දරුවන් නැති දුකට කාලි මෑණියන් ආරුඪ වූ රුපලාවන්‍ය ශිල්පිනිය


විද්‍යාව සහ මිත්‍යාව 

මිනිසා සහ විද්‍යාව අද ඉතා දියුණු මට්ටමක පවතියි. කොතෙකුත් ​ේත්‍ර යුණු වුවත් ඇතැම් පිරිසක් විවිධ මිථ්‍යා මත ඔස්සේ ගොස් මිල මුදල් මෙන්ම ජීවිත හානි සිදුවූ අවස්ථා රාශියක් අප අසා අත. බොහෝ දෙනකු මෙම මිථ්‍යා මත විශ්වාසය තබාගෙන කටයුතු කරන නිසා විවිධ අතවරයන්ට මුහුණ පෑ අයද සිටියි.


දේවාරූඪයෙන් හෝ මළගිය ඥාතීන් මගින් විවිධ ලෙඩ රෝග මෙන්ම තමන්ගේ ජීවිතයට එල්ල වී ඇති කරදර සුව කිරීමට හැකියාවක් පවතින බව බොහෝ දෙනෙක් විශ්වාස කරති. එහෙත් එවැනි බලවේග තුළින් ලෙඩ රෝග සුව කළ හැකිද යන ප්‍රශ්නයක් මතු වී තිබේ. එසේ නම් අපට රෝහල් පද්ධතියක් අවශ්‍ය වේද යන්න පිළිබඳවත් ප්‍රශ්නයක් හට ගැනීමට අවස්ථාවක් ඇත.

  
විටෙක පොල් ගෙඩියක් කරකවා ශාස්ත්‍ර කියන පිරිසක්ද සිටියි. කනප්පුව කරකවා යවමින් හොරුන් අල්ලන ක්‍රමයක්ද අප අසා ඇත. මෙවැනි සිද්ධීන් මත ඊට පෙලඹුණ ජනතාව අන්තිමේදී සිය මුදල් නිකරුණේ නාස්ති කරමින් හඬා වැටෙති. ඒ බව දැනගෙන මෙසේ මිනිසුන් මුලා කරන බොහෝ පිරිසක් අද සමාජයේ සිටිති. බොහෝ පිරිසක් මෙසේ මිථ්‍යා මත ඔස්සේ ගමන් කොට අවසානයේ නතර වෙන්නේ මානසික රෝහලකය. මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර මත එවැනි රෝගීන් සුව කළ අවස්ථා ද අප අසා ඇත්තෙමු.  
හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය ගෙන්වා දීම මෙන්ම අවශ්‍ය කෙනා වශී කර දීම, දියුණුව සඳහා යන්ත්‍ර පැලඳවීම වැනි කාරණා ඉටු කර දෙන බොහෝ මෑණිවරුන් බිහි වන්නේ යටි සිතට යමක් දරා ගැනීමට නොහැකි වීම, කෙනකුගේ අභිමානය අඩුවීම, කෙනකු කුඩා කාලයේදී අතවරයකට ලක්වී ඇතිනම් ඒ වගේ දේවල් දරා ගැනීමේ ශක්තිය අඩුයි. අද වනවිට වෛද්‍ය විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ මොලයේ හැඟීම් පාලනය කරන ශක්තිය හීනවී ඇති නිසා මෙවැනි තත්ත්වයක් හටගන්නා බවයි. ඒ නිසා මෙවැනි දේවල් දරා ගැනීමේ ශක්තිය අඩුවෙයි.


මෙසේ මිථ්‍යා මත පසුපස ගොස් සියලු දේවල් නැති නාස්ති කරගෙන පැමිණෙන බොහෝ දෙනෙක් අවසානයේ නතර වෙන්නේ මානසික රෝහලක හෝ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු ළඟයි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි සිද්ධීන්වලට මුහුණ පෑ අය පිළිබඳවයි.  
මේ පිළිබඳ අප විමසීමක් කළේ කිරිබත්ගොඩ රෝහලේ හිටපු මනෝ වෛද්‍ය එන්. කුමානායක මහතා ගෙනි. ඔහු මෙවැනි රෝගීන් රැසකට ප්‍රතිකාර කර තිබේ. ඔහු ලැබූ අත්දැකීම් විස්තර කළේ මෙසේයි.  
“මා වෙත එක්තරා කාන්තාවක් දවසක් පැමිණියා. වයස අවුරුදු 30යි. ඇය විවාහ වෙලා වසර 5ක් වෙනවා. ඇයට හිටි ගමන් කාලි මෑණියෝ ආරූඪ වෙනවා කියලා සතියකට වරක් කෑ කෝ ගසා හැසිරෙනවා. ඒ වගේ දේවල් කරන නිසා ඇයට කාලිමෑණියන්ගේ අවතාරය වැහිලා කියලා තමයි බොහෝ දෙනකු විශ්වාස කළේ. පස්සේ ඇයගේ පවුලේ ඥාතීන් එකතු වෙලා ලොකු යාගයක් කරලා තිබෙනවා ඇය මේ තත්ත්වයෙන් මුදවා ගන්න. එම යාගයෙන් පස්සේ සති 2ක් විතර ඇය හොඳ සිහියෙන් සිටියා. ඇයට රූපලාවන්‍යාගාරයක් තිබෙනවා. ඒ කටයුතුත් කරගෙන යනවා.  


මම සේවය කළ කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍යවරයා ලෙස ඉන්නකොට මේ කාන්තාව මගේ ළඟට කැඳවාගෙන ආවා. විශාල මුදලක් ගෙවලා අපි එක එක දේවල් කළා, නමුත් ඇයගේ මේ රෝගය සුව වෙන්නේ නැහැ කියලා පවුලේ ඥාතීන් මට ප්‍රකාශ කළා. මේ දේවල් කරලා වසරකට විතර පස්සේ තමයි මගේ සායනයට මේ කාන්තාව රැගෙන ආ​වේ. ඒ වෙනකොට ඇය මුදල් අතින් සෑහෙන්න වැටිලා හිටියේ. කාලිමෑණියෝ සතියකට වරක් ඇයගේ ඇඟට ආරූඪ වෙන නිසා ඒ රැකියාවත් කරගන්න බැරුව හිටියේ.  
ඇය මගේ සායනයට ආවාම ඇගේ සැමියාට එළියෙන් ඉන්න කියලා මම ඇය සමග සාකච්ඡා කළා. මම ඇයව දැනුවත් කළා මනෝ විද්‍යාත්මකව. කවදාවත් මනුෂ්‍ය ශරීරයට කාලි මෑණියෝ හෝ භූතයෝ වැහෙන්නේ නැහැ. යම් පීඩනයක් යටි හිතට දරාගන්න බැරි අවස්ථාවේ නොයෙකුත් විදිහට ප්‍රත්ෂේප වෙනවා. ඒ අවස්ථාවේ ඔය එක එක භූත ආත්ම වැහෙනවා වගේ දේවල් සිද්ධ වෙනවා කියලා ඇය දැනුවත් කළා. ඇය හඬා වැටෙන්න පටන් ගත්තා. ඔයාට ලොකු පීඩනයක් තියෙනවා, මට ඒ සියලු විස්තර කියන්න, වෙන කාටවත් කියන්නෙත් නැහැනේ කිව්වා.  


ඇය සියලු විස්තර මට ප්‍රකාශ කළා. ඇය විවාහ වෙලා වසර 5ක් විතර වෙනවා. ඇයට තවම දරුවෙක් නැහැ. මේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යන අතරේ තරුණ විවාහක යුවළක් එනවා ඇයගෙන් සේවය ලබා ගන්න. ඒ කාන්තාවත් එක්ක ඇයගේ ස්වාමියාත් එනවා. ඒ කාන්තාවගේ සැමියත් එක්ක මේ කාන්තාව සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඒ කාන්තාවගේ සැමියා මේ කාන්තාවට කියලා තිබෙනවා, මම දික්කසාද වෙලා එන්නම්, ඇවිල්ලා ඔයාව විවාහ කර ගන්නම් කියලා. නමුත් ඇයට ඒ දේ කරන්න පරිසරයක් නැහැ. ඇය දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ. ඇය මේ නිසා මානසිකව හොඳටම වැටිලා. ඇය කල්පනා කරනවා මම මේ පුද්ගලයා සමග විවාහ වෙලා දරුවෙක් හදා ගන්නවා, නමුත් මගේ විවාහක සැමියාට, දෙම්පියන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. විශාල කම්පනයක ඇය ඉන්නේ.  
මම ඇයගෙන් ඇසුවා විවාහක සැමියාගෙන් ඈත් වෙන්න තරම් තිබෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඇය මගෙත් එක්ක ප්‍රකාශ කළා, මගේ සැමියාට ලිංගික ආබාධයක් තිබෙනවා, අපිට ලිංගිකව එක් වෙන්න බැහැ කියලා. අවුරුදු 5ක් අපි එක එක තැන්වලින් බෙහෙත් ගත්තා, නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. මටත් මේ ජීවිතය ඇතිවෙලා තිබෙන්නේ, ඒකයි මම වෙන සම්බන්ධයක් ඇති කරගත්තේ, නමුත් මට යන්න බැහැ, මම කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා ඇය කිව්වා.  


දැන් මෙතනදී මනෝ විද්‍යාත්මකව සමහර සංස්කෘතික පරිසරයක් තිබෙනවා. අපි ආකල්පත් එක්ක හිරවෙනවා. අන්න ඒ හිරවීම දරා ගන්න බැරි වුණාම ඒක දිෂ්ටියක් විදිහට ශරීරයට ඇතුල් වෙනවා. මෙයින් සිදුවන්නේ මනසේ ඇති පීඩනය තාවකාලිකව සමනය වෙන එකයි. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුණොත් මානසික අවපීඩනයකට පත්වෙනවා. මානසික අවපීඩනය දිගින් දිගටම ගියොත් ජීවිතය නැති කරගන්න තරම් පුළුවන්. මම ඇය දැනුවත් කරලා ප්‍රතිකාර කළා. ඇය ඇයගේ ව්‍යාපාර, පවුල් ජීවිතය සාර්ථකව කරගෙන යනවා. නිසි ප්‍රතිකාරයක් නියමිත වෙලාවට කර නොගෙන සිටීමෙන් වෙන්නේ අර වගේ භූත බලවේග මතුවෙනවා. එතකොට තමයි එක එක දේවාලවලට ගිහින් දෙවියන්ගේ හෝ මළගිය ඥාතීන්ගේ පිහිට පතන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් තමන්ට දැනුන ගමන් වහාම මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගන්න එක තමයි සුදුසුම ක්‍රමය යයි කුමානායක මහතා පැවසීය.

 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර