නැදුන්ගමුවේ රාජාට හිටපු ජනපතිගේ පොරොන්දුව කඩවෙයිද ?


පුරා වසර 11ක් දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ මඟුල් ඇතු ලෙස නැදුන්ගමුවේ රාජා හස්තියාට දළඳා වහන්සේ රැගත් කරඬුව වැඩම කිරීමේ භාග්‍යය උදාවිය. 2006 වසරේ සිට 2021 දක්වා නැදුන්ගමුවේ රාජා හස්තියා දළඳා කරඬුව රැගෙන පෙරහැරේ ගමන් කළේ ගාම්භීරත්වය විදහාපාමිනි. 2021 අවසන් වරට දළදා කරඬුව වැඩම කරමින් ගමන් කළ නැදුන්ගමුවේ රාජා හස්තියා පසුගිය වසරේ (2021) මාර්තු 07 වැනිදා මෙලොවින් සමුගත්තේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේය.   

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුව රැගත් නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගිය පසුව ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. එසේ උපදෙස් දෙනු ලැබුවේ බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාටයි. අනාගත පරපුරට දැක ගැනීම සඳහා නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් පිරිසක් ඒ සඳහා කටයුතු කිරීමට පියවර ගත්තේය.   


නැදුන්ගමුවේ රාජා හස්තියා මිය ගොස් ලබන සැප්තැම්බර් 7 වැනිදාට මාස 6ක් සම්පූර්ණ වෙයි. එහෙත් හස්තියාගේ සංරක්ෂණ කටයුතු තවමත් ප්‍රමාද වී තිබේ. මේ පිළිබඳ විවිධ අදහස් පළවුවත් කඩිනමින් හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට කටයුතු කරමින් සිටින බව අදාළ අංශ බලධාරීන් සඳහන් කරයි. නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කොට මහජනතාවට දැකබලා ගැනීම සඳහා ස්මාරකය සෑදීම සඳහා ස්ථානයක් සොයා ගැනීම ගැටලුවක් වී තිබේ. ඒ නිසා මෙම කටයුත්ත ප්‍රමාද වී ඇත.   
අප මේ පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගෙන් විමසීමක් කළෙමු.   


නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට ප්‍රමාද වන්නේ ඇයි?  


නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තිබෙන්නේ. අපිට ගෞරවාන්විතව මේ හස්තියාගේ සිරුර සංරක්ෂණය කරලා තබන්න ස්ථානයේ ගැටලු කිහිපයක් මතු වුණා. ඒ ස්ථානය පිළිබඳ යෝජනා කිහිපයක් ලැබිලා තිබෙනවා. සියලුදෙනාගේ අදහස් විමසලා අපි සුදුසු ස්ථානයක් තෝරාගෙන කඩිනමින් එම ක්‍රියාවලිය කරන්න සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා. බොහෝ විට ඉදිරි දින කිහිපය තුළ ඒ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.   


ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. දැනට රටේ පවතින තත්ත්වය අනුව අපිට ඒ මුදල දරා ගන්න අමාරුයි. අඩු වියදමකින් පූර්ණ සංරක්ෂණ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.   


මේ සඳහා ප්‍රතිපාදන දළදා මාලිගාවෙන් ලබාදී තිබෙනවා නේද?  


දැනටමත් අපිට ප්‍රතිපාදන දළදා මාලිගාවෙන් ලබාදීලා තිබෙනවා. මූලික කටයුතු සඳහා. නමුත් විශාල මුදලක් ඒ සඳහා වැය වෙනවා. ඒ තරම් මුදලක් දළදා මාලිගාවෙන් ලබා දෙයි කියල බලාපොරොත්තුවක් තිබෙනවා.   


දැනට යෝජනා වී ඇති ස්ථාන මොනවාද?   


තැන් තුනක් යෝජනා කරලා තිබෙනවා. මහනුවර, බටලීය සහ කොළඹ කෞතුගාරය යෝජනා වී තිබෙනවා. ඒ වගේ තැන් 3ක් තිබෙනවා. අපි අවම වියදමකින් මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අවම වියදමක් වුණාට මේ සිරුර සංරක්ෂණය කරන්න ඉතා ගෞරවාන්විතව ඒ කටයුතු කරන්න ඕනෑ. අපි විෂයභාර ඇමතිවරයා සමඟ සාකච්ඡා කරලා අඩු වියදමකින් ඉතා ගෞරවවාන්විතව මේ සිරුර සංරක්ෂණය කරන්න කටයුතු කරනවා. අපිට ස්ථාන කිහිපයක් යෝජනා වෙලා තිබෙන නිසා ඒ පිළිබඳව සොයා බලමින් ඉන්නේ. අපිට එක තැනක් යෝජනා වුණා නම් දැනටමත් අපි ඒ කටයුතු ආරම්භ කරලා අවසන්. අපි ඒ යෝජනා කළ ස්ථාන පිළිබඳ සොයා බලලා සුදුසු ස්ථානයක් ස්ථීර වුණාම ලබන සතියේදීම මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා. අදාළ ස්ථානය සහ යන වියදම සැලකිල්ලට ගෙන ඉතා ගෞරවාන්විතව මේ කටයුතු සිදු කරන්නයි අපි කටයුතු කරන්නේ.   


මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මියගෙන් විමසීමක් කළෙමු.   


නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කරන්න ප්‍රශ්නයක් මතු වී තිබෙනවාද?  


කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්ථානය ගැන තමයි ප්‍රශ්නයක් තිබෙන්නේ. මුලින් මේ හස්තියාගේ සිරුර තැන්පත් කරන්න තිබුණු ස්ථානය පිළිබඳ අපට තවම දැනුම් දීලා නැහැ. වෙන තැනක ඉඩ පහසුකම් නොලැබුණොත් අපි කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ.   


දැන් මේ සම්බන්ධයෙන් කොයි වගේ තත්ත්වයක්ද තිබෙන්නේ?  


දැනට අපි සාකච්ඡා මට්ටමින් තමයි ඉන්නේ. ඇතා සංරක්ෂණය කිරීමේ මූලික කටයුතු අපි කරගෙන යනවා. හිස සහ දළ කොටස හිස් කබල පිරිසිදු කරලා සංරක්ෂණයට අවශ්‍ය කොටස් වගේම ශරීරය පිරවීමට අවශ්‍ය දේවල් මිලදී ගනිමින් සිටිනවා. ස්ථානය පිළිබඳ සාකච්ඡා මට්ටමින් තමයි ඉන්නේ. මේ ස්මාරකය තැන්පත් කරන්නේ කොතැනද කියන එක ගැන තවම නිශ්චිත ස්ථානයක් පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. ඉතා කඩිනමින් සුදුසු ස්ථානයක් තීරණය කරලා මට දැනුම් දුන්නොත් එතකොට ප්‍රමාදයකින් තොරව මේ කටයුතු ආරම්භ කරනවා.   


අප මේ පිළිබඳව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් විමසීමක් කළෙමු.   


නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට ප්‍රමාද ඇයි?  


ප්‍රමාදයක් කියලා නැහැ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දීලා තිබෙන්නේ. තවත් ප්‍රතිපාදන අවශ්‍යයි කියලා ඇස්තමේන්තුවක් අපිට ලබාදීලා තිබෙනවා. ඒකත් අපි ගෙවනවා. අවශ්‍ය මූල්‍ය දායකත්වය දළදා මාලිගාවෙන් කෙරෙනවා. ඒ සඳහා සුදුසු ස්ථානය පිළිබඳව තමා ගැටලුව පැන නැගුනේ.   


හස්තියා සංරක්ෂණය කිරීමේ කටයුතු අපි බාර දීලා තිබෙන්නේ ජාතික කෞතුකාගාරයට. මුලින්ම තීරණය කළේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දළදා මාලිගාවෙන් ලබා දෙනවා. ස්ථානය පිළිබඳව තමයි ගැටලුවක් තිබෙන්නේ. ඒ සඳහා අපි අදාළ අංශ සමඟ සාකච්ඡා කරලා කඩිනමින් තීරණයක් අරගන්නවා. කොහොම වුණත් අපි මේ කටයුතු කඩිනමින් කරනවා.   


දළදා කරඬුව තම පිට මත තබාගෙන ගමන් කිරීම තරම් උතුම් කාර්යයක් කිසිදු හස්තියෙකුට ලැබෙන්නේ නැත. ඒ සඳහා කාලයක් පෙරුම් පුරා සිටි ඇත් රජෙකු වන නැදුන්ගමුවේ රාජා හස්තියාටද හිමිවිය. ඒ ඇත් රජු මේ සඳහා සංසාරේ අතිශය ලෙස පිංකර ඇතෙකු වීමයි.     


නැදුන්ගමුවේ රාජාගේ ඉතිහාසය


වර්ෂ 1953 නැදුන්ගමුවේ රාජා උපත ලබන්නේ ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දීය. ඉන්දියාවේ මනිපූර් වල මහරාජා කෙනෙකුගේ ඥාතියෙකුට සුවකළ නොහැකි රෝගයක් හටගත්තේය. එම රෝගය සුවකළේ සුප්‍රකට වෙද හිමිනමක් වූ නීලම්මහර වෙද හාමුදුරුවන් වහන්සේයි. එම රෝගය සුව කළ නිසා තෑග්ගක් ලෙස ඇත් පැටුවන් දෙදෙනෙකු නීලම්මහර වෙද හාමුදුරුවන් වෙත පරිත්‍යාග කෙරිණි. පසුව ඇත් පැටවුන් දෙදෙනාගේ භාරකාරත්වය නීලම්මහර වෙද හාමුදුරුවන් විසින් වෙනත් දෙදෙනකුට පවරා දී තිබේ. ඉන් එක් ඇතෙකු වූයේ ගංගාරාම විහාරයේ හැදී වැඩී සිටි මෙයට වසර කිහිපයකට පෙර මිය ගිය නවම් රාජාය. අනෙක් ඇත් පැටවා හොරණ උඩුව ප්‍රදේශයට රැගෙන විත් වසර 25කට පමණ පසුව එනම් 1978 වසරේ නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාලහාමිගේ භාරකාරත්වයට පත්විය. එතැන් පටන් ඇත් පැටවා හැඳින්වූයේ නැදුන්ගමුවේ රාජා ලෙසයි.   
නැදුන්ගමුවේ රාජා එලිෆ්‍ාස් මැක්සිමස් ඉන්ඩිකස් (Elephas Maximus Indicus) නැමති උප විශේෂයට අයත් වෙයි. දිවයිනට පැමිණෙන විට ඇත් පැටවාගේ වයස අවුරුදු 5කි. ක්‍රමයෙන් හැදී වැඩුණු නැදුන්ගමුවේ රාජාගේ උස අඩි එකොළහ හමාරකි. (11 1/2) රාජාගේ දළ යුගල අඩි පහකින් සමන්විතයි. ආසියාවේ හිලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස සැලකුනේද නැදුන්ගමුවේ රාජා හස්තියායි.

 

 

 සටහන : 
නිශාන්ත කුමාර බණ්ඩාර