ඩොලරයේ ලොකුකම බස්සන ’බ්‍රික්ස්’ මුදල් ඒකකය


 

දැන් ලොව ඇතැම් රටවල් ඇමෙරිකන් ඩොලරය පැත්තක දමා ඒ ඒ රටවල මුදල් ඒකක මගින් ජාත්‍යන්තර වෙෙළඳ ගනුදෙනු කරයි. බ්‍රසීලය සහ චීනය ඒ දෙරට අතර   වෙෙළඳාමේදී ඇමෙරිකන් ඩොලර් භාවිත කිරීම අත්හැරීමට ඒ දෙරටේම මහ බැංකු දැනටමත් තීරණය කර හමාරය. ඒ දෙරට අතර ගනුදෙනුවලදී දෙරටට අයත් මුදල් ඒකක පමණක් භාවිත කිරීමට දැනටමත් ගිවිසගෙන තිබේ. බ්‍රසීලය සහ චීනය අතර වෙෙළඳාම 2022දී ඇමෙරිකන් ඩොලර් බිලියන 150.5ක් විය. බ්‍රසීලයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ චීනයයි.

‘අපේ රටේ මුදල් ඒකකය වන ඩොලරය පහත වැටෙමින් තියෙනවා. ලෝකයේ අපට හිමිවෙලා තියෙන තැන අහිමි වෙමින් පවතිනවා. මේක තමයි අවුරුදු 200කින් පමණ පසුව අප ලබන දරුණුතම පරාජය. ඒකෙන් අපේ රටට ලෝකයේ පවතින බලය අවම වෙනවා. එක්සත් ජනපද ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරුන් සමග සසඳා බැලුවොත් ඔවුන් කිසිවකු බයිඩන් රජය තරම් හානියක් රටට කරලා නැතුව ඇති. අපි දැන් කඩා වැටෙමින් පවතින රාජ්‍යයක්’.  

එසේ කියන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. චෝදනා 34ක් මත පවරා තිබූ  නඩුවට   නිව්​ෙ‌යා්ර්ක්වල පිහිටි මෑන්හැට්න් අධිකරණයේදී පෙනී සිටීමෙන් අනතුරුව ට්‍රම්ප් පැමිණියේ ෆ්ලෝරීඩාවේ පිහිටි තම පෞද්ගලික නිවස වන මාඅලාගෝ (Mar-a-Lago) වෙතය. ට්‍රම්ප් ඉහත ප්‍රකාශය කළේ එහිදීය. ඒ 2023 අප්‍රේල් 05 වැනිදාය.   
ඇමෙරිකන් ඩොලර් බිලියන 251ක වත්කමක් හිමි එරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් ට්‍රම්ප්ගේ ඉහත ප්‍රකාශයට දින හතකට පෙර එනම් 2023 මාර්තු 29 වැනිදා නිකුත් කළ ට්වීටර් පණිවිඩයක සඳහන් කළේ මෙබන්දකි.   


‘ඇමෙරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති දරදඬු වැඩියි. ඒ නිසා අනෙක් රටවල් විසින් අපේ ඩොලරය පැත්තකට දමනු ලබනවා. ඒක ඇමෙරිකාවට හොඳ නෑ.’  


ඊලෝන් මස්ක්ට තරම් අතිවිශාල ධනයක් නොතිබුණත් ට්‍රම්ප් ද ව්‍යාපාරිකයෙකි. ඇමෙරිකන් ව්‍යාපාරිකයන් සේම දේශපාලකයන්ද කියන ‘ඇමරිකන් ඩොලරයට තිබෙන ඒ අපලය’ කුමක්ද?   


ආසන්නතම අභියෝගය වන්නේ බ්‍රික්ස් (Brics) සංවිධානයට අයිති රටවල් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සඳහා නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැරසීමය. Brics නමින් සංවිධාන ගතව සිටින්නේ ලෝකයේ වේගයෙන් දියුණු වන රටවල් පහකි. පිළිවෙළින් ඒ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය. ඒ රටවල් පහේ දළ ජාතික නිෂ්පාදනය සමස්ත ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 31.5කි. වසර 2030 දී එය සියයට 50ක් වනු ඇතැයි අපේක්ෂිතය. බ්‍රික්ස් රටවල් පහේ දළ ජාතික නිෂ්පාදිතය ලොව දියුණු කාර්මික රටවල් හතේ දළ ජාතික නිෂ්පාදිතයටත් වඩා ඉහළය. ඒ රටවල් හත ජී -7 නමින් සංවිධානගතව සිටියි. ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ජපානය ජී-7හි සාමාජිකයෝය. ඒ රටවල් සියල්ලේ දළ ජාතික නිෂ්පාදිතය ලෝක ජල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 30.7කි. එහෙත් බ්‍රික්ස් රටවල් පහේ දළ ජාතික නිෂ්පාදිතය සමස්ත ලෝක ජල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 31.5කි. 20230 දී එය සියයට 50ක් වීමට නියමිතය. ඒ බ්‍රික්ස් රටවල ආර්ථික ශක්තියයි.   


බ්‍රික්ස් රටවල ජනගහනය බිලියන 3.26කි. සමස්ත ලෝක ජනගහනය බිලියන 7.9කි. ඒඅනුව බ්‍රික්ස් රටවල ජනගහනය සමස්ත ලෝක ජනගහයෙන් සියයට 41.27කි. ලෝකයට අලුත් මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැරසෙන්නේ එබඳු හැකියාවක් සහිත රටවල් පහකි. මේ මෙහෙයුමේ ප්‍රමුඛයා රුසියාව බව ජාත්‍යන්තර පිළිගැනීමයි. රුසියාවට දැන් තිබෙන ලොකුම අභියෝගය බටහිර රටවල සම්බාධකය. ඒ යුක්රේනය සමග කරන යුද්ධය නිසාය. යුක්රේන යුද්ධය ආරම්භ කළ පසුව රුසියාවට දරුණුතම සම්භාධකය පැනෙව්වේ ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ය. රුසියාව සතු එහෙත් ඇමෙරිකාවේ හා යුරෝපයේ බැංකුවල තිබෙන ඇමෙරිකන් ඩොලර් බිලියන 300ක් රුසියාවට භාවිතයට ගත නොහැකි අයුරින් සම්බාධක පැනෙව්වේ බයිඩන්ය. එසේම බයිඩන් පාලනය මගින් රුසියාවේ බැංකුවලට ස්විස්ට් ක්‍රමය යටතේ ජාත්‍යන්තර ගනුදෙනු කිරීමද තහනම් කර තිබේ. මේ සම්බාධක නිසා රුසියාවට ඩොලර්වලින් ජාත්‍යන්තර ගනුදෙනු කළ නොහැකිය. ලොව අනෙක් රටවල් ඒ දෙස බලා සිටින්නේ භීතියෙනි. ඊට හේතුව ඇමෙරිකාව තමන්ටද එසේ කරනු ඇතැයි යන බියය.   

 


ඒ නිසා දැන් ලොව ඇතැම් රටවල් ඇමෙරිකන් ඩොලරය පැත්තක දමා ඒ ඒ රටවල මුදල් ඒකක මගින්   ජාත්‍යන්තර    වෙ​ෙළඳ ගනුදෙනු කරයි. බ්‍රසීලය සහ චීනය ඒ දෙරට අතර වෙ​ෙළඳාමේදී ඇමෙරිකන් ඩොලර් භාවිත කිරීම අත්හැරීමට ඒ දෙරටේම මහ බැංකු දැනටමත් තීරණය කර හමාරය. ඒ දෙරට අතර ගනුදෙනුවලදී දෙරටට අයත් මුදල් ඒකක පමණක් භාවිත කිරීමට දැනටමත් ගිවිසගෙන තිබේ. බ්‍රසීලය සහ චීනය අතර වෙ​ෙළඳාම 2022දී ඇමෙරිකන් ඩොලර් බිලියන 150.5ක් විය. බ්‍රසීලයේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වන්නේ චීනයයි. ලොව ප්‍රමුඛතම ඛනිජ තෙල් නිෂ්පාදකයකු වන සවුදි අරාබියද දැන් වෙනත් රටවල මුදල් ඒකකවලින් ගනුදෙනු කිරීමට තීරණය කර තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින් 2023 මාර්තු 20 වැනිදා රුසියාවට ගොස් අත්සන් කළ ගිවිසුම් මගින් ගිවිසගෙන තිබෙන්නේද දෙරට අතර වෙළෙඳ ගනුදෙනු යුවාන් සහ රූබල් මගින් කිරීමටය. 2023 මාර්තු 31 වැනිදා චීනයට ගොස් යළි පැමිණි මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් තම රටේ පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කළේ මැලේසියාවට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තවදුරටත් ඇමෙරිකානු ඩොලරය මත යැපීම අනවශ්‍ය බවය. මැ​ලේසියාව අනෙක් රටවල් සමග සාකච්ඡා කර ඒ දෙරටේ මුදල් මගින් ගනුදෙනු කළ යුතු බව මැලේසියන් අග්‍රාමාත්‍යවරයා තම රටේ පාර්ලිමේන්තුවට යෝජනා කරයි. ඉන් නොනවතින ඒ අග්‍රාමාත්‍යවරයා මෙසේද කියයි.   


‘ආසියනු මූල්‍ය අරමුදලක් පිහිටුවීම සම්බන්ධයෙන් මුදල් ඇමැති ලෙස මා කළ යෝජනාව ගැන ආසියාවෙන් එතරම් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඊට හේතුව ඒ වනවිට ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් කිරීමයි. නමුත් දැන් චීනයේ, ජපානයේ හා ආසියාවේ වෙනත් රටවල ආර්ථිකයෙන් ඉතා ශක්තිමත්. ඒ නිසා ආසියානු මූල්‍ය අරමුදලක් ගැන මා කළ යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ යුතුය කියා හිතනවා.’   


මැලේසියන් අග්‍රාමාත්‍යවරයා එසේ කියද්දී චීනය ‘ඒෂියන් ඉන්පාස්ට්‍රක්චර් ඉන්වෙස්මන්ට් බෑන්ක් - AIIB නමින් අසියාවේ රටවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ණය දීමට බැංකුවක් හදාගෙන යයි. එමගින් ආසියාවේ රටවල් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම අහෝසි වුවහොත් ඇමෙරිකන් ඩොලර් භාවිතය තව තවත් අවම වෙයි. ජාත්‍යන්තර වෙ​ෙළඳ ගනුදෙනුවලදී ඩොලරයට දැනට තිබෙන තත්ත්වයත් අහිමි වෙයි. චීනය AIIB බැංකුව කරළියට ගෙනෙන්නේ ඒ අරමුණෙන් සහ බ්‍රික්ස් රටවල මුදල් එක්කය ප්‍රචලිත කිරීමට මිස අන් කුමක් සඳහාද? ඇමෙරිකන් ඩොලරය ජාත්‍යන්තර මුදල් ඒකකයක් වුණේ 1944දීය. මෑතක් වනතුරුම ජත්‍යන්තර වෙ​ෙළඳ ගනුදෙනුවලින් සියයට 74ක් වූයේ ඇමෙරිකන් ඩොලර් වලිනි. දැන් එය සියයට 60ක් දක්වා අඩුවී තිබෙන අතර ජාත්‍යන්තරයේ ඇතිවන ප්‍රවණතා නිසා ඉදිරියේදී එය තවත් අඩුවනු නිසැකය.   
බ්‍රික්ස් මුදල් ඒකකය කරළියට පැමිණි පසු ජාත්‍යන්තර වෙ​ෙළදාමේ ඇති විය හැකි ප්‍රවණතා දැන් යුරෝපයටද දැනෙයි. යුරෝපා සංගමයේ සභාපති සහ ප්‍රංශ ජනාධිපති චීනයට ගියේ අනාගත අවදානම් කළමනාකරණය කර ගැනීමට බව විශ්ලේෂකයන්ගේ මතයයි. 2023 අප්‍රේල් 09 වැනිදා පොලිටිකෝ සඟරාව සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් කියන්නේ ලෝක බල කඳවුරුවලට යුරෝපය මැදිහත් විය යුතු නැති බවය. ඒවාට මැදිහත් වීමෙන් යුරෝපය තැළෙන බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි. ඔහු එසේ කියන්නේ යුක්රේන යුද්ධයෙන් දැනටත් යුරෝපය හොඳටම තැලී සිටින නිසාය. යුරෝපයට අත්‍යවශ්‍ය ගෑස් සැපයුවේ රුසියාවෙනි. යුක්රේන යුද්ධය ඇරඹීමෙන් පසු ඒ ගෑස් නළ විනාශ කළේ කවුදැයි යුරෝපය හොඳින් දන්නා නිසා ලෝක බළ කඳවුරුවලට සහාය දීමෙන් පළක් නොවන බව දැන් යුරෝපයටද තේරී ඇති සැටියකි. යුරෝපයේ මේ ප්‍රවණතා එළඹෙන අගෝස්තු මාසයේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවෙන් පසු තවත් තීරණාත්මක වනු නියතය. එසේ වන්නේ ඒ සමුළුවේදී බ්‍රික්ස් මුදල් ඒකකය කරළියට පැමිණිය හැකි නිසාය.   

 

 

 

සටහන
ගුණසිංහ හේරත්