ඩෙංගු මාරයා ඔබ ළඟමයි


 

  • ඩෙංගු වෛරස් වර්ග හතරක් තියෙනවා. මේ හතර එක් වතාව බැගින් හතර වතාවක් හැදෙන්න පුලුවන්

ඡන්ද ව්‍යාපාර, දේශපාලන කතා, වෘත්තිය අරගල, සටන්, මේ සියලු‍ දේ අතර සෞඛ්‍ය ගැටලු‍ අර්බුද ද සමාජ කරළියට පැමිණ තිබේ. කොවිඩ්, ඉන්ෆ්ලු‍වන්සා, බෝ වෙන බෝ නොවෙන බොහෝ රෝග ගැන ලියැවුණු කියැවුණු දේ අතර ඩෙංගු රෝගය ගැන විශාල අවදානමක් ද මේ වන විට රටේ සෑම දෙසින්ම පාහේ මතු වෙන්නට පටන් ගෙන තිබේ. ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරන්නේ මේ පසුබිම තුළ ය.   

 

මේ වසරේ ගතවූ සති තුනකට අධික කාලය තුළ පමණක් ඩෙංගු ආසාදිතයන් 6,204 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. එසේම ඩෙංගු වර්ධනය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 57 ක් හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශ අධි වසංගත කලාප ලෙස නම්කර තිබේ. මෙහිදී වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.   


අප මුලින්ම සාමාන්‍ය ඩෙංගු රෝග ලක්ෂණ මොනවාද යන්න සහ කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැළදුනහොත් තිබෙන අවදානම මොන වගේ ද, යන්න පිළිබඳව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් සී කිතුල්වත්ත මහතාගෙන් විමසුවෙමු. 

 
“ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා. හැම අවුරුද්දකම දෙවතාවක් පමණ මේ තත්ත්වය ඇති වෙනවා. මේ දවස්වල වැඩිවීමක් තියෙනවා. විශේෂයෙන්ම වර්ෂාව සමග තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් ජනගහනය වැඩි තැන්වල ඩෙංගු මදුරුවන් බෝවීමේ ඉඩකඩ වැඩියි. ගම්බද පළාත්වලට වඩා වැඩියි. ඩෙංගු කියලා විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. නමුත් තද උණ එනවා. මුළු ඇඟම රිදෙනවා. ඇටකටු කඩලා දැම්මා වගේ කියලා කියන්නේ. ඔලු‍ව රිදෙනවා. ඇස් යට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. වමනය යනවා. සාමාන්‍යයෙන් වෛරස් උණක ලක්ෂණ තමයි තියෙන්නේ.   


මෙහිදී කුඩා දරුවන්ට ඩෙංගු රෝගය වැළදීමේ අවදානම පිළිබඳව ද අපි ඔහුගෙන් විමසුවෙමු.   


“ඩෙංගුවල වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු පළමුවැනි සැරේ හැදුනම නිකම් වෛරස් උණක් වගේ තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවැනි සහ තුන්වැනි වතාවට ඩෙංගු රෝගය හැදුනම ඩෙංගු රක්තපාත තත්ත්වයට යන්න පුළුවන්. ඒක දරුවන්ට කියලා විශේෂම අවදානමක් නැති වුණත්, අවුරුද්දට වඩා අඩු දරුවන්ට හැදුනොත් ඒකේ අවදානම වැඩියි. ඩෙංගු රෝගය ගත් විට ඩෙංගු රෝගය අවදානම් වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි වයස අවුරුද්දට වඩා අඩු දරුවන්, මහත වැඩි බර වැඩි දරුවන්ට හැදුනොත් ඒ වගේම නිදන්ගත රෝග තියෙන දරුවන්ට හැදුනොත් අවදානම වැඩියි. දරුවන්ට ගත්තොත් එහෙම අපට එය අදාළ වන්නේ අවුරුද්දට වඩා අඩු දරුවන්ට සහ මහත ස්ථුල දරුවන්ට හැදුනොත් අවදානම වැඩියි.,   


විශේෂඥ වෛද්‍ය නවීන් සී. කිතුල්වත්ත මහතා පවසන අන්දමට දැනට ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන්ගේ සැලකිය යුතු වැඩිවීමක් පවතී. එසේම ඔහු පෙන්වා දෙන අන්දමට බොහෝ විට දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසා ඇතිවන අවදානම මෙන්ම මෙහිදී මරණය පවා ඇතිවන අවාසනාවන්ත තත්ත්වයන් ද මතුවීමට ඉඩ තිබේ.   
“මුලින්ම ඩෙංගු රෝගය හඳුනා ගන්න ඕනෑනේ. සාමාන්‍යයෙන් දවස් දෙකකට වඩා එනම් පැය 48 කට පසුව සම්පූර්ණ රුධිර පරීක්ෂණය තමයි වැදගත්ම පරීක්ෂණය වෙන්නේ. ඒකෙදී සුදු රුධිරානු මට්ටමත් අඩු වෙනවා. රුධිර පට්ටිකා මට්ටමත් ඩෙංගුවලදී අඩුවෙනවා. තුන්වැනි දවසේදී කරන පරීක්ෂණය තමයි වැදගත්ම ටෙස්ට් එක. ඒ වගේම ඩෙංගු ඇන්ටිජන් එනම් ප්‍රතිදේහ ජනක ටෙස්ට් එකත් කරන්න පුළුවන්. ඒක කරනවා නම් සාමාන්‍ය උණ ඇවිත් පළමුවෙනි දවසේදී තමයි වැඩිපුරම පොසිටිව් රිසල්ට්ස් එන්නේ. නමුත් වඩා වැදගත් වෙන්නේ තුන්වැනි දවසේදී කරන සම්පූර්ණ රුධිර පරීක්ෂණය. ඩෙංගුවල ප්‍රශ්නය තියෙන්නේ කලින්ම හඳුනා ගතහොත් ප්‍රතිකාර කරන්න හරිම පහසුයි. හැබැයි පහුවුණාම හරිම අමාරුයි.   


අපි කියන්නේ දවස් දෙකකට වඩා උණ තියෙනවා නම්, අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙලා සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කරගන්න කියලා. ඒ වගේම උණට දෙන බෙහෙත් ගත් විට පැරසිටමෝල් නියම මාත්‍රාව හැර අනෙක් උණ අඩු කරන්න දෙන බෙහෙත් ගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම එක් එක් පිටතින් ගත හැකි ඖෂධ වර්ග තියෙනවානේ. නමුත් උණ අඩු කරන්න තියෙන අනිකුත් ඖෂධ ගන්න හොඳ නැහැ. එහෙම ගතහොත් එහි සංකුලතා ඇති වෙනවා. ඩෙංගු රෝගය කියලා හඳුනා ගත්තට පස්සේ උණ තියෙනවා නම්, පැය 6 කට වරක් නියමිත මාත්‍රාවෙන් වේදනා නාශක ගන්න ඕනෑ, විවේකය ඉතාමත් වැදගත් ඒවා කරලා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් මත කටයුතු කළ යුතුයි.   


• පොදුවේ ගත් විට දරුවන් සහ වැඩිහිටියන් මේ රෝගය ඇතිවීම වළක්වා ගැනීමට කළ යුත්තේ කුමක්ද?


“වළක්වා ගැනීම කියන කාරණය නම් හරිම අමාරුයි. මොකද මේක වෙනත් රෝගයක් වගේ නෙමෙයි. මදුරුවා දෂ්ට කරන්නේ දහවල් කාලයේදී. අපිට නෙට් එකක් ඇතුළට රිංගා ගෙන ඉන්න බැහැනේ. රෑට නම් පුළුවන්. ඒ වගේ මදුරුවන් දෂ්ට කිරීම වළක්වා ගැනීමට ඩෙංගු රෝගයේදී හරිම අමාරුයි. ඒක නිසා ඩෙංගු රෝගයෙන් වැළකෙනවා කියන එක එච්චරම සාර්ථක දෙයක් විදියට මං හිතන්නේ නැහැ. හැබැයි මදුරුවා බෝවෙන එක පාලනය කරන එක, මදුරුවා බෝවෙන එක වැළක්වීම තමයි ප්‍රධානම දේ වෙන්නේ. අපි මේවා හැමදාමත් කතා කරන දේවල්. කුණු තැන් තැන්වල දමන්නේ නැතුව, වතුර එකතු වෙන තැන් හදන්නේ නැතුව, තැඹිලි කෝම්බ යෝගට් කෝප්ප, කිරි ඇතිලි මේ ආදි දේ නිසි තැන්වල බැහැර කිරීම මේ ආදි දේ කරලා මදුරුවන් බෝවීම වළක්වා ගැනීම තමයි ඩෙංගු රෝගය වළක්වා ගැනීම ගැන කළ යුතුව තියෙන්නේ. 


විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා පෙන්වා දෙන අන්දමට සාමාන්‍යයෙන් වර්ෂයකට දෙවතාවක් පමණ මෙම ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීම සිදුවෙයි. මෙහිදී වර්ෂා රටාවේ වෙනස් වීමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව රෝගීන් වැඩිවීමත් සිදුවෙයි. මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම, ජලය එකතුවන තැන්වල ජලය ඉවත් කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථන ඇත්දැයි සොයා බලා ඒවා විනාශ කිරීම, මල් පෝච්චි, ටයර්, පොල්කටු, ටින්, යෝගට් කෝප්ප, තැඹිලි කෝම්බ. වැහි වතුර රැදෙන වැහිපීලි වලට මදුරු නාශක ඉසීම, දුම් ගැසීම, ඒවා නියම ලෙස බැහැර කිරීම ආදිය කර පරිසරය සුරක්ෂිත කිරීම ද මේවා අතර වෙයි. 

 

• ඩෙංගු රෝගය දෙතුන් වතාවකටත් වඩා ඇති වෙන්න පුළුවන් ද? 


ඩෙංගු සාමාන්‍යයෙන් හතර වතාවක් හැදෙන්න පුලු‍වන්. ඩෙංගු වෛරස් හතරක් තියෙනවා 1, 2, 3 සහ 4 ලෙස වෛද්‍ය විද්‍යාවේ නම් කර තිබෙනවා. එක වෛරස් එකකින් එක පාරයි හැදෙන්නේ. ඒ වගේ හතර වතාවක් හැදෙන්න ඉඩ තියෙනවා. 


• ප්‍රතිකාර සහ ඖෂධ මොනවාද? 


ඩෙංගු කියන්නේ වෛරස් රෝගයක්. ඒකට නිශ්චිතවම ප්‍රතිකාරයක් නැහැ. බැක්ටීරියා රෝගයක් ගතහොත් ඊට එරෙහිව බෙහෙතක් තියෙනවානේ. මෙයට එහෙම බෙහෙතක් නැහැ. නමුත් ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර නැහැ කියන එක නෙමෙයි මේකේ තේරුම. එතකොට අපි ඩෙංගු රෝගයෙන් විය හැකි දේවල්වලට ප්‍රතිකාර කරන එක තමයි කරන්නේ. සනීප වෙනවා. අතුරු ආබාධ වැනි දේවල්වලට ප්‍රතිකාර කරන්න පුළුවන් අපිට. 


සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ඩෙංගු වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ කිසිවක් මෙතෙක් සොයා ගෙන නැත. එමනිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් ඩෙංගු වාහක මදුරුවා බෝවීම අවම කිරීම හා ඩෙංගු මදුරුවන්ගෙන් සිරුර දෂ්ට කිරීමෙන් ආරක්ෂා වීම ඩෙංගු මර්දනයට ඇති එකම ක්‍රමය වෙයි.

 

 

සටහන: 
පද්මිණි මාතරගේ