දෑස් නොපෙනුනත් දරුවන්ගේ දෑස් පාදන ගුරු අම්මා


සුනිලා රත්නායක මෙනෙවිය බණ්ඩාර කොස්වත්ත  විල්බාගෙදර කනිෂ්ඨ  විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන්නීය.  ඇය හදවතින්ම දුවා දරුවන්ට ආදරය කරුණාව දක්වන සැබෑ ගුරු මාතාවකි. ඇයගෙන් ආදරය ලබන්නට උණුසුම ලබන්නට ඉස්කෝලේ සමනල  සමනලියන් බඳු පුංචි පැටව් පොරකති.


ඉගැන්වීමට උපන් හපන්කම් දක්වන ඇය, සිසු දරු දැරියන් ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන තරගවලට ඉදිරිපත් කර ජයග්‍රහණ රැසක් ලබාදී පාසල් මාතාවට ඉමහත් කීර්තියක් ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.


ඇය මේ වෙන විට කවි සහ කෙටිකතා  පොත්පත් රැසක්ම ලියා මුද්‍රණය කර පළකර ඇති අතර ගීත රචනයට ද උපන් හපන්කම් දක්වන්නියකි. ඇය විසින් ලියා පළ කරන ලද පොත්  කිහිපයක් ම සම්මානයට ද පාත්‍ර වී ඇත. 


ඇය රචනා කළ ගීත කිහිපයක්ම ගුවන් විදුලි නාළිකා කිහිපයකින්ම ප්‍රචාරය කර ඇති අතර එක් කෙටිකතාවක් පාදක කරගනිමින් සෝමවීර සේනානායක සූරීන් විසින් පොහොය දිනවලට ජාතික රූපවාහිනිය  විකාශය කරන සිත නිවන කතා ටෙලි නාට්‍යය මාලාව සඳහා තිර රචනය කර එය විකාශය කර ඇත.


උපන් දා සිට වසර 27ක කාලයක් දක්වා ලෝකය දුටු ඇයගේ දෙනෙත් නොපෙනී ගියේ ඉන් පසුවය. ඒ ඇතිව තිබූ හිසරදයකට විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්යවරයෙකු විසින් ලබාදුන් බෙහෙත් වර්ගයක් පානය කිරීමෙන් ඇති වූ බව කියන අාසාත්මිකතාවක් නිසා ය. 


අවිවාහක දිවියක් ගත කරන සුනිලා රත්නායක මෙනෙවිය මේ වෙන විට 58 වැනි වියේ පසුවන්නීය. ඇය ජීවත් වෙන්නේ බණ්ඩාර කොස්වත්ත, විල්බාගෙදර කියන සුන්දර ගම්පියසේ ය.


සුනිලා රත්නායක මෙනෙවිය මුලින්ම අකුරු කළේ ඇය වර්තමානයේ උගන්වන විල්බාගෙදර කනිෂ්ඨ විද්‍යාලයෙන් ය. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වී ඇය උසස් පෙළ හැදෑරුවේ වාරියපොළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඇයගේ පියා කේ.බී. රත්නායක වන අතර අම්මා ආර්.එම්. රන්මැණිකේ ය. පියා විදුහල්පතිවරයකු වන අතර මව ගෘහණියකි. ඔවුන් මේ වන විට ජීවතුන් අතර නොමැත.
දෑස් නොපෙනී යන විටත් ඇය ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය.


දෑස් නොපෙනී ගියත් ඇය ගුරු වෘත්තිය අත නොහැරියාය. ඇය නොසැලී අධිෂ්ඨානශීලීව අභියෝග ජයගත් ගුරු මාතාවකි. බ්‍රේල් ක්‍රමය ඉගෙන ගෙන ඇය සිසු සිසුවියන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම දිගටම කරගෙන ගොස් ඉහළම ප්‍රතිඵල පෙන්වා ඇති දක්ෂ ගුරුවරියක බව මේ වෙන විටත් ඔප්පු කර හමාරය.
“ඇය කතාව ඇරඹුවේ මට අයියලා දෙන්නෙක්, අක්කලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් ගුරුවරියක් ලෙස සේවය කර මෑතකදී විශ්‍රාම ලැබුවා. ඇය කුසුම් රත්නායකයි. මම පවුලේ බාලයා” යැයි කියමිනි.


“මම උසස් පෙළ සමත් වෙලා  කළුතර පස්දුන් රට අධ්‍යාපන විද්‍යා පීඨයට ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස පුහුණු වෙන්න ඇතුළත් වුණා. මම ඇතුළත්ව සිටියේ 86-87 කණ්ඩායමටයි. විද්‍යා පීඨයට ඇතුළත් වෙන විට මගේ වයස අවුරුදු විසි දෙකයි. වසර තුනක මූලික නේවාසික පුහුණුවීම්වලින් පසුව මම වසර දෙකක ප්‍රායෝගික පුහුණුවීම් සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට පැමිණියා. එම පුහුණුවීම්වලින් පසුව මට මුල්ම පත්වීම ලැබුණේ මාවතගම ජාතික පාසලටයි. ඒ පාසල ඒ කාලයේ හැඳින්වූයේ සමුදය මධ්‍ය මහා විද්‍යාලය යනුවෙනුයි.”


“මාවතගම ජාතික පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස මා සේවය කරමින් සිටින කාලයේ 1992 වසරේ මට නිතර දරුණු හිසේ කැක්කුමක් ඇති වුණා. මේ ඉවසිය නොහැකි හිසේ කැක්කුමට මම මහනුවර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ස්ථානයකට ගොස් එහි සිටි විශේෂඥ වෛද්‍යවරයෙකු වන මහාචාර්යවරයෙකු ගෙන්  (ඔහුගේ නම කියයි) වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. මෙම මහාචාර්යවරයා මා පරීක්ෂාකර බලා ලබාදුන් එක්තරා ඖෂධ වර්ගයක් පානය කිරීමෙන් පසු මගේ ඇඟ පුරාම තුවාල හට ගත්තා. ඒ තුවාල ඇස්වල පවා ඇති වුණා. පුදුම වේදනාවක් ඒ කාලේ මම වින්දා. ඒ වේදනාවේ තරම ගැන කියන්න මට වචන නැහැ.”
“මගේ හිසරදයට ප්‍රතිකාර කළ මේ මහාචාර්යවරයා පසුව මාව  පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ගත්තා. මෙම මහාචාර්යවරයා ලබාදුන් බෙහෙත් වර්ගයක් අාසාත්මික වී මගේ ඇස් දෙක ඇතුළු සිරුර  පුරාම තුවාල හට ගත්ත බව පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මට දැනගනීමට ලැබුණා. මේ මහාචාර්යවරයා පේරාදෙණිය රෝහලේ දී කිසිම දිනක මාව බලන්නවත් ආවේ නැහැ. පසුව මාව මගේ සහෝදර සහෝදරියන් බලහත්කාරයෙන් වාගේ එම රෝහලෙන් ටිකට් කපාගෙන මහනුවර රෝහලට ඇතුළත් කළා.”
“එම රෝහලේ සිටි දෙවිවරුන් බඳු වූ ඒ කාලයේ සිටිය චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන ගුණවර්ධන මහතා සහ අලි හසන් මහතා ලොකු කැපකිරීමක් කරලා මගේ සිරුරේ තිබුණු තුවාලවලට ප්‍රතිකාර කරලා සුව කළා. ඒ වගේම හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය ද මනා කැපවීමකින් යුතුව ඇප උපස්ථාන කළ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වෙනවා. මාස දෙකක් වැනි කාලයක්  ඇතුළත මගේ සිරුරේ හටගෙන තිබූ සියලු‍ම තුවාල සුව කර ගැනීමට හැකි වුණා.”


“අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය සීමන් මහතා මගේ ඇස් දෙකට පෙනීම ලබා දෙන්න ගොඩක් උත්සාහ කළා. මම කොළඹ ඇස් රෝහලේ පවා නැවතී ප්‍රතිකාර ලබා ගත්තා. ඒත් වැඩක් වුණේ නැහැ. මගේ ඇස් දෙක සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා”.


කොළඹ ඇස් රෝහලේ දී සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ද  ශල්‍යකර්ම රැසකට ලක්කරනු ලැබුවත් ඇයගේ ඇස්වල පෙනීම යළි ලබා ගැනීමට නොහැකි වී ඇත.


“හිසරදයට ප්‍රතිකාර ගන්න ගිහින් ලබාදුන් ඖෂධයක් නිසා අාසාත්මිකතාවට පත්ව මාව මේ තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් මට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයාට එරෙහිව මම නීති මගින්  කටයුතු කර ලොකු වන්දි මුදලක් ලබාගන්න නඩු පැවරුවේ නැහැ. මම එහෙම කළේ නැත්තේ ලොකු වන්දි මුදලක් ලබා ගත්තා කියා මගේ ඇස් පෙනීම නැවත ලබා ගන්න බැහැනේ” යයි රත්නායක ගුරුතුමිය පැවසුවාය.


ඇය වැඩිදුරටත් තොරතුරු හෙළිකරමින් මෙසේ ද කීවාය.


“වසර ගණනාවක් ගමේ සුන්දරත්වය, ලෝකයේ සුන්දරත්වය සහෝදර සහෝදරියන් යහළු යෙහෙළියන් දකිමින් සිටි මට, මගේ ඇස් දෙක නොසිතූ නොවිරූ විදිහට සම්පූර්ණයෙන්ම නොපෙනී ගියාම මුල් කාලයේ එය මට කොහෙත්ම දරාගන්න බැරිව ගියා. මාව ලොකු මානසික  කඩාවැටීමකට ලක් වුණා. කුලියාපිටිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂ විනී රණසිංහ මහත්තයා සහ විශේෂ අධ්‍යාපන උපදේශකවරයෙකු වන කුලසේකර මහත්තයා ඒ අවස්ථාවේ මට නැගී සිටීමට ලොකු ශක්තියක් ලබා දුන්නා”.
“මගේ ජීවිතයට හැරවුම් ලක්ෂ්‍යයක් ලබා දුන්නේ පඬුවස්නුවර ජාතික පාසලේ ගුරුවරයෙකු ලෙස සේවය කරන කමල් රාජපක්ෂ මල්ලි යැයි කිව්වොත් එය වඩාත් නිවැරදියි. කමල් රාජපක්ෂ කියන මේ මල්ලි ගේ ද ඇස් පෙනුණේ නැහැ. ඔහු බ්‍රේල් ක්‍රමයට ලියලා කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ද ලබා ගෙන තිබුණා. කමල් මල්ලිගෙන් මම බ්‍රේල්  ක්‍රමය හැදෑරුවා. කමල් මල්ලිගේ නෝනා චන්දිමා ද මම මේ අවස්ථාවේදී  විශේෂයෙන් සිහිපත් කළ යුතු වෙනවා.


බ්‍රේල් ක්‍රමය හොඳින් ඉගෙන ගත්තාට පස්සේ මම ඒ ක්‍රමයට සිසු දරු දැරියන්ට උගන්වන්න පටන් ගත්තා. පොත් පත් ලිව්වෙ ගීත රචනා කළේ බ්‍රේල් ක්‍රමය ඉගෙනගත්තාට පස්සේ. මට බ්‍රේල් ක්‍රමය ඉගැන්වූ කමල් මල්ලිගේ ඇස් දෙක වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව දැන් සම්පූර්ණයෙන්ම පෙනෙනවා. ඒ ගැන මට ඇත්තේ  කියන්න බැරි තරම් ලොකු සතුටක්”.


ඉස්කෝලෙට යන්නේ එන්නේ කොහොමද? පන්ති කාමරයට ගොස් උගන්වන්නේ  කොහොමද ? යැයි කියා මම සුනිලා  රත්නායක ගුරු මෑණියන්ගේ විමසූ අවස්ථාවේ ඇය ඊට දුන්නේ මෙවැනි පිළිතුරකි.
“මගේ ඇස් නොපෙනී ගිය දා ඉඳලා මාව රැකබලා ගන්නේ අයියගේ දියණියක වන විශාකා දමයන්ති සහ ඇයගේ සැමියා වන ගයානුයි. ඒ දෙන්නා මං වෙනුවෙන් ලොකු මෙහෙයක් කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.”


“අපි පදිංචි වෙලා ඉන්න ගෙදර ළඟ ඉඳලා මීටර් සීයක විතර දුරකින් තමා මම උගන්වන පාසල පිහිටා තිබෙන්නේ. මගේ අයියගේ දුවගේ පුතා පුබුදු සිරිමෙවන් මම උගන්වන පාසලේ 9 වෙනි වසරේ. පුබුදු පුතා උදේට මාව අතින් අල්ලාගෙන ඉස්කෝලෙට කැඳවා ගෙන යනවා. හවසට ඉස්කෝලෙ ඇරිලා එද්දි මගේ ඥාති දියණියක වන දුනි මාව අතින් අල්ලගෙන ගෙදරට එක්කගෙන එනවා. මේ දෙන්නම අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක නායිකාවෝ.


එක පන්ති කාමරේක උගන්වලා ඉවර වෙලා තවත් පන්ති කාමරේකට එක්කගෙන යන්න ඉස්කෝලෙ ඉන්න පුංචි පැටව් ටික පොර කනවා” යැයි සුනිලා රත්නායක ගුරුතුමිය පැවසුවේ අහිංසක ලෙස සිනාසෙමිනි.
“විදුහල්පති එච්.පී. ජයවර්ධන සර් ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් මට ලැබෙන්නේ කිව නොහැකි සහයෝගයක්. ඒ නිසා මේ අවස්ථාවේ ඔවුන් සියලු‍ දෙනාම ද මා ගෞරවයෙන් සිහිපත් කරනවා.


වාර විභාගවල ප්‍රශ්න පත්තර බලන්නේ මමයි. ඒ අවස්ථාවල දී  ගුරුමණ්ඩලයේ අනෙකුත් අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. කළුලෑල්ල ළඟට ගිහින් හුණු කූර අරගෙන මගේ මතකයෙන් අවශ්‍ය දේවල් සියල්ල කළුලෑල්ලේ ලියනවා. එය මට කිසිසේත් අපහසු කටයුත්තක් නොවේ”.


ඒ රත්නායක ගුරු ගුරුතුමියගේ හඬයි.


දෑස් නොපෙනෙන කාලයේ ඇය පඬුවස්නුවර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වෙන හංවැල්ල සහ රදලියගොඩ යන ප්‍රාථමික විදුහල්වල ද ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කර ඇත.


විවේක කාලය ගත කරන්නේ කෙසේදැයි යන්න මම ඇයගෙන් විමසූ අවස්ථාවේ ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.


“මට විවේක කාලය කියන එක බොහොම අඩුයි. ගෙදර අයට කියලා මට ඇහෙන්න පොත්පත් කියවා ගන්නවා. බ්‍රේල් ක්‍රමයටත් පොත්පත් කියවනවා. නිතරම දැනුම රැස්කර ගන්න මා පොතපත කියවා ගන්නේ. මම අවුරුදු ගණනාවක් මේ ලෝකය දැකලා තියෙන කෙනෙක්. කිසිම දාක මේ ලෝකය දැකලා නොමැති, උපතින්ම දෑස් අන්ධ වූ අය ඉන්නවා. ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් මම විවිධ වැඩසටහන් ගණනාවක්ම ආරම්භ කර තිබෙනවා. මෙවර සුදු සැරයටි දිනය වෙනුවෙනුත් මම ලොකු වැඩසටහනක් කළා. මම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතයන් ගේ සංගමයේ  කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් සභාපතිවරිය ලෙස කටයුතු කරනවා.
මම ඔන්ලයින් ක්‍රමයට දෘශ්‍යබාධිත තරුණ තරුණියන්ට විතරක් නෙමේ, ඇස්  පෙනෙන දරු දැරියන්ටත් ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. මේ සඳහා මම කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මේ මගින් මා ලොකු ආත්ම තෘප්තියක් ලබනවා.”


“කවි කෙටිකතා පොත් ගොඩක් මේ වෙනකොට පළකර තිබෙනවා. මගේ ගීත අඩංගු සංයුක්ත තැටි එළිදක්වා තිබෙනවා. මේ සියලු‍ කටයුතු සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත අරමුදල අනුග්‍රහය දක්වනවා.
අවුරුදු 27ක කාලයක් වෙන තෙක් මම මේ ලෝකය, ගහ කොළ සතා සිවුපාවා දැක්කා. මගේ අම්මා තාත්තා ඥාති මිත්‍රාදීන් යහළු යෙහෙළියන් දුටුවා. ඒ මතකයන් තාමත් මගේ සිත තුළ නොනැසී එලෙසම පවතිනවා. ඒ සුන්දර මතකයන් මම අදටත් මෙනෙහි කර ලොකු ආශ්වාදයක් ලබනවා. ඒ තුළින් මගේ හිතේ ඇතිවෙන දුක තුනී කර ගන්නවා...”


සුනිලා රත්නායක ගුරු මෑණියන් කුඩා කාලයේ සිටම ආගමට දහමට බොහොම ළැදි තැනැත්තියකි. අදටත් සතර පෝයටම නොවරදවා සිල් ගන්නා රත්නායක ගුරු මෑණියන් නිතිපතා ආගමික කටයුතුවල නිරත වන්නීය.


“මගේ එකම අරමුණ අධිෂ්ඨානය දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් යම් සේවයක් කිරීමටයි.” ඒ සඳහා දෑස් පෙනෙන අයගේ නොමසුරු ආධාර උපකාර අවශ්‍ය බව ද කතාබහ නිමා කිරීමට මත්තෙන් ඇය අවධාරණය කළාය.
(දෑස් නොපෙනෙන මෙම ගුරු මෑණියන් ගැන අපට දැන්වූ කුරුණෑගල කොට්ඨාස ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.)

 

 

■ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය