප්‍රදායික නොවන පාඨමාලා රාශියක් එහි අන්තර්ගතව තිබුණා.

මේ කාලයේ මම විශ්වවිද්‍යාලය ඇතුළේ බොහෝ බාහිර වැඩවලට පවා සම්බන්ධ වුණා. සිංහල අධ්‍යයන අංශයෙන් මෙහෙය වූ වින්දන කලා කේන්ද්‍රයෙන් කලා රසවින්දන වැඩසටහන් ද ඉතිහාසය සංගමය මගින් විවිධ දේශන සහ වැඩමුළු සංවිධානය කරන්නත් සහභාගී වීමේ අවස්ථාව ලැබුණා. ඒ නිසා විශ්වවිද්‍යාල ජීවිතය අලස දෙයක් වුණේ නෑ. අපට හොඳ ආචාර්ය මණ්ඩලයක් හිටියා ඔවුන් ශිෂ්‍යයාගෙ නිදහසට සහ ස්වාධීනත්වයට ගරු කළා. සමහර අවස්ථාවල වෘත්තිය ජීවිතයෙන් ඔබ්බට ගිහින් පෞද්ගලිකව ද ශිෂ්‍යයන්ගෙ ගැටලු‍වලට උපකාර කරපු ආචාර්යවරැ හිටියා.”

කසුන් විශ්වවිද්‍යාලයේදී හැදෑරුවේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් වුවත් අභිලේඛන අධ්‍යනයට ද වැඩි කැමැත්තක් දැක් වූ අයෙකි. ඔහුගේ අරමුණ වූයේද එය පුළුල්‍ ලෙස හැදෑරීමය. ඒ සඳහා ඔහු වඩාත් පෙලඹවීමට පත්වන්නේ උසස් පෙළ විභාගයට මුහුණ දී නිවෙසේ සිටින කාල සීමාවෙහි ඔහුගේ ගමේ පිහිටි සෙල් ලිපියක් පිටපත් කරගැනීමට පැමිණි භික්ෂු විශ්වවිද්‍යාලයෙහි එවකට පුරාවිද්‍යා අංශාධිපති හිමියන් පැමිණීමය. පසුව ඒ හිමියන් සමග එක්වීමට කසුන්ට අවස්ථාව ලැබුණි. මාස තුනක් වැනි කාල සීමාවක තිබුණ ශිලා ලිපි ගවේෂණයක දී උන්වහන්සේගේ මඟපෙන්වීම යටතෙහි කටයුතු කිරීම තුළ කසුන්ට ඒ විෂය පිළිබඳව ලැබෙන්නේ ද විශාල දැනුම් සම්භාරයකි.

”‍විශ්වවිද්‍යාලය තුළ ගෞරව උපාධියක අවසානයෙ නිබන්ධනයක් කරන්න තියෙනවානෙ. ඒ සඳහා සාමාන්‍ය ක්‍රමය තමයි දෙපාර්තමේනතුවෙන් අනුමත කරන මාතෘකාවක් යටතේ නිබන්ධනය කිරීම. මට ඕන වුණේ මට ඕන එක කරන්න. අපේ ප්‍රදේශයේ ගම් දෙකණ්ඩායමක මිනිස්සු කතා කරගන්නේ වන්නි සහ හිංගල මිනිස්සු විදියට. සිංහල භාෂක සමාජයක් මේ ප්‍රදේශවල හිටියත් වන්නි සහ හිංගල කියල ප්‍රධාන වාර්ගික අනන්‍යතා මට්ටමට වඩා දෙවන තලයෙ වැඩකරන අනන්‍යතාවක් දකින්න පුළුවන්. මට හිතුණෙ මෙහෙම එකම භාෂාවක් කතාකරන එකම සමාජ කණ්ඩායමක මෙහෙම බෙදීමක් තියෙන්නෙ ඇයි කියලා හිතුණා. මට අවශ්‍ය වුණේ මේ ගැන ගවේශනය කරලා නිබන්ධනය ලියන්නයි. මම මේ අදහස මුලින්ම කියන්නේ මගෙ සමීපතම කථිකාචාර්යවරයෙකුට. ඔහු තමා මගෙ විශ්වවිද්‍යාල ජීවිතෙ පළමුව හමු වුණ ආචාර්යවරයා. ඔහු තමයි දිරි දෙන්නේ ඒක කරන්න කියලා. ඔහු ආචාර්ය උපාධිය සඳහා විදෙස්ගතවූ නිසා මම මේ නිබන්ධනය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ඉල්ලා සිටිනවා. අධ්‍යයනාංශය විසින් මට ඇය ලබාදෙනවා. එම ආචාර්යවරියගෙ උපදේශකත්වය යටතේ ස්වාධීනව පර්‌යේෂණය සිදුකරමින් සිටියදී හදිසි අනතුරකින් ඇය මියයනවා. ඊට පසුව මම නිබන්ධනය අවසන් කරන්නේ අප අධ්‍යයන අංශයෙ ඉතිහාසය මහාචාර්යවරයා සමග. ඉතාම නිදහස්ව සහ ස්වාධීනව ”‍කුංචුට්ටු කෝරලයේ වන්නි - හිංගල ප්‍රජා අනන්‍යතාහි ප්‍රභවය සහ විපරිණාමය‘ නිබන්ධනය ලියා නිම කරනවා. එය මම පුදකරන්නෙ විශ්වවිද්‍යාලය ඇතුළේ සෑම පුද්ගලයකුගේම ස්වාධීනත්වයට ගරු කරපු, සත්‍යය වෙනුවෙන් පෙනී හිටිය මියගිය මගෙ ආචාර්යතුමියට˜.

අද වනවිට අපේ රටේ පවතින අධ්‍යාපන රටාව අනුව ඉතිහාසය, පුරාවිද්‍යාව වැනි විෂයක් හැදෑරීම ගැන බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ රැකියාවක් සොයාගැනීමටවත් ඒ විෂය ධාරාවන් නොගැළපෙන බවයි. තාක්ෂණය උඩුයටිකුරු වී ඇති සමාජයක, බොත්තමක් එබූ සැණින් විශ්වයම දෝතට ගෙන බැලිය හැකි කාල සීමාවක මෙවන් විෂය ධාරා වලින් රටක සමාජයක හෙට දවසට උරදෙන තරුණ පරම්පරාවට යහපතක් වේ දැයි බොහෝ දෙනකු ගැඹුරු ලෙස විමසා බලන ප්‍රශ්නයක් වී ඇත.

“ඉතිහාසය වැදගත් වෙන්නෙ විෂයෙන්ම තමන් කියවා ගැනීමට. ඉතිහාසය සාමුහික අනන්‍යතා නිර්මාණය කරන්නක්. ඒ නිසා ඉතිහාස අධ්‍යයන විචාරශීලී සහ විමර්ශනශීලී වීමෙන් අප අනන්‍යතා නිර්මාණය පිළිබඳව අවබෝධයක් ලබා ගතහැකියි. මෙහි වැදගත්කම ලංකාව වැනි රටක වර්තමානයෙහි පවතින අර්බුද දෙස බැලීමේදී පවා පැහැදිලි වෙනවා. ඉතිහාසය පුළුල් විෂය ධාරාවක්. නමුත් ඉතිහාසය එකිනෙකා හැදෑරීම් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මම කතා කරන්නේ මම ශික්ෂණය ලැබූ අධ්‍යයනය අංශයෙන් ලැබූ, ලබන අත්දැකීම්වලින්. මේ වෙද්දි මට අවස්ථාවක් ලැබී තියෙනවා කේම්බ්‍රිජ් විශ්‍වවිද්‍යාලය සමඟ එක්වී වැඩ කරන්න. ඒ අවස්ථාව ලැබුණේ මගේ කථිකාචාර්යවරයකු හරහා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය මහාචාර්යවරයකුගෙ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තියෙනවා කොළඹ අවකාශයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරන්න. එහි පර්‌යේෂණ සහකාරවරයකු ලෙස මට කටයුතු කරන්න අවස්ථාව හිමිවී තිබෙනවා. ඒවගේම තමයි රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය හරහා බොහෝ රැකියා මේ විෂය හමුවේ නිර්මාණය වී තිබෙනවා. ඇත්තටම අපි තමයි එළියට එන්න ඕන. අපියි අපෙ කුසලතා, හැකියා ප්‍රකට කරන්න ඕන, වර්ධනය කරගන්නෝන. අපි නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබලා රජයෙන්ම රස්සාවක් දෙන තුරු බලාගෙන ඉන්නව නම්, එක මහ දීන වැඩක්.”

කොළඹ විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි කසුන් මහේෂාන් බණ්ඩාර තැබූ සලකුණ සුළුපටු නොවේ. ඒ ගමන ඔහු පැමිණ ඇත්තේ රෝස මල් යහනාවක නොවේ යැයි අපට හැඟී ගිය ද ඔහු අදටත් විශ්වාස කරන්නේ තමා මේ ගමන පැමිණියේ රෝස මල් යහනාවක් මතින් කියා ය.

“දැනුම කියන්නෙ ස්වයංභූත දෙයක් නොව  ඒක සාමුහික නිර්මාණයක්. ඒවගෙම මේ මම තනි පුද්ගලයෙක් විදියට ලබපු දෙයක් නෙමෙයි. මට එතැනට එන්න පාර්ශ්ව හතරකගේ සහයෝගය නොඅඩුව ලැබුණා. එකක් තමයි මගේ අම්මා තාත්තා, මගේ පවුලේ නෑදෑයො. ඊළඟට මට අධ්‍යාපන දුන්න පාසල්වල , විශ්වවිද්‍යාලයේ ගුරුවරු. මට ඉගෙන ගන්න වියදම් කරපු, නොමසුරුව තමන්ගෙ දේවල් දුන්න පිරිස. ඒ පිරිස වගේම මාව අත නොහැරි මගෙ සමීපතමයෝ ටික. මෙන්න මේ පිරිස මට මගේ ගමන යන්න රෝස මල් යහනාවක් හදලා දුන්නා. මගෙ දායකත්වයත් ඒ එක්කමයි තිබුණෙ තනිව නෙමෙයි. එහෙම පාරක් හදපු නිසා තමයි මම මේ ගමන මෙහෙම ආවේ. ඒකයි මේක තනි ජයග්‍රහණයක් නෙවෙන්නේ. එදා මම සැරින් සැරේට වේදිකාවට නැග ලා සම්මාන සහතික ගන්නකොට මගේ අංශාධිපතිනිය මට කිව්වේ කසුන් මේ තැනට එන්න මොන කරම් කැපකිරීමක් කරන්න ඇති ද කියා. මම ඒ වෙලාවෙදිත් කිව්වෙ මම සාමූහික නිෂ්පාදනයක්, තනි පුද්ගලයකුගේ දායකත්වයක් නෙමෙයි කියල මම හිතනව කියල. ඇයත් එය අනුමත කළා. නිදහස් සහ ස්වාධීන නමුත් ඉතිහාසය පිළිබඳව විචාරාත්මක ශිෂ්‍යයෙක් නිර්මාණය කිරීමට අවස්ථාව නිර්මාණය කරදීම සම්බන්ධව ඉතිහාසය අධ්‍යයන අංශය අංශ ප්‍රධානී ඇතුළු සියලු‍ මහාචාර්යවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට ස්තුතිය හිමිවෙන්න ඕන.”‍

බොහෝ මිනිසුන්ට ජීවිතය දිනන්නට පෙර මං තනා දෙන්නේ තවත් බොහෝ මිනිසුන්ය. නමුත් ජීවිතය දිනාගත් පසු, කිරුළු දැරූ පසු බොහෝ දෙනෙකු උත්සාහ දරන්නේ ඒ ගමන තමන් තනියෙන් ගොඩනගාගක් බව ලෝකය හමුවේ දිගහරින්නටය. එවන් අවස්ථාවලදී දෑත් දිගුකළ මිනිසුන් මුනිවත රකිමින් නිහඬව බලා හිඳින්නේ තම හදවතේ සතුට පමණක් ඉතිරි කරගෙනය. කසුන් ලොවට කියාදෙන්නේ තමන්ට දෑත් දිගුකළ මිනිසුන්ට ද ඔහු හා සතුට බෙදාහදාගන්නට ද ඉඩ හසර වෙන්වී ඇති බවය.

‘මම උනන්දු දර්ශනය අනුව මම කැමැති මේ මොහොතෙ ජීවත් වෙන්න. ඒකෙන් කියන්නෙ නෑ මට අනාගතය ගැන බලාපොරොත්තු නෑ කියල. මම පුහුණු කරන ඉතිහාසය ශික්ෂණය අනුව ඉදිරියටත් ඉගෙන ගනිමින්ම සහ පර්‌යේෂකයෙකු වීමට බලාපොරොත්තුවක් මට තියෙනවා. මම මගෙ සීමාකම්, දුර්වලතා පිළිබඳව සවිඤ්ඤාණිකයි. මේ ලබපු අත්දැකීම මගෙ ජීවිතේ පුංචි ම පළමු පියවරක් විතරයි.”

සුජිත් ප්‍රසංග