නිදහස් අරගලයේ දීර්ඝ කතන්දරය


නිදහස සම්බන්ධයෙන් මැයි මාසයේ කතා කිරීම ඇතැමෙකුට අරුමයක් විය හැකියි. එහෙත් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසට අනුව නම් එය එබඳු කරුණක් නොවේ. මැයි මාසයේ 22 දාට යෙදෙන ජනරජ දිනය අපට නියමාකාරයෙන් නිදහස ලැබුණු දිනයයි. මේ නිසාම නිදහස සම්බන්ධයෙන් සුවිශේෂ සම්මන්ත්‍රණයක් දියත් වේ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ සම්මන්ත්‍රණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලංකාවේ නිදහසේ අරගලේ දීර්ඝ කතන්දරය.


අවරුදු 1300 කට අධික අඛණ්ඩ ශ්‍රී ලංකා ස්වාධීන රාජ්‍යය බටහිර ආක්‍රමණයට ලක්වෙන්නේ 1505 පෘතුගීසි ආක්‍රමණයත් සමඟ. එතැන් සිට ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ අති සමූහයක් ඇතිවුණා.


 1815 දී උඩරට ගිවිසුමෙන් මුළු රටම යටත් විජිතයක් බවට පත්වුණා. 1818 ඌව වෙල්ලස්සෙන් ඇරඹෙන ජාතික විමුක්ති සටනේ කතාන්දරය ඉතා දිගුයි.
1918 ඓතිහාසික ඌව වෙල්ලස්ස අරගලය, 1948 දී පොළොන්නරුව, මාතලේදී ඇතිවුණු පුරන්අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා නායකත්වය දුන් ඓතිහාසික අරගලය, ආදීන් වගේම ඉන්පසුව විවිධ ජනතා නැගිටීම් හරහා උත්සාහ කරනු ලැබුවා නැවත විනාශ වුණු ස්වාධීනතාවය දිනාගන්නට.


 මේ අරගලය බුද්ධිමය හා ශාස්ත්‍රීය අරගලයක් වශයෙන් පෙනී යන්නේ, මේ වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා, ගිහිපැවිදි පඬිවරු, විශේෂයෙන්ම කතා කළොත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්. හික්කඩුවේ සුමංගල හිමි, ධම්මාලංකාර හිමි. අනගාරික ධර්මපාල තුමා. පියදාස සිරිසේන මහතා, දෙමළ සමාජයේ ආරුමුගම් නම් පඬිවරයා, මුස්ලිම් සමාජයේ සිද්දි ලෙබ්බෙ වැනි බුද්ධිමතුන් කරන ලද ශාස්ත්‍රීමය මැදිහත්වීම නිසා. ඒත් සමගම ජාතික ආගමික පුනරැද ව්‍යාපාරය ආරම්භ වුණා.
 ඊටත් පසුව 19 වැනි ශත වර්ෂයේ අග භාගයේ උගත් බුද්ධිමතුන් මැදිහත් වෙන ව්‍යවස්ථානුකූල අරගලය විශේෂයෙන්ම විදේශ අධ්‍යාපනය හමාර කර පැමිණි සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ලෙස ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක, ඩී.බී. ජයතිලක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ටී.බී. ජයා, පොන්නම්බලම් අරුනාචලම්, පොන්නම්බලම් රාමනාදන් වැනි චරිත බුද්ධිමය වශයෙන් සහ ව්‍යස්ථාමය වශයෙන් කරන ලද අරගලයන් සිදුවුණා.
 මෙහි ප්‍රතිඵලයක් ලෙස තමයි 1948 ඩොමීනියන් තත්ත්වයක් ලබා ගන්නෙ. නමුත් ඒ තුළින් හැකිවෙන්නෙ නැහැ ජනරජයක් බවට පත්වෙන්න සහ සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන් මිදෙන්න.


මේ තත්ත්වය 1972 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවෙන් තමයි අත්පත් කරගන්න හැකි වෙන්නෙ.
එවකට ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා. මේ දිගු ඉතිහාසයේ පිටුපස තිබූ ආස්වාදනීය කොටස්. ඒ පාඩම්, ඒ වගේම අද වෙන විට මේ නිදහසට අත්පත් වී ඇති කරුණු කිසියම් ආකාරයක ශාස්ත්‍රීය වශයෙන් සහ ප්‍රාසාංගික වශයෙන් මේ සෑම අවස්ථාවකටම සම්බන්ධ කවි, ජන ගී, ජන හෑලි, නූර්ති, නාඩගම් ගී, විවිධ ප්‍රවාද වශයෙන් මෙරට ඇතිවුණා.


ඒ වගේම යටත් විජිතවාදය විසින් එකතු කරන ලද යම් දේවල් එනම් කපිරිඤ්ඤා, බයිලා, රොක් වැනි දේවල් ද එකතු වුණා. මේ සියලු දේ සමඟ අනුකරණය වෙමින් අද ගමන් කරන මාර්ගය හරහා හැකිවෙලා තියෙනවා. ශ්‍රී ලාංකීය සමාජය සැබවින්ම නිදහස් කරගන්න.
 මෙම කාරණාවන් සාකච්ඡා කිරීම තමයි මේ සම්මන්ත්‍රණය තුළින් සම්පූර්ණ වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ.’ යැයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. 


‘ජනරජ දා නිදහස යළි කියවමු’ නමින් පැවැත්වෙන සම්මන්ත්‍රණය මැයි මස 22 දින සවස 6.30 ට මහනුවර ‘සහස් උයන’ පරිශ්‍රයේ දී පැවැත්වේ.
ඕනෑම දේශපාලන මතවාද දරන සමාජ ක්‍රියාකාරීන්ට, ශිෂ්‍යයන්ට, උගතුන්ට, සාමාන්‍ය ජනතාව ඇතුළු ඕනෑම අයෙකුට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් හා එකතු වී මෙම සාකච්ඡාවට සම්බන්ධ විය හැකියි.

 

 

■ ධනු විජේරත්න