තෙල් පෝලිමේ හැදුණු අලුත් කතා


ඉන්ධන හලක් හිමි දියණියට පොම්පකරු පුතෙක් හොයයි

මේ අද දවසේ මංගල යෝජනාවක ස්වභාවයයි. මෙතෙක් කල් ඉල්ලුම තිබුණේ දොස්තරලාට, ඉංජිනේරුවන්ට සහ රජයේ උසස් නිලධාරීන්ටය. දායාදයට ලැබුණේ වලව්, යාන වාහන ආදියයි. එහෙත් මේ 2022 දී සිදුවූ ‘‘සිස්ටම් චේන්ජ්’’ එක නිසා වටිනාකම් වෙනස් වී ලොකුම වටිනාකම ඉන්ධනවලට ලැබී ඇත. ඒත් සමගම ඉන්ධන පිරවුම්හලට සුවිශේෂ වටිනාකමකුත් පොම්පකරුට එබඳුම වටිනාකමකුත් ලැබී තිබේ.  

 

මීට වසර පහකට දහයකට පමණ කලින් ජනප්‍රිය පාසල් ආසන්නයේ පිහිටි නිවෙස්වලට ද ලොකු වටිනාකමක් තිබිණි. ඒ තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට මව්පියන් අතර පැවැති නොනිත් තරගය හේතුවෙනි. පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීමට රජයෙන් ලබා දුන් නිර්නායකවලට අනුව ඒ ඒ පාසලට දරුවකු ඇතුළත් කර ගන්නට නම් ඒ දරුවා පාසලේ සිට නිශ්චිත දුර ප්‍රමාණයක් ඇතුළත පදිංචිව සිටිය යුතු විය. මේ නිසා අදාළ පාසලට කිලෝමීටරයක් දුරින් පිහිටි නිවෙස්වල වටිනාකම බලා ඉන්දැද්දී ඉහළ නැග්ගේය.   
හැබැයි අද වනවිට ඒ වටිනාකම ලැබී ඇත්තේ පාසලට නොවේ. ඉන්ධන පිරවුම්හලටය. ඉන්ධන පිරවුම්හලක් කිට්ටුවෙන් ගෙයක් ඇත්නම් කලට වේලාවට තමන්ගේ වාහනය පෝලිමට එක්කරන්නට ලැබෙන අවස්ථාව නිසාය.  
 
‘‘ගෝටා ගෝ හෝම්’’ සටන් පාඨය සමාජ ගතවන්නට කලින්, නම් ඉන්ධන පිරවුම්හලකට එතරම් වටිනාකමක් තිබුණේ නැත. ඉන්ධන අවශ්‍ය වූ මොහොතේ පිරවුම් හලකට ගොඩවැදී අතේ මිටේ මුදල් තිබෙන හැටියට ඉන්ධන ලබාගන්නට හැකියාව තිබූ බැවිනි. එහෙත් ඉන්ධන හිඟවී ‘‘රත්තරං’’ බවට පත්වීමත් සමග ඉන්ධන පිරවුම්හලට සුවිශේෂ වටිනාකමක් ලැබිණි. මිනිස්සු කාර් එක, ත්‍රී වීල් එක, ලොරිය, මෝටර් සයිකලය පමණක් නොව බූලිය ද අරගෙන පිරවුම්හල අසල පෝලිම් ගැහෙන්නට වූහ. දවස් දෙකේ තුනේ පෝලිමේ ගත කරන්නට මේ මිනිසුන්ට සිදුවූයෙන් ඔවුන්ගේ සිත් සතන් තුළ ආතතිය ඉහළ ගියේය. හරියකට කෑමක් බීමක් නැතුව, නා කියා ගන්නට විදිහක් නැතුව ඉන්ධන පෝලිමට වී සිටි ඔවුන්ගේ එකම සතුට වූයේ ඉන්ධන බවුසරයක් පිරවුම් හලට ළඟා වීමය. රතිඤ්ඤා පත්තු නොකළත් කිරිබත් නොඉව්වත් ඔවුහු නටා ප්‍රීතිඝෝෂා පවත්වා ඒ සතුට භුක්ති වින්දහ. එතැන් පටන් හෙමින් හෙමින් පෝලිමේ ගිය ඔවුන් තම රථයටත් ඉන්ධන ටිකක් පුරවාගෙන, අසීමිත සතුටක් අත් වින්දාහ.  
 
වැඩි පිරිසකට ඉන්ධන ලබාදිය යුතු වූ බැවින් රජය කළේ ඒ ඒ වාහනවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණයට සීමා පැනවීමය. එහෙත් ඇති හැකි අය කළේ පොම්පකරුට වැඩිදුර මුදලක් (අල්ලසක්) දී තම රථයට ‘‘පුල් ටෑන්ක්’ ඉන්ධන ලබාගැනීමය. මේ නිසා පොම්පකරුට ‘‘කල්ල මරේ’’ විය. ඔහුගේ සාක්කුව පිරෙන විට, පොම්පකරුම පාරිභෝගිකයාට කනට ළංවී ‘‘පුල් ටෑන්ක්’’ ඕනෑදැයි රහසින් අසන්නට පුරුදු විය. පොම්පකරුට වටිනාකමක් එකතු වූයේ ඒ විදිහටය.   
 
අර්බුදයක් පවා අර්බුදයක් සේ නොසිතා එය තම වාසියට හරවා ගන්නැයි බොහෝ සාර්ථක ව්‍යාපාරිකයන් පවසා ඇත. එබඳු පඬි වදන් අපේ පොත්පත්වල සඳහන් වේ. ඒ පඬි වදන නිවැරැදි ලෙසම භාවිතයට ගත්තේ ත්‍රීවීල් රියදුරෝය. අර්බුදය මාපියාවක් කරගත් ඔවුහු හැම තිස්සේම ඉන්ධන පෝලිමට ආහ. වරක් ඉන්ධන පුරවාගෙන යන ඔවුන් එම ඉන්ධන වෙනත් භාජනවලට පුරවා නැවත පෝලිමට ආහ. මේ අයුරින් පිරවුම්හල්වල නැති ඉන්ධන සංචිත ත්‍රීරෝද රථ රියදුරන් සතුව පැවතුණි. ඔවුන් හැමවිටම ඉන්ධන හිඟයක් මැවීමට උත්සාහ කළ අතර පාරිභෝගිකයාට අවශ්‍ය ඉන්ධන වැඩි ගණනට විකුණුවේය. මේ නිසා පිරවුම් හලේ, විකිණෙන මිලට වඩා රුපියල් දෙදහසකින් පමණ කළු කඩයේ මිල වැඩිවිය.   
 
හයර් දුවනවාට වඩා එය ලාබදායක විය. ඒ නිසා බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ඉන්ධන පොලිමේ කල් ගෙවන්නට වූහ. මේ අතර ත්‍රීරෝද කුළී ගාස්තුව ද ඉහළ නැග්ගේය.  
 
මම වැඩි ගණනට තෙල් අරන් දුවන්නේ කියමින් ඔවුන් හිතූ හිතූ ගණන් අයකරන්නට වූහ. වෙනදා රුපියල් එකසිය පනහක් අයකළ ගමනට රුපියල් එක්දාස් පන්සීයක් අයකරන තරමට ඔවුන්ගේ ගාස්තු අසාධාරණ විය.   
 
මේ අතර තෙල් පෝලිම, අරගල භූමියක් බවට පත්විය. තෙල් බවුසරයක් එන්නට ප්‍රමාද වූ විට පාරවල් හරස්කර විරෝධය පළ කරන්නට වූ ඉන්ධන පෝලිමේ පිරිස් ගහ මරා ගන්නා තරම් පීඩනයකට ද පත් වූහ. ඊට එක් හේතුවක් වූයේ පෝලිම දවස් දෙක තුන පවතිද්දී, පෝලිමෙන් පිට වාහනවලට ඉන්ධන ලබාදීම, පිරවුම්හල්වලින් සිදු කිරීමය. පොලිසිය, පොලිසියට අවශ්‍ය වාහනවල ඉන්ධන ලබා දෙන අතර විවිධ අත්‍යාවය සේවාවනට ද පෝලිමෙන් පිට ඉන්ධන ලබා දුන්නේය. කෝප වූ මිනිස්සු පොලිසිය සමග ද ගැටුම් ඇතිකර ගත්හ.  
 
ඉන්ධන පෝලිමෙන් මරණ වාර්තා වන්නට පටන් ගත්තේ ද ඔය අතරවාරයේය. සමහරු වාහන තුළම මියගොස් සිටි අතර සමහරු වැව්වල ගිලී මිය ගියහ. සමහරු පෝලිමේ සිටිය දී පාරේ ගමන්ගත් වාහනවලට යටව මිය ගියහ.  
 
මේ අර්බුදවලට විසඳුම් ඉදිරිපත් කළ ආණ්ඩුව බාහිර තෙල් සංචිත වටලන්නට පොලිසියට උපදෙස් දුන්නේය. වැඩිමිලට ඉන්ධන විකුණන්නන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්තේය. යුද හමුදාව යොදවා ටෝකන් ලබාදී ඒ හරහා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වා දුන්නේය. 
 
ඉන්ධන නැවක් ලංකාව පේන මානයේවත් නොතිබූ මොහොතක ටෝකන් පෝලිමක මම ද රස්තියාදු වීමි. කාරයේ ඉතිරිව තිබූ අන්තිම පෙට්‍රෝල් කඳුළත් පුච්චාගෙන ලබාගත් ටෝකන් පත නිකම්ම කුණු කූඩයට වැටුණේ ඉන්ධන නැව එනවිට ටෝකන් ක්‍රමය යල් පැන ගිය එකක් වූ නිසාය.  
ඊළඟට හඳුන්වා දුන්නේ අංක තහඩුවේ අවසාන ඉලක්කමට දවස් වෙන්කර දීමය. එක් ඉලක්කකමක් වෙනුවෙන් සතියකට දවස් දෙකක දී ඉන්ධන ලබා ගැනීමට හැකිවිය. එහෙත් පෝලිමේ අඩුවක් සිදු නොවීය.
ඒ වෙනුවට පෝලිම් දෙකක් දකින්නට හැකිවිය. ඒ ‘අද’ පෝලිම සහ ‘හෙට’ පෝලිමය. ‘හෙට’ පෝලිමට වාහන ගාල් කරන්නට පටන් ගත්තේ ‘අද’ දහවල් දොළහ වෙද්දීය.
 
කෙසේ වෙතත් පිරවුම් හලකින් දවසකට ලබාදිය හැකි වූයේ වාහන දෙසීය පනහකට සරිලන ඉන්ධන පමණක් බැවින් පෝලිමේ සංකල්පය අවසන් වූයේ නැත. ‘හෙට’ ඉන්ධන ලබා ගන්නට නම් ’අද’ බොහෝ වේලාසනින් ගොස් හෙට පෝලිමේ ඉස්සරහින්ම සිටිය යුතු වූ බැවිනි. ඔය අහුඅස්සේ ගමේ නහරකාරයන් එක්වී ගමට වෙනම පෝලිමක් හදාගත් අවස්ථා ද අසන්නට ලැබිණි. දවස් දෙකේ තුනේ සිටි පෝලිමට කලියෙන්, බවුසරය පැමිණි පසු හැදෙන ගමේ පෝලිමට ඉන්ධන දිය යුතු බව මේ ගමේ අයියලාගේ කල්පනාව යි. ගමේ වැල ගමේ කපුටන්ට වැනි මෙවැනි අමුතු ‘නීති’ වලින් සිදුවන්නේ ඉන්ධන පෝලිමේ සංසුන්කම නොසංසුන්කමක් වී ගිනි ඇවිළීමය. රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රචාරයේ දී මෙවැනි සිදුවීම් ඕනෑතරම් දකින්නට ලැබේ.
ඇතැම් වාහනවල බොරු අංක තහඩු සවිකරගෙන ඉන්ධන ගන්නට ආ අවස්ථාද අතේ මාට්ටු විය. ඒ පිරවුම්හල්වල සිටින පොලිසියේ මහත්තුරු අදාළ ආදායම් බලපත්‍ර ආදිය පරීක්ෂා කරද්දීය.  
 
QR කේතය එන්නේ ඔය අතර වාරයේය. එමගින් තෙල් ලබාගත හැක්කේ සතියකට වතාවක් පමණකි. එහෙත් රටේ අවශ්‍යතාවට සරිලන තරම් ඉන්ධන බෙදා හැරියේ නැතිනම් ඉන්ධන පෝලිමේ නිමාවක් සිදු නොවනු ඇත. හොරකම් සහ මැරකම් ද අවසාන නොවනු ඇත. වැඩි මිලට ඉන්ධන විකිණීමේ කළුකඩ ජාවාරම ද නිම නොවනු ඇත. ඉන්ධන පෝලිමේ මරණ අවසන් නොවනු ඇත. ඒ විතරක් නොවේ යළි අත්තටු ගසාගෙන ඉගිලෙන්නට හදන කොවිඩ් මාරයා ද ඉන්ධන පෝලිම් හරහා ව්‍යාප්ත වනු ඇත. ඉන්ධන පෝලිම්වල ‘මාස්ක්’ දකින්නටවත් නොමැති බැවිනි.
 
 
 සටහන : 
ශාන්ත කුමාර විතාන