ජීවන වියදම ඉහළ යාමෙන් දුක්විඳින වතුකම්කරුවෝ


උඩරට වතුකම්කරුවන් යන නාමයෙන් හඳුන්වනු ලබන ඉන්දියානු සම්භවයෙන් පැවතෙන ජන කොට්ඨාසය දිවයිනට පැමිණ වසර දෙසීයක කාලයක් ගත වන අතර එම ජන පිරිස මෙරට විදේශය විනිමය උපයන සුවිශේෂීම අපනයන බෝගයක් වන තේ වගාවේ නඩත්තුව හා පෝෂණය වෙනුවෙන් මහඟු සේවයක් කරමින් සිටිති.  

 

තේ වගා කරන කඳුකර ප්‍රදේශවල වසරේ වැඩි කාලයක් අධික වර්ෂාව සහ අධික සීතල කාලගුණයක් පවතින අතර ඇතැම් කාලයන් හි දැඩි වියළි කාලගුණයක් ද පවතී.  
එම කාලගුණයද නොතකා වතුකම්කරුවන් එදා සිට අද දක්වාම ඔවුන්ට ලැබෙන සොච්චම් පඩියට රැකියාව කළේ තුන්වේල කාලා බීලා ඉන්න හිතාගෙන පමණය. ඔවුන්ට සිහින මාලිගා නොමැත.  


වර්තමානය වන විට එම ප්‍රජාවගේ එකම ප්‍රාර්ථනාව ද බොද වී අවසානය. කුසගින්න නිවා ගන්න තේ වත්තේ වැඩ කරපු වතුකම්කරුවන්ට රට තුළ මේ වන විට පවතින ආර්ථික අර්බුදය දැඩි බලපෑමක් එල්ල කර ඇත.  


මීට වසර තුනකට ප්‍රථම ඔවුන් වේල් තුනට ආහාර ගත් නමුත්, මේ වන විට ඔවුන්ගේ ආහාර චක්‍රය එක් වේලකට සීමා වී ඇති අයුරු දක්නට පුළුවන. 

 
 මෙම දුක්ඛිත තත්ත්වය බලධාරීන් නොදන්නවා නොවේ. හොඳාකාරවම දැන ගත්තත් මෙයට පිළියම් යොදන්නට එම අහිංසක ජනතාවගේ කුසගින්න නිවාලන්නට කිසිදු දීර්ඝකාලීන සැලසුමක් නොමැතිව තමන්ගේ දේශපාලනික අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් පමණක් කඳුකර ජනතාව භාවිතා කරමින් සිටිති.  


මේ අහිංසක වතුකර ජනතාවගේ බඩගින්න සහ ඔවුන්ගේ වැටුප් ගැටලුව දේශපාලකයන්ට මතක් වන්නේ ද මැතිවරණයකදී පමණී.  


මැතිවරණය අවසන් වූ පසු තමන් විශ්වාස කර ඡන්දය ලබා දුන් ජනතාවගේ කිසිම දුකක් නොතේරෙන ගුණමකුවන් බවට වතුකරය නියෝජනය කරන ඇතැම් දේශපාලකයන් පත්වීම දැඩි කනගාටුවට කරුණකි.  


වර්තමානයේ වතු ආශ්‍රිතව උපදින දරුවන් වැඩි ප්‍රමාණයක් අඩු බරකින් උපත ලබන බවත් එම දරුවන්ගේ සහ මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දමන ලෙස උපදෙස් ලබා දුන්නත් එම උපදෙස් පිළිපැදීමට වතුකම්කරුවන් ආර්ථික වශයෙන් ශක්තිමත් නැත. මේ වතු ජනතාව එදිනෙදා විඳින දුෂ්කරතා ගැන හෙළිදරව්වකි.  


වී. සිවරාණි  


“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මගේ මහත්තයත් තේ වත්තේ තමයි වැඩ කරන්නේ. තේ වත්තෙත් අපිට ඉස්සර වගේ වැඩ දෙන්නේ නෑ.  


අපි දෙන්නටම මාසෙට අත්තිකාරම් මුදල්, වෘත්තීය සමිතිවලට, කෝවිලට, මාසිකව ලබා ගන්නා තිරිඟු පිටිවලට කපා ගත්තම අප දෙන්නටම ලැබෙන්නේ රුපියල් 12000 ක් පමණ. ඒ පඩියෙන් අපි පස් දෙනෙක් ජීවත් වෙන්න ඕනැ. ළමයි තුන්දෙනා පාසල් යන නිසා ඒ අයගේ වියදම් බලන්නත් ඕනැ.  


පොත්පත් වල මිල ඉහළ ගිහින් ළමයි බස් එකේ පාසලට යවන්න ලොකු මුදලක් ඕනැ. අපි සමහර දවස්වලට දවසටම කන්නේ එක වේලයි. එහෙම දවස් වලට අපි ළමයින්ව පාසල් යවන්නේ නෑ.  


අපි හරිම පවුකාර ජීවිතයක් ගත කරන්නේ. අපි තවම ජීවත් වෙන්නේ වතු නිවාස වල. අපි ගෙවන ජීවිතය අනුව අපේ ආයුෂ ගොඩක්ම අඩුයි. මොකද අපිට හරියට පෝෂ්‍යදායි ආහාර කිසිවක් ලැබෙන්නේ නෑ. වතු කම්කරු ප්‍රජාව කියලා අපිට කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නෑ.  


පිට පළාත්වල අයට නම් සහනාධාර ලැබෙනවා. අපේ නායකයන් හැමදාම අපිව රවට්ටලා ඡන්දය අරගෙන යනවා. පළාත් පාලන මැතිවරණයක් එනවලු. අපිට ඕනැ මැතිවරණ නෙවෙයි අපිට ඕනැ තුන් වේලම කාලා දරුවන්ට උගන්වලා නිදහසේ ඉන්න” ඇය කීවාය.  


එස්. සේවරාණි  


“මම වැඩ කරන්නේ දික්ඔය වනරාජා තේ වත්තේ. අපි උපන්දා සිටම ඉන්නේ මේ තේ වත්තේ.  


 අද ජීවන වියදම දරාගන්න බැරි විදිහට ඉහළ ගිහින්. අද හාල්, පිටි මිල හිතා ගාන්න බැරි විදිහට ඉහළ ගිහින්. පිරිසක් තුන්වේලම හොඳට කාලා ඉද්දී අපි දෙවේලක් කාලා දුකසේ ජීවත වන කොටසක්. අපේ දරුවනුත් හරියට දුක් විදිනවා. මනුෂ්‍ය ආත්මක් ලබපු වතුකරයේ ජීවත් වන අපි දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ.  


අපේ දුක කියාපාමින් අපේ නායකයන් යැයි කියා ගන්නා පිරිස බොරු පොරොන්දු ලබා දීලා අපේ ඡන්දය ලබාගෙන ගිහින් ඒ අය සැපසේ ජීවත් වෙනවා. අපි තාම එතනමයි. අපේ ළමයි ඉගෙන ගන්න හරිම ආසයි. අපි විදින දුක අපේ දරුවන්ට උරුම කරන්න අපි කැමැති නෑ. දරුවෝ ඉල්ලන සමහර දේවල් අපට ලබාදෙන්න විදිහක් නෑ.  


ඒගොල්ලෝ සුඛෝපභෝගී දේවල් ඉල්ලන්නේ නෑ. ඉල්ලන්නේ තුන් වේල කටට රහට කන්න, එහෙම කන්න දෙන්න පුළුවන්කමක් වතුකරයේ ජීවත් වන අපිට උරුම වෙලා නෑ.”

 

  

කේ. ශාරදා - නෝර්වුඩ් වත්ත  


මම අපේ පවුලේ තිබෙන ආර්ථික තත්ත්වය නිසා වසර කිහිපයක් පිටරට ගෘහ සේවයේ යෙදිලා තමයි වත්තේ වැඩට ආවේ. වත්තේ වැඩ කරන්නේ තාවකාලික පදනම මත.  
මගේ සැමියා රෝගී තත්ත්වයෙන් පෙළෙන කෙනෙක්. එයා වත්තේ වැඩ කරන්නේ දින කිහිපයක් විතරයි. මම විදේශ රැකියාවේ නිතර වෙලා ඉඳලා ඉතිරි කරගෙන ආපු මුදල් මහත්තයාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට, පවුලේ වියදමටත් වියදම් කරලා දැන් ඒ මුදල් ඔක්කොම ඉවරයි.  


දැන් ඉස්සර වගේ විදේශ රැකියාවලට යන්න බෑ. අපි දෙන්නටම ලැබෙන්නේ මාසිකව රු. 10000 පමණ. ඒ පඩියෙන් තමයි ළමයි තුන් දෙනයි, මහත්තයයි මමයි ජීවත් වෙන්නේ.  
අද පවතින ජීවන වියදමට රු. 10000 කින් ජීවත් වෙනවා කිව්වම හිතාගන්න පුළුවන්නේ ජීවත් වන විදිහ.  

 

 

 

සටහන සහ ඡායාරූප: නෝර්වුඩ්
රංජිත් රාජපක්ෂ
නානුඔය
ආර්. එෆ්. එම්. සුහෙල්