දැන් දිනේෂි කියන්නේ පොඩි කෙල්ලෙක් නෙමෙයි ’’ළමිස්සියක් ’’


යොවුන් වියේදී විරුද්ධ ලිංගිකයෙකු කෙරෙහි ඇති වන ආකර්ෂණය ගැඹුරු බැඳීමක් නොව කුතුහලය පාදක කරගත් සැහැල්ලු‍ හැඟීමක් පමණක් බැව් බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහෙත් ජීවිතාන්තය දක්වා පැවතෙන අධ්‍යාත්මික බැඳීමක මූලාරම්භය එතැන වීමට පුළුවන. කුතුහලය තුරන් වූ කල බැඳීම බිඳී යන්නට ද ඉඩ තිබේ. දිනේෂි කෙරෙහි සිය සිත තුළ ඇති වූ අනුකම්පාව මුසු හැඟීම කුමන මානයකට ඇදී යනවා ඇද්දැයි සිතන්නට තරම් සකුණ පරිණත වී සිටියේ නැත. එහෙත් දිනේෂි සිටින්නේ කාගේ හෝ සහායක් වුවමනා අවස්ථාවක බැව් ඔහු හැඳින සිටියේය. ගඟකට ඉහළින් ඇති වැල් කැඩී එල්ලෙන පාලමක් මතින් එගොඩ ගොඩට යාමට වෑයම් කරන ඇයට තාත්තා, ආච්චි හෝ සසංක අත්වැලක් නොවන බැව් ඔහු වුටහා ගත්තේ ඔවුන්ගේ හැසිරීම් තුළිනි. ගමේ මිනිස්සු බැල්මෙන් පවා ඇය හෑල්ලු‍ කරති. එවන් අවස්ථාවල යුවතියකට ඇති විකල්පය එුගොඩ වෙන්නට වෑයම් නොකර සිටිවනම නැවතීම හෝ මඳක් දුර ගොස් පාලම අතහැර දැමීමය. එහෙත් අම්මා නැති නිවසේ අම්මා ගේ භූමිකාවට පණ පොවන්නට සිදු වී තිබුණ ඇයට සියල්ල අත්හැර දැමීම පහසුවන්නේ නැත. ඇය දිරිමත් කරන්නට පිටස්තරයෙකු ඉදිරිපත් විය යුතුවන්නේ එම නිසාය.   

යොවුන් වියේදී විරුද්ධ ලිංගිකයෙකු කෙරෙහි ඇති වන ආකර්ෂණය ගැඹුරු බැඳීමක් නොව කුතුහලය පාදක කරගත් සැහැල්ලු‍ හැඟීමක් පමණක් බැව් බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහෙත් ජීවිතාන්තය දක්වා පැවතෙන අධ්‍යාත්මික බැඳීමක මූලාරම්භය එතැන වීමට පුළුවන. කුතුහලය තුරන් වූ කල බැඳීම බිඳී යන්නට ද ඉඩ තිබේ. දිනේෂි කෙරෙහි සිය සිත තුළ ඇති වූ අනුකම්පාව මුසු හැඟීම කුමන මානයකට ඇදී යනවා ඇද්දැයි සිතන්නට තරම් සකුණ පරිණත වී සිටියේ නැත. එහෙත් දිනේෂි සිටින්නේ කාගේ හෝ සහායක් වුවමනා අවස්ථාවක බැව් ඔහු හැඳින සිටියේය. ගඟකට ඉහළින් ඇති වැල් කැඩී එල්ලෙන පාලමක් මතින් එගොඩ ගොඩට යාමට වෑයම් කරන ඇයට තාත්තා, ආච්චි හෝ සසංක අත්වැලක් නොවන බැව් ඔහු වටහා ගත්තේ ඔවුන්ගේ හැසිරීම් තුළිනි. ගමේ මිනිස්සු බැල්මෙන් පවා ඇය හෑල්ලු‍ කරති. එවන් අවස්ථාවල යුවතියකට ඇති විකල්පය එගොඩ වෙන්නට වෑයම් නොකර සිටිවනම නැවතීම හෝ මඳක් දුර ගොස් පාලම අතහැර දැමීමය. එහෙත් අම්මා නැති නිවසේ අම්මා ගේ භූමිකාවට පණ පොවන්නට සිදු වී තිබුණ ඇයට සියල්ල අත්හැර දැමීම පහසුවන්නේ නැත. ඇය දිරිමත් කරන්නට පිටස්තරයෙකු ඉදිරිපත් විය යුතුවන්නේ එම නිසාය.   


ඉදින් සකුණ ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේය. මෙතෙක් කල් පාසලේදීවත් ගමේදීවත් දිනේෂි ඔහු සමඟ සමීප ඇසුරක් නොතිබූ බැව් සැබෑවකි. එහෙත් ඇගේ පිහිටට පැමිණි පළමු මොහොතේ සිටම ඇය ඔහු දැඩිව විශ්වාස කරන්නට පෙලඹුණාය. ඒ විශ්වාසය එලෙසින්ම රැක ගන්නටත්, ඇය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නටත් සකුණ අදිටන් කරගෙන සිටියේය. ඇතැම් විට ඒ දේවල් දෙස ලෝකය වපරැසින් බලන්නටත් ඉඩ තිබිණි.   


මිශ්‍ර පාසැලක එකම පන්තියේ සිසුසිසුවියන් අතර වැඩිපුර පවතින්නේ සහෝදරාත්මක බැඳීම්ය. ප්‍රේම සම්බන්ධතා ගොඩනැඟෙන්නේ වෙනත් පන්තිවල අය සමඟය. ජනප්‍රිය සිසුවෙකු වූ සකුණ කෙරෙහි උනන්දුවක් දක්වන සිසුවියන් අනෙක් පන්තිවල පමණක් නොව ඔහුගේම පන්තියේත් සිටින බැව් සකුණට රහසක් නොවිණි. එහෙත් ඔහු සිටියේ එබවක් නොදන්නා ගණනටය.   
“ඇයි බං උඹ සයුරිව මඟාරින්නෙ..? ඒකි කොච්චර කල් ඉඳලා උඹ ගැන හිතාගෙන ඉන්නව ද..? අනිත් එක ඒකි මාර ලස්සනයි..”   
සමහර අය කෙරෙහි ඔහුගේ සිත පොලඹවන්නට මිතුරෝ වෑයම් කළහ.   
“කෙල්ලෙක් වදින්න ඕන ඇස් දෙකට නෙමෙයි පපුවට බං පපුවට.” ඔහු කියන්නේ මවා ගත් බැරෑරුම් හඬකිනි.   
එවන් අවස්ථාවල මිතුරෝ උපහාසයෙන් තොල් පෙරළා ගනිමින් එකිනෙකා දෙස බලා ගනිති.   
“උඹ ළඟට ගියෙ නෑනෙ පපුවේ වදියි ද කියලා බලන්න..”   
“උඹ ඉතින් පණ්ඩිතයනෙ.. ඒත් මතක තියා ගනින් පණ්ඩිතයන්ට ඒදණ්ඬේ යන්න බෑ කියලා.. පණ්ඩිතයා ඒදණ්ඬේ දිග පළල, හයිය මැන මැන ඉන්නකොට අනිත් උන් එගොඩට ගිහින් කරන්න ඕන දේවලු‍ත් කරලා ඉවරයි..”   


ඔවුහු සකුණට ඇනුම් පද ද කීහ. එහෙත් ඔහු සිනාසී නිහඬ වූවා මිස මිතුරන් සමඟ වාදයට නොගියේය. තමා යුවතියක කෙරෙහි හැඟීමක් ඇතිකර නොගත්තේ මතක ඇති කාලයක පටන්ම සිතේ කොනක දිනේෂි ජීවත් වූ නිසා බැව් මේ වන විට ඔහුට පසක් වී තිබිණි. ඔහු සිය හොඳම මිතුරා සමඟවත් ඒ ගැන කතා කරන්නට ඉක්මන් වූයේ නැත. ඇය තවම නවය වසරේ සිසුවියකි.   
“බාලාපරාධ කරන්න එපා බං..”   
පහළ පන්තියක සිසුවියක සමඟ සම්බන්ධකමක් ඇතිකර ගන්නා සිසුන්ට අනෙක් සිසුන් සරදම් කරන්නේ එලෙසිනි. එවන් සරදමකට ලක් වෙන්නට මෙන්ම දිනේෂිට අවමානයක් වෙන කිසිම දෙයක් කරන්නටත් සකුණ අකැමැති වූයේය. මේ වන විටත් ඇය ඕනෑවටත් වඩා අවමන් විඳ තිබිණි.   


“පුතා, ඔයා මං ගෙදර නැති වෙලාවට වැට අයිනට ගිහින් දිනූ එක්ක කතා කරන්න එහෙම එපා.. දන්නවනෙ මේ ගමේ ඉන්නෙ කාට හරි කතන්දරයක් හදන්න දත කට මැදගෙන ඉන්න උන්..”   
ඇය සමඟ පාර අද්දරට වී කතාබහ කිරීමෙන් දෙතුන් දිනකට පසුව අම්මා එලෙස අනතුරු අඟවන්නට ඇත්තේ උඩහ ගෙදර ආච්චි බඳු ඕපාදූප සොයන්නියක විසින් කියන ලද තොරතුරක් පදනම් කරගෙන බැව් සකුණ වහා වටහා ගත්තේය. 

 
“පිස්සු ද අම්මා..? ගෑනු වගේ වැට අයිනට වෙලා ඕපාදූප කතා කරකර ඉන්න මට වෙලාවක් තියෙනව ද..? අනිත් එක දිනූ නංගි මට බයයි කියලා අම්මා දන්නෙ නැද්ද..?” ඔහු නොරිස්සුමින් කීවේය.   
එහෙත් එය මවා ගත්තක් මිස සැබෑ නොරිස්සුමක් නොවන බැව් දැන සිටියේ ඔහු පමණකි. දිනේෂි ඔහුට බියක් දැක්වූ කාලය අතීතයට එකතු වී හමාරය. දැන් ඇයට සිටින එකම සමීපතමයා ඔහුය.   
“ඇත්තමනෙ කියන්නෙ..?”   


අම්මා අඩ සිනාවකින් යුතුව ඔහු දෙස බලා ඇසුවේ සැකයක් සිත යට තබාගෙන බැව් ඔහුට වැටහිණි. අම්මලාගේ ඉව පුදුම සහගතය. ඉරියව්වක, බැල්මක වෙනසකින් පවා දරුවන්ගේ සිත් කියවන්නට හැකියාව ඇත්තේ අම්මලාට පමණකි. අම්මෙකු අහිමි වූ කල දරුවන් බොහෝ සෙයින් අසරණ වන්නේ එහෙයිනි. ඒ ඔස්සේ කල්පනා කරද්දී දිනේෂි කෙරෙහි තමා තුළ ඇති අනුකම්පාව මුසු හැඟීම වඩාත් තීව්‍ර වෙනු සකුණට දැනිණි.   


“මම දන්නවා අම්මා ඔය අහන්නෙ මොකක්ද කියලා.. එදා මම පන්සලට යනකොට සසංක මල්ලි පොඩි හාමුදුරුවෝ එක්ක සෙල්ලම් කර කර හිටියා.. මම ගෙදර එනකොට දිනූ නංගි බයෙන් වාගෙ පාර අයිනට වෙලා බලාගෙන ඉන්නවා මල්ලි තවම ආවෙ නෑ කියලා.. මම බයිසිකලේ නවත්තලා මල්ලි පන්සලේ ඉන්නවා කියලා කිව්වා විතරයි, මදැයි ගිහින් තියෙන කතාව..”   
ඔහු සිදු වූ දෙය ඒ හැටියෙන්ම කීවේය. සැබැවින්ම මේ ගෙදර මින් පෙර කිසිම දවසක අම්මාත් පුතාත් අතර මෙබඳු කතාබහක් ඇති වී නොතිබිණි. ඔහුට අවවාද කරන්නට අම්මාට කවදාවත් හේතුවක් තිබුණේ නැත. එම නිසාම මෙය දෙදෙනාටම විශේෂ මෙන්ම අපහසුවක් දැනවූ අවස්ථාවක් ද වූයේය.   
“උඩහ ගෙදර ආච්චි තමයි ඔය කේළම කියන්න ඇත්තෙ.. අම්මෝ ඒකට මොකද හතර පෝයටම සිල් ගන්න මහලොකු උපාසකම්මා..” සකුණ සෝපාහාසයෙන් කීවේ ඒ අපහසුව මැඩපවත්වා ගැනීමේ අරමුණ ඇතිවය.   
“කිව්වෙ කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නෙ.. තමන් ලෝකෙ දිහා ඇස් දෙකකින් බැලු‍වට ලෝකෙ තමන් දිහා ඇස් දාහකින් බලනවා කියන එක මතක තියා ගන්න..”   
අම්මා කවදාවත් ඔහු වෙනුවෙන් යොදා නොගත් තරම් දැඩි හඬකින් කීවාය. එය ඔහු කළඹවන්නට සමත් වූයේය.   


“අම්මා.. මම මේ ගමේ කවුරු එක්කත් කතාබහ කරනවා.. උදව් කරනවා.. මගේ ඉස්කෝලේ ඉන්න, අල්ලපු ගෙදර ඉන්න පොඩි කෙල්ල එක්ක වචනයක් කතා කෙරුවම ඇයි මෙච්චර අවුලක්..?”   
ඔහු දොම්නසින් ඇසීය.   


අම්මා පිළිතුරු දෙන්නට පෙර මොහොතක් ඔහු දෙස බලාගෙන සිටියාය. ඒ ඇස්වල වූයේ ඔහු මින් පෙර කවදාවත් දැක නොතිබූ අන්දමේ සංකීර්ණ බවකි.   
“මගෙ පුතා වැරැද්දක් කෙරුවා කියලා හිතලා මම මෙහෙම කියනවා නෙමෙයි.. මම මීට ඉස්සර කවදාවත් මේ වගේ දේවල් කියලත් නෑනෙ..” අම්මා එවර කතා කරන්නට වූයේ වෙනස්ම ස්වරයකිනි.   
“ඒක නේන්නම්.. අද මොකද මේ වෙනසක්..?”   


සකුණ නළල ද රැලිකර ගනිමින් විමසුවේය.   


“දැන් දිනේෂි කියන්නෙ පොඩි කෙල්ලෙක් නෙමෙයි.. ළමිස්සියක්.. ඒ වගේම අම්මත් නෑ.. ඒ වගේ කෙල්ලෙක් එක්ක ඕනවට වඩා ඇඟෑලු‍ම්කම් පාන්න ගියාම මිනිස්සු දෙන්නටම කතන්දර හදනවා.. ඒක දෙන්නටම හොඳ නෑ.. අනිත් එක දිනේෂි කියන්නෙ මූසල කෙල්ලෙක්.. ළඟින් ආස්සරේ කරන අයටත් ඒ මූසලකම බලපානවා..”   
අම්මා කියද්දී සකුණ ඇය දෙස බලාගෙන සිටියේ ගල්ගැසුණ ගත පමණක් නොව සිතුවිලි ද ඇතිවය.   
“දිනේෂි මූසල කෙල්ලෙක්..” එවදන් දෝංකාර දෙමින් ඔහුගේ සිත තුළ කරකැවුණේය.   


෴ ලබන සතියට ෴